#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

කොට්ටිඹුල්වල රජමහ විහාරය

0 comments
අටකලන් කෝරලයේ කඳවෙල් පත්තුවේ මේ විහාරය පිහිටුවා ඇත මෙය වළගම්බා රාජ්‍ය කාලයේ නිර්මාණය වුවක් යයි මතයක් ද ඇත මෙහි වැඩ වාසය කල භික්‍ෂුවක් වළගම්බා රජුගේ සේනා සංවිධානයට සහය දුන් බව ජනප්‍රවාදගතව ඇත මෙහි ඇති ලෙන විශාල එකකි දිග අඩි 120ක් හා පළල අඩි 23කි ගල්ලෙනේ ඉදිරිපස පැරණි කටාරම් ඇත මෙම විහාරය vi පැරකුම්භා ශ්‍රී විජය රාජසිංහ හා ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවා ඇත vi වැනි පැරකුම්භා රජු කල කොට්ටිඹුල්වල විහාරයත් සමන් වෙහෙරත් පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනත් අතර සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත් සඳහන් වේ සපරගමුව මහ සමන් දේවාලයේ රාජකාරි පිරිත් නිලය පවරා ඇත්තේ ද කොට්ටිඹුල්වල රජමහ විහාරයටය මෙහි වැඩ විසු කොට්ටිඹුල්වල අනෝමදස්සි තෙරුන් විසින් චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා ඇත මෙම අනෝමදස්සි තෙරුන් විසින්ම අරමනපොල විහාරයේ දහතුන් රියනක් පමණ උස ඇති චෛත්‍යක් කරවා ප්‍රතිමා වහන්සේ තුන් නමක් නිමවා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කර එහි පින් මහනුවර රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට අනුමෝදන් කලවිට මෙම විහාරස්ථානය දෙකටම අක්කර පහළොස්දහසක පමණ ඉඩම් පුජාකර දී ඇති තඹ සන්නසක් ඇත 

මෑත භාගයේ විසු තඹගමුවේ බුද්ධරක්ඛිත තෙරුන් දක්වා සංඝ පරම්පරා 22 ක් පැවතී බව කියති පුරාණයේ මෙම ගල්ගුහාවේ වැඩ විසු විදර්ශක භික්‍ෂුන් සමීපයේ පිහිටි ගල්පාය නගරයට පිඬුසිඟා වැඩිය බවට සඳහන් වේ එයින් මෙම ස්ථානය කලක් භික්‍ෂු විවේක ස්ථානයක් ලෙස පැවති බව පෙනී යයි සබරගමුව පළාතේ ඇති අතිශයින් වැදගත් මෙන්ම දර්ශනීය ලෙන් විහාරයක් ලෙස කලක් පැවති බව විනාශයට පත්ව ඇති නටබුන් වශයෙන් දක්නට ලැබෙන විවිධ සාධකවලින් මනාව සනාථ වේ ලෙන් විහාරය තුල දක්නට හැකි චිත්‍ර ඉතාමත් ඉහල අගයකින් යුක්ත වන අතර නිදන් සොරුන් අතින් වැනසී ගිය ස්ථුප හා පිළිම ද මෙහි වටිනාකම පිළිඹිබු කරනු ලබයි බොහෝ දෙනාගේ දර්ශනයට ලක්වන්නේ මෙම ලෙන් විහාරය පමණක් වුවද අවට හාත්පස වනයෙන් වැසි ගිය ප්‍රදේශය පුරා ඉපැරණි ඉතිහාසයක වගතුග සැඟවී ඇත දුරාතීතයේ පටන් ආසන්නයේ පැවති යයි සලකන සඳගනා රාජධානියේ ශ්‍රී විභූතියේ ප්‍රතිඵලයක් ලෙස කොට්ටිඹුල්වල ද බැබලෙන්නට ඇතැයි සැලකේ ලෙනට ඉහල පර්වතයේ මුදුනේ ද වටිනා පුරාවස්තු රාශියක් විනාශ වෙමින් පවතින අතර වගකිවයුත්තන්ගේ අවධානය යොමුවී කොට්ටිඹුල්වල හාත්පස ඉතිහාසය මතුකොට දැක්වීම යුගයේ අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැක
Read more »

කිරඹ රජමහ විහාරය

0 comments
පැල්මඩුල්ල බලංගොඩ මහා මාර්ගයේ හුණුවල දෙල්ගස් හන්දියෙන් දකුණට හැරී සැතපුම් 1ක් පමණ දුරින් හත්තැල්ල නමැති ගම්මානයෙහි මෙම විහාරය පිහිටා තිබේ සබරගමු පළාතේ පිහිටා ඇති පැරණි ගල්ලෙන් විහාර අතුරින් සුවිශේෂ ස්ථානයක් මෙම විහාරයට හිමිවේ මෙම ගල්ලෙන මතින් ගලා හැලෙන රිදීමය දියදහරාව ආශ්‍රය කොට ගනිමින් මෙම ග්‍රාමයට කිරඹ (කිරි අඹ) යන්න ව්‍යවහාර කෙරුණු බවත් එය මුල් කොට ගනිමින් කිරඹ පුරාන ගල්ලෙන් විහාරය හැඳින්වූ බවත් සඳහන් වේ මෙම සිද්ධස්ථානය ආරම්භයේදීම තැන්පත් කරන ලද කිරිගරුඬ වැනි සුදු පැහැති පාෂාණ වර්ගයකින් නෙලන ලද අඩි 2ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමාව මෙහි විශේෂිත පුජනිය වස්තුවක් වේ ප්‍රතිමාවට සම්බන්ධ වන සේ එකම ගලින් නෙලන ලද මකර තොරණක් ද මෙහි දැකිය හැකිය වසර දෙදහසක් පමණ පැරණි යයි සලකන මෙම ප්‍රතිමා වහන්සේ අනුරාධපුර යුගයේදී මෙම ස්ථානයට ගෙනවිත් තැන්පත් කරන ලදැයි අනුමාන කරති දැවයෙන් නෙලන ලද පසුකාලීන යුගයකට අයත් අඩි 6 ක් පමණ උස හිටිපිළිම වහන්සේලා දෙනමක් ගල්ලෙන තුල තැන්පත්ව ඇත එසේම ශතවර්ෂයකට පමණ පෙර ඉදිකරන ලද අටරියනක් පමණ වෙන සැතපෙන පිළිම වහන්සේ නමක්ද වෙයි මෙම විහාරස්ථානයේ වහලය මත එනම් පිහිටි ගලෙහි අදින ලද චිත්‍ර කාලයාගේ ඇවෑමෙන් විනාශයට ගිය බවක් දැකිය හැකිය 

මෙහි ‍දැකිය හැකි සිතුවම් මෑත භාගයට අයත් යැයි සැලකේ විහාරස්ථානය ආරම්භ කල යුගයේ දී සුදු හඳුන් අරටුවක සන්නසක් කොටා කිරඹ ගම විහාරස්ථානයට පුජා කල බව පැරැණියෝ කියති එම සඳුන් සන්නස බෙහෙතට ගැනීම හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් ක්‍ෂය වූ අතර පසු කලකදී එය වී තුන් ලාහකට විකිනු බව පැරණියන් කියති ලංකාවේ බුද්ධශාසනය පිරිහී ගණින්නාන්සේලාගේ යුගය වන විට වැල්ලාරේ පුස්සදේව නමැති මහළු සාමනේර නමක් විසු බව ලියකියවිලි වල සඳහන්ව ඇත එයට අමතරව සඟපරපුරක් ගැන ප්‍රකාශ කිරීමට කිසිඳු සාක්‍ෂියක් හමු නොවේ කෙසේ නමුදු මෙම විහාරස්ථානය හුදකලාවී කාලයක් පවතින්නට ඇතැයි සිතිය හැක එම කාල පරාසය තුල දී විහාරස්ථානය සතු ගොඩ මඩ ඉඩකඩම් රාශියක් ගිහියන් අතට පත්වී ඇත මෙලෙස වල්බිහි වී තිබු කිරඹ පුරාණ ගල්ලෙන් විහාරය යලි නඟා සිටුවනු ලැබුවේ දාමහන සුමංගල ස්වාමීන් වහන්සේ විසිනි පුජ්‍ය හත්තැල්ලේ පක්ඤානන්ද හිමිපාණන් විහාරාධිපති පදවියට පත්වීමත් සමග ගල්ලෙන ඉදිරිපස තිබු පැරණි ගොඩනැඟිල්ල ඉවත් කර කොන්ක්‍රීට් වහලයක් යොදා නිමකර තිබේ එසේම විහාර මළුවේ උතුරු දෙසින් විෂ්ණු කතරගම සමන් පත්තිණි යන සිව් දේවාල ද සදා වීවෘත කරන ලදී මෙලෙස විහාරස්ථානයේ දියුණුවට මහත් කාර්යභාරයක් ඉටුකළ පක්ඤානන්ද හිමියන්ට සබරගමුව පළාතේ අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන සංඝනායක පදවිය හිමි විය මෙම විහාරස්ථානයට බලවත් අඩුපාඩුවක්ව පැවති ශාරීරික ධාතු අඩංගු චෛත්‍යය විහාර ගල් පර්වතය මත අඩි 35 උසට ගොඩ නංවා ඒ වටා දර්ශනීය පවුරක් ද බැන්දවිමෙන් අංග සම්පුර්ණ කොට ඇත
Read more »

෴උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය෴

3 comments



රත්නපුර දිස්තිරික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි උග්ගල් අළුත්නුවර කතරගම දේවාලය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.අක්කර 10 ක් වු මනරම් භූමි භාගයක තුන්මහල් ප්‍රාකාර මත පිහිටි මලුවේ නටබුන්ව ඇති ටැම්පිට විහාරයත්, දාගැබත්,බෝධින්වහන්සේත්,කඳසුරිදුගේ දෙවොලත් ඒ හා සම්බන්ධ දන්,මුළුතැන් ගෙවල් හා ගබඩා ගෙවල් ද වේ.ප්‍රාසාදය සිව් දෙසට සතර වාහල් දොරටු කරවා,අගනා වාස්තු විද්‍යාත්මක නිර්මාණයන්ගෙන් සමන්විත දේවාල භූමිය සතර වීදියකින් යුක්ත වන අතර,දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අභියස පත්තිනි දේවාලය පිහිටා ඇත.ඊට අමතරව, දේවාලයේ ප්‍රධාන මුරගල අසලින් ගණ දෙවි කෝවිලද එයට ආසන්නයේම ඉපැරණි කොස් රූප්පයද පිහිටා ඇත.පත්තිනිකෝවිල සහ වල්ලි අම්මා කෝවිල සිංහාසන වීදියේ පිහිටා තිබේ.ඓතිහාසික වටිනාකමකින් යුක්ත මෙම කතරගම දේවාලයේ ආරම්භය ශක වර්ෂ 1304 තරම් ඈතට දිව යයි.ගම්පල රාජධානිය පැවති එම වකවානුව,කතරගම දෙවියන් කෙරේ ජන සමාජය තුල තිබු ආගමික විශ්වාසය වර්ධනීය වූ යුගයක් ලෙස හඳුන්වා දිය හැකිය.එම යුගයේ මෙම දේවාලය ආරම්භ වූ බවට කතා පුවතක් දේවාලය සතු පැරණිම ලිඛිත සාක්ෂිය වන "මැදගම සන්නස" හෙවත් පැරණි ලේඛම් මිටියේ දැකවෙයි.

ශක වර්ෂ 1304 වනවිට  මෙම ප්‍රදේශය "මැදගම් නුවර"ලෙස හඳුන්වා ඇත.භාරතයේ මධ්‍ය දේශයෙන් පැමිණ මෙහි පදිංචි ව සිටි "සංඝනාථ" නම් වූ බ්‍රහ්මණයාට කඳසුරිදුන්ගේ හස්තයෙන් ස්වර්ණායුධයක් පහල වන අයුරු සිහිනෙන් පෙනී ඇත.පසුදා අළුයම වැව්තාවුලට පැන් ස්නානය පිණිස  පැමිණි මෙම බ්‍රහ්මණයා පෙර දින සිහිනෙන් දුටු ස්වර්ණායුධය අන්දර ගසක වැඩ සිටින අ යුරු දැක තිබේ.එතනින් නික්ම ගිය ඔහු,මේ බව ඔහුගේ සහෝදරයා වන මංගලනාථටත් නාගර දේවී,පරවර දාස,මැදගම බණ්ඩාර ,වන්නිරාළ,බඩහැලවන්නියා,කදිරසිංගා යන අයටත් දන්වා,ඔවුන් සමඟ ස්වර්ණායුධය වැඩ සිටින අන්දර ගස ලඟට ඇවිත් බලා,සත දිනක් පුද පූජා පවත්වා ඇත.සත්වන දිනට පහන් වූ රාත්‍රියේ දී සංඝනාථ බ්‍රහ්මණයාට එම ස්ථානයට නුදුරින් පිහිටි"ගැටනෙටුල ගස" නම් වූ ගල්ලෙනට දේවාභරණය වැඩම කරවන ලෙස සිහිනෙන් පෙනී ඇත.පසුව උත්සවාකාරයෙන් එම ගල්ලෙනට  ස්වර්ණායුධය වැඩම්මවා පුද පූජා පවත්වා ඇත.මෙම ගල්ලෙන අද ද දේවාලයට නුදුරින් පිහිටා තිබේ.මෙසේ පුද පූජා පැවැත්වෙන අතරතුර,මෙම ඓශ්චර්යමත් සිදුවීම් එතෙරවා කෝරළයේ සේනාව සමඟ ගොස් සූර්ය්‍යවංශික පරාක්‍රමබාහු රජුට සැල කරන ලදුව,එම රජුද සිව්රඟ සේනාවන් සමඟ මෙම ස්ථානයට  පැමිණ ගල්ලෙනෙහි තැන්පත් කර තිබු ස්වර්ණායුධය දෙස කඩතිර මෑත් කර බලද්දී,එහි තේජානුභාවය දැක මහත් බැතිබර වූ රජු,මැදගම්නුවර තාවකාලිකව රාජධානියක් සකසා රාජ්‍ය අනුග්‍රහය යටතේ දේවාලය ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.එය රන්කොත් 9කින් යුක්ත අලංකාර දේව ගෘහයක් වූ අතර,ගල්ලෙනහි තැන්පත් කර තිබු ස්වර්ණායුධය මෙම දේවාලේ තැන්පත් කරන ලදී. 

ඉන්පසු මැදගම් බණ්ඩාරගේ ගමෙනුත් ගැට්ටපාන ගමෙනුත් වන්නිරාලගේ ගමෙනුත් අමුණු17ක් මඩ බිම අඳවා ,දන්මුළුතන් පවරනු පිණිස ඉඩම් පූජා කර තේවාවන් කිරීම සඳහා රාජකාරි කිරීමට කරදිමල්නාරච්චිරාළ,තටුකොලක පොන්නමල්නාච්චිරාළ හා පොල්බොක්කේ අරුමක්කා ද,දේවාලයට පඬුල්ලා ඇත.මීට අමතරව රංගනාථ,මංගලනාථ යන බ්‍රහ්මණයෝ ද නාගර දේවී,වල්ලි දේවී යන දෙදෙනාද දේවාලයේ තේවාවන් කිරීමට‍ පත් කරන ලදී.දේවාලයේ ලේකම් මිටිය අනුව වර්තමානයේ දක්නට ලැබෙන දේවාලය ඉහතින් සදහන් කළ පැරකුම් රජුගේ ඇවෑමෙන් වසර 200කට පසු ඉදිකිරීමට ද මුල්  වී  ඇත්තේ පස්වන පැරකුම්බා රජුගේ 3න්වන මුණුපුරා වන "යාපා මහා රජු"ය.යාපා මහා රජු සීතාවක රාජසිංහ රජු සමඟ අවස්ථා කීපයකදීම  යුධ වැදුණු නමුදු,රජුගේ සේනාවට දැඩි ලෙස ජීවිත හානි සිදු විය.මේ පිළිබද ව මහත් කම්පාවට පත් යාපා මහා රජු,සීතාවක රජු සමඟ නැවතත් යුද්ධයට යන අතරතුර දී මෙම දේවාල භූමියේ ඇති කොස් ගසක පඬුරක් ගැට ගසා මෙවර මාහට ජයක් ලැබෙන්නේ නම්,කඳසුරිදුන් සඳහා අළුත් දේවාලයක් ඉදිකරනවා යැයි භාර වී ගොස්,සීතාවක රාජු සමඟ යුධ වැදී එයින් දිනා ඇත.පසුව,හුණුවල වෙල්යාය මැදින් ගලා යන ඇල අසලට ගොස්,සීතාවක රජු එතැනට ගෙන්වා,තම අත තිබු පේරස්  මුද්ද අම ඇලට දමා,එම ඇල "පේරස්   ඇල"නමින් නම්  කොට,ඇලෙන් බටහිර කොටස සීතාවකත් නැගෙනහිර කොටස යාපා මහා රජුත් අයිති වන සේ ගිවිසුමකට එළඹ ඇත.

රජු ඉතා සතුටින් තම මාලිගාව කරා ගමන ගත අතර,තමන් භාරයක් වූ බව මතකයෙන් ඉවත්ව තිබුණි.එම ගමන අතරතුර විල්බා අඩවියේදී උගුරේ සෑදුනු ගෙඩියක් හේතුවෙන් රජු අපහසුතාවයට ලක් විය.එ පිළිබද පෙර මැදගම් නුවර දී භාරය අමතක වූ බව වල්ලභයන් විසින් පවසන ලදී.එකෙනෙහිම රජු,මයුර වාහන කොඩිය සිටුවා අලුත්නුවර දේවාලය උදෙසා පුජා වශයෙන් ගම් බිම් පුජා කල අතර ,එවිට‍ ක්‍රමයෙන් උගුරේ ඇතිව තිබු ගෙඩිය සමනයට පත් විය.මෙහිදී පුදන ලද ගම උගුරේ ගෙඩිය සුව වූ  බැවින්,"සොරගුණය " ලෙස හඳුන්වන ලදී.ඉන්පසුව පිලිවෙලින්  කොස් ගාමින් ගමක් පුදවා,මල්පේ දොළහ අමුණ පුදවමින්,නැදුන්ගමුව කලවල්පේ  පුදවමින් මෙගොඩ හත්බාගෙන් කිංචිගුණේ,පීලිපොත,වරකවෙල,තුම්භාගේ පුදවමින් උඩවෙල පනස් පන් අමුණේ හරිය පුදවමින්,දේවාලය තෙක් "මුත්තෙට්ටුවේ භූමි භාගේ "යයි ප්‍රසිද්ධ කර,ප්‍රථමයෙන් ඉදිකර තිබු මැදගම  දේවාලයට නුදුරුව මාලගාගොඩ වැඩ හිද ,දෙවියන්වහන්සේට  නුවර කරන්නට ගොඩැලි ක් පේ කරන ලදී.

ඉන්පසුව,දේවාලයේ 18ක් තේවාව සිද්ධ කරනු ලබන පිණිස,නාහල්ලේ කිරිඅම්මා හාමිප්පුහාමිවරු 4නෙක්,යාපා  රජුන්ට නෑකමට පැමිණි සිටි 7 දෙනාගෙන් 2 නෙක්,කපුබත්වඩන නිල දෙකක්,මෙම දෙවැන්නට දෙමින් පඬුල්ලා,කපුබත් පිසින නිල 4ක් පවත්වා,නවරත්න ‍ගණිතයාට කුඹුරු හේනයාට පඬුල්ලා මුළු ඉලංගන්කාර දෙදෙනෙක්ද ,සිංගක්කාරයෝ 10ක් ද,දල බත්බැලයෝ12 ක් ද,බඩහැලයෝ 02ක් ද,උළුවැන්නපු ආචාරියෝ 02 ක් ද,කුලතොවිල්කාරයෝ 5ක් ද,දේවාලයේ තේවාව ඇතුළුව මුරපාඨ ලවමින් වලේබඩ,පල්ලෙකන්ද ,දියයින්න  නින්දගම් 09ක් අඳවා,පොල්ලමුරේ ගම ඇතුළු 48ක් පිදවිලි පුදවා දෙවියන් උදෙසා සෑම මසකම ඇසල මාසයේ නැකත් සාදවා,පෙරහැර හා දිය කැපීමේ මංගල්‍යය නිම කර,දෙවිඳුන්ට පුජෝපහාර පවත්වන ලදී. මෙම දේවාලයේ විකාශනය පිළිබද ලිඛිත සාක්ෂිය වන මැදගම සන්නසේ හෙවත් ලේකම් මිටියේ සඳහන් පුරාවෘත්තයට අමතරව,ජනශුත්‍රියේ  තවත් මතයක් ඇත.බුදුරජාණන්වහන්සේ කතරගම ශුද්ධ භුමියට වැඩම කරවීමේදී මුල් වූ අය අතර,එවකට  ප්‍රදේශීය පාලකයෙකු වූ සපුමල්  බණ්ඩාර (සුමන සමන් දෙවිඳු)මුල් වී ඇති බවත් එම වඩින ගමනේ දී මැදගම් නුවර මෙම  දේවාලයට ආසන්නයේ පිහිටි විලක් අසලට වැඩම කොට අපගේ දෙලොව අභිවෘද්ධිය  හා අප කෙරෙහි ඇති වූ මහත් කරුණාවෙන් මෙම විලෙන් ද හස්ත පාදයන් හා මුව දෝවනය  කොට වදාරණ ලදී.එතැන් පටන් මෙම විල "බුදුන්ගේ විල"නමින් හැදින්  වූ නමුදු,පසුකාලීනව "බුදුන්නේ වෙල"යයි පරිවර්තනය විය.අද ද මෙම ප්‍රදේශයේ පැරණි බෞද්ධ නටබුන් සහිත ඉපැරණි  වෙල් යායක් තිබේ.මෙසේ ආරම්භ වූ දේවාලය විවිධ රජවරුන්ගේ පුද සත්කාරයන්ට  ලක් වී ඇති අතර,ඇතැම් ප්‍රදේශීය  රජවරුන්ගේ  මෙම දේවාලයේ ඉඩකඩම් හා දේපල ඇනැත දේවාලවලට අයිති වී ඇත.උදාහරණයක් ලෙස ,එවකට  පැවති ගමන් දුෂ්කරතා හේතුවෙන් දේශීය පාලකයන් කතරගම දෙවියන් ඇදහීම සඳහා මෙම දේවාලයට රාජකාරි කල අය ආරම්භ කර එම දේවාලවලට මෙම දේවාලයේ පිදවිලිගම් පුජා කර ඇති බව දක්නට පුළුවන.

මායාදුන්නේ රජතුමා මෙම දේවාලයේ අනුහස්  දැක තමාගේ රාජධානිය ‍ලෙසද මැදගම තෝරා ගත බව ලිඛිත සාක්ෂි වේ.පසුව මෙම  ප්‍රදේශය විදේශ ආක්‍රමණිකයන්ගේ බලපෑම්වලට ද නතු වී ඇත.විශේෂයෙන් පෘතුගීසි සමයේ දී "කොන්තන්තීනු ද සා "ගේ යුධ හමුදාව විසින් මැදගම් නුවර පිහිටි අළුත්නුවර ගින්නෙන් විනාශ කල ද,මෙම දේවාලයට කිසිදු හානියක් සිදු නොවුයේ මෙම දෙවියන්ගේ හාස්කමක් නිසා යැයි විශ්වාස කෙරේ.පෘතුගීසින්ගේ   සමයේ රාජකාරි බොහොමයක් සහ රාජකාරිවරුන්ගේ ඉඩකඩම් ද වෙනස්වීම්වලට ලක් වී තිබේ.රා.ව.1622දී පෘතුගීසින් විසින් සකස් කරන ලද ඉඩම් ලේඛන වන "තෝම්බුව"සහ "පෝරාලය "සකස් කිරීමේ දී,බොහෝ ඉඩම්  අන්සතු වූ බව පෙනෙන්නට තිබේ.පෘතුගීසින්ගෙන් ද මෙම  දේවාලයට විවිධ වූ බලපෑම් එල්ල විය.රා.ව.1796 දී ලංකාව බ්‍රිතාන්‍ය සතුවීමත් සමඟ පැරණි බොහෝ නිල රාජකාරීවරුන් ක්‍රිස්තියානි වැළඳගත් බවද සඳහන්වේ.කෙසේ වුවද,පැරණි රජදරුවන්ගේ පටන් පැවතී රාජකාරි අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා 1870 අංක 4 දරණ සේවා භුක්ති ආඥා පනතට අනුව මෙම දේවාල ඉඩම් "මුත්තෙට්ටුව සහ"නිලපංගු"වශයෙන් කොටස්  දෙකකට බෙදන ලද අතර ,නිලපංගු නැවතත් "පරවේණි පංගු "හා "මාරු වෙන පංගු"වශයෙන් කොටස් දෙකකට බෙදන ලදී.18 වන සියවසේ පටන් මෙම දේවාලයේ බොහෝ ඉඩම් අන් අයට විකුණමින් රාජකාරිවලින් දුරස්වන ස්වභාවයක් දක්නට පුළුවන එසේ වුවත්,මේ වන විට බොහෝ රාජකාරි නැවතත් පටන් ගෙන ඇත .                    
     
෴අවුරුදු කාර්ති මංගල්‍යය෴   

පැරණි චාරීත්‍රානුකූලව ගණිත පංගුවෙන් නැකත් සාදන අතර ,පෙරහැර ආරම්භ කරන දිනය පිළිබද ඒ ඒ ප්‍රවේණි  ගම්වල රාජකාරීවරුවන් ප්‍රථමයෙන් දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.පුරාණයේ මේ සඳහා අඬබෙර ගැසීම සිදු කළත් අද සිදුවන්නේ ඒ ඒ ගම්වල දැන්වීම් ආරම්භයට පෙර විශේෂ රාජකාරි කිහිපයක් සිදු වේ.ඒවා අතර පහත සඳහන් රාජකාරී  ඇත. 

(01.) පුරප්පට්ටුව:පෙරහැර ආරම්භ වන දින අළුයම  පුරප්පට්ටුව වාදනය කරයි.මෙවිට‍ දේවාලය පිරිසිදු කිරීමට‍ අවශ්‍ය සියලු රාජකාරීවරුවන් දේවාලයට පැමිණ දේවාලය පිරිසිදු කරයි.

(02.) බඩහැල පංගුවෙන් පැමිණීම :මෙම ප්‍රවේණි නිලකරුවෝ පෙරහරට අත්‍යවශ්‍ය වූ වලං වර්ග කිහිපයක් රැගෙනවිත් ඒ ඒ නිලවලට භාරදීම සිදු කරයි.මෙහි වැදගත් භාණ්ඩයක් නම්,"පදලන කොරහ"නම වූ විශේෂිත වලං  භාණ්ඩයක් විදානේ අතින් ගණිත පංගුවට භාර දීමයි.පුරාණයේ සිට අදත් නැකත් බලන්නේ පෑ තැටියෙන් වෙලාව බැලිමට වතුර බහාලන    අවශ්‍ය කොරහ"පෑලන කොරහ"නම වේ.

(03.) හානිදා දොරේ  ගැසී:නැකතට පැයකට පමණ පෙර  සිංහලක්කාරයින් සය දෙනා විසින් "හානිදා දොරේ "නම් විශේෂි වූ දවුල් වාදනය කරනු ලබයි.

(04.) දී වඩන් තේවය:පෙරහැර බැසීමට විනාඩි 7කට පෙර පැරණි චාරිත්‍ර ගණනාවක් ඉටුකරමින් මුළුතැන් රාළ විසින් මහ මාලිගාවට පැන් වැඩමවීම සිදු කරනු ලබයි.මෙම පැන් කෙණ්ඩිය දේව මන්දිරයේ තැන්පත් කළ පසුව පෙරහැර බැසීමට  අවසර ලැබේ.                                      
      
෴ වාහල් බෙරේ ගැසීම෴

තොටුපල පංගුවෙන් දේවාල මහා දොරකොඩ පහළ කට්ටලයේ සිට "වහල් බෙරේ"නම් වූ දවුල් වාදනය සිදුකරනු ලබයි.                       
     
෴දෝලාව තේවය කිරීම ෴

වහල් බෙරය ගසන අතරතුරදී සියලුම රාජකාරීවරුවන් ඉතාම ගෞරවාන්විත දෙවියන් වහන්සේ දෝලාවට වැඩම කරවීමට පෙර කළ යුතු සියලුම රාජකාරි ඉටුකරන අතර,ප්‍රධාන කපුමහත්තයගේ සිරස මතින් දෙවිහාමුදුරුවන් දෝලාවට වැඩම වීම කරනු ලැබේ.ඉන් පසුව  පෙරහැර පංචතූර්ය නාද මැද්දේ විහාර මළුවේ චෛත්‍යය ඉදිරිපිටට ගමන් කරයි.                                 
     
෴  පත්තිනි කෝවිලේ පෙරහැර පිටත්වීම෴ 

දෙවියන් වහන්සේ  විහාර  මළුවේ වැඩ සිටින විට පත්තිනි කෝවිලේ පෙරහැර  කෝවිල වටා  ගමන කොට නැවත මාලිගාවට  ගෙවදිමින්  පුජෝපහාර දක්වයි.     
     

෴කපු නැටවීම෴

දෙවියන් වහන්සේ  චෛත්‍යය මළුවට  වැඩම කළ පසු  පත්තිනි පෙරහැර අවසන්වනතුරු සුවිශේෂ වූ නර්තනයන් කීපයක් රග දක්වමින්  දෙවියන් වහන්සේට පුජෝපහාර දක්වයි.එහිදී ප්‍රථමයෙන් සිදුවන්නේ කඳ සුරිදුන්ගේ බල පරාක්‍රමය හගවමින් කවි ගායනා කිරීමයි.මේවා "යහන කවි"ලෙසද හඳුන්වයි.          
   

෴නයි අඩි නැටවීම෴

කපු නැටුම අවසන් වූ පසු නයි අඩිකාර පංගුවේ 4දෙනෙකු විසින් දෙවියන් වැඩ හිඳින දෝලාව ඉදිරියේ නර්තනය නයි අඩි නර්තනයයි.                     
  

෴කෝලං නැටීම෴

නයි අඩි නැටීම අවසන් වූ පසු කෝලං මුණු බැඳගත් දෙදෙනෙකු විසින් කෝලං නැටුම නම් නර්තනය ඉදිරිපත් කරනු ලබයි.මේ සෑම නර්තනයකින් ම අදහස් කරන්නේ දෙවියන්ගේ තේජෝ බල පරාක්‍රමයත් ඒ බල පරාක්‍රමයේ මහිමයෙන් කරදර දුරු කරන ලෙසත්ය.මෙම රංගනයන් සහ වාදනයන් මෙම දේවාලයට පමණක් අවේණික විම විශේෂත්වයකි.එමෙන් ම,මෙම රංගනවල සහ වාදනවල ශෛලිය සබරගමු නර්තන තාලයන්ට අයත් වීම ද  විශේෂත්වයකි.රංගනයන් අවසන් වූ පසු,පෙරහැර  ගමන් ආරම්භ වී,පංචතූර්ය නාද මැද්දේ ,දේවාලයට ඇතුළු වන දොරටුව අභියසදී සිදුවන රාජකාරී කීපයකින් අනතුරුව දේවාලයට ඇතුළු වී,මහ දේවාලයේ දොරකඩ අභියස දී ප්‍රධාන කපු මහතාගේ සිරස මතින් දේවාභරණ මහා මාළිගයට වැඩමවීම කරනු ලැබේ.

   
෴දිග්ගේ නැටීම෴


"මානික්ක පංගුවේ"ස්ත්‍රීන් විසින් මෙම නර්තනය ඉදිරිපත් කරන අතර ,"මොට්ටුක්කාර පංගුවෙන්"දවුල් ගැසීමත් "මල්වර  පංගුවෙන්" තාලං ගසමින් කවි කීමත් සිදු කෙරේ.දැනට මේ දේවාලයේ දිග්ගේ නැටුම් රංගන විලාශය වන්නේ"හස්ත නැටුමේ මනරබා සම්ප්‍රදායට අයත් දිග්ගේ නැටීම "යි.

  ෴ මංගලම් කවි කීම෴


දිග්ගේ නැටුම අවසන් වූ පසු කඳ සුරිදුන්ගේ තේජෝ බල පරාක්‍රමයත් දෙවියන්ට ආවැඩිමත් සියලු දෙනාට පිහිට අයදීමත් මෙම මංගල්‍ය කවි කීමෙන් බලාපොරොත්තු වේ .මෙම මංගලම් කවි පිරිමි පක්ෂය විසින්  ගායනා කෙරෙයි.


෴ආලත්ති බෑම෴


මංගලම් කවිවලින් පසු ආලත්ති බෑම සිදු කරනු ලැබේ.සිංහල කවිකාරයන් හේවිසි වාදනය කරන තුරු හක්කාරයා විසින් හැක පිඹින විට ,ආලත්ති  අම්මලා විසින් ආලත්ති බෑමෙන් සිදු කරනු ලබන්නේ පැරණි චාරිත්‍රානුකුලව මහ මාලිගාවේ දොරකඩ සිට පහන් තිර පත්තු කර ගත් මණ්ඩා දෑතින් ගෙන රංගනයක යෙදීමයි.මෙය "ආලත්ති බෑම "නම් වන අතර,"අහර්තලාව"නම් වූ සුවිශේෂ ස්ථානයට ද ආලත්ති බෑම සිදු කරනු ලබයි.ඉන් පසු ආලත්ති  අම්මලා බුදුන් වැඳ,මණ්ඩා හතර මාලිගාවේ දොරටුව අසල තබා ,එම රාජකාරිය අවසන් කරයි.


෴පස්පැනියෙන් මුරුතැන් බෑම෴ 


රාජකාරිකරුවන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පංචතූර්ය නාද මැද්දේ මුරුතැන් රාළ විසින් දන් කදත් පසුව පැන් කෙණ්ඩියත් දෙවියන්ට පුජා කිරීම කරනු ලබයි මෙවිට‍ ගණිත පංගුවෙන් මහ දොරකඩ පොල් ගෙඩියක් බිඳියි එය ගණ දෙවියන්ට කරන පුජාවක් ලෙස සලකයි මුරුතැන් දෙවියන්ට පුජා කල පසු කපු මහතා විසින් නිලකරුවන් කීප දෙනෙකුට පමණක් පස්පැනිත මුරුතැන් ගෙනත් දෙයි 

෴නීලමුරුතැන් බෑම෴ 

පස්පැනිත මුරුතැන් බෑමෙන් අනතුරුව නීල මුරුතැන් බෑම ආරම්භ කරනු ලබයි පස්පැනිතේ මුරුතැන් බෑම සිදුවූ ආකාරයටම නිල මුරුතැන් බෑම ද සිදුවේ දෙවියන්ට මුරුතැන් පුජා කල පසු කපු මහතා විසින් රැස්ව සිටි සැමටත් මේවා අනුභව කිරීමට‍ බෙදා දෙනු ලබති සෑම කෙනෙක්ම මහත් ගෞරවාන්විතව දෑතින් ගෙන මේවා අනුභව කරන අතර ස්වල්පයක් හෝ නිවෙස් වල සිටින අයට ද ගෙන යති මේවා අනුභවයෙන් ලෙඩ රෝග සුවපත් වන බව විශ්වාස කරනු ලබයි මෙයින් පෙරහැර රාජකාරිය අවසන්වේ පළමුවන දිනයට වඩා දෙවන දිනයේදී මහා මාලිගාවට පිරිත් නිලයේ හාමුදුරුවරුන් වඩම්මවා පිරිත් සජ්ඣායනා පවත්වනු ලබයි පස්පැනියෙන් මුරුතැන් බාන්නේ පළමු දිනයේ සහ අවසාන දිනයේ පමණි 

෴ඇසළ කාර්ති මංගල්‍යය෴ 


අවුරුදු කාර්තියේ මෙන්ම නැකත් සාදවා පැරණි චාරිත්‍රානුකූලව කප් සිටුවා තුන්මසක් යාමට පෙර ඇසල පුජෝත්සවය අවසාන කරයි දින 15 මුළුල්ලේ මෙම ඇසල පුජෝත්සවය පැවැත්වේ මෙහිදී පැවැත්වෙන පුජෝත්සවය දින 5න් 5ට නම් තුනකින් හඳුන්වයි සෑම වසරකම අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී මෙම උත්සවය පැවැත්වේ 


  1. මළුවේ පෙරහැර (කුඹල් පෙරහැර)
  2. දෙවේලේ පෙරහැර (වීදි පෙරහැර )
  3. මහ පෙරහැර 


෴මළුවේ පෙරහැර ෴ (කුඹල් පෙරහැර) දින 5

අවුරුදු කාර්ති මංගල්‍යයේ මෙන්ම මෙම දින පහේම චාරිත්‍ර විධි එකම විධියට ඉටු කරනු ලබයි 


෴දෙවේලේ පෙරහැර෴ (වීදි පෙරහැර )දින 5


සතර වීදියේ පෙරහැර ගමන් කරන බැවින් වීදි පෙරහැර ලෙසත් දිනකට පෙරහැර දෙකක් ගමන් ගමන් කරන නිසා දෙවේලේ පෙරහැර ලෙසත් මෙය හඳුන්වනු ලබයි මහ මළුවේ පෙරහැර ගමන් කළ ආකාරයට සතර වීදියේ ද පෙරහැර ගමන් කරනු ලබයි ඒ ඒ වීදිවල දී ස්ත්‍රී දවුල් වාදනයක් කෙරෙන අතර ගණ දෙවි කෝවිල ලඟදි  පෙරහැර නතර වී දෙවියන් උදෙසා කෝලම් නැටුම් සහ නයි අඩි නැටුම් පැවැත්වේ ගණ දෙවි කෝවිලේ ද චාරිත්‍ර කීපයක් සිදුවන අතර ඉන් පසු උඩ වීදිය ඔස්සේ වල්ලිඅම්මා කෝවිල තෙක් පෙරහැර පැමිණේ වල්ලිඅම්මා කෝවිල ලඟදි ද චාරිත්‍ර කීපයක් ඉටු කර  සිංහාසන වීදිය ඔස්සේ අවුත් මහ පඩිපෙලෙන් දේව පෙරහැර මහ මාලිගාවට ගෙවදී ඉන්පසුව අවුරුදු කාර්ති මංගල්‍යයේ දී මෙහි සිදුකරන සියලුම රාජකාරි ඉටු කරනු ලැබේ මෙසේ දින 5ක් මුළුල්ලේ  පුජෝත්සව පැවැත්වේ ඉන් පසුව මධ්‍යම රාත්‍රියේ තවත් පෙරහැරක් මේ ආකාරයට ම වීදි සංචාරය කරයි 

෴මහ පෙරහැර෴ දින 5


දෙවේලේ පෙරහැර දින 5 අවසන්වූ පසු මහ පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කරනු ලබයි දෙවේලේ පෙරහැරට සහභාගී වූ රාජකාරිකරුවන්ට වඩා විශේෂිත රාජකාරිකරුවන්ට වඩා විශේෂිත රාජකාරිකරුවන් මෙම පෙරහැරට සම්බන්ධව වේ මුළු දේවාල භූමියම මහත් අසිරිමත් ස්වභාවයක් උසුලයි මෙම පෙරහැරේ වැදගත් කරුණක් වන්නේ මේ දින 10 තුල සිදුවූ දේව පෙරහැරට අමතරව බුදුරජාණන් වහන්සේ සිහිවීම වස් දළඳා කරඬුව රැගත් දළඳා පෙරහැර ද දේව පෙරහැරට ඉදිරියෙන් ගමන් කරයි 


෴නානු මුර මංගල්‍යය෴ 


පෙරහැර වීදි සංචාරය කරන දින අලුයම රහස් රාජකාරි කීපයක් ඉටුකිරීමට මහ දේවාලයේ පිටුපසින් ඇති අහර් තලාවට දෙවියෝ වැඩමවීම සිදු කරනු ලබයි මෙම වැඩම වීම නානු මුර මංගල්‍යය ලෙසද හදුන්වයි 


෴දේව රථය සැරසීම෴ 

දේවාල භුමියේ ඇති පෞරාණික දේව රථය එළියට ගෙන පැරණි චාරිත්‍රානුකූලව ඉතා දර්ශනීය ලෙස රථය සැරසීම කරනු ලැබේ මෙම රථයද මහා බලසම්පන්න රථයක් ලෙස සලකයි කිසිම අයෙක් මෙම රථය ළඟට පැමිණෙන්නේ නැත මහ මාලිගාවට තරම් වූ භක්තියක් මෙයට ද තිබේ 



෴අරංගුව බැඳීම෴ 


දේවාලයේ සඳගල ළඟ පුරාණයේ දී අරංගුව නම් වූ තොරණක් බැඳීම සිදු කරනු ලබයි සැරසීමට යොදා ගන්නා දේ ද පුරාණයේ සිට යොදා ගත් දෝතළු මල් වැනි දෑ වේ 


෴මහ බඹා කෝලම සකස් කිරීම෴ 


අන් දේවාල වල මෙන් නොව   මෙම දේවාලයේ කුකුළා හැඬලිමට පෙර නියමිත රාජකාරිවලින් පැමිණ මහ බඹා සකස් කිරීම කරන අතර ඔවුන් විසින්ම එය විනාශ කර දමනු ලබයි

සවස 6 පමණ වන විට මහ දෙවොලේ කළ යුතු සැරසිලිත් පත්තිණි කොවිලේත් වල්ලිඅම්මා කෝවිලෙත් ගණදෙවි කෝවිලෙත් සැරසිලි කටයුතු අවසාන කරයි නැකත් වේලාව ලං වන විට සියලුම රාජකාරිකරුවෝ නියමිත ඇඳුම්වලින් සැරසී සිටිති නැකත්කරු විසින් වේලාව දැනුම දුන් පසු චාරිත්‍රානුකූලව කාලතුවක්කුව මහත් ගිගුරුම් හඬක් දෙමින් පත්තු කරනු ලබයි එවිට පෙරහැර ගමන් ආරම්භ කරන බව සියලු දෙනා හට ලබා දෙන සංඥාව වේ ප්‍රථමයෙන් දළඳා කරඬුව චාරිත්‍රානුකූලව ඇතාගේ රන්සිව්ගෙය මත තැන්පත් කරන අතර පිළිවෙලින් දේවාභරණ වඩම්මවන ඇතාගේ පිට මතටත් ඉන් අනතුරුව රථයටත් දෙවියන් වැඩම වීම සිදුකරනු ලබයි පංචතූර්ය නාද මැද්දේ  භක්තියෙන් යුතුව දෙවියන් සහ දේවාභරණ 2 මෙහිදී වැඩමවනු ලබයි


෴නව වැඳුම් වැඳීම෴ 


දේවාභරණ රථයට වැඩම වූවාට පසු අත්තනායක මොහොට්ටාල සඳගල ළඟට ගොස් චාරිත්‍රානුකූලව මහ දේවාලය ළඟට ගොස් 9 වරක් නමස්කාර කරනු ලබයි මෙය නව වැඳීමේ චාරිත්‍රය වේ  ඉන්පසුව සිදුවන සුවිශේෂී රාජකාරි කීපයකින් අනතුරුව පිරිත් නිලයේ ස්වාමීන්වහන්සේ පන්සිල් දුන් පසු කොට වීදි ඔස්සේ දළඳා කරඬුව රැගත් පෙරහැර වීදි සංචාරය කිරීම ආරම්භ කෙරේ දේව රථයට පිටුපසින් බස්නායක නිලමේ ඇතුළු අනෙකුත් නිලමේවරු ගමන් කිරීම සිදුවේ සබරගමුව උඩරට පහත රට නැටුම් වලින් සහ අලි ඇතුන්ගෙන් සමන්විතව පෙරහැර වීදි සංචාරය කෙරේ දෙවේලේ පෙරහැරේ මෙන් ගණදෙවි කෝවිල අසලදිත් පත්තිණි අම්මා වල්ලිඅම්මා කෝවිල් අසලදිත් නියමිත චාරිත්‍ර ඉටුකරමින් සිංහාසන වීදිය ඔස්සේ එන පඩිපෙලින් දෙවියන් මහ මාලිගාවට වැඩම කරවන අතර දළඳා කරඩුව විහාරයට වැඩම කරවයි ඉන්පසුව මහා මාලිගාවේ දී ද අනෙකුත් පෙරහැර මංගල්‍යය වලදී කෙරෙන පරිදි සියළු චාරිත්‍ර ඉටුකරනු ලබයි ඉන්පසුව මධ්‍යම රාත්‍රීය ගෙවෙන විට නැවතත් දෙවියන් වහන්සේ රථයට වඩම්මවා දේව පෙරහැර වීදි සංචාරය කරයි මෙසේ දින 5 අවසන්වූ පසු දින අලුයම පැරණි චාරිත්‍රානුකූලව දිය කපා දර්ශනීය පෙරහැරකින් නැවතත් දෙවියන් වැඩම කරවයි ගරායක් ශාන්ති කර්මය පවත්වා පෙරහැර චාරිත්‍රානුකූලව අවසාන කරනු ලැබේ පුරාණයේ සිට අද දක්වාම පැරණි චාරිත්‍ර බොහොමයක් සිදුවීම ඉතා වැදගත් කරුණකි 


෴ඉල් මහ කාර්තිය෴ 


අවුරුදු කාර්ති මංගල්‍යයේ දී මෙන්ම ආරම්භයේ පටන් අවසානය දක්වා සියළු ම රාජකාරි ඉටුවෙමින් දින 5ක් මුළුල්ලේ දෙවියන් වෙනුවෙන් මහමළුවේ පෙරහැර ගමන් කරවා සිරිත් රාජකාරි ඉටුකරමින් දෙවියන් මහ මාළිගයට වඩම්මවා මුරුතැන් රාජකාරි දිග්ගේ නැටීමආලත්ති බෑම මංගලම් කවි කීම වැනි සියලුම චාරිත්‍ර ඉටුකරනු ලබයි 


෴පාංමඩු ශාන්තිකර්මය෴ 

මෙම ශාන්තිකර්මය සෑම වර්ෂයක් අවසානයේම පත්තිණි දේවාලයේ සවස සිට පසුදා පහන් වන තුරු පුජෝපහාර පවත්වා පත්තිණි මෑණියන්ගේ ආශීර්වාද ලබාගනී මෙම කාර්ති මංගල්‍යයට අමතරව කෙම්මුර දිනයන්හි සහ පෝය දිනයන්හි දෙවියන් වෙනුවෙන් මුරුතැන් පුජා උදේ දවල් සහ රාත්‍රියේ පවත්වනු ලබයි 


෴දේවාලයට ආවේණික නර්තන වාදන ගායනා෴ 


  1. ෴වාදන෴ 


කාර්ති මංගල්‍ය වලදීත් කෙම්මුරවල පුජා පැවැත්වෙන විටදීත් පෙරහැර වීදි සංචාරයේ දීත් සතර වීදියටත් විවිධාකාර වූ වාදන රටාවක් භාවිතා කෙරේ දවුල් වාදන සබරගමුව සම්ප්‍රදාය අනුව පැවැත්වේ 


  1. අළුයම් ධුරය 
  2. හැන්දෑ ධුරය 
  3. වහල් බෙරය

2. ෴නර්තනයන්෴ 



දෙවියන් උදෙසා පැවැත්වෙන නර්තනයන් බොහොමයක් සබරගමු නැටුම්වලට අනුරුපිතාවක් දක්වයි මෙහිදී වඩා වැදගත් වන්නේ පහතරට උඩරට නැටුම් සම්ප්‍රදායන්වලට අයත් අංගයන් දේවාල රාජකාරියට අයත් නොවීමයි දෙවියන් උදෙසා පැවැත්වෙන ප්‍රධාන නර්තනයන් 


  1. දිග්ගේ නැටීම 
  2. කපු නැටීම 
  3. පේලි නැටීම 
  4. බඹා කෝලම නැටීම 
  5. නෝක්කු නැටීම 
  6. නෛඅඩ් නැටීම 
  7. කෝලම් නැටීම 
  8. ආලත්ති බෑම 


3. ෴ගායනා෴ 

1. කපු නැටිමේ දී පිරිමින් විසින් දෙවියන් දෙස බලා මෙම කවි ගයමින් රංගනයක යෙදේ මේවා කඳසුරිඳුන් උදෙසා ගයන යහන් කවි ලෙස ද හඳුන්වයි දේවාලයේ ගායනා කරන එක් යහන් කවියක් 

කන්ද ගිරි                     මුදුනට 
බැන්ද ලෙස ධජ           අහසට 
රන්ද මයුරා                   පිට 
කන්ද සුරිඳුනි වඳිමි        සැමවිට

  
02. ස්ත්‍රීන් විසින් දිග්ගෙයි නටන විට මලවර පංගුවෙන් මෙම කවිය ගායනා කරයි අද මෙම කවි ගායනා සිදුවන්නේ ඉතා අල්ප වශයෙනි දැනට භාවිතා වන කවියක් මෙසේය 

බුද්ධ හස්තය අමෘත හස්තය 
   
             බ්‍රහ්ම හස්තය                            නංතමා 
හස්ති හස්තය ලලිත හස්තය 
              
             මයුර හස්තය                            නංතමා
මත්ස්‍ය හස්තය ආදි සත් විඳ 
    
             හස්ත නැටුමේ                            මනරමා 
වීර විකුමැති නරනිඳුන් පෙර 
      
             පුරුදු කලෙ දිග්ගෙයි                   නැටීමා



03 .෴මංගලම් කවි කීම෴ 

කවිකාර පංගුවේ පිරිමි මහ දේවාලයේ දි මංගලම් කවි කියති මින් දෙවියන්ගේ තේජෝ බල පරාක්‍රමය ප්‍රකාශ කරමින් දෙවියන්ගේ ආශීර්වාද අයැද සිටී දේවාලයේ දැනට බහුලව භාවිතා කරන කවියක් 

සතර සම්මුඛ මයුර වාහන 
   
            වෙරළ පිට වැඩි                       මංගලම් 
සතර සමුදුර වෙරළ පිහිනා
  
               යකුන් බිඳ හළ                         මංගලම් 
මතුර සමඟින් දොළොස් අතකට
  
              තිසුළ අවි දැරු                            මංගලම් 
අසුර යුධ ජය ගත්තු සම්මුඛ 
  
              දෙවිඳු හට ජය                             මංගලම්


෴දේවාලයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තු෴ 



  1.  මහ මාලිගාවේ තැන්පත් කර ඇති පුජනීය වස්තු 
  2. මීට වසර700 කට පමණ පෙර රන් කොත් 9ක් යොදා ආරම්භ කල මැදගම් දේවාලයේ තිබුනායයි සලකන රන්කොත් 2 ක් අදවන විට ඉතිරිව ඇත
  3. පැරණි කාසි 
  4. දේවාලයේ මහ උළුවස්ස
  5. සඳගල 
  6. පුරාණ ශෛලමය ගණ දෙවි පිළිමය 
  7. පැරණි ටැම්පිට විහාරය ගරා වැටුණු පසු විහාරයක් ඉදි කළ ද පැරණි විහාරයේ ගල්කණු දක්නට ලැබේ 
  8. දේවාලය ආසන්නයේම තිබු පැරණි පාලමක දැව කඳන් 
  9. දේවාභරණ වඩම්මවන පුරාන රථය  
  10.  පත්තිනි දේවාලය අසල ඇති පුරාණ සිංහාසන මණ්ඩපය 
  11.  සතර විදියේ ඇති මුරගල් 
  12.  පුරාණ දෝලාව 
  13.  පුරාණ හෙල්ලවල් කීපයක් 
  14. මහ මළුවේ නටබුන්ව ඇති ලිඳේහි ගල් බැම්ම 



෴දේවාල භුමියේ ඇති පැරණි වෘක්ෂ෴ 


  1. මහ මළුවේ ඇති බෝධිය 
  2.  දේවාලය ඉදිරිපස භුමියේ මැදගම දේවාලය ඉදි කළා යයි සැලකෙන ස්ථානයේ ඇති පෞරාණික බෝධි වෘක්ෂය 
  3. වසර 400 වඩා පැරණි කොස් රුප්පය 


෴දේවාලයට සම්බන්ධ පැරණි ලියවිලි෴ 


  1. පැරණි ලේකම් මිටිය (මැදගම සන්නස)
  2. අතපත්තු මොහොට්ටාලගේ ගම්පත්කඩය (රා.ව 813)
  3. උග්ගල් අලුත්නුවර දේවාල තුඩපත(රා.ව 813)
  4.  ප්‍රවේණි පංගු ලේඛනය (1870  අංක 4 දරන ආඥාව)

෴දේවාලයේ රාජකාරිය කරන ලද බස්නායක නිලමේවරු෴ 


  1. වාරිගම බස්නායක නිලමේ 1862-1882 
  2. උඩපලාතේ බස්නායක නිලමේ  1882 -1917
  3. ජයවර්ධන මහවලතැන්නේ බස්නායක නිලමේ 1917-1947 
  4. සිඩ්නි එල්ලාවල බස්නායක නිලමේ 1947-1963
  5. ටී.බී.වීරසේකර බස්නායක නිලමේ 1973-1983
  6. හැරී වීරසේකර බස්නායක නිලමේ 1973-1983
  7. චන්ද්‍රා ගන්කන්ද බස්නායක නිලමේ 1983-1991
  8. හරිස්චන්ද්‍ර තෙන්නකෝන් බස්නායක නිලමේ 1991-2001
  9. සුනිල් ශාන්ත වීරසේකර බස්නායක නිලමේ 2001      

     
Read more »

අංගම්මන රජමහ විහාරය

0 comments


රත්නපුර නගර සීමාවට අයත් බටුගෙදර නම් ග්‍රාමයේ කළු ගඟ අසබඩ මඳක් උසැති රමණීය කඳු ගැටයක එක් පසෙක අංගම්මන රජමහ විහාරය පිහිටා ඇත මෙම රජමහ විහාරය 1780 දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල සබරගමුවේ මහ අධිකාරම් නිළය දැරූ රන්පන්හිඳ දිවාකර වික්‍රමසිංහ ඉලංගකෝන් සේනානායක රාජපක්ෂ මුදියන්සේ රාළහාමිගේ පෙළපතින් පැවත එන්නකු වන අංගම්මන අදිකාරම් විසින් කරවා ඇත. විහාරය පිහිටි පෙදෙස එකල්හි වන ලැහැබක්ව පැවති ඇත අංගම්මන මහ අදිකාරම්තුමා  දිනක් විනෝද ගමනක් වශයෙන් රත්මල් ඇල්ල නැරඹීම සඳහා අඟුලකින් කළු ගඟේ ඉහළට යාත්‍රා කරමින් සිටියදී එම වනරොදින් නඟින සිහින් දුමාරයක් දැක ඒ කුමක්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ගිය විට ඔහුට දකින්නට ලැබුනේ කුඩා ගල්ලෙනක මිනිසුන් පදිංචි වී සිටින බවයි එවෙලෙහි ඔවුන් පැණි උණුකරමින් සිට ඇත තමාගේ වාසස්ථානයට නුදුරින් පිහිටි මෙම ගල්ලෙන විහාරයක් කරවීමට සුදුසු යයි සැලකු අංගම්මන මහ අදිකාරම්තුමා ගල්ලෙන තමන්ට ලබාගෙන එහි මෙම අලංකාර පුරාණ රජමහ විහාරය ගොඩනැගු බවට‍ ජනප්‍රවාදයේ පවති 

මෙසේ මේ විහාරය කරවා කලින් එහි විසු අය විහාරය සඳහා ආවතේව කටයුතු වලට යෙදවූ බවත් පසුව ඔවුන්ට විහාරවත්තලාගේ යන නාමය දුන් බවට‍ ද සඳහන් වේ එම පරම්පරාවෙන් පැවතෙන්නෝ අද ද එම විහාරාසන්න ගමේ ජිවත් වෙති යම් යම් රජමහ විහාර එය ගොඩනැංවූ රජවරුන් නමින් හඳුන්වන්නා සේම මෙම විහාරය කරවුයේ අංගම්මන මහ අදිකාරම් තුමා හෙයින් මෙයට අංගම්මන රජමහ විහාරය නමින් හඳුන්වනු ලැබේ එමෙන්ම එම ප්‍රදේශයද අංගම්මන නමින්ම ප්‍රසිද්දියට පත්ව ඇත මෙම අදිකාරම තුමා විසින් මෙම විහාරය පැවැත්ම සඳහා ගොඩමඩ විශාල ඉඩම් ප්‍රමාණයක් ද විහාරය සඳහා පුජා කර ඇත එහි තේවාව සඳහා මිනිසුන් යොදවා ඔවුන්ටද වෙන වෙනම ඉඩකඩම් දී ඇත මෙම විහාරය සඳහා පසු කලෙක රාජාධි රාජසිංහ රජු හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල සබරගමුවේ දිශාව කරවූ මීගස්තැන්නේ, පිළිමතලව්වේ, ඇහැලේපොළ යන මහ අදිකාරම් වරුන් ද මෙම ස්ථානයේ දියුණුව සඳහා ක්‍රියා කර ඇත ඇහැලේපොළ අදිකාරම්තුමා විසින් මෙම විහාරස්ථානයේ ගොඩනැගිලි වැඩිදියුණු කරවා නොයෙක් බණ පොත් ද ලියවා ඇති අතර කෙත්වතු ද පුජා කර ඇත මෙම විහාරස්ථානයට නවදුන් කෝරලය කුරුවිට කෝරලේ සහ තවත් කෝරලවලින් ඉඩකඩම් පුජා කර ඇත මෙහි වූ ඓතිහාසික පුරාවස්තු අතරින් අද ඉතිරි වී ඇත්තේ ජාතක පොත් වහන්සේ තැබූ ඉතා අලංකාර ලෙස කැටයම් කල පිත්තල මුණත් තහඩුවකින් හෙබි ලී පෙට්ටියක් හා ඇලපාත රදළ මැතිදෙකු විසින් බුද්ධ පුජාව සඳහා පුදකර ඇති පිත්තල පාත්‍රයක් පමණී 

කලින් කලට මෙම විහාරයේ  සංඝයාගෙන් හිස්ව පැවතීම මෙම පුරාවස්තු නැති වීම සඳහා එක් හේතුවක් ව පවති.මෙම විහාරයේ වර්ෂ 1926 දී පමණ කුඩා ආවාස ගෘහයක් තනවා එහි ත්‍රිපිටක ධර්මයට අයත් පොත් පත් සුරක්‍ෂිත ව තැන්පත් කර ඇති බැවින් පොත්ගුල යනුවෙන්ද ව්‍යවහාර කරයි මෙම පොත්ගුල හෙවත් කුඩා ආවාස ගෙය අතීතයේ දී ආගන්තුක භික්‍ෂුන් වහන්සේලාට ආවාස පහසුකම් සලසා දීමට ප්‍රයෝජනවත් වී ඇත පුරාණ අංගම්මන රජමහ විහාරයේ අතීතයේ සීමා මාලකයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරති මෙහි කඳු මුදුනේ සීමාව සම්මත කර තිබේ එහෙත් දැනට දක්නට ලැබෙන්නේ නුදුරු අතීතයේ ගොඩනැගු සීමා මාලකයකි මෙම විහාරස්ථානයට සම්බන්ධ කර අතීතයේ ගොඩනඟන ලද ශාලාවක් මෙහි තිබී ඇත විහාරයේ ඇතුලත සැතපෙන පිළිමයක් හිඳී පිළිමයක් හා හිටි පිළිම 2ක් විහාරය ආරම්භ කල කාලවකවානුවේ කරවා ඇත එම පිළිම පිපිරී විනාශ වූ හෙයින් වර්ෂ 1937 දී පමණ එම පිළිම කඩා බිඳ දමා මුල් පිළිම පිහිටුවා තිබු ආකාරයටම නැවතත් අලුතින් නිර්මාණය කර ඇත සැතපෙන පිළිමයෙහි සිරස ඉදිරියෙන් නව හිටි පිළිමයක් නිර්මාණය කර ඇත මහනුවර යුගයට අයත් යයි සලකන චිත්‍ර විහාරයේ බිත්තියේ සිතුවම් කර ඇත

Read more »

සිංහල ආණ්ඩු ක්‍රමය

0 comments



සිංහල ආණ්ඩුක්‍රමයට මහරජතුමාද අධිකාරම් දෙදෙනෙක් ද දිසාපතිවරුන් හයදෙනෙක් ද  මොහොට්ටාල වරුන් තිදෙනෙක් ද මුහන්දිරම් වරුන් පස්දෙනෙක්ද වුහ රජුව අත්හැර දැමු විට ලැබෙන නිලධාරී මණ්ඩලය සඳහා මහවාසල රදලවරුන් යන නම ව්‍යවහාර කරනු ලබයි දිසාපතිකෙනෙකුට සිය දිසාව තුළ රජෙකුට සමාන බලතල තිබුනේය මීට හේතුව වුයේ සාමාන්‍යයෙන් දිසාපතිවරුන් රජකුමරුවන් වූ හෙයිනි බැල්ඩෙවුස් නම් පරංගි ග්‍රන්ථ කතෘ අනුව මෙයින්ම සිංහාසනය අරභයා නොයෙක්විට කැරළි කෝලාහලද රටේ ඇති විය රජතුමාගේ ප්‍රධාන ලේකම්වරු තිදෙනා ද බොහෝ විට රජකුමාරවරුන් විය මහවාසල රදළවරු නොවූ කෝරාලලා ද ආරච්චිලා ද එක එක කර්මාන්ත සම්බන්ධ විදානෙලා ද පොලිස්භට හමුදාවක් වූ කටුපුරුල්ලේ නිලධාරීන් ද වශයෙන් විශාල සුළුමුලාදෑනි පිරිසක් ද සිටියහ රජතුමාගේ විශේෂ බලකොටු වූ කන්දඋඩ පස්රට නොහොත් දුම්බර හේවාහැට සාරසියපත්තුව ,උඩුනුවර සහ යටිනුවර ආදියට පත් කල රටේ රාලවරුන් පස්දෙනා රජතුමාගේ අණට පමණක් කීකරු විය යුතු වේ මේ පස් රටේ සේනාධිපතියා වන්නේ මහරජුය දුම්බරට පමණක් සිංහල රජවරුන්ගේ සමයේදී රජෙකු තෝරා පත්කර ගැනීමට බලය තිබුනේය 

ආදායම් ක්‍රමය

ගඩලාදෙණි සෙල්ලිපිය අනුව වෙළඳාම ඇතුන් ඇල්වීම මැණික් ගැරීම් ඛනිජ ආකර කරවීම මුදල් අච්චුගැසීම ආදිය හිමි වුයේ රජුට පමනකි ගබඩා ගම් රාශියකින් ගත් ආදායම් ද රජතුමාගේ භාණ්ඩාගාරයටම හිමිවිය ගබඩා ගම් වලින් රජතුමාට ගෙවිය යුතු වාර්ෂික ආදායම් පියවූ පසු ශේෂවූ කොටස දිසාපතිතැනට අයිති වේ තවද දඩ වශයෙන් ගෙවන මුදලද දිසාපති තැනටම හිමි විය අන් නිලධාරීන්ට ද මේ ක්‍රමයෙන් හෝ රාජකාරිය කොටසක් හෝ ජිවන වෘත්තීය සඳහා දෙනු ලැබේ 

රාෂ්ට්‍ර පාලනය රටවාසින්ම කළ පිළිවෙල

ගම්සභා ශාක්‍යකුල ක්‍ෂත්‍රියයන් අතර ව්‍යවහාර වූ සමුහාණ්ඩු ක්‍රමය නොනසාම ක්‍රි ව 1818 තෙක් ගෙන ආ නිසා ත්‍රිසිංහලේ ප්‍රධාන ආණ්ඩුක්‍රමය වුයේ ගම්සභාපාලන ක්‍රමය වේ.ගමක යම්තාක් ගෙවල් ඇත්නම් ඒ එක් එක් ගෙදරකට සාමාජිකයකු බැගින් දියයුතු නිසා ගම්සභාවේ සාමාජික පිරිස ද ගමේ ගෙවල් පිහිටි ගණනට සමවේ මෙම සාමාජික පිරිස කුල භේදයක් හෝ පංති භේදයක් අනුව තෝරා පත්කරගන්නා ස්වභාවයක් නොතිබූ නිසා ගම්සභාක්‍රමය ලාංකිකයන් අතර එක්තරා සමුහාණ්ඩු ක්‍රමයක් පැවතුණි ගමේ සම්පුර්ණ පාලන බලය ගම්සභාව මගින් පත් කරන ගමේ දස දෙනාට අයත් වූ නිසා රජුට හෝ නිලධාරී මණ්ඩලයට අයබදු ගන්නා අවස්ථාවේදිද රාජ අපරාධයක් කලවිට ද සම්බන්ධයක් ඇතිවූ නමුත් සෙසු වාරයන්හි කිසිම සම්බන්ධයක් නොතිබුණි දුරාතිතයේ සිට පැවත ආ මෙම රාෂ්ට්‍ර පාලන ක්‍රමය කඩා කප්පල් කරනු ලැබුවේ ඉංග්‍රීසි පාලකයෝය 

රට සභා ක්‍රමය

ගම් සභාවේදී දුන් තීරණයට විරුද්ධව රට සභාවට පැමිණිලි කළ කල්හි මුළු දිසාවේම ගම්සභාපතිවරු රැස්වී නඩුව විසඳූ විට එය සාමාන්‍ය නඩු හබ ආදියෙහි අවසාන තීරණය වේ වඩුග රජවරුන් ද තරමක් දුරට ගම්සභා ක්‍රමය නැසීමට දායක වී ඇත


ක්‍රමක්‍රමයෙන් මාතලේ ඌව සහ බින්තැන්නේ යන පළාත්වලින් ගම්සභා ක්‍රමය නැතිකිරීමට තැත්කරනු ලැබුවේ ඒ ප්‍රදේශවල පැවති ස්වාධීනත්වය තුරන් කරන අදහසිනි

සමාජ තත්වය

සෙන්කඩගල සමයේ මුල් කාලයේදී කුලභේද ආදියෙන් රට නොපෙළුනේය එය වඩුග රජවරුන් පතුරාහැරිය වසංගතයකි රජු පියෙකු වශයෙන් ද ප්‍රජාව පුත්‍රයින් වශයෙන් ද මෙකල සලකන ලදී නරේන්ද්‍රසිංහ රජුකල මැදමහනුවර අධිකාරම්තුමා වූ දුම්බර ඈපානන් හේවිසි පන්දම් ආදිය ඇතුලත් පුදපෙළහරින් මහවාසල තෙක් ගිය බවට දෙස් දෙන සමකාලින සිව්පද පාඨයක් නම්

වාසල ඇතුලට යනකොට අන්ද  ම්
එළියට එනකොට දෑලේ පන්ද   ම්
තුප්පට්ටිය ඇඳ එනකොට අන්ද ම්
පැළැන් කිරීට මැදිවක අදිකාර   ම්

2 රාජසිංහ රජු තලගුණය නම් ගමට පැමිණ සුන්සහල් බත් අනුභව කොට පිටත්ව යන ගමනේදී තමන් මහරජු බව දැන්වුයේ රජු අතරෙත් සාමාන්‍ය දිළිඳු ජනයා අතරත් සමාජ වෙනසක් නොපැවැත් වූ නිසා ය

වහල් මෙහෙය

මුළු ලෝකයේම වහල් මෙහෙය මෙකල ප්‍රභලව පැවති කාලයකි ලක්වැසියා වහලුන්ට විශේෂයෙන් කාරුනිකවූ හෙයින් එකල ලක්දිව වහල් මෙහෙය ඉසිලිය නොහැකි තරම් දුක්ඛ දායක නොවීය සිහලුන් අතර වහල් මෙහෙයට හේතු වුයේ ණයගැති කමය සිංහලයාට විරුද්ධව ආ පරංගි ඕලන්ද ඉංග්‍රීසි ආදී අන් ජාතිකයන් යුද්ධ භූමියේදී අල්වා ගත් විට වහල් භාවයට පත්වෙන බව සෙන්කඩගල විමලධර්මසූරිය රජුකල  දුම්බර සේනාධිපති ගංගොඩ ලංකාධිකාරින් විසින් රචනා කරන ලද සමකාලින කාව්‍යයක් අනුව ඔප්පු වේ එනම්

නීලට  වන් විමල දහම් නිරිඳුගේ බල නොදැන එවි   ට
රාළට  ජන නුවණ මදිව ඇවිත් වැදුනි මහනුවර        ට
ගාලට  වන් ගෙරින් ලෙසට අල්ලා බැට දී වට කො  ට
වාලට දුනි සෙනගට ගෙනියන ලෙස රටින් රට         ට

"හිරෙන් ඉමං කිරීමට" නොහොත් වහල් මෙහෙයෙන් නිදහස් කිරීම සඳහා ඔප්පුවක් දිය යුතුය පරණ ඔප්පු ලියන ක්‍රමය පෙන්වන ණය ගැතිව වහල් වී පසුව නිදහස ලබාගත් කෙනෙකුගේ දරුමුනුබුරු පරපුරින් පැවත ආ කලිංගුවා නැමැත්තෙකු ළඟ තිබෙන ඔප්පුව නම්



ආර්ථික තත්වය

එකල ආර්ථික තත්වය රඳා තිබුනේ ගොවි කර්මාන්තය උඩය සිංහල නරපතීන් විසින් වැව් අමුණු බඳවා කෙත්වතු සාදා රට සශ්‍රික කරනු ලැබුවේ එහෙයිනි ආහාරයට අන්‍යන්ට ගැතිවූ රටකට නිදහසක් නැති බව දත් සිංහල නරපතීන් යෙදු ආර්ථික ක්‍රමය ඉඳුරාම ප්‍රශංසනීයය වෙළඳාමේ නියුතුවූවන්ට පුවක් වෙළඳාම ආදිය රජු වෙනුවෙන් කරන්නට සිදුවිය ඇතුන් ඇල්විම,මැණික් ගැරීම සහ ඛනිජ ආකර ආදිය කරවීම රජුගෙන් බලයක් ලබාගෙන කළ යුතුය රිදී කාසි ,පනම් කාසි,සල්ලි සහ තුට්ටු ව්‍යවහාරයේ තිබු නමුත් ඒ ඒ ද්‍රව්‍ය හුවමාරුකර ගැනීමෙන්ම වෙළහෙළඳාම සම්බන්ධයෙන් වූ ගනුදෙනු කරන ලදී ඉංග්‍රීසීහු 1818 දී දුම්බරද,සාරසියපත්තුවේද,හේවහැටේ ද,මුළු ඌව ප්‍රදේශයේම වැව් අමුණු විනාශ කොට කෙත්වත් විනාශ කළ හෙයින් ත්‍රිසිංහලේ ආර්ථික තත්වය විනාශ විය

ශාස්ත්‍ර දියුණුව

ගමක් පාසාම පිරිවෙන් ඉදිකර බුද්ධ පුත්‍රයින්ට අධ්‍යාපනය භාර දී මේ මගින් එකල අධ්‍යාපනය නගා සිටුවන ලදී මේ නිසාම රට අල්ලා ගැනීමට දුෂ්කරයයි සලකනු ලැබූ පරංගීහු පන්සල් ගිණිතබා පිරිවෙන් විනාශ කළේය ඉංග්‍රීසින් ද රට සදහටම වහල් භාවයට ගැනීමට සිතා පිරිවෙන් මගින් රාජද්‍රෝහීන් ඇතිවෙතියි චෝදනා කර පිරිවෙන් වසාදමා එම අධ්‍යාපන ක්‍රමය විනාශ කර දැමීය

ආගම

මැදිවක පල්ලේවෙල විහාරයෙන් ලබාගත් තුඩපතකින් ආගම වැටී තිබු ප්‍රපාතය මනාව ඔප්පුවේ එනම්


මෙහිදී ගෑනුහිරයක් සහ පිරිමි හිර දෙන්නෙක් කහවත්තෙ ගනින්නාන්සෙට දුන්නේයැයි ප්‍රකාශකෙළේ වහලුන් තුන්දෙනෙක් විහාරයට පුජාකළ බව හැඟවීම සඳහායි පරංගින් හා යුද්ධ කළ නිසා ශාසනය ප්‍රපාතයකට වැටී තිබුනේ මෙකලය නොක්ස් නම් ග්‍රන්ථ කතෘ අනුව මෙකල ශාසනය භාරව සිටියේ රැවුල වවාගෙන ගිහියන් හා සමාන පිරිසකි ගණින්නාන්සේලා නමින් හදුන්වති මොවුන්ව පත්කරනු ලැබුවේ සාමාන්‍ය ගුරුවරුන් හා පන්සල විහාර ආරාම ආරක්ෂකයන් වශයෙනි

නීතිය

රාජ්‍යයේ නීතිය වුයේ යඥවාල්ක්‍ය සෘෂිවරයාගේ නීති සංහිතාවෙහිද මනු සංහිතවෙහිද,ගිහිවිනය ආදි පාලි ග්‍රන්ථයන්හිද ආ චාරිත්‍ර වාරිතත්‍රාදියයි.රජුට පවා නීතිය නොහොත් සිරිත් විරිත් උල්ලංඝනය කිරීමට බලයක් නොතිබුනේය මෙනිසාම නරේන්ද්‍රසිංහ රජු දඩයකට යටපත් කරන්ට රාජසභාවට පුළුවන් විය වඩුග බිසවට මුලාවූ නරේන්ද්‍රසිංහ රජු රාජසභාව දුබලකර නායක්කර්වරුන්ට ප්‍රමුඛස්ථානය දී මෙ නීති රීති තරමක් දුරට කඩාකප්පල් කළ නිසාම වඩුගයෝ රජවූ විට සිංහල රජවරුන් විසින් නුදුන් වධ බන්ධන ආදිය දීමට පටන් ගත්තේය                                                                  
                                                                                      
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine