#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

පැරණි හෙළ යුධ අවි

6 comments
යුද්ධය තරම් බිහිසුණු ක්‍රියාවලියක් ලොව තවත් නොමැත.සාමය අගයන මිනිසා යුද්ධය පිළිකුල් කරයි.ඒ තුලින් වන ජීවිත - ධන විනාශය තක්‌සේරු කල නොහැක්කකි.පරම්පරා ගණනක් තිස්සේ එක් රැස් කල දේ සැනෙකින් දවා අළු කරන්නට යුද්ධය සමත්ය.ඒ තුලින් රටකජනතාව තවත් පරම්පරා ගණනාවක් යනතුරු අන්ත දිළින්දන් කිරීමට‍ යුද්ධය සමත්වෙයි.අතීත වැඩවසම් දේශපාලන රටාව ධනවාදී සමාජවාදී දේශපාලන රටාව තුලත් යුද්ධය හා යුද්ධයට භාවිතා කෙරුණු උපක්‍රම හා අවි ආයුධ වෙනස් වෙයි.අතීතයේ බොහොවිට කෙරුනේ මුහුනට මුහුණලා කෙරුණු ද්විත්ව සටන්ය .මෙහිදී උරගා බැලුයේ කය ශක්ති බලය හා ශිල්පිය දක්ෂතාවයයි.අතීතයේ පොදුවේ සෑම රජෙකු හටම චතුරංගනී සේනාවක් විය.

(ඇත්.අස්.රිය.පාබල)මේ සේනාවන්ගේ පුහුණුව හා සංඛ්‍යාව ගණනින් විශාල වීම එම රටවල යුද්ධයන්ගේ ජයග්‍රහණයට හේතු විය.අද මෙන් නොව එදා රජකමට පත්වන්නේකුටඒ බව ඔප්පුකිරිමට යුධ ශිල්පය හැදෑරීම අවශ්‍ය අංගයක් විය.සිදුහත් කුමරු පවා යුධ ශිල්පය හැදෑරුබව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.මෙසේ ආදිතම රණකාමීන් භාවිතා කළ යුධ අවි වර්ග රාශියකි.ඒවා පංචායුධ නම වේ.(කඩු,දුනු,අඩියටි,පත් කොහොල් පාර වළලු)මේවා සියල්ලකම අද සමාජයෙන් සමුගෙන හමාරය.මේවා හැමෙකෙක්ම අද ප්‍රදර්ශන භාණ්ඩ ලෙස පැරණි නිවෙස්වල හා කෞතුකාගාරහි තැන්පත්කර තිබේ.ආදී යුධ අවි අතර කඩුවට හිමිවුයේ අද්විතීය ස්ථානයකි.එය ප්‍රධාන අවිය විය.රජ කුමරුවාගේ පටන් හේවායා දක්වා විවිධ වර්ගයේ කඩු භාවිතා කර තිබේ.ඒවා භාවිතා කලේ තමන්ගේ තරාතිරම අනුවය.අපේ පැරණියන් භාවිත කඩු වර්ග 28ක්‌ පිළිබඳව පොත්පත්වල සඳහන් වේ.ඒවා නම්,

1 මදුරු කඩු 
2 ඇරා කඩු 
3 රණ කඩු 
4 සත් රුවන් කඩු
5 රිදී කඩු 
6 වඩිග කඩු 
7 තෙළිගු කඩු 
8 උප්ර කඩු 
9 මිනි බැදී කඩු 
10 වින්දී කඩු
11 වෑය කඩු 
12 ජාවක කඩු
13 දෑත් කඩු 
14 වංග කඩු 
15 ථූන කඩු 
16 අයෝධ්‍ය කඩු 
17 දිලෙන කඩු 
18 සිරිමල් කඩු 
19 ධවල කඩු 
20 කෙටි කඩු 
21 විෂ කඩු
22 දික් කඩු 
23 වක් කඩු
24 ලෙලෙන කඩු 
25 අරමණ කඩු 
26 ගුජර කඩු 
27 ජිත කඩු 
28 මුණ කඩු

පද්‍යයෙන් මේ කඩු වර්ග ගෙන මෙසේ දැක්වේ.


සිහල කඩුද ලුහුඩු කඩුද 
              දික් කඩු අර             ගත්තෝ
ධවල කඩුද වක්කඩු සහ 
              විසි කඩුද                 ගත්තෝ
මළල  කඩුද බාර  කඩුද
              මුණ කඩු අර            ගත්තෝ  
නිමල රිදී කඩුද පාඩි
              කඩු සුරතට              ගත්තෝ
ලෙළෙන කඩුද සිරිවාල් 
             කදු මුණ කඩු අර       ගත්තෝ
දිලෙන කඩුද දුන්කදු  සහ 
              අයෝද්‍ය කඩු           ගත්තෝ
රනින කවුද වංග කඩුද 
              මනි කඩු අර            ගත්තෝ
වඩින කඩුද ජිත කඩුද සහ 
              මදුර කඩුද               ගත්තෝ
අරනමකඩු      ජාවාකඩු 
                ගුජර කඩුද            ගත්තෝ
ලෙල දෙන සත් රුවන් කඩුද 
                 ඇරා කඩුද            ගත්තෝ
සැබවින ඒ තෙලිගු කඩුද 
                   මෙම කඩු අර      ගත්තෝ
සසොබන නර නිදු යුධයෙන් 
                  සිට ජය අර         ගත්තෝ


දුන්නද කඩුවට සමානවූ පැරණි හෙළ යුධ අවියකි.අතීතයේ දක්ෂ දුනු හමුදාංක පිලිබඳ ඉතිහාසගත සිද්ධි රාශියකි.පැරණියේ දුනු හරඹය ක්‍රීඩාවකි.සිදුහත් කුමාරයා පවා යශෝදරා දේවිය ලබාගත්තේ දුනු හරඹයෙන් තම දස්කම් හෙළි කිරීමෙනි.දුනු ශිල්පයේ දක්ෂයා ප්‍රවිනයෙකු  වීමටනම් විදිය හැකි ක්‍රම 2 ක්‌ පිලිබඳව දැනගත යුතු වෙයි.ඒ ශබ්ද වේදය හා ක්ෂනවේදයයි.ශබ්ද වේදය යනු ශබ්දය පමනක් දැන විදිමයි .ක්ෂනවේදය යනු එකන්හිම ඇති විදුලි ශබ්දයට විදීමයි."අඳුරෙහි අස්ලොම විදිහට දුරදි විදුලිය පැහැ වැරදුනොත් වරදි".යන ලෝ වැඩ සඟරාවේ එන මේ පද්‍යයෙන් ක්ෂණවේදීන් සිටි බව මොනවට පැහැදිළි වෙයි.කඩොල් ඇතා සිටි දුටුගැමුණු රජතුමාට පිටිපසින් සිටි ථූස්සදේව යෝධයා එතුමාගේ කුන්ඩලාභාරණය කඩාගෙන හල්ලුකයාට දුටුගැමුණු එළාර සටනේ දැක්වේ.එක එක අයගේ තරතිරමට අනුව මෙරට රණකාමීන් භාවිතා කල දුනු වර්ග 21කි.ඒවානම්,

1 මාලක්කම් දුනු 
2 යෙත්දුනු 
3 කත්තාරි දුනු 
4 මාර දුනු 
5 ගල් දුනු 
6 කැලු දුනු
7 මිමි දුනු
8 කළුවල් දුනු 
9 උස් දුනු 
10 තඹහඩු දුනු 
11 සින්දාරම් දුනු 
12 රන් දුනු 
13 චන්ද්‍රවංක දුනු
14 රිදී දුනු 
15 සුධිවංක දුනු 
16 මාරුංග දුනු
17 රුවන් දුනු 
18 මට්ටම් දුනු
19 ත්‍රිවංක දුනු
20 හතු දුනු 

මාලක්කම් දුනුද රිදී දුනුද   
                                          අර ගත්තෝ
ඕලක්කම් දුනුද රුවන් දුනු 
                                          අර ගත්තෝ
මාරපගම් දුනුද මාරදුනු 
                                         අර ගත්තෝ
මේ සැමතුම් මැඩ හතු දුනු මිටි 
                                         අර ගත්තෝ
චන්ද්‍රවංක දුනු 
                       සහ උස් දුනු අර ගත්තෝ 
සුර්ය වංක දුනු 
                      කළුවැල් දුනු අර ගත්තෝ
ත්‍රිවංක දුනු 
            කලුදුනු මට්ටම් දුනු අර ගත්තෝ
සිදුරන් දුනු තත්තිරි දුනු 
                              අඩු නොව ගත්තෝ
යෝන්දුනු නච්චම්ඩු දුනුද 
                                ගෙන සිට ගත්තෝ
ගල්දුනු ගෙන වාසි දොඩා
                                   මහා බලැත්තෝ
මෙමෙ දුනු කිසිවක් අඩු නොව 
                                අත  අත ගත්තෝ


පැරණි යුධ අවි අතර මුගුරද හොඳ සටන් අවියක් විය එහි කෙල පැමිණියෙකු හට තම ප්‍රතිවාදීන් රාශියක් වුවත් මෙල්ල කිරීම අපහසු කාර්යයක් නොවීය මුගුරු වර්ග 13ක් ගැන පැරණි හෙළ යුධ අවි අතර දැක්වේ 

පතැස් මුගුරු රන් මුගුරුද
                    රිදී මුගුරු ගත්තෝ
අටැස් මුගුරු ලොහෝ මුගුරු
                    සිතු ලෙස අරගත්තෝ
තුතැස් මුගුරු මහා මුගුරු
                        දර මුගුරු ගත්තෝ
 වෙනස් නොවී සිව්රැස් හා
                 වන මුගුරුද අරගත්තෝ
මුල දළ මුගුරුද මිණි බැදි
                   මුගුරු අතින් ගත්තෝ
අග දළ මුගුරුද ගෙන
          අඩු නොව මහ බල ඇත්තෝ 
පෙළ පෙළ අඩු නොව 
          සැමදෙන වහසි බැන ගත්තෝ
රැළ පෙළ අඩු නොව
           සැමදෙන වහසි බැන ගත්තෝ 
රැළ පෙළ නගනා විලසින් 
                  නොඅඩුව සිට ගත්තෝ

කොන්තායුධය ද සංග්‍රාම වලදී භාවිතා වූ තවත් ජනප්‍රිය අවියකි පරිහරණය කල කොන්තායුධ හයක් ගැන සඳහන්වේ ඒවා නම්

1 ජය කොන්තායුධය
2 තෙජ කොන්තායුධය 
3 මුත කොන්තායුධය
4 දරජය කොන්තායුධය
5 රන් කොන්තායුධ
6 ඇගි කොන්තායුධය

ජය කොන්තායුධ තෙජ 
                        කොන්තායුධ අර ගත්තෝ 
මුත කොන්තායුධ දරජය 
                            කොන්තායුධ ගත්තෝ

රන්කොන්තායුධ ලෙළවා සිතු 
                                  ලෙස අර ගත්තෝ
ඇගි කොන්තායුධ ලෙළවා සිතු    
                          අඩු නොව සිට ගත්තෝ

ඉහතකි ප්‍රධාන අවි ආයුධ වලට අමතරව යුද්ධ වලදී භාවිත තවත් යුධඅවි රාශියක් විය හෙල්ල,පලිහ,තෝමරය,පොරොව,ගදාව,සිරිය,පිහිය,සන්නාහ,
වෑය,යවුල්,පාරාවළලු,කිරිච්චිය ඒවායින් සමහරකි මේ එසේ සඳහන් අපේ පැරණි රණකාමීන් සතුවූ යුද්ධා යුධයි.

කඩුව හෙල්ල දුනු පලඟද හී
                                    පත්තාරම්
චක්‍රද කොන්තා කාණ්ඩ කනය 
                                      කප්පිනම් 
ගදාද තෝමර සත්තී සුලය 
                                      දණ්ඩනම්
කෝල්ද කයි සරඹු චන්ද්‍ර ඉලුක්   
                                    කෝල්යදම්

ඉට්ටි පොරෝ පොරෝ 
                       කරාවාල පත්කෝල්
වට්ටෝරුද යවට හින්දි වාල 
                                       රුදු යවුල් 
පට්ටයම්ද අර්ධ චන්ද්‍ර මුගුරු 
                                       කඩිග තල්
කට්ටයුද අඩ යටි වුප්පඩිද
                                     හෙන නගුල්

පැරණි සිංහලයන් සතුවූ මේ අවි ආයුධ වෙනසකට බලපෑවේ යුරෝපීය ආගමනයත් සමගය උඩරට රජවරුන්  යුරෝපා ජාතිකයන් හා සටන් වදිද්දී  පැරණි යුධ අවි වෙනුවට කාලතුවක්කු ,තුවක්කු පුපුරන වෙඩි වර්ග භාවිතා කරන ලදී අවසාන රජවූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ කාලතුවක්කු හමුදාවක් ද විය එය බාරවුයේ වෙඩික්කාර නිලමේටය රජතුමා පවා කඩුව වෙනුවට වෙඩි කෙටුතුවක්කුවක් භාවිතා කරන ලදී 

වාල්වෙඩිද ගිනි වෙඩි සහ 
                         දුම් වෙඩි අරගත්තෝ 
ගල වෙඩි සහ යතුරු වෙඩි ද
                        මුකවෙඩි අරගත්තෝ
ලීල් නොකොට මහවෙඩි සහ 
                          ශබ්ද වෙඩිද ගත්තෝ 
ගාල් ගාල් ගැසී එතෙයි 
                         සැර වෙඩි අර ගත්තෝ   

අතීත පැරණි හෙළ යුධ අවි මධ්‍ය කාලින යුධ අවිද මේ ආකාර වෙ
Read more »

දොළොස් මහා කිවිවරු

0 comments

1 අග්බෝ (ක්‍රි.ව.568-601) රාජ සමයේ වසන ලදැයි සැලකෙන දොළොස් මහා කවීන්

සක්දාමල්
2 අසක්දාමල්
3 දැමිටි
4 බැබිරි
5 දලබිසෝ
6 අනුරුද්ධ කුමරු
7 දලගොත් කුමරු
8 දලසල කුමරු
9 කිත්සිරි කුමරු
10 පරවඩු කුමරු
11 සුරියබාහු 
12 කසුප්තොට ඈපා
Read more »

සිංහල රජුන් කල පැවති 18 ශිල්ප කලා

3 comments


1  ශික්‍ෂලා

2 කල්ප

3 ස්මෘති

4 ව්‍යාකරණ

5 නිරුක්ති

6 ජන්දස්

7 ෙජ්‍යාතිෂ

8 සෘග්වේද

9 යජුර්වේද

10 සාමවේද

11 අථර්වවේද

12 න්‍යාය

13 ක්‍රියාවේද

14 ධර්ම

15 පුරාණ

16 ආයුර්වේද

17 ගාන්ධර්ව

18 අර්ථ

Read more »

සොළොස් කලා

0 comments

චන්ද්‍රයා කලා දහසයකින් යුක්තය පුරපසලොක්වක් දිනයෙහි චන්ද්‍රයා සොළොස් කලාවෙන් සම්පුර්ණ වේ.සොළොස් කලාවෙන් ප්‍රථම කලාව "මහා කලා" නමින් හදුන්වයි මෙහි ප්‍රථම කලාව අමෘතා හැර සෙසු කලා පසලොස පුර පෑලවිය පටන් පුර පසළොස්වක දිනය තෙක් ක්‍රමයෙන් වැඩි ගොස් අවපෑලවිය දා සිට අමාවක දින තෙක් පිළිවෙලින් ගෙවී යයි

සොළොස් කලා 

1.අමෘතා 
2.මානදා
3.පුෂා
4.තුෂ්ටිඃ
5.පුෂ්ටි
6.රතීර්
7.ධෘතිඃ
8.ශශිනී
9.චන්ද්‍රිකා
10.කාන්තීර්
11.ජ්‍යොත්සනා
12.ශ්‍රී
13.ප්‍රීතිර්
14.අංගඳා
15.පුර්ණා
16.පුර්ණ මෘතා
Read more »

දෑවැද්දට දුන්න ගොනා

9 comments

එක පිටිසර ගමක කාන්තාවක් ගොන් රූපය සහිත පෙතිපට මාලයක් පැළඳ ගමනක් යමින් සිටියාය ඈ පිටුපසින් ගිය තරුණයන් දෙදෙනකු විය තනිව යන තරුණිය හා ඈ පැළඳ සිටි ගොනා සහිත පෙතිපට මාලය දුටු තරුණියෝ විහිළුවක් කිරීමට සිතා එක් තරුණයකු සිනහවකින් යුතුව අනිකාට මෙසේ කීවේය 

දෙනු කරලා ගොනු කරලා  ගමන්            යති 
දෙනු කන කෑම මිස ගොනු කන කෑම      නැතී 
දෙනු යන ගමන් මිස ගොනු යන ගමන්   නැතී 
දෙනු කර බැන්ද ගොනු තෝරා එවන්      සකී 

අනිත් තරුණයාට කවිය තේරුම් ගිය නමුත් උත්තර දිය නොහැකි විය මෙය තරුණියට තේරුණි තරුණිය මෙසේ පිළිතුරු දුන්නාය 

රන්නයිදෙගෙ ගිනි කබලේ තැනු      ගොනා
මහ මුහුදේ පීනාලා ආපු                   ගොනා 
උකුල් පටක් උස වැටකින් පැන්න   ගොනා 
මම එනදා දෑවැද්දට දුන්නු               ගොනා

තරුණ වයසේ පසු වුවද මෙසේ තනිමග යන කාන්තාව දීග ගිය එකියක් බව හෙළිදරව්වීම නිසා තරුණයෝ දෙදෙන අධික ලැජ්ජාවට පත්වී ආපසු ගියේය 
    
Read more »

ටැම්පිට පිලිමගෙවල්

3 comments
යමි ජනතාවක්(සසර සයුර තරණය කොට )පරතෙරට යත්ද ඹවුහු අල්පයහ.සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්..



ටැම්පිට පිලිමගෙය 17,18 සියවස්වල බිහි වු ගෘහ නිර්මාන විශේෂයක් ලෙස පුරාවිද්යාඥයින්ගේ පිලිගැනිමයි මේ වර්ගයට අයත් පුරාවිද්යාත්මක ස්මාරක දෙස බැලිමේදී ඒවා 17 ,18  සියවස් කාල පරිච්ජේදයට  අයත් යැයි සිතීමට පුළුවන මෙම කාල සීමාවට අයත් යැයි   සැලකෙන සන්නස් තුඩපත්වල ටැම්පිට පිලිමගෙවල් ගැන සදහන් වූවත් ඒවායේ ප්‍රභවය පිලිබදව නිශ්චිත සදහනක් නොමැත මෙම   ටැම්පිට පිලිමගෙවල් ගෘහ නිර්මාණ කලාව අතින් දියුනු වුයේ නුවර යුගයේ යයි සැලකේ රත්නපුර දිස්ත්‍රික්කය තුලද ටැම්පිට පිලිමගෙවල් නිර්මාණය වුයේ මහනුවර රාජධානි සමයේ දී ය එයට බොහෝ දුරට හේතු වුයේ එම යුගයේ රජවරුන්ගේ වැඩි අවධානය රත්නපුර දිස්ත්‍රික්කය තුලට යොමු වීමයි මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කය තුලවූ ටැම්පිට පිළිම ගෙවල් හතක් නිර්මාණය කර ඇත එම පිලිමගෙවල්  හත පහත සඳහන් විහාරස්තානවල නිර්මාණය කර ඇත 


  • මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමය 
  • ගොඩකවෙල රජමහ විහාරය 
  • පැල්මඩුල්ල රජමහ විහාරය 
  • වළල්ගොඩ පුරාණ රජමහ විහාරය 
  • කුඹල්ගම ශ්‍රී විසුද්ධාරාමය 
  • පින්නවල ශ්‍රී පුෂ්පාරාමය 
  • ඕමල්පේ පුරාණ රජමහ විහාරය 

මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමය

මෙම ඓතිහාසික ටැම්පිට පිළිමගෙය 2 විමලධර්මසූරිය රජුගෙන් රාජ්‍ය වරප්‍රසාද ලත් මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ විසින් කරවන ලද්දක් වන අතර මෙම පිළිමගෙය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනප්‍රවාද කීපයක් දක්නට ලැබේ දෙවන විමලධර්මසුරිය රජු දවස මඩුවන්වෙල මහ දිසාවගේ පරපුරේ අය විසින් කිතලබොකු ඔයට එපිටින් පිහිටුවා තිබු කිතලබොක්කේ විහාරයට දානය ගෙන යන අවස්ථාවලදී ඔය පිටාර ගැලීම නිසා එදින විහාරයට දානය දීමට නොහැකි වී ඇත නැවත දන්වේල වැරදීම වැළැක්වීමට කිතලබොකු ඔයට මෙගොඩින් මෙම විහාරස්ථානය ඉදිකළ බව එක මතයකි ජනප්‍රවාද ගතව ඇති තවත් මතයක් වන්නේ කිතලබොකු විහාරය ඉතා තදබල ලෙස ජරාවාස වීම නිසා මඩුවන්වෙල වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මහ නිලමේ එහි තිබු පුජාවස්තු හා ලියකියවිලි ආදිය ස්වකීය වලව්ව (මඩුවන්වෙල )අසලවූ මුදලින්දාරාමයේ තැන්පත් කිරීමෙන් පසු ටැම්පිට පිළිමගෙයක් කරවන ලද බවයි තවද මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙය ඇතුළු ගර්භ ගෘහයට ඇතුළු වන දොරටුවේ ඉහළින තඹ පත්‍රයක මෙවැනි කවියක් ලියා ඇත 

දෙදහස් හාරසිය හැත්තෑව   බුදව                 ස 
පිරිමස් වෙසඟ මස සුබ මොහොතැති දව     ස
සදහස්‌ දිසාමැති මඩුවන්වෙල මහ               ස
නිසිලෙස පිලිසකර කරවී බුදු නිව                ස

මෙම කවිය අනුව බු .ව 2470 පමණ මඩුවන්වෙල දිසාවේ විසින් මෙම පිළිමගෙය පිලිසකර කර ඇත ස්වකීය මුත්තණුවන් විසින් කරවන ලද වූ කලක ජරාවාස වී තිබුණු මෙම පුරාණ විහාරය මෙම පරපුරේ අන්තිමයා වූ ලංකාවේ කළුකුමරයා යයි විදේශිකයන් අතර පවා ප්‍රසිද්ධ බෞද්ධ ජන ප්‍රධානියකු වන හා මහා ඉඩම් හිමියෙක් වූ වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මඩුවන්වෙල රටේ මහත්මයා විසින් හා කලවානේ ඕමත්තේ තිලකරත්න මඩුවන්වෙල කුමාරිහාමි විසිනුත් ජරාවාස හැර ප්‍රතිසංස්කරණ කරවා ඇත (සපැලි 290)මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙය මදක් කුඩා තනිමහළේ පිලිමගෙයකි ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ පසු හේවිසි මණ්ඩපයද ඉන්පසු  ටැම්පිට පිළිමගෙයද දැකිය හැක පිළිමගෙයට ගොඩවීමට පෙර ඇති හේවිසි මණ්ඩපය විවුර්‍ත ගොඩනැගිල්ලකි සෙ .මි 30ක්පමණ උස සිමෙන්තියෙන් කරන ලද පාදමක් මත ඉදිකර ඇත පැත්තක ගල් කණු 5බැගින් ගල් කණු 25 යොදා ගෙන ඇති අතර ගල් කණුවක උස සෙ මි 90 කි පළල විවිධාකාර වේ මෙම සිමෙන්තියෙන් කරන ලද පාදම මුලින් සක්ක ගල් වලින් තනා තිබී ඇති අතර වර්තමානයේ සිමෙන්ති යොදා කරවා ඇත 

පිළිමගෙය දරා සිටීම සදහා මී 6 සෙ මී 9 ක් දිග සෙ මී 30x30 ප්‍රමාණයේ දැව බාල්ක 4 ක් හරස් අත්ට ද සවිකොට ඇති අතර සන්ධිස්ථාන පලුවට පළුව ගිල්වා රාමුවක් නිර්මාණය කර තිබේ මේ අතරට ,දික් අත්ට සෙ මී 12.5 x12.5 ප්‍රමාණයේ කුඩා බාල්කයක්ද යොදා ඇත මේ බාල්ක සඳහා පලු දැව භාවිතා කර තිබේ මෙම දැව රාමුව මත හරස් අතට මී 5 සෙ මී 4 ක් පමණ ඝනකම ඇති ,ලෑලි 23 ක් යොදා තිබේ මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙයි ගෙබිමෙහි අන් පිළිම ගෙවල්වලට වඩා සුවිශේසත්වයක් දක්නට ලැබේ එනම් ,බිම දැව තට්ටුව නොපෙනෙන ලෙස අලංකාර පිගන් ගඩොල් අල්ලා තිබීමයි මේවා විහාරය නඩත්තු කල මඩුවන්වෙල පරපුරේ අන්තිමයා වූ මඩුවන්වෙල මහ දිසාවේ (මඩුවන්වෙල රටේ මහත්මයා )විසින් මෙම පිළිමගෙය සඳහාම ජපානයෙන් ගෙන්වා ගත් ඒවා බව සලකනු ලබයි මෙම පිළිමගෙය සඳහා වැඩිපුර භාවිතා කර ඇත්තේ පලු සපු කොස් හා මී දැවය මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙය මෑත යුගයේදී එනම් 1930 පමණ ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි සිතුවම් අයත් වන්නේ මෑත යුගයට ඒ නිසා ඒවායේ පෞරාණික භාවයක් දක්නට නොලැබේ මෙම සිතුවම් අතර ජාතක කතා බුද්ධ චරිතය රහතන්වහන්සේලාගේ රූප ඓතිහාසික සිදුවීම් හා වෙනත් සිද්ධි දක්න‍ට හැක 

ගොඩකවෙල රජමහ විහාරය 

මෙහි ඇති ටැම්පිට පිළිමගෙය මහනුවර රජකළ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගය මත දුම්බර මීගස්තැන්නේ අදිකාරම්තුමා විසින් කරවන ලදැයි සලකනු ලබයි කලක් භික්ෂු වාසයෙන් තොරව පැවති මෙම ස්ථානය වර්තමානයේ ප්‍රදේශයේ තිබෙන විශාලම හා ප්‍රසිද්ධම පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත වී ඇත  ගොඩකවෙල ටැම්පිට පිළිමගෙය පිටතට දෙමහල් පහයක් ලෙස පෙනුනත් එය තනිමහළේ ගොඩනැගිල්ලකි දෙමහල් බව පෙනෙන්නේ බිත්තිය සහ වහලය කොටස් දෙකකට නිර්මාණය කර ඇති නිසාය පිළිමගෙය මැද බුදුරදුන් වැඩ සිටින කුටියේ බිත්තිය උස්කර බැදීම නිසා මෙය බැලු බැල්මට දෙමහල් පිළිමගෙයක් ලෙස පෙනේ එය සම්පුරණයෙන් අඩි 22 ක් දිගින් හා 17'3"ක් පළලින් යුක්තය පොලවේ දැනට පිහිටි මට්ටමේ සිට උසින් සෙ මී 60 ක් පමණ සිටින සෙ ඒකාකාරී නොවන එකිනෙකට මී 1 සෙ මී 8 ක් පමණ පරතරය ඇතිව ගල්කණු 16 ක් පිහිටුවා එම ගල්කණු 16 වටා සෙ මී 30ක් පමණ උසට සක්ක ගල් බැමිමක් බැඳ ඇත එම ගල්කණු 16 මත දික් අතට දැව බාල්ක 4 ක් සහ හරස් අතට දැව බාල්ක 4ක් යොදා තිබෙන අතර ඒවා එකිනෙකට සම්බන්ධ කර ඇත්තේ තන්තු මගිනි සෙ මී 5 ක් පමණ ඝනකම ඇති ලෑලි 22 ක් මෙම දැව තට්ටුව මත යොදා ඇත මෙම බාල්ක සහ ලෑලි සඳහා නා ,කොස් වැනි දැව වර්ග යොදාගෙන තිබේ  පිළිමගෙයි බිත්ති නිර්මාණය කර ඇත්තේ ගල් කණු මත වූ ලෑලි ස්ථරය මත වරිච්චි ක්‍රමයටය කිතුල් හා පුවක් පටි වෙනිවැල් හා වේවැල් මගින් ගැට ගසා වරිච්චි සඳහා දැව සැකිල්ල සකස් කරගෙන ඇති බව බිත්තිය කැඩී ගොස් ඇති තැන්වලින් පැහැදිලිවේ 

මෙම ටැම්පිට පිළිමගෙයි මැද මාලකයේ ඇතුලත බිත්තිය සම්පුර්ණයෙන් තීරු 3 කට බෙදා පහලම තීරුවේ හිටි බුද්ධ රූපද ,මැද තීරුවේ හිඳී බුද්ධ රූප ද ඉහල තීරුවෙත් හිඳී බුද්ධ රූපද ඇද තිබේ මැද මාලකයේ පිටත බිත්තිය තීරුවලට බෙදා සාම,වටු,නළපාන තේලපත්ත වැනි ජාතක කතා අඛණ්ඩ කථන ක්‍රමයට සිතුවම් කර ඇත මෙම සිතුවම් අතර මාර පරාජය ද දක්නට ලැබේ සිතුවම් මහ නුවර ශෛලියට අයත්ය සිතුවම් ඇදීමේ දී කළු හා රතු පසුබිමේ සුදු,කහ,රතු යන වර්ණ භාවිතා කර ඇත පසුතලයේ හිස් තැන් පිරවීම සඳහා නෙළුම් මල ,සපු මල ,වැටකේ මල ,හා වලාකුළු ද සිතුවම් එකිනෙකින් වෙන් කිරීමට ගස් ගංගා ආදියද දක්වා ඇත ගොඩකවෙල ටැම්පිට පිළිමගෙය බුද්ධ ප්‍රතිමාවට අමතරව තවත් සුවිශේෂ ප්‍රතිමාවක් දක්නට ලැබේ එනම් සමන් දේව රුපයයි මෙම දේව රුව පොළොන්නරුවේ රජකළ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදි දේවප්‍රතිරාජ ඇමතිවරයා විසින් කරවන ලද සමන් දේව රුව අනුව සකස් කරන ලද ආදිම  රුපයක් ලෙස සලකයි මෙහි දෙඅත් වල අවි ආයුධ කිසිවක් නැත (දුණු,හී)සෝවාන් ඵලයට පත් වූ සමන් දෙවිඳුන් මෙයින් නිරුපනය කරන බව විශ්වාස කරනු ලබයි 

පැල්මඩුල්ල රජමහ විහාරය 

පැල්මඩුල්ල ග්‍රාමයේ ඉතිහාසය ඉතා පැරණිය මෙම ගම 1 වන රාජසිංහ රජතුමා ප්‍රථමයෙන් සමන් දේවාලයට පිදු ගමකි (සපැලි 137)එනමුත් එම පැරණි සන්නස අද දක්නට නොලැබෙන අතර 1826 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ද මෙම දීමනාව ස්ථිර කර තිබේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මැද මහනුවර වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ පැල්මඩුල්ලේ මෙම ස්ථානයේ තිබු කුඩා විහාරය සමග නිතර සබදතා පැවැත්විය එහි ප්‍රතිපලයක් ලෙස මෙම ටැම්පිට පිළිමගෙය නිර්මාණය කර තිබේ ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය වන විට සබරගමුවේ ප්‍රධාන බෞද්ධ හා අධ්‍යාපන ආයතන වශයෙන් පැවතියේ පැල්මඩුල්ලේ රජමහ විහාරයයි ටැම්පිට පිළිමගෙයට අමතරව දොළොස්ව්ල අධිකාරම්තුමා විසින් විශාල බුදු මැදුරක් ඉදිකර ඇති අතර ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ විසින් ශ්‍රී සුදර්ශන ධර්මශාලාව ඉදිකොට ඇත පැල්මඩුල්ලේ ටැම්පිට පිළිමගෙය ඉතා කුඩා ගොඩනැගිල්ලකි කාලයක් ජරාවාසවී විනාශ වෙමින් පැවති මෙම කුඩා පිළිමගෙය මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇති නිසා එහි පෞරාණිකතත්වය පහව ගොස් නවීකරණය වී ඇත සෙ මි 50 පමණ උස විවිධ ගල්කණු එක් පැත්තකට හතර බැගින් 16 ක් ටැම්පිට පිළිමගෙය සඳහා යොදා ගෙන ඇත 

මෙම ගල්කණු 16 වටා සෙ මි 35 ක් පමණ උස සිමෙන්තියෙන් කරනවන ලද පාදමක් ඇති අතර එය මෑතකදී කරවන ලද්දකි එම ගල්කණු 16 මත දික් අතට දැව බාල්ක 4ක් හා හරස් අතට දැව බාල්ක 4ක් යොදා ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ කර ඇත්තේ තන්තු මගිනි සෙ මි 2ක් පමණ ඝනකම ඇති ලෑලි 16 කින් මෙම දැව තට්ටුව සමන්විත වේ මේ සඳහා යොදා ගෙන ඇත්තේ සපු සහ නා යන දැව වර්ග වේ පැල්මඩුල්ල රජමහ විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති නිසා එහි දක්නට ඇත්තේ නුවර සම්ප්‍රදායට අයත් සිතුවම් නොවේ බොහෝ දුරට මෑතකදී අඳින ලද සිතුවම් ය ජාතක කතා ආදිය දක්නට නොලැබෙන අතර ඓතිහාසික සිදුවීම් බිත්ති වල සිතුවම් කර ඇත විජය රාජසිංහ රජුගෙන් පැල්මඩුල්ලේ විසු හපුගස්කන්දේ සිල්වත්තැනට පැල්මඩුල්ල ගම පුජා කිරීම වැනි පිළිම ගෙයට අදාළ සිද්ධි සිතුවමට නගා ඇත 

වලල්ගොඩ පුරාණ රජමහ විහාරය 

මෙම ස්ථානය ටැම්පිට විහාරය කරවීමට පෙර සිටම එනම් මාගම රාජධානියේ ආරම්භයේ සිටම බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති ඇත අවසාන වරට ලංකාවේ භික්ෂු ශාසනය පිහිටුවා වදාල බෝධිසත්ව ගුණෝපේත ශ්‍යාම වංශික උපාලි මහ ස්ථවිර ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලා මෙහි මනා සිමා බන්ධනයක් කළහ මෙම බද්ධ සීමාව තුල අවට සිව් පියස්සකින් සැදී දෙමහල් මැදුරක් කරවා එහි උඩුමාලය වැඳුම් පිදුම් කිරීම සඳහා බුද්ධාලය වශයෙනුත් යට මාලය සංඝයා වහන්සේගේ පොහොය කර්මය කිරීම සඳහා සීමාමාලකය වශයෙනුත් ප්‍රයෝජනයට ගෙන ඇත ඕමල්පේ අලහකෝන් හා වලල්ගොඩ ගුණතිලක ජයවර්ධන විජේකෝන් යන මුදලිවරු දෙදෙනා කිර්ති ශ්‍රී රාජසිංහ රා‍‍ෙජ්‍යාදයෙන් සත්තිස් වැන්නේ දී මෙම මනරම් දෙමහල්පාය හා ආරාමයට අවශ්‍ය අනිකුත් ගොඩනැගිලි ආදියත් කරවා විහාරස්ථානය චිරස්ථායි වනු වස් වී කුරුණි 152 ක වපසරිය ඇති කුඹුරු හා ගොඩ  හේන් හතරක් පුදා එහි පින් මහනුවර මහ වාසලට ද අනුමෝදන් කරවූ බව මෙම විහාරස්ථානයේ ඇති පැරණි ලියවිල්ලකින් පැහැදිලි වේ (සපැලි287)

ලංකාවේ ලන්දේසීන්ගේ පාලන සමයේ දී ලන්දේසින් විසින් මෙම වලල්ගොඩ විහාරය සතුව තිබු වටිනා දේ ගිනිතබා විනාශ කර ඇත මෙම ටැම්පිට පිළිමගෙය මදක් විශාල දෙමහල් ගොඩනැගිල්ලකි පහත මාලය මි 8 සෙ මි7 ක් දිගින් ද මි 8 සෙ මි 4 ක් පළලින් යුක්ත වේ  පහත මාලයේ දැව කණු 16 ක් බිත්තියට මැදි කොට නිර්මාණය කර ඇති අතර එය ඉහල මාලය නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝජනයට ගෙන තිබේ ඉහල මාලය නිර්මාණය කිරීම සඳහා කණු පිහිටුවා ඇත්තේ පහත මාලයේය මෙහිදී ටැම්පිට පිළිමගෙය සඳහා දැව කණු නවයක් යොදා ගෙන ඇති අතර යට‍ දැව රාමුවේ දික් බාල්ක හා හරස් බාල්ක සම්බන්ධ වන ස්ථානයට මෙම දැව කණු යොදා තිබේ මෙම දැව කණුවක් මි 2 ක් පමණ උස වන අතර ඉහල සිට පහළට සුළු ආනතියක් ඇති වන පරිදි සකස් කර කණුවෙහි මැද අටපට්ටම් කර තිබේ දික් දැව කඳන් 5ක් සන්ධිස්ථානය පාලුවට පලුව ගිල්වා පහල දැව රාමුව නිර්මාණය කර ඇත එක දැව කදක් මි 7ක් දිගින් යුත් හා සෙ මි 20x20 ප්‍රමාණයෙන් යුක්තය මි 7ක් දිගින් හා මි 7ක් පළලින් යුත් පිළිමගෙය ඉහල මාලය වට බරාදයකින් හා මැද බුදුරදුන් වැඩ සිටින ගර්භ ගෘහයකින් යුතුව නිර්මාණය කර ඇත මෙම පිලිමගෙයද නිර්මාණය කර ඇත්තේ වරිච්චි ක්‍රමයට බිත්ති බැදය වලල්ගොඩ ටැම්පිට පිළිමගෙයි ඉහල මාලකයේ මැද ගර්භ ගෘහයේ හා වට මාලකයේ නුවර සම්ප්‍රදායට අයත් සිතුවම් දක්න‍ට ලැබෙන අතර බොහොමයක් විනාශයට පත්ව ඇත 

බොහෝ සිතුවම් හඳුනා ගත නොහැක ගර්භ ගෘහයේ පිටත බිත්තියේත් වට මාලකයේ ඇතුලත බිත්තියේත් ජාතක කතා සිතුවම් කර ඇත නලපාන වෙස්සන්තර වැනි බුද්ධ චරිතයේ සිතුවම්ද මැද ගර්භ ගෘහයේ පහල තීරුවක ඊශ්වර විෂ්ණු කතරගම සමන් ගණදෙවි බ්‍රහ්ම සක්‍ර ආදී දෙවිවරුන්ගේ රුප සිතුවම් කර තිබේ තවද මෙම ටැම්පිට පිළිමගෙයි මැද ගන්ධ කුටිය ඇතුලත බිත්තියේ ඉහල තීරුවක අලංකාර ගිරා ජෝඩු කීපයක් නිර්මාණය කර තිබේ මෙය විශේෂ නිර්මාණයකි නුවර යුගයට අයත් සාම්ප්‍රධායික වර්ණ භාවිතා කර මෙම සිතුවම් නිර්මාණය කර ඇති අතර පසුතලය අලංකාර කිරීම සඳහා නෙළුම් මල සපුමල ආදී යොදා ගෙන ඇත 

ඕමල්පේ පුරාණ රජමහ විහාරය 

මෙම ඕමල්පේ ටැම්පිට පිළිමගෙය නිර්මාණ ලක්ෂණ අතින් වලල්ගොඩ ටැම්පිට පිළිමගෙයට සමාන වන අතර මේතාක් නොනැසී නිරුපද්‍රිතව ආරක්ෂා වී ඇති එකම ටැම්පිට පිලිමගෙයද මෙයයි මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ වළල්ගොඩ පිළිමගෙය කරවූ අලහකෝන් මුදලි විසින් ම ඕමල්පේ ටැම්පිට පිළිමගෙය කරවූ බව සඳහන්වේ එනමුත් මේ සම්බන්ධ ව මත කීපයක්ම ප්‍රදේශවාසීන් අතර දක්නට ලැබේ ඇහැලේපොල අදිකාරම්ගේ ලේකම් වරයකු වූ අලහකෝන් මුදියන්සේ 1800 මුල් දශකයේ දී වළල්ගොඩ විහාරස්ථානය කරවා සඟසතු කර පුජා කරන අවස්ථාවේදී ඒ ගමේ සිටි අඩුකුලේ අයකු විසින් එම මුහන්දිරම් තැනගේ මැණිකේ වාඩිවී සිටි පැදුර පෑගු නිසා ඇති වූ හබයක් හේතුවෙන් ස්වාමින් වහන්සේ සමග අමනාපවී වලල්ගොඩට සැ 4ක් පමණ දුරින් ඕමල්පේ විහාරය 1812-1817 කාලයේ දී වළල්ගොඩ ටැම්පිට පිළිමගෙයට සමාන අයුරින් ම නිර්මාණය කර පුජා කර ඇත තවද ඕමල්පේ ටැම්පිට පිළිමගෙයට ඇතුළු වන දොර උළුවස්සේ ඉහලින් බිත්තියේ කවියක් දක්නට ලැබේ 

විසිණ   එක්දහස්    සත්සිය  දෙසලි                 ස 
මසිණ පොසොන් පුරපසළොස් රිවි දව            ස 
නමිණ ගරු තෙන්නකෝන් අගමැති නොල    ස
විසිණ නිම කෙරෙවූ මුණි මැදුරය මෙව           ස

මෙයට අනුව මෙය ඕමල්පේ තෙන්නකෝන් මුදලි විසින් ශකවර්ෂ 1742 ජුනි 15 දින කර වූ බව සඳහන්වේ කෙසේ නමුත් මෙම ඓතිහාසික පුජනිය ස්ථානය දිගු කාලයක් තිස්සේ ජනශුන්‍ය ව පැවති අතර ප්‍රදේශයේ මහ තෙරනමක් වූ කෑල්ලේ ශ්‍රී සරණපාල සුනන්ද මාහිමියන් විසින් 1910 දී ප්‍රතිසංස්කරණය කර ආරක්ෂාවට කටයුතු යෙදු බවත් ඉන්පසු සිය ශිෂ්‍ය සබරගමුව පළාතේ සංඝනායක මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමාධිපති ව වැඩ සිටි කෑල්ලේ ශ්‍රී සාරානන්ද සහ දාපනේ ධම්මානන්ද යන හිමිවරුන්ට මෙම විහාරස්ථානය භාර දුන් බවත් සඳහන්වේ 

මහල දෙකකින් යුත් ඕමල්පේ ටැම්පිට පිළිමගෙයි යටිමහළේ සිමා මාලකය ද උඩු මහලේ පිලිමගෙයද වශයෙන් නිර්මාණය කර ඇති අතර පහත මාලයේ දික්ගෙයක් හා වටමාලකයක් දක්නට ලැබේ උඩු මහලේහි ද වට බරාදයක් නිර්මාණය කර ඇත සම්පුර්ණ පිළිම ගෙය මි 20 ක් දිගින් හා මි 12සෙ මි 40ක් පළලින් යුක්තය ඉහල මාලය නිර්මාණය කිරීම සඳහා කණු පිහිටුවා ඇත්තේ පහත මාලයේය මෙහිදී ගල්කණු නවයක් යොදා ඇති අතර යට‍ දැව රාමුවේ දික් බාල්කය සහ හරස් බාල්ක සම්බන්ධ වන ස්ථානවලට මෙම ගල්ටැම් සහ දැව කණු යොදා තිබේ මේ කණු මි 2 ක් පමණ උසය මෙම පිළිමගෙය සඳහා ද බුරුත ,කොස් හා සපු වැනි දැව භාවිතා කර තිබේ මෙම පිළිමගෙය මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කර ඇත 

ඕමල්පේ ටැම්පිට පිළිමගෙය බුද්ධ ප්‍රතිමාවට අමතරව සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ප්‍රතිමා ද දක්නට ලැබෙන අතර ඉහල මාලයේ මැද ගර්භ ගෘහය ඇතුලත බිත්තියේත සිතුවම් නිර්මාණය කර ඇත මේ සිතුවම් අතර ජාතක කතා බුද්ධ චරිතය රහතන් වහන්සේලාගේ රූප දිවය රූප හා වෙනත් සිද්ධි දක්නට ලැබේ ඉහල මාලයේ මැද ගර්භ ගෘහයේ පිටත බිත්තියේ හා ඉහල වටමාලකයේ ඇතුලත බිත්තියේත් තීරුවල අඛණ්ඩ කතන ක්‍රමයට ජාතක කතා ඇද ඇත මෙම පිළිමගෙයි ඉහල මාලයේ මැද ගර්භ ගෘහයේ ඇතුලත බිත්ති දෙකක දේවරුප ඇද ඇත ඊශ්වර විෂ්ණු කතරගම සමන් ගණදෙවි බ්‍රහ්ම සක්‍ර ආදී දේව රූප ද අලංකාරව විමාන තුල වැඩ සිටින ආකාරයට නිර්මාණය කර තිබේ මෙහි ඇති සුවිශේෂි සිතුවමක් වන්නේ බුද්ධ ප්‍රතිමාවේ ආසනයේ කොනක ඇඳ තිබෙන පුන් කලසක් අතින් ගත ස්ත්‍රී රුපයයි මෙම ස්ත්‍රී රුපය කුමන අරමුණකින් යෙදුවාදැයි පැහැදිලි නැත මෙම පිළිමගෙයි සිතුවම් ද නුවර යුගයට අයත් ය 

ශ්‍රී විසුද්ධාරාම පුරාණ ටැම්පිට පිළිමගෙය 

ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරය රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය සමනල වැවට ආසන්නව මෙම පුරාණ ටැම්පිට විහාරගෙය පිහිටුවා ඇත මෙම ටැම්පිට පිළිමගෙය වසර 150 පමණ පැරණි බව පෙනේ එම කල මෙම ස්ථානයේ වැඩ විසු කොස්ගම ස්වාමින් වහන්සේ විසින් මෙම විහාරය ඉදිකරන්නට ඇතැයි ජනප්‍රවාද පවතින අතර විහාරය ගැන සඳහන් පොතපතක් හෝ සන්නසක් වත නැත වර්තමානයේ මෙම ටැම්පිට පිළිමගෙය ගල්කණු වැසෙන තෙක් පස්වලින් වසා ඇත

ශ්‍රී පුෂ්පාරාම ටැම්පිට පිළිමගෙය 

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටශයට අයත් පින්නවල ග්‍රාම සේවා වසමේ එළු ගාල නම්ගමේ මෙම ඓතිහාසික ටැම්පිට පිළිමගෙය පිහිටා ඇත මෙම ටැම්පිට පිළිමගෙය සීතාවක රාජසිංහ රාජ්‍ය කාලයේ හෝ මායාදුන්නේ රාජ්‍ය කාලයේ කරවන්නට ඇතැයි පැවසේ
                       
නිදිවරන්නාට රැය දිග ය.ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ මෝඩයා හට සසර දිග ය.
Read more »

මීමින්නා හොඳ හපනා

2 comments

අපේ ගොවිරාළ කෙනෙක් තමන් විසින් අටවා තිබු හබකක අසුවී සිටි මී මින්නෙකු දැක ඌ මරා රෑ කෑමට පිට්ටු පිළියෙළ කරමින් සිටි තම බිරියට දුන්නේය ගොවි බිරිය මස් කෑමට ඉතා ගිජුය පිට්ටුවට මස් හරිකරදීම ගැන අතිශයින් සතුටු වූ බිරිඳ මී මිනිමස් රසට උයා ඉන් සොච්චමක් පමණක් පිට්ටු සමග සැමියාට කන්නට දී ඉතිරි මස් සියල්ලම බඩපුරා හොර රහසේ කෑමට සිතුවේය ගොවි බිරිය මී මිනිමස් කොට්ටය යට සඟවා තබා සැමියා නින්දට ගිය පසු තළුමරමින් කන්නට වුවාය තමාට මී මිනිමස් සොච්චමක් පමණක් ලැබීම ගැන නොසතුටු ගොවිරාළ හොරේ අල්ලන්නට සිතා හොර නින්දේ පසුවිය පිට්ටු සමග මීමිනිමස් බිරිය තළු මර මරා කන ශබ්දය ඇසු නෙත් කට රැකගන්න බැරිව සැමියා නිදි පැදුරේ සිට මෙසේ කිවේය 

මීමින්නා හොඳ හපනා              බොලන්නේ
රෑම ඇවිත් ගෙයි මල්ලට            වැටෙන්නේ 
වෙන රට මී මින්නෝ ගෙඩි කා   රැකෙන්නෙ 
මේ රට මී මින්නා රෑ පිට්ටු           කන්නේ
Read more »

නිදහසේ මන්ත්‍රය

0 comments
















බලවු පොළොන්නරු අනුරාපුර     පෙදෙස 
සිතවු පැවැති නිදහස මෙහි පෙර     දවස 
නගවු තව තවත් තරසර තරුණ      ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව්     දෙ ඇස 

ඉපදුණු රටට අදහන ආගමට                       සෙට 
මොන මොන අන්දමින් මුත් මෙහෙයක්      නොකොට
පැටවුණු බරක් මෙන් ලංකා පොළොව         පිට
පසුවන එක හොඳ ද සිංහල පුතකු                 හට 

විපතින් බියව ජාතික එඩි ගති                සින් දා
හිවලුන් ලෙසින් මෙරමා දෙපතුළ          වන්දා 
දෙවියන් සමඟ සැනැහෙන දිය දද          බන්දා 
මළවුන් නමට නොකරව් සිහලුනි          නින්දා 

සලකවු ගැමුණු පැරකුම් සිහලුන්ගේ           සෙට
මලකුණුවලින් පොරවූ ලක් පොලව           පිට 
පැළවුණු සඳුන් පැළයක් මෙන් වැඩෙන්     නට
මැලි වී ඉඳිය යුතු නැහැ සිංහල                   උඹට

අපේ රට අපේ ජාතිය අපේ                ගම 
අපේ අසල්වැසියා යන සියල්            ලම
අපේ අතට අවනත කරගෙන             වහම
අපේ කමට සලකමු දෙවි දෙමු           මෙහෙම 

අපේ රටට පිළිමල් වන සතුරු                මුල
අපේ අය ම නම් බිඳනෙමු උන්ගෙ          බල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන්      වල
පිපේ එවිට ජාතික අභිමාන                    මල

රටක් ජාතියක් සමයක් කරණ           කොට
තුවක්කුවට කඩුවට ගල්මුල්             වලට
ඉලක්කයක් වන්නට ඇත්නම්          අපට 
සැපක් තමයි නොනිවෙන නිවනින්  මෙපිට 

                          
                                    ටිබෙට් ජාතික එස් මහින්ද හිමි

Read more »

උඩරට රජකළ නායක්කර පෙළපත

1 comments

අප රටේ ඉතිහාසය පිළිබඳව විමර්ශනයක යෙදෙන විටදී මදුරාපුර නායක්කාර් නම් විදේශීය රජ  පෙළපත වැදගත්කමක් හිමිකරගනු ලබන බව නොකිවමනාය.උඩරට රාජධානියේ අවසාන භාගයේ රාජ්‍ය පාලනය මෙහෙයවනු ලැබුවේ මෙම පෙළපතේ රජුන් විසිනි.නායක්කාර් වංශික රජවරුන් සිව්දෙනෙක් මෙරට පාලනය කලෝය.

  1. ශ්‍රී විජය රාජසිංහ (1739-1747)
  2. කිර්ති ශ්‍රී රාජසිංහ (1747-1781)
  3. රාජාධි රාජසිංහ(1781-1798)
  4. ශ්‍රී වික්‍රම රාජසිංහ (1798-1815) 
ලෙස අනුපිළිවෙලින් මොවුන් දැක්විය හැක.ශ්‍රී වික්‍රම රාජසිංහ මෙරට අවසාන රජු ලෙස ඉතිහාසගත විය.විජය නගර අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසුමදුරා,තාපොර්,වෙල්ලෝර්,සේරිංගපටුන වැනි ප්‍රදේශ රැසක විසු ප්‍රාදේශීය ආණ්ඩුකාරයන්  විසින් ස්වාධීනත්වය ප්‍රකාශ කරන ලදී ස්වාධීන රජවරුන් ලෙස ක්‍රියා කිරිමට පෙලඹුණු මොවුහු "නායක්"නමින් හඳුන්වනු ලැබුහ.(ද්‍රවිඩ බසින් "නායක්කාර්" යනු "නාක්" යන්නෙහි බහු වචනය වේ)"උතුරු දේශයේ වැසියන්"යන අදහස ඇති "වඩුග"යන නාමයද මොවුන් හැඳින්විමට යොදා ගැනුණි.උඩරට රාජධානිය සමග පසුකාලෙක සම්බන්ධතා පැවැත්වුයේ මදුරාපුර විසු මෙම පාලකයන්ය.මදුරාපුර නායක්කාර් පෙළපතේ ආරම්භකයා ලෙස 
සැලකෙනුයේ "විශ්වනාථ"නැමැත්තෙකි.තිරුමලනායක මෙමපෙළපතේ ශ්‍රේෂ්ඨතමයා ලෙස සැළකේ.මදුරාපුරය විජය නගරයේ ආදිපත්‍යයෙන් මුළුමනින්ම නිදහස් කරගනු ලැබුවේ ඔහු විසිනි.මුස්ලිම් ආක්‍රමනයන්ට ලක්වීම හේතුවෙන් 17වන සියවස අගභාගයේදී මදුරාපුර රාජ්‍ය ප්‍රමාණයෙන් කුඩා වුවක් බවට පත් වී තිබුණි අග නගරයද තිරුචිරප්පල්ලියට ගෙනයාමට සිදුවිය.නායක්කාර පෙළපතේ අවසාන රජු ලෙස සැළකෙනුයේ විජය රංග චෝක්කනාථ නැමැත්තාය.ඔහුගේ 
අභාවයෙන් පසුව සතුරු අක්‍රමනයන්ට ලක් වූ  මදුරාපුර රාජ්‍යය විනාශ මුඛය කරා ළඟාවිණි.



මෙරට අවසන් සිංහල රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ ගේ (1707-1739)පාලන සමයේදී ශ්‍රී ලංකාව හා මදුරාපුර රාජ්‍යය අතර මුල්වරට සම්බන්ධතා ඇතිවිය.නරේන්ද්‍රසිංහ රජුට සුදුසු සහකාරියක් මෙරට නොසිටි බැවින් මදුරාපුරයෙන් රජ කුමාරියක් ගෙන්වා ගනු ලැබිය.මේ තැනැත්තියගේ රාජවංශය පිළිබඳව ඇතැමෙක් සැක පහළ කරති.සමහරෙක් පවසනුයේ මෙකල මදුරාපුරයෙ රජකළ විජය රංග චෝක්කනාථ මේ විවාහ යෝජනාවට එකහෙලා විරුද්ධ වූ බවයි.මේ නිසා උඩරට රාජ දුතයින්ට නායක්කාර්  රජ පෙළපතට දුරින් නෑකම් කියන්නාවූ තැනැත්තියක් තෝරගැනිමට සිදු වූ බව කියවේ.නරේන්ද්‍රසිංහ රජුගෙන් පසුව ඔහුගේ අගමෙහෙසියගේ සොහොයුරා  ශ්‍රී විජය රාජසිංහ නමින් රජ විය.මේ ආකරයට රජකු බලයට පත්වුණු පළමු වතාව මෙය විය.ශ්‍රී අභිනව රජ පෙළපත 1815 දි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් විය.නායක්කාර් රජවරු බුදුදහමට නිසි තැන ලබාදුන් පිරිසක් වුහ නමුත් සිංහල රදලයින් හා රජු අතරේ අමනාපකම් නොපැවතුනේ නොවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බුදු දහම නොතකා අත්තනොමතිකව ක්‍රියාකළ බැවින් රජු හා රදළයින් අතර මතභේද ඇතිවිය.1815 දි ඉංග්‍රීසීන්ට රාජධානිය පහසුවෙන් යටත් කරගත හැකිවුයේ මේ හේතුවෙනි.
Read more »

වට්ටාරම- ශ්‍රී අරහත්ත මලියදේව රජමහ විහාරය

0 comments

කෑගල්ලේ සිට පොල්ගහවෙල මාර්ගයේ සැතපුම් 4 1/2ක් ගියවිට් වට්ටාරම- ශ්‍රී  අරහත්ත මලියදේව රජමහ විහාරය හමුවෙයි.මහඔය නිම්නයේ වූ  මේ මහා විහාරයේ ආරම්භය දෙවන පෑතිස් රජ (රා.ව.307-267)දවස දක්වා ඈතට් විහිදුන ,එසේම මිහිඳු හිමියන්ගේ ඇසුර ලත් එකකි.එහි බෝධිය අෂ්ඨපල එකක් වීමත් බෝධි වංශකතාවල සඳහන්ව තිබීමත් වැදගත්ය.වට්ටාරමය (පාලි - මණ්ඩලාරාමය,රවුම් ආරාමය ,සිංහල වී අටුව)තුල විශේෂයෙන් කැපී පෙනෙන පුරා වස්තු වන්නේ මලී මහපායයි.ජනප්‍රවාදවල එන පරිදි,වට්ටාරම ඇත්තේ අනුරාධපුරයේ ලෝවාමහාපායයේ කුඩා අනුරුවකි.ගල්ටැම් 5 බැගින් වූ පේලි මත ගොඩනැගුන වට්ටාරම මලිපායේ ඉහල කොටස දැවයෙන් සැදු අතර,ඉහල සිට පහලටරහත් ආදී භික්ෂුන්ට් වෙන් කළ මාල 5ක්වත් අඩු වශයෙන් තිබු බව සිතිය හැකිය.මහානාගගේ මුණුපුරු ගෝඨාභය රා.ව.පු.ශතවර්ෂවල වට්ටාරම ගොඩනැඟූ බව සඳහන් කල හැකිය.පසුව සිරිසඟබෝ සොයුරු ගෝඨාභය රජ(රා.ව.253-266)වට්ටාරම ගොඩනඟා 12000 සංඝායාට් පිදු බව එච්.සී.පී.බෙල් මහතාගේ කෑගලු වාර්තාවේ  සඳහන් කර ඇත්තේ වට්ටාරම විස්තරය නම් පුස්කොල පොත අනුවයි.මේ දෙවන  ගෝඨාභය විනා මුල් ගෝඨාභය නොවේ.



සමිට මලිය දෙව් සැදි තුන් මල්        පාය 
මලිය මහා පාය පස් මහලින්            සෑදිය 
සමිට මලියදෙව් පිදු ඒ කැප              පාය
එයට බමුණු වඩනා නමකුත්             වේය


වර්ෂ 1865 මැනුමේ දී වට්ටාරම සතු ඉඩම් ප්‍රමාණය අක්කර 145ක් බව පෙනේ.මහනුවර කිර්ති ශ්‍රී රාජසිංහ රජ(රා.ව.1746-1779)සමයේ ගොඩනැඟුණු කුඩා විහාරය ,චිත්‍ර ,මකරතොරණ සහ පෙති පිළිමය සහිතව ,දැනුදු දැකගත හැකිය.විශාලතම විහාරය ගොඩනැඟුනේ ඉතා මෑතකදීය.එදා එහි සොලොස්මස්ථානයක් තිබු බව සිංහල බෝධි වංශය ,සුළු බෝධි වංශය ,බෙල් වාර්තාව සහ ජනවහර්ව් එයි .මලිමහපාය ,දකුණු දිග වැඩ සිටින ආවාසය (මලියදෙව් හිමි),උපුල්රාමය ,විපුල්රාමය ,දක්ෂිනාරාමය,පච්චමාරාමය, උත්තරාමය,කපිලාරාමය,පුර්වාරාමය(දාගැබ),ඉසිපතනාරාමය,ජේතවනාරාමය,දෙමටමල් විහාර (දාගැබ),ගල්ටැම් විහාරය (දාගැබ) ,කලුවැල් විහාරය (දාගැබ) සහ සම්මුඛ දේවාලය යනුවෙන් මේවා සඳහන් වේ .අද මේවායින් මඳක් හෝ ඉතිරිව මලිමහපාය,දෙමටමල් විහාර (දාගැබ) සහ විවිධ ගල්කණු ආදිය පමණි.ගොඩපොල ගල්ටැබේ විහාරයේදී ඇත්තේ අනුරාධපුර යුගයේ ගල් ගඩොල් ආදී නටබුන්ය.මේ පෙදෙසට (දෙවාලෙගම්)කතරගම දෙවි වඩින්නට ඇත්තේ දුටුගැමුණු සමයේ වන අතර,ගොවිතැන් ආදී සංවර්ධන වැඩවලට එම දෙවි පිහිට වූ බව ජනකවි අදින් පෙනේ.වට්ටාරමට සම්බන්ධයක් ඇති දෙවනපෑතිස් සහෝදර මහානාග කුමරුගෙන් යටාලතිස්ස,ගෝඨාභය,කාවන්තිස්ස සහ දුටුගැමුණු පිය පුත් පරපුර එයි.වට්ටාරමට විශාල පුනර්ජීවයක් දී ඇත්තේ ගෝඨාභය රජ විසින් බව පෙනේ.එහි වැව් බැඳ ගොවිතැන් දියුණු කර වට්ටාරම ඇගොඩනැගුවේද ඒ රජුයි.පොල්ගහවෙල කරඳන පාලම අසලින් හැරි රඹුක්කන පාරේ සැතපුම් 2ක් පමණ ගිය විට ,පනලියේ  ගෝඨාභය රජ මහා විහාරය ,මහඔය ඉවුරේ පිහිටි ගල්කැටියේ කඳුගැටයේ දී හමු වෙයි.එතැන සිට බලු විට මහඔයේ එගොඩ ඉවුරු අසල පිහිටි මඳක් උස පර්වත බිමක මාරක්වතුරේ නව ගෝඨාභය විහාරය හමුවෙයි.ඉන් මඳක් පහත්  බිමේ ගෝඨාභය මාළිගා සංකීර්ණය දක්නට හැකිය.අද මේ මාළිගා බිම පවා අත්පත් කරගත් ගම්වැසි පිරිස් ඒවා යටකර ගෙවල් සාදා ගෙන ඇති බව සඳහන් කළ යුතුය.වට්ටාරම ගොඩ නඟන යුගයේ කලක් මෙහි නැවතී සිටි අතර ,සියලු කටයුතු නව මහ ඇමති පරාක්‍රමට භාර දී දකුණට ගිය බව සෙල්ලිපි හා ජනකථා ඇසුරින් සිතාගත හැකිය.මේ ඇමතිගේ නම "පරුමක අමත "යනුවෙන් ලෙන්දරමුල්ල ලෙනේ ඇතුලේ ලෙන් විහාරයේ කොටා තිබේ.

එදින පරාක්‍රම නමැති  ඇමතිගේ  
        අතට කෙන්ඩිය                          අරගෙනා 

තුටින පැන්වත් කරම තෙරිඳුට 
       එහැම පුජා කළේ                              මනා

යලින දෙව් බඹ පීති ගොස නද 
       පෑවේ එදවස සිතු                              මෙනා 

එදින මළුවට රුවන් වැස්සක් 
       වැහැපු බව පුජිත                              වෙනා 

මහ මලියදේව හිමි

මහා මලියදේව හිමියන්ගේ ධරමාන කාලය  ගෝඨාභය,කාවන්තිස්ස සහ දුටුගැමුණු (අවුරුදු 100 පමණ වූ)රාජ්‍ය සමයන්ට අයත්ය.ඒ හිමියෝ උපන් ස්ථානය හෝ අපවත් වීම ආදිය  අටුවාවල සඳහන් නැත.ජනවහරේ එන පරිදි මහා බෝධිය ගෙනා ක්ෂත්‍රිය කුමාරවරුන්ගෙන් පැවැත ආ සත් කෝරලයේ උඩපොළ බෝවලපිටියේ "චම්පක  බෝධිගුප්ත දේව"යන අය මේ හිමියන්ගේ පියාය.තම සොයුරියන් දෙදෙනා සමග හැදුනු වැඩුණු කුඩා  මලියදේව පසුව ඇතුගල්පුරයේ ආරාමයකට  ගොස්,මහණව,වට්ටාරමට පැමිණ භාවනා කර ,ඉතා බාල වයසේ දී ම රහත් වූ බව කියවේ.මනෝරථ පුරණි අටුවාවේ  සඳහන් පරිදි හැලමඩ(කලල ගාම ජනපදය-ගොහොරුමඩගම)උපාසක අම්මා පුතේ!පුතේ!යයි කියමින් තුන් මසක් ම එක දිගට දානය දුන්නේ මේ හිමිටයි.ඉක්බිති රහත් වීම සිදු විය.මේ හිමි දනව් සැරිසරා ලක්දිව අස්සක් මුල්ලක් නෑර දහම් ආලෝකය පතුරවමින් 60 පොළක දී 60 බැගින් භික්ෂුන් රහත්භාවයට පැමිණිව්වේය.විශුද්ධි මාර්ගය ,ජාතකට්ඨ කතාව ,ආඬගුත්තර නිකායට්ඨ කතාව සා සඟසරණ ආදී ග්‍රන්ථවල වැඩි විස්තර දැක්වේ.මලියදේව,මහාදේව ,මලියමහාදේව සහ දේව ආදී වශයෙන් මේ හිමි හඳුන්වා ඇත.මලියදේවයන්ගේ විශේෂ හැකියාව වුයේ ඒ ඒ පුද්ගලයාගේ  චරිතලක්ෂණ බලා සුදුසු කමටහනක් ලබා දී භාවනා කරවා රහත්භාවය ලබා දීමයි.කෝට්ටේ සමයේ සිරි රහල් හිමි ලියු (රා.ව.1450)සැළලිහිණි සංදේශයෙහි එන කවියකින් භික්ෂුන් 60 සසරින් ගොඩ වූ බව මෙසේ කියවේ.

ගිලිය නොදී සැට මහණක් බව       මහණ 
මලියදෙව් තෙරිඳු වැඩ හිඳ දෙනු        බණ
දිලිය පස් මහල් පායෙහි මිණි           කිරණ
බැලිය හැකි විනම් දැක වැඳ යා          කලණ  

ධර්ම ප්‍රදීපිකාවේ  එන පරිදි මලියදේව හිමි ලංකාවේ 60 පොළකදී බණ කියා 60 බැගින් 3600 කට රහත් භාවය ලබා දී ඇත්තේය.මේ හිමි රහත් වුයේ ද,අපවත් වුයේ ද වෙසක් පෝ දිනකදීය යයි කියවේ.මලියදේව හිමි අපවත්වූ විට,එම දෙනතම සහෝදරියකට බලා ගැනිමට දෙනගමුවටත් ,නාරම්වලටත් අහසින් වැඩි අතර ,අවසන් කටයුතු කර ඇත්තේ නාරම්වල රජ මහා විහාරයේ දී යයි ප්‍රවාදගතය .දුටුගැමුණු සමයේ විසු රහත් හිමිවරු අට දෙනා පිළිබඳව මහාවංශයේත් (පිට 297)මහාවංශටීකාවේ (පිට 485)සහ සද්ධර්මාලංකාරයේත් (පිට 628)සඳහන්ය.මලියදේව හිමි සහ මලයවාසි මහා සංඛරක්ඛිතහිමි (චෝරකණ්ඩක විහාරවාසී,උඩුකඩ  විහාරවාසී හෙවත් උපරිමණ්ඩල වාසි )ඉහත කී අටදෙනා අතර වෙති.මහා සංඛරක්ඛිතහිමි විසුයේ වට්ටාරමට දකුණු පසින් වූ නාරන්ගල කඳුවැටියට ඈදු කන්දේගෙදර (පහන්කනුව අසල)කුඩා කඳුගැටයේ පිහිටි රවුම් ගල්ලෙන් විහාරයේය.එය,මෑතකදී උපරිමණ්ඩලය වශයෙන් හඳුනාගත් අතර,එම ලෙනේ "පරුමක බමණ" යන කුඩා සෙල්ලිපියද සොයා ගතිමු.මහා සංඛරක්ඛිතහිමි ඉවසීමේ ගුණයට එදා අගතැන්පත් ව සිටි අතර ,වට්ටාරමට විශේෂ සම්බන්ධකම් දැක්වූ ගුරු නමකි.වළගම්බා සමයේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරිමට පෙර වට්ටාරම දී සිදු කල ධර්ම සාකච්ඡාවේ මුලසුන ගත්තේ සංඛරක්ඛිතහිමියන්ගෙන් කමටහන් ගෙන රහත් වූ "මහාතිස්සභුති හිමි "ය.වට්ටාරම කුඩා විහාරය අසල ඇති 9වැනි  10වැනි වර්ෂවල අයත් වන සෙල්ලිපි කියවාගත නොහැකිය. 

වනගුප්ත මලියදේව හිමි

මේ අතර තවත් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කාරණය නම්,"වනගුප්ත (මලියදේව) හිමි" කවුරුන්දැයි  ' සොයා බැලීමයි.බෙල් වාර්තාවේ සඳහන් පරිදි වට්ටාරම් අස්න සහ වට්ටාරමම් විස්තරය යන පුස්කොල ග්‍රන්ථ දෙකේ සඳහන්,එසේම ජනප්‍රවාදයේ ද එන වනගුප්ත හිමියන්ගේ විස්තරය මෙසේය.දඹදිව යෝනකාරාමයේ එක්තරා අන්ධ යුවලකට පුතෙක් ඉපදිණි.අන්ධ මවුපිය දෙදෙනා රැක්කේ මේ පුතු විසිනි.ඔවුන්ගේ ජිවිත අවසානයේ පුතුන් දුන් උපදෙසක් අනුව ඉන් උතුරු දිසාවේ පිහිටි වනාන්තරයක සිටි තාපසතුමා හමු වී මහණ විය.තාපසතුමාගේ අවසාන කාලයෙහි උපදෙසක් අනුව්,දඹරන් පිළිම 7 සහ රත්‍රන් කවර දැමු බණපොත් ද ලබාගෙන,ඉර්ධියෙන් ලංකාවේ මහඔයේ වැලිගොඩපිටියට(පොල්ගහවෙල අසල )වැඩ,පිළිම ආදිය වැලි යට සඟවා ගෝඨාභය මාළිගයට වැඩියේය.එහි,දී තම වෙනුවෙන් තලවතුපිටියේ (වට්ටාරම)විහාරයක් සාදා දෙන ලෙස රජුගෙන් ඉල්ලිය.රජතුමා වැව්ආදෙකක් කණිමින් සිටි හෙයින්, ඒවා 
මඳක් අහවරව ,ඉල්ලීම ඉටු කර දිමට පොරොන්දු වී  ටික කාලයක් තම මාලිගයේ වැඩ සිටින ලෙසට ආරාධනා කළේය.එය පිළිගත් හිමි,කහ නුලක් ඇදී යන ආකාරයට අහසට වැඩ,සක් රජ හමු වී ,අදාළ විහාරස්ථානය සාදා දෙන ලෙසටඉල්ලා ,එය වහා ම සාදවා ගත් අතර ,අදාළ විහාරය ගෝඨාභය රජ ලවා පිදුම් ලැබුවේ 12 දහසක් සංඝයා රැස්කරවාය  වගාතොට  වට්ටාරම(වී අටුව)යලි නිසි පරිදි සාදා එයට "චන්ද්‍රකාන්ති පුරය"යන නම දුන් බව ද සඳහන්ය.ලංකාවේ අන්තිම රහතන් වහන්සේ වශයෙන් ගණන් ගනු ලබන්නේ "වනගුප්ත මලියදේව හිමි"ය.අත්තනගල්ලේ දී අග්ගොකාසිංගය සමාදන්ව අහස පොලව ගුගුරවා රහත් වූ හිමිට පසුව,වනගුප්ත මලියදේව හිමි අපවත් වූ බව අපගේ නිගමනයයි.මේ වන විට බුදු සසුනේ කාලය අවුරුදු 1000 පමණ වෙයි.රාජ බලයේ නිගමනය වී ඇත්තේ ඒ වන විට රහත්භාවය ලෝකයෙන් තුරන් වූ බවයි. වට්ටාරමට ගෙනා පිළිම,බුදුරදුන්ගේ දර සෑයට රජවරුන් පිදු ඔටුනු ආදිය උණු වී සෑයේ සතර කොණින් පහළ වූ ඒවා යයි කියවේ.ඉතා අනර්ඝ හාස්කම් ඇති මේ පිළිම හතර  වනගුප්ත හිමි වට්ටාරම,පුසුල්පිටිය ,මාදන්වල සහ මොරපායේ තැන්පත් කල සඳහන්ය.ඒ බව කොත්මලේ පුරාවෘත්ත ග්‍රන්ථයේ මෙසේ එයි.

ලොවග මුනිරජු පිරිනිවන 
                    රන්දෙනෙහි දඹරන් පිළිම     සුලිදී 

කියග සොඳ මහා මලියදෙව් ඈ 
                           රහත් උතුමන්                   විසු           

බියග දළදා පාදා ද රැකි රන්කොත් ද 
                          රන්පුහුල්                         පහලි 

කියග කොත්මල රටට වැඩි   වෙන 
                           රටක් ඇද්දැයි  මෙලක      සියලි    

වට්ටාරම අවට ලෙන්දර මුල්ල,හැලමඩ.පුහුරිය,පනලිය සහ කොත්මලේ ආදී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ද මහ මලියදේව හිමි වාසය කොට ඇත.එසේම,මාරුක්වතුරේ සහ වට්ටාරම් කන්දේ මාළිගා දෙක ද චන්ද්‍රකාන්ති පුරය ද ප්‍රවේශමෙන් හඳුනා ගත යුතුය.
Read more »

අලවතුර ගනේගොඩ ලෙන් විහාරය

0 comments
කෑගල්ල - බුලත්කොහුපිටිය මහා මාර්ගයේ අලවතුර කඩපිල අසලින් හැරී තරමක් දුර ගිය විට හමුවන 250 කට ආසන්න  පියගැට සංඛ්‍යාව නැඟී  පසු මේ සිත්ගන්නා විහාරය හමුවේ.දකුණු  ඉන්දියාවේ සොලී දේශයේ ධාන්‍ය කටක ප්‍රදේශයේ  කලක් වාසය කළ ධර්මකීර්ති  නම් ලාංකික හිමි නමක් විසින් මේ ලෙන් විහාරය  තනවන ලද බව කියවෙයි.ඒ හිමියෝ  මේ විහාරය පමණක් නොව ගඩලාදෙණිය සහ ලංකාතිලක විහාර කර්මාන්ත  සමගද සම්බන්ධ බව පැහැදිලිය.එම විහාරවල දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්ප සහ කැටයම් කලා ලක්ෂණ ගනේගොඩ ලෙන් විහාරයේ ද දක්නට ලැබේ.

බෙල් සඳහන්  කරන පරිදි  අලවතුර ඇල තරණය අඩි 6-8 තරම් දිග ,1 -2 තරම්  පුළුල්  ශෛලමය පියගැට පෙළක් දිගේ ඉහලට ‍නැඟී කල් හි  මේ අපුරු ස්ථානය දැක ගත හැකිය.පියගැටපෙළ යොමුවන්නේ අඩි 5ක් පමණ උසට ගොඩනන්වන ලද ගලින් තැනු වේදිකාවකටයි.මේ වේදිකාව අවටින් ගල් ස්ථරයෙන් අලංකෘත වූ ආරක්‍ෂිත ප්‍රාකාරයක් තිබු බවට අද ද තැන් තැන් හි දක්නට ඇති සාක්ෂි දරයි.මෙම විහාරය කොටස් 2කට බෙදිය හැක.එනම්,ස්වභාවික ගල් ලෙන ඉදිරියෙන් තනා ඇති ආලින්දය සහිත පෝටිකෝව සහ නියමගල් ලෙන් විහාරයයි.පියගැටපෙළ නැග වේදිකාවට පා තැබූ පසු ඉදිරියෙන් හමුවන පෝටිකෝව,කණු 8ක් බැගින් දෙපසින් සිට වූ ගල් කණු පේලි 2කින් සමන්විතය.හිඳී  බුදු  පිළිමය සහිත ස්වභාවික ඇතුළු  ගල් ලෙනට පිවිසෙන්නේ එම ගල් කණු මත හරස් බාල්ක යොදා තැනුණු ආරුක්කුමය ශාලාවක් තුලිනි.

යාපහුව ගල් කැටයම්වල සමාන ගති ලක්ෂණ පෙන්වන අලංකාර මල්,ලිය හා වාමණ කැටයම්වලින් සරසා ඇති මේ කුළුණු සියල්ලේම මැද කොටසේ ඍජුකෝනාශ්‍ර  රාමුවක් තුල බුදු පිළිම හෝ බෝසත් පිළිම කැටයම් කර තිබීම ද ඉතා පැහැදිලි රේඛාමය ලක්ෂණ හේතු කොට ගෙන දෙනෙතට පහසු දර්ශනීය  ගතියක් පෙන්නුම් කරයි.පිළිම ගෙට ගොඩවන පියගැට දෙපස දක්නා කොරවක් ගල් දෙක විශිෂ්ට ගණයේ ඒවාය.එහි නිරූපණය කොට ඇති  ගජසිංහ කැටයම් ද පෙර කී පිළිම පරිදි ම පිරුණු රේඛාමය  ගති ලක්ෂණ පෙන්වන අගනා කෘතීන්ය.පෝටිකෝවේ ඇතුලත කෙළවර  නැවත වමට සහ දකුණට විහිදෙන ආලින්දයකි.එය ස්වභාවික ගල්ලෙනේ පහලට  සමානව තිබෙන්නටඇත.ස්වභාවික ගල් ලෙන් විහාරය ජලය කාන්දුවීම වැලැක්වීම සඳහා එහි ඉහළ දාරයෙන් බේරන  ලද කටාරමකින් යුක්තය.පිළිම ගෙටඇතුළුවන තැන ගල් උළුවස්සේ ද සිත්ගන්නා කැටයම් කොටා තිබේ.කළු ගලින්ම නෙළන ලද හිඳී පිළිමය වඩාත්ම දක්වන්නේ දක්ෂිණ භාරතීය දේව ලක්ෂණයි.ගඩලාදෙණිය හා ලංකාතිලක  විහාරයන් හි පිලිමවලද මෙමෙ ලක්ෂණ පෙන්නුම් කෙරේ.දෑස්වල දිගටි ස්වරූපය හා ඉදිරියට  නෙරා ඇති ස්වරූපය,සිරස්පත සහ කැරලි සහිත හිසකේ ලක්ෂණ ඊට උදාහරණයි.දෙපා පිහිටුවා ඇති ආකාරය ද අනුරාධපුර පොළොන්නරු ධ්‍යාන ලක්ෂණවලට වඩා පෙන්නුම් කරන්නේ හින්දු යෝගී ස්වභාවයයි.පිබිදුනු නෙලුම් පෙති රටාවක් ආසනය වටා දක්වා ඇත.

1892දි බෙල් මේ ස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේදී ද ගොඩනැගිල්ල ඇතුළු බොහෝ කැටයම් හාගල් ලෙන් වහලයේ චිත්‍ර ද විනාශය මුඛයට යමින් පැවතුන බව පෙනේ.ඔහු හේවිසි මණ්ඩපය යනුවෙන් සඳහන් කරන ඉදිරිපස කොටස දිග අඩි 21 සහ පළල අඩි 16 1/2ලෙසද දක්වයි.ලෙන ඉදිරිපස දිගද ඉහත  දිගටම සමානය.මුළු කෑගලු  දිස්ත්‍රික්කය තුලම තමන්ට හමු වූ ගලින් තනන ලද එකම ලෙන් විහාරය මෙය බවට‍ බෙල් කරන සඳහන සත්‍යකි.මෙහි නිර්මාතෘ  ධර්ම කිර්ති හිමියන් ගම්පල IV බුවනෙකබාහු රජුගේ සම්මානයට පාත්‍ර වූ හිමිනමක් හැටියට සැලකෙන අතර ,එතුමාගේ සමකාලීන දකුණු ඉන්දීය ශෛලය ගැනිමට හේතු වූ බව ද සඳහන් කළ හැකිය.
Read more »

කිරිඇල්ලේ නැදුන් රජමහ විහාරය

0 comments


රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ග්‍රාමයෙහි පිහිටි කබරගල නමින් හැඳින්වෙන මහාපර්වතය පසුබිම් කොට ‍ගත් රමණීය කෙත් යායකින් වටවූ භුමි බාගයක පිහිටි නැදුන් විහාරය වර්තමාන ශ්‍රී ලංකාවේ දස දෙස පතල ඓතිහාසික පුජ්‍යස්ථානයකිමෙහි ඉතිහාස කතාව සීතාවක රාජසිංහ සමය තෙක් ඈතට විහිද යන බව මුලාශ්‍ර හා ජනප්‍රවාද ඇසුරින් පෙනී යයි සීතාවක රාජසිංහ රජු බුදුසමය හැරපියා ශිව ලබ්ධිය වැළඳ සිදුකරන ලද බෞද්ධ විරෝධී ක්‍රියාවලට මුහුණ දීමට නොහැකිවූ භික්‍ෂුහු ක්‍ෂේම ස්ථාන කරා පලා ගියෝය ඇතැම් භික්ෂුන් ක්‍ෂේම ස්ථාන කරා පලා ගියේය දිවි බේරා ගෙන ක්‍ෂේම ස්ථාන කරා පලා ගිය භික්‍ෂුන් පිරිසක් කරඳන -විහාරහේන නමින් දැන් හැඳින්වෙන ඉඩමෙහි තිබෙන ගල් ලෙනට පැමිණ වාසය කල බවට සඳහන් වේ මේ පිළිබඳව ඇති තවත් මතයක් වන්නේ සීතාවක රාජසිංහ රජු රාජ්‍යයෙන් පහකොට වෙනත් පාලකයකුට බලය ලබාදීම සඳහා භික්ෂුන් වහන්සේලා උත්සහ කල බවත් එහිදී කුමන්ත්‍රණය හෙළිවී ගිය පසු එම භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක් සීතාවක ගඟේ කනමැදිරියන්වල නම් ස්ථානයේ ගිල්වා දැමුබවත් සමහරක් භික්ෂුන් බේරී පලාගිය බව සඳහන් වේ මෙකල භික්ෂු ශාසනයයෙන්  උපසම්පදාව අහෝසි වී ගොස් තිබී ඇති අතර මෙහි වාසය කල ඇතැම් භික්ෂුවක් හැඳින්වුණේ ගනින්නැහැ යනුවෙනි කිරිඇල්ලේ නැදුන් රජමහ විහාරස්ථානයට ඍජු සම්බන්ධතා පවත්වන කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේ උපසම්පදාව ලත් මහා තෙර නමක් වුහ උන්වහන්සේට පෙර නැදුන් විහාරයට සම්බන්ධ භික්‍ෂු පරම්පරාව මෙසේය 
  1.  මහගල්ගමුවේ ගනින්නැහැ 
  2. කුඩාගල්ගමුවේ ගනින්නැහැ 
  3. මහා දොරවක ස්ථවිර 
  4. කුඩා දොරවක ස්ථවිර 
  5. ගුණානන්ද ස්ථවිර 
  6. කරඳන දේවරක්ඛිත ස්ථවිර 


කරඳන ගල්ලෙන් විහාරයෙහි භික්‍ෂුන් වහන්සේ වාසය කරද්දී කිරිඇල්ලේ නැදුන් විහාරය නමින් දැනට හැඳින්වෙන විහාර පරිශ්‍රයයෙහි පන්සලක් ඉදිකර තිබු බව ඓතිහාසික ලේඛණවල සඳහන්වේ කිරිඇල්ලේ පන්සල යනුවෙන් එය හැඳින්වේ ඉහත සඳහන් ගුණානන්ද ස්ථවිරයන් වහන්සේ කරඳන දේවරක්ඛිත හිමියන්ගේ ගුරුවරයා වේ දැනට ඇති ප්‍රාථමික මුලාශ්‍ර වලින් හෙළිවන්නේ කරඳන දේවරක්ඛිත හිමියන් කරඳන ගල්ලෙන් විහාරයේත් කිරිඇල්ලේ පන්සලෙත් වැඩ සිටි බවයි දේවරක්ඛිත හිමියන් උසස් ශාස්ත්‍රීය ඥානයක් ලබා සිටිහෙයින් අවශේෂ භික්ෂුන්ගේ ගෞරවය හා සැලකිල්ල උන්වහන්සේට ලැබිණි කරඳන ගල්ලෙන් විහාරයේ වාසය කල ගුණානන්ද ස්වාමින් වහන්සේ එම ලෙන් වෙහෙරත් කිරිඇල්ලේ පන්සලත් දේවරක්ඛිත හිමියන්ටම පවරා දීම මෙසේ දෙතැනම විසීමට මුලික හේතුව විය නැදුන් රජමහ විහාරස්ථානය නමින් අභිනව විහාරයක් කිරිඇල්ලේ ඉදිවීමට මුල් වුයේ කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේ බව ජනශ්‍රැතියේ සඳහන් වෙයි වැලිවිට සරණංකර භික්‍ෂුන් වහන්සේ කල මහනුවර මල්වතු විහාරයේ අනුනායක පදවිය හොබවමින් සිටි රාජගුරු මොරතොට ධම්මක්ඛන්ධ නාහිමියන් හා කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේ හා අතර මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නැගී තිබිණි දෙදෙනාම ධර්ම ශාස්ත්‍රීය ඥානයෙන් උසස් තත්වයක වැජඹීම ඊට එක් හේතුවකි දේවරක්ඛිත නාහිමියන් මොරතොට හිමියන්ට යැවු හසුන් පතක සටහන්ව තිබු අලංකාර අත් අකුරු රජතුමාට දකින්නට ලැබුණි"මටත් මේ අත් අකුරු වලින් බණපොතක් ලියවා ගන්නට ඇත්නම් මැනැවැයි" රජතුමා   මොරතොට නා හිමියන්ට පැවසීය.

කරඳන දේවරක්ඛිත නාහිමියනට රාජ්‍ය අනුග්‍රහයලබා දිමට මේ කදිම අවස්ථාවක්යයි සැලකු මොරතොට ධම්මකන්ද ස්ථිවරයන් වහන්සේ,සිය මිත්‍ර ස්ථිවරපාදයනට මේ පිළිබද විස්තර දන්වා ලිපියක් එවුහ.එහි සඳහන්  කරුණු පිලිගත් දේවරක්ඛිත ස්වාමීන්වහන්සේ අලංකාර අත් අකුරින් මජ්ජිම නිකාය (මැදුම් සඟිය )පුස් කොලයේ ලියා උසස් බණ පොතක් සම්පාදනය කොට මහනුවර මහ වාසලට පිරිනැමුහ.ඒ දැකීමෙන් මහත් සේ ප්‍රසාදයට පත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ,දේවරක්ඛිත හිමියන්ට කවර අන්දමින් ඒ ප්‍රසාදය පළ කරන්නේ දැ යි විමසා සිටියේය.රජුට  අවශ්‍ය වුයේ මේ යතිවරයානන්ට කිසියම් පරිත්‍යාගයක් කිරීමය.ඒ අවස්ථාවේ දේවරක්ඛිත හිමියන් කියා සිටියේ "මියන දළු ටිකක් කඩා ගැනීමට ඉඩම් කැබැල්ලක් ප්‍රමාණවත්"බවය.කළු නදිය අසබඩ දිය සීරාව ඇති ඉඩම්වල මියන ශාක බහුලව වැවේ.කිරිඇල්ලේ පන්සල ආසන්නයේද එ වැනි බිම්පැවතින.දේවරක්ඛිත හිමියන්ගේ ඉල්ලිමට එකග වූ රජු උන්වහන්සේගේ අවශ්‍යතාව ඉටු කිරීම සදහා කටයුතු සම්පාදනය කළේය.එවක මෙහි පරිපාලනය භාරව සිටි රාජකරුණා සෙනෙවිරත්න වාසල අභයකෝන් මුදියන්සේ රාළහාමිගේ අත්සනින් දේවරක්ඛිත හිමියන් වෙත සන්නසක් නිකුත් කැරිණි.අඟල් 12ක් දිග අඟල්1 1/2 ක්  පළල කර කොලයක (ලා තල් කොළය)ලියන ලද මේ සන්නසට පිත්තලෙන්රාමුවක් යොදා තිබේ.පේළි 8බැගින් දෙපිටෙහිම අක්ෂර ලියා තිබේ.මෙම සන්නසේහි සඳහන් ව ඇති මායිම්වලින් වටවූ භුමි ප්‍රමාණය අක්කර 8305කි.මියන කොළ ටිකක් කඩාගැනීමට ප්‍රදානය කැරැනු ඉඩම් කැබැල්ලේ තරම!මෙය උන්වහන්සේට රජුගෙන් ලැබුණු නින්දගමකි.මෙම ප්‍රදානය සිදු කැර ඇත්තේ ශක වර්ෂ 1723 (රා:ව :1801)නවම් මස පුර එකොලොස්වක නම් තිථියලත් සඳු දිනය.

මහා වාසලින් මෙම ප්‍රදානය ලැබීමෙන් ඉක්බිති දේවරක්ඛිත නාහිමියන් කිරිඇල්ලේ පන්සලෙහි අභිනව විහාරයක් ඉදි කිරිමට සැලසුම් සම්පාදනය කෙලෝය.දුම්බර නින්ද ගමෙන් නැදුන් කණු සිටුවා ඊ මත නැදුන් ලීයෙන්ම තට්ටුව සාදා මෙහි ටැම්පිට විහාරයක් ගොඩනන්වනලදී."වැත්තෑවේ"නම් භික්ෂූන් වහන්සේ නමක ලවා මෙහි බුද්ධ ප්‍රතිමාව බඳවන ලද බවත් කිරිඇල්ලේ ඤාණවිමල හිමියෝ සඳහන් කරති.එතෙක් "කිරිඇල්ලේ පන්සල"යනුවෙන් සඳහන් වූ විහාරස්ථානය "නැදුන් විහාරය"යන නම ලැබුවේ දුම්බරින් නැදුන් ලී ගෙන්වා එම ලී භාවිතා කොට අභිනව  විහාරය ගොඩනැංවීමෙන් ඉක්බිතිය.නුවර යුගයේ මේ වැ නි ටැම්පිට විහාර ගොඩනැංවීම සමකාලීන වාස්තු විද්‍යාත්මක කලාවක් විය.එසේ ම,මෙම ප්‍රදේශය ජල ගැල්මකට ලක්වන බැවින් ඉන් ආරක්ෂා වීම සඳහාද මේ ගෘහ නිර්මාණ ක්‍රමය තෝරා ගත්තා විය හැකියි.මෙම සිද්ධි මාලාව සලකන කල,කරඳන ගල්ලෙන් විහාරය නැදුන් විහාරයේ මුලස්ථානය ලෙසත් ,කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේ  එහි ආදී කතෘන් වහන්සේ ලෙසත් ඉතිහාසගත විය යුත්තේය.කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේගෙන් අනතුරුව එහි සංඝ පරම්පරාව මෙසේය.

 01.කරඳන දේවරක්ඛිත හිමි
 02.කුරුවිට ශෝභිත හිමි 
 03.කඩදොර රත්නපාල හිමි
 04.කුරුවිට පඤ්ඤානන්ද හිමි 
 05.හඳපාන්ගොඩ චන්ද්‍රනන්ද හිමි 
 06.හඳපාන්ගොඩ විමල හිමි 
  
මෙහි  විහාරාධිපති පදවිය හොබවන ලද හඳපාන්ගොඩ විමල හිමි ශ්‍රී පාදස්ථානයේ අධිපතිත්වයද  හොබවනලදී.සබරගමු පළාතේ උපප්‍රධාන සංඝ නායක ධුරයද දරන ලද උන්වහන්සේට කිර්ති ශ්‍රී පඥ්ඥානන්ද යන අභිදානයද මල්වතු විහාරය මඟින් ප්‍රදානය කරනු ලබා ඇත්තේය.

නැදුන් විහාරයේ පැරණි ගොඩනැඟිළි

කරඳන දේවරක්ඛිත ස්වාමින් වහන්සේ නැදුන් ලී භාවිතා කොට තැන වූ ටැම්පිට විහාරය දැන් එහි දක්නට
නොලැබේ.එහෙත් මෙම විහාර පරිශ්‍රයේ තිබෙන පැරණිතම ගොඩනැගිල්ල සේ සැලකෙන බුද්ධාලයය පිහිටුවා ඇත්තේ ඒ  ටැම්පිට විහාරය තිබු තැන ම යැයි  විශ්වාස කෙරේ.එම මන්දිරය තුළ දක්නා ලැබෙන හිඳි බුදු පිළිමයත්,ඒ දෙපස පිහිටුවා ඇති විෂ්ණු හා  සමන් දේව ප්‍රතිමා 2 කත් ඒ පැරණි ගොඩනැගිල්ල තුලම නිර්මාණය කරන ලද ප්‍රතිමා ලෙස සලකනු ලැබේ.බුද්ධ ප්‍රතිමාවලටත් ,සමන්,විෂ්ණු දේවරූපවලටත් බිතු සිතුවම්වම්වලටත් හානියක් නොවන පරිදි ටැම්පිට විහාරයට ශෛලමය අත්තිවාරමක් යොදා බිත්ති  ද ප්‍රතිසංස්කරණය කරන ලද යි විශ්වාස හැකිය.බුද්ධ  ප්‍රතිමාවේ නිර්මාණාත්මක ලක්ෂණ නුවර යුගයේ කලා සම්ප්‍රදායය නියෝජනය කරයි.චිත්‍රවලින් නිරූපණය  වන්නේ ද නුවර කලා සම්ප්‍රදායයි.බුද්ධ  ප්‍රතිමාව හා දේව ප්‍රතිමා සහිත මැද පිහිටි කුටිය වටා පිටතින්   බිත්තියක් බැඳ ඒ දෙපස ප්‍රදක්ෂිණා පථයක් නිර්මාණය කොට තිබේ.එම බිත්තිවල වෙස්සන්තර ජාතකය ,විධුර ජාතකය ආදී ජාතක කථාද සිතුවම් කර තිබේ.බුද්ධ  ප්‍රතිමාවේ චීවරයේ  රැළි  මතු කොට ඇත්තේ උන්නත කොට මවන ලද සමාන්තර රේඛාවලිනි.මෙම පැරණි ම බුද්ධාලයයට දකුණු පසින් ඇති අනෙක්  විහාර මන්දිරය මෙයට වඩා විශාලය,මෙයටවඩාඅලුත්ය.එහෙත් ආකෘතිය අතින් එය පැරණි විහාරයට සමානතා දක්වයි.අභිනවයෙන් ගොඩනැන්වුනු තවත් විහාර මන්දිරයක් මේ අසලම වේ.අනෙකුත් ආවස ගෘහ ,දාන ශාලා ,ධර්ම මන්දිර ආදී සියල්ල මෑත කාලින නිර්මාණ වේ.

විශේෂතා

නැදුන් විහාරයේ පැරණි විහාර ගෙයි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම්,බුදු පිළිම වහන්සේ දෙපස සාමාන්‍යයෙන්ඉදි කෙරෙන සැරියුත් ,මුගලන් ප්‍රතිමා වහන්සේලා වෙනුවට විෂ්ණු හා සමන්  දේව රූප ඉදිකැර තිබීමයි.විෂ්ණු දෙවියන් ශාසනාරක්ෂක දෙවියන් නිසාත් සමන් දෙවියන් සබරගමුවට ආවේණික දෙවියන් නිසාත් මෙසේ මේ දෙව් රූ ඉදිකරන්නටඇතැයි සිතිය හැක.තවද මෙහි මකර තොරණ ඉදි කර ඇත්තේ වෙනත් විහාරස්ථානවල මෙන්,බුදු ගෙයට ඇතුළු වන දොරටුවට ඉහළින් නොව,බුදු පිළිමයේ සිරසට ඉහළිනි,ජත්‍රයක් ආකාරයෙනි.මෙම මුල් විහාර ගෙවල් වසර 168ක් තරම් පැරණිය.මැද විහාරයේ ඇඳ තිබු බිතු සිතුවම් දුර්වර්ණ වීම නිසා ඒ මත අලුතින් සිතුවම් ඇඳ ඇත.එසේ වුවද,පැරණි විහාරය වන 1වැනි විහාර මන්දිරයේමහනුවර යුගයට අයත් බිතු සිතුවම් අදත් දක්නට ලැබේ.මෙම පැරණි විහාර මන්දිරය බැතිමතුන්ගේ වන්දනා කටයුතුවලින් ඈත්ව පවතින බව පෙනේ.නැදුන් විහාරයේ කෞතුක  වස්තු අතර විශේෂ තැනක් ගන්නා වස්තුවකි,එහි තැන්පත් කර ඇති ලංකාවේ  විශාලම ඇත් දළ යුගලය .1935දි ලංකාවේ මහා භාරකාර පදවිය ඉසිලු පෝල් ඊ.පීරිස්  මහතා විසින් කැළණියේ ප්‍රසිද්ධ වලව්වකින් මෙම ඇත් දළ යුගල රු.5000/= කට  විහාරස්ථානයට ලබා දීම සඳහා මුලික වී ඇත.උස අඩි 7 අඟල් 7ක් දළ මුල වට‍ ප්‍රමාණය අඟල් 18ක් ද වන මෙම දළ 2 දෙපසින් තැබූ විට අඩ සඳක් සේ  කවකාර ව සිටි.


Read more »

පුරාණ සිංහල කාලමානය

0 comments
පෑ තැටිය

සිංහල ක්‍රමය අනුව දවසකට (හෝරා) පැය 60 ක් වේ.හෝරාවට පැයට ඇත්තේ විනාඩ් හැටකි පුස්කොළ කේන්ද්‍ර වල බොහෝවිට වේලාවක් දක්වා ඇත්තේ මේ ක්‍රමයටයි


  1. යුක්ෂන් අටක් රථරේණු  එකයි 
  2. රථරේණු අටක් වාලාග්‍ර    එකයි 
  3. වාලාග්‍ර අටක් තැටි       එකයි 
  4. තැටි සීයක් ලවම්     එකයි 
  5. ලවම් තිහක් නිමේෂ එකයි 
  6. නිමේෂ දහඅටක් කාෂ්ඨ එකයි 
  7. කාෂ්ඨ එකහමාරක් ගුරු අක්‍ෂර එකයි 
  8. ගුරු අක්‍ෂර දහයක් ස්වාස එකයි 
  9. ස්වාස එකක් කලා එකයි 
  10. කලා තුනක් විනාඩි එකයි 
  11. ක්ෂණ හයක් පැය එකයි
  12. පැය දෙකක් මුහුර්ථ එකයි 
  13. මුහුර්ථ තුනහමාරක් යාම එකයි 
  14. යාම හතරක් දින එකයි 
  15. දින දෙකක් අහෝරාත්‍රී එකයි 
  16. අහෝරාත්‍රී පහළොවක් පක්‍ෂ එකයි 
  17. පක්‍ෂ දෙකක් මාස එකයි 
  18. මාස දෙකක් සෘතු එකයි 
  19. සෘතු තුනක් අයන එකයි 
  20. අයන එකක් වසර එකයි 


පෑ තැටිය

මෙම තැටි ජල බේසමකට දැමු කල පතුලේ ඇති සිදුරකින් තැටියට ජලය කාන්දු වී ක්‍රම ක්‍රමයෙන් තැටිය ජලයෙන් පිරී එය වතුරේ ගිලී යයි එකී තැටිය ජල බේසමට දැමු අවස්ථාවෙ සිට එය ජලයෙන් පිරී ගිලා බැසීමට ගතවන කාලය සිංහල පැය එකකි 



Read more »

කොට්ටිඹුල්වල රජමහ විහාරය

0 comments
අටකලන් කෝරලයේ කඳවෙල් පත්තුවේ මේ විහාරය පිහිටුවා ඇත මෙය වළගම්බා රාජ්‍ය කාලයේ නිර්මාණය වුවක් යයි මතයක් ද ඇත මෙහි වැඩ වාසය කල භික්‍ෂුවක් වළගම්බා රජුගේ සේනා සංවිධානයට සහය දුන් බව ජනප්‍රවාදගතව ඇත මෙහි ඇති ලෙන විශාල එකකි දිග අඩි 120ක් හා පළල අඩි 23කි ගල්ලෙනේ ඉදිරිපස පැරණි කටාරම් ඇත මෙම විහාරය vi පැරකුම්භා ශ්‍රී විජය රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවා ඇත vi වැනි පැරකුම්භා රජු කල කොට්ටිඹුල්වල විහාරයත් සමන් වෙහෙරත් පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනත් අතර සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් සඳහන් වේ සපරගමුව මහ සමන් දේවාලයේ රාජකාරි පිරිත් නිලය පවරා ඇත්තේ ද කොට්ටිඹුල්වල රජමහ විහාරයටය මෙහි වැඩ විසු කොට්ටිඹුල්වල අනෝමදස්සි තෙරුන් විසින් චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා ඇත මෙම අනෝමදස්සි තෙරුන් විසින්ම අරමනපොල විහාරයේ දහතුන් රියනක් පමණ උස ඇති චෛත්‍යක් කරවා ප්‍රතිමා වහන්සේ තුන් නමක් නිමවා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර එහි පින් මහනුවර රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අනුමෝදන් කලවිට මෙම විහාරස්ථානය දෙකටම අක්කර පහළොස්දහසක පමණ ඉඩම් පුජාකර දී ඇති තඹ සන්නසක් ඇත 

මෑත භාගයේ විසු තඹගමුවේ බුද්ධරක්ඛිත තෙරුන් දක්වා සංඝ පරම්පරා 22 ක් පැවතී බව කියති පුරාණයේ මෙම ගල්ගුහාවේ වැඩ විසු විදර්ශක භික්‍ෂුන් සමීපයේ පිහිටි ගල්පාය නගරයට පිඬුසිඟා වැඩිය බවට සඳහන් වේ එයින් මෙම ස්ථානය කලක් භික්‍ෂු විවේක ස්ථානයක් ලෙස පැවති බව පෙනී යයි සබරගමුව පළාතේ ඇති අතිශයින් වැදගත් මෙන්ම දර්ශනීය ලෙන් විහාරයක් ලෙස කලක් පැවති බව විනාශයට පත්ව ඇති නටබුන් වශයෙන් දක්නට ලැබෙන විවිධ සාධකවලින් මනාව සනාථ වේ ලෙන් විහාරය තුල දක්නට හැකි චිත්‍ර ඉතාමත් ඉහල අගයකින් යුක්ත වන අතර නිදන් සොරුන් අතින් වැනසී ගිය ස්ථුප හා පිළිම ද මෙහි වටිනාකම පිළිඹිබු කරනු ලබයි බොහෝ දෙනාගේ දර්ශනයට ලක්වන්නේ මෙම ලෙන් විහාරය පමණක් වුවද අවට හාත්පස වනයෙන් වැසි ගිය ප්‍රදේශය පුරා ඉපැරණි ඉතිහාසයක වගතුග සැඟවී ඇත දුරාතීතයේ පටන් ආසන්නයේ පැවති යයි සලකන සඳගනා රාජධානියේ ශ්‍රී විභූතියේ ප්‍රතිඵලයක් ලෙස කොට්ටිඹුල්වල ද බැබලෙන්නට ඇතැයි සැලකේ ලෙනට ඉහල පර්වතයේ මුදුනේ ද වටිනා පුරාවස්තු රාශියක් විනාශ වෙමින් පවතින අතර වගකිවයුත්තන්ගේ අවධානය යොමුවී කොට්ටිඹුල්වල හාත්පස ඉතිහාසය මතුකොට දැක්වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැක
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine