#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

වට්ටාරම- ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරය


කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ සැතපුම් 4 1/2ක් ගියවිට් වට්ටාරම- ශ්‍රී  අරහත්ත මලියදේව රජමහ විහාරය හමුවෙයි.මහඔය නිම්නයේ වූ  මේ මහා විහාරයේ ආරම්භය දෙවන පෑතිස් රජ (රා.ව.307-267)දවස දක්වා ඈතට් විහිදුන ,එසේම මිහිඳු හිමියන්ගේ ඇසුර ලත් එකකි.එහි බෝධිය අෂ්ඨපල එකක් වීමත් බෝධි වංශකතාවල සඳහන්ව තිබීමත් වැදගත්ය.වට්ටාරමය (පාලි - මණ්ඩලාරාමය,රවුම් ආරාමය ,සිංහල වී අටුව)තුල විශේෂයෙන් කැපී පෙනෙන පුරා වස්තු වන්නේ මලී මහපායයි.ජනප්‍රවාදවල එන පරිදි,වට්ටාරම ඇත්තේ අනුරාධපුරයේ ලෝවාමහාපායයේ කුඩා අනුරුවකි.ගල්ටැම් 5 බැගින් වූ පේලි මත ගොඩනැගුන වට්ටාරම මලිපායේ ඉහල කොටස දැවයෙන් සැදු අතර,ඉහල සිට පහලටරහත් ආදී භික්ෂුන්ට් වෙන් කළ මාල 5ක්වත් අඩු වශයෙන් තිබු බව සිතිය හැකිය.මහානාගගේ මුණුපුරු ගෝඨාභය රා.ව.පු.ශතවර්ෂවල වට්ටාරම ගොඩනැඟූ බව සඳහන් කල හැකිය.පසුව සිරිසඟබෝ සොයුරු ගෝඨාභය රජ(රා.ව.253-266)වට්ටාරම ගොඩනඟා 12000 සංඝායාට් පිදු බව එච්.සී.පී.බෙල් මහතාගේ කෑගලු වාර්තාවේ  සඳහන් කර ඇත්තේ වට්ටාරම විස්තරය නම් පුස්කොල පොත අනුවයි.මේ දෙවන  ගෝඨාභය විනා මුල් ගෝඨාභය නොවේ.



සමිට මලිය දෙව් සැදි තුන් මල්        පාය 
මලිය මහා පාය පස් මහලින්            සෑදිය 
සමිට මලියදෙව් පිදු ඒ කැප              පාය
එයට බමුණු වඩනා නමකුත්             වේය


වර්ෂ 1865 මැනුමේ දී වට්ටාරම සතු ඉඩම් ප්‍රමාණය අක්කර 145ක් බව පෙනේ.මහනුවර කිර්ති ශ්‍රී රාජසිංහ රජ(රා.ව.1746-1779)සමයේ ගොඩනැඟුණු කුඩා විහාරය ,චිත්‍ර ,මකරතොරණ සහ පෙති පිළිමය සහිතව ,දැනුදු දැකගත හැකිය.විශාලතම විහාරය ගොඩනැඟුනේ ඉතා මෑතකදීය.එදා එහි සොලොස්මස්ථානයක් තිබු බව සිංහල බෝධි වංශය ,සුළු බෝධි වංශය ,බෙල් වාර්තාව සහ ජනවහර්ව් එයි .මලිමහපාය ,දකුණු දිග වැඩ සිටින ආවාසය (මලියදෙව් හිමි),උපුල්රාමය ,විපුල්රාමය ,දක්ෂිනාරාමය,පච්චමාරාමය, උත්තරාමය,කපිලාරාමය,පුර්වාරාමය(දාගැබ),ඉසිපතනාරාමය,ජේතවනාරාමය,දෙමටමල් විහාර (දාගැබ),ගල්ටැම් විහාරය (දාගැබ) ,කලුවැල් විහාරය (දාගැබ) සහ සම්මුඛ දේවාලය යනුවෙන් මේවා සඳහන් වේ .අද මේවායින් මඳක් හෝ ඉතිරිව මලිමහපාය,දෙමටමල් විහාර (දාගැබ) සහ විවිධ ගල්කණු ආදිය පමණි.ගොඩපොල ගල්ටැබේ විහාරයේදී ඇත්තේ අනුරාධපුර යුගයේ ගල් ගඩොල් ආදී නටබුන්ය.මේ පෙදෙසට (දෙවාලෙගම්)කතරගම දෙවි වඩින්නට ඇත්තේ දුටුගැමුණු සමයේ වන අතර,ගොවිතැන් ආදී සංවර්ධන වැඩවලට එම දෙවි පිහිට වූ බව ජනකවි අදින් පෙනේ.වට්ටාරමට සම්බන්ධයක් ඇති දෙවනපෑතිස් සහෝදර මහානාග කුමරුගෙන් යටාලතිස්ස,ගෝඨාභය,කාවන්තිස්ස සහ දුටුගැමුණු පිය පුත් පරපුර එයි.වට්ටාරමට විශාල පුනර්ජීවයක් දී ඇත්තේ ගෝඨාභය රජ විසින් බව පෙනේ.එහි වැව් බැඳ ගොවිතැන් දියුණු කර වට්ටාරම ඇගොඩනැගුවේද ඒ රජුයි.පොල්ගහවෙල කරඳන පාලම අසලින් හැරි රඹුක්කන පාරේ සැතපුම් 2ක් පමණ ගිය විට ,පනලියේ  ගෝඨාභය රජ මහා විහාරය ,මහඔය ඉවුරේ පිහිටි ගල්කැටියේ කඳුගැටයේ දී හමු වෙයි.එතැන සිට බලු විට මහඔයේ එගොඩ ඉවුරු අසල පිහිටි මඳක් උස පර්වත බිමක මාරක්වතුරේ නව ගෝඨාභය විහාරය හමුවෙයි.ඉන් මඳක් පහත්  බිමේ ගෝඨාභය මාළිගා සංකීර්ණය දක්නට හැකිය.අද මේ මාළිගා බිම පවා අත්පත් කරගත් ගම්වැසි පිරිස් ඒවා යටකර ගෙවල් සාදා ගෙන ඇති බව සඳහන් කළ යුතුය.වට්ටාරම ගොඩ නඟන යුගයේ කලක් මෙහි නැවතී සිටි අතර ,සියලු කටයුතු නව මහ ඇමති පරාක්‍රමට භාර දී දකුණට ගිය බව සෙල්ලිපි හා ජනකථා ඇසුරින් සිතාගත හැකිය.මේ ඇමතිගේ නම "පරුමක අමත "යනුවෙන් ලෙන්දරමුල්ල ලෙනේ ඇතුලේ ලෙන් විහාරයේ කොටා තිබේ.

එදින පරාක්‍රම නමැති  ඇමතිගේ  
        අතට කෙන්ඩිය                          අරගෙනා 

තුටින පැන්වත් කරම තෙරිඳුට 
       එහැම පුජා කළේ                              මනා

යලින දෙව් බඹ පීති ගොස නද 
       පෑවේ එදවස සිතු                              මෙනා 

එදින මළුවට රුවන් වැස්සක් 
       වැහැපු බව පුජිත                              වෙනා 

මහ මලියදේව හිමි

මහා මලියදේව හිමියන්ගේ ධරමාන කාලය  ගෝඨාභය,කාවන්තිස්ස සහ දුටුගැමුණු (අවුරුදු 100 පමණ වූ)රාජ්‍ය සමයන්ට අයත්ය.ඒ හිමියෝ උපන් ස්ථානය හෝ අපවත් වීම ආදිය  අටුවාවල සඳහන් නැත.ජනවහරේ එන පරිදි මහා බෝධිය ගෙනා ක්ෂත්‍රිය කුමාරවරුන්ගෙන් පැවැත ආ සත් කෝරලයේ උඩපොළ බෝවලපිටියේ "චම්පක  බෝධිගුප්ත දේව"යන අය මේ හිමියන්ගේ පියාය.තම සොයුරියන් දෙදෙනා සමග හැදුනු වැඩුණු කුඩා  මලියදේව පසුව ඇතුගල්පුරයේ ආරාමයකට  ගොස්,මහණව,වට්ටාරමට පැමිණ භාවනා කර ,ඉතා බාල වයසේ දී ම රහත් වූ බව කියවේ.මනෝරථ පුරණි අටුවාවේ  සඳහන් පරිදි හැලමඩ(කලල ගාම ජනපදය-ගොහොරුමඩගම)උපාසක අම්මා පුතේ!පුතේ!යයි කියමින් තුන් මසක් ම එක දිගට දානය දුන්නේ මේ හිමිටයි.ඉක්බිති රහත් වීම සිදු විය.මේ හිමි දනව් සැරිසරා ලක්දිව අස්සක් මුල්ලක් නෑර දහම් ආලෝකය පතුරවමින් 60 පොළක දී 60 බැගින් භික්ෂුන් රහත්භාවයට පැමිණිව්වේය.විශුද්ධි මාර්ගය ,ජාතකට්ඨ කතාව ,ආඬගුත්තර නිකායට්ඨ කතාව සා සඟසරණ ආදී ග්‍රන්ථවල වැඩි විස්තර දැක්වේ.මලියදේව,මහාදේව ,මලියමහාදේව සහ දේව ආදී වශයෙන් මේ හිමි හඳුන්වා ඇත.මලියදේවයන්ගේ විශේෂ හැකියාව වුයේ ඒ ඒ පුද්ගලයාගේ  චරිතලක්ෂණ බලා සුදුසු කමටහනක් ලබා දී භාවනා කරවා රහත්භාවය ලබා දීමයි.කෝට්ටේ සමයේ සිරි රහල් හිමි ලියු (රා.ව.1450)සැළලිහිණි සංදේශයෙහි එන කවියකින් භික්ෂුන් 60 සසරින් ගොඩ වූ බව මෙසේ කියවේ.

ගිලිය නොදී සැට මහණක් බව       මහණ 
මලියදෙව් තෙරිඳු වැඩ හිඳ දෙනු        බණ
දිලිය පස් මහල් පායෙහි මිණි           කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා          කලණ  

ධර්ම ප්‍රදීපිකාවේ  එන පරිදි මලියදේව හිමි ලංකාවේ 60 පොළකදී බණ කියා 60 බැගින් 3600 කට රහත් භාවය ලබා දී ඇත්තේය.මේ හිමි රහත් වුයේ ද,අපවත් වුයේ ද වෙසක් පෝ දිනකදීය යයි කියවේ.මලියදේව හිමි අපවත්වූ විට,එම දෙනතම සහෝදරියකට බලා ගැනිමට දෙනගමුවටත් ,නාරම්වලටත් අහසින් වැඩි අතර ,අවසන් කටයුතු කර ඇත්තේ නාරම්වල රජ මහා විහාරයේ දී යයි ප්‍රවාදගතය .දුටුගැමුණු සමයේ විසු රහත් හිමිවරු අට දෙනා පිළිබඳව මහාවංශයේත් (පිට 297)මහාවංශටීකාවේ (පිට 485)සහ සද්ධර්මාලංකාරයේත් (පිට 628)සඳහන්ය.මලියදේව හිමි සහ මලයවාසි මහා සංඛරක්ඛිතහිමි (චෝරකණ්ඩක විහාරවාසී,උඩුකඩ  විහාරවාසී හෙවත් උපරිමණ්ඩල වාසි )ඉහත කී අටදෙනා අතර වෙති.මහා සංඛරක්ඛිතහිමි විසුයේ වට්ටාරමට දකුණු පසින් වූ නාරන්ගල කඳුවැටියට ඈදු කන්දේගෙදර (පහන්කනුව අසල)කුඩා කඳුගැටයේ පිහිටි රවුම් ගල්ලෙන් විහාරයේය.එය,මෑතකදී උපරිමණ්ඩලය වශයෙන් හඳුනාගත් අතර,එම ලෙනේ "පරුමක බමණ" යන කුඩා සෙල්ලිපියද සොයා ගතිමු.මහා සංඛරක්ඛිතහිමි ඉවසීමේ ගුණයට එදා අගතැන්පත් ව සිටි අතර ,වට්ටාරමට විශේෂ සම්බන්ධකම් දැක්වූ ගුරු නමකි.වළගම්බා සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිමට පෙර වට්ටාරම දී සිදු කල ධර්ම සාකච්ඡාවේ මුලසුන ගත්තේ සංඛරක්ඛිතහිමියන්ගෙන් කමටහන් ගෙන රහත් වූ "මහාතිස්සභුති හිමි "ය.වට්ටාරම කුඩා විහාරය අසල ඇති 9වැනි  10වැනි වර්ෂවල අයත් වන සෙල්ලිපි කියවාගත නොහැකිය. 

වනගුප්ත මලියදේව හිමි

මේ අතර තවත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කාරණය නම්,"වනගුප්ත (මලියදේව) හිමි" කවුරුන්දැයි  ' සොයා බැලීමයි.බෙල් වාර්තාවේ සඳහන් පරිදි වට්ටාරම් අස්න සහ වට්ටාරමම් විස්තරය යන පුස්කොල ග්‍රන්ථ දෙකේ සඳහන්,එසේම ජනප්‍රවාදයේ ද එන වනගුප්ත හිමියන්ගේ විස්තරය මෙසේය.දඹදිව යෝනකාරාමයේ එක්තරා අන්ධ යුවලකට පුතෙක් ඉපදිණි.අන්ධ මවුපිය දෙදෙනා රැක්කේ මේ පුතු විසිනි.ඔවුන්ගේ ජිවිත අවසානයේ පුතුන් දුන් උපදෙසක් අනුව ඉන් උතුරු දිසාවේ පිහිටි වනාන්තරයක සිටි තාපසතුමා හමු වී මහණ විය.තාපසතුමාගේ අවසාන කාලයෙහි උපදෙසක් අනුව්,දඹරන් පිළිම 7 සහ රත්‍රන් කවර දැමු බණපොත් ද ලබාගෙන,ඉර්ධියෙන් ලංකාවේ මහඔයේ වැලිගොඩපිටියට(පොල්ගහවෙල අසල )වැඩ,පිළිම ආදිය වැලි යට සඟවා ගෝඨාභය මාළිගයට වැඩියේය.එහි,දී තම වෙනුවෙන් තලවතුපිටියේ (වට්ටාරම)විහාරයක් සාදා දෙන ලෙස රජුගෙන් ඉල්ලිය.රජතුමා වැව්ආදෙකක් කණිමින් සිටි හෙයින්, ඒවා 
මඳක් අහවරව ,ඉල්ලීම ඉටු කර දිමට පොරොන්දු වී  ටික කාලයක් තම මාලිගයේ වැඩ සිටින ලෙසට ආරාධනා කළේය.එය පිළිගත් හිමි,කහ නුලක් ඇදී යන ආකාරයට අහසට වැඩ,සක් රජ හමු වී ,අදාළ විහාරස්ථානය සාදා දෙන ලෙසටඉල්ලා ,එය වහා ම සාදවා ගත් අතර ,අදාළ විහාරය ගෝඨාභය රජ ලවා පිදුම් ලැබුවේ 12 දහසක් සංඝයා රැස්කරවාය  වගාතොට  වට්ටාරම(වී අටුව)යලි නිසි පරිදි සාදා එයට "චන්ද්‍රකාන්ති පුරය"යන නම දුන් බව ද සඳහන්ය.ලංකාවේ අන්තිම රහතන් වහන්සේ වශයෙන් ගණන් ගනු ලබන්නේ "වනගුප්ත මලියදේව හිමි"ය.අත්තනගල්ලේ දී අග්ගොකාසිංගය සමාදන්ව අහස පොලව ගුගුරවා රහත් වූ හිමිට පසුව,වනගුප්ත මලියදේව හිමි අපවත් වූ බව අපගේ නිගමනයයි.මේ වන විට බුදු සසුනේ කාලය අවුරුදු 1000 පමණ වෙයි.රාජ බලයේ නිගමනය වී ඇත්තේ ඒ වන විට රහත්භාවය ලෝකයෙන් තුරන් වූ බවයි. වට්ටාරමට ගෙනා පිළිම,බුදුරදුන්ගේ දර සෑයට රජවරුන් පිදු ඔටුනු ආදිය උණු වී සෑයේ සතර කොණින් පහළ වූ ඒවා යයි කියවේ.ඉතා අනර්ඝ හාස්කම් ඇති මේ පිළිම හතර  වනගුප්ත හිමි වට්ටාරම,පුසුල්පිටිය ,මාදන්වල සහ මොරපායේ තැන්පත් කල සඳහන්ය.ඒ බව කොත්මලේ පුරාවෘත්ත ග්‍රන්ථයේ මෙසේ එයි.

ලොවග මුනිරජු පිරිනිවන 
                    රන්දෙනෙහි දඹරන් පිළිම     සුලිදී 

කියග සොඳ මහා මලියදෙව් ඈ 
                           රහත් උතුමන්                   විසු           

බියග දළදා පාදා ද රැකි රන්කොත් ද 
                          රන්පුහුල්                         පහලි 

කියග කොත්මල රටට වැඩි   වෙන 
                           රටක් ඇද්දැයි  මෙලක      සියලි    

වට්ටාරම අවට ලෙන්දර මුල්ල,හැලමඩ.පුහුරිය,පනලිය සහ කොත්මලේ ආදී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ද මහ මලියදේව හිමි වාසය කොට ඇත.එසේම,මාරුක්වතුරේ සහ වට්ටාරම් කන්දේ මාළිගා දෙක ද චන්ද්‍රකාන්ති පුරය ද ප්‍රවේශමෙන් හඳුනා ගත යුතුය.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine