සබරගමු මහ සමන් දේවාලය යනු සබරගමු පළාතේ පිහිටා තිබෙන අති පූජනීය ස්තානයකි. පොළොන්නරු යුගයේ ශ්‍රී පාදස්ථානය ගැන රජවරුන් තුල ඇති වූ උනන්දුව ද සමන් දෙවිඳුන් ගැන අවධානය යොමු වීමට හේතු වුවා විය හැක ශ්‍රී පාදස්ථානයේ පළමුව සමන් දේවාලය ඉදිකරවුයේ 2 පැරකුම්බා රජු විසින් බව වංශ කතා වල දැක්වේ සිරිපා වැදීමට ගිය පැරකුම් නිරිඳු හට එහි සමන් දේව රුවක් නොතිබුණු නිසා පසුව ප්‍රතිරාජදේව නම් ස්වකිය අමාත්‍යවරයා ලවා සමන් දෙව් රුවක් සැකසීමට විධාන කිරීමෙන් අනතුරුව එම ඇමතිවරයා ගම්පොල ප්‍රදේශයේ ශිල්පියකු ලවා සමන් දෙව් රුවක් තනවා සමන් ගිරට ගෙන ගොස් ශ්‍රීපාද චෛත්‍යය භුමියෙහි පිහිටවා ඇතමුල්ම සමන් දෙවොල සිරිපා බිමේදී තැනුන බවට සාක්ශි ඇති අතර එම දෙවොලට සතර දෙසින් තවත් දේවාල සතරක් සාදා ඇත ඒවා නම්
- බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
- උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
- දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
- නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය
කන්ද උඩින් බැස්ස කලට පෙනේය උළු මාලිගාව
බිම්බරකින් සෙනග ඇවිත් රුවට සැදෙව් මාලිගාව
රැ දාවල් අඳුර නැතිව රන් කොත් බබලන සොබාව
ලංකාවට තිලකය ව ද සබරගමුවේ මාලිගාව
යන කවියෙන් එදා ගැමි කවියා අගය කර ඇති රත්නපුර මහ සමන් දේවාලය ප්‍රමුඛ දෙවොලක් ලෙස සැලකේ.ඉහත විස්තරයේ සඳහන් ආකාරයට ප්‍රතිරාජදේව ඇමතිවරයා විසින් ශ්‍රීපාදයේ තැන්පත් කල සමන් දේව රුවට පසුව කුමක් වී දැයි තොරතුරක් නැත එහෙත් සමන් සිරිත නම් වූ කාව්‍ය සංග්‍රහයේ දඹදෙණි පැරකුම්බා රාජ සමයේ සපරගමු වෙහෙර වැසි ශීලවංශ නම් හිමිනමක් සිරිපා වැඳුමට සමන් ගිරට ගොස් එහි රාත්‍රිය ගත කරද්දී සමන් දෙවිඳු බමුණු වේශයෙන් ඒ හිමි වෙත පැමිණ සමන් දෙවි රුවක් සමීප ගල්ගුහාවක ඇති බවත් එය රැගෙන ගොස් අරමේ තබා ගන්නා ලෙසත් දැන්වූ පසු ඒ හිමි පසුදින පහන්වූ විගස ඒ ලෙන නැරඹු විට පෙරකී සමන් දෙවි රුව දුටු බවත් සඳහන් වේ එම සීලවංශ තෙරිඳුන් විසින් මහා පෙරහරකින් එම සමන් දේව රුව සිරිපා මළුවේ සිට
- කිනිදම
- දික්ලෙන
- සීතගඟුල
- මාරගල්පොත්ත
- දියබෙද්ම
- නීලියහෙළ
- දොඩම්බැවිල
- පලාබද්දල
- බටපොල
- ගිලීමලය
- මල්වල
- රත්මලඇල්ල
- ගොඩිගමුව
- රත්නපුරය
- ගල්කඩුව
- සපරගොමුව
- සපරගොමු වෙහෙර
යන පිළිවෙලින් සමන් දෙව් රුව රැගත් පෙරහැර සපරගමු වෙහෙර දක්වා පැමිණි ආකාරය පෙරකී සමන් සිරිතේ දැක්වේ. සපරගොමු ගමේ විහාරස්ථානය පිහිටා තිබිණු නිසා සපරගොමු වෙහෙර කියා ප්‍රකටව ඇත මහා පැරකුම්බා රජුගේ කතිකාවත් සංඝ සම්මේලනයටත් සපරගොමු වෙහෙර වැසි භික්ෂුන් වහන්සේ සම්බන්ධ වී ඇත සපරගොමු වෙහෙරට සමන් දෙවිරුව වැඩම කරවීමෙන් පසු එය සමන් වෙහෙර වූ බව පෙනේ දඹදෙණී යුගයේ දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව නම් නම් ඇමතිවරයා මැණික් ගැරීමට සබරගමුවට ගිය බවත් තමන්ට වටිනා මැණිකක් ලබා දුන්නොත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ සදහන්ය
සුරිදුනි සිරි බර
අප මිණි කම් කරන වර
ලදුවොත් මිනි පවර
ගෙයක් කරවමි තුන් මහල් කර
මෙම සමන් දෙවොල වඩාත් සංවර්ධනය වී ඇත්තේ කෝට්ටේ කාලයේ විසු vi වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදීය එම රජු විසින් පිහිටුවා ඇති ශිලා ලේඛනයේ සඳහන් ව ඇත මෙම ආකාරයට ඉදිවූ සමන් දෙවොල කෝට්ටේ රාජ්‍ය සමයේදී මහත් දියුණුවක් ලැබූ බව සඳහන්වේ මෙම දේවාලය සඳහා ගම්වර ලෙස
- සපරගොමුව
- වෙරළුපේ
- රත්නපුරේ
- තලාවිටිය
- මිල්ලවිටිය
- අමුවල
- බොළුතුඹය
- කොලොම්බුගම
- පැබොටුව
- හංගමුව
- ලෙල්ලෝපිටිය
- බෝපැත්ත
- මානියම්ගම
- උග්ගල්බඩ
- දැරණියගල
- කෙහෙල්බටුවාව
- හේනේගම
- නාකන්දල
- කොලවෙනිගම
- කලමැටියාව
- කොටහැර
- දිඹුල්වල
- දෙහිපාවල
- මොරහැල
- එරත්න
- හල්පේ
යන ගම 26 දේවාලයට හා විහාරයට පිදු බව සඳහන්වේ දේවාලයේ බණ පිරිත් සඳහා පැමිණෙන භික්ෂුන් වහන්සේ තුන් නම සඳහා සිවුපසය සැපයීමට මෙනේරිපිටිය ,උඩුවාතන,හා ගැටන්ගම,යන තුන් ගම් තුනුරුවන් සඳහා පුදා එම ආගමික නායකත්වය සඳහා පැපිලියාන විහාරයේ ගලතුරුමුල මේධංකර තෙරපාණන්ගේ ශිෂ්‍ය මංගල තෙරණුවන්ට පිරිවෙන් නායකත්වය පැවරු බව සඳහන් වේ මේවන විට සමන් වෙහෙර පිරිවෙනක්ද වී තිබු බව මේ ශිලා ලේඛනයෙන් පැහැදිලිවේ එය සත්‍ය බව අලගියවන්න මුකවෙටිතුමාගේ සැවුල් සංදේශයේ කවි වලින් මනාව ප්‍රකට වේ
සීතාවක සමයේ විසු අලගියවන්න කිවිඳුන් සිය සැවුල් සංදේශය යවා ඇත්තේ පළමුවන රාජසිංහ රජුට ජයපතාය එකල රාජසිංහ රජු හා පෘතුගීසින් අතර දැඩි ලෙස සටන් පැවතී ඇති අතර මේ නිසා සටනින් ජයපතා රජු සමන් දෙවියන්ට භාරයක් වී තිබේ එය සපල වූ නිසා රජු තුල සමන් දෙවිඳු කෙරෙහි ඇතිවූ භක්තිය නිසාවෙන් සමන් දෙවොල සංවර්ධනය සඳහා මහත් අනුග්‍රහයක් දක්වා ඇත එවකට දෙල්ගමුව විහාරයේ සඟවා තිබු දළදා වහන්සේ සමන් දෙවොලට වැඩමවා පෙරහැර පැවැත්වීමට ක්‍රියාකර ඇත නින්දගම් 28 ක් පිදවිලි ගම් 360 ක් ගම්වර ලෙස පුදා ඇත මේ සියලු ගම්වල ඉඩම් භූක්ති විඳින අයට සමන් දෙවොලේ කිනම් හෝ රාජකාරියක් නියමිතව ඇත 1 වන රාජසිංහ රජුගේ හදිසි අභාවය සමන් දෙවොලේ පරිහානියට හේතු විය පෘතුගීසින් සපරගොමුව යටත් කර සමන් වෙහෙරත් දෙවොලත් සම්පුර්ණයෙන් වනසා දමා ඒ භුමියේ සැන්සැල්වදෝර් නම් පල්ලියත් පාලන ගොඩනැගිල්ලත් හමුදා ඒකකයත් පිහිටුවීම නිසා මේ පරිහානිය සිදු විය සමන් දෙවෝලේ පැවති දේවාභරණ ආදිය එවකට සිටි කපුරාලලා විසින් රහසිගත ස්ථානවලට ගෙනගොස් තැන්පත් කල බව සිරිත් පොතේ සඳහන්වේ පෘතුගීසින් සපරගොමුව පාලනය කරන කාල පරිච්චේදයේ ඉඩම්ගොඩ මලසුන් ගෙයක දේවාභරණ තැන්පත් කර පුදපුජා කළබවද සිරිත් පොතේ සදහන්වේ පෘතුගීසින් විසින් සමන් විහාරයේ හා දෙවොලේ කොටස් සමීපයේ ඇති කළු ගඟට වීසි කර ඇති බව පෙනේ ගඟදිය බැසගිය නියං කාලවල ගඟපතුලේ ඇති එම නටබුන් පෙනෙන බව දුටු අය පවසති ගඟට බසින පඩිපෙළවල් සඳහා කඩා බිඳ දැමු ගල් පුවරු සවිකර ඇති බව අද වුවද පෙනෙන්නට ඇත පෘතුගීසි අභිලේඛනයක් සහිත නාම පුවරුව පෘතුගීසින් සිහිගන්වන සංකේතයකි පෘතුගීසි විලොපනයෙන් පසුව සපරගොමුව යලිත් 2 රාජසිංහ රජු විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව සමන් දෙවොල යලිත් ගොඩ නැගිය
අද පවත්නා සමන් දේවාල සංකීර්ණය 2 රාජසිංහ රජුගේ නිර්මාණයකි මෙහිදී සමන් දෙවොල පිළිබඳව සැබෑ තතු සොයාගැනීම දුෂ්කර කරුණක් වන්නේ 1 වන හා 2වන රාජසිංහ රජවරුන් කල සේවාවන් පැටලී ඇති බැවිනි 2 රාජසිංහ රජු කල අභිනව ඉදිකිරීම් වල දී ඒ වනවිට පෘතුගීසින් විසින් කඩා බිඳ දමන ලද වෙහෙර විහාර ඒ ආකාරයෙන්ම ගොඩනගන්නේ නැතිව පෘතුගීසි පල්ලිය තිබු තැන සමන් දේවාල ගොඩනැගිල්ල ඉදි කරවා එයට ප්‍රධාන තැන හිමිකර උතුරු පසින් කුඩා බුදුමැදුරක් තනා ඇත පෘතුගීසි විලොපනයේ ප්‍රධාන ප්‍රතිපලය ලෙස සැලකිය හැක්කේ එතෙක් ප්‍රමුකස්ථානය ගෙන තිබුණු බෞද්ධ විහාරස්ථානය ද්වීතිය ස්ථානයට පත් වීමයි සමන් වෙහෙර සමන් දෙවොල බවට පරිවර්තනය විය
සමන් දේවාල සංකීර්ණයේ ගෘහ නිර්මාණය
අභිනවයෙන් ගෘහ නිර්මාණයක් කිරීමේදී ඒ සඳහා යොදාගන්න ගෙබිම දිර්ඝකාලින අවශ්‍යතාවන් දෙස බලා ඉදිරියේදී අතුරු ඉදිකිරීම් නොකිරීමටත් මුලික අවශ්‍යතාවයන් ඉටු වන පරිදි කලාත්මකවත් වාස්තු විද්‍යාවට ගැලපෙන ආකාරයෙනුත් සැලසුම් කලයුතුය සමන් දෙවොල පිහිටි ගෙබිම ශතවර්ෂ ගණනාවක් සපරගොමු වෙහෙර පිහිටි ස්ථානයයි එහි පෙර පවතී ගොඩනැගිල්ල සියල්ල පෘතුගීසින් විසින් වනසා ඔවුන්ගේ ගොඩනැගිලි ඉදිකර තිබු බැවින් ඒවා ඉවත්කර අභිනවයෙන් සමන් දෙවොල ඉදිකිරීමේදී 2 රාජසිංහ රජුට පුදබිමකට අවශ්‍ය චිත්තාකර්ශනිය සැලැස්මක ක්‍රියාත්මක කිරීමට අවස්ථා ලැබී ඇත
- මාලිගාව -:මහල් 3කින් යුක්තය ප්‍රධාන ගොඩනැගිල්ලයි බිම්මහල සඳුන් කූනම නම් වේ මෙහි දෙවොල් පුද සිරිත් සඳහා වූ භාණ්ඩ තැන්පත් කර ඇත දෙවැනි මහල අගනා වස්තු තැන්පත් කරන ගබඩාවයි තෙවැනි මහලේ සමන් හා විෂ්ණු දේවරුප තැන්පත් කිරීමට වෙන කර ඇත තෙවැනි මහලේ දල්වන පහන ,සිංහාසන මණ්ඩපයේ දල්වන පහනේ එලිය සමග එක්වේ
- දික්ගෙය-:මාලිගාවට යාබදව අඩි 60ක් පමණ දික්වූ ශාලා ගොඩනැගිලි මෙනමින් හැඳින්වේ මැද අඩි 14ක් පමණ පළලින් කණු දේපේලියකි ඒ වටා අඩි 4 1/2 ක පටු තීරයක් ඇත දෙපස බිත්ති වල ඇඳ තිබුණු චිත්‍ර පසුකල සුනුපිරියම් කිරීමෙන් වැසි ගොස් ඇත දෙවොලට නිතර බැතිපුද සදහා පැමිණෙන බැතිමතුන් පුජා වෙලාව තෙක් රැදී සිටින්නේ මෙහිය
- 1 වන මකර තොරණ -: සඳුන් කූනමට පිවිසෙන දොරටුව ඉදිරියෙන් දික්ගෙය කෙළවර මෙම මකර තොරණ ඇත 2 මකර තොරණ ඇත්තේ දික්ගෙයට පිවිසෙන දොරටුව ඉදිරිපසය මෙම තොරණ දෙකේම කලාත්මක බව සුණුපිරියමින් වැසි තිබේ
- ශාන්ති මණ්ඩපය -:සමන් දෙවොලේ පිවිසුම් පියගැට පෙළ අවසානයේ පිහිටා ඇත්තේ ශාන්ති මණ්ඩපයයි මෙම ශාන්ති මණ්ඩපයේ ඉදිරිපස උළුවස්ස දෙපස ඇතුළු පැත්තේ උතුරු පසට සිව වටුක රූපයත් දකුණු පසට මාලි රූපයත් ඇඳ තිබුනත් ඒවා මැකී යමින් පවතී
- ඉදිරිපස උළුවස්ස -:කලාත්මක කැටයම් සහිත ගල් උළුවස්සකි දෙපස කණු දෙකට නොගැලපෙන හරස් මුදුන් පුවරුවකින් යුක්තය පෞරාණිකමය අගයෙන් යුක්ත වේ මෙය පැරණි සමන් විහාරයේ නටබුන් කොටසක් වශයෙන් සැලකේ මෙය පෘතුගීසින් විසින් මළුවේ වලලා තිබී හමුව අභිනව ඉදිකිරීමේදී සවිකළ බව සිරිත් පොතේ ඇත
- දළඳා ගෙය -:සමන් දෙවොලට උතුරින් පිහිටා ඇත චතුරස්‍රාකාර ව වටා ආලින්දයක් හා මැද ප්‍රතිමාලයක් සහිතව ඉදිකර තිබේ ඇතුලත නුවර යුගයේ ප්‍රතිමාවක් හා එම යුගයටම අයත් අසු මහා ශ්‍රාවක රූපවලින් බිත්තිය පින්තාරු කර ඇත ඉදිරිපස දොරේ කලාත්මක නාරිලතා සිත්තමක් ඇඳ ඇත
- පත්තිනි දේවාලය -:දෙවොලට දකුණු පසින් පත්තිනි දේවාලය ඇත එය ද දළඳා ගෙයට සමාන ව වටා ආලින්දයක් සහිතව ඉදිකරවන ලද්දකි ඇතුලත පත්තිනි දේවාභරණ තැන්පත් කර ඇත
- ලිඳ-:සමන් දෙවොලට සමීපව උතුරු දෙසින් අති පුරාණයේ සිට පැවත ගෙන ආවකියි සැලකිය හැකි ගැඹුරු ලිඳක් ඇත මේ ලිඳ වටා පෘතුගීසි ගෘහ නිර්මාණ කලාව අනුව තනා ඇති ගෘහයක් ඇත
- තේවා නිවාස-:දෙවොලට හා ළිඳට උතුරු පසින් තේවා නිවාස පේලිය පිහිටා තිබේ මේ කාමර සංකීර්ණයට කපු හා බත්වඩන නිල්දරුවන්ගේ කාමරත් මුරුතැන් පිසින ගෙයත් ගබඩා කාමරයත් අයත්වේ මුරුතැන් කඳ රැගෙන දේවාලය වෙත පැමිණෙන්නේ මෙම සංකීර්ණයේ පිහිටි මුරුතැන් ගෙයි සිටය
- ආනාමේස්ත්‍රය-:පුරාණ විහාර දේවාලය වටා ප්‍රාකාරයක වුවමනාවත් පහන් ගෙයක ප්‍රයෝජනයත් තකා ඉදි කල කලාත්මක ආවරණයක් ආනමෙස්ත්‍රයෙන් බලාපොරොත්තු වුවා විය හැක මෙහි වැසි දිනක පහන් දැල්වීමට අවශ්‍ය තුන්හුලස් කපොළු ඇත අවට බැලීමට පහසු වන පරිදි අඩි 3 1/2 කට පමණ ඉහළින් බීරළුද යොදා තිබේ පුරාණයේ සෙවිලි කර ඇත්තේ සිංහල උළුය සමහර විට පෙති උළු සෙවිලි කළා ද විය හැක වෙනත් සියලු ගොඩනැගිලි වල පෙති උළු සවිකර තිබේ
- ඉදිරිපස ආලින්දය -:ඉදිරිපස උළුවස්සට ඉහලින් හා දෙපසින් උත්සව අවස්ථාවලදී සම්භාවනීය අමුත්තන්ට මහා මළුව දෙස නෙත් යොමු කිරීම සඳහා යයි සිතිය හැකි පටු ආලින්දයක් ඇත
- පත්තිරිප්පුව -:ඉදිරිපස පියගැට පෙළට දකුණු පසින් පත්තිරිප්පුව තනා ඇත දළඳා කරඩුව ඇතා පිට තැන්පත් කරන්නේ මේ පත්තිරිප්පුව මත දිය
- දෙපස වේදිකා -:මහ මළුවට මුහුණලා පියගැට පෙළ දෙපස අමුත්තන්ට පෙරහැර නැරඹීම සඳහා ඉදි කරවා ඇති වේදිකා දෙකක් ඇත උතුරුපස වේදිකාවට පහතින් පියගැට පෙළට ආසන්නව පෘතුගීසි හේවායා සහිත සුප්‍රකට ලාංචනය පිහිටුවා ඇත
- රථ ගෙය -:උතුරු පස වේදිකාව හා මහ මළුව අවසානයේ පෙරහරේ දෙවියන් වැඩම වීම සඳහා තනා ඇති රථය තැන්පත් කිරීමට තනා ඇති රථ ගෙය ඇත
- මඩම් දෙක-:මහ මළුවට මුහුණ ලා උතුරු දකුණු දෙපස අඩි 20x20 ප්‍රමාණයේ වේදිකා දෙකක් ඇත උත්සව අවස්ථාවලදී මඩම් නමින් දැක්වෙන මෙම වේදිකාවල දී නැටුම් සංදර්ශන පැවැත්වේ
- වාහල් කඩ-:මහ මළුවට පිවිසෙන ස්ථානයේ නැත්නම් සංහිදේ වීදිය හෙවත් හුණුවල වීදිය අවසන් වන ප්‍රධාන දොරටුව පළමු වාහල් කඩයි අඩි 20 ක් පමණ උසින් හා පළලින් යුත් මෙම වාහල් කඩ උළු සෙවිලි කල එකකි මහ මළුවේ සිට පෙරහැර වීදි බසින කළුගඟ පසට යොමුවී ඇත්තේ ඇසල පෙරහැර සඳහා වූ වාහල්කඩයි මෙයද ප්‍රධාන වාහල්කඩට සමාන වුවකි
- සඳගල -:පියගැට පෙළ පාමුල සඳගල පිහිටා ඇත සම්පුර්ණ හඳක ස්වරූපය පෙන්වා දෙන මෙම සඳගල සාම්ප්‍රදායික සඳකඩ පහනට වෙනස් වුවකි මරණ වැනි කිළිවයට හසුවුවන් සඳගලෙන් ඔබ්බට පියනැගිමේ සිරිතක් නැත සමන් දෙවොලේ සඳගල අරුත්සුන් නිකම්ම ගලක් නොව ශුද්ධ භුමියට ඇතුළු වන තැන පිහිටුවා ඇති මුරගලක් වැනි මායිම සංකේතයයි
- දෙබෙද්මේ ගල් කණු -:සඳගල හා පියගැට පෙළත් ඉදිරි වාහල්කඩත් අතර ඇති මැද බිම කොටස හැර දෙපස මඩම් දක්වා විහිදී ඇති මහ මළුව බෙද්ම දෙකකට බෙදී ඇත දකුණුපස එගොඩ බෙද්මටත් උතුරු පස මෙගොඩ බෙද්මටත් වෙන වී ඇත ඇසල උත්සව කාලවකවානුවේ අලි ඇතුන් සහිත රාජකාරිකාරයන්ට රැඳී සිටීමට මෙම බෙද්ම වෙන් කර තිබේ ගල් කණුවලින් මායිම වෙන් කර ඇත
- මහ මළුව -:නැටුම් රඟ දැක්වෙන්නේත් ඇසල පෙරහැරේ අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම පෙරහැර පිටත් වෙනතුරු රැඳී සිටින්නේත් මහ මළුවේය කොතරම් විශාල පිරිසක් පැමිණියත් මහ මළුව නොපිරෙන බව සමහරු විශ්වාස කරති
- බස්නායක නිල නිවාසය -:පිට කට්ටලේ රාජකාරිකරන්නන් සඳහා නිල කුටි ඇත්තේ ප්‍රධාන වාහල්කඩින් පිටත දේවාල උද්‍යානයේ තුලය බස්නායක නිල නිවාසය උතුරු පසින් පිහිටා ඇත අතර දකුණු පසින් ආරක්ෂක නිලධාරීන්ට හා පිට කට්ටලේ වෙනත් රාජකාරීන් සඳහා නිවාස වෙන් කර තිබේ
- නැරඹීම් ශාලාව -:බස්නායක නිල නිවාසයට ඉදිරිපසින් හුණුවල විදියට යාබදව මහ පෙරහැර ගෙවැදීමට එන ප්‍රභූන් සඳහා නිරීක්ෂණ කුටියක් වශයෙන් මෙම කුඩා ශාලාව තනා ඇත
- බස්නායක නිලමේගේ විවේක ස්ථානය -: සිංහාසන මණ්ඩපයට ඉදිරියෙන් හුනුවල විදියට යාබදව උතුරු පසින් මෙම විවේක ස්ථානය ඉදිකර ඇත විදි බැස්ස දේවාභරණ සිංහාසන මණ්ඩපයේ තැන්පත් කරන කාල පරාසය තුල බස්නායක නිලමේ විවේක ගැනීම සඳහා සකස් කල ස්ථානයේ නතර වී සිටිය යුතු වේ
- රික්තා ගෙය නම් වූ සිංහාසන මණ්ඩපය -:දේවාලයෙන් එලියට වැඩමවූ දේවාභරණ පෙරහැර ගෙවැදීමට නියමිත නැකත් වෙලාව සමීප වන තුරු බාහිර ස්ථානනයක තැන්පත් කල යුතු බැවින් ඒ සඳහා සිංහාසන මණ්ඩපය ප්‍රෝයෝජනයට ගැනේ
- සතර වීදි-:කුඹල් වීදිය උඩු වීදිය කුරුවිට ගම්පහේ වීදිය සංහිදේ හෙවත් හුණුවල වීදිය යයි වීදි 4කි විදියෙන් වීදියට පෙරහැරේ දවුල් නාද රටාව ද වෙනස් කරනු ලැබේ පෙරහැර කුඹල් විදියෙන් අරඹා සංහිදේ විදියෙන් අවසන් කෙරේ
- පිට වීදිය -:පෙර දැක්වූ වීදි 4ට අමතරව මේවාට පිටු පසින් පිට වීදිය නම් වූ වීදියක් තිබිය යුතු වුවත් අද එම පිට වීදිය භාවිතා නොකෙරේ මෙහි ගමන් කර ඇත්තේ මහ පෙරහරට ආරක්ෂාව සපයන නිලධාරීන් පිරිසකි
නිලධාරීන්
සමන් දෙවොලේ නිලධාරීන් දෙවර්ගයක් ඇත එක් වර්ගයක් හඳුන්වන්නේ කට්ටල යන නමිනි ඇතුල් කට්ටලේ යයි හඳුන්වන්නේ දේවාලේ ඇතුලත සම්බන්ඳව දෙවියන්ට තේවාවන් කරන්නන්ය පිට කට්ටලේ ලෙස සැලකෙන්නේ දේවාලය පවත්වාගෙන යාමට බැදී සිටින පිරිසය දෙවියන්ට පුද පුජා පවත්වන පිරිස වේ රට පාලනය කරන රජු වෙනුවෙන් දේවාලයේ පරිපාලන කටයුතු සඳහා පත් කල තැනැත්තා රාජ විධානයේ බසේ නායකයා බස්නායක නමින් හැඳින්වේ සමන් දෙවොල මුලින්ම ඉදිකරව එහි පරිපාලනයට ආර්යකාමදේව දේව ඇමතිවරයා පත් කරන ලද්දේ 2 පරාක්‍රමබාහු රජුය පසුව ආර්යකාමදේව දේව පරපුරේ අය දිගටම උරුමයක් ලෙස සමන් දෙවොලේ පරිපාලන කටයුතුකර ඇත කෝට්ටේ රජ කල 6 පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවන ලද සමන් දේවල තල් සන්නසේ රථ නායක බස්නායක රත්නායක මුදන්නායක යන ප්‍රධාන තනතුරු පිහිටවන ලද බවත් නීලප්පෙරුමාලුන්ට බස්නායකකමත් මයිලප්පෙරුමාලුන්ට මුකවේට්ටි කමත් පැවරු බව සඳහන් වේ නීලප්පෙරුමාල් හා මයිලප්පෙරුමාල් දෙදෙනාම ආර්යකාමදේව පරපුරට අයත් බව සමන් සිරෝපාදය කියයි .සැවුල් සංදේශයේ එන පරිදි සීතාවක රාජ්‍ය කාලය වන විට දේවාලයේ බස්නායක තනතුර දර ඇත්තේ පෙර කි ආර්යකාමදේව පරපුරේ නානම්බි කුරුප්පු නමැත්තෙකි අනතුරුව මෙම කුරුප්පු පරපුර එක්නැලිගොඩ මහ බස්නායක නිලමේ දක්වා පැතිරී තිබේ ඉන්පසුව කුරුප්පු පරපුරෙන් පැමිණි බස්නායක පදවිය එම එක්නැලිගොඩ අක්කරක් කුරුප්පු පරපුර හා නෑකම් ඇති කරගත් සපරගොමුවේ වෙනත් රදල පරම්පරාවට ද ලැබී ඇත
බස්නායක නිලමේවරුන්
- එක්නැලිගොඩ මහා බස්නායක නිලමේ
- එක්නැලිගොඩ බස්නායක නිලමේ
- දොළොස්වල බස්නායක නිලමේ
- පස්සරමුල්ල බස්නායක නිලමේ
- දොළොස්වල බස්නායක නිලමේ
- ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ
- එබෙතොට බස්නායක නිලමේ
- එක්නැලිගොඩ බස්නායක නිලමේ 1800 (මොහු රාජ උදහසට ලක් වී දිවිනසාගෙන ඇත)
- ඇලපාත බස්නායක නිලමේ
- මාකඳුරේ බස්නායක නිලමේ
- වාරිගම බස්නායක නිලමේ
- දොළොස්වල බස්නායක නිලමේ
- මහවලතැන්න බස්නායක නිලමේ
- එක්නැලිගොඩ බස්නායක නිලමේ 1818-1823
- එක්නැලිගොඩ බස්නායක නිලමේ 1823-1824
- දෙල්ගොඩ බස්නායක නිලමේ 1824-1829
- එක්නැලිගොඩ බස්නායක නිලමේ 1829-1839
- ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ 1839-1846
- ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ1846-1888
- එක්නැලිගොඩ බස්නායක නිලමේ 1888-1913
- ඇලපාත බස්නායක නිලමේ 1913-1923(රටේ මහත්මයා )
- ගුණසේකර බස්නායක නිලමේ 1923-1944
- එල්ලාවල බස්නායක නිලමේ 1944-1947
- හැරල්ඩ් වේරගම බස්නායක නිලමේ 1958-1968
- උපාලි කටුගහ ඇලපාත බස්නායක නිලමේ 1971-1981
- ඇන්ටන්තෙන්නකෝන් බස්නායක නිලමේ 1981-1999
- නිලංග ප්‍රදීප් දෑල බණ්ඩාර බස්නායක නිලමේ 1999සිට මේ දක්වා
සීතාවක 1 වන රාජසිංහ රජුගේ කාලයේ පටන් සමන් දෙවොලේ පරිපාලන කටයුතු බස්නායක නිලය යටතේ පැවැත්වේ මහනුවර යුගයේ පරිපාලන කටයුතු සඳහා රටනායකපදවිය පත් කෙරී ඇති අතර රටනායක යටතේ බස්නායක කටයුතු කර ඇත බස්නායක පදවිය ලගට වැදගත්වන්නේ දේවාලය සතු සියලු වටිනාකම් ආරක්ෂා කරන රත්නායක නිලයයි මුදන්නායක පදවියට පැවරී ඇත්තේ දේවාලේ අරමුදලේ භාරකාරත්වයි වන්නකු යනු ලේකම් පදවියයි මෙම පදවිය සඳහා මුකවේට්ටි නමින්ද හදුන්වා ඇත වර්තමානයේ බස්නායක පදවිය ළඟට පිට කට්ටලයේ වගකිවයුතු ප්‍රධාන නිලය වන්නේ ලේකම් පදවිය වේ ඇතුල් කට්ටලය කපු ,බත්තන,පැන් වඩන ,පලිහන ,කුඩ,චාමර ,උඩුවියන් හා ලංස යන නිලවලට බෙදී ඇත ප්‍රධාන නිලය කපු නිලය වේ සියලු පුද පුජා දෙවියන්ට කැපකරන්නේ කපු පදවියයි ඉහත සඳහන් ඇතුළු කට්ටලය සියලුම නිල සදහා බෙද්ම දෙකට නිල දෙක බැගින් යෙදී ඇත ශ්‍රී නාරායන විජය නාරායන කපු පරම්පරා දෙකෙන් ක්‍රියාත්මක වන්නේ විජය නාරායන කපු පරපුර පමණි
තේවාවන් (සේවාවන්)
ඇතුළු කට්ටලය නිලධාරින්ට දේවාලයේ අභ්‍යන්තරයේ ඇති තේවාවන් පැවැත්වීම පැවරී ඇත දේවාලයේ නිත්‍ය සේවාව කරන ඇතුළු කට්ටලේ රාජකාරින්කරන්නන්ට දිනපතා කල යුතු තේවාවන් ඇත
1 හිල්ම තේවාව
2 දහවල් මහා තේවාව
3 හැන්දෑ මහ තේවාව
මේවා දිනපතා කල යුතු වේ මෙයට අමතරව අලි අඳුර තේවාව හා බොලපැන් තේවාව යයි අතිරේක තේවා දෙකක්ද දිනපතා කල යුතුව ඇත දළු මුර තේවාව නමින් නිය අල ,එනසාල් ,බුලත් පුවක් හා හුණු යන ද්‍රවය ඇතුලත් විශේෂ තේවාවක් ද ඇත මෙයට අමතරව නානු මුර මංගල්‍යය නම තේවාවක් ඇත එය දෙවියන් ස්නානය කරවීම සඳහා සිදු කරනු ලබන්නකි අලුත් සහල් මංගල්ල දෙකක් ද බෙද්ම දෙකෙන් පැවැත්වේ මෙයට අමතරව මසක් පාසා පෑලවියෙන් පෑලවියට පැවැත්විය යුතු වස් ශාන්තිය නම් වූ චාරිත්‍රයක් පෙර පැවතුනත් අභාවයට ගොස්ය වාර්ෂික වශයෙන් පැවැත්විය යුතු කාර්ති උත්සව 4ක් ඇත ඒවා
1 දුරුතු මහ කාර්තිය
2 අලුත් අවුරුදු කාර්තිය
3 ඇසල මහ කාර්තිය
4 ඉල්මහ කාර්තිය
ලෙස දැක් වේ දුරුතු මහ කාර්තියට අලුත් සහල් මංගල්‍යයත් කරල් පෙරහැරත් සම්බන්ධය මේ කාර්තිය මුල් කරගෙන කුඹල් පෙරහැරට සමාන සමාන පෙරහැර 5ක් පැවැත්වේ අලුත් අවුරුදු කාර්තිය සඳහා අප්‍රේල් මස 12 නිමා වන පරිදි කුඹල් පෙරහැරට සමාන පෙරහැර 5 පැවැත්වේ ඇසල මහා කාර්තිය වශයෙන් සලකන්නේ දේවාලයේ ප්‍රධානම මංගල්‍ය ය වූ ඇසල මහ පෙරහැර පැවැත්වීමයි ඉල්මහ කාර්තියේ දී ද පෙර පරිදි කුඹල් පෙරහැරට සමාන පෙරහැර 5 පැවැත්වේ
ඇසල මහ පෙරහැර
සමන් දෙවොලේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය ඇසල මහ පෙරහරයි මෙය දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පමණි පළමු රාජසිංහ රජු සමන් දෙවොලේ 11 වතාවක් දළඳා පෙරහැර පවත්වා ඇත සමන් දෙවොලේ පැවැත්වූ දළඳා පෙරහැර සඳහාම ප්‍රබන්ධ කර ඇති දළඳා පුජා කවි එහි පවතී අසිරිය මැනවින් කියාපායි සමන් දෙවොලේ පෙරහැර කප් සිටුවීමෙන් සිටුවීමෙන් ආරම්භ කරන අතර දියකැපිමෙන් එය අවසානවේ කප් සිටුවන අවස්ථාවේ වන විට ඇසල පෙරහැර හා සම්බන්ද සියලු විධි විධාන සංවිධානය කර තිබිය යුතුය මෙහි මූලිකයා බස්නායක නිලමේය නකත්කරුවන් ලවා සියලුම නැකත් වේලාවන් සකසා ගෙන මොහොට්ටාල වරුන් පේලි විදානේ හා තන්ඩල් රාල යන අය කැදවා පෙරහැර ගැන ගෙන ඇති මුලික තීරණ දැන්විය යුතුය අනතුරුව මොහොට්ටාලවරුන් විසින් දෙබෙද්මේ රජකාරිකරුවන් කැඳවා ඉදිරි කටයුතු සංවිධානය කරනු ලැබේ
කප් සිටුවනදාට පෙරදා සර්ව රාත්‍රික පිරිත් දේශනා කරනු ලබයි පසුදින මහා සංඝගත දක්ෂිනාවක් පිරිනමා සමන් දෙවිදුන්ට පින් අනුමෝදන් කර ඊළඟ දිනයේ අලුයම කප් සිටුවීම අරඹයි කප සිටුවනදා ශුබ මොහොතින් කප් පෙරහැර දේවාලයට පිවිස කප් සිටුවන ලිං ගෙය ඇතුලත කප සිටුවීමට පෙර කුඹලා පුන් කලස් දෙකක් ගෙනවිත් දේවාලය ඉදිරිපස දොරටුවේ දෙපස තබා කපු මහතාට නොපෙනෙන්නට යයි කප් සිටු වූ දා සිට දින 5 ක් කුඹල් පෙරහැර පැවැත්වේ දේවාභරණ 1පමණක් මෙම පෙරහරේ වැඩම කරනු ලබයි පෙරහැර අවසන් වූ පසු ඊළඟ දින 5 දෙවේලේ (උදේ සවස ) පෙරහැර හෙවත් වීදි පෙරහැර පවත්වයි මෙම පෙරහරේ ආබරණ 2 පමණක් අලියා පිට වැඩම කරවයි සිංහාසන මණ්ඩපයට ද මෙම පෙරහැර පිවිසෙයි අනතුරුව ඇරඹෙන්නේ මහ පෙරහරයි මෙයද දින 5 පැවැත්වේ මෙහි ඇති විශේෂය වන්නේ දළඳා කරඩුව වෙනුවට ධාතු කරඩුව වඩමවන දළඳා පෙරහැර පෙරටු කරගෙන දේවල පෙරහැර 4 ක් ගමන කරයි මෙම පෙරහරේ ආභරණ 3ක් වැඩම කරවයි ප්‍රථමයෙන් දළඳා පෙරහැර ගමන් කල පසු අනුපිළිවෙලින් පත්තිනි ,බිසෝ දෙවි ,කුමාර දෙවි ,හා සමන් දෙවි පෙරහැර 4 ගමන් කරයි දළඳා පෙරහැර සඳහා දිවයිනේ හැමතැනින්ම නැටුම් කණ්ඩායම සහබාගි කරගන්න අතර සෙසු දේව පෙරහැර සඳහා සම්බන්ධ කරගන්නේ සපරගොමු නැටුම් කණ්ඩායම පමණි
මුලික චාරිත්‍ර
මහා පෙරහැර ඇරඹීමේ මුලික චාරිත්‍ර වනුයේ ශුභ මොහොත ළඟාවන විට බස්නායක නිලමේ නිල ඇඳුම් ඇඳ දළඳා ගෙය අසලට පැමිණීම අනතුරුව පිරිත් නිලේ භාර හිමියන් වැඩම කරවා නියමිත වෙලාවට දළඳා කරඩුව කපු මහතාගේ හිස මත තැබීම අනතුරුව පුද සිරිත් මැදින් පෙරහරින් කපු මහතා පත්තිරිප්පුව කරා පැමිණ ඒ වන විට පෙරහැරට සුදානම් කර තිබු ඇතා මත රන්සිව් ගෙයි දළඳා කරඩුව තැන්පත් කරයි මේ සමග ම වෙඩිල්ලක් පත්තු කරනු ලබයි පිරිත් නිලය භාර හිමි පිරිස පන්සිල්හි පිහිටුවනු ලබයි ඉන් පසු පෙරහැර අරඹන වෙඩිල්ල පත්තු කරයි ඒ සමගම පෙරහැරේ මුලින්ම යන මහ බඹා සිය රංගනය අරඹා වයන පද වලට අනුව පෙරහැරේ ගමන් අරඹයි දළඳා පෙරහැර ඇරඹු පසු බස්නායක නිලමේ දේවාලය වෙත නිල රාජකාරිකරුවන් සමග පැමිණේ ඉන් අනතුරුව සිරිත් විරිත් පවත්වමින් දේව පෙරහැර අරඹයි
1 ආලත්ති ගායනය
2 දුම්තේවේ
3 සක් පිඹීම
4 කොම්බුව
4 දවුල
5 තම්මැට්ටම
6 හොරණෑ
7 කොඩි
8 පන්දම්
9 කුඩය
10 පේලිය
11 කවිය
12 පියවිල්ල
13 හඳුන් කිරිපැන්
14 දෝලිය වැඩමවීම
15 කුමාර දෙවි වැඩමවීම
16 පලිහ දැරීම
17 චාමර සැලිම
18 මුරායුධ දැරීම
19 අව් අතු දැරීම
20 ආලත්ති බෑම
21 මානික්කෙලා
22 මුලාදෑනි
යන කාර්යයන් අයත් වේ මෙසේ චාරිත්‍ර මැද පිටත් වන පෙරහැර කුඹල් විදිය උඩු විදිය කුරුවිට ගම්පහේ විදිය පසු කරමින් රික්තා ගෙය හෙවත් සිංහාසන මණ්ඩපය දක්වා පැමිණේ පසුව පෙරහැර නවත්වා දේවාභරණ රික්තා ගෙයි තැන්පත් කරයි බස්නායක නිලමේ විවේක ගන්නා ස්ථානයට යන අතර පෙරහැරේ නැටුම් කණ්ඩායම රංගනයේ යෙදෙයි මෙම විරාම කාලය අවසන්වූ පසු වෙඩිල්ල පත්තු කල විට පෙරහැර ගමන ඇරඹේ මෙවිට හුණුවල විදිය සංහිදේ විදියේ ගමන් ඇරඹේ මෙයට සංහිදේ විදිය ලෙස හඳුන්වනේ පෙරහැර ගමන අවසාන වන්නේ මෙම විදියේ ගමන් කල පසු නිසා විය හැක පෙරහැර අවසන්වූ පසු පසුදින අළුයම දිය කැපීමේ පෙරහැර ඇරඹේ කොටාඹේ නම් ස්ථානයෙන් කළු ගඟට පිවිසෙන මෙම පෙරහැර ඔරු අඟුල් මගින් ගඟ ඉස්මත්තේ ඇති රතඹල ඇල්ල දක්වා ගමන් කර දිය කැපීමේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කර වර්ෂය පුරාම සඳුන් "පහර දිමට" (සඳුන් තිලක ලෑමට)අවශ්‍ය පැන් කලය රැගෙන ආපසු ගමන අරඹයි මේ අවස්ථාව සඳහාද බස්නායක නිලමේ ඇතුළු අභ්‍යන්තර බාහිර නිල රාජකාරිකරුවන් සහබාගි විය යුතුය
දිය කැපීමේ පෙරහැර අවසාන කළදා කෙරෙන විශේෂ ශාන්ති කර්මය "ගරා යකුමයි" මෙය දෙවියන් වැඩම වූ ඇතාට සෙත් පිණිස කරන්නක් බව පවසති සමන් දේවාලේ මහා පෙරහැර සම්බන්ධ දික්ගෙය නැටුම අද වන විට අභාවයට ගොස් ඇත පෙරහැරේ දින 5 ක් නැටු සුවිශේෂ කාන්තා රංගනයකි "කුට්ටම්" (කණ්ඩායම) 4 ක් ඒවා භාර මානික්ක මහගේ නම්වූ නායිකාව යටතේ රඟ දක්වා දිය කැපු පෙරහැර දා පෙරකී කණ්ඩායම් 4ත් මානික්ක මහගේලා 4 දෙනාත් එක්ව නටා අවසාන කරන බව වාර්තා වල දැක්වේ මෙම නැටුම් සඳහා කවි නිල 4ක් තිබී ඇත එක එක කණ්ඩායමට අයත් කවි නියමිත රාජකාරී කවියන් ගයන විට දවුල් පදය අනුව සින්දු මාත්‍රය නම් වූ සපරගමු නැටුම් තාලයට අනුව මෙම දික්ගෙයි නැටුම නටා ඇති බව දැක්වේ මෙම පෙරහැරේ මුල්ම අංකය වන මහ බඹා කෝලම පිළිබඳව ද විචාරක මත රාශියක් පවතී ඉන් බොහොමයක සඳහන් වී ඇත්තේ පෙරහැර ආදී කතෘ 1 වැනි රාජසිංහ රජු වෙනුවට එම රජුගේම සම්මතය පරිදි මෙම සංකේතය ඉදිරිපත් කරනු ලද බවයිරජු හට පෙරහර සඳහා සහබාගි නොවීමට සිදුවුණ අවස්ථාවන් සඳහා රජුගේ රුව සාදවා පෙරහැරේ ගෙනගිය බව සඳහන්වේ
ජනකවියකු ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය
තම භාරය ඉටුකරනට ඉදි කල දෙවොලට නරනින්දා
සැම වාරයකම උලෙලට ආවා සුමන සුරිඳු වෙත හිත බන්දා
සමහර දිනවල පෙරහැර සඳහා එන්නට නොලැබුන හන්දා
එම අඩුවට එව් රුපෙට ඉන්පසු මහ බඹයා යන නම බැන්දා
තවත් මතයක් වන්නේ මෙය රාවණ රජුගේ සොහොයුරු කුම්භකර්ණගේ රුපය බවයි කුම්භකර්ණ යනු ගොවිතැනින් රට සශ්‍රික කල නායකයකු බවත් රාම සමග සටනේදී රාවණ විසින් සාමකාමී ගොවි රජකු ලෙස කටයුතු කල කුම්භකර්ණ හා ඔහුගේ හමුදාව කැඳවූ බවත් ඔහු යුද්ධය සඳහා යන විට සහෝදර විභීෂණ රාවණට එරෙහිව රාම පිලට එක්වී ඇති බවත් අසා ඔහුගේ සාමකාමී මුහුණ වියරු වැටී ගිය බවත් කියවේ එම අවස්ථාව මෙම මහබඹා රුපයෙන් ඉදිරිපත් කරන බව විශ්වාස කරයි කුම්භකරණ සඳහා මහබා නමින් තවත් නමක් පටබැඳි තිබු බව සදහන්ය