#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

෴෴වීරමුණ්ඩ දෙවියෝ෴෴

4 comments

උඩරට ප්‍රදේශ කිහිපයක ඇදහීමට ලක්වන මේ වීරමුන්ඩ දෙවියන් වෙනුවෙන් පහත රට ප්‍රදේශයේ ඉදිකර ඇත්තේ දේවාල දෙකක් පමණි පැරණි ජනශ්‍රැති වලට අනුව මේ වීරමුන්ඩ දෙවියෝ ඉන්දියාවේ මලල රජුගේ පුත් කුමාරවරුන් තිදෙනාගෙන් එක් අයෙකි වැඩිමල් සොයුරා කළු කුමාරය බාල සොයුරා කුමාර බණ්ඩාරය මහත් කාය ශක්තියක් ඇති මේ කුමරුවන් තිදෙනාගෙ කියුම් මුල්කොට මහත් ජන උද්ඝෝෂණයක් පැන නගී ඉන් පිය රජු අසරණ වන අතර රජකමවත් බේරා ගැනීමට නොහැකි වූ විට ඔහු කරනුයේ මේ කුමරුවන් තිදෙනා අත්තික්කා ලීයෙන් තනන ලද යාත්‍රාවක නංවා රටින් පිටුවහල් කිරීමය අනේක විධ බාදක මැද ඒ යාත්‍රාව ලංකාවට පැමිණේ 

විරමුන්ඩ දෙවි උපත පිළිබඳව දේශීය ජනශ්‍රැතියක් ද ඇත මෙය කෝට්ටේ යුගයට අයත් වුවකි කෝට්ටේ යුගයේ උඩුගම්පළ රජ කල සකලකලාවල්ලභ රජුට තම යකඩ දෝලියේ බිසවගෙන් උපන් කුමරකු විය පිය රජුගේ ඇවෑමෙන් තමාට රාජ්‍ය උරුමය නොලැබෙන බව වටහාගත් කුමරු පියරජු මරා රජය පැහැරගැනීම සඳහා උපායක් යෙදිය දිනක් රජුගේ මඟුල් පොකුණේ දිය තුල යවුල් සිටවූ කුමරු පිය රජු දියට පනින විට ඒ උල්වල ඇණි මරණයට පත් වන ආකාරයට කටයුතු සැලැස්විය දිය නෑමට පොකුණට පැමිණි රජතුමා පොකුණු දිය දෙස බලද්දී දිය මත දෙබරකු වසා හිඳිනු දැක රාජ සේවකයන් කැඳවිය පොකුණ පරික්ෂා කල ඔවුන් විසින් සියල්ල හෙළි කරන ලදී සැලැස්ම ව්‍යර්ථවූ බව දැනගත් කුමරු වීරා නම් තම සමීපතම ආරක්ෂකයා සමග සමනළ අඩවියට ගොස් සැඟවුණි එහිදී සිත්තැවුලට පත්වූ කුමරු කුණුදිය පර්වතයෙන් පැන දිවිනසාගනී ඉන් පසුව කුමාරයාට අත්වූ ඉරණම නිසා සිත් තැවුලෙන් වීරා ද දිවි තොර කරගනී පසුව එම කුමරු කළු කුමාරයා ලෙසත් වීරා වීරමුන්ඩ දෙවියන් ලෙසත් දේවත්වයට පත්ව ඇත    

ඔහු විසින් මෙරටදී කරන ලද දස්කම් බොහෝය විල්බාව දේවාල මළුවට පැමිණි යකුන් බැඳ ගැනීම පිණිස ඔහු විසින් තල්ගස් දෙකක් එකට අඹරවා කඹයක් තනාගත් පුවත ඉතා රසවත්ය කෙසේ හෝ පසුව මහසඟරුවන විෂයෙහි දන් පුජා කිරීම් ආදියෙන් වඩාත් තෙදවත් වූ වීරමුණ්ඩ දෙවියෝ අප ජන සමාජයේ පවතින විවිධ උවදුරු නසා ජනතාවට සෙත සැලසීමට ඉදිරිපත් වූ බවට ජන විශ්වාසයක් පවතී

වීරමුණ්ඩ දෙවියන් පිළිබඳව මල්යහන් කවිවලින් සහ යාදිනිවලින් පැවසෙන අන්දමට ඔහු අතිශයින් කඩවසම් තරුණයෙකි එහෙත් උඩරට ප්‍රදේශයේ ජනවිශ්වාසයන්ට අනුව මෙම දෙවියන්ට පුද පුජා පැවැත්විය යුත්තේ ද සීරුමාරුවටය අඩුක්කු පිදීම උඩරට ගැමියන් මේ දෙවිඳුන් සඳහා කරන ප්‍රමුඛතම පිළිවෙතය එහෙත් මෙම අඩුක්කු පිදීම සඳහා කාන්තා පක්‍ෂය කවර ලෙසකින් හෝ සම්බන්ධ වීම සපුරා තහනම්ය පිරිමින් විසින් නියමිත වත්පිළිවෙත් අනුව පුදන ලද අඩුක්කුව පමණක් දෙවිඳුන් පිළිගනී එමෙන්ම වාර්ෂිකව පවත්වාගෙන යා යුතු මේ චාරිත්‍රය එක්වරක් හෝ අතපසු වීම වීරමුන්ඩ දෙවියන්ගේ උදහසට හේතුවක් බව ගැමියන්ගේ විශ්වාසය වේ

විරමුන්ඩ දෙවියන් සෙබල දේවතාවා ලෙසින්ද හඳුන්වනු ලබයි අසිපතක් අතකින් ගෙන රණකාමී විලාසයක් පෙන්නුම් කරමින් සිටී අතීතයේ කඳුරුගම වැව ඉදිකිරීමේදී මතුවූ නොයෙකුත් බාදක හමුවේ වීරමුන්ඩ දෙවියන්ගේ දෙවොල සමීපයේ නිතිපතා එක් පහනක් දැල්වීමෙන් ඒ සියලු බාදක දුරුවූ බව ජනප්‍රවාදයේ සඳහන්වේ එම පහන සංකේතවත් කරන පහන් කණුවක් අද වැව් කණ්ඩිය සමීපයේ ඇත එමෙන්ම වීරමුන්ඩ දෙවියන්ගේ තල්ගස් දෙකකින් කඹයක් ඇඹරීමේ හාස්කම සංකේතවත් කෙරෙන අපුරු වෘක්ෂලතා පිහිටීමක් ද මේ දෙවොල් බිමේ දක්නට ඇත
Read more »

ඇත්තලවත්ත විහාරය

3 comments
මෙම විහාරය 1761 කිර්ති ශ්‍රී රාජසිංහ රජු කල ඉදිකරවන ලද්දකැයි සලකනු ලබයි එම රජතුමාගේ නමින් මෙම ස්ථානයේ ඇත්හලක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ඇතුන් බැඳ ඇති මෙම ප්‍රදේශය එකල ඇත්හලවත්ත නමින් ව්‍යවහාරවන බව ජනප්‍රවාදයේ පවතී එම ඇතුන් නෑවීමට යයි සකස් කල අමුණක් ද දක්නට ඇත පසු කලෙක මෙම භුමිය පුද බිමක් බවට‍ පත් කර සංඝයාගේ ප්‍රයෝජනය සඳහා පුජා කර තිබේ මෙම ස්ථානයේ පැවතී පුරාණ විහාරය දැවවලින් කල නිර්මාණයක් වශයෙන් පැවති අතර එය දිරා යාම නිසා පසු කලක වෙනත් විහාරයක් කරවා ඇත එම දැවපිට විහාරය මාදම්පේ සුමංගල ස්ථවිරයන් වහන්සේගේ සමයේ කඩා වැටී ඇති අතර එහි පැවති බුදු පිළිමය නැවත සකස් කර ඇති විහාරයේ තබා ඇත ඒ අනුව දැනට පවත්නා විහාරය ද පැරණි ගෘහ නිර්මාණ කලාව අනුව සකස් කර ඇති අතර මෑතක් වනතුරු ම එහි වහලට පැතලි උළු සෙවිලි කර තිබීමය තවද මහනුවර යුගයට අයත් චිත්‍ර මුර්තිවලින් දැනට පවත්නා විහාර මන්දිරය ද සකස් කර ඇත එසේම එකල පැවති ගෘහ නිර්මාණ කලාව ද මෙම විහාර මන්දිරය තුලින් දැක ගත හැකිය එසේම එහි බිත්තියක් අඟල් 18 පමණ ඝන වන බව පෙනේ මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තක් නම් මහනුවර යුගයේ දී වැලිවිට සිල්වත් සමාගමේ ගනින්නාන්සේලා මෙහි වැඩ සිටි බවට‍ ජනප්‍රවාදවලින් හෙළිවීමය මෙම විහාරස්ථානය සතු විශේෂ අයිතියක් නම් ශ්‍රී පාදස්ථානයේ නායක පදවියට පත් කිරීම සඳහා ජන්ද බලය ඇති සබරගමුවේ පුරාණ විහාරස්ථාන පහ අතරට ඇත්තලවත්ත රජමහ විහාරය ද ඇතුලත් වීමය  
Read more »

සීතාවක බැරැන්ඩි කෝවිල

1 comments

පැරණි සීතාවක නගරයේ වැදගත්ම ස්ථාන දෙකක් විය එකක් මානියම්ගම පිහිටි රජ විමනයි අනික තල්දුවේ පිහිටි දෙවි විමන හෙවත් භෛරන්ඩි කෝවිලයි මේ උස් බිම් දෙක අතරින් සීතාවක නදිය ගලා බැස්සේ නගරයේ ස්වභාවික සෞන්දර්ය ඔප ගැන්වෙන අයුරෙනි ටිකිරි බණ්ඩාර රාජසිංහ 1581 දී රජ බවට පැමිණ වසර දෙක තුනකට පසුව රජුත් බුදුසසුණත් හමුදාවත් රැක දෙන ලෙස සමන් දෙවියන් අයැදිමින් අලගියවන්න මුකවෙටිතුමා අතින් ලියවුන සැවුල් සංදේශය ඉහත කි දසුන රූපකයට නැඟී ඇත්තේ මෙසේය

සව් සිරි පිරි එපුර වරඟනගේ     මනනද
දෙව් රද විමන තන යුගතුරෙහි ගිලි    සොඳ
එව් නිල වසා රොද ගඟිනෙතර ව  පැහැද
දෙව් විමනත රඟ වහසල තුළට   වැද


අවිස්සාවේල්ල -ගිනිගත්හේන මාර්ගයේ සීතාවක පාලමෙන් එගොඩ වී මිටර් 100 ක් පමණ ගිය විට භෛරන්ඩි කෝවිලේ නටබුන් නැරඹිය හැකිය මෙය සැවුල් සංදේශයේ නම් කොට ඇත්තේ භෛරව කෝවිල වශයෙනි භෛරව යන පදයට ගෞරවාර්ථ අණ්ඩි ප්‍රත්‍යය එක් වීමෙන් භෛරන්ඩි නම සැදුණා විය හැක අයියන්ඩි අක්කණ්ඩි මාමණ්ඩි ආදී වශයෙනි පවුලේ වැදගත් ඥාතීන් හැඳින්වීමට මේ අණ්ඩි ප්‍රත්‍ය යෙදෙයි   සීතාවක රාජසිංහ රජතුමා බැරැන්ඩි කෝවිල ඉදිකර සීතාවක ගඟේ මහා යාග මණ්‌ඩපයක්‌ ඉදිකර භෛරව පූජාවක්‌ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. බහිරව විටෙක ශිව දෙවියන් සමඟ ද විටෙක මහා කාලි සමඟ ද පුද ලබන බිහිසුණු යක්‍ෂයෙකි. ඒ නිසා නර බිලිද ඇතුළුව බිලි පුද තබා ලේ වලින් පූජා ලබන බලවත් යක්‍ෂයකු ලෙසද පිළිගැනේ. පළමු රාජසිංහ රජුගෙන් පසුව ද මහනුවර රජ වූ වඩුග පරපුරේ රජවරු මේ ආකාරයේ බහිරව පූජා පවත්වා ඇත. ඒ සඳහා මහනුවර බහිරව කන්දේ දේවාලයක්‌ ඉදිකර වසර පතා කන්‍යා නර බිලි ද පුද කළ බවට තොරතුරු තිබේ.ජනශ්‍රැතිය සඳහන් වන ආකාරයට සෙල්ලක්‌කාර රජකු වූ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ නොමනා වැඩ නිසා රාජ්‍ය භාණ්‌ඩාගාරය හිස්‌ වූ නිසා පෙර රජ දවස මිහිදන් කළ වටිනා නිධන් වස්‌තු ලබා ගැනීමට මන්ත්‍රකාරයන් ගේ උපදෙස්‌ මත බහිරවයා බැඳ ගැනීමට උත්සාහ දරා ඇත. මෙයින් උරණ වූ දරුණු දේවතාවකු වූ බහිරව මන්ත්‍රකරුවන් මරා බහිරව කන්දට පැන සිංහල රාජ්‍යය නැසේවායි ශාප කළේය. ඒ ශාපය නැති කිරීමට මෙම කන්‍යා බිලිදීම වසර පතා සිදු කර ඇත.භෛරව කෝවිල පිහිටි භුමිය යට‍ කබොක් ගල් තට්ටුවක් ඇති බව පෙනේ කිසිසේත් එය ගොඩ කල භූමියක් නොවේ ඉහත සඳහන් කල සැවුල් සංදේශයේ එන විස්තර අනුව මෙම දෙවොල රාජසිංහ කාලයට පෙර නිර්මාණය කොට පැවති එකක් බව සැක නැත ඒ වන විට කෝවිල අංග සම්පුර්ණ දේව ආයතනයක් හැටියට වර්ධනය වී තිබුණු බව පෙනේ


දිය රම් රවුළු මහ භාරත                            යුදද
මනරම් කඳ පොරණ හර කලදිත්                යුදද
ඇති හිම් කොට ඇඳි සිතුවම් රූ                  නොමඳ
නොවිහිම් සතොස පිරි ලෙන් දැක ගොස්    සබඳ


රාම රාවණා යුද්ධයත් මහා භාරත යුද්ධයත් ස්කන්ධ පුරාණයත් විෂ්ණු කළ අසුර යුද්ධයත් භෛරන්ඩි කෝවිලේ බිත්තිවල ඇඳ තිබු බව සැවුල් සංදේශයේ එන මේ කවෙන් කියැවේ එමෙන්ම රඟහලක් පැවැත්වූ බව පැහැදිලිවේ මෙහි ඇති පාෂාණමය නිමැවුම් කැටයම් ආදිය වසර දෙක තුනකින් නිම කළ හැකි ඒවා ද නොවේ යුධ කටයුතුවල යෙදී සිටිමින් රාජසිංහ රජුටත් ආඬිගුරුටත් මෙබඳු කටයුත්තක නියැලීමට කාලයක් නොතිබුණු බව ද සැලකිය යුතු ය තවද ඉහත කි චිත්‍ර අනුව භෛරව කෝවිල හින්දුන්ගේ ශිව ඇදහිල්ලට නොව වෛශ්නවඇදහිල්ලට සම්බන්ධ වුවක් බව ද පැහැදිලිය තල්දුව ගමත් භෛරන්ඩි කෝවිල බිමත් අද පවා මහනුවර විෂ්ණු දේවාලයට අයත් වේ එමෙන්ම කෝවිල බටහිර දිශාවට මුහුණලා තිබීම ද සැලකිල්ලට ගතයුතුය උපුල්වන් දිව්‍ය රාජයාට මෙහි සබඳකමක් පැවති බව ද කල්පනා කළ හැක මෙය රාජසිංහ රජු විසින් පුද පුජා පැවැත්වීම සඳහා වඩුග බ්‍රාහ්මණවරුන්ට භාරදී තිබෙන්නට ඇත තවද මෙම දෙවොල පිළිබඳව සැවුල් සංදේශයේ එන විස්තර වලින් හරඟන විමන නම් වූ වෙනම ස්ථානයක්ද පැවති බව පෙනේ එම හරඟනගේ තෙද බල සැවුල් අස්නේ මෙසේ දැක්වේ

පවර තුඟු තුල් හිම -ගිරි රජිදහට නද      නවන
බස රුත් ලෙසින් වෙන් නොවෙමින් හැම   දවස
සසදර බරණ වෙත රඳනා නිති                නිදොස

තුන් යමයෙහි ගත් තුන්-වෙසින් තුන් ලොවැ පරසිදු
නම කළ සුර කිරුළු කෙමි රතැඟිලි දලින
සුලකළ සිරි සරණ සිය පතිනි වොරඳන

පියුම් යොන් උවිඳු හරසක්‌ ඈ      පවර
නොහිම් සුරන්හට වර වර දෙන නිතොර
උතුම් ගුණෙන් යුතු හරඟනහට     පවර
ලපෙම් වෙමින් නම කර රැගෙන  අවසර

 

සීතාවක පෙදෙස රාජසිංහ යුගයට පෙර මායාදුනු රට නමින් හැඳින්වී ඇත සිරි විජයබා කුමරු මායාදුනු පුරයට ආ බැවින් මායාදුනු රජ්ජුරුවන් වශයෙන් හැඳින්වුණි මායාදුනු පුරයත් සීතාවකත් එකක් බව ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල සුරීන් ද සිංහල සාහිත්‍ය වංශය ග්‍රන්ථයේ ඉඟි කර ඇත කුරුණෑගල අවධියේදී සිව්වැනි පැරකුම්බා රජු මායාදුනු පුරවරයේ උපුල්වන් දේවාලයක් ඉදිකළ බව වංශ කතාවේ සඳහන් වන්නේ මෙසේය
 

"ඉක්බිති ඒ නරාධිපති තෙමේ මායාදුන්නේ නම් චිත්තාකර්ශනය කරනසුළු වූ රාෂ්ට්‍රයෙහි යහපත් ප්‍රාකාර ද්වාර කෝෂ්ටඇති අභිනව නගරයක් නිමවා එහි පවුරු ගෝපුර දොරටුවෙන් යුක්තවූ උස් සිඟුයෙන් හෙබියා වූ විභුමක දේවාලයක් කොට නිමවා එහි උත්පලවර්ණ දිව්‍ය රාජයාගේ භාස්වර වූ රුපය පිහිටුවා මහා පුජා ද පැවැත්වූයේය"

විෂ්ණු සහ උපුල්වන් එක් අයකු වශයෙන් සැලකීමත් භෛරන්ඩි දෙවොල් බිම විෂ්ණු දේවාලයට අයත් වීමත් එය බටහිර දිශාවට මුහුණලා තිබීමත් එහි ඇඳ තිබු වෛශ්නව චිත්‍ර ගැනත් සැලකු කළ කුරුණෑගල යුගයේ දී මායාදුනු පුරයේ ඉදිකළ උපුල්වන් දෙවොල මෙතන නොවිය හැකි ද යන සැකය මතු වේ භෛරන්ඩි කෝවිල් බිම තුල නගරයක සැලැස්ම දක්නට ලැබීම ද විශේෂයකි ගල් පාලම යටින් දිය අගල තිබු බව පෙනේ එම දිය අගල උතුරෙන් හා දකුණින් සීතාවක ගඟට සම්බන්ධ වන්නට ඇත දිය අගලට ඇතුලෙන් ප්‍රාකාරයක් තිබෙන්නට ඇත ඉහලට නැඟ යන විට කළුගලින් නිම කල පියගැටපෙලවල් දෙක තුනක් තිබු බව ශාක්ෂි පෙනේ එම පියගැට පැති දෙපස කොරවක් ගල් අද ද අඩක් පසට යටව දක්නට තිබේ පියගැට වශයෙන් පැවති පාෂාණ කැබලි පසෙකට ඇද දමා එතැන වේදිකාවක් මැද සිටුවා ඇති බෝගස පසු කලක එකතු කරන ලද්දක් බව එහි අනුචිත භාවයෙන්ම සනාථ වනු ඇත අඩි 95පළල අඩි100පමණ දිග පාෂාණමය වේදිකාවක් මත ගල් තහඩු අතුල මළුවක් වෙයි මෙහි සිට සිවුදෙසට බැස යා හැකි දොරටු පියගැට පංති හා තොරණවල නටබුන් පෙනෙන්නට තිබේ මෙම වේදිකාවේ හරි මැද අඩි 15ක් පළල අඩි 20පමණ දිග දෙවොල් ගොඩනැගිල්ල චමත්කාර අන්දමින් කැටයම් වූ බොරදම් කුළුණු හිස් පලාපෙති ආදියෙන් යුක්තය ඉදිරියේ දොරටුව දෙපස වූ මුරගල් ඇද බිමට පෙරලා දමා ඇත දෙවොල තුල රැස් වන ජලය පිටතට ගලා යාම සඳහා ගලින් නෙලූ පීල්ලක් වෙයි කෝවිල ඇතුලේ ගෙබිම අඩි 9ෂ්9 වේ එහි අතුරා තිබු ගල් පතුර ඉවත් කිරීමට යත්න දරා ඇත්තේ නිධන් සොරුන් වීසින් යයි සිතිය හැකිය ප්‍රදේශයේ දක්නට ඇති කබුළුමුල්ල මැදගොඩ වැනි පත්තිනි දේවාලද රාජසිංහ රජුගේ සැලකිල්ලට ලක්ව අලුත්වැඩියා වූ බව පෙනේ ඒ අනුව පෙර සිට පැවති ජගන්මාතා පිදීමට සම්බන්ධ දේව භූමියක් වරින් වර විවිධ අන්දමින් සංවර්ධනය වෙමින් තිබී රාජසිංහ කාලයේ දී ආඬිගුරුන්ගේ භාරයට පත්වූ බවත් රාජසිංහ රජුගේ මරණයෙන් පසුව සීතාවක ආක්‍රමණය කළ පෘතුගීසින් අතින් මෙය විනාශ වන්නට ඇත ඉන් අනතුරුව කාලපරිච්චේදයේදී යම් යම් ආත්මාර්ථකාමී මිනිසුන්ගේ ක්‍රියා නිසා භෛරන්ඩි කෝවිල අභාවයට යමින් පවති  
Read more »

හතරවන මිහිඳු රජුගේ මිහින්තලේ පුවරු ලිපිය

3 comments

මිහින්තලේ ඇති සියලුම සෙල්ලිපි අතරින් දීර්ඝතම සහ වැදගත් වුත් ලේඛනයක් වනුයේ ක්‍රි ව 10 වන සියවසට අයත් හතරවන මිහිඳු රජුගේ මිහින්තලේ පුවරු ලිපියයි කොටස් දෙකකින් සමන්විත මෙම ලිපියේ පළමු කොටසින් චේතියගිරි විහාරයේ අභ්‍යන්තර පාලනය පිළිබඳව හා භික්ෂුන් විසින් පිළිපැදිය යුතු චාරිත්‍ර චාරිත්‍ර හා භික්ෂුන් වහන්සේලාට රජයෙන් කල සැළකිලි ආදිය ගැන තොරතුරු ඇතුලත් වේ එහි දෙවන කොටසින් ආරාමයේ සේවකයන්ට ගෙවිය යුතු වැටුප් හා විහාරයට අයවිය යුතු බදු ආදිය ගැන විස්තර වේ 

පුවරුව ඒ

1 සිරිබර් කැත කුල කොත් ඔකාවස් රජ්පරපුරෙන් බට්කැතඋසබ් අබහය්සල මෙවන් මහර

2 ජ්හට් එමෙ කුලෙන් සමජෑය් දෙව්ගොන් බිසෙව් රැජ්න  කුසැ ඉපැදැ ඈපා මහයා සිරි වින්දැ පිළිවෙළැ

3 සෙය් රජ්වැ තුමා සිරින් ලක්දිව් පහයමින් සිටැ සිරි සඟ්බොයිඅබහය් මහරජ්හු තුමා සත්

4 ලැගු සොළොස්වන හවුරුදු යෙහි වප් සන්ද් පුන් මස්හි දස පක් දවස් සෙය්ගිරි වෙහෙර්හි ඉසාඅ

5 බහය්ගිරිවෙහෙර්හි ඉසා වසන බහබික්සග්හිමියන් මහසෙන්වා කරය් තුමා බෑ වත්හිමිය

6 ත් සෙය්ගිරි වෙහෙර්හි පෙරෙ තුබුසිරිත් නිජ අබයහ් ගිරි වෙහෙර්හි සිරිත්නිජ රුස්වා ගෙනැ මෙ වෙ

7 හෙරට් මෙ සිරිත් තුබුව වටීනිසියන්හා සසැන්දැමෙ  වෙහෙරැ වසන මහබික්සඟ් හිමියනට් ඉසා

8 කැමියනට ඉසා දස්නට් ඉසා කටැයුතු ඉසා ලබනු දියඅ යුතු සෙ ඉසා විවරුණෙත් එක් සෙ කොට් මෙ

9 සිරිත් තබන ලදි මෙ වෙහෙර්හි වසන බික්‌සඟ්හිමියන් විසින් බිලී පසොස්සල්හි නැඟී සියු අර

10 ක් මෙනෙහිකොට් දැහිට් කිසැ නිමවය් සිකකරණ්හි කියූ සෙයින් සිවුර් හැන්දැ පෙරෙවැ ඇත්වෙහෙරැ ලහා

11 ග් අවුද් තේ පිරිත් කොට් බැසැ හමබුබන් ගතැයුතු ගිලන්වැමෙන් ලභාග් ඉයැ නො යහන හිමියනට වෙදුන්

12 කියූ සැන්දෑවසග් දියැයුතු මෙ වෙහෙරැ වැසැ වනවළා කියන බික්සඟ්හිමියනට් කඩින් පිඩින් වස

13 ග් පසක් ඉසා සුතත් වළා කියන බික්සඟ්හිමියනට් වසග් සතක් ඉසා බිදම්වලා කියන බික්

14 සඟ්හිමියනට්වසග් දොළොසක් ඉසා දියැ යුතු ඉසා දායකයන් පිරිකපා සඟ්නට්‍ දෙනු කළ පස

15 නො පිරිහෙළා දියැ යුතු මෙ වෙහෙරැ ආවු තුවාක් අවසැ බද් ගම්බිම් මෙහි මෙ පසක් දී නිබද්වැ වැසැ වළ

16 න්ද මුත් බදවස් හා එක්කුසවැ නො වැළැන්දියැ යුතු සග්මැගින් කැමියනට් වජාරන් දහවුත්

17 මුන් පුගුල්වැ නො වැජෑරිය යුතු නො දැහැවිය යුතුමෙ වෙහෙරැ වසන බික්සඟ් හිමියන් ඇත්වෙහෙරැ

18 බද් තුවාක් තන්හි කුමබුර් අරුබ්ඇය් කවරු පරියායෙන් නො වැළැන්දියැ යුතු තුමන් පිළිබඳුන්විසි

19 න් ඇත්වෙහෙරැ අබැදිතාක් තන්හි ඉසිරැ නො කටැ දියැ යුතු මෙ සිරිත් ඉකුත් හිමියන් මෙ වෙහෙරේහි

20 නොවිසියැ යුතු නකා බලන හිමියන් ඉසා වෙහර් පිරිවහනුවා ඉසා නියම්ජෙටු ඉසා ආකැමියා ඉසා

21 පසක්කැමියා ඉසා වෙහෙර්ලෙයා ඉසා කරඩ්ලෙයාඉසා කරඬු අත්සමුඇතුල්වැ මෙතුවාක්‌ ජනා අබ

22 හය්ගිරි නකය්හි දෙමුළින් සාහනුවට් වැඩි සඟුන් සැමැඟින් ඇත්වෙහෙර් හින්ද කම්තැන්කොට් ඇ

23 ගුළ බැහැරි අයවිය ඈය් කම් කටැයුතු ඇතුළ බැහැරි අයවියෙහි යුත් කැමියන් නැසුවාක් දෙනුව

24 ට් නිසි කුඩින් ඇපැ ගෙනැ කම්තැන් සැමැගින් තිබියැයුත මෙ වෙහෙරැ වසන හිමියන් පිලිබඳුන් නිසිද්

25 හොත් මෙහෙයැ නො තිබියැයුතු  හැරිය යුතු කැමියන් ලෙකම් කරණාවූ දැයක් ගෙන හැරිය යුත මුන්දුකර

26 ඩු කම්තැන් කැමියන් හසින් හස්කොට්දාගෙ කැමියන්ත පසැකින් දාගෙහි තිබියැ යුතු මෙ වෙහෙර්හි යුත්

27 කැමියන් කෙරෙන් වෙහෙරට් කැමින් අනොබ ගිය කෙනෙකුන් මුත් තැනැසිටි කැමි යන් කෙරෙන් වටි ඔනා තැ

28 නැ ඉසි සාල් ගන්නා තැනැ ඉසා පෙරෙවරු හම්බු බත්සාහන තැනැ ඉසා තුන් ජනකුකෙරෙන් නො උනුවැ ප

29 සැකැ සිටියැ යුතු ඇත්වෙහෙර් දාගෙ පිළිබද්කවරිවතකුද්පිරුල් නොදියැ යුතුකැමියන් විකණිප්

30 නො ගැතැ යුතු මෙහෙයැ බද් මිනිසුන් කැමියන්තුමනට් මෙහෙ නොගතැයුතුඅනොබ  මෙහෙයට් නොදියැ යුතු

31 කතුමහසෑයෙහි කමනවාමට් දම්ගමියෙන් දුන්පයලඇත් වෙහෙරේ කැමියන් බලා ගෙනැ දාගැබ්හි

32 කම්නවාම්කැරැවියැ යුතු කීර්බඩ්පවු දාගැබ්හි අරකට් ඇල්ගමියෙන් දුන් දෙකිරිය දී අ රක්

33 කැරරැවියැ යු තු දාගෙහි ඉසා මඟුල්මහසල පිළිමගෙහි ඉසා මහබෝය්ගෙහි ඉසා නයින්දැ ඉසා මිණිතා

34 ල් දෙව්දුන් ගෙහි ඉසාකතුමහසෑයෙහිඉසා කිර්බඩ්පවු දාගැබ්හි ඉසා උඩ්ගලැ යට්ගලැ ඈත්වෙ

35 හෙර් පිළිබද් දාගැබ්හි ඉසාමෙතුවාක් තන්හි පිජ් නිවන් ඉසා ඇත්වෙහෙරින් රන් එක්සීයක් කළ

36 න්ද් ඉසා වී දස යහලක් ඉසා දෙතුවාක්‌ ගෙනැ හවුරුදු පතා මෙ වෙහෙර්හි  දාගැබ් ඇය් හැම තැන්හි

37 තවාම් කැරැවියැ යුතු දාගෙපිලිමගෙහි බද්ගුතෑ කරන්දෑ දෙගැම්හි දුම්මලස්සමුන් ගෙදඩ් කොදඩ්

38 කැරැ පෙරලිවර් බැළැ වෙහෙරට් ගතැයුතු කිර්බඩ් පවුයෙහිගසගැසියෙන් තුනින් එකක් ඉසාමෙ

39 හි සඟ්වැල්ලෙහි ගෙකුලි ඉසා මනුවෑසර ඉසා ලභිනියපවුයෙහි  උ ඩැසි යටැසි දෙවෑ සර ඉසා මෙහි ස

40 ග්වැල්ල ඉසා පහතැවිල් වට්හි බිම් ඉසා පොරොදෙනී ජොකුණ වටැ බිම් ඉසා මෙ තුවාක් තන්හි ලබනු

41 වෙහෙරට් ගතැයුතු වෙහෙර් දසුන් හා කැමියන්මුත් වෙහෙර් බිමැහුන් කුඩින් ගෙන් බිම් සොවස් නිසිසෙ

42 යින් වෙහෙරට් ගතයුතු කහසන්වැගත් වෙසට් නො අනුරුකියවිකිය ඇයි කම්කරනුවන පණිවා

43 කරනුවන ගල්වැටැ නො විසියැ දියැයුතු සුදසුන් වත් වෙහෙරට්මුත් කැමියන් නො ගතයුතු මෙ වෙහෙ

44 රැ බද් තුවාක් ගම්බිම් කැරැයෙහි බැන්දැ සලසත් මුත් පාට්ට්නො දියැයුතු තුන් දා  වර් මුත් පොහො මගු

45 ල් ඈයි සෙසු වර් නො ගතැයුතුකැමියන් වෙහෙර්දසුන් ජිවෙල්කොට් දුනුවක්මුත් ඇත්වෙහෙරැ බද්තුවා

46  ක් තන්හි උකස්‌ පමණු පාට්ට කැරැ කුමබුර් අරුබ් ඈයි නො වැළන්ඳීයැ යුතු වෙහෙරට් කැමින් ගිය කැ

47 මියන් හස්කරුවන් දෙන පෙරෙ සිරිත් බිලි සාල් මුත් රටින් වැටුම් නො ගතැයුතු කුඩින්ගෙන් පඩු

48 ර් නො ගතැයුතු මෙකුන්ගෙන් ගෙගොන් ගෙනැ කැමියන් තුමනට්ගොවිකම්  නො කැරැවියැයුතු හස්කරු පර

49 පුරෙන් වැටෙන කැරැ කුම්බුර් නො වැටියැ හෙත් මුත්හැරු නො ගතැයුතු වතු පැනට් වැදැ අනියා නොකටැයුතු

50 ගස්කොල් නො කැපියැයුතු මෙ වෙහෙරැ ආවු තුවාක් ගම්බිම්හි තලන් මිවන් ඈය් පලරුක් කම්තැන් සැ

51 මැගින් දුනමුත් නො කැපියැ දියැයුතු කුඩින් කල වරජක් ඇත ගම් සිරිත්දඩ් කිරා කිරූදඩ් මිනැ ඇකැ

52 අවටැ සොළොස් රියන් ගැමිබුරු රියන් කබුළ්  බැගින් ගෙනැ වැව් මෙහෙ කැරැ වියැ යුතු නො කළ කරු දඩ් ග

53 තැයුතු මෙ වෙහෙරැ ආවුතුවාක්‌ ගම්බිම්හි ලබනුවනට් ජිවෙල්කොට් දුනුවක්‌ මුත් තුබුතාක්‌ තන්හි

54 කම්තැන් සැමැගින්පසක් වන සෙයින්ආකළ තුවාක් පස්පොත්හි ලියැවියැ යුතු මහපා වට්ට ඉසා

55 ලබනුවනට් ඉසා කම්නවාමට් ඉසා දවස්ගතා වියවුතුවාක්‌ පස්පොත්හි ලියවා කම්තැන් සැ

56 මැගින් අත්වතු කරාය් සන් ඔතමනවුන්සනින් පටවස් මුන්දු කරඬුයෙහි තබා මස් මස්පතා මෙ

57 අත්වතු පළා එක් අත්වතු කොට් හවුරුදුයෙහි දොළොස් අත්වතුයෙන් හවුරුදු අවසන්හි ලෙකම්

58 කරාය් සඟ්මැන්දැ පන්වා නිමවියැයුතු මෙ සිරිත් ඉකුත් කැමියන් ගෙදඩ් ගෙනැමෙහෙයින් හැරියැ යුතු

පුවරුව බී

1 නකාබලන හිමියනට් දවස්පතා සාල් එක් නැලියක් ඉසා වසන් බණැ රන් එක් කළන්ද් සතර් අක

2 ක් ඉසා පැවැරුණ් බණැ ද් මෙතෙක් මෙ ඉසා නියම් ජෙටක්හට් පිවෙල් පස් කිරියක් ඉසා දවස් පතා සාල්

3 එක් නැලියක් ඉසා හවුරුදුවකට් සෙතුවමට් මල් මිලැ පසලොස් කළැන්දැක් ආකැමියා ඉසා වෙහෙ

4 ර් ලෙයා ඉසා කර්ඩ් ලෙයා ඉසා කරඬු අත්සමු ඉසා පසක්කැමියා ඉසා එක්නට්පස් කිරි බැගින් ඉසා

5 පිරිවහනු වනකැමියක්හට්එක් කිරි දෙ පයක් ඉසා සාල් දෙ අඩ්මනාක් ඉසා සැරැයින් ගන්නක්හ

6 ට් දෙ පයක් ඉසා සාල් දෙපතක් ඉසා සාල් එකඩ්මනාක් ඉසා මගුල් ජෙටක්හට් එක් කිරියක් ඉසා දමියෙන්වසගක් ඉසා

7 හවු රුදුවකට් සෙතුවමට් මල් මිලැතුන් කළන්ද් දෙ අකක් ඉසා වත්සිනාකැමියක් හට් එක් කිරියක්

8 ඉසා දැමියෙන් වසගක් ඉසා සොම්නස් මහබො මඟුලෙහි පිලියට් එක් කළන්දක් ඉසා මැටි පතක්හට්

9 එක් පයක් ඉසා සාල් දෙපතක් ඉසා පිටස්සමක්හට් ඉසාරජ්ගේ උපැනි කැමිය ක්හට් ඉසා එක්න

10 ‍‍ එක් කිරි දෙ පා බැගින් ඉසා එක්නට් දෙ අඩ්මනා බැගින් සාල් ඉසා ඔල් කැමියකිහට් දෙ පයක් ඉසා

11 සාල් එකඩමනා දෙ පතක් ඉසා පියන්ගල් පෙරෙ වැළියක්හට්දෙ පයක් ඉසා දමියෙන් වසගක් ඉසා 

12 රුවනසුන් මහබො මගුලෙහි පිලියට් එක් කලන්දක් ඉසා පවු පෙරෙවැළියක්හට් දෙ පයක් ඉසා දමියෙ

13 ත් වසගක් ඉසා ඇළිනාවක්‌හට්  දෙ පයක් ඉසා සාල එකඩමනා එක් පතක් ඉසා ඇලී එකෙළොසක් ඉසා

14 එක්නට් දෙ පා බැගින් ඉසා දමියෙන් එක් බැගින් වසග් ඉසා වට්නා වැරි සතරක් ඉසා එක්නට් එක

15 ඩ්මනා බැගින් සාල් ඉසා එක්නට් ජිවෙල් දෙ පා බැගින් ඉසා මෙ වෙහෙර්හි බික්සඟ්හිමියනට වසැග

16 න් සිවුර් සාහා එක්කෙනෙක්නට් ලදු සිවුර් සාහන කැමියන් බෙදා ගතයුතු ඉසා වෙහෙර් අත්සම් දෙ ජ

17 තක්හට් එක්නට් දෙ පා බැගින් ඉසා සාල් එකඩ්මනා එක් පත් බැගින් ඉසා කොට රැකිනාවක්හට් දෙ ප

18 යක් ඉසා සාල් එකඩමනා දෙ පතක් ඉසා කොට රැකියක්හට් දෙ පයක් ඉසා සාල් එකඩමනාක් ඉසා ජෙ

19 ට්මවට් එක් පයක් ඉසා සාල් එකඩමනාදෙ පතක් ඉසා බත්ගෙ ලැදියට්එක් පයක් ඉසා නසාල් එකඩ්

20 මනා දෙ පතක් ඉසා මිඩි වැජෑර්මක්හට්දෙ පයක් ඉසා වට්මිඩි සුවිසි-ජනකු ඉසා එක්නට් එක්පා බැ

21 ගින් ඉසා හවුරුදුවකට් පිළිවරට්එක්නට් එක් කලන්ද්බැගින් ඉසා සඟ්වැලිඋපැනි කැමියක්හට්

22 එක් කිරියක් ඉසා සාල් එකඩ්මනාක් ඉසා පිසන සලයින් දොළොස් ජනක්හුඉසා එක්නට් කලොළගැ

23 මින් එක් කිරි දෙ පා බැගින් ඉසා සලාජෙටක්හට් සාල් එකඩ්මනා එක් පතක් ඉසා දර් නහා බත් පක් ස

24 ලයක්හට් සාල් තුනඩ්මනාක් ඉසා නො පිසැ දර් නැගු සලක්යට්ඉසා ගමන්වර් ගිය සලයක්හ

25 ට් ඉසා එක්නට් සාල් දෙ අඩ්මනා බැගින් ඉසා නැතු දරැ බත් පක් සලයක්හිට් සාල් එතඩ්මනාක් ඉසා

26 පහාවැසිජෙටක්හට් දෙ පයක් ඉසා සාල් එකඩ්මනා එක් පතක් ඉසා පහාවැසි එකළොසක් ඉසා එක්

27 නට් දෙ පා බැගින් ඉසා එක්නට් සාල් එකඩ්මනා  බැගින් ඉසා දවස් පතා යලා පසක් දෙන කුම්බල් පස්

28 ජනක්හට් එක්නට් එක් කිරි බැගින් ඉසා මස් මස් පතා පා දසයක් හා කුම්බු දසයක් දෙන පාකුම්බලක්

29 හට් දෙ කිරියක් ඉසා සාල් දෙ අඩ්මනාක් ඉසා මසකට් පැරැහැනක් දෙන පැරැ හැන් දියක්හට් එක් කි

30 රි දෙ පයක් ඉසා වෙදෙක්හට් දෙතිසෑසෙණෙන්‌ නියැපැළියාක් ඉසා දමියෙන් වසගක් ඉසා පුහුඬා වෙදක්

31 හට් දෙ පයක් ඉසා දමියෙන් වසගක් ඉසා මඩො වුවක්හට් එක් කිරි දෙපයක් ඉසා දමියෙන් වසගක්

32 ඉසා නැකැතියක්හට් දෙ කිරියක් ඉසා දමියෙන් වසගක් ඉසා නැවියක්හට් එක් කිරියක් ඉසා දමියෙ

33  න් වසගක් ඉසා දාගෙ අ ත්සමක්හට් ඉසා ගණජෙටුවක්‌හට් ඉසා කරඩ්ලෙයක්හට් ඉසා වර් ජෙටු තු

34 න් ජනක්හට් ඉසා මෙක්නට් ජිවෙල් කරන්දගම ඉසා වරු දුම්මලස්සමිනට් දමියෙන් වසග් සතර

35 ක් ඉසා දාගෙහි වැට් තෙලට් මෙ තැමින් පයලක් ඉසා දාගෙහි හෙළිමල් ඔනා මල්වර් දෙ ජනක්හට් මෙ ගැමි

36 න් දෙ කිරියක් ඉසා දමියෙන් එක් බැගින් වසග් ඉසා මසකට් එක් සිය විසි බැගින් මල් දෙන මහනෙල්

37 ගොවුවක්‌හට් සපුතමියෙන්දෙ කිරියක් ඉසා සිත්තරක්හට් දෙ කිරියක් ඉසා දාගෙ රක්නා රට්ලදුව

38 ක්හට් සාල් එක්නැළියක් ඉසා මහබුදුන්ගෙහි දුම්මලස්සම් ස ජනක්හට් ඉසා ඛණ්වජාරන දමි

39 නට් ඉසා ඇදුරදමිනට් ඉසා දමින් ස ජනක්හට් ඉසා මෙක්නට් ගුනෑගම ඉසා මහබුදුන්ගෙහි මල්

40 වරක්හට් මෙ ගැමින් දෙ පයක් ඉසා දමියෙන් වසගක් ඉසා මෙ ගැමැ දුම්මලස්සම් තට් දමියෙන් දෙ ව

41 සගක් ඉසා මඟුල්මහසලපිළිමගෙහි  පුණකැමියක්හට් ඉසා කමස්සමක්හට් ඉසා එක්නට් දෙ පා

42 බැගින් ඉසා එක්නට් එකඩ්මනා දෙ පත් බැගින් සාල් ඉසා දාගෙහි බුද්බිසොවට් තෙල් ගන්නා එක් පොටාක්

43 ඉසා දිය ජරහන එක් තුඑලක් ඉසා පිළිමගෙහිද් මෙතෙක්මෙ ඉසා කම්තැන් ලෙදරුවක්හට් එක්කිරි

44 දෙ පයක් ඉසා සාල් දෙ අඩ්මනාක් ඉසා වඩු මහඇදුරක්හට් බොඩවෙහෙර සෙණයඉසා ඇදුරවඩු දෙ ජ

45 තක්හට් ඉසා සිර්වඩු අට් ජනක්හට් ඉසා උළදෙ ජනක්හට් ඉසා මෙක්නට් වඩුදෙවැගම ඉසා ක

46 ටුවඩු දෙ ජනක්හු ඉසා එක්නට් එක් කිරි බැගින් ඉසා මිනිර් මහඇදුර් දෙ ජනක්හු ඉසා එක්නට් තු

47 න් කිරි බැගින් ඉසා කම්බුර්දෙ ජනක්හු ඉසා එක්නට් එක් කිරි බැගින් ඉසා සුනුබොලේනට් සුනුබොල් දෙවැ

48 ගම ඉසා ගැල්ලන් ස ජනක්හු ඉසා මෙක්නට් දුනුමුගම ඉසා කම්නවැමැ කැබිළි ජෙටක්හට් එක් කිරි

49 යක් ඉසා සාල් එක්ඩ්මනා එක් පතක් ඉසා කැබිළි දොළොස් ජනක්හට් එකඩ්මනා බැගින් සාල් ඉසා මෙක්

50 නට් ජිවෙල් දෙ පා බැගින් ඉසා නවගුණ මහා සෑයෙහි ඉසා නැටවිය මහා සෑයෙහි ඉසා ඇමබුදු දාගැබ්හි ඉසා

51 සැගොව්වන් තුන් ජනක්හට් එක්නට් දෙ පා බැගින් ඉසා මෙ වෙහෙරැ උඩ්ගලැ  යටිගලැ ඇත්වෙහෙර පිළිබ

52 ද් දාගැබ් ඈ ය් හැමැන්දෑ දැගැ රක්නානට් දමියෙන් එක් බැගින් වසග් දියැ යුතු ඉසා දාගෙහි ඉසා පිලිමගෙ

53 හි ඉසා බත්ගෙහි ඉසා මෙහෙකරන මිනිසුන් ඉසා පිළි ඉසා පොරොනා කසු ඉසා හිස්කොල් ඉසා අපුලන රද

54 වුන් දෙ ජනක්හු ඉසා මෙක්නට් මඟුලවැ තුන්කිරිය ඉසාමෙ වෙහෙරැ බද්තුවාක් ගම්බිම්හි මඟ් මහව

55 ඊ කුලී මෙලාට්සි මෙ වෙහෙරට් මෙ නින්දකොට් ගතැයුතු ඉසා මඟ්ගීව පියගිවනොවද්නා කොට් ඉසා කණෑවැවැ

56 දිය වන් තාක්තන්හි පෙරෙ දෙමෙල් කැලැ පෙරෙ සිරිත් දිය බෙදුම් මෙ වෙහෙරට් මෙ ගතැයුතුඉසා මෙ වෙහෙර්හි

57 බද්තුවාක් ගම්බිම් කවරු පරියායෙන් උකස්‌ පමුණුනො දියැයුතු ඉසා ගතුවන් රනැ නො හිමිකොට් වෙහෙ

58 රට් මෙ නවතා ගතැයුතු ඉසා දුනුවන් දෙස් යවනු කොට් මෙ නියැමින් තුබූ මෙසිරිත් නො ඉක්මැ වැටියැ යුතු

අනුවාදය

                           (සංඝයා පිලිබඳ වත් සිරිත්)

1  ශ්‍රී භාරවූ(සම්පත්තියෙන් පිරුණු) ක්ෂත්‍රිය වංශයට කේතුවක් වැනිවූ ඔක්කාක රාජ පරම්පරාවෙන් පහළ වූ (බැස්සා වූ) රාජෝත්තම අභාසලමෙවන් මහ රජු නිසා

2 එම වංශයෙන් සමාන ජාති ඇති දෙව්ගොන් බිසෝ රැජිනගේ කුසයෙහි ඉපදී,ආදිපාද,මහාදිපාද තනතුරු සැප විඳ පිළිවෙළ නොඉක්මවා

3 රාජ්‍යයට පත් සත්ව තමාගේ ශොභාවෙන් ලංකාද්වීපය හොබවමින්(ප්‍රසන්න කරමින් සිට),ශ්‍රී සංඝබෝධි අභය මහ රජු තමන් සේසත් එසවූ (රජ පැමිණි)

4 දහසවැනි(16) අවුරුද්දෙහි වප්මස පුර පක්ෂයෙහි දසවක් දින යෙහි චේතියගිරි වෙහෙරෙහි ද

5 අභයගිරි වෙහෙරෙහි ද වසන මහා භික්ෂු සංඝයාගේ මහා සන්නිපාතයක් (රැස්වීමක්)කොට,තම සහෝදර රජු විසින්

6 චේතියගිරි විහාරයෙහි පෙර තබන ලද සිරිත් වලින් ද,අභයගිරි විහාරයෙහි සිරිත් වලින් ද,කැමති කරවා ගෙණ

7 මෙම විහාරයට ද මෙම සිරිත් තැබුවහොත් යෝග්‍යයයි සුදුස්සන් හා සසැඳී (අදහස් වශයෙන් එකට ගළපා)මේ විහාරයෙහි වාසය කරන මහා භික්ෂු සංඝයා වහන්සේට ද,

8 දාසයන්ට ද කාර්මිකයන්ට ද (ඔවුන් විසින් කළයුතු)කටයුතුත්,ලබන ආකාරයත්,දියයුතු ආකාරයත්,ප්‍රකාශ කිරීමෙන් එක සමාන කොට

9 මේ සිරිත් තබන ලදී.මේ විහාරයෙහි වසන භික්ෂු සංඝයා වහන්සේ විසින් ඉතා අළුයම් වේලෙහි අවදිව සතර ආරක්ෂාවන්

10 සිහිකොට දැහැටි(කෑමේ) කටයුතු(මුනකට සේදීම)නිමකොට,සෙවියාවෙහි කියූ අයුරු සිවුරු හැඳ පොරවා ඇතුළු විහාරයෙහි සලාකාග්‍රයට(කුසපත් බෙදන තැනට)පැමිණ

11 මෙත්ත සුත්‍රයෙන් පිරිත් කියා බැස (අවුත්)කැඳ බත් ගත යුතුය රෝගීව සලාකාග්‍රහයට නො යා හැකි ස්වාමීන් වහන්සේලාට,

12 වෙදුන් කියූ විට ආහාර කොටස දිය යුතුය.මේ විහාරයෙහි වාසය කර විනය පිටකය කියන (හදාරණ)භික්ෂුන් වහන්සේලාට වස්ත්‍රයෙන් හා ආහාරයෙන්

13 පස් කොටසක් ද,සුත්‍ර පිටකය හදාරණ භික්‍ෂුන් වහන්සේලාට කොටස් සතක් ද,අභිධර්මය හදාරණ භික්‍ෂුන් වහන්සේලාට

14 කොටස් දොළොසක් ද දිය යුතු ද (වේ)දායකයන් නියම කර සංඝයාට දුන් ප්‍රත්‍යය

15 නො අඩු කොට දිය යුතුයි. මේ විහාරයට අයිති ආවාසයන් වෙත දුන් ගම්බිම් මේ විහාරයෙහිම දැකුම් දී,නිතර වාසය කොට වළඳත් හොත් මිස

16 මෙයට අයත් අන් ආවාසයන් හා එක්කාසුවී නො වැළඳිය යුතුය. සංඝ සාමාග්‍රියෙන්(සංඝයාගේ අනුදැනුම ඇතිව) කාර්මිකයන්ට තර්ජනය කරනු විනා

17 පෞද්ගලිකව(කෝප වන යමක්) නො කිව යුතුය.කෝප නො කළ යුතුයි.මෙම විහාරයෙහි වසන භික්‍ෂු සංඝයා වහන්සේ ඇතුළු විහාරයට

18 අයිති(බද) තාක් තැන්වල කුඹුර ආරාම (වතු)මොනම ක්‍රමයකින් වත් නොවැළඳිය යුතුය.(ප්‍රයෝජන නො ගත යුතුය.)තමාට සබඳ වුවන් ප්‍රතිබද්ධයන් විසින්

19 ඇතුළු විහාරයට අයිති තාක් තන්හි ප්‍රධාන කම් කරන්නට ඉඩ නො දිය යුතුය.මෙම සිරිත් ඉක්මවූ ස්වාමීන් වහන්සේලා මෙම විහාරයෙහි

20 නො විසිය යුතුය.ආරාමාධිපතින් වහන්සේ ද විහාරය ආරක්‍ෂකයා ද කෘත්‍ය සංවිධායකයා ද භාන්ඩාගාරිකයා ද

21 විහාරයෙහි කටයුතු පරීක්‍ෂා කරන්නා ද විහාර ලේඛකයා ද පෙට්ටි පිලිබඳ ලේඛකයා ද පෙට්ටි භාරකාරයා ද ඇතුළුව මෙකී තාක් දෙනා විසින්

22 අභය ගිරිනිකායෙහි(විහාරයෙහි)චේතියගිරි වාසී-අභයගිරි වාසී යන මුලස්ථාන දෙකින් කටයුතු සිද්ධ කිරීමට පැමිණි සංඝයා සමඟ ඇතුල් වෙහෙරෙහි හිඳ කටයුතු සකස් කොට

23 අභ්‍යන්තර බාහිර අයවැය ආදී කටයුතු කළ යුතුය අභ්‍යන්තර බාහිර අයවැයෙහි නියුක්ත කාර්මිකයන් විසින් නෑසු දෙයක් දීමට

24 සුදුසු දාසයන්ගේ(කම්කරුවන් ගෙන්)ඇප ගෙණ කාර්මික ප්‍රධානයන් සමඟ තැබිය යුතුය. මේ විහාරයෙහි වසන ස්වාමීන් වහන්සේලාගේ ප්‍රතිබද්ධයින්(නෑයින්) ඒ ස්වාමීන් වහන්සේලා වළක්වතොත්

25 ඔවුන් මේ වෙහෙරෙහි නොතැබිය යුතුයි.බැහැර කළ යුතු කාර්මිකයන් ලවා ඔවුන් ලේකම් පොත් ආදිය රැගෙන හැරිය යුතුය.මේ විහාරයේ කටයුතු වල නියුක්ත

26 කාර්මික ප්‍රධානියන්ගේ අත්සනින් සීල් තබා ධාතු ගෘහයෙහි කැමියන්ගෙ පසෙකින්(ඉදිරිපිට දී)දා ගෙහිම තැබිය යුතුයි.මේ විහාරයේ කටයුතු වල නියුක්ත

27 කාර්මිකයන් අතුරින්,විහාරය පිලිබඳ කටයුතු වලට වෙන තැනකට ගිය කෙනෙකුන් හැර,එම ස්ථානයෙහි සිටි කාර්මිකයන් ‍ගෙන් දන් වැට(වෘත්තීය) බහා තබන තැන්ද,

28 සහල් ලබා ගන්නා තැනද,පුර්වාහ්නයෙහි කැඳබත් පිලිගන්නා තැනද, තුන් දෙනෙකුගෙන් නො අඩුව

29 එක් තැනක(පැත්තක) සිටිය යුතුයි ඇතුළු විහාරයෙහි ධාතු ගෘහය පිළිබඳ කවර දෙයක්වත් තාවකාලිකව ණයට නොදිය යුතුයි.කාර්මිකයන් විකුනතත්

30 නොගත යුතුයි.සේවයෙහි බැඳී මිනිසුන් ලවා කාර්මිකයන් විසින් තමන්හට මෙහෙවර නොගත යුතුයි.අන් තැනක මෙහෙයට නොදිය යුතුයි

31කණ්ඨක මහා සෑයෙහි නව කර්මාන්ත පිණිස දම් ගමුවෙන් දුන් පැළ ඇතුළු විහාරයෙහි කාර්මිකයන් විසින් බලා ගෙණ දාගැබෙහි

32 නව කර්මාන්ත කරවිය යුතුයි.ගිරිහණ්ඩ පර්වතයෙහි වූ චෛත්‍යයෙහි ආරක්ෂාවට ඇල් ගමුවෙන් දුන් කිරි දෙක දී එය(ආරක්‍ෂා)

33 කරවිය යුතුයි.ධාතු ගෘහයෙහිද මංගල මහා ශෛල ප්‍රතිමා ගෘහයෙහි ද, මහාබෝධි ගෘහයෙහි ද නයින් ද නම් ගෘහයෙහි ද, මිනිතලේ

34 දෙව්දුවගේ ගෙහි ද කණ්ටක සෑයෙහි ද ගිරිහණ්ඩ පර්වත දාගැබෙහි ද පර්වතය උඩ සහ පහත ද ඇතුළු

35 වෙහෙර (යන තැන්වලට)අයත් චෛතයයන්හි ද මෙකී තාක් තන්හි පුජා වස්තු ඇතුළු වෙහෙරින් රන්(කහවණු) කලන්

36 සියයක් ද වී දස යාළක් ද (කරත්ත දසයක් ද) මෙකී තාක් දේ ගෙණ අවුරුදු පතා මේ විහාරයෙහි චෛත්‍යාදී සෑම තන්හි කර්මාන්ත

37 හා නව කර්මාන්ත කරවිය යුතුය.ධාතු ගෘහයට හා ප්‍රතිමා ගෘහයට අයත් ගුණැ කරන්ද යන ගම් දෙකෙහි දුම් හා මල් සපයන්නන්ගේ ගෘහ දඩය.කුඩා දඩයක්

38 කොට.පෙරළි කාරයන්ගේ කුලිය විහාරයට ගතයුතුයි. ගිරි භණ්ඩ පර්වතයෙහි ලොකු කුඩා ගස්වලින් තුනෙන් එකක් ද, මෙහි

39 සංවැල්ලෙහි ගෙවල් කුලී ද.මනුවෑසර වැව ද ලිහිණිය පර්වතයෙහි උඩ යට වැව් දෙක ද.

40 හංවැල්ල ද පොරාදෙණිය නම් ගමෙහි වූ පොකුණ හාත්පස භුමිය ද (යන)මෙකී තාක් තන්හි ලාභය

41 විහාරයට ගතයුතුය.විහාර දාසයන් හා විහාර කාර්මිකයන් හැර විහාර භුමියෙහි සිටින ගම් වැසියන්ගෙන් බිම් බද්ද නිසි ලෙසින්

42 විහාරයට ගතයුතුය. කාෂාය වස්ත්‍රධාරීව(කහවත් හැඳීයෙකුව)ගත් වේශයට (භික්‍ෂු වේශයට)නුසුදුසු මිලයට ගණු දෙණු(කය වික්කය) ආදී වැඩකරන්නන් ට ද ප්‍රාණඝාතය

43 කරන්නන්ට ද පර්වතය(අසල)වසන්නට ඉඩ නො දිය යුතුයි.දැකුම්කළු බඩු විහාරයට විනා කැමියන් විසින් නො ගතයුතුයි.

44 අයත් ගම්බිම් කාර්යයෙහි මේ විහාරයට සලසනු විනා(කරනා රාජකාරිය වෙනුවට අයත් කොට දෙනු විනා)බදු නොදිය යුතුයි.තුන් දින කට ලැබෙන නිවාඩුව හැර බොහෝ(නිවාඩු) මංගල

45 නිවාඩු(වර්)ආදිය නො ගත යුතුයි. විහාර කැමියන් හා විහාර දාසයන් විසින්(දිවෙල්)ජීවිකා වෘත්තීය කොට දුන් දෙයක් විනා ඇතුළු වෙහෙරට අයත් තාක්

46 තන්හි උකස්‌ කිරීම ප්‍රවේනි කොට දීම හෝ බදු දීම කොට කුඹුරු ආරාම වතු ආදිය පරිභෝග නො කළ යුතුය.විහාරය පිණිස වැඩකට ගිය

47 කැමියන් විසින් ශස්‍ය කාරයන්(ගොවියන්)දෙන පුර්ව චාරිත්‍රය වූ බිලී සහල් හැර රටින් වැටුප් නො ගත යුතුය. විහාර ගම්වැසියන්ගෙන් පඬුරු(අල්ලස්)

48 නොගත යුතුය. මේ කුඩින් ගෙන් ගොන් බාන් (ගෙගොන්) ගෙන කාර්මිකයන් විසින් තමන්ගේ ගොවිකම් නො කරවිය යුතුය.ගොවීන්ගේ

49 පරම්පරාවෙන් පැවතෙන කැරැ කුඹුරු නොපැවැත්විය හැකි නම් මිස නොගත යුතුය.වතු පිටිවලට ගොස් අකටයුතු කම් නොකට යුතුය.

50 ගහකොල නො කැපිය යුතුය. මේ විහාරයට අයිති තාක් ගම්බිම්වල තල-මී ඵල හටගන්නා වෘක්ෂ කැමිනායක යන්

51 සමගියෙන්(කැමැත්තෙන්) දුන්නොත් විනා කපන්නට ඉඩ නොදිය යුතුය. වෙහෙර ගම්වැසියන් කළ වරදක් ඇතහොත් ගම්නි වූ සිරිත් අනුව දඩය ප්‍රමාණ කොට එම කිරණ දඩය මැන ඒවා සලකුණු කොට

52 අවට සොලොස්රියන් ප්‍රමාණ වූ ද ගැඹුරින් රියනක් ප්‍රමාණ වූ ද කැබැල්ල බැගින් ගෙන වැව් කර්මාන්ත කරවිය යුතු ද වේ.(එය)නොකළහොත් ප්‍රමාණ කළ දඩය

53 ගත යුතුය.මේ විහාරයට අයිති තාක් ගම්වල අයබදු අය කරන්නන්ට ජීවිකාවෘත්තීය කොට දුන් කොටසක් හැර ඉතිරි තැන්වල

54 ප්‍රධාන කැමියන් සමග ප්‍රත්‍යක්ෂ වන පරිදි අය කළතාක්(දේ) පඤ්චිකා පොතෙහි ලිවිය යුතුය.මහපාක වෘත්තියට ද

55 අයබදු අය කරන්නන්ට ද කර්මාන්ත නව කර්මාන්ත වලට ද දිනපතා වියදම් වූ තාක් පඤ්චිකා පොතෙහි ලියවා කාර්මික ප්‍රධානයන්

56 සමගින් (කැමැත්තෙන්) අත් පොතෙහි ලියා අත්සන් තැබිය යුත්තන් ගෙන් අත්සනින් අත්සන් කරවා මුද්‍රිත පෙට්ටියෙහි තබා මාසයක් පාසා දීමේ (දෛනික)

57 අත්පොත් ඉවත් කොට එක් අත්පොතකට ගෙණ,අවුරුද්දේ දොළොස් අත් පොත් වලින් අවුරුද්ද අවසානයෙහි ලේකම්

58 පොතෙහි ලියවා සංඝයා ඉදිරියෙහි කියවා නිම කළ යුතුය. මේ චාරිත්‍ර ඉක්මවූ කාර්මිකයන්ගේ ගෙවල් දඩ වශයෙන් ගෙණ සේවයෙන් පහ කළ යුතුය.

දෙවැනි ලිපිය

1 ආරාමාධිපතින් වහන්සේට දිනපතා සහල් එක් නැලියක්ද වස්සාන බණේ දී(වස්වසන දින උත්සවයේ දේශනය සඳහා)රන් කැළණ එකක් හා අක සතරක් ද(කහවනු 1 1/2 ක් ද)

2  පවාරණ (දින)ධර්ම දේශනාවේදී ද එම ප්‍රමාණයම ද,කම්කරු ප්‍රධානයෙකුට දිවෙල් පිණිස පස්කිරියක් ද, දිනපතා සහල්

3 එක නැළියක්ද,අවුරුද්දකට සුදු කිරීමට හා මල් මිලට රන් කලන් 15 ක් ද, භාණ්ඩාගාරිකයා ද විහාර

4 ලේඛකයා ද කරඬු පිළිබඳ ලේඛකයා ද කරඬු සීල් තබන්නා ද පරීක්ෂකයා ද යන මොවුන් ගෙන් එක් කෙනෙකුට පස් කිරිය බැගින් ද

5 ආරක්‍ෂක වෘත්තියෙහි කාර්මිකයෙකුට කිරි එකක් හා දෙපැළක් ද සහල් දෙ අඩමනාවක් ද විහාරය සරසන්නෙකුට

6 කිරි භාගයක බිම ද සහල් එක මනාවක්ද,උත්සව සංවිධායකයෙකුට කිරි එකක් ද දමියෙන් කොටසක් ද

7 අවුරුද්දකට සුදු කිරීම් මල් (සැපයීම්)වලට රන් තුන් කලන් අක දෙකක් ද පහන් වැටී සපයන්නෙකුට එක් කිරියක් ද,

8 දමියෙන් කොටසක් ද මහා බෝධිය පිලිබඳ ප්‍රීත්‍යුසවයේදී වස්ත්‍රවලට එක් කලඳක් ද මැටි පාත්‍ර සාදන්නෙකුට

9 (කිරියකින්) පාදයක් (කාලක්) ද සහල් දෙපතක් ද වෙහෙරින් පිටත වැඩ කරන්නෙකුට හා රජයෙහි උපන් හෝ සේවය කරන කාර්මිකයකුහට ද එක් කෙනෙකුට

10 කිරි එකහමාර බැගින් ද (ද්විපාද)එක් කෙනෙකුට අඩමනා දෙකක් බැගින් සහල් ද,සොලී බෙර ගසන්නෙකුට පාද දෙකක් ද

11 සහල් එකඩමනා පත දෙකක් ද,පධානඝරය පරිපාලනය කරන්නකුට කිරියෙන් අඩක් ද දැමිය ගමින් කොටසක් ද

12 රතන සුත්‍ර මහාබෝධි මංගලයෙහි වස්ත්‍ර සපයන්නෙකුට එක් කලඳක් ද, පර්වතය පරිපාලනය කරන්නෙකුට කිරියකින් බාගයක් හා දමිය ගමින්

13 කොටසක් ද ජලසම්පාදනය කරන ප්‍රධානයෙකුට (කිරියෙකින්)බාගයක් හා සහල් එකඩමනා එක් පතක් ද ජල සම්පාදකයන් එකොළොස් දෙනෙකු හා

14 එක් එක්කෙනාට දෙ අඩ බැගින් ද දමිය ගමින් එක් කොටස බැගින් ද (වට්නා වැරියන්) කුලීකරුවන් සතර දෙනෙක්ද එක් කෙනෙකු හට

15 එකඩමනා බැගින් සහල් ද එක්කෙනෙකුට දිවෙල් බාගයක් බැගින් ද මෙම විහාරයෙහි භික්‍ෂු සංඝයාට වැඩිමහළු පිළිවෙලින් (වස්සග්ගෙන)

16 සිවුරු සාදා එක්කෙනෙකුට ලැබුණු (කුලිය)සිවුරු සාදන කාර්මිකයන් අතර බෙදා ගත යුතු ද වේ. විහාර කාර්මිකයන්

17 දෙදෙනෙකුට එක් කෙනාට (ද්විපාද) බාගය බැගින් ද සහල් එකඩමනාවක් හා එක් පතක් බැගින් ද කෝෂ්ටාගාර ආරක්‍ෂක නායකයෙකුට

18 බාගයක් හා සහල් එකඩමනා පත දෙකක් ද., බත්ගේ ලැදියකුට එක් පාදයක් ද(කාලක් ද) සහල් එකඩ

19 මනා පත දෙකක් ද,දාසියනට කටයුතු විධානය කරන තැනැත්තියකට පාදද්වයක් ද,කුලියට ගත් දාසියන් සුවිසි දෙනෙක් ද,(ඔවුන් අතරෙන්) එක් අයකුට එක් පාදය

20 බැගින් ද,අවුරුද්දකට රෙදි සපයන්නෙකුට එක් කෙනෙකුට එක් කලඳ පෑගින් ද,විහාරගම්හි උපෑනි කැමියෙකුට

21 එක් කිරියක්ද සහල් එකඩමනාවක් ද බත් උයන සේවකයන් දොළොස් දෙනෙක් ඩ ඔවුන්ගෙන් එක්කෙනෙකුහට තලොල ගමෙන්

22 එක් කිරි(පාදද්වය) බාගය බැගින්ද සලයින්ගේ ජෙ‍්‍යෂඨ යෙතු හැටියට සහල් අඩමනා එකක් හා පත එකක් ද,දර ගෙණවුත් බත් පිසූ

23 සේවකයකුට සහල් අඩමනා තුනක් ද,ඉවීම නො කොට දර පමණක් ගෙනා සේවකයකුට මුරේට ගිය සේවකයෙකුට ද

24 එක්කෙනාට සහල් අඩමනා දෙක බැගින් ද ගෙනා දර(දමා)බත් පිසු සේවකයකුට සහල් එකඩමනාවක් ද

25 ප්‍රාසාදවාසි ජේ්‍යෂ්ඨයකු (පිලිමගෙහි කටයුතු කරන ප්‍රධානයා) ට බාගයක් ද සහල් එකඩමනා එක් පතක් ද ප්‍රාසාදවාසි (සේවකයන්)එකොලොසක් ද, එක්

26 කෙනාට බාගය බැගින් ‍ද සහල් එකඩමනාව බැගින්ද,දිනපතා යලා මැටිකල පසක් දෙන කුඹල් කරුවන් පස්

27 දෙනෙකුට එක් කෙනාට එක් කිරිය බැගින් ද, මාසයක් මාසයක් පාසා පාත්‍රා දහයක් ද කලගෙඩි දහයක් ද දෙන (පාත්‍ර කුම්භාකරයෙකුට)

28 කිරි දෙකක් හා සහල් අඩමනා දෙකක් ද,මාසයකට පෙරහන කඩක් දෙන පෙරහන් දෙන්නෙකුට එක් කිරියක්

29 හා බාගයක්ද,වෙදෙකුට දෙතිසෑ හේනෙන් නින්දගම් වශයෙන් පෑළක් ද දමිය ගමින් කොටසක් ද, කූඩලු වෙදෙක්

30 හට කිරියෙන් බාගයක් ද,දමිය ගමින් කොටසක් ද මන්ඩකයෙකුට(සරසන්නෙකුට)කිරි එකක් හා බාගයක්ද දමිය ගමින් කොටසක්ද

31 නැකැත් කියන්නෙකුට දෙකිරියක් හා දමිය ගමින් කොටසක් ද,කරනවෑමියෙකුට එක් කිරියක් හා දමිය ගමින්

32 කොටසක් ද,ධාතු ගෘහයෙහි භාරකාරයෙකුට ද රණ ප්‍රධානයෙකුට ද,කරඬු පිළිබඳ ලේකම් කෙනෙකුට ද වරින් වර විහාරය ආරක්‍ෂා කරන්නන්

33 තිදෙනෙකුට යන මොවුන්ට දිවෙල් වශයෙන් කරන්දෑ ගම ද,වරින් වර දුම් හා මල් නැතොත් දුම් කබල් සපයන්නකුට දමිය ගමින් කොටස් හතරක් ද,

34 ධාතු ගෙහි  පහන් තෙල් වලට මෙ ගමින් පැලක් ද ධාතු ගෘහයෙහි සුදු නෙළුම් ගෙනෙන මල් කරුවන් දෙදෙනකුට මෙ ගමින්

35 දෙකිරියක් ද දමිය ගමින් එක් කොටසක් බැගින් ද,මාසයකට එකසිය විස්ස බැගින් දෙන මහ තෙල්

36 වවන්නෙකුට පසු ගමියෙන් දෙකිරියක් ද,සිත්තරෙකු හට දෙකිරියක් ද ධාතු ගෘහය රකින දිසාපතිවරයෙකුට

37සහල් එක් නැලියක් හා මහ බුදු මැදුරෙහි දුම්-මල් සපයන සදෙනෙකුට ද බණ දෙසන ධර්මින්ට ද

38 ධර්මි ආචාර්යයන් ස දෙනෙකුට ද යන මොවුන තැට ගුතැගම ද, මහ බුදුගෙහි මල්

39 සපයන්නෙකුට මෙ ගමින් බාගයක් ද දමිය ගමින් කොටසක් ද මෙ ගමේ දුම් හා මල් සපයන්නෙකුට

40 දමිය ගමින් දෙකොටසක් ද මංගල මහා ශෛල ප්‍රතිමා ගෘහයෙහි පුණා(කෙන්ඩි) සපයන්නෙකුට හා කර්මාන්ත භාරකාරයෙකුට ද එක් කෙනෙකුට භාගය

41 බැගින් ද එක් කෙනෙකුට එකඩමනා දෙපත බැගින් සහල් ද ධාතු ගෘහයෙහි බුද්ධාභිශේකයට තෙල් දමන එක් පුටයක්,එනම් බදුනක් (ඔරුවක්)ද

42 ජලය පෙරණ එක් වස්ත්‍රයක්ද ප්‍රතිමා ගෘහයෙහි මෙපමණක් ම ද, කාර්මික නායක ලේඛකයෙකුට

43 කිරි එකහමාරක් ද සහල් අඩමනා දෙකක් ද, වඩු කර්මාන්තය පිලිබඳ ප්‍රධානයෙකුට 'බොධ් වෙහෙර' නම් හේන ද වඩු ආචාර්යවරුන්

44 දෙදෙනෙකුට ද කැටයම් කපන වඩුවන් අටදෙනෙකුට ද උළු වඩුවන් දෙදෙනෙකුට ද යන මොවුන්ට වඩුදෙවෑගම ද,

45 ලී වඩුවන් දෙදෙනෙකුට එක්කෙනෙකුට එක් කිරිය බැගින් ද මණිකාර (ස්වර්නාකාර)මහ ඇදුරන් දෙදෙනෙකුට ද එක් කෙනෙකුට

46තුන් කිරිය බැගින් ද ලෝහ කරුවන් දෙදෙනෙකුට (ද) එක් කෙනාට එක් කිරිය බැගින් ද,හුණු පුලුස්සන්ට සුනුබොල් දෙවැ-

47 ගම ද කරත්තකාරයන් සදෙනෙකු(ද)මොවුන් එක් කෙනෙකුට දුනුමු ගම ද,කර්මාන්ත නව කර්මාන්තවල (නියුක්ත) කැබලි ගමක ප්‍රධානයෙකුට ද එක් කිරියක් ද

48 සහල් එකඩමනාව එක් පතක් ද,කැබලි ගම්වැසි දොළොස් දෙනෙකුට එක් අඩමනාව බැගින් සහල් ද,

49 මොවුන් එක්කෙනාට දිවෙල් වශයෙන් (කිරියෙන්)බාගයක් ද නවගුණ මහා සෑයෙහි ද නැටවිය මහා සෑයෙහි ද අම්බත්ථල චෛත්‍යයෙහි ද

50චෛත්‍යාරක්ෂකයන් තුන් දෙනෙකුට එක්කෙනාට කිරියෙන් බාගය බැගින් ‍ද මේ විහාරයෙහි පර්වතය මුදුනේ හා පර්වතය මුදුනේ හා පර්වතය පහළ ද ඇතුළු වෙහෙරට අයත්

51දාගැබ් ආදිය අතුගා පිරිසිදු කොට රක්නවුන්ට දමියෙන් එක් කොටසක් බැගින් ද දිය යුතු (වේ.) දාගැබෙහි ද පිළිම ගෙහි ද

52 බත් ගෙහි ද (දන් ගෙයි) මෙහෙවර කරන මිනිසුන් ද වස්ත්‍ර ද පොරෝනා කංචුක(සැට්ට) ද හිස්වැසුම් ද සෝදන රජකයන්

53 දෙදෙනෙක් ද යන මොවුන් එක් කෙනෙකුට මගුලව ගමෙහි තුන්කිරියක් ද මේ වෙහෙරට අයිති තාක් ගම්බිම්වල පාර මැද්ද,මහවර්නම් ලොකු බද්ද .

54කුලී බද්ද හා මෙලාට්සි නම් බද්ද මෙම විහාරයට ද තමා අයත් කොට ගත යුතුය .මගතොට දඩාවතේ යන්නන් වැද්ද නොගත යුතුය.කනාවැවෙහි

55 ජලය පැමිනියතාක් තන්හි පුර්වයෙහි ද්‍රවිඩ කාලයෙහි(පැවැති) පුර්වචාරිත්‍රානුකූල දිය බෙදුම් (බද්ද) මෙම විහාරයට ගතයුතු ද(වේ.)

56මේ විහාරයට අයිති තාක් ගම්බිම් කවර ක්‍රමයකින් වත් උකස්‌ වශයෙන් හෝ පමුණු වශයෙන් හෝ නොදිය යුතු ද(වේ.) එසේ ගත්තවුන්ගේ මුදලද අහිමිකොට (තහනම් කොට)විහාරයටම

57 ගතයුතු වේ .දුන් අය රටින් බැහැර යවනසේ මේ නියමයෙන් (රාජ සම්මතයෙන්)තබන ලද මෙම චාරිත්‍ර නොඉක්මවා පැවතිය යුතුය
Read more »

කොත්මලේ ජනකවි

4 comments


මොණරාගල කන්ද පාමුල සැදී       ඇති
නිල් දිය කඳුල හෝ හෝ ගා ගලා    යති
ගාමිණී කුමරු හොර රහසේ ලැගුම්  ගති
මේ ගම් පියස කොටගේපිටිය නම්  වෙති

උදහස් වූ බැවින් පිය රජු හට බියෙ              නි
පැනගොස් මොණරගල හෙළ අසබඩ පැමි  ණි
එහි හිස් ඉඩම්වල සරු කෙත් කරවමි           නි
විසු වෙස් වළා ගාමිණී කුමරිඳු තුටි              නි

නුඹ මල්ලි මට සිව්පද නොකියන්                න
රැවටිල්ලේ වග මාතින් අහපන්                   න
ගන වැල්ලේ ගොස් අව්වේ නොසිටන්         න
ලිඳ පල්ලේ මහ රජ වැටුණයි ඔන්               න

මාස්වෙලට පය තැබූ රජතලා වෙ                ළ
ඒකට වතුර බඳිනා ගල් කැටියේ ඇ             ළ
දුටුගැමුණුයි නම් අස්වැද්දුවේ ඇ                  ළ
අහෝ ඉතින් කැඩුණා ගල්කැටියේ ඇ          ළ

දුල ගාමිණී කරනට කර කාර සු                  බ
කළුමැණිකෝ පින් නොකළේ මන්ද නු       ඹ
හෙළදිව කිරුළ මපියාගෙන් මෙදින ලැ       බ
රජ කරනට රන්මැණිකෝ නඟිනු නු            ඹ

දන් පින් කරන අයමය සොඳ රජ වෙන්        ට
අනේ බැරිවෙච්චි කළු මැණිකෙට යන්          ට
ආලයෙන් හිටපු නුඹ සරි සැමදා                    ට
රන්මැණිකෝ වරෙන් දැන්මාගම් යන්          ට
 
ඌරු පැළැල්ලේ ගම මහගේ ගෙද           ර
මාරු වී එ නම වී ඇසුරූ ගෙද                   ර
සීරුවට අලුත් පල කරන නිසියු                ර
වීරසුරිය ගෙදරයි දැනට බැවහැ                ර

කොත්මලේ කොටගේපිටියේ තිබේවා ඌරු පැළල්ලේ ගම ගෙද       රා
සත්තට කුමරුන් සැඟවී සිටියේ පැලැල්ල දෙණියේ මහගෙද              රා
ගොවිතැන් වැඩ සරුසාරව කරමින් කොත්මල ගම හොත්තේමෙව     රා
ඔටුනුදරා රජ කරනා විලසට මාගම් පුරයට ගිය එව                            රා

ආදා සිට අවුරුදු දොලසක් රජ ගොයිතැන් ගැන නිපුණ වු             ණා
බාදා නැතුවම සතර පේරුවේ සිතු දේ කුමරුට පහල වු                ණා
එමදා කුඹුරක බොල් වපුරාලා හොඳ වී කුමරුට මුතු පැහු             ණා
හැමදා රජකම ලැබෙතොත් මාහට මේ වී ගෙදරට යයි සැණි          නා

ඌරු පැළල්ලේ ගම මහගේ ගෙයි වී වැඩ වී සිත සතුටු වු                ණා
පාර දිගේ එන වී රැළ දැකලා ගම මහගේ සිත සතුටු වු                     ණා
කාර බඳින්නට රන්මැණිකා දුව ගම මහගේ සිත සතුටු වු                 ණා
මේ වර වී නොගොසින් නැවතුනු තැන වී සැතපෙනහෙළ නම රැඳු    නා

කොත්මලේ කොටගේපිටියේ පැවතුණු ඌරු පැළල්ලේ මහගෙද       රා
සත්තට කුමරුන් සැඟවී සිටියේ පැලැල්ල දෙණියේ මහගෙද              රා
රහසට කුමරුන් ඔටුනු පැලෑන්දු ලක තුල රජකම අත නොහැ            රා
අත්හැර යන දා ගැමුණු කුමරු සොඳ කොත්මල් රට ගැන කිවූ පව      රා

ගැමුණු කුමරු වැඩ සිටියේ දොළොස් අවුරුදු කොටගේ  පිටි       යේ
දැමු අලි ඇතුන් නමස්කාර කර වැඩ ඉන්ට බෑ දැක සිටි               යේ
ඔටුණු දැරූ රජ පහළ වෙච්චි සැටි කඩු ගනිමින් ඇතු පිටට ගි       යේ
අනුරපුරේ මහ සෑ මළුවේ දී නිවන් රතෙන් සුරපුරට ගි                යේ

ඔද තෙද වඩා රකිනුව හෙළ දැයෙහි බ       ලේ
ගැමුණු කුමරු සැඟවී සිටි මොණර ග         ලේ
ඇල් කෙත්වල ගොයම් රැළි තවම සැ         ලෙ
මුමුනයි පුරය තොරතුරු රකිමු රජ ක         ලේ

උදුරා බල රැකි වන සමයි    සි                    තා
කුමරා කල ගැමුණු නිරිඳුන් එඩින් යු          තා
බැහැර ලා අවුත් විසු කොත්මලේ වෙ         තා
මොණරගල කන්ද දිස්වේය වම් අ              තා

රාවණාගේ බේත් ගුළිය හැමටම සත්ත        යි
ගිරිගල් පාසියෙන් ඇඹරු බව නම් ඇත්ත    යි
සිතා දේවිය කැන්දා ආ බව ඇත්ත              යි
සීතා ගුහාවේ සැඟවී සිටි බව සත්ත              යි

බාලොලියෝ බාලොලියෝ  බාලොලියෝ
මගේ මිනිහා ගෙයි ඇඳ උඩ   බාලොලියෝ
ගෙනා දෙයක් බාපත උඩ තිය  ලොලියෝ
අද බැරි නම් හෙට වර වර      බාලොලියෝ


උන්ගේ අඩවියට සමනොළද කොට    ගලේ
පළමුව මහවත්ත ගඟ ඉහළ    ගොං      ගලේ
පිපුණි තලමලක් එම   තිස්පනා            ගලේ
මුනිඳු බුදුවෙන්ට වැඩියේ මොණර       ගලේ

බලන් කන්ද කොටගල ඉස්මත්තේ     යා
බඹර බඳිති දෙවිඳුගේ මල් වත්තේ       යා
එක බඹරෙන් පැණි කලයක් ගත්තේ   යා
බඹර කැලේ දී නෑකම් නැත්තේ          යා

කැළණි ගංගා ඉසානේ දෙස පිහිටි කළුගල් පරුව                 තේ
දෙවෙනි තෙද පෑ කෙහෙල්ගමු යන පියස සැදි දෙව් මැඳුර    තේ
එවෙනි තෙද පෑ අලුත් දෙයියෝ කන්ද උස්වැලි මුදුන          තේ
මෙවැනි ශ්‍රී ලක පෑයූ තෙදබල පතිනි දෙව්දුගේ මෙපුව          තේ

පහත රටට ගුගුරන රත්මල් ඇල්      ලා
දෙනුවර දෙකට දුනුමඬලා පිහිල්       ලා
ඌව තුංකිඳට නයි කඳ පිහිල්            ලා
කොත්මලේට පරසිඳු ගැරඬිය ඇල්   ලා

ගොසින් ගොසින් ගොඩිගමුවේ හෙලේ   යා
පසු කරන්ට බැරි විල්කඩ කැලේ            යා
ඇවිත් සැතපෙන්ට රම්බොඩ ඔයේ         යා
බලා ඉන්ට රිසි වුණි කොත්මලේ            යා

කවියක් කියන්ට ද නුඹ මට කියන්   නේ
අකුරු සතර ගළපාලයි         කියන්   නේ
බතල කන්ට ලුණු මිරිසකි ඔබින්      නේ
ගස්ලබු ගහට ඇයි රුවක්  නුදුන්        නේ

මිණි මිණි පොදේ ගන අඳුරේ කන මදු       රු
කෙල්ලක් ඉඳන් දොර නාරිති ඇගේ නපු   රු
බල්ලෙක් ඉඳන් උඩු බුරුලති උගේ නපු    රු
මල්ලක් කඳුරු කන්නෙමි විගස දොර ඇ   රු

අප්පගේ පෙරැත්තේ  බැරුවා නිසාව   ට
බින්න මඟුලකට බහ දී මෙමා       හ   ට
අප්පා ලෙසට උන් අඹුවත් එදා     සි    ට
උපන් ගමට යාමට දැන් සිතෙයි    ම   ට

ඉර සඳ දෙදෙන බිම බැස වැලි කෙලී          නං
වැල්ලෙන් තෙල් හිඳලා දෙවිඳුට පුදයි        නං
ගොනුන්ගෙන් කිරි දෝලා රස පඩි ලබයි   නං
මමත් දොර හරිමි මේ තුන සැබැයි             නං

බුලත් කඩා දෙමි කට රතු කර ගන්             ට
සපුමල් ගෙනැත් දෙමි කොන්ඩේ සරසන්   ට
පට සළු ගෙනැත් දෙමි බඳ වට සරසන්       ට
එතොත් ඉන්ට දෙමි දිව සැප විදින්න         ට

බුලත් මොට ද කස්තුරි කපුරු කන ම            ට
සපුමල් මොට ද නාමල් පළඳනා ම              ට
පට සළු මොට ද දිව සළු පළදනා  ම             ට
අන් හිමි මොට ද මගෙ රන් කඳ ගෙදර කො  ට

පලා කපාලා කුල්ලේ  තිබෙන්                 නා
බතක් ඉදීලා ළිප උඩ  තිබෙන්                 නා
රන මොණරෙක් මිදුලේ පෙම් කෙළින්    නා
පණ නැති මළකඳක් ඇඳ උඩ තිබෙන්      නා

අරමුණෙ වෙලා වෙල් එළියට එන්         ට
පෙරමුණේ බලා කොත්මලේ ගඟ දෙස   ට
රණමුනේ  වතුර නෑවොත් හොඳ ලෙස   ට
මුර වුණේ වුනත් නැති වී යයි යන්          ට

නෙළුම් නෙළන අඟනෝ කොත්මලා  වේ
හොඳ හොඳ සින්දු පවසති දුක් නොලා  වේ
ඒවා ඇහි යන විට හුදකලා                   වේ
මයියොක්කා දෙසති දොළහට වෙලා    වේ

නෙළුමේ සිරිත අඟනෝ ටික එක්වී    මා
කයියේ සිරිත එක් වීලා කවි කී           මා
ඔහෙලගෙ සිරිත ඒ හරියක් නොදැනී  මා
කොත්මලේ සිරිත දොළහට බත් කෑ  මා

උග්ගල බැලුම් ගල දොරගල කොන්ඩ  ගල
යක්ගල යකිනිගල පානේ මොණර       ගල
ආගර ගරන කිරවන හිමි මැණික්          ගල
මාලෙන මාල බිඳුනයි තිස්පනා             ගල

නෑ කල සිසිල හා සීතල සැප දෙව      න
සීතල අනෝතත් විල ලෙස දිය ගල   න
ඒ කල ගැමුණු නර නිරිඳුට පහළ වූ    ණ
මාවෙල හොඳ පිහිල්ලක් මිතුර රනමු ණ

කළුව කළු වෙලා කළු නිල් වලාව           යි
නෙළුව සැම පැළවෙලා හිම මැද තලාව   යි
සළුව මාරු වෙලා නිසි බස් මුලාව            යි
ඔළුව දැමු ලිඳ බෝපත්තලාව                  යි

නරනිදු වික්‍රම සිහ වාසල  දුක්ගන්නා නිලයත්    ලැබු             ණා
පිරිසිදු බඩු පිරි ගබඩාවේ කංකානම් නිලයත්       ලැබු             ණා
අයබදු කොත්මලේ අඟුරු බද්ද සහ මාවෙල ගබඩාගම ලැබු   ණා
පරසිදු දිඹුලමුරේ යන නිල පස කඳුවත්තේ නිලමෙට ලැබු      ණා
                                 
උඩ ගබඩාවේ අය වියදම් දෙක පෙරවරු බාගේ ඉවර වෙ             ලා
දඩ බල මහවාසල රජු ඉදිරියේ රාජකාරියක් නිම කර                   ලා
කඩ නොව පල්ලේ වාසල බිසොවරු සුවදුක් රජු වෙත සැළ කර  ලා
වැඩ නිම වූ පසු අවසර ඇත්තේ දෙදස පැයයි සැට පැය ඇතු        ලා

සක්වසිනා එක්දහසකි හයසිය අසුතුනට ලත් පොසොන්     ම         සේ
රට වඩිනා දස අටවෙනි රවී දින දාවල් විසිපස් පැයට      ලෙ           සේ
අට වකිනා රේවතියේ නැකත ද සදුගේ හෝරා සුහුනු        රැ            සේ
නෙක යසිනා මහ කඳුන් වත්තේ නිලමෙගෙ මරණය සිදුවිය මෙලෙ සේ 

පියතුමා සමග අමනාපය කින්                    න
ගියේ කොත්මලා දෙස රහසින් කුමරු පැ    න
සිය කග සැඟවූ කල කඩදොර අයි              න
දෙහදු කඩුල්ලයි නම් පැවතුණ සොඳි         න 

නදා වී කැඳවුයෙන් මෙහි දන බියෙන් මඟුලට කළු නි  යා
නිදාගන්ට වරද නැත බිම දුන්නු ඇඳ පසෙකින් ති        යා
එදා නොම උන් අපට අද හඳුනාගත් දැයි රජ නි           යා
සොඳා ලෙස ඔච්චම් කරමිනුය සැලකුවෙමු පාද          යා

මවුපියන් සමග දෙමළ රජු හා යුදට යන්ට සැබැවි                    නා
මෙමට අවසර ලැබෙනු මැනවැයි ගැමුණු කුමරුන් පවස          නා
නැතියෙ අවසර දුන්නෙ තෙවරා ඉල්ලු මුත් යම් විලසි              නා
රොසය වීමෙන් කුමරු කොත්මල දෙසට ගොස් විසුයෙ රහසි    නා

ඉහළ දුවයි යමානා
පහළ  දුවයි  යමානා
හං ගොල්ලයි යමානා
යකඩ තලයි  යමානා

බලන් කන්ද කොටගල ඉස්මත්තේ      යා
බඹර බඳිති දෙවිඳුගේ මල් වත්තේ       යා
එක බඹරින් පැණි කලයක් ගත්තේ      යා
බඹර කැලේ දී නෑකම් නැත්තෙ           යා

ඇතුන් සිටිති කඩදොරපිටි කැළේ         යා
අතින් අතට මදු අරගෙන ගියෝ          යා
ගොසින් ලගින්නට රම්බොඩ ඔයේ     යා
අලින් ඇතුන් ගියෝ විල්කඩ කැලේ    යා

කොත්තුනුගොඩ පෙර කා      ලේ
නොයති දනෝ බිය ලෝ       ලේ
කුළු මීමුන් ඇත එක              ලේ
මානාවයි හිඟුරු කැ               ලේ

ගිමන් යන කලට කඳු හෙල් නැඟි වෙහෙ   ස
ගමන් සැනසෙන්ට කළ මඩමක්  විල        ස
නිවන් දකින්නට කර ගන් මෙපින් රැ         ස
මෙවන් අම්බලම් කොත්තුනුගොඩ ය        ස

නදා සිතින් හාමින් කුඹුරු බැස  දි   ය
මුදා මුහුන් නිවසට පැමිණි සිය  පි   ය
එදා ඔවුන් කිවූ අපි මල් හෑවෙමු      ය
එදා පටන් මේ ගම මල්හෑව  වි       ය 

කළුගල් පතන රොඩී කවි

විසිරංග වල්ලිය    නටනා     කාලි         යේ
ජෝතිගේ මැණිකක් දෙන්නට සිතු ලි    යේ
දෑත ගසන බෙර පදයට නටන ලි            යේ
මෑත අවුත් නාටකොයි රත්න වල්ලි       යේ

කොතැන සිටන් එන්නේ ඇල්ලී වල්ලි    යේ
රුහුණු සිටන් එන්නේ ඇල්ලී වල්ලි        යේ
දෙපස දැමු ගිගිරිත් සෙල්ලි වල්ලි            යේ
පැරකුම් රජුගේ දු නවරත්න වල්ලි          යේ



නුවරඑළිය සිමාවේ මැණික් බණ්ඩාර දෙවියන්ගේ දේවාලයක් හග්ගල ආසන්නයේ තිබු බවත් ඒ සම්බන්දයෙන් නිර්මාණයවූ කවියක්

ඇතුල් හග්ගලයි දෙවියන්  ඉන්        නේ
නිමල් සිතින් ගැතියන් පේ වෙන්     නේ
මෙකල් විදුරුපොළ දෙවොලට එන්  නේ
අකල් මරණ ලෙඩ දුරු වී  යන්         නේ 

ඔතෙද වඩා රකිනු පහළ බ                    ලේ
ගමිණී කුමරු සැඟවී සිටිය කොත්ම       ලේ  
ඇල් කෙත්වල ගොයම් රැළි තවම සැ     ලෙ
මුමුණයි සුළඟ තොරතුරු රුහුණු රජ කු  ලේ

කඩදොරපිටිය මහ ගබඩාව කොත්ම              ල 
මියුගුණ වෙහෙර රන්කොත සමගින් විපු        ල
පහළොස් වෙහෙර රන්කොත් සමඟින් ලක    ළ
මොහොට්ටි ආරච්චි පවරා ඇත එක               ල

තලා වෙලේ මහපාරේ යනකොට මලක් දුටිමි තිස්පනා වෙ         ලේ
රන්කොත් මුදුනට බෝපත් වැඩලා කරපු වැඩක්දෝ  නිපුණ ක  ලේ
චිත්‍රාං චිත්‍රාං බමරුන් ඇවිදින් යන විටදෝ මේ නාද ක                ලේ
අපි මොනවටදෝ සිංදු කියන්නේ පරවීලා බිම වැටෙන ම           ලේ

ලොකුරුනයිදේ හා මුංකොටුවේ රාල අතර ඇතිවූ හබයක්

රස්සාවට තඹ ලෝකඩ කිරු                      වා
උත්සහ කර පෙර පාලඟ මැරූ                   වා
විපාක නැති දෙ තව බොහො දෙ කෙරු      වා
එපා එන්ට සබයට ලෝකුරු                      වා
      
මහණවෙලා ගෙන් ගෙට පිඬු සිගු                වා
එහෙමත් කර අඹු දරුවන් හැදු                    වා
බොහොම නිගා කර දෙලොව රැවටු            වා
කොහොම කීය මුංකොටුවේ හීරළු              වා

ලෝකුරුනයිදේ විසින් කියන ලදැයි සලකන බොරු හතේ කවිය

කිලි කුණු නැති වඳිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක් 
මිරිගු දියෙන් නානය කර පැළඳ දිඹුල් මල් වඩම      ක්
තුරඟ අඟින් රථය තනා අඹරා ඉබි ලොමින් යොත    ක්
කුහුඹු අඟින් කෙවිට තනා දැක්කිය සුරපුරට උද        ක්                           
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine