#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සිංහල ආණ්ඩු ක්‍රමය

0 comments



සිංහල ආණ්ඩුක්‍රමයට මහරජතුමාද අධිකාරම් දෙදෙනෙක් ද දිසාපතිවරුන් හයදෙනෙක් ද  මොහොට්ටාල වරුන් තිදෙනෙක් ද මුහන්දිරම් වරුන් පස්දෙනෙක්ද වුහ රජුව අත්හැර දැමු විට ලැබෙන නිලධාරී මණ්ඩලය සඳහා මහවාසල රදලවරුන් යන නම ව්‍යවහාර කරනු ලබයි දිසාපතිකෙනෙකුට සිය දිසාව තුළ රජෙකුට සමාන බලතල තිබුනේය මීට හේතුව වුයේ සාමාන්‍යයෙන් දිසාපතිවරුන් රජකුමරුවන් වූ හෙයිනි බැල්ඩෙවුස් නම් පරංගි ග්‍රන්ථ කතෘ අනුව මෙයින්ම සිංහාසනය අරභයා නොයෙක්විට කැරළි කෝලාහලද රටේ ඇති විය රජතුමාගේ ප්‍රධාන ලේකම්වරු තිදෙනා ද බොහෝ විට රජකුමාරවරුන් විය මහවාසල රදළවරු නොවූ කෝරාලලා ද ආරච්චිලා ද එක එක කර්මාන්ත සම්බන්ධ විදානෙලා ද පොලිස්භට හමුදාවක් වූ කටුපුරුල්ලේ නිලධාරීන් ද වශයෙන් විශාල සුළුමුලාදෑනි පිරිසක් ද සිටියහ රජතුමාගේ විශේෂ බලකොටු වූ කන්දඋඩ පස්රට නොහොත් දුම්බර හේවාහැට සාරසියපත්තුව ,උඩුනුවර සහ යටිනුවර ආදියට පත් කල රටේ රාලවරුන් පස්දෙනා රජතුමාගේ අණට පමණක් කීකරු විය යුතු වේ මේ පස් රටේ සේනාධිපතියා වන්නේ මහරජුය දුම්බරට පමණක් සිංහල රජවරුන්ගේ සමයේදී රජෙකු තෝරා පත්කර ගැනීමට බලය තිබුනේය 

ආදායම් ක්‍රමය

ගඩලාදෙණි සෙල්ලිපිය අනුව වෙළඳාම ඇතුන් ඇල්වීම මැණික් ගැරීම් ඛනිජ ආකර කරවීම මුදල් අච්චුගැසීම ආදිය හිමි වුයේ රජුට පමනකි ගබඩා ගම් රාශියකින් ගත් ආදායම් ද රජතුමාගේ භාණ්ඩාගාරයටම හිමිවිය ගබඩා ගම් වලින් රජතුමාට ගෙවිය යුතු වාර්ෂික ආදායම් පියවූ පසු ශේෂවූ කොටස දිසාපතිතැනට අයිති වේ තවද දඩ වශයෙන් ගෙවන මුදලද දිසාපති තැනටම හිමි විය අන් නිලධාරීන්ට ද මේ ක්‍රමයෙන් හෝ රාජකාරිය කොටසක් හෝ ජිවන වෘත්තීය සඳහා දෙනු ලැබේ 

රාෂ්ට්‍ර පාලනය රටවාසින්ම කළ පිළිවෙල

ගම්සභා ශාක්‍යකුල ක්‍ෂත්‍රියයන් අතර ව්‍යවහාර වූ සමුහාණ්ඩු ක්‍රමය නොනසාම ක්‍රි ව 1818 තෙක් ගෙන ආ නිසා ත්‍රිසිංහලේ ප්‍රධාන ආණ්ඩුක්‍රමය වුයේ ගම්සභාපාලන ක්‍රමය වේ.ගමක යම්තාක් ගෙවල් ඇත්නම් ඒ එක් එක් ගෙදරකට සාමාජිකයකු බැගින් දියයුතු නිසා ගම්සභාවේ සාමාජික පිරිස ද ගමේ ගෙවල් පිහිටි ගණනට සමවේ මෙම සාමාජික පිරිස කුල භේදයක් හෝ පංති භේදයක් අනුව තෝරා පත්කරගන්නා ස්වභාවයක් නොතිබූ නිසා ගම්සභාක්‍රමය ලාංකිකයන් අතර එක්තරා සමුහාණ්ඩු ක්‍රමයක් පැවතුණි ගමේ සම්පුර්ණ පාලන බලය ගම්සභාව මගින් පත් කරන ගමේ දස දෙනාට අයත් වූ නිසා රජුට හෝ නිලධාරී මණ්ඩලයට අයබදු ගන්නා අවස්ථාවේදිද රාජ අපරාධයක් කලවිට ද සම්බන්ධයක් ඇතිවූ නමුත් සෙසු වාරයන්හි කිසිම සම්බන්ධයක් නොතිබුණි දුරාතිතයේ සිට පැවත ආ මෙම රාෂ්ට්‍ර පාලන ක්‍රමය කඩා කප්පල් කරනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයෝය 

රට සභා ක්‍රමය

ගම් සභාවේදී දුන් තීරණයට විරුද්ධව රට සභාවට පැමිණිලි කළ කල්හි මුළු දිසාවේම ගම්සභාපතිවරු රැස්වී නඩුව විසඳූ විට එය සාමාන්‍ය නඩු හබ ආදියෙහි අවසාන තීරණය වේ වඩුග රජවරුන් ද තරමක් දුරට ගම්සභා ක්‍රමය නැසීමට දායක වී ඇත


ක්‍රමක්‍රමයෙන් මාතලේ ඌව සහ බින්තැන්නේ යන පළාත්වලින් ගම්සභා ක්‍රමය නැතිකිරීමට තැත්කරනු ලැබුවේ ඒ ප්‍රදේශවල පැවති ස්වාධීනත්වය තුරන් කරන අදහසිනි

සමාජ තත්වය

සෙන්කඩගල සමයේ මුල් කාලයේදී කුලභේද ආදියෙන් රට නොපෙළුනේය එය වඩුග රජවරුන් පතුරාහැරිය වසංගතයකි රජු පියෙකු වශයෙන් ද ප්‍රජාව පුත්‍රයින් වශයෙන් ද මෙකල සලකන ලදී නරේන්ද්‍රසිංහ රජුකල මැදමහනුවර අධිකාරම්තුමා වූ දුම්බර ඈපානන් හේවිසි පන්දම් ආදිය ඇතුලත් පුදපෙළහරින් මහවාසල තෙක් ගිය බවට දෙස් දෙන සමකාලින සිව්පද පාඨයක් නම්

වාසල ඇතුලට යනකොට අන්ද  ම්
එළියට එනකොට දෑලේ පන්ද   ම්
තුප්පට්ටිය ඇඳ එනකොට අන්ද ම්
පැළැන් කිරීට මැදිවක අදිකාර   ම්

2 රාජසිංහ රජු තලගුණය නම් ගමට පැමිණ සුන්සහල් බත් අනුභව කොට පිටත්ව යන ගමනේදී තමන් මහරජු බව දැන්වුයේ රජු අතරෙත් සාමාන්‍ය දිළිඳු ජනයා අතරත් සමාජ වෙනසක් නොපැවැත් වූ නිසා ය

වහල් මෙහෙය

මුළු ලෝකයේම වහල් මෙහෙය මෙකල ප්‍රභලව පැවති කාලයකි ලක්වැසියා වහලුන්ට විශේෂයෙන් කාරුනිකවූ හෙයින් එකල ලක්දිව වහල් මෙහෙය ඉසිලිය නොහැකි තරම් දුක්ඛ දායක නොවීය සිහලුන් අතර වහල් මෙහෙයට හේතු වුයේ ණයගැති කමය සිංහලයාට විරුද්ධව ආ පරංගි ඕලන්ද ඉංග්‍රීසි ආදී අන් ජාතිකයන් යුද්ධ භූමියේදී අල්වා ගත් විට වහල් භාවයට පත්වෙන බව සෙන්කඩගල විමලධර්මසූරිය රජුකල  දුම්බර සේනාධිපති ගංගොඩ ලංකාධිකාරින් විසින් රචනා කරන ලද සමකාලින කාව්‍යයක් අනුව ඔප්පු වේ එනම්

නීලට  වන් විමල දහම් නිරිඳුගේ බල නොදැන එවි   ට
රාළට  ජන නුවණ මදිව ඇවිත් වැදුනි මහනුවර        ට
ගාලට  වන් ගෙරින් ලෙසට අල්ලා බැට දී වට කො  ට
වාලට දුනි සෙනගට ගෙනියන ලෙස රටින් රට         ට

"හිරෙන් ඉමං කිරීමට" නොහොත් වහල් මෙහෙයෙන් නිදහස් කිරීම සඳහා ඔප්පුවක් දිය යුතුය පරණ ඔප්පු ලියන ක්‍රමය පෙන්වන ණය ගැතිව වහල් වී පසුව නිදහස ලබාගත් කෙනෙකුගේ දරුමුනුබුරු පරපුරින් පැවත ආ කලිංගුවා නැමැත්තෙකු ළඟ තිබෙන ඔප්පුව නම්



ආර්ථික තත්වය

එකල ආර්ථික තත්වය රඳා තිබුනේ ගොවි කර්මාන්තය උඩය සිංහල නරපතීන් විසින් වැව් අමුණු බඳවා කෙත්වතු සාදා රට සශ්‍රික කරනු ලැබුවේ එහෙයිනි ආහාරයට අන්‍යන්ට ගැතිවූ රටකට නිදහසක් නැති බව දත් සිංහල නරපතීන් යෙදු ආර්ථික ක්‍රමය ඉඳුරාම ප්‍රශංසනීයය වෙළඳාමේ නියුතුවූවන්ට පුවක් වෙළඳාම ආදිය රජු වෙනුවෙන් කරන්නට සිදුවිය ඇතුන් ඇල්විම,මැණික් ගැරීම සහ ඛනිජ ආකර ආදිය කරවීම රජුගෙන් බලයක් ලබාගෙන කළ යුතුය රිදී කාසි ,පනම් කාසි,සල්ලි සහ තුට්ටු ව්‍යවහාරයේ තිබු නමුත් ඒ ඒ ද්‍රව්‍ය හුවමාරුකර ගැනීමෙන්ම වෙළහෙළඳාම සම්බන්ධයෙන් වූ ගනුදෙනු කරන ලදී ඉංග්‍රීසීහු 1818 දී දුම්බරද,සාරසියපත්තුවේද,හේවහැටේ ද,මුළු ඌව ප්‍රදේශයේම වැව් අමුණු විනාශ කොට කෙත්වත් විනාශ කළ හෙයින් ත්‍රිසිංහලේ ආර්ථික තත්වය විනාශ විය

ශාස්ත්‍ර දියුණුව

ගමක් පාසාම පිරිවෙන් ඉදිකර බුද්ධ පුත්‍රයින්ට අධ්‍යාපනය භාර දී මේ මගින් එකල අධ්‍යාපනය නගා සිටුවන ලදී මේ නිසාම රට අල්ලා ගැනීමට දුෂ්කරයයි සලකනු ලැබූ පරංගීහු පන්සල් ගිණිතබා පිරිවෙන් විනාශ කළේය ඉංග්‍රීසින් ද රට සදහටම වහල් භාවයට ගැනීමට සිතා පිරිවෙන් මගින් රාජද්‍රෝහීන් ඇතිවෙතියි චෝදනා කර පිරිවෙන් වසාදමා එම අධ්‍යාපන ක්‍රමය විනාශ කර දැමීය

ආගම

මැදිවක පල්ලේවෙල විහාරයෙන් ලබාගත් තුඩපතකින් ආගම වැටී තිබු ප්‍රපාතය මනාව ඔප්පුවේ එනම්


මෙහිදී ගෑනුහිරයක් සහ පිරිමි හිර දෙන්නෙක් කහවත්තෙ ගනින්නාන්සෙට දුන්නේයැයි ප්‍රකාශකෙළේ වහලුන් තුන්දෙනෙක් විහාරයට පුජාකළ බව හැඟවීම සඳහායි පරංගින් හා යුද්ධ කළ නිසා ශාසනය ප්‍රපාතයකට වැටී තිබුනේ මෙකලය නොක්ස් නම් ග්‍රන්ථ කතෘ අනුව මෙකල ශාසනය භාරව සිටියේ රැවුල වවාගෙන ගිහියන් හා සමාන පිරිසකි ගණින්නාන්සේලා නමින් හදුන්වති මොවුන්ව පත්කරනු ලැබුවේ සාමාන්‍ය ගුරුවරුන් හා පන්සල විහාර ආරාම ආරක්ෂකයන් වශයෙනි

නීතිය

රාජ්‍යයේ නීතිය වුයේ යඥවාල්ක්‍ය සෘෂිවරයාගේ නීති සංහිතාවෙහිද මනු සංහිතවෙහිද,ගිහිවිනය ආදි පාලි ග්‍රන්ථයන්හිද ආ චාරිත්‍ර වාරිතත්‍රාදියයි.රජුට පවා නීතිය නොහොත් සිරිත් විරිත් උල්ලංඝනය කිරීමට බලයක් නොතිබුනේය මෙනිසාම නරේන්ද්‍රසිංහ රජු දඩයකට යටපත් කරන්ට රාජසභාවට පුළුවන් විය වඩුග බිසවට මුලාවූ නරේන්ද්‍රසිංහ රජු රාජසභාව දුබලකර නායක්කර්වරුන්ට ප්‍රමුඛස්ථානය දී මෙ නීති රීති තරමක් දුරට කඩාකප්පල් කළ නිසාම වඩුගයෝ රජවූ විට සිංහල රජවරුන් විසින් නුදුන් වධ බන්ධන ආදිය දීමට පටන් ගත්තේය                                                                  
                                                                                      
Read more »

෴ගවර කෙළිය෴

2 comments


මහනුවර යුගයේ රජවරුන් ගවරා යොදාගැනීමෙන් පැවැත්වූ ක්‍රීඩාව ගවර කෙළිය නමින් හඳුන්වනවා ගවර කෙළිය ගැන කියවෙන පරිදි නම් එය ජිවිතයත් මරණයත් අතර සටනකි ගවර කෙළිය සඳහා ඉදිරිපත් වූ පුද්ගලයා ගවරා හා පොරබදා ජයගත යුතු වනවා මෙහිදී ඈත සිට විද මැරීම හෝ ආපසු පලා යාම මේ ක්‍රීඩාවේදී වලංගු වන්නේ නැත රජු විසින් නියම කරන දිනකදී රජුගේ සහභාගිත්වයෙන් යුතු උත්සවයකදී ගවර කෙළිය පවත්වනු ලබයි ගවරා හා පොර බැද ජයගත් ක්‍රීඩකයා හට මෙහිදී රජුගෙන් තාන්න මාන්න හා ගරුබුහුමන් ලැබෙන නිසා තම දිවි පරදුවට තබා හෝ මෙම ක්‍රීඩාව සඳහා ඉදිරිපත් වන්නන් එකල ඕනෑ තරම් හිඳ තිබේ

වරක් මෙවන් ගවර පොරයක් නරඹමින් සිටි රාජාධි රාජසිංහ රජුට මහත් අකරතැබ්බයකට  මුහුණ පාන්නට සිදුව තිබෙනවා පොරයේ යෙදී සිටි ගවරකු එකවරම රජුට ප්‍රහාරයක් එල්ල කරන්නට රජු වෙතට කඩා පැන තිබෙනවා කිසිවක් කර කියාගත නොහැකිවූ රජුව බේරාගැනීමට ඉදිරිපත්ව ඇත්තේ පුංචිරාළ නම් පුද්ගලයෙක් වහා ක්‍රියාත්මක වූ පුංචිරාළ ගවරා මෙල්ල කර සිය අසිපතින් උගේ දිව සිඳ දැමු බව සඳහන් වෙනවා සිය ජීවිතය බේරා දෙන්නට ඉදිරිපත්වුන පුංචිරාළ ගැන පැහැදුණු රජු ඔහුව දිසානායක පටබැඳිගේ නාමයෙන් සහ වන්නි විසිහතර පත්තුවේ රටේ ලේකම් පදවියෙන් පිදු බව සඳහන් වෙනවා ගවරාගේ අං වලින් පානපත්‍ර හෙවත් චෂක තැනු බව පොත පතේ සඳහන් වෙනවා අද අපේ රටින් වඳව ගියත් ඉන්දියාවේ වනාන්තර වල අදටත් ජිවත්වන ගෞර් නම් ගව විශේෂය එදා අප රටේ ජිවත්වුන ගවරාම විය හැකි බවයි බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ


පුරාවෘත්ත බොහොමයක සඳහන් වන අයුරින් දාහත්වන සියවස පමණ වනතුරුම ගවරුන් නම් සත්ව කොට්ඨාශයක් මෙහි ජිවත්ව සිට ඇති බව විශ්වාස කළ හැකියි ගවරා යනු ගවයකුට සමාන ලක්‍ෂණ තිබු ගව පවුලේ සත්වයෙකි වසර ගණනාවකට පෙර මෙම සතුන් වඳවී ගොස් ඇතත් පුරාවෘත්ත වල සඳහන් ව ඇති ආකාරයට ගවරා යනු භයානක සත්වයෙකි බොහෝ සතුන් තවත් සතෙකු විනාශ කරන්නට හෝ ගොදුරු කරගැනීමට තමන්ගේ දත් අං හෝ දෙපා යොදාගත්තත් ගවරා ඒ කාර්යන් සඳහා උගේ දිව උපකාර කරගත් බවයි ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ගවරාගේ දිව කටු සහිත පීරක් බඳු රළු තියුණු අවයවයක් වූ නිසා ඌ වෙනත් සතුන්ව ලෙව කෑමෙන් පමණක්ම උන්ගේ සිරුරු වලින් මස් ගලවා ඉවත් කරගත් බවයි
Read more »

ඕපනායක කන්දේ පුරාණ රජමහ විහාරය

1 comments


ස්වභාවික වන රේඛාවකින් යුතු කඳු ගැටයක මෙම විහාරස්ථානය පිහිටා ඇත කන්දේ විහාරය හෙවත් ඔපනාකේ විහාරය ඉපැරණි ලේඛනවල හැඳින්වෙන්නේ ශ්‍රී චන්ද්‍රසේකරාරාම කන්දේ පුරාණ රජමහ විහාරය,කන්දේ විහාරය,ගල්ගේ විහාරය යන නම් වලිනි.කඳු ගැටයේ පහළ කොටසේ සංඝාවාසය හා දානශාලාව ද දෙවන කොටසේ ධර්ම ශාලාවද ඉදිකර තිබේ සමස්ථ විහාර භුමිය ම ගස් කොළන් වලින් ගැවසී ඇති අතර ස්වභාවික වූ විශාල ජල උල්පත් දෙකක් ද ඇත සංඝාවාස භුමියේ සිට විහාර මළුවට පිවිසුම් මාර්ග දෙකක් වෙයි වාහල්කඩ දෙකක් සහිත පඩි 140කින් යුක්ත පියගැටපෙළකි කන්දේ ඉහළ කොටසේ පුජනීය ගොඩනැගිළි,චෛත්‍ය,බෝධිය,ගල්ලෙන් විහාරය සහ දේවාලය හා මලසුන් ගෙවල් ද වේ මෙම විහාර මන්දිරය අඩි 150 ක් පමණ දිග අඩි 15 ක් පමණ උස ගල්ගුහාවක් තුල පිහිටුවා තිබේ ගල්ගුහාවේ මැද කොටසේ අඩි 55ක් පමණ වූ ප්‍රමාණයේ ඉපැරණි විහාරය හා පැරණි දේවාලය ඉදිකර ඇත ඇතුළත දිග අඩි 42 1/2 ක් ද උස අඩි 15 ක් ද පළල අඩි 17 ක්ද වන විහාර ගෙය වෙයි ඉදි කර ඇති දේවාලය අඩි 17 ක් දිග හා අඩි 07ක් පළලය විහාර මැදුරේ අඩි 39(රියන් 26)ක් දිග සැතපෙන මහා බුද්ධ ප්‍රතිමාවක් ද හිඳී පිළිමයක් හා හිටි පිළිමයක් ද වෙයි 

මෙම විහාරය වළගම්බා රජ සමයේ ආරම්භ වුවක් යයි සැලකේ ගල්ලෙනේ කොටා ඇති කටාරම දඹුළු රජමහ විහාරයේ කටාරමට සමානය එසේම හිඳී පිළිමය ද සැතපෙන මහා ප්‍රතිමාවද දඹුළු පිළිමයට සමානය එසේම මෙම පිළිම මැටියෙන් ඉදිකර තිබු නිසා බරපතළ ලෙස දිරාපත්වී ගරා වැටී පුපුරා ගොස් තිබුණි ප්‍රතිමාවේ ඉදිරි කොටස 1954දී අලුත්වැඩියා කරන්නට සිදුවුන බැවින් ප්‍රතිමාවේ ඉදිරි කොටසේ මුල්ආකෘතිය වෙනස්වී ඇත පැරණි හිටිපිළිමය සම්පුර්ණයෙන් ම ගරා වැටුන බැවින් මෑතකදී අලුතෙන් හිටි පිළිමය ඉදි කරන ලදී 

විහාර මැදුරේ ඉදිරිපස බිත්තිය අඩි 2 1/2 ක් පමණ ඝනකමය ඇතුළු පැත්තේ චිත්‍ර කර්මාන්ත වෙයි ඒවා නුවර යුගයට අයත් වන බවත් පළුඳු වී ඇති තැන්වල දක්න‍ට ලැබෙන වර්ණ සටහන්වලින් නුවරයුගයට වඩා පැරණි සිතුවම් බිත්තිවල ඇඳ තිබෙන්නට ඇතැයි පෙනෙන බවත් ඒවා පරීක්‍ෂා කල පුරා විද්‍යා නිලධාරීන් ප්‍රකාශ කර ඇත විහාරයේ ඉදිරි ඇතුළු බිත්තියේ පේලි දෙකකට සුවිසි විවරණය සිතුවම් කර ඇති අතර චිත්‍ර රාමු වෙන් කර දැක්වීමට රතු හා සුදු අඟල් 3 පමණ පළල රේඛා යොදා ඇත විහාර ගල්ගේ ඇතුලට යෑමට ඇති කැටයම් සහිත දොර දෙක දෙපැත්තේ සතර වරම් දේව රූප ඇඳ දොරටුව හා ජනෙල් පට්ටම් පලාපෙති මෝස්තරවලින් ද අතරතුර ලියවැල්වලින් ද සරසා තිබේ බස්නාහිර පැත්තේ බිත්තියට යා කොට හිඳී පිළිමය ඉදිකිරිම සඳහා අඩකවාකාර අඩි 8 ක් පමණ උස අඩි 3 ක් පමණ ඝනකම ආකෘතියක් පසුබිම් කර ඒ වටා ගිනිසිළු මෝස්තරයට බුදුරැස් මාලාව ඇඳ තිබේ හිඳී පිළිමයට ඉහලින් බිත්තියේ රහතන් වහන්සේලා මල් රැගෙන බුදු පුදට යන අයුරු ද පහලින් සැරියුත් මුගලන් දෙනමගේ හා ආනන්ද හිමියන්ගේ චිත්‍ර ඇඳ තිබේ ඉදිරි බිත්තියේ හිඳී පිළිමයට ආසන්නව ඇඳ තිබෙන ශක්‍ර භවන වෙනත් විහාරයක දක්නට නොලැබෙන විශේෂ චිත්‍රයක් වේ විහාරය ඇතුළත කළුගල් වියන සම්පුර්ණයෙන්ම මල්කම් ලියකම්වලින් අලංකෘත වේ නෙළුම් මල් මෝස්‌තර කීපයක් සිව්පෙතිමල මිදිවැල් නාමල යන සිතුවමින් ගල් වියන සරසා ඇති අතර මහා බුද්ධ ප්‍රතිමාවට ඉහළින ෂට් වර්ණ බුදුරැස් මාලාව ගිනිසිළු රටාවෙන් චිත්‍රණය කර ඇත ගල්ගෙයි නැගෙනහිර පැත්තේ මහා ප්‍රතිමාවේ පතුල පැත්තේ මහා ප්‍රතිමාවේ පතුල පැත්තේ ඉපැරණි දේවාලය ඇත විෂ්ණු සමන් කතරගම යන දේව ප්‍රතිමා අඩි 7ක් පමණ උසට බිත්තියටම බද්ධ කර තනා ඇති අතර සමන් දේව ප්‍රතිමාව වටා මකර තොරණ ඉදිකර තිබේ දේවාල කොටස පසු කලක දී ඉදිකර ඇති බව ද නුවර යුගයේ ප්‍රතිමා හා චිත්‍ර සම්ප්‍රදාය එහි දක්නට ඇති බව පැහැදිලිය 

දේවාල කොටසේත් රහතන් වහන්සේලාගේ බිතුසිතුවම් ඇති නිසා නුවර යුගයේදී දේවාලය ඉදිකරන්නට ඇති බව සිතිය හැක දේවාලයේ ගල් වියනද අතීතයේ තිබු විසිතුරු මල් හා ලිය වැල් රටාවලින් යුක්තය එම දේවාලයේ මෑතදී විභීෂණ හා ගණ දෙවි රූප ඉදි කර ඇත දේවාලයට සම්භන්ද කොටසේ ඉතා දුර්ලභ අඩි 4 1/2 දිග අඩි 3 1/4 පළල රාමුවක විශාල කඩුපුල් මලක් ඇඳ ඇත ජ්‍යාමිතික ශිල්පය අනුව ඇඳ තිබෙන ඉතා දුර්ලභ චිත්‍රයක් ලෙස එය හඳුනා ගෙන ඇත මුලදී ගල්ගේ විහාර ආලින්දය අඩි 60ක් දිග අඩි 11ක් පළල කළුගල්කණුවලින් හා කොට බිත්තියකින් ද අඩි 16x14 ප්‍රමාණයේ හේවිසි මණ්ඩපයකින් ද යුක්තව තනා තිබුණි වාර කිහිපයක් ම මෙම පිට මාලය දිරා පත් වීම නිසා අලුත්වැඩියා කර ඇත 80 දශකයේ දී විහාර පිට මාලය දිරා පත්ව තිබු නිසා එය අඩි 17 ක් පළල අඩි 73 ක් දිගට ශක්තිමව ඉදිකර දේවාල කොටස වෙන් කර විහාර පිට මාලයේ බුදු සිරිත සම්පුර්ණයෙන්ම රාමු 49කින් යුතුව චිත්‍රයට නගා ලියවැල් මෝස්‌තර ඇඳ ඇති අතර ඉතා විසිතුරු මකර තොරණක් ඉදිකර එහි මැද සමාධි ප්‍රතිමාවක් ගොඩ නගා ඇත නැගෙනහිර පැත්තේ ඉතිරි ව තිබුණු අඩි 25ක් පමණ වූ ගල්ගුහාවේ හැටේ දශකයේදී හා ඉන් පසුව සුනියම් දේවාලය පත්තිනි කාලි සරස්වතී දේවාල ඉදිකර ඇත විහාර මැදුර ඉදිරිපිට පුරාණ ගෘහ නිර්මාණ ශිල්ප අනුව මල් පහන් ගෙවල් දෙකක් තනා ඇත විහාර පිට බිත්තිය බහිරව රූප නෙළුම් මල් හා හංස රූප හා ලිය වැල් වලින් අලංකාර කර ඇත
Read more »

෴෴කඩවර෴෴

2 comments


කඩවර දෙවි සහ යක් යන දෙපදයෙන් හඳුන්වයි මේ දේව හෝ යක් විෂය පළාත සහ ශාන්තිකර්මය අනුව හඳුනාගත හැක වන්නියේ කඩවර දෙවි සහ මහනුවර,සතර කෝරලය හා සත් කෝරලය ප්‍රදේශයේ ශාන්ති කර්මය වන කොහොඹා යක් කංකාරියේදී හමුවන කඩවර දෙවියන් ලෙසය වැව් ගම්වාසීන්ගේ දෙවියන් ලෙසද හැඳින්වෙන වන්නි කඩවර දෙවියන්ගේ උපත පිළිබඳ කතාව සිත්ගන්නා සුළුය.පුරාණයේ ලංකාවේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ බලවත් සිටුවරයෙක් සිටියේය ඔහුට සිටි එකම පුත්‍රයා ඉතාමත් මුරණ්ඩු දඩබ්බර ගති පැවතුම් ඇත්තෙකි ඔහුගේ නොපනත්කම් නිසා නිසාම ඔහුව සතර වාසලෙන් පිටුවහල් කරන ලදී පිටුවහල් කරන ලද කුමරු වනයේ වන සිවුපාවුන් සමග ජිවත් වුයේය දිගු කලක් සතුන් සමග සිටීම නිසා ඔහුට කතා කිරීමට ද නොහැකි විය කලක් ගතවීමෙන් පසුව දිනක් සිටුවරයාගේ සේවක පිරිස දර  කැපීම සඳහා ඒ වනයට ගියේය එහිදී සිවුපාවුන් සමග සිටින කුමරා දැක ලුහුබැඳ ගොස් ඔහුව අල්වාගෙන මාළිගයට ගෙන ආහ පසුව ක්‍රම ක්‍රමයෙන් කුමරාගේ කතා කිරීමේ හැකියාව වර්ධනය වූ පසු සිටුවරයා ඔහුගෙන් වනාන්තරයේ ඇති ලොකුම දේ කුමක්දැයි ඇසීය එහිදී කුමරු කීවේ එය ගවුවකින් අටෙන් එකක් පමණවූ "කල වැලක්" බවයි සිටුවරයා කලවැල පිහිටි ස්ථානය පෙන්වන ලෙස කීවෙන් ඔහු එය සිටුවරයාට පෙන්වීය සිටුවරයා එම කල වැල තිබු ස්ථානය වටකර බැඳී විශාල වැව කල -වැව "කලාවැව" යනුවෙන් ප්‍රසිද්ධ විය 

මේ වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු සාර්ථකව කරගෙන ගියත් කලකදී වැවේ වතුර අඩුවී ගොවිතැන අඩාල විය මේ විනාශය නිසා ශෝකයට පත් සිටුවරයා භික්‍ෂුන් වහන්සේලා වැඩම කරවා පිරිත් සජ්ඣායනය කල හෙයින් වැසි ලැබුණි වැව පිරී ගොවිතැන සශ්‍රික විය පසුව යලිත් උදාවූ දැඩි නියඟයක් නිසා කලා වැව සිඳී ගියේය භික්‍ෂුන් වහන්සේලා හැට නමකට වැව අසබඩට ආරාධනා කල සිටුවරයා නැවතත් පිරිත් සජ්ඣායනය කර වීය එවිට වැසි වැටීම සිදුවිය වැවෙහි වතුර මට්ටම පරීක්‍ෂා කිරීම සඳහා සිටුවරයා විසින් මැටි හැළියක් තැබුවේය පිරිත් සජ්ඣායනය අතරතුර විටින් විට සිටුවරයා විසින් වැවට ගොස් මැටි හැළිය බලා නැවත පැමිණේ මෙම සිදුවීම දුටු එක් භික්‍ෂුවක් හැළිය දුටුහෙයින් ඊට‍ සැරයටියකින් ඇණ එය සිදුරු කළේය වෙඩි හඬක ශබ්දය පැතිරෙන දුර දක්වා හැළිය සිදුරු වූ හඬ ඇසුන බව කියවේ හැළිය බිඳුණු පසුව වැවේ වතුර වැඩිවී වැව්බැම්ම බිඳී ගියේය හැළිය සිදුරු කරන ලද්දේ භික්‍ෂුන් වහන්සේ කෙනෙකු බව දැනගත් සිටුවරයා කෝප වුයේය ඔහු භික්‍ෂුන් හැටනමගේ හිස් සිඳ දමා වැවට දැමු සිටුවරයා වැවේ කැඩුණු ස්ථානයට පැන්න සිටුවරයා භික්‍ෂුන්ගේ ලේ බීගෙන මැරෙන බව ප්‍රකාශ කරේලු කැඩුණු වලෙන් උපන් සිටුවරයා කඩවලයා -කඩවරයා වූ බව පුරාවෘත්ත වල සඳහන්වේ 

කඩවර දෙවි සම්බන්ධයෙන් මෙයට තරමක් සමාන වෙනත් කතාවක්ද ඇත බිරිය නිසා අවමානයට ලක්වන කඩවර වනාන්තරයට ගොස් දොළොස් වසරක් සිටියේය වැද්දෙකුගේ මාර්ගයෙන් එය දැනගත් රජතුමා ඔහු කැඳවා වනයේ නිධානයක් තිබෙනවාදැයි ඇසීය සැතපුම් කීපයක් දුරින් ජලාශයක් ඇති බව දැනගත් රජතුමා ඒ ජලාශය කලාවැව කරවීය.වර්ෂාවක් හේතුවෙන් වැව් කණ්ඩිය බිඳිණි මෙයින් ශෝකයට පත් කඩවර වැවට පැන මියගියේය 

තවත් කතාවකට අනුව නම්  කඩවර යනු රජු විසින් කලාවැවේ ආරක්ෂකයා ලෙස පත්කළ තැනැත්තායි කඩවර අබිමාන ලෙසින්ද හඳුන්වන බව ඇතැමෙකුගේ අදහසයි එහෙත් සිංහල දේව පුරාණයට අනුව වන්නියේ කඩවර දෙවියන් හැටහත් කට්ටුවක් බණ්ඩාර වරුන්ගේ පමණක් නොව අවශේෂ කඩවර සේනාවකගේද නායකයාය කඩවර දෙවි දිග රතු ඇඳුමක් අඳියි ඔහු සුදු සහ නිල් වර්ණයෙන් යුක්තය රක්ත වර්ණ ඔටුන්නක් හිසේ පළඳිනු ලබයි එකිනෙක පැටලී හැඩපලු ගෙතී ඇති කෙස් කලඹකි දකුණත උදැල්ලකි වමතේ යගදාවකි මේවාත් රැගෙන සුදුමොනරකු (මෙය ගුවන් යානයක් විය හැක) පිට යන කඩවර මුහුද වටා සත්වරක් එක රැයකට ගමන් කරයි මේ පිළිබඳව ද ජනප්‍රවාදයක් ඇත 

මුහුද වටා ගිය කඩවර ආපසු එන අතරතුර වැව් තාවල්ලක් පසු කළේය එවිට ඔහු වතුර ඉසින යොතක් දුටුවේය අතට ගත් යොතෙන් වතුර ඉසීමට පටං ගත් අතර එක්වරම යොතේ මිට ඉස්සී ඔහුගේ ගිරියට ගියේලු එදා සිට තාවල්ලේ කිරිබත් මට එපා කියූ කඩවර අද වුවද තාවල්ල හරහා නොයන බව කියවේ කඩවර දෙවියන්ට කරන පුද පුජා අතර බත්මාලාව යහන් දීම නානුමුර මංගල්ලය කිරි ඉතුරුම් මංගල්ලය ආදිය වෙයි බුදුන් වහන්සේගෙන් වරම් ලබාගත් ඔහු තලාගම ත්‍රිකුණාමලය පුත්තලම මන්නාරම හලාවත වේලාසිය මඩම සහ පහළොස් පත්තුවට බලය පතුරවයි                      
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine