#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

හතේ විත්ති

2 comments

අපගේ එදිනෙදා ජිවිතයේදී 7 අංකය ඉතා වැදගත් වෙයි බොහෝ අවස්ථාවලදී 7අංකය වාසනාවද අවාසනාවද ගෙන ඒමට සමත්වේ එය එසේ වුවද හතෙන් කියවෙන බොහෝ දෑ අපට හමු වේ 

සත් රුවන් 

රන් 
රිදී 
මුතු 
මැණික් 
වෛරෝඩි
දියමන්ති 
පබළු 

සත්සමුදුර 

පියවි සයුර 
ධුරමාලි 
අග්නි මාලි
අසි මාලි 
දධි මාලි
කුස මාලි 
නළ මාලි

සත් පියුම් 

සුදු නෙළුම්
නිල් නෙළුම්
රතු නෙළුම්
සුදු මහනෙල් 
නිල් මහනෙල් 
රතු මහනෙල් 
ඕලු

සප්ත රසය 

මුල් 
පොතු
කොළ 
කඳ
මල්
ඵල
කීලීල

සත්කුළු පව්

යුගන්ධර
ඊසධර
කරවික
සුදස්සන
නේමින්ධර
වින්තක
අස්සකන්න

සප්ත ආකාර භාර්යාවෝ 

වධක
චෞර
කණ්ඨක
ස්වාමි 
මාතෘ
දාසි
ශ්‍රියා

හත්මුතු පරපුර 

අත්තා 
මුත්තා 
නත්තා 
පනත්තා 
කිත්තා 
කිරිකිත්තා 
මී මුත්තා 

අභය දිය යුතු හත් දෙනා 

ශ්‍රමණ 
බ්‍රාහ්මණ 
මවු පිය 
ළදරුවෝ 
රෝගී අය 
ස්ත්‍රී    
Read more »

සු සැට ආභරණ

3 comments


පුරාන කාලේදී කාන්තාවන් විතරක් නොවේ පිරිමින් පවා ආභරණ පැළඳගෙන සිට ඇති අතර මෙම ආභරණ සු සැට ආභරණ ලෙසින් හඳුන්වයි මෙම ආභරණ 64 පිළිබඳව වෛජයන්ත තන්ත්‍රය නම් පුරාණ පොතේ මෙසේ සඳහන්ව ඇත

1. පාදජාල= කකුල් වලට පැළඳි ආභරණයක්
2. පා මුදු= කකුලේ එක ඇඟිල්ලට මුදු තුන බැගින් ඇඟිලි දහයට මුදු 30කි
3.නුපුර=කකුල් වලට පළඳින ආභරණයකි
4.පාද සංඛලා=කකුල් වලට පළඳින ආභරණයකි
5.පාද කිංකිණි=කකුල් වලට පළඳින ආභරණයකි
6.කංසුතාලන්=කකුලේ ඇස්වටය ළඟ පළඳින් මාලයකි
7.පාඩගම්=ඇස් වටය ළඟ පළඳින වළල්ලක්
8.පටිමෝඩිං=පටි ආකාරයේ කකුලේ පළඳින් වළලු
9.පාදනු=කකුලේ පළදින සංන වර්ගයක්
10.ඌරු ජාලා=කලව ප්‍රදේශයට පළඳිනා ආභරණයක්
11.හීන සුත්‍ර= කකුල් වලට පළඳින මාල 6ක්
12.පාද ජංඝා= කෙන්ඩා වලට පළඳින ආභරණයක්
13.ජංඝාභරණ=කෙන්ඩා වලට පළඳින ආභරණයක්
14.නුරුවලා 
15.හිනසඳ
16.මකරපට
17.හීන සුදන
18.හිනසදන මාලභරණ
19.රසන
20.උදර බන්ධන
21.අවුල් නැරය
22.රුවන් සෝලු
23.ගැට පළඳනාව
24.අගු පළඳනාව
25.ශ්‍රී වාලංකාරය
26.ගෙලමුතු මාලාව
27.සද්දම්
28.රන් දම්
29.රිදී දම්
30.මුතු දම්
31.සිද්දකැදම්
32.පබළු දම්
33.මුක්කානරය
34.දස අංග තිලකය
35.හස්ත ජාලා
36.බාහු දණ්ඩි
37.මිණිවළලු
38.රන්ගිරි වළලු
39.කටක
40.කයිසුත්‍ර 1
41.කයිසුත්‍ර 2
42.කඩිපෝට්ටු
43.කයිවඩම්
44.කඩිකාප්පු
45.මණ්කයිවඩම
46.පිළිනෙව් පච්චකයිවඩම්
47.පත්‍ර
48.හස්මුද්දික
49.මුද්‍රිකා
50.පේරැස් මුද්ද
51.දසිරු
52.පසිරු
53.කර්ණවනසංක
54.කර්ණාභරණ
55.නළල් සඳ
56.රුවන් පට
57.නළල් පට
59.ඔටුණු
60.කේයුරාභරණ
61.ස්වර්ණ ජාලා
62.වැඩනිමුල් හැර
63.රහුගෙඩිය
64.ඒකාවළලු
Read more »

පුතුන් දහසක් බිහි කල කුමරිය

1 comments

 එක මව් කුසින් බිහිවූ පුතුන් දහසක් පිළිබඳව කථා පුවතක් චීන දේශාටක භික්ෂුවක් වූ හියුංසාන් ගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. බොහෝ අතීතයේදී  එක්තරා තාපසයෙක් ඔයක දිය නාමින් සිටියදී මුවදෙනකට ලැබුණු ඉතා රූමත් කුමරියක දැක ඇය තම අසපුවට ගෙනවිත් පෝෂණය කළේය.ටික කලකට පසුව දිනක් එම තවුසා ගින්දර ටිකක් ගෙනෙන ලෙස පවසා කුමරිය වෙනත් තාපසයෙකු වෙත යැව්වේය.එම තවුසා දැරිය පා තබන තැන්වල පියුම් සළකුණ දැක පුදුමයට පත් විය.ඉක්බිතිව දැරිය ඇමතු තවුසා ඇය තම අසපුව වටා ඇවිද ආවොත් ගින්දර දෙන බව පැවසුවේය.තවුසාගේ කීම අනුව එසේ කළ කුමරිය ගින්දර රැගෙන පිටව ගියාය.

බ්‍රහ්මදත්ත රජතුමා එම අරුම පුදුම පියුම් සටහන් දැක,මේ කුමාරි සොයා අවුත් ඇය සිය නුවරට රැගෙන ගියේය.පා තබන තැන පියුම් සටහන් ඇති බැවින් ඇයට "පද්මාවති" යන නාමය ලැබිණි.අනාවැකිකරුවෝ ඇගේ ශරීර ලක්ෂණ දෙස බලා මේ කුමරිය අනාගතයේදී දරුවන් දහසක් ප්‍රසුත්‍ර කරන බව පැවසුහ.  කලකට පසුව ඕ පෙති දහසක් තියෙන පියුමක් ප්‍රසුත්‍ර කළාය.එම පියුමේ පෙති දහසේ එක් පෙත්තක පුංචි කුමරා බැගින් කුමරුවෝ දහසක් වාඩිවී සිටියහ.වෙනත් ස්ත්‍රීන් විසින් එය අශුභ ලක්ෂණයක් යයි පවසා එම පියුම පෙට්ටියක දමා ගංගා නදියට දමන ලදී.

පසුව මේ පියුම සහිත පෙට්ටිය උදේනි රජුට හමුවී  කුමරුන් දහස දැක,ඔවුන් පෝෂණය කොට හදා වඩා ගැනීමට මාළිගාවට ගෙනයන ලදී.කලකට පසුව අරෝහ පරිණාහ දේහයන්ගෙන් යුක්ත වූ මේ කුමරුවෝ දහසක් දෙනා උදේනි රජුගේ හමුදාවට බැඳී රට රටවල් යටත් කරගත්හ.අවසානයේදී මේ යෝධ කුමරුවන් දහස බ්‍රහ්මදත්ත රජුගේ විශාලා මහනුවර සටන් කොට අල්ලා ගැනීමට නගරය වටා රැස්ව සිටියහ.එවිට පද්මාවති දේවිය එම යෝධයන් දහස තම පුතුන් බව දැන,නුවර වටා බැඳී පවුර උඩට නැග ,යෝධයන් අමතා ,සටන් නොකරන ලෙසත් ,තමා ඔවුන්ගේ මව බවත් ප්‍රකාශ කර සිටියාය.කුමරුන් දහස එය පිළිගැනීම ප්‍රතික්‍ෂේප කළහ.එවිට පද්මාවති දේවිය සිය පියයුරු වලින් කුමරුන් දහසගේ මුඛයන්හි කිරි බිඳු වැටෙන්නට සැලස්වුවාය.ඒ අනුව මේ පද්මාවති දේවිය තමා සියලු දෙනාගේ මව බව පිළිගත් කුමරුවෝ දහසක් දෙනා සිය දුණු,ඊතල ආදී ආයුධ විසිකොට ඇය වෙත පැමිණියහ.ඉන්පසුව දෙරට වැසියෝ සමගි වුහ.
    
ඊට බොහෝ  පසු කාලයේ එම ස්ථානයට වැඩම කල බුදුරජාණන්වහන්සේ ඉහත දැක්වූ පුවත හෙළිකොට එම දහසක් කුමරුන් අනාගතයෙදී බුදුවන බෝසත්වරු බවද,උන්වහන්සේ එයින් එක් කුමරෙක් බවද ප්‍රකාශ කළහ.ඉන්පසුව එම දහසක් පුතුන් සිය උණු හී ආදී ආයුධ  ඉවත දැමු ස්ථානයේ ස්ථුපයක් ගොඩනැංවූ බවද,ඒ අසල තැනක බුදුරජාණන්වහන්සේ සක්මන් කල බවද සලකුණු තිබුණු බවද හියුංසාන් හිමිගේ දේශාටන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.
Read more »

අපේ ගම් වල හැටි

0 comments
ගසට හෝ වැලක                        ට
පෝර දිය දුන් පමණ                    ට 
උසට සහ මහත                           ට 
වැඩෙයි මල් පල දෙමින් මතුපි     ට

කියනු කිම ? බොහො               දුර
කළ එළි සුවඳ මල්                   බර
පුර නම් සඳුන්                         තුර
දරණ මුල නම් ගමය පිටි          සර

ගම ගැන නොපිලි                    පැද
පුර දියුණුවම පිලි                      බඳ
වැඩ කරණු කෙබ                      ඳුද
පෝර දිය දෙනු වැන්න කඳ       මැද

ලකෙහි තතු ඇති                     සැටී
දකිනු රිසි නම් නොරැ                වැටී
නුවණින් බලනු                         වටී
අපේ පිටිසර ගමේ අද                හැටි

රස අහර නොල                        බන
පිරිසිදු ඇඳුම් නො අ                   ඳින 
සවියෙන් පිට ප                         නින 
තරම් ඉල ඇට නෙරීගෙන           එන

කිසි නුවණකුත්                        නැති
වෙන යම් සිල්පෙකුත්               නැති
පිටු වහලකුත්                           නැති
කරන්නට රස්සාවකුත්               නැති

ගෙවතු පිටි                              කුඹුරු
ඕවටි හේන්                             වගුරු 
දියට යන                                අයුරූ
බලා වගුරත කඳුළු                   පොකුරු

හෙණ වැදුනු වැහි                     කල
ගස් මෙන් හිතැඟි සුන්               කළ
ගම් වැසියෝ මෙ                      කළ 
දහස් ගණනින් සිටිති ගම්           වල

කිරි නොලැබෙන                     බැවින
අකල් මරණින් වැන                 සෙන 
බිළිඳුන්ගේ                              ගණන 
සොහොන පමණයි දන්නේ       නිසැකින 

ගැමියන් විඳින                           වද
මෙලෙසැයි දැකත් පිරි                සඳ
දෑහිතැතියන්                              හද
නො උණු වන්නේ කුමන            කරුමෙද

පොදු ජන වැඩ                           කරන
දෑ හිතැතියන් හැම                      දෙන 
තබා විත් මැති                            තැන
සතිය යුතු වෙයි දිළිඳු ගම්             ගැන

ගම් ගැන නොසළ                       කන 
ගැමි ජීවිතය නොද                      කින
යම් යම් අය                                කරන
කරන වැඩ ගරුනොවේ කිසි          දින 


හින්ද හිමියන් අතින් ලියවුන අවසාන රචනාවයයි සිතිය හැකි මේ කවි පෙළ උපුටා ගැනීම 1951 ඔක්තෝම්බර් මස පලවූ දේදුන්න සඟරාවෙනි දේදුන්න කවි සඟරාවේ සංස්කාරකවරයා වුයේ පී .බී අල්විස් පෙරේරා කවියයි
Read more »

උඩරට ඇහැලේපොළ ඛේදවාචකය

0 comments


පිටියේ නිරිඳු මා දකිමින් උයනේ         සිට 
හැරියේ පණිවිඩය යන මෙන්        වාසලට
සරියේ නැති බැවින් ගෙදරින්        යාමපිට
බැරියේ කී නිසයි මේ දුක වුනේ           මට


දුටුවන් වශී කරන මනරම් රූ සපුවකින් හෙබි ඇහැළේපොළ කුමාරිහාමි සමඟ නොමනා සම්බන්දතාවයක් ශ්‍රී වික්‍රමසිංහ රජු පැතුවේ ඒ අයුරින්ය.එහෙත් වංශවත් මොණරවිල පරම්පරාවට අයත් එඩිතර නිර්භීත ජාති  හිතෛෂියෙකු වූ  කැප්පෙටිපොළ මහාධිකාරම්ගේ  නැගණිය වූ කුමාරිහාමිට එම ගතිගුණ පිහිටියා පමණක් නොව පතිධර්මය ආරක්ෂා කළ ඇය වෙනත් පුරුෂයෙකු (රජ වුවද )සමග රහස් ප්‍රේම සම්බන්දයක් ඇති කර ගැනීම තුච්ච කොට සැලකුවාය.ඇගේ සැමියා මේ වන විට සපරගමුවේ රාජකාරී කටයුතු කළේය.රජ මාලිගාවේ සිට බලනවිට මහාධිකාරම් විසු (වර්තමාන ක්වීන්ස් හෝටලය)කුමාරිහාමි රජුගේ නෙතට ලක් වීමෙන් රජු තුල මේ අදහස් පන නගින්නට ඇත.එහෙත් ඇයගේ ගෞරවය ඉදිරියේ රජු පසුබා සිටියේ තරමක කේන්තියකිනි.තම පරමාර්ථය ඉෂ්ථ කර ගැනිමට නොහැකිවුවහොත් කවදාහෝ ඇගෙන් පාලි ගැනීමේ චේතනාවෙන් රජු බලාසිටියේය.ඇගේ කුලමානයටත් අහන්කාරකමටත් නිසි පාඩමක් උගන්වමියයි බල බලා සිටි රජුට මේ අවස්ථාව උදාවුයේ දෛවෝපගත ආකාරයකටය.

ශ්‍රී වික්‍රමසිංහ රජ නමින් සිංහාසනාරූඩ වූ මේ වඩුග කුමාරයා උඩරට සිංහාසනය උරුමකම් පැවතියෙක් නොවේ.ඔහු රජවුයේ රාජාධිරාජසිංහගෙන් පසුවයි.එතුමාගෙන් පසු සිහසුනට නම් කර තිබුනේ මුත්තුසාමි නැමැත්තෙකි.රජු ඇවෑමෙන් ඇතිවූ අරාජක  සමයේ සිංහලයේ බලවතා වුයේ මහාධිකාරම් පිළිමතලව්වේය.පිළිමතලව්වේ මුත්තුසාමි කුමාරයාට සිහසුන බාර නොදී කන්නසාමිනම් කුමරුට(ශ්‍රී වික්‍රමරාජසිංහ රජු)සිහසුන බාර දුන්නේ තම සිතේ තිබු අදහස මුදුන්පත්  කරගන්නා අටියෙනි.ඒ තමා පත්කළ රජු රූකඩයක් කර පාලනය කිරීමයි.එසේම ටික  කලකින් රජු මරා හෝ නෙරපා හැර උඩරට යලිත්  සිංහල රාජ පරම්පරාවක් ඇති කිරීමටය.වයස අවු;16 ක් පමණ කළ සිහසුනට පත් වූ කන්නසාමි කුමාරයා වයසින් වැඩෙත්ම වුයේ මහාධිකාරම් බලාපොරොත්තු නොවූ දෙයකි.එනම්,අධිකාරම්ගේ කටයුතු රජු වටහා ගැනීමයි.මෙහි අවසාන ප්‍රථිපලය වුයේ අසාර්ථක රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් ඇති කළ මහධිකාරම් පිළිමතලව්වේ රජුගේ අනින් හිස් ගැසුම් කෑ මරණයට පත්වීමයි.ඉන්පසු මහධිකාරම් වුයේ ඇහැළේපොළයි.ඇහැළේපොළ වනාහිද පිළිමතලව්වේගේ බෑනා කෙනෙකි.රජුට මේ පත්වීම අවලංගු කළ නොහැකිවූයේ උඩරට රදළ පරම්පරා අතර පිළිමතලව්වේ පක්ෂපාතින් රාශියක් සිටීමයි.ඒ නිසා නොකර බැරි විය.මෙවිට රජ කලේ ඔහු සතුරු මොල්ලිගොඩ නිළමේ දෙවෙනි අධිකාරම වශයෙන් පත් කිරීමයි.කෙසේ වෙතත් ඇහැළේපොළ  මහාධිකාරම හා රජු අතර තිබු සැකය දිනෙන් දින වැඩෙන්නට විය.එය තහවුරු වුයේ රජුගේ දෙවැනි අභිෂේක මංගල්ලය නිසාවෙනි.

මහාධිකාරම වශයෙන් රජුට එවිය යුතු "දැකුම"වෙනත් අධිකාරම්වරුන්ට වඩා සුළු එකක්වූ අතර එය රජු ආපසු යැවීමෙන් මෙය සිත් අමනාපයකට තුඩු දීමක් විය.මොල්ලිගොඩ අධිකාරම ලිපිය කියවන්න නිතරම මහාධිකාරම රජු සමග මහනුවරම පදිංචි වුවත් මේ සිද්ධියෙන් පසු රජුට හොඳ ත්‍යාගයක් දෙමියි සිතූ ඇහැළේපොළ සබරගමු දිසාවට ගොස් එහි ආචාරියෙකුට රන් කඩුවක් හා ඔටුන්නක් සාදන ලෙස දන්වා ඇත.මෙය ඔහුට සතුරු රදලයින්ට කදිම අවස්ථාවක් විය.ඔවුහු ඇහැළේපොළ  රජවන අදහසින් මෙවැන්නක් කරන බව රජුට දැන්වුහ.මෙහි සත්‍ය තත්වය කුමක්ද යන්න බැලිමට රජු ඇහැළේපොළ වහාම මහනුවරට පැමිණෙන ලෙස පැවසුවද වුයේ නොසිතු දෙයකි.
රජුට තිළිණ කිරිමට සිටි ත්‍යාගය (රන් කඩුව හා ඔටුන්න )තවමත් ආචාරියා සාදා අවසන් හමාර නොවූ නිසා තමාට ඒමට දින කිහිපයක් ගතවන බව ඇහැළේපොළ විසින් දන්වා එවන ලදී.නමුත් එසේ ගෙන පණිවිඩය මොල්ලිගොඩ අධිකාරම්ගේ සහචරයන්ට හසුවීමෙන් රජු අතට පත්වුයේ රජු කුපිත කරන ලිපියකි.රජු යලිත් මහාධිකාරමට මහනුවරට එමට කීවත්  පහු ඊටද කීකරු නොවිය.මේ නිසා වුයේ ඇහැළේපොළ කුමාරිහාමි  හා දරු පිරිස ඇපකාරයන් බවට පත්වීමයි.රාජ නියෝගයෙන් ඔවුන් මහනුවරින් පිටත් කර පල්ලදෙනියේ වලව්වේ ආරක්ෂා සහිතව නිවාස අඩස්සියක තබන ලදී.

මේ අතර මහාධිකාරම ඉංග්‍රීසීන්ට  එකතු විමට තීරණය කරන ලදී.මේ සඳහා ජෝන් ඩොයිල් හා සාකච්ඡාවක් පැවැත්වීමට ඇහැළේපොළ මහාකාරම එක්නැලිගොඩ නිළමේ කොළඹට පිටත් කර හරින ලදී.මේ සාකච්ඡාවේ ප්‍රථිපල ඇහැළේපොළ කෙරෙහි සතුටුදායක ලෙස බලපෑ බව පෙනේ.ඒ අනුව උඩරටට විරුද්ධව ඇති කරනු ලබන කැරැල්ලක් තුළින් රජු පහ කිරිමට ආධාර දිමට ඉංග්‍රීසින් කැමැත්තක් පල කළහ.1814දි ඇහැළේපොළ සබරගමුවේ බටුගෙදරින් කැරැල්ලක් ඇති කලත් ඊට උඩරට  රදළවරුන්ගේද ,ඉංග්‍රීසින්ගේද බලාපොරොත්තු සහයක් නොවිය.කැරැල්ල අසාර්ථක විය.ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඇහැළේපොළ සියලු නිලතලවලින් පහ කරන ලදී.රජුට පක්ෂව සිටි මොල්ලිගොඩ මහාධිකාරම් ධුරයට පත් කෙරින.මොල්ලිගොඩ විසින් සබරගමුව ආක්‍රමණය කර කැරැල්ල මර්දනය කරන ලදී.ඇහැළේපොළ සිය පාක්ෂිකයින්ද සමග ඉංග්‍රීසින්ගේ ආරක්ෂාව පතා කොළඹට පන යන ලදී.මෙම රාජද්‍රෝහී කුමන්ත්‍රණයට වන්දි වශයෙන් ඔහුගේ දු දරුවන් හා ඥාතීන් සිරභාරයට පත් විය. 

ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මේ වන විට ඉතා දරුණු පුද්ගලයෙකු ව සිටියේය.රජුගේ ඇසුරේ සිටි ඇමතිවරු ඔවුනොවුන් එකිනෙකාට විරුද්ධව ගතු කේලම් කී නිසාද පිළිමතලව්වේ වැනි මහාධිකාරම්වරු රජු මැරවීම සඳහා කළ කුමන්ත්‍රණය නිසාද රජුගේ ඇමතිවරු අතර අමනාපකම් දිනෙන් දින වැඩි වී ගිය නිසාත් අවසාන මොහොතේ රජු පිස්සෙකු මෙන් ක්‍රියා කළේය.තමාට විරුද්ධව යයි සිතු හැමදෙනාම දෙතිස් වද දිදී මරා දමන ලදී.සමකාලින ඉංග්‍රීසි වාර්තාවල සඳහන් පරිදි රජු කල දරුණු අපරාධ රාශියක් ගෙන සඳහන් වේ.  

කුඩා බිලිඳා ගේ සිඳලූ ගෙල වංගෙඩියට දමා රජු  එය කොටන්නට මවට අණ කරත්ම ඇය සිහි විසන්ඥව බිම ඇද වැටුනාය.එසේ නොකළහොත් ඇයව ගහලයෙකුට පාවා දෙන බව රජු කිවේ පරණ කෝන්තරය සිහිපත් කරමිනි.ඒ දුටු ජනයා හැඩු හැටි තැඹීළිපොළ කවියා පෙරලි හටනේ දක්වා ඇත්තේ මෙසේය.

කිරි මතුවුණි උගුරින් කිරි            පැනලා 
ලේ මතුවුණි බෙල්ලෙන් ඇඟ    තෙමිලා
ලේ සමගම කිරි මුව                කැළඹිලා
ලේ විල උනි බිම මළුවත්            ගලලා

දුටු දුටු අය සිහිපත්              නැතිවෙලා 
කොටවව්   ඔලුගෙඩි වනට        දමාලා 
මට පව් නැත දැන් රැකවලු        කියාලා 
කැපු  ඔලුගෙඩි ගෙන  වනට      දමාලා

යෙදුන පණත මෝලෙන්         කොටවන්නේ 
වැදුණු සැරේ මව් සිහි නැති              වන්නේ 
විඳින වෙහෙස මව් කුස තුල              දන්නේ
හද ගිණි සැර රජ උදහස                  වන්නේ

කඩා කවව් අඩුවෙන් මස්             උන්නේ 
අඬා විලාපෙන් ඔලු            කොටවන්නේ
කඩා ඉසුනි ලේ මුණට                උන්නේ 
අඬා බිසව් දෙරණත             පෙරලන්නේ

මුණ පෙනෙයි රතු වදමල්       පෙත්තේ 
ගෑනු හඬති දුටු අය එක         රොත්තේ
හානි වෙච්චි ඔක්කොම මේ     වැන්නේ
පාන නිවුනි නරලොව මේ       වැන්නේ

සියලු දෙනා මැරීමෙන් පසු අනතුරුව පැවතියේ භීෂණ යුගයකි.අවිචාර සමයකි.පැරණි සිද්ධි මත නඩු විභාග කරමින් වරදකරුවන් දරුණු ලෙස මැරවීම මේ යුගයේ  නිරන්තරව සිදු කෙරිණි.පිළිමතලව්වේ විසින් මර්දනය කළ රජුට මර්දනය කිරිමට නොහැකිවූ කැරැල්ලට පවා සම්බන්ධවුවන් නැවත නැවත සොයමින් විභාග කරන ලදී.ඇහැළේපොළ හා සම්බන්ධකම් පැවැත්වූ නුවර කලාවියේ දිසාව ගාත්‍රා කපා හිස ගසා දැමිනි.ඇහැළේපොළට පක්ෂයයි සැක කළ සපරගමුවේ නිළමේවරු 47දෙනෙකු මරා දැමිනි.


ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය මතුවූ ස්ථානය යයි සලකයි



කුමාරිහාමිට පක්ෂව සිටි තවත්  කුමාරිහාමිවරු 3දෙනෙකු බෝගම්බර වැවේ ගිල්වා මරා දැමිය.ඉංග්‍රීසි වාර්තාවන් (ඩේව් දුටු ලංකාව )සඳහන් කරන අන්දමට මේ සිද්ධිය දුටුවන් කම්පා කරවන
සිද්ධියකි.ඇහැළේපොළ ඛේදවාචකය පිළිබදව පසුකාලීනව ඒ යුගයට අයත් පොත් රාශියක සඳහන් වේ.ඒ අතර ඇහැළේපොළ හටන ,පෙරලි හටන ,රාජාවලිය,ඒ පොත් අතර වැදගත් වේ.ඇගේ ශෝකාලපයත්,ශාපයත්,ගැබ් කරමින් රචනා කර ඇති පහත සඳහන් කවි කීපය හිත පිත් නොවූ හදවතකට පවා ඉවසිය නොහැකි තරම් බව ඒවා කියන්නට වැටහේ.

      
       
අහස පොළව මේ තිරහන් කාලේට මතු බුදුවෙන     හාමුදුරුවනේ
මමවත් මගේ දරු කල වරදක් නැත අසන්ඩවත්        හාමුදුරුවනේ
වරද කලේ අප මහ නිළමේ වද   අසන්ඩවත්           හාමුදුරුවනේ
දළදා නාමෙට පිනට අරිනවද මතු බුදුවෙන             හාමුදුරුවනේ
   
මහ ගබඩාවේ සතර දෙනෙක් ඉඳ කිරි පෙව් මැණිකෙයි           ඉල්ලන්නේ 
දෙතන දෙකේ කිරි පොවලා හරියට පව් ඇරලවාලයි ගෙන      දෙන්නේ
කුසේ දැන ගිනි ඇවිලෙනවාවද ඇයි දෙව් අවනඩු                   නොලබන්නේ
නෙතින් වෑහෙන කඳුලැලි වැගිරෙනවා සත් පත්තනි දේවි        නොලබන්නේ

කඩුව ලැබිලා වාසල එනවා අරහේ බලාපන් බුදු                    අම්මේ 
මැණිකේ කපාලා වනට දමාලා මාත් කොටන්දෝ බුදු            අම්මේ
මහවාසලයට සැල කරවාලා අප ගලවා ගන්  අපේ                 අම්මේ 
මෝඩ රජුන් හට කොච්චර කීවත් අප ගලවනු නැතිවද            අම්මේ 

මහ නිළමේ මට කල් බැඳලා සිට වැදු ඒ දරුවන්                            නොලෑබෙච්චි
දෙවනුව වැදු මගේ ඩිංගිරි මැණිකේට කිරි  ටික බොන්නට බැරි          වෙච්චි
අකාල කරුමෙට වදාපු දරුවන් වනේ කොටන්නට සිදු                      වෙච්චි
දෙමළ රජුන් හට හෙණයක් දෙන්නට සත් පත්තිනි දෙවි නැති           වෙච්චි


රාජද්‍රෝහී කුමන්ත්‍රණවලට දෙන දඩුවම් ඕනෑම සමාජයක වුවද දරුණුය.එහෙත් ඇහැළේපොළ  ඛේදවාචකයට තුඩු දුන් සපරගමු කැරැල්ල වූ කලි දරුණු එකක් නොවේ.ඊට සහභාගී වුයේ ද ස්වල්ප දෙනෙකි.නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා උඩරට දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අනුමත නීතිරීති පවා ඉක්මවා ගිය බව පෙනේ.ඒ බව ඊට පෙර පැවති රාජද්‍රෝහී කුමන්ත්‍රණ හා සසදා බැලීමෙන් පෙනේ.1760 කුමන්ත්‍රණය එතරම් දරුණු නොවේ.ඒ කුමන්ත්‍රණ2ද අසාර්ථක විය.
එහිදී දඩුවම් ලැබුවේ චුදිතයන්ය.නමුත් 1814 ඇහැළේපොළ කුමන්ත්‍රණයේදී අතිවිශාල සංඛයාවක්  මරණයට කැපවුහ.සැකයට පවා භික්ෂුන්,ස්ත්‍රීන්,කුඩා දරුවන් පවා ඝාතනය කරන ලදී.කුල ගෞරවයත් අභිමානයත් නිසා ඇහැළේපොළ පරපුර කෙරේ රජුගේ ඉර්ශියාවත්
කුමාරිහාමි රජුට දෙමළ වදඩුගය යි අපහස කිරීමත් රජුගේ කෙරේ බලාපොරොත්තු වූ ඩේ ඉටු නොවීම නිසාද පෑහෙමින් තිබු බද්ධ වෛරය මෙය පෞද්ගලික පාලි ගැනීමක් ලෙස ඉස්මතු වූ  බව ඉතිහාසඥයන් පෙන්වා දෙන මතයකි. 


Read more »

පුරාණ ගණිත ක්‍රමය

4 comments
ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කොණ්ඩඤ්ඤ බුදු හිමියන්ගේ සිට සිදුහත් බෝසතාණන් වහන්සේ බුදුබව ලබන තෙක් ගතවී ඇත්තේ අසංඛ්‍ය කල්ප ලක්ෂයකි  එම කාලය තුල බුදුවරු 23 දෙනමක් ලොව පහළවී ඇත අසංඛ්‍ය කල්පයක් යනු පහත සඳහන් සංඛ්‍යා ලේඛනය අනුව ගණනය කර තිබේ


  1. දහය xදහය =සියය
  2. සීයxදහය =දහස
  3. දහසxසියය = ලක්ෂය
  4. ලක්ෂයxසියය = කෝටියයි
  5. කෝටියxකෝටිය =ප්‍රකෝටියයි
  6. ප්‍රකෝටියxකෝටිය =කෝටිප්‍රකොටියයි
  7. කෝටිප්‍රකොටියයිxප්‍රකෝටි = නහුත එකයි
  8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
  9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
  10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
  11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
  12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
  13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
  14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
  15. අබිඩ එකxකෝටිය =අටට එකයි
  16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
  17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
  18. උප්පල එකxකෝටිය =කුමද එකයි
  19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
  20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
  21. පදුම එකxකෝටිය =කථාන එකයි
  22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
  23. මහා කථාන එකxකෝටිය =අසංඛ්‍ය එකයි
Read more »

බෝසතාණන් වහන්සේ විවරණ ලැබූ අවස්ථා

0 comments

එක් එක් බුදුවරයන් වහන්සේගේ කාලයේ අප මහා බෝසතාණෝ නියත විවරණ ලබා ගැනීමට උපත ලබාසිටි ආත්ම භාවයන් පිළිබඳව බුද්ධවංශ අෂ්ඨකතාවෙහි මෙසේ දක්වා ඇත

බුදුරජාණන් වහන්සේ                         විවරණ ලැබූ ආත්ම භාවයන්


  1. දීපංකර                                              සුමේධ තාපසව 
  2. කොණ්ඩඤ්ඤ                                    විජිනාවි
  3. මංගල                                                සුරුවි නම් බ්‍රාහ්මණ
  4. සුමන                                                අතුල නම් නා රජ
  5. රේවත                                               අතිදේව නම් බ්‍රාහ්මණ
  6. සෝභිත                                              සුජාත නම් බ්‍රාහ්මණ
  7. අනෝමදස්සී                                        සුජාත නම් තාපසව
  8. පදුම                                                   සිංහ රාජව
  9. නාරද                                                 ජටිල නම් තාපසව
  10. පදුමුත්තර                                          උත්තර නම් මානවකව
  11. සුමේධ                                              සක්විති රජව
  12. සුජාත                                               කස්සප නම් මානවකව
  13. පියදස්සි                                          ජටිලයෙකුව
  14. අත්ථදස්සි                                        ශක්‍ර දෙවෙන්ද්‍රව
  15. ධම්මදස්සි                                      මංගල නම් තාපස      
  16. සිද්ධත්ථ                                        සුජාත නම් රජු
  17. තිස්ස                                              විජිනාවී නමින්
  18. ඵුස්ස                                            අතුල නම් නාරජු
  19. විපස්සි                                         අරින්දම නම් රජව
  20. සිඛී                                               සුදස්සන නම් රජව
  21. වෙස්සභු                                       ඛේම නම් රජව 
  22. කකුසඳ                                         පබ්බත නම් රජව
  23. කෝණාගමන                              ජෝතිපාල නම් මානවක
  24. කස්සප
Read more »

ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය

0 comments
මට බැන්නේය,ගැසුවේය ,මා පැරදවිය ,මාගේ දේ පැහැරගත්තේය. කියා ක්‍රෝධය සිත බැඳ ගැනීමෙන් වෛරය නො සන්සිඳේ .




ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය සබරගමුවේ ඇති අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයකි කෝට්ටේ යුගය වන විටත මෙම විහාරස්ථානය ඉතා දියුණු තත්වයක පැවති හෙයින් මෙහි ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එහාටද දිවයතත් විහාරය පිළිබඳව ලිඛිත සාධක දක්නට ලැබෙන්නේ සීතාවක යුගයේ සිටය එම යුගයේදී දළඳා වහන්සේ ආරක්ෂාව සඳහා මෙම විහාරස්ථානයේ සඟවා තබා ඇත එම යුගයේ ලියවුනයි සලකනු ලබන රාජාවලියේත් සුළු රාජාවලියේත් දෙල්ගමු විහාරය සපරගමු විහාරය යන නමින් හඳුන්වා ඇත මහාවංශයේ ලබුජගාම විහාරය නමින් සඳහන් කර ඇත්තේ මෙම විහාරය වේ දෙල්ගමුව විහාරයේ ඓතිහාසික තත්වය පිළිබඳව කරුණු දත හැක්කේ දැන් දැන් අභාවයට යමින් පවත්නා ජනප්‍රවාද සාහිත්‍ය හා ඓතිහාසික ග්‍රන්ථ මෙන්ම සමන් දේවාලයේ පැරණි ලේකම් මිටි හා තුඩ පත් ආදියෙන් පමණි මෙම විහාරය පිහිටා ඇත්තේ දෙල්ගමුව වෙල්යාය කෙලවරේහි සකස් කොට ගොඩ නංවන ලද තරමක් උස් බිම් කඩකයඑසේම මෙම විහාරය ගිණිකොනට වන්නට කුරු ගඟ අසල පුරාතනයේ මල්වත්ත ඕවිට යන නමින් හැඳින්වුණු බිම් කඩක් විය එය දළඳා වහන්සේට එකල මල් සැපයු රාජකීය මල්වත්ත පිහිටි ස්ථානය යයි සැලකේ ශ්‍රී පාදයට මග අනාවරණය කල කොටා සිටියේද මේ මල් වත්තේ බව ජනප්‍රවාදයේ එයි ඒ අසල දකුණට වන්නට ඇති බඩහැල්ගොඩ නම් ගම්මානය අද ද හදුන්වන්නේ මල්වත්ත ඕවිට යන නමිනි 

විහාර ඉදිරියේ ඇති දෙල්ගමු වෙල්යාය මැද කිසියම් සංකේතයක් හෝ සලකුණක් හඟවන ගල් ටැඹක් ඇති අතර විහාරය සතර පැත්තේම දිසාවන්හි මෙවැනි තවත් ගල් ටැම් තුනක් තිබී ඇත සීතාවක රජු විසින් දෙල්ගමුව ඇතුළු ගම් කීපයක්ම දළඳා වහන්සේට පිදු බව සැලකෙන සෙල් ලිපියක් ගම් ප්‍රධානීන් කිහිප දෙනෙකු එකතු වී තම ඉඩම් විහාරයට හිමි වේවි යයි බියෙන් විහාර භුමියේ ඇති පැරණි ළිඳක් තුලට දමා වැසූ බවට මුඛ පරම්පරාවේ ඇත පසුගිය කාලයක මෙම විහාර භුමියේ පතල් කැණීම් වලදී ඒවායේ තිබී පුරාතන කහවනු කිහිපයක්ද හමු වී ඇති ඇත ඒවා උදුපියලිය කොලයේ ප්‍රමාණයේ ඒවායේ සිට සත පනහ ප්‍රමාණයේ දක්වා විශාල විය ඒවායේ එක පැත්තක පංචායුදය තිබු අතර අනික පැත්තේ බහිරව රුපය තිබී ඇත 

දැනට මෙම විහාර භුමිය තුල පුරාතන නටබුන් ලෙස දක්නට ඇත්තේ ඒ පුරාණ විහාර භූමියත් වාහල්කඩ පුරාණ පියගැටපෙළවල් දෙකක් ගල් මල් අසුනකුත් දළඳා වහන්සේ සඟවා තැබූ කුරහන් ගලත් ඉපැරණි බෝධියත් නා වෘක්ෂයත් පමණි පුරාණ දළඳා මාලිගයේ හා ප්‍රාකාරයේ පදනම් මළුව තුල දක්නට ඇත ධර්මපාල රජු කිතු සමය වැළඳ ගැනීම නිසා කෝට්ටේ රාජධානිය තුල බුදු දහමට උදා වුයේ අභාග්‍යසම්පන්න කාලයකි එතෙක් බුදු සසුනත් රාජ්‍යත් අතර තිබු සබදතාවට පෘතුගීසින් නිසා ලත් පහර එසේ මෙසේ නොවිය එවකට රාජ්‍ය උරුමයේ ලාංජනය වූ දළඳා වහන්සේගේ ආරක්ෂාවට ද එළඹියේ මහත් තර්ජනයකි එවකට දළඳා වහන්සේගේ දියවඩන නිලමේ කාර්ය පිලිබඳ තනතුර දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිලමේ තුමාය මුලාශ්‍ර වල සඳහන් වන මෙරට පළමු වැනි දියවඩන නිලමේ වරයා වන්නේ ද මෙතුමායි ඒ දළඳා පුවතේ ද මෙතුමා පිලිබඳ සඳහන් වනුයේ මේ ආකාරයෙනි  

හිරිපිටියේ පව                     ර
දියවඩන මැති ගරු ත           ර 
දළඳා හිමි ගැඹ                    ර
නැමද බැස තේවාව සිදු ක    ර 

රටටත් බුදුසසුනටත් දළඳා වහන්සේ වෙතත් උදා වෙමින් පැවති මේ අභාග්‍යසම්පන්න දුර්දසා අවස්ථාව එළඹෙත්ම දිනක් රාත්‍රියේ සිහිනයෙන් පැමිණි එක් මහලු පුද්ගලයකු දියවඩන නිලමේ තුමාට  කෝට්ටේ කලාලේ කිසිල්ලේ -දත මැදගන්න රාලේ යනුවෙන් පවසා ඇත

සීනය දැක එ ලෙ                            ද
නැගී ඔත් යහනින් න                      ද
විමසා නොයෙක් ලෙ                     ද 
මෙසේ සිතී තම නැණින් එ ම ස      ද

දත මැද ගන් මෙ ස                        ද 
කිව්වේ සීනෙන් මට අ                   ද 
සිරි දන්ත දා න                              ද 
මැඳ රටට ගනු කිවයි මෙ ලෙ         ද 

එනම් මෙහි අදහස වන්නේ කෝට්ටේ රාජ්‍යට කල ආලයෙන් කිසි එල්ලයක් හෙවත් පලක් නැත දළඳා වහන්සේ මැද රටට ගන්න යන්නයි මෙය අවබෝධ කරගත් දියවඩන නිලමේ තුමා එදින රාත්‍රියේම තමා මීට පෙර මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇත් දලින් සාදා තිබු කෘතීම දළඳාව දළඳා කරඩුවේ තැන්පත් කර නියම දළඳා වහන්සේ තම සිරියේ (කිණිස්ස) කොපුවේ සඟවා ගෙන දියවන්නා ඔයෙන් එතෙරව සීතාවක රාජධානියට පැමිණ එවකට සීතාවක රාජ්‍ය පාලකයා වූ මායාදුන්නේ රජුට දළඳා වහන්සේ බාරදුන්හ 

මායාදුන්නේ සො                            ද
නිරිඳු දැක වැඳ එ ම ස                      ද 
දළඳා හිමි පැහැ                                ද 
වැඩමවා ආ පවත් කී ස                    ද

එ නිරිඳු සඳ එ ස                             ඳ
නොපමණ සෙයින් පෙම් බැ           ඳ
සෙන් රැස් කර නොම                     ඳ
මහත් පුජා පවත්වා සො                  ඳ

දළඳා හිමි සතු                                  ට
වැඩමවා ආ නිසි කො                       ට
එ දිවන මැතිඳු හ                              ට
මහත් තනතුරු දෙවා ගරු කො          ට

එකල ලක්දිව සෙසු රාජ්‍යයන් අභිබවා මායාදුන්නේ රජු යටතේ ප්‍රභලත්වයට පත් වෙමින් ආ සීතාවක රාජධානියේ පිහිටි ප්‍රධානතම හා එකම සුරක්ෂිත ප්‍රදේශය බවට පත්ව තිබුනේද සපරගමුවයි දෙල්ගමුව විහාරයේ එවකට වැඩ සිටියේ ෂඩ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර නම් හිමි නමකි මේ කරුණු නිසා දළඳා වහන්සේ සුරක්ෂිත කර ගැනීම සඳහා දෙල්ගමුව විහාරයට වැඩම කර ඇත 

එ නිරිඳු සඳ පැහැ                              ද 
විමසා නැණින් එ ම ස                       ද 
දළඳා හිමි මෙ ස                                ද 
වැඩ වසනු සොඳ කෙබඳු තැනක       ද 

සීතා පුරවර                                       ට 
නුදුරු දෙල්ගම් වෙහෙරට                   ට
වැඩමවා නිසි කො                             ට 
හිඳිනු යෙහෙකැයි කල්පනා කො       ට 

ඒ අනුව රහසේ ම දළඳා වහන්සේ දෙල්ගමුව විහාරයට වැඩම වන ලදී මායාදුන්නේ රජුත් ,කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිලමේතුමාත් මහින්දාලංකාර මාහිමියනුත් මෙම කාර්යයේ සම්බන්ධවූ පිරිස වේ කීරවැල්ලේ නිලමේ තුමා දියවඩන නිලමේ ලෙස  දළඳා වහන්සේ ගේ ආවතේවාවන් සිදු කල අතර මහින්දාලංකාර හිමියන් දළඳාවේ භාරකාරත්වයත් ආරක්ෂාවත් දැරුහ මෙම අවදිය වෙන විට දෙල්ගමුව විහාරය සියලු විහාරාංගයන්ගෙන් සම්පුර්න වූ රාජකීය විහාරය බවට පත් ව තිබුණි එකල දෙල්ගමුව විහාරය කවර ආකාරයකින් පැවතියේද යන්න අලගියවන්න මුකවෙටි තුමා අතින් රචිත සැවුල් සංදේශ ය වර්ණනාවට ලක් කරන්නේ මෙසේය 

උඳුලිය සඳකිරණ මිහිපිට හුණු ලෙස        ට 
සුදුවැලිනතුළ වැලි මළුවෙහි සැදී සුම       ට
රුදුනත දරුණ යුරු පවුරෙනි යුතු සුම       ට
වදු ම මිතුරු දෙල්ගමු වෙහෙර ලැගු ම      ට 

මනරම් සුරඹ සමගින් සුරරද සුම                න 
ගඳ දුම් මල් පහන් පුදකර නිති වඳී              න 
නරදම් සැරි සිරිපද ලසිනි වොරැඳි                න 
විහගුම් සමන් ගිර බල පෙර දෙස පෙනෙ    න 

මේ විස්තරයේ එන කාව්‍යමය අලංකාරයන් නොසලකා හැරියද එදා දෙල්ගමුව විහාරයේ දළඳා වහන්සේ සඳහා වෙනම දළඳා මන්දිරයක් තිබු අතර විහාර මළුව ප්‍රාකාරයකින් වට කොට තිබුණු බව පෙනේ එසේම බෝධීන් වහන්සේ සහ ස්තුපය ඩ් විශේෂ අංග වශයෙන් පැවතුනි එපමණක් නොව එදා මෙම විහාරයේ ගෞරවනියත්වය සඳහා හේතු වුයේ ෂඩ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර නම් හිමියන් වහන්සේය මායාදුන්නේ රජු විසින් තමා වෙත බාරකළ දළඳා වහන්සේ සීතාවක රාජ්‍ය වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීම ඩ් කල යුතු වුවක් මෙන්ම සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ආරක්ෂා කිරීමත් මෙම හිමියන්ගේ වගකීම විය ඒ සඳහා උන්වහන්සේ ගත් වැදගත් උපක්ක්‍රමය වුයේ කුරහන් ගලක් සාදවා එය බුද්ධ ප්‍රතිමාවක් පිටුපස ආසනය මත තබා එහි කුහරය තුල දළඳා වහන්සේ සහිත කරඬුව තැන්පත් කිරීමයි කුරහන් ගල එකල ගෙවල් වල සහ විහාරස්ථානයන් වල සුලභව දැකිය හැකි උපකරණයක් වන අතර සතුරන් විසින් මෙවැනි තැනක දළඳා වහන්සේ සඟවා තබති යයි නොසිතනු ඇත දෙල්ගමුව රජමහ  විහාරය අදත් ප්‍රසිද්ධ වන්නේ එම කුරහන් ගල තුල දළඳා වහන්සේ සඟවා තැබූ විහාරය ලෙසටයි මේ හැරෙන්නට තවත් සමහර අවස්ථාවලදී දළඳා වහන්සේ රැගෙන පලාබද්දල වැනි තවත් කඳුකරයට පැන යාමට උන්වහන්සේට සිදු විය 

දෙල්ගමුවේ සිට පලාබද්දල කරා වනගත කෙටි මගක් අද ඩ් දක්නට ඇත සිදුවිය හැකි අනතුරු සලකා දෙල්ගමු විහාරදිපතින් වහන්සේ ඇත් දතින් කෘතීම ධාතුන් දෙකක් තනවා එකක් දලඳව වැඩ සිටි තැන තැන්පත් කර අනෙක විදිය බණ්ඩාරට දී නියම දළඳා වහන්සේ ඉනේ සඟවා ගෙන පලාබත්ගලට පැන ගොස් විසු බවත් ඒ අතර පෘතුගීසින් කෝට්ටේ ආක්‍රමණය කර එහි තිබු කෘතීම දළඳා වත්  යාපනයේදී  වීදිය බණ්ඩාර සතුව තිබු කෘතීම දලඳවත් අයිති කොට ගෙන ගෝවට ගෙන ගොස් කොටා පුළුස්සා විනාශ කල බවත් දෙල්ගමු විහාරාදිපතින් වහන්සේ සතුව තිබු දලඳාව ආරක්ෂා කරගැනීම සඳහා කුරුගං ඉවුරෙන් ලැබුණු නිල් මැණිකකින් කොපුවක් තනා දළඳා වහන්සේ එම කොපුවේ බහාලු බවත් අනතුරුව රජ වූ 2 රාජසිංහ රජු එම කොපු දෙකම වසා ඇත් දත් කොපුවක බහාලු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ 

දෙල්ගමුව විහාරයේ මහින්දාලංකාර හිමියන් සතුව තිබු දළඳා වහන්සේ සීතාවක රාජසිංහ රජු විසින් එය සබරගමුව සමන් දේවාලයට වැඩම කරවා පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට නියම කොට දෙල්ගමුව කුට්ටාපිටිය පැල්මඩුල්ල ගනේගොඩ හඳගිරිය මස්ඉඹුල යන ගම් 5සහ නෙළුම්දෙනියෙන් නව අමුණකුත් දළඳා වහන්සේට පිදු බව සමන් වෙහෙර පැරණි ලේකම් මිටියේත  සමන් සිරිතෙහිත් සඳහන් වේ මෙසේ රාජසිංහ රජතුමා දළඳා පෙරහැරවල් 11 ක පැවැත්වූ බව සඳහන් වේ මේ දළඳා පෙරහැර පැවැත්වීම පිලිබඳ ව ඓතිහාසික සිද්ධිය සිහිපත් කරමින් අද ද රත්නපුර මහ සමන් දේවාලයේ එදා සිට ම පවත්වා ගෙන එන පරිදි පළමුවෙන්ම පවත්වන්නේ ධාතු පෙරහැරයි 1 වන විමලධර්මසුරිය රජු කන්ද උඩරට සිහසුනට පත් වීමත් සමග වසර 43 ක් වැඩ සිටි දෙල්ගමුව විහාරයෙන් දළඳා වහන්සේ පෙරහැරකින් කන්ද උඩරටට වැඩම කරනු ලැබිය ඒ ගමනේදී එක් රාත්‍රියක් කෑගල්ල සමීපයේ චිත්තගුත්ත නම් ලෙනක වැඩ විසු බවත් එදා සිට එම ගල්ලෙන කරඬු ලෙන නම් වූ බවත් එම ප්‍රදේශයේ පැවත එන ජනකවියක සඳහන් වෙයි 

සෝම දළඳා සමිඳු දෙල්ගමු
           වෙහෙර සිට වැඩමවන           එදිනෙ 

යාම පෙර කාලයේ කරඬුව 
       වඩා තැබී මග අස                       ලෙනේ

නාම පරසිඳු චිත්ත ගුත්තය 
        ලෙනේ වැඩ සිටි දිනෙ              පටනේ 

සෑම දන තුඩ කරඬු ලෙන යන 
       අපර නමකදු                            පැවතුනේ 

මහනුවරට වැඩමවා ගෙනවුත් රජමාලිගය අසල තැනවූ දෙමහල් දළඳා මාලිගයේ වැඩ අවසාන වන තෙක් දළඳා වහන්සේ අස්ගිරි ආදාහන මළුවේ තැන්පත් කරනු ලැබිය අද දවසේ පවා දළඳා පෙරහැර සමයේ මෙම ඓතිහාසික සිදුවීම සිහිපත් කිරීම සඳහා පුරාණ චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර කරඬුව අස්ගිරි ගෙඩිගේ විහාරයේ පුද පුජා සඳහා තැන්පත් කරනු ලැබේ පසුව පෘතුගීසින් සපරගමුව ආක්‍රමණය කොට දළඳා මැදුර ඇතුළු සියලු විහාරාංග  කඩා බිඳ දමා ඒවා කොල්ල කෑ අතර එය තමන්ගේ බලකොටුවක් කර ගත්හ එයින් පසුව පෘතුගීසින් පැරදී සපරගමුව අතහැර ගිය පසුව දෙල්ගමු විහාරය වල් වැදිනි ඝන වනය විසින් එහි නටඹුන් වසා ගත පසු තවත් සියවස් එකහමාරක් පැවතුනි මහවනය අතරින් නැගී සිටි බෝධීන් වහන්සේත නා වෘක්ෂයත් දළඳා වහන්සේ වැඩසිටි ඓතිහාසික භුමිබාගය ඈතට පෙන්වන ලාංජනයක් විය පැරැණියෝ වන ලැහැබ අතරින් රිංගා විත් ඒවාට පුද පුජා පවත්වා බාරහාර ආදිය ඔප්පු කළහ ඔවුන් මෙම විහාරය හැඳින්වුයේ මළුව යන නමිනි කාලාන්තරයකට පසුව මෙම ප්‍රදේශයට පැමිණි කොළඹ සද්ධාතිස්ස නම් හිමිනමක් නැවත මෙම විහාරය ආරම්භ කරන ලදී එදා දළඳා වහන්සේට රැකවරණය සැලසු ඓතිහාසක කුරහන් ගල අද ද මෙහි දක්නට ලැබේ     


     

මට බැන්නේය, ගැසුවේය . මා පැරදවිය මාගේ දේ පැහැර ගත්තේය කියා ක්‍රෝධය සිත නොබැඳීමෙන් වෛරය සන්සිඳේ.
Read more »

ටීකා සීපද

1 comments




කවර කලද දිය පිට දුම්                 නගින්නේ
කවර කලද ගල පිට මල්               පිපෙන්නේ 
කවර කලද මෙර සුළඟට              වැනෙන්නේ
කවර කලද තොපි අපි සරණය      වන්නේ 

කවර කලද තං තාගර තෙයි            තාං
කවර කලද දොං තාගර තෙයි          තාං
කවර කලද තව ඩිංගක් තෙයි          තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්     හුම්

කවර කලද දිය පිට දුම්                   නගින්නේ 

කවර කලද තං තාගර තෙයි           තාං 
කවර කලද දොං තාගර තෙයි         තාං
කවර කලද තව ඩිංගක් තෙයි         තාං 
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්    හුම් 

කවර කලද ගල පිට මල්                පිපෙන්නේ 

කවර කලද තං තාගර තෙයි            තාං
කවර කලද දොං තාගර තෙයි         තාං
කවර කලද තව ඩිංගක් තෙයි          තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්    හුම් 

කවර කලද මෙර සුළඟට               වැනෙන්නේ 

කවර කලද තං තාගර තෙයි           තාං
කවර කලද දොං තාගර තෙයි         තාං
කවර කලද තව ඩිංගක් තෙයි         තාං
කවර කලද ඩිංගිරි මැණිකේ හාම්    හුම් 


කවර කලද තොපි අපි සරණය         වන්නේ
Read more »

කෙතෙන් සමුගත් වී වර්ග

0 comments


  1. ශුවඥසයම්ජාත
  2. වරියන් හැල්
  3. රුවන් හැල්
  4. ගගුල හැල්
  5. ශංතුබ හැල්
  6. මුතුකිරි හැල්
  7. බරු හැල්
  8. පින්න හැල්
  9. කිරිබරු හැල්
  10. පොසොන් හැල්
  11. මුදු කිරිහැල්
  12. සංකුඩට දෙමහැල්
  13. මොරකුන් හැල්
  14. කැලි හැල්
  15. ඇබල හැල්
  16. දෝතම් හැල්
  17. වේකොල හැල්
  18. දැදිගම් හැල්
  19. නුගපත් හැල්
  20. උලකොඩ හැල්
  21. ඉදිපත් හැල්
  22. අවධි හැල්
  23. මී පත් හැල්
  24. ජාති හැල්
  25. මුතු හැල්
Read more »

පිළිමතලව්වේ මහාධිකාරම් හා පරණතල අනුනාහිමියෝ

4 comments

වයෝවෘද්ධ වූ රාජාධිරාජසිංහ රජතුමා රජතුමා එස්වර්ගස්ථවීමට ඉතාමත් ආසන්න බවත් බේත්ගේ මුහන්දිරම් විසින් (රාජකීය වෛද්‍යවරයා) මහාධිකාරම (පිළිමතලව්වේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත රාළහාමි) වෙත දන්වා යවන ලදී පණිවිඩය ලත් මහාධිකාරම රජවාසලට එද්දී රජු ස්වර්ගස්ථ වී හමාරය එය රට පුරා පතල කිරීමට පෙර ඔහු වහාම රජුගේ ආදාහන කටයුතු පිළියෙළ කිරීමට කාන්ගර නිලධාරීන්ට (‍උඩරට රජවරුන්ගේ අවමගුල් කටයුතු භාර පිරිස) භාරකර අවමංගල්‍ය හා නව රජ කෙනෙකු පත්කිරීම සාකච්චා කිරීමට මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන් ඇතුළු කන්ද උඩරට පස් රටේ සියලුම අධිකාරම් වරුන්ට දන්වා යවන ලදී. කටුපුරුල්ලේවරුන්ගේ පණිවිඩ ලත් අධ්කාරම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මල්වත්තේ පුෂ්පාරාමයේ මහ නා හිමියන් ප්‍රමුඛව සාකච්චාව ඇරඹුණි මෙකල කන්දඋඩරට රාජධානියේ සම්පුර්න බලය හිමිවුයේ රජුටත් වඩා පිළිමතලාවේ මහාධිකාරම්ටය රැස් වීම පැවැත්වුයේ නව රජකු පත්කිරීමට වුවද ස්වර්ගස්තවූ රජතුමා ඒ වනවිට නායක්කර් නීතිය අනුව මුත්තුසාමි නම් අගබිසවගේ සොහොයුරෙකුට තමා ඇවෑමෙන් සිහසුන තීන්දු කර තිබිණ නමුත් මෙය මහාධිකාරම් පිළිමතලව්වේ හා මල්වතු විහාරයේ අනුනායක පරණතල හිමියෝ අනුමත කල එකක් නොවිය යලිත් සිංහල රාජ්‍යක් උඩරට පිහිටුවීමටද දරුවන් නොලබා මිය යන නායක්කර් රජවරුන්ගේ ඇවෑමෙන් රජකමට පත්වන සොහොයුරන් නිසාම උඩරටට පැමිණෙන නායක්කර් වරුන් පිරිස වැඩිවීමද ඔවුන් ක්‍රමයෙන් උඩරට රාජධානියේ නිලතල ලබාගෙන සරුසාර කෙත්වතු අල්ලාගැනීම නිසා මේ ක්‍රමයට විරුද්ධ විය යුතුය ඒ නිසා මුත්තුසාමි වෙනුවට රාජාධිරාජසිංහ රජුගේ යකඩ දෝලිය වන පුතෙකු වූ කන්නසාමිට උඩරට රාජ්‍යය භාරදීමට මහාධිකාරම් ඒකමතිකව තීරණය කළේය 

එහෙත් මේ පත්වීමට මල්වතු මහා නාහිමියෝ මුළුමනින්ම විරුද්ධ වුහ අප කියන දේකට කැමති වන රට විනාශයට පත් නොකරන කෙනෙක් රජතුමා වශයෙන් පත් කරගනිමු මහාධිකාරමගේ අදහස විය එහෙත් නාහිමියන්ගේ අවවාදය වුයේ ඔබ විසින් බලාපොරොත්තු වන තැනැත්තා මුලදී අවවාද පිළිගනිමින් හික්මුන ගතියක් දැක්වුවද ඔහු ලබා ඇති අධ්‍යනය හොද නැතිනම් ඔබ බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගය යටපත් විය හැකිය අවසානයේ ඔහු සිතැගියක්මකළහොත් රට විනාශය කරා යා හැක මීට පිළිතුරු දුන් අධිකාරම්තුමාගේ ප්‍රකාශය වුයේ ඔබ වහන්සේ බලාපොරොත්තු වන විපතට පිළියම් ඇත රජතුමා අපට විරුද්ධ වුවහොත් බ්‍රිතාන්‍යයන්ගේ උදව් ඉල්ලීමට පුළුවන එවිට ඔවුන් රජතුමා මැඩ පවත්වනු ඇත සභාව ඇමතු දුරදර්ශි නුවණින් හෙබි මහනායක හිමියෝ ප්‍රකාශ කලේ ඇතාගෙන් බේරීමට ඇත් ගොව්වා වග බලාගත යුතුය නැතහොත් සිය ජීවිතය පමණක් නොව අනුන්ගේ ජිවිත පවා අනතුරුදායක විය හැකිය මෙසේ මහනාහිමියන් නව පත්වීමට විරුද්ධ වුවද අනුනායක පරණතල හිමියන් මහාධිකාරම්ගේ අදහස් නිසා ඊට පක්‍ෂග්‍රාහී විය ඔවුන්ගේ අදහස් වුයේ සිංහල රටේ සිංහලයකු රජවිය යුතු බවයි මුත්තුසාමිගේ චරිතය විෂමාචාර එකක් කියාද ඔහු උඩරට රජකමින් බැහැර කල බව කියාද පතලව හරින ලදී ඒ වෙනුවට කන්නසාමි ශ්‍රී වික්‍රමරාජසිංහ නමින් උඩරට සිහසුනට පත්කරන ලදී කන්නසාමි උඩරට රජකමට පත් කිරීමෙන් මහාධිකාරම බලාපොරොත්තු වු කරුණු කීපයක් විය එනම් ලාබාල වියේ සිටි රජු රූකඩයක් ලෙස තබා උඩරට පාලනය කිරීමයි මේ සඳහා ගම්පල නායක්කර් දියණියන් දෙදෙනකු විවාහ කර දුන් මහාධිකාරම තමාට විරුද්ධව සිටි දඹගමුවේ දිසාව සහ ඇරැව්වල අධිකාරමද රහසිගතව මරා දමන ලදී තත්වය මෙසේ තිබියදී මුත්තුසාමි ඉංග්‍රීසින්ගේ රැකවරණය පතා කොළඹට පැන ගියේය නිලමේවරු මරා දැමීම පිළිබඳව පිළිමතලව්වේ මහාධිකාරම කෙරේ බොහෝ මධ්‍යස්ථ අධිකාරම් වරු හා නිලධාරීන් කලකිරීමට පත් වුහ කෙසේ වෙතත් වසර කීපයක් මහාධිකාරමගේ බසට අවනතවූ රජු ඔහුගේ උපදෙස් නොතකා නායක්කර් වරුන්ගේ උපදෙස් අනුව කටයුතු කරන්නට වුහ මෙවිට උඩරට රජකම ලබාගත හැක්කේ තවත් බ ලයක් හා එකමුතුව යයි සිතු අධිකාරම ඉංග්‍රීසින්ගේ උදව් පැතීමට ක්‍රියා කළේය

 ඔහු රජු අල්ලා මරණයට පත් කිරීමටත් ඉංග්‍රීසින් යටතේ උතුම් කුමාරයා නමින් උඩරට රාජ්‍ය පාලනය කිරීමටත් කැමති බව දන්වමින් පහත රට  ආණ්ඩුකාර ‍ෆ්‍රෙඩ්රික් නොර්ත් හට දන්වා යැවිය එහෙත් ‍ෆ්‍රෙඩ්රික් නොත් රජු මරා දැමීම සඳහා එකඟ වුයේ නැත මෙයින් නොනැවතුන මහාධිකාරම් ඉංග්‍රීසින් හා රජු බේදකිරීමට උපායක් නිර්මාණය කළේය එය ඒ අයුරින්ම සිදු විය මහාධිකාරමගේ අණින් ඔහුගේ සහචරයෝ පුත්තලමින් උඩරටට පැමිණි වෙළඳුන්ගේ භාණ්ඩ පැහැරගන්නා ලදී ඔවුහු මේ බව ෆ්‍රෙඩ්රික් නෝත්ට දැන්වුහ වහාම තම වැසියන්ගේ අලාභය ගෙවන ලෙස රජුට දන්වා යවන ලදී එහෙත් රජු එය ප්‍රතික්‍ෂේප කිරීම නිසා ප්‍රථම ඉංග්‍රීසි උඩරට ආක්‍රමණය සිදුවිය ඉංග්‍රීසින්ට මහාධිකාරම්ගේ සහය ලැබුණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලා ගිය අතර ඉංග්‍රීසින් යටතේ සිටි මුත්තුසාමි උඩරට රජු ලෙස ප්‍රකාශ කරන ලදී එහෙත් ඔහු කෙරේ උඩරට වැසියන්ගේ පක්ෂපාතිත්වය හිමි නොවීය.රජ සම්මතයෙන් පත්ව සිටි රජු තවමත් ආරක්ෂා සහිතව හඟුරන්කෙත සිටි නිසාවෙනි.මෙහිදී පිළිමතලාව්වෙගේ අනින් රාජසිංහ රජු ඇල්ලිමට පිටත් කර හරින ලදී.එහෙත් උඩරට රාජධානිය පිලිබදව හසරක් නොදැන ගිය  මනක් නිසා ඉංග්‍රීසි සේනාව විනාශයට පත්විය.

මෙයින් තෘප්තිමත් වූ සිංහල සේනාව රජු සමග ක්‍රමයෙන් මහනුවරට විත් ගරිල්ලා පහරදී ඉංග්‍රීසින් අල්ලා ගත්හ.කණ්ඩායමක් කොළඹට පසු බැසිමට යුහුසුළු වුවද මහවැලි ගඟ පිටාර ගැලීම නිසා රජුගේ හමුදාවලට කොටු විය.මුත්තුසාමි ඇතුළු බොහෝ දෙන මරණ ලදී.නමුත් මෙහිදී මහාධිකාරමට ඉංග්‍රීසින්ට පක්ෂව සිටි බව දැනගන්නට ලැබිණ.කෙසේ වෙතත් ඉංග්‍රීසින් විනාශ කර උද්දාමයට පට්ජ් උඩරට සේනාව කොළඹ කොටුව වැටලිමට ගියේ රජුද පෙරටු කොට ගෙනයි.එහෙත් ඊට පෙර හංවැල්ල බලකොටුවට පහරදීම කල යුතුවිය සටන සිදුවුවද ජයගැනීමට නොහැකි විය සටන් මෙහෙය වූ ලෙව්කේ දිසාව පැත්තකට වී විවේකි සුවයෙන් සිටින දුටු රජුගේ කෝපය දෙගුණ තෙගුණ විය පරාජයට හේතුව එයයි සිතු රජු වහාම ඔහු එතනම මරා දැමිය එයින් වුයේ රජුගේ අමනෝඥ බව මැනවින් දිස්වීමයි ලෙව්කේ දිසාව මරාදැමීම පිළිබඳව රාජසිංහ රජු හා මහාධිකාරම පිළිමතලව්වේ අතර බහින්බස් වීමක් සිදුවිය තම ඥාතියකු වූ ලෙව්කේ දිසාව මරා ‍දැමීම මහාධිකාරම නොඉවසන්නක් විය "රජතුමනි බොහෝ වටිනාකම් ඇති මගේ ඥාතීන්ගේ හිස ඔහොම හිතුන ආකාරයට කපනවා වගේ මගේ හිසත් කපා දැම්මොත් හොඳා" යනුවෙන් ඔහු රජුට පැවසූ බව දැක්වේ එවිට කෝපයට පත් රජු "මහනිලමේ ඔහොම කතා කරන්නේ මහවාසල මගුල් කඩුව කැපෙන්නේ නැත කියලා හිතගේනදැයි අසිලු  එයින් නොනැවතුන මහාධිකාරම රජ්ජුරුවෝ ඔහොම කතා කරන්නේ වඩුග ගැහැණු තවත් දරුවන් වදන් නා කියා සිතගෙනදැයි විමසිය මෙම සිද්ධියෙන් පසු රජු හා මහාධිකාරම අතරවූ ගැටුම උග්‍රවූ අතර ඒ නිසාම ඔහු හිතාමතාම රාජසේවයට නොපැමිණියේය 

මේ අතර රාජසිංහ රජු මල්වතුවිහාරය ඉදිරිපිට ඇති කුඩාවිල විශාල කර ඒ වටා ඇති වෙල්යාය අයින් කර වැවක් නිර්මාණය කිරීමට පටන් ගත්තේය (අද දත්ගම ඇති වැව) මේ කටයුත්ත නිසා මල්වතු විහාරයට අයත් පුෂ්පාරාම විහාරයේ බෝධි වෘක්ෂයක් දාගැබක් භික්‍ෂුන් වහන්සේලා ස්නානය කරන ලද ලිඳක් යටවන නිසා එතනින් ඉවත් කර කඳුමුදුනේ යලිත් අලංකාරව ඉඳිකළ යුතුයයි රජු දන්වා හැරියේය මල්වතු විහාරයේ භික්‍ෂුන් අතර මේ පිළිබඳව සාකච්චා ඇති විය බොහෝ භික්‍ෂුන් වහන්සේලා මීට විරුද්ධ වූ අතර එහි නායකත්වය ගත්තේ අනුනායක පරණතල හිමියන්ය රජුට වුවද පුජනීය ඉඩම් කිසිඳු ආකාරයකින් නොදිය යුතුය සෙන්කඩගල නගර නිර්මානයේදී මේ ස්ථානය තෝරාගෙන ඇත්තේ දේව නියමයෙනි ඒ නිසා කිසිම අයුරකින්වත් මේවා ඉවත් නොකළ යුතු යයි පරණතල හිමියන්ගේ අදහස විය රජු පරණත්තල හිමියන් පිළිබඳව මතකයේ රඳවා තබා ගත්තේ එකතරා වෛරයකිනි 

කෙසේ වෙතත් වැව ඉඳිකිරීම සිදුවිය රජුගේ මෙම ක්‍රියාකලාපය නිසා වඩාත් දෝෂ නැගුනේ රජු සිංහාසනයට පත් කල මහාධිකාරමට සහ අනු නා හිමියන්ටය මහනුවර අවට රටවලින් හා දිසාවේ වලින් පැමිණි වැසියෝ වැව ඉදිකිරීමේ කටයුතුවල  යෙදුනහ එහෙත් සත්කෝරලේ වැසියෝ පැමිණියේ නැත වී ගොවිතැනට මිස වෙනත් කාර්ය සඳහා ඉඳි කරන වැව් බැඳීමට සහභාගී නොවන බව රජුට දැන්වුයේ මහාධිකාරම විසිනි "දේවයිනි අහම්බෙන් කරන වැව නිසා වැසියන්ට හිංසා පිඩා ඇතිවී තිබේ එමගින් වැව බන්දවිම ගැන වැසියන්ගේ කැමැත්තක් නැත නමුත් රජු ඊට පැවසුයේ වැව බැඳීම පිළිබඳව වැසියන්ගේ කිසිඳු අකමැත්තක් නොමැත අකමැත්ත ඇත්තෙත් අසතුටු වන්නේත් මහාධිකාරම පමණයි පැවසීය දේවයන් වහන්ස ඔබ වහන්සේ මගේ උපදෙස් නොමැතිව රාජ්‍ය පාලනය කරයි ඔබතුමන්ට රාජ්‍ය භාරදෙන අවස්ථාවේ දුන් පොරොන්දු ප්‍රකාර රට කරවනවා හොඳයි මහාධිකරම අවවාද දෙන ස්වරුපයෙන් කි විට රජතුමා රාජ්‍ය ලබාදීම ද්‍රෝහිකමක් කිරීමට හේතුවක් නොවිය යුතුය හිතුමතේ ක්‍රියාකිරීමට කාටවත් ඉඩ දිය නොහැකි යයිද පැවසිය මෙසේ ඇතිවූ විවාදය නතර වුයේ දෙදෙනා තුලම ඇතිවූ වෛරයකිනි සත්කෝරලේ වැසියෝ රජුට පක්‍ෂ නොවන්නේ මහාධිකාරම නිසා යයි සිතු රජු ඒ නිසා කලේ එම දිසාව දෙකට බෙදා තමාට පක්ෂපාතිවූ අධිකරම්වරයකුට පැවරිය මේ නිසා රජුට විරුද්ධව කැරැල්ලක් ඇති විය 

කැරැල්ල ඇති කලේ මහාධිකරම යයි සිතගත් රජු ඔවුන්ට පාඩමක් ඉගැන්වීමට සිතා කැරලි කරුවන් 100 පමණ දෙනා අල්ලා විත් සැදු වැවහි තුල උල තැබිය දින කීපයක් ගතවී මිනි දුඟද නිසා මල්වතු විහාරයේ භික්‍ෂුන් වහන්සේලා මහත් කරදරයට පත් වුහ මේ නිසා ඔවුන් දොස් නැගුවේ මෙවන් පුද්ගලයකු සිංහාසනයට පත්කිරීම පිළිබඳව  අනු නා හිමියන්ට ය මේ කාලයේදී රජු බීමට ඇබ්බැහි විය එතුමාට මත්පැන් පුරුදු කලේ වලපනේ දිසාව විය ඊට ඇබ්බැහි වූ රජු සවස්යාමය වන විට මීවිතට පුරුදුවී සිහිවිකල්ව සිටියේය මේ නිසා ගතිගුනද වෙනස් විය රජු එන්න එන්නම දරුණු විය රජුට විරුද්ධව වචනයක් හෝ කතා කල නම් මරණය වැළඳ ගැනීමක් විය මේ නිසා බොහෝ දේශප්‍රේමීහු සැකයට හා කේලාම් බස් වලට යටව මරු වැලඳගත්තේය මෙහිදී රජුට විරුද්ධව වචනයක් හෝ කතා කලේ අනු න හිමියන් සහ මහඅධිකාරම පමණියුතු විය මේ විවාහයේ අරමුණු වටහා ගත් රජු ඊට තදින්ම විරුද්ධ විය තමාට පක්ෂපාතිවූ නිලධාරී මඩුල්ලක් යටතේ ඒකමතිකව මහාධිකරම වැරදිකරු වන ලෙස තීරණය කල රජු ඔහු සුළු තානාන්තර වලින් නෙරපා හැරියේය(නිලතල 25 ක් විය) සිරගත කර පසුව නිදහස් කර රහසේම තම ගම් ප්‍රදේශය වූ පිළිමතලාවට යවා එහි නිහඬ ජිවිතයක් ගත කරන ලෙස දන්වා යැවුහ නමුත් මෙයින් නොනැවතුණු මහාධිකාරම තමාට වූ අවමානය ගැන සිතමින් රජු සැතපෙන ගෙයි තුලදීම මරා දැමීමට කුමන්ත්‍රණය කෙරිණි අල්ලස් දීමෙන් මේ සඳහා රජ ගෙදර සේවකයකු වූ ජා මුහන්දිරම් කෙනෙකු තෝරාගෙන තිබිණි ඇඳ තුලදීම රජුට පිහියෙන් ඇන මරා දැමීමට ඔහුට නියම විය ඔත්තු බැලීම සඳහා බලවන්ත රාල නමින් අයකුට නියම විය මේ අතර සත් කෝරලයේ යලි කැරැල්ලක් ද ඇති කිරීමට නියමව තිබිණි කෙසේ වෙතත් රාත්‍රී සමයේ එකම ඇඳක නිදි නොලැබ සිටීම රජුගේ පුරුද්දක් වූ නිසා කුමන්ත්‍රණය අසාර්ථක විය බලවන්ත රාල අසුවිය ජා මුහන්දිරම් කොළඹට පැනගියේය පිළිමතලව්වේ අධිකාරම හට රාජද්‍රෝහී කුමන්ත්‍රණ චෝදනා සඳහා වැරදිකරු විය ඔහුට මරණ දඬුවම නියම වුයේය 1811 අගෝස්තු 26 දා කුමාරහපුවේ පැරණි තල්ගස පිහිටි වධක භූමියේදී ගෙල සිද දැමිය

 පිළිමතලව්වේ අධිකාරම්ගේ මරණයත් සමග පරණතල හිමියන් තනි වුහ උන්වහන්සේගේ සියලු ආරක්ෂාවන් බිඳ වැටිණි හිත්වේදනාවන් දැඩිවිය මේ අතර රජු පරණතල හිමියන් මට්ටු කරන්නේ කෙසේද සිතමින් කල් එයැවිය දැන් තමාට ඇති එකම අභියෝගය උන්වහන්සේ බව රජුට හැඟිනි මේ අතර එක්තරා කේලම් බසක රජුගේ කණට වැකුණේ ය එනම් පරණතල හිමියන් තුන්වන සිල් පදය කඩන භික්‍ෂුවක් බවයි දිනක් බ්‍රාහ්මණයෙකු ලෙස වෙස්වලාගත් රජු පරණතල හිමියන්ගේ කුටිය වෙත පැමිණියේය මෙසේ කුටිය වෙත නිතිපතා පැමිණීම බමුණන්ගේ පුරුද්දකි එයට හේතුව වුයේ බහුශ්‍රුත හිමිනමක් වූ පරණතල හිමියන්ගෙන් ඔවුන් යම් යම් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පැමිණීමයි මෙසේ බමුනකු ලෙස පෙනී සිටි රජු ඉදිරියට පැමිණි පරණතල හිමියන්ගේ ගෝලයකු කුමක් සඳහා පැමිණියේදැයි ව්මසනු කල්හි බණ පදයක් අර්ථයක් විසඳා ගැනීමට පැමිණි බව  පැවසීය ගෝලයා ඉන්පසුව පිටත් වී ගිය අතර බමුණා කුටිය පිටුපසට වී සිටියේය ඒ අතර කුටියේ දොරටුවෙන් ආ කාන්තාවක් කඩිනමින් ඉවතට ගියාය පරණතල හිමියෝද උදේ දානය ගෙන තමා හමුවීමට පැමිණි බමුණා දෙස බලා ප්‍රශ්නය කුමක්දැයි විමසන ලදී ප්‍රශ්නය ප්‍රශ්නයට පිළිතුරු ලැබුනා යයි ඔහු කිසි ගරුසරුවක් නැතිව කියා ආපසු යන්නට ගියේය හෝරා කිහිපයකට පසුව හිමියන්ගේ කුටිය ඉදිරිපස පෙනී සිටියේ කටුපුල්ලෙවරු පිරිසකි ඔවුන්ගේ පණිවිඩය වුයේ වහාම පරනතල හිමියෝ අත්අඩංගුවට ගත යුතු බවයි කිසිත් නොදත් පරනතල හිමියෝ කටුපුල්ලෙවරු සමග රජු හමුවට පැමිනවුයේය .රජු පරණතල හිමියන් කැඳවා එන ලෙස දන්වා තිබුනේ මගුල් මඩුවටය.ය නඩුවල වැරදිකරුවන් (චුදිතයන් )නවතා තබන ස්ථානය විය.උන්වහන්සේට මෙය හිතාගත නොහැකි එකක් විය.පිළිමතලව්වේ හා එක්වී රජුට විරුද්ධව නැගී සිටි එකම තැනැත්තා තමා  නිසා තමාගෙන් රජු පලිගැනිමට ගත පියවරක් බව සක්සුදක් සේ පැහැදිලිය.මහනායක හිමිවරුන් ප්‍රමුඛ රාජසභාව ඒ වන විට රැස්ව තිබිණි.කුරුත් උන්වහන්සේට ඇති චෝදනාව දක්වන තුරු නොයිසිලිමත් වුහ.රජුගේ අධිකරණ ලේඛම්වරයා විසින් දක්වන ලද   චෝදනාව වුයේ පෙරදින රාත්‍රියේ මල්වත්ත අවාසයේ ස්ත්‍රියක් හා වසමින් භික්ෂු ශාසනය කිලිටි කල බවය.උන්වහන්සේ මෙය අමුලික බොරුවක් බව දිව්රා ප්‍රකාශ කරන ලදී.එහෙත් රජු කියා සිටියේ තමා බමුණෙකු ලෙස වෙස්වලාගෙන හිමියන්ගේ කුටිය දෙසට ගිය බවත් අහි සිටියදී එම කුටියෙන් කාන්තාවක් පිට වී ගිය බව ත දුටු බවත්ය.එම නිසා හිමියන්ගේ හිස ගස මර දැමිය යුතු යැයි නියෝගය විය.මෙයද රජුගේ ඒකමතික තීන්දුවක් විය.මෙය අසාදාරන තීන්දුවක් බවට මහනායක හිමිවරුන් රජුට පැහැදිලි කර දුන්නද රජුගේ තීරණයෙහි වෙනසක් නොවිය.
Read more »

රජු සමග තරගයට කවි කී යුවතිය

2 comments



සෙංකඩගලපුර රජ කල තුන්වන නායක්කර් වංශික රජු වූ රාජාධි රාජසිංහ රජු දක්ෂ කවියකු මෙන්ම සිංහල භාෂාව හොදින් ප්‍රගුණ කල අයකු ලෙස ද සැලවේ රාජාධි රාජසිංහ රජුගේ ප්‍රසිද්ධ වුයේ මෙවැනි දේ වලට  පමණක් සිම නොවීය හෙතෙම කොතනකදී හෝ හැඩකාර තරුණියක් දුටු විට ඇය තම අන්තඃපුරයට ගෙන්වා ගැනීමට කිසිවිටකත් පසුබට නොවූ අයකු ලෙසද සලකයි වෙස්වලාගෙන තම රාජධානියේගම් දනව්හි සැරිසැරීම මේ රජුගේ සිරිතක් විය එසේ යන ගමනකදී දෙයියන්නේ වෙල ප්‍රදේශයේදී කුඹුරක පැල් රකින තරුණියක් රජුගේ ඇස් ගැටුණි ඇයට නොපෙනෙන සේ සිටි රජු මෙම කවිය කීය

ලස්සන හිම වතේ පැලපිට සිටින     ළදේ
දුක්දෙන වල්සතුන් පන්නා හරින     ළදේ
රැක්මෙන වෙලේ ඉඳ වෙලබත් බුදින  ළදේ
දුක්දෙනු හරිද ඔබෙ සියුමැලි ගතට     ළදේ

කවට කමට රිසිවූ තරුණයකු තමාට කවට කම් කරන්නේ යයි තරුණිය සිතුවාය කවි කීමට හපනියකි වූ ඇය පිළිතුරක් දෙන්නට නොපසුබටවු ඇය මෙසේ පිළිතුරක් දුණි

ලස්සන හිමවතේ මා වී           පැසීලා
දුක්දෙන අලි ඇතුන් පන්නා      හරින්නේ 
රැක්මෙන දෙවියනේ වෙලබත්    බුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල්         රකින්නේ

තරුණියගේ රූප ශ්‍රීය පිලිබඳ සිත ඇතිවූ රජු කවියෙන් එය වර්ණනා කළේය 

වෙලක මහිම බල මා වී            පැසීලා
පැලක මහිම බල බටකොළ       හොයාලා 
මලක මහිම බල අතු අග            පිපීලා
ලියක මහිම බල ගෝමර            ඉසීලා

ඊට පිළිතුරු කවියක් කි තරුණිය එයින් සැඟවී කවි කියන පුද්ගලයා රුපය පිළිබඳව දරන අදහස සියුම් ලෙස අවඥාවට භාජනය කළේය

වෙල හොඳ මොකද යල මහ පාළුවේ        නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ    නම් 
මල හොඳ මොකද අතු අග පරව යා          නම්
ලිය හොඳ මොකද පෙති ගෝමර මැකේ     නම් 

රජු ඊළඟ කවියෙන් තම අදහස ප්‍රකාශ කළේය

යල මහ පාලුවෙන්නට ඉඩ දෙන්න          එපා
දුක්දෙන සතුන් පන්නා වෙහෙසෙන්න        එපා
ලැම බඳ ඉසුණු ගෝමර වැනසෙන්න       එපා
දුප්පත් කමින් මින් පසු දුක් වෙන්න          එපා

මේ කවිය කියූ රජු තරුණිය වෙතට පැමිණියේය මේ නම් එසේ මෙසේ තරුණයකු නොවේ තරුණයා දුටු සැනින් නිගමනය කල තරුණිය මොහොතක් වෙලා බලා සිටීමෙන් ඇය වෙස්වලාගෙන සිටින්නේ කවරෙකුදැයි හදුනා ගත්තේ ඇසල සැණකෙළියේදී දැක ඇති පුරුද්ද හේතුවෙනි භයවුන තරුණිය පන දිව්වේය පලායන තරුණිය අමතා රජු මේ කවිය කිවේය

ඇනලා මරණ කුළු මීමෙකු නොවේ         නම්
විකලා දමන සිහ රදෙකුත් නොවේ          නම් 
විදලා දමන වැදි රජෙකුත් නොවේ            නම් 
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ         නම්

රජු හැඳින භීතියට පත් වුනත් කවිය ඇසි නිහඬව යාමට සිත නොවූ තරුණිය මෙසේ කීය

රෑන පිට රෑන තුඩු රෑන දී                  යන්
ඇදලා ඇටෙව් දුන්නෙන් අගට  ඊ      යන්
බළලුන් දුටුවාම බිය නැද්ද  මී          යන්
දුටුවම බිය නැද්ද රාජසිංහ   දෙයි      යන් 

රජු විසින් පසු කලෙක ඇයව තමාගේ අන්තඃපුරය වෙත කැඳවාගත්තේය එම තරුණිය පැල් රකිමින් සිටි වෙල්යායම සන්නසකින් තරුණියට තිළිණ කර දී ඇත
Read more »

ජනකවිය

1 comments

ජන සාහිත්‍යකරුවා තම විරෝධය දුක්පීඩා සහ විවේචනය හාස්‍ය උපහාසය නිපදවාගනිමින් සමාජය වෙත එල්ල කිරීමේදී භාවිතා කල එක් ක්‍රමයක් වුයේ ජනකවිය වේ පහත දැක්වෙන්නේ එවැනි ආකාරයේ ජනකවිය 

රොටී හබයක්

සෑමවෙලාවකටම රොටී කෑම නොකැමති වූ පුරුෂයෙක් තම බිරියට මෙසේ බැනවැදුනි

පුරුෂයා 

රොටී රොටී සැම වේලෙම රොටී         යේ
තුටී සේම ලිප වට කර සෑදී                 යේ
වැටී සේම අප්පිරියා ගතී                    යේ
රොටී නිසා තී දවසක නසී                  යේ 

භාර්යාව

සිතේ තමුසෙගේ කවදත් බතේ           යා
බතේ කන්ට හාලක් ගෙයි නැතේ        යා
නැතේ හාල් ගැනුමට මිළ අතේ         යා
අතේ තබමි එනිසා රොටි පතේ          යා

විවාහය හාස්‍යයට ලක්කර කියවුන කවියකි මේ 

අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හි ගඟේ      යා
නඟුලේ රඟ දැනෙන්නේ බැස්ස කල්හී මඩේ      යා
උගුලේ රඟ දැනෙන්නේ ඊට පත්වූ සැනේ          යා
මගුලේ රස දැනෙන්නේ දු පුතුන් ලත් තැනේ     යා

එක්තරා හිමිනමකට "කුකුලල" නැමැති අල වර්ගය වැළඳීමේ දැඩි ආශාවක් උපන්නේය කුකුලල බහුල් වශයෙන් වැවෙන ප්‍රදේශයක වෙසෙන සිය මිත්‍ර හිමි නමකට මේ බැව් පහත පරිදි කවියකින් දැන්වුහ

පතුල මුලා බිජු ලාලයි ලොකු වෙන්       නේ
නැත සැවුලා කවදාවත් අඬලන්            නේ 
හොට වකලා කටු ආ දයි ගස් යන්         නේ
එ බිජු කන්න මම ආසාවෙන් ඉන්         නේ

මිත්‍ර හිමිනම කවිය මැනවින් තේරුම්ගෙන පහත සඳහන් පිළිතුරු කවිය යැවීය

ලකුණු මම කියමි යන්තම් දැන ගන්     න 
දකුලු තව මාස ගණනක් පසු වෙන්       න 
මිල දීලවත් නැත මෙහි අරගන්            න 
මුල සිව්කුරු හැර ලඟ සිව්කුර ගන්       න

විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා කොළඹට ගොඩබට වේලෙහි නොකල්හි වැස්සක් වැස්සේය එවක "කවට කතිකයා" නමින් ප්‍රසිද්ධව සිටි පෑලිස් අප්පුහාමි විසින් මෙම සිද්ධිය ස්වකීය කවට පත්‍රයේ මෙසේ සඳහන් කරන ලදී

පින්වත් මනමාල අප්පු කොළඹට ගොඩ බැස්          සා
සම්පත් වැඩිවන ලකුණෙකි එවෙලෙම වැසි වැස්     සා 
ඉන් දුක් දෙන දුවිලි පටලෙත් පහලට බැස්               සා 
වැන්දත් අනෙ වරදක් නැත ඔහුට දෑත උස්               සා

මේජර් ඩේව් සමග කන්ද උඩරට ගිය ජා සෙබළුන්ට අන්තොච්චිකාමු නම් විකට පහත කවිය කියා පරිහාස කල බව හෙළදිව පුවතෙහි සඳහන්වේ

අක්කරේට අසුකර මෙරටට ආ             වා
ගොන්කුරේට ගෙන දියවර බොන ජා    වා 
සන් කරේට නොවටින ගෙරි මස් කෑ     වා
සිංහලේට ආවට තෙපි කැති ගෑ            වා

කුංකුනාවේ හාමුදුරුවෝ පන්සල් වත්තේ කුරුම්බා මීයකු විසින් කා දැමීම නිසා උරණව වස්කවියක් කීවේලු

කකා කුරුම්බා ලෙලි බිම දමන එ         කා
මොකාදෝ එකා මට නොදැනෙනා එ    කා
විකා ඇට නහර මස් ලේ උරා ක          කා
යකා මහසොන් උගෙ දිවි හරින් ම       කා 

සුද්දන්ගේ වත්තේ වැඩටගිය ගැමි කාන්තාවක් සුදු දරුවකු ප්‍රසුත කළාය එයින් කම්පාවට පත් ගැමියකු මේ කවිය කිවේය

දේස දහඅටම එක දේසෙට වෙච්     චි 
බාස දහඅටම එක බාසෙට වෙච්       චි
වනන් දහඅටම එක වනමට වෙච්    චි
සිංහලේට සුදු දරුවන් බෝ වෙච්     චි

ඉංග්‍රීසින් විසින් මෙහි ව්‍යාප්ත කරන ලද පරගැති අධ්‍යාපන ක්‍රමය විසින් රට ගම නොදත්"ජාත්‍යන්තර ප්‍රජාව" ගැන උගැන්මෙන් අපගේ චින්තනය විනාශ කරනු ලැබූ හැටි තලාවේ කේ ඇම් ගුරුතුමා විසින් 1957 දී කවි කොළයකින් විස්තර කරනුයේ මෙසේය

රට ඉඳි දෙන්නෝ -ඇපල් වවන්නෝ -ජෑම් එවැන්නෝ 
                                                                        ඇති රටවල්
වුල් හදන්නෝ -නුල් එවන්නෝ -සුට්‌ මහන්නෝ 
                                                                         ඇති රටවල්
බෑට් ගහන්නෝ -පයිට් කරන්නෝ -සර්කස් දන්නෝ
                                                                            ඇති රටවල්
බෝ දෙන දන්නෝ -එමුත් නොදන්නෝ වැව් බැඳී රජුනගේ
                                                                             වගතුගවල්

සුවස් දන්නෝ-පැනමා දන්නෝ-යෝධ ඇලක් ගැන
                                                                   නොම දන්නෝ
සහරා දන්නෝ-ගෝබී ‍දන්නෝ-රජරට බින්තැනි
                                                                  නොම දන්නෝ 
ඒරල් දන්නෝ-මිචිගන් දන්නෝ-පදවිය-කතදර 
                                                                   නොම දන්නෝ 
මැවිලන් දන්නෝ-මාක්ස් ද දන්නෝ-ගැමුණු ද-පැරකුම්
                                                                   නොම දන්නෝ

තල්දෙන අධිකාරම් දුටු නළඟන

ඌවේ තල්දෙන අධිකාරම් තුමා රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද කවියෙකි හිටිවන කවියට මහත් දස්කම් පෑ මෙතුමා රාජ සභාවෙහි රජතුමා සමග නාට්‍යාංගනාවන්ගේ නැටුම් බලමින් සිටින විට කියූ හිටිවන කවියකි මෙය නාට්‍යංගනාවන් කෙටි කල සළු හැඳ කඹයක් මත නැඟි නැටුම් දැක්වූ අවස්ථාවකි

නුඹේ පත සදිසි වත සඳ ලෙස             උදුලා
රඹේ කඳ අයුරු දිසි කලවා                 යුවලා
කඹේ නටන අඟනුන්ගේ යොහොඹු      කුලා
නැඹේ මුල පෙනෙන්නා උඩ පනින      කලා
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine