#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

අපේ ගම් වල හැටි

0 comments
ගසට හෝ වැලක                        ට
පෝර දිය දුන් පමණ                    ට 
උසට සහ මහත                           ට 
වැඩෙයි මල් පල දෙමින් මතුපි     ට

කියනු කිම ? බොහො               දුර
කළ එළි සුවඳ මල්                   බර
පුර නම් සඳුන්                         තුර
දරණ මුල නම් ගමය පිටි          සර

ගම ගැන නොපිලි                    පැද
පුර දියුණුවම පිලි                      බඳ
වැඩ කරණු කෙබ                      ඳුද
පෝර දිය දෙනු වැන්න කඳ       මැද

ලකෙහි තතු ඇති                     සැටී
දකිනු රිසි නම් නොරැ                වැටී
නුවණින් බලනු                         වටී
අපේ පිටිසර ගමේ අද                හැටි

රස අහර නොල                        බන
පිරිසිදු ඇඳුම් නො අ                   ඳින 
සවියෙන් පිට ප                         නින 
තරම් ඉල ඇට නෙරීගෙන           එන

කිසි නුවණකුත්                        නැති
වෙන යම් සිල්පෙකුත්               නැති
පිටු වහලකුත්                           නැති
කරන්නට රස්සාවකුත්               නැති

ගෙවතු පිටි                              කුඹුරු
ඕවටි හේන්                             වගුරු 
දියට යන                                අයුරූ
බලා වගුරත කඳුළු                   පොකුරු

හෙණ වැදුනු වැහි                     කල
ගස් මෙන් හිතැඟි සුන්               කළ
ගම් වැසියෝ මෙ                      කළ 
දහස් ගණනින් සිටිති ගම්           වල

කිරි නොලැබෙන                     බැවින
අකල් මරණින් වැන                 සෙන 
බිළිඳුන්ගේ                              ගණන 
සොහොන පමණයි දන්නේ       නිසැකින 

ගැමියන් විඳින                           වද
මෙලෙසැයි දැකත් පිරි                සඳ
දෑහිතැතියන්                              හද
නො උණු වන්නේ කුමන            කරුමෙද

පොදු ජන වැඩ                           කරන
දෑ හිතැතියන් හැම                      දෙන 
තබා විත් මැති                            තැන
සතිය යුතු වෙයි දිළිඳු ගම්             ගැන

ගම් ගැන නොසළ                       කන 
ගැමි ජීවිතය නොද                      කින
යම් යම් අය                                කරන
කරන වැඩ ගරුනොවේ කිසි          දින 


හින්ද හිමියන් අතින් ලියවුන අවසාන රචනාවයයි සිතිය හැකි මේ කවි පෙළ උපුටා ගැනීම 1951 ඔක්තෝම්බර් මස පලවූ දේදුන්න සඟරාවෙනි දේදුන්න කවි සඟරාවේ සංස්කාරකවරයා වුයේ පී .බී අල්විස් පෙරේරා කවියයි
Read more »

උඩරට ඇහැලේපොළ ඛේදවාචකය

0 comments


පිටියේ නිරිඳු මා දකිමින් උයනේ         සිට 
හැරියේ පණිවිඩය යන මෙන්        වාසලට
සරියේ නැති බැවින් ගෙදරින්        යාමපිට
බැරියේ කී නිසයි මේ දුක වුනේ           මට


දුටුවන් වශී කරන මනරම් රූ සපුවකින් හෙබි ඇහැළේපොළ කුමාරිහාමි සමඟ නොමනා සම්බන්දතාවයක් ශ්‍රී වික්‍රමසිංහ රජු පැතුවේ ඒ අයුරින්ය.එහෙත් වංශවත් මොණරවිල පරම්පරාවට අයත් එඩිතර නිර්භීත ජාති  හිතෛෂියෙකු වූ  කැප්පෙටිපොළ මහාධිකාරම්ගේ  නැගණිය වූ කුමාරිහාමිට එම ගතිගුණ පිහිටියා පමණක් නොව පතිධර්මය ආරක්ෂා කළ ඇය වෙනත් පුරුෂයෙකු (රජ වුවද )සමග රහස් ප්‍රේම සම්බන්දයක් ඇති කර ගැනීම තුච්ච කොට සැලකුවාය.ඇගේ සැමියා මේ වන විට සපරගමුවේ රාජකාරී කටයුතු කළේය.රජ මාලිගාවේ සිට බලනවිට මහාධිකාරම් විසු (වර්තමාන ක්වීන්ස් හෝටලය)කුමාරිහාමි රජුගේ නෙතට ලක් වීමෙන් රජු තුල මේ අදහස් පන නගින්නට ඇත.එහෙත් ඇයගේ ගෞරවය ඉදිරියේ රජු පසුබා සිටියේ තරමක කේන්තියකිනි.තම පරමාර්ථය ඉෂ්ථ කර ගැනිමට නොහැකිවුවහොත් කවදාහෝ ඇගෙන් පාලි ගැනීමේ චේතනාවෙන් රජු බලාසිටියේය.ඇගේ කුලමානයටත් අහන්කාරකමටත් නිසි පාඩමක් උගන්වමියයි බල බලා සිටි රජුට මේ අවස්ථාව උදාවුයේ දෛවෝපගත ආකාරයකටය.

ශ්‍රී වික්‍රමසිංහ රජ නමින් සිංහාසනාරූඩ වූ මේ වඩුග කුමාරයා උඩරට සිංහාසනය උරුමකම් පැවතියෙක් නොවේ.ඔහු රජවුයේ රාජාධිරාජසිංහගෙන් පසුවයි.එතුමාගෙන් පසු සිහසුනට නම් කර තිබුනේ මුත්තුසාමි නැමැත්තෙකි.රජු ඇවෑමෙන් ඇතිවූ අරාජක  සමයේ සිංහලයේ බලවතා වුයේ මහාධිකාරම් පිළිමතලව්වේය.පිළිමතලව්වේ මුත්තුසාමි කුමාරයාට සිහසුන බාර නොදී කන්නසාමිනම් කුමරුට(ශ්‍රී වික්‍රමරාජසිංහ රජු)සිහසුන බාර දුන්නේ තම සිතේ තිබු අදහස මුදුන්පත්  කරගන්නා අටියෙනි.ඒ තමා පත්කළ රජු රූකඩයක් කර පාලනය කිරීමයි.එසේම ටික  කලකින් රජු මරා හෝ නෙරපා හැර උඩරට යලිත්  සිංහල රාජ පරම්පරාවක් ඇති කිරීමටය.වයස අවු;16 ක් පමණ කළ සිහසුනට පත් වූ කන්නසාමි කුමාරයා වයසින් වැඩෙත්ම වුයේ මහාධිකාරම් බලාපොරොත්තු නොවූ දෙයකි.එනම්,අධිකාරම්ගේ කටයුතු රජු වටහා ගැනීමයි.මෙහි අවසාන ප්‍රථිපලය වුයේ අසාර්ථක රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් ඇති කළ මහධිකාරම් පිළිමතලව්වේ රජුගේ අනින් හිස් ගැසුම් කෑ මරණයට පත්වීමයි.ඉන්පසු මහධිකාරම් වුයේ ඇහැළේපොළයි.ඇහැළේපොළ වනාහිද පිළිමතලව්වේගේ බෑනා කෙනෙකි.රජුට මේ පත්වීම අවලංගු කළ නොහැකිවූයේ උඩරට රදළ පරම්පරා අතර පිළිමතලව්වේ පක්ෂපාතින් රාශියක් සිටීමයි.ඒ නිසා නොකර බැරි විය.මෙවිට රජ කලේ ඔහු සතුරු මොල්ලිගොඩ නිළමේ දෙවෙනි අධිකාරම වශයෙන් පත් කිරීමයි.කෙසේ වෙතත් ඇහැළේපොළ  මහාධිකාරම හා රජු අතර තිබු සැකය දිනෙන් දින වැඩෙන්නට විය.එය තහවුරු වුයේ රජුගේ දෙවැනි අභිෂේක මංගල්ලය නිසාවෙනි.

මහාධිකාරම වශයෙන් රජුට එවිය යුතු "දැකුම"වෙනත් අධිකාරම්වරුන්ට වඩා සුළු එකක්වූ අතර එය රජු ආපසු යැවීමෙන් මෙය සිත් අමනාපයකට තුඩු දීමක් විය.මොල්ලිගොඩ අධිකාරම ලිපිය කියවන්න නිතරම මහාධිකාරම රජු සමග මහනුවරම පදිංචි වුවත් මේ සිද්ධියෙන් පසු රජුට හොඳ ත්‍යාගයක් දෙමියි සිතූ ඇහැළේපොළ සබරගමු දිසාවට ගොස් එහි ආචාරියෙකුට රන් කඩුවක් හා ඔටුන්නක් සාදන ලෙස දන්වා ඇත.මෙය ඔහුට සතුරු රදලයින්ට කදිම අවස්ථාවක් විය.ඔවුහු ඇහැළේපොළ  රජවන අදහසින් මෙවැන්නක් කරන බව රජුට දැන්වුහ.මෙහි සත්‍ය තත්වය කුමක්ද යන්න බැලිමට රජු ඇහැළේපොළ වහාම මහනුවරට පැමිණෙන ලෙස පැවසුවද වුයේ නොසිතු දෙයකි.
රජුට තිළිණ කිරිමට සිටි ත්‍යාගය (රන් කඩුව හා ඔටුන්න )තවමත් ආචාරියා සාදා අවසන් හමාර නොවූ නිසා තමාට ඒමට දින කිහිපයක් ගතවන බව ඇහැළේපොළ විසින් දන්වා එවන ලදී.නමුත් එසේ ගෙන පණිවිඩය මොල්ලිගොඩ අධිකාරම්ගේ සහචරයන්ට හසුවීමෙන් රජු අතට පත්වුයේ රජු කුපිත කරන ලිපියකි.රජු යලිත් මහාධිකාරමට මහනුවරට එමට කීවත්  පහු ඊටද කීකරු නොවිය.මේ නිසා වුයේ ඇහැළේපොළ කුමාරිහාමි  හා දරු පිරිස ඇපකාරයන් බවට පත්වීමයි.රාජ නියෝගයෙන් ඔවුන් මහනුවරින් පිටත් කර පල්ලදෙනියේ වලව්වේ ආරක්ෂා සහිතව නිවාස අඩස්සියක තබන ලදී.

මේ අතර මහාධිකාරම ඉංග්‍රීසීන්ට  එකතු විමට තීරණය කරන ලදී.මේ සඳහා ජෝන් ඩොයිල් හා සාකච්ඡාවක් පැවැත්වීමට ඇහැළේපොළ මහාකාරම එක්නැලිගොඩ නිළමේ කොළඹට පිටත් කර හරින ලදී.මේ සාකච්ඡාවේ ප්‍රථිපල ඇහැළේපොළ කෙරෙහි සතුටුදායක ලෙස බලපෑ බව පෙනේ.ඒ අනුව උඩරටට විරුද්ධව ඇති කරනු ලබන කැරැල්ලක් තුළින් රජු පහ කිරිමට ආධාර දිමට ඉංග්‍රීසින් කැමැත්තක් පල කළහ.1814දි ඇහැළේපොළ සබරගමුවේ බටුගෙදරින් කැරැල්ලක් ඇති කලත් ඊට උඩරට  රදළවරුන්ගේද ,ඉංග්‍රීසින්ගේද බලාපොරොත්තු සහයක් නොවිය.කැරැල්ල අසාර්ථක විය.ශ්‍රී වික්‍රමරාජසිංහ රජු විසින් ඇහැළේපොළ සියලු නිලතලවලින් පහ කරන ලදී.රජුට පක්ෂව සිටි මොල්ලිගොඩ මහාධිකාරම් ධුරයට පත් කෙරින.මොල්ලිගොඩ විසින් සබරගමුව ආක්‍රමණය කර කැරැල්ල මර්දනය කරන ලදී.ඇහැළේපොළ සිය පාක්ෂිකයින්ද සමග ඉංග්‍රීසින්ගේ ආරක්ෂාව පතා කොළඹට පන යන ලදී.මෙම රාජද්‍රෝහී කුමන්ත්‍රණයට වන්දි වශයෙන් ඔහුගේ දු දරුවන් හා ඥාතීන් සිරභාරයට පත් විය. 

ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මේ වන විට ඉතා දරුණු පුද්ගලයෙකු ව සිටියේය.රජුගේ ඇසුරේ සිටි ඇමතිවරු ඔවුනොවුන් එකිනෙකාට විරුද්ධව ගතු කේලම් කී නිසාද පිළිමතලව්වේ වැනි මහාධිකාරම්වරු රජු මැරවීම සඳහා කළ කුමන්ත්‍රණය නිසාද රජුගේ ඇමතිවරු අතර අමනාපකම් දිනෙන් දින වැඩි වී ගිය නිසාත් අවසාන මොහොතේ රජු පිස්සෙකු මෙන් ක්‍රියා කළේය.තමාට විරුද්ධව යයි සිතු හැමදෙනාම දෙතිස් වද දිදී මරා දමන ලදී.සමකාලින ඉංග්‍රීසි වාර්තාවල සඳහන් පරිදි රජු කල දරුණු අපරාධ රාශියක් ගෙන සඳහන් වේ.  

කුඩා බිලිඳා ගේ සිඳලූ ගෙල වංගෙඩියට දමා රජු  එය කොටන්නට මවට අණ කරත්ම ඇය සිහි විසන්ඥව බිම ඇද වැටුනාය.එසේ නොකළහොත් ඇයව ගහලයෙකුට පාවා දෙන බව රජු කිවේ පරණ කෝන්තරය සිහිපත් කරමිනි.ඒ දුටු ජනයා හැඩු හැටි තැඹීළිපොළ කවියා පෙරලි හටනේ දක්වා ඇත්තේ මෙසේය.

කිරි මතුවුණි උගුරින් කිරි            පැනලා 
ලේ මතුවුණි බෙල්ලෙන් ඇඟ    තෙමිලා
ලේ සමගම කිරි මුව                කැළඹිලා
ලේ විල උනි බිම මළුවත්            ගලලා

දුටු දුටු අය සිහිපත්              නැතිවෙලා 
කොටවව්   ඔලුගෙඩි වනට        දමාලා 
මට පව් නැත දැන් රැකවලු        කියාලා 
කැපු  ඔලුගෙඩි ගෙන  වනට      දමාලා

යෙදුන පණත මෝලෙන්         කොටවන්නේ 
වැදුණු සැරේ මව් සිහි නැති              වන්නේ 
විඳින වෙහෙස මව් කුස තුල              දන්නේ
හද ගිණි සැර රජ උදහස                  වන්නේ

කඩා කවව් අඩුවෙන් මස්             උන්නේ 
අඬා විලාපෙන් ඔලු            කොටවන්නේ
කඩා ඉසුනි ලේ මුණට                උන්නේ 
අඬා බිසව් දෙරණත             පෙරලන්නේ

මුණ පෙනෙයි රතු වදමල්       පෙත්තේ 
ගෑනු හඬති දුටු අය එක         රොත්තේ
හානි වෙච්චි ඔක්කොම මේ     වැන්නේ
පාන නිවුනි නරලොව මේ       වැන්නේ

සියලු දෙනා මැරීමෙන් පසු අනතුරුව පැවතියේ භීෂණ යුගයකි.අවිචාර සමයකි.පැරණි සිද්ධි මත නඩු විභාග කරමින් වරදකරුවන් දරුණු ලෙස මැරවීම මේ යුගයේ  නිරන්තරව සිදු කෙරිණි.පිළිමතලව්වේ විසින් මර්දනය කළ රජුට මර්දනය කිරිමට නොහැකිවූ කැරැල්ලට පවා සම්බන්ධවුවන් නැවත නැවත සොයමින් විභාග කරන ලදී.ඇහැළේපොළ හා සම්බන්ධකම් පැවැත්වූ නුවර කලාවියේ දිසාව ගාත්‍රා කපා හිස ගසා දැමිනි.ඇහැළේපොළට පක්ෂයයි සැක කළ සපරගමුවේ නිළමේවරු 47දෙනෙකු මරා දැමිනි.


ඇහැලේපොළ කුමාරිහාමිගේ දේහය මතුවූ ස්ථානය යයි සලකයි



කුමාරිහාමිට පක්ෂව සිටි තවත්  කුමාරිහාමිවරු 3දෙනෙකු බෝගම්බර වැවේ ගිල්වා මරා දැමිය.ඉංග්‍රීසි වාර්තාවන් (ඩේව් දුටු ලංකාව )සඳහන් කරන අන්දමට මේ සිද්ධිය දුටුවන් කම්පා කරවන
සිද්ධියකි.ඇහැළේපොළ ඛේදවාචකය පිළිබදව පසුකාලීනව ඒ යුගයට අයත් පොත් රාශියක සඳහන් වේ.ඒ අතර ඇහැළේපොළ හටන ,පෙරලි හටන ,රාජාවලිය,ඒ පොත් අතර වැදගත් වේ.ඇගේ ශෝකාලපයත්,ශාපයත්,ගැබ් කරමින් රචනා කර ඇති පහත සඳහන් කවි කීපය හිත පිත් නොවූ හදවතකට පවා ඉවසිය නොහැකි තරම් බව ඒවා කියන්නට වැටහේ.

      
       
අහස පොළව මේ තිරහන් කාලේට මතු බුදුවෙන     හාමුදුරුවනේ
මමවත් මගේ දරු කල වරදක් නැත අසන්ඩවත්        හාමුදුරුවනේ
වරද කලේ අප මහ නිළමේ වද   අසන්ඩවත්           හාමුදුරුවනේ
දළදා නාමෙට පිනට අරිනවද මතු බුදුවෙන             හාමුදුරුවනේ
   
මහ ගබඩාවේ සතර දෙනෙක් ඉඳ කිරි පෙව් මැණිකෙයි           ඉල්ලන්නේ 
දෙතන දෙකේ කිරි පොවලා හරියට පව් ඇරලවාලයි ගෙන      දෙන්නේ
කුසේ දැන ගිනි ඇවිලෙනවාවද ඇයි දෙව් අවනඩු                   නොලබන්නේ
නෙතින් වෑහෙන කඳුලැලි වැගිරෙනවා සත් පත්තනි දේවි        නොලබන්නේ

කඩුව ලැබිලා වාසල එනවා අරහේ බලාපන් බුදු                    අම්මේ 
මැණිකේ කපාලා වනට දමාලා මාත් කොටන්දෝ බුදු            අම්මේ
මහවාසලයට සැල කරවාලා අප ගලවා ගන්  අපේ                 අම්මේ 
මෝඩ රජුන් හට කොච්චර කීවත් අප ගලවනු නැතිවද            අම්මේ 

මහ නිළමේ මට කල් බැඳලා සිට වැදු ඒ දරුවන්                            නොලෑබෙච්චි
දෙවනුව වැදු මගේ ඩිංගිරි මැණිකේට කිරි  ටික බොන්නට බැරි          වෙච්චි
අකාල කරුමෙට වදාපු දරුවන් වනේ කොටන්නට සිදු                      වෙච්චි
දෙමළ රජුන් හට හෙණයක් දෙන්නට සත් පත්තිනි දෙවි නැති           වෙච්චි


රාජද්‍රෝහී කුමන්ත්‍රණවලට දෙන දඩුවම් ඕනෑම සමාජයක වුවද දරුණුය.එහෙත් ඇහැළේපොළ  ඛේදවාචකයට තුඩු දුන් සපරගමු කැරැල්ල වූ කලි දරුණු එකක් නොවේ.ඊට සහභාගී වුයේ ද ස්වල්ප දෙනෙකි.නමුත් ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමා උඩරට දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් අනුමත නීතිරීති පවා ඉක්මවා ගිය බව පෙනේ.ඒ බව ඊට පෙර පැවති රාජද්‍රෝහී කුමන්ත්‍රණ හා සසදා බැලීමෙන් පෙනේ.1760 කුමන්ත්‍රණය එතරම් දරුණු නොවේ.ඒ කුමන්ත්‍රණ2ද අසාර්ථක විය.
එහිදී දඩුවම් ලැබුවේ චුදිතයන්ය.නමුත් 1814 ඇහැළේපොළ කුමන්ත්‍රණයේදී අතිවිශාල සංඛයාවක්  මරණයට කැපවුහ.සැකයට පවා භික්ෂුන්,ස්ත්‍රීන්,කුඩා දරුවන් පවා ඝාතනය කරන ලදී.කුල ගෞරවයත් අභිමානයත් නිසා ඇහැළේපොළ පරපුර කෙරේ රජුගේ ඉර්ශියාවත්
කුමාරිහාමි රජුට දෙමළ වදඩුගය යි අපහස කිරීමත් රජුගේ කෙරේ බලාපොරොත්තු වූ ඩේ ඉටු නොවීම නිසාද පෑහෙමින් තිබු බද්ධ වෛරය මෙය පෞද්ගලික පාලි ගැනීමක් ලෙස ඉස්මතු වූ  බව ඉතිහාසඥයන් පෙන්වා දෙන මතයකි. 


Read more »

පුරාණ ගණිත ක්‍රමය

4 comments
ශාසන ඉතිහාසයේ සඳහන් පරිදි කොණ්ඩඤ්ඤ බුදු හිමියන්ගේ සිට සිදුහත් බෝසතාණන් වහන්සේ බුදුබව ලබන තෙක් ගතවී ඇත්තේ අසංඛ්‍ය කල්ප ලක්ෂයකි  එම කාලය තුල බුදුවරු 23 දෙනමක් ලොව පහළවී ඇත අසංඛ්‍ය කල්පයක් යනු පහත සඳහන් සංඛ්‍යා ලේඛනය අනුව ගණනය කර තිබේ


  1. දහය xදහය =සියය
  2. සීයxදහය =දහස
  3. දහසxසියය = ලක්ෂය
  4. ලක්ෂයxසියය = කෝටියයි
  5. කෝටියxකෝටිය =ප්‍රකෝටියයි
  6. ප්‍රකෝටියxකෝටිය =කෝටිප්‍රකොටියයි
  7. කෝටිප්‍රකොටියයිxප්‍රකෝටි = නහුත එකයි
  8. නහුත එකxකෝටිය =නින් නහුත එකයි
  9. නින් නහුත එකxකෝටිය =අක්කොබොහිනි එකයි
  10. අක්කොබොහිනි එකxකෝටිය =බින්දු එකයි
  11. බින්දු එකxකෝටිය =අබ්බුද්ධ එකයි
  12. අබ්බුද්ධ එකxකෝටිය =නිරබ්බුද එකයි
  13. නිරබ්බුද එකxකෝටිය =අහහ එකයි
  14. අහහ එකxකෝටිය =අබිඩ එකයි
  15. අබිඩ එකxකෝටිය =අටට එකයි
  16. අටට එකxකෝටිය =පොගන්දී එකයි
  17. පොගන්දී එකxකෝටිය =උප්පල එකයි
  18. උප්පල එකxකෝටිය =කුමද එකයි
  19. කුමද එකxකෝටිය =කුන්ඩරික එකයි
  20. කුන්ඩරික එකxකෝටිය =පදුම එකයි
  21. පදුම එකxකෝටිය =කථාන එකයි
  22. කථාන එකxකෝටිය =මහා කථාන එකයි
  23. මහා කථාන එකxකෝටිය =අසංඛ්‍ය එකයි
Read more »

බෝසතාණන් වහන්සේ විවරණ ලැබූ අවස්ථා

0 comments

එක් එක් බුදුවරයන් වහන්සේගේ කාලයේ අප මහා බෝසතාණෝ නියත විවරණ ලබා ගැනීමට උපත ලබාසිටි ආත්ම භාවයන් පිළිබඳව බුද්ධවංශ අෂ්ඨකතාවෙහි මෙසේ දක්වා ඇත

බුදුරජාණන් වහන්සේ                         විවරණ ලැබූ ආත්ම භාවයන්


  1. දීපංකර                                              සුමේධ තාපසව 
  2. කොණ්ඩඤ්ඤ                                    විජිනාවි
  3. මංගල                                                සුරුවි නම් බ්‍රාහ්මණ
  4. සුමන                                                අතුල නම් නා රජ
  5. රේවත                                               අතිදේව නම් බ්‍රාහ්මණ
  6. සෝභිත                                              සුජාත නම් බ්‍රාහ්මණ
  7. අනෝමදස්සී                                        සුජාත නම් තාපසව
  8. පදුම                                                   සිංහ රාජව
  9. නාරද                                                 ජටිල නම් තාපසව
  10. පදුමුත්තර                                          උත්තර නම් මානවකව
  11. සුමේධ                                              සක්විති රජව
  12. සුජාත                                               කස්සප නම් මානවකව
  13. පියදස්සි                                          ජටිලයෙකුව
  14. අත්ථදස්සි                                        ශක්‍ර දෙවෙන්ද්‍රව
  15. ධම්මදස්සි                                      මංගල නම් තාපස      
  16. සිද්ධත්ථ                                        සුජාත නම් රජු
  17. තිස්ස                                              විජිනාවී නමින්
  18. ඵුස්ස                                            අතුල නම් නාරජු
  19. විපස්සි                                         අරින්දම නම් රජව
  20. සිඛී                                               සුදස්සන නම් රජව
  21. වෙස්සභු                                       ඛේම නම් රජව 
  22. කකුසඳ                                         පබ්බත නම් රජව
  23. කෝණාගමන                              ජෝතිපාල නම් මානවක
  24. කස්සප
Read more »

ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය

0 comments
මට බැන්නේය,ගැසුවේය ,මා පැරදවිය ,මාගේ දේ පැහැරගත්තේය. කියා ක්‍රෝධය සිත බැඳ ගැනීමෙන් වෛරය නො සන්සිඳේ .




ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය සබරගමුවේ ඇති අතිශය වැදගත් බෞද්ධ සිද්ධස්ථානයකි කෝට්ටේ යුගය වන විටත මෙම විහාරස්ථානය ඉතා දියුණු තත්වයක පැවති හෙයින් මෙහි ඉතිහාසය කෝට්ටේ යුගයෙන් එහාටද දිවයතත් විහාරය පිළිබඳව ලිඛිත සාධක දක්නට ලැබෙන්නේ සීතාවක යුගයේ සිටය එම යුගයේදී දළඳා වහන්සේ ආරක්ෂාව සඳහා මෙම විහාරස්ථානයේ සඟවා තබා ඇත එම යුගයේ ලියවුනයි සලකනු ලබන රාජාවලියේත් සුළු රාජාවලියේත් දෙල්ගමු විහාරය සපරගමු විහාරය යන නමින් හඳුන්වා ඇත මහාවංශයේ ලබුජගාම විහාරය නමින් සඳහන් කර ඇත්තේ මෙම විහාරය වේ දෙල්ගමුව විහාරයේ ඓතිහාසික තත්වය පිළිබඳව කරුණු දත හැක්කේ දැන් දැන් අභාවයට යමින් පවත්නා ජනප්‍රවාද සාහිත්‍ය හා ඓතිහාසික ග්‍රන්ථ මෙන්ම සමන් දේවාලයේ පැරණි ලේකම් මිටි හා තුඩ පත් ආදියෙන් පමණි මෙම විහාරය පිහිටා ඇත්තේ දෙල්ගමුව වෙල්යාය කෙලවරේහි සකස් කොට ගොඩ නංවන ලද තරමක් උස් බිම් කඩකයඑසේම මෙම විහාරය ගිණිකොනට වන්නට කුරු ගඟ අසල පුරාතනයේ මල්වත්ත ඕවිට යන නමින් හැඳින්වුණු බිම් කඩක් විය එය දළඳා වහන්සේට එකල මල් සැපයු රාජකීය මල්වත්ත පිහිටි ස්ථානය යයි සැලකේ ශ්‍රී පාදයට මග අනාවරණය කල කොටා සිටියේද මේ මල් වත්තේ බව ජනප්‍රවාදයේ එයි ඒ අසල දකුණට වන්නට ඇති බඩහැල්ගොඩ නම් ගම්මානය අද ද හදුන්වන්නේ මල්වත්ත ඕවිට යන නමිනි 

විහාර ඉදිරියේ ඇති දෙල්ගමු වෙල්යාය මැද කිසියම් සංකේතයක් හෝ සලකුණක් හඟවන ගල් ටැඹක් ඇති අතර විහාරය සතර පැත්තේම දිසාවන්හි මෙවැනි තවත් ගල් ටැම් තුනක් තිබී ඇත සීතාවක රජු විසින් දෙල්ගමුව ඇතුළු ගම් කීපයක්ම දළඳා වහන්සේට පිදු බව සැලකෙන සෙල් ලිපියක් ගම් ප්‍රධානීන් කිහිප දෙනෙකු එකතු වී තම ඉඩම් විහාරයට හිමි වේවි යයි බියෙන් විහාර භුමියේ ඇති පැරණි ළිඳක් තුලට දමා වැසූ බවට මුඛ පරම්පරාවේ ඇත පසුගිය කාලයක මෙම විහාර භුමියේ පතල් කැණීම් වලදී ඒවායේ තිබී පුරාතන කහවනු කිහිපයක්ද හමු වී ඇති ඇත ඒවා උදුපියලිය කොලයේ ප්‍රමාණයේ ඒවායේ සිට සත පනහ ප්‍රමාණයේ දක්වා විශාල විය ඒවායේ එක පැත්තක පංචායුදය තිබු අතර අනික පැත්තේ බහිරව රුපය තිබී ඇත 

දැනට මෙම විහාර භුමිය තුල පුරාතන නටබුන් ලෙස දක්නට ඇත්තේ ඒ පුරාණ විහාර භූමියත් වාහල්කඩ පුරාණ පියගැටපෙළවල් දෙකක් ගල් මල් අසුනකුත් දළඳා වහන්සේ සඟවා තැබූ කුරහන් ගලත් ඉපැරණි බෝධියත් නා වෘක්ෂයත් පමණි පුරාණ දළඳා මාලිගයේ හා ප්‍රාකාරයේ පදනම් මළුව තුල දක්නට ඇත ධර්මපාල රජු කිතු සමය වැළඳ ගැනීම නිසා කෝට්ටේ රාජධානිය තුල බුදු දහමට උදා වුයේ අභාග්‍යසම්පන්න කාලයකි එතෙක් බුදු සසුනත් රාජ්‍යත් අතර තිබු සබදතාවට පෘතුගීසින් නිසා ලත් පහර එසේ මෙසේ නොවිය එවකට රාජ්‍ය උරුමයේ ලාංජනය වූ දළඳා වහන්සේගේ ආරක්ෂාවට ද එළඹියේ මහත් තර්ජනයකි එවකට දළඳා වහන්සේගේ දියවඩන නිලමේ කාර්ය පිලිබඳ තනතුර දැරුවේ දන්ත කුමාර පෙළපතින් පැවත ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිලමේ තුමාය මුලාශ්‍ර වල සඳහන් වන මෙරට පළමු වැනි දියවඩන නිලමේ වරයා වන්නේ ද මෙතුමායි ඒ දළඳා පුවතේ ද මෙතුමා පිලිබඳ සඳහන් වනුයේ මේ ආකාරයෙනි  

හිරිපිටියේ පව                     ර
දියවඩන මැති ගරු ත           ර 
දළඳා හිමි ගැඹ                    ර
නැමද බැස තේවාව සිදු ක    ර 

රටටත් බුදුසසුනටත් දළඳා වහන්සේ වෙතත් උදා වෙමින් පැවති මේ අභාග්‍යසම්පන්න දුර්දසා අවස්ථාව එළඹෙත්ම දිනක් රාත්‍රියේ සිහිනයෙන් පැමිණි එක් මහලු පුද්ගලයකු දියවඩන නිලමේ තුමාට  කෝට්ටේ කලාලේ කිසිල්ලේ -දත මැදගන්න රාලේ යනුවෙන් පවසා ඇත

සීනය දැක එ ලෙ                            ද
නැගී ඔත් යහනින් න                      ද
විමසා නොයෙක් ලෙ                     ද 
මෙසේ සිතී තම නැණින් එ ම ස      ද

දත මැද ගන් මෙ ස                        ද 
කිව්වේ සීනෙන් මට අ                   ද 
සිරි දන්ත දා න                              ද 
මැඳ රටට ගනු කිවයි මෙ ලෙ         ද 

එනම් මෙහි අදහස වන්නේ කෝට්ටේ රාජ්‍යට කල ආලයෙන් කිසි එල්ලයක් හෙවත් පලක් නැත දළඳා වහන්සේ මැද රටට ගන්න යන්නයි මෙය අවබෝධ කරගත් දියවඩන නිලමේ තුමා එදින රාත්‍රියේම තමා මීට පෙර මෙවැනි අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇත් දලින් සාදා තිබු කෘතීම දළඳාව දළඳා කරඩුවේ තැන්පත් කර නියම දළඳා වහන්සේ තම සිරියේ (කිණිස්ස) කොපුවේ සඟවා ගෙන දියවන්නා ඔයෙන් එතෙරව සීතාවක රාජධානියට පැමිණ එවකට සීතාවක රාජ්‍ය පාලකයා වූ මායාදුන්නේ රජුට දළඳා වහන්සේ බාරදුන්හ 

මායාදුන්නේ සො                            ද
නිරිඳු දැක වැඳ එ ම ස                      ද 
දළඳා හිමි පැහැ                                ද 
වැඩමවා ආ පවත් කී ස                    ද

එ නිරිඳු සඳ එ ස                             ඳ
නොපමණ සෙයින් පෙම් බැ           ඳ
සෙන් රැස් කර නොම                     ඳ
මහත් පුජා පවත්වා සො                  ඳ

දළඳා හිමි සතු                                  ට
වැඩමවා ආ නිසි කො                       ට
එ දිවන මැතිඳු හ                              ට
මහත් තනතුරු දෙවා ගරු කො          ට

එකල ලක්දිව සෙසු රාජ්‍යයන් අභිබවා මායාදුන්නේ රජු යටතේ ප්‍රභලත්වයට පත් වෙමින් ආ සීතාවක රාජධානියේ පිහිටි ප්‍රධානතම හා එකම සුරක්ෂිත ප්‍රදේශය බවට පත්ව තිබුනේද සපරගමුවයි දෙල්ගමුව විහාරයේ එවකට වැඩ සිටියේ ෂඩ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර නම් හිමි නමකි මේ කරුණු නිසා දළඳා වහන්සේ සුරක්ෂිත කර ගැනීම සඳහා දෙල්ගමුව විහාරයට වැඩම කර ඇත 

එ නිරිඳු සඳ පැහැ                              ද 
විමසා නැණින් එ ම ස                       ද 
දළඳා හිමි මෙ ස                                ද 
වැඩ වසනු සොඳ කෙබඳු තැනක       ද 

සීතා පුරවර                                       ට 
නුදුරු දෙල්ගම් වෙහෙරට                   ට
වැඩමවා නිසි කො                             ට 
හිඳිනු යෙහෙකැයි කල්පනා කො       ට 

ඒ අනුව රහසේ ම දළඳා වහන්සේ දෙල්ගමුව විහාරයට වැඩම වන ලදී මායාදුන්නේ රජුත් ,කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිලමේතුමාත් මහින්දාලංකාර මාහිමියනුත් මෙම කාර්යයේ සම්බන්ධවූ පිරිස වේ කීරවැල්ලේ නිලමේ තුමා දියවඩන නිලමේ ලෙස  දළඳා වහන්සේ ගේ ආවතේවාවන් සිදු කල අතර මහින්දාලංකාර හිමියන් දළඳාවේ භාරකාරත්වයත් ආරක්ෂාවත් දැරුහ මෙම අවදිය වෙන විට දෙල්ගමුව විහාරය සියලු විහාරාංගයන්ගෙන් සම්පුර්න වූ රාජකීය විහාරය බවට පත් ව තිබුණි එකල දෙල්ගමුව විහාරය කවර ආකාරයකින් පැවතියේද යන්න අලගියවන්න මුකවෙටි තුමා අතින් රචිත සැවුල් සංදේශ ය වර්ණනාවට ලක් කරන්නේ මෙසේය 

උඳුලිය සඳකිරණ මිහිපිට හුණු ලෙස        ට 
සුදුවැලිනතුළ වැලි මළුවෙහි සැදී සුම       ට
රුදුනත දරුණ යුරු පවුරෙනි යුතු සුම       ට
වදු ම මිතුරු දෙල්ගමු වෙහෙර ලැගු ම      ට 

මනරම් සුරඹ සමගින් සුරරද සුම                න 
ගඳ දුම් මල් පහන් පුදකර නිති වඳී              න 
නරදම් සැරි සිරිපද ලසිනි වොරැඳි                න 
විහගුම් සමන් ගිර බල පෙර දෙස පෙනෙ    න 

මේ විස්තරයේ එන කාව්‍යමය අලංකාරයන් නොසලකා හැරියද එදා දෙල්ගමුව විහාරයේ දළඳා වහන්සේ සඳහා වෙනම දළඳා මන්දිරයක් තිබු අතර විහාර මළුව ප්‍රාකාරයකින් වට කොට තිබුණු බව පෙනේ එසේම බෝධීන් වහන්සේ සහ ස්තුපය ඩ් විශේෂ අංග වශයෙන් පැවතුනි එපමණක් නොව එදා මෙම විහාරයේ ගෞරවනියත්වය සඳහා හේතු වුයේ ෂඩ් භාෂා පරමේෂ්වර මහින්දාලංකාර නම් හිමියන් වහන්සේය මායාදුන්නේ රජු විසින් තමා වෙත බාරකළ දළඳා වහන්සේ සීතාවක රාජ්‍ය වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීම ඩ් කල යුතු වුවක් මෙන්ම සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ආරක්ෂා කිරීමත් මෙම හිමියන්ගේ වගකීම විය ඒ සඳහා උන්වහන්සේ ගත් වැදගත් උපක්ක්‍රමය වුයේ කුරහන් ගලක් සාදවා එය බුද්ධ ප්‍රතිමාවක් පිටුපස ආසනය මත තබා එහි කුහරය තුල දළඳා වහන්සේ සහිත කරඬුව තැන්පත් කිරීමයි කුරහන් ගල එකල ගෙවල් වල සහ විහාරස්ථානයන් වල සුලභව දැකිය හැකි උපකරණයක් වන අතර සතුරන් විසින් මෙවැනි තැනක දළඳා වහන්සේ සඟවා තබති යයි නොසිතනු ඇත දෙල්ගමුව රජමහ  විහාරය අදත් ප්‍රසිද්ධ වන්නේ එම කුරහන් ගල තුල දළඳා වහන්සේ සඟවා තැබූ විහාරය ලෙසටයි මේ හැරෙන්නට තවත් සමහර අවස්ථාවලදී දළඳා වහන්සේ රැගෙන පලාබද්දල වැනි තවත් කඳුකරයට පැන යාමට උන්වහන්සේට සිදු විය 

දෙල්ගමුවේ සිට පලාබද්දල කරා වනගත කෙටි මගක් අද ඩ් දක්නට ඇත සිදුවිය හැකි අනතුරු සලකා දෙල්ගමු විහාරදිපතින් වහන්සේ ඇත් දතින් කෘතීම ධාතුන් දෙකක් තනවා එකක් දලඳව වැඩ සිටි තැන තැන්පත් කර අනෙක විදිය බණ්ඩාරට දී නියම දළඳා වහන්සේ ඉනේ සඟවා ගෙන පලාබත්ගලට පැන ගොස් විසු බවත් ඒ අතර පෘතුගීසින් කෝට්ටේ ආක්‍රමණය කර එහි තිබු කෘතීම දළඳා වත්  යාපනයේදී  වීදිය බණ්ඩාර සතුව තිබු කෘතීම දලඳවත් අයිති කොට ගෙන ගෝවට ගෙන ගොස් කොටා පුළුස්සා විනාශ කල බවත් දෙල්ගමු විහාරාදිපතින් වහන්සේ සතුව තිබු දලඳාව ආරක්ෂා කරගැනීම සඳහා කුරුගං ඉවුරෙන් ලැබුණු නිල් මැණිකකින් කොපුවක් තනා දළඳා වහන්සේ එම කොපුවේ බහාලු බවත් අනතුරුව රජ වූ 2 රාජසිංහ රජු එම කොපු දෙකම වසා ඇත් දත් කොපුවක බහාලු බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ 

දෙල්ගමුව විහාරයේ මහින්දාලංකාර හිමියන් සතුව තිබු දළඳා වහන්සේ සීතාවක රාජසිංහ රජු විසින් එය සබරගමුව සමන් දේවාලයට වැඩම කරවා පෙරහැර වාර්ෂිකව පැවැත්වීමට නියම කොට දෙල්ගමුව කුට්ටාපිටිය පැල්මඩුල්ල ගනේගොඩ හඳගිරිය මස්ඉඹුල යන ගම් 5සහ නෙළුම්දෙනියෙන් නව අමුණකුත් දළඳා වහන්සේට පිදු බව සමන් වෙහෙර පැරණි ලේකම් මිටියේත  සමන් සිරිතෙහිත් සඳහන් වේ මෙසේ රාජසිංහ රජතුමා දළඳා පෙරහැරවල් 11 ක පැවැත්වූ බව සඳහන් වේ මේ දළඳා පෙරහැර පැවැත්වීම පිලිබඳ ව ඓතිහාසික සිද්ධිය සිහිපත් කරමින් අද ද රත්නපුර මහ සමන් දේවාලයේ එදා සිට ම පවත්වා ගෙන එන පරිදි පළමුවෙන්ම පවත්වන්නේ ධාතු පෙරහැරයි 1 වන විමලධර්මසුරිය රජු කන්ද උඩරට සිහසුනට පත් වීමත් සමග වසර 43 ක් වැඩ සිටි දෙල්ගමුව විහාරයෙන් දළඳා වහන්සේ පෙරහැරකින් කන්ද උඩරටට වැඩම කරනු ලැබිය ඒ ගමනේදී එක් රාත්‍රියක් කෑගල්ල සමීපයේ චිත්තගුත්ත නම් ලෙනක වැඩ විසු බවත් එදා සිට එම ගල්ලෙන කරඬු ලෙන නම් වූ බවත් එම ප්‍රදේශයේ පැවත එන ජනකවියක සඳහන් වෙයි 

සෝම දළඳා සමිඳු දෙල්ගමු
           වෙහෙර සිට වැඩමවන           එදිනෙ 

යාම පෙර කාලයේ කරඬුව 
       වඩා තැබී මග අස                       ලෙනේ

නාම පරසිඳු චිත්ත ගුත්තය 
        ලෙනේ වැඩ සිටි දිනෙ              පටනේ 

සෑම දන තුඩ කරඬු ලෙන යන 
       අපර නමකදු                            පැවතුනේ 

මහනුවරට වැඩමවා ගෙනවුත් රජමාලිගය අසල තැනවූ දෙමහල් දළඳා මාලිගයේ වැඩ අවසාන වන තෙක් දළඳා වහන්සේ අස්ගිරි ආදාහන මළුවේ තැන්පත් කරනු ලැබිය අද දවසේ පවා දළඳා පෙරහැර සමයේ මෙම ඓතිහාසික සිදුවීම සිහිපත් කිරීම සඳහා පුරාණ චාරිත්‍ර අනුගමනය කරමින් පෙරහැර කරඬුව අස්ගිරි ගෙඩිගේ විහාරයේ පුද පුජා සඳහා තැන්පත් කරනු ලැබේ පසුව පෘතුගීසින් සපරගමුව ආක්‍රමණය කොට දළඳා මැදුර ඇතුළු සියලු විහාරාංග  කඩා බිඳ දමා ඒවා කොල්ල කෑ අතර එය තමන්ගේ බලකොටුවක් කර ගත්හ එයින් පසුව පෘතුගීසින් පැරදී සපරගමුව අතහැර ගිය පසුව දෙල්ගමු විහාරය වල් වැදිනි ඝන වනය විසින් එහි නටඹුන් වසා ගත පසු තවත් සියවස් එකහමාරක් පැවතුනි මහවනය අතරින් නැගී සිටි බෝධීන් වහන්සේත නා වෘක්ෂයත් දළඳා වහන්සේ වැඩසිටි ඓතිහාසික භුමිබාගය ඈතට පෙන්වන ලාංජනයක් විය පැරැණියෝ වන ලැහැබ අතරින් රිංගා විත් ඒවාට පුද පුජා පවත්වා බාරහාර ආදිය ඔප්පු කළහ ඔවුන් මෙම විහාරය හැඳින්වුයේ මළුව යන නමිනි කාලාන්තරයකට පසුව මෙම ප්‍රදේශයට පැමිණි කොළඹ සද්ධාතිස්ස නම් හිමිනමක් නැවත මෙම විහාරය ආරම්භ කරන ලදී එදා දළඳා වහන්සේට රැකවරණය සැලසු ඓතිහාසක කුරහන් ගල අද ද මෙහි දක්නට ලැබේ     


     

මට බැන්නේය, ගැසුවේය . මා පැරදවිය මාගේ දේ පැහැර ගත්තේය කියා ක්‍රෝධය සිත නොබැඳීමෙන් වෛරය සන්සිඳේ.
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine