#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

අංගම්මන රජමහ විහාරය



රත්නපුර නගර සීමාවට අයත් බටුගෙදර නම් ග්‍රාමයේ කළු ගඟ අසබඩ මඳක් උසැති රමණීය කඳු ගැටයක එක් පසෙක අංගම්මන රජමහ විහාරය පිහිටා ඇත මෙම රජමහ විහාරය 1780 දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රජු කල සබරගමුවේ මහ අධිකාරම් නිළය දැරූ රන්පන්හිඳ දිවාකර වික්‍රමසිංහ ඉලංගකෝන් සේනානායක රාජපක්ෂ මුදියන්සේ රාළහාමිගේ පෙළපතින් පැවත එන්නකු වන අංගම්මන අදිකාරම් විසින් කරවා ඇත. විහාරය පිහිටි පෙදෙස එකල්හි වන ලැහැබක්ව පැවති ඇත අංගම්මන මහ අදිකාරම්තුමා  දිනක් විනෝද ගමනක් වශයෙන් රත්මල් ඇල්ල නැරඹීම සඳහා අඟුලකින් කළු ගඟේ ඉහළට යාත්‍රා කරමින් සිටියදී එම වනරොදින් නඟින සිහින් දුමාරයක් දැක ඒ කුමක්දැයි පරීක්‍ෂා කිරීම සඳහා ගිය විට ඔහුට දකින්නට ලැබුනේ කුඩා ගල්ලෙනක මිනිසුන් පදිංචි වී සිටින බවයි එවෙලෙහි ඔවුන් පැණි උණුකරමින් සිට ඇත තමාගේ වාසස්ථානයට නුදුරින් පිහිටි මෙම ගල්ලෙන විහාරයක් කරවීමට සුදුසු යයි සැලකු අංගම්මන මහ අදිකාරම්තුමා ගල්ලෙන තමන්ට ලබාගෙන එහි මෙම අලංකාර පුරාණ රජමහ විහාරය ගොඩනැගු බවට‍ ජනප්‍රවාදයේ පවති 

මෙසේ මේ විහාරය කරවා කලින් එහි විසු අය විහාරය සඳහා ආවතේව කටයුතු වලට යෙදවූ බවත් පසුව ඔවුන්ට විහාරවත්තලාගේ යන නාමය දුන් බවට‍ ද සඳහන් වේ එම පරම්පරාවෙන් පැවතෙන්නෝ අද ද එම විහාරාසන්න ගමේ ජිවත් වෙති යම් යම් රජමහ විහාර එය ගොඩනැංවූ රජවරුන් නමින් හඳුන්වන්නා සේම මෙම විහාරය කරවුයේ අංගම්මන මහ අදිකාරම් තුමා හෙයින් මෙයට අංගම්මන රජමහ විහාරය නමින් හඳුන්වනු ලැබේ එමෙන්ම එම ප්‍රදේශයද අංගම්මන නමින්ම ප්‍රසිද්දියට පත්ව ඇත මෙම අදිකාරම තුමා විසින් මෙම විහාරය පැවැත්ම සඳහා ගොඩමඩ විශාල ඉඩම් ප්‍රමාණයක් ද විහාරය සඳහා පුජා කර ඇත එහි තේවාව සඳහා මිනිසුන් යොදවා ඔවුන්ටද වෙන වෙනම ඉඩකඩම් දී ඇත මෙම විහාරය සඳහා පසු කලෙක රාජාධි රාජසිංහ රජු හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල සබරගමුවේ දිශාව කරවූ මීගස්තැන්නේ, පිළිමතලව්වේ, ඇහැලේපොළ යන මහ අදිකාරම් වරුන් ද මෙම ස්ථානයේ දියුණුව සඳහා ක්‍රියා කර ඇත ඇහැලේපොළ අදිකාරම්තුමා විසින් මෙම විහාරස්ථානයේ ගොඩනැගිලි වැඩිදියුණු කරවා නොයෙක් බණ පොත් ද ලියවා ඇති අතර කෙත්වතු ද පුජා කර ඇත මෙම විහාරස්ථානයට නවදුන් කෝරලය කුරුවිට කෝරලේ සහ තවත් කෝරලවලින් ඉඩකඩම් පුජා කර ඇත මෙහි වූ ඓතිහාසික පුරාවස්තු අතරින් අද ඉතිරි වී ඇත්තේ ජාතක පොත් වහන්සේ තැබූ ඉතා අලංකාර ලෙස කැටයම් කල පිත්තල මුණත් තහඩුවකින් හෙබි ලී පෙට්ටියක් හා ඇලපාත රදළ මැතිදෙකු විසින් බුද්ධ පුජාව සඳහා පුදකර ඇති පිත්තල පාත්‍රයක් පමණී 

කලින් කලට මෙම විහාරයේ  සංඝයාගෙන් හිස්ව පැවතීම මෙම පුරාවස්තු නැති වීම සඳහා එක් හේතුවක් ව පවති.මෙම විහාරයේ වර්ෂ 1926 දී පමණ කුඩා ආවාස ගෘහයක් තනවා එහි ත්‍රිපිටක ධර්මයට අයත් පොත් පත් සුරක්‍ෂිත ව තැන්පත් කර ඇති බැවින් පොත්ගුල යනුවෙන්ද ව්‍යවහාර කරයි මෙම පොත්ගුල හෙවත් කුඩා ආවාස ගෙය අතීතයේ දී ආගන්තුක භික්‍ෂුන් වහන්සේලාට ආවාස පහසුකම් සලසා දීමට ප්‍රයෝජනවත් වී ඇත පුරාණ අංගම්මන රජමහ විහාරයේ අතීතයේ සීමා මාලකයක් තිබෙන්නට ඇතැයි විශ්වාස කරති මෙහි කඳු මුදුනේ සීමාව සම්මත කර තිබේ එහෙත් දැනට දක්නට ලැබෙන්නේ නුදුරු අතීතයේ ගොඩනැගු සීමා මාලකයකි මෙම විහාරස්ථානයට සම්බන්ධ කර අතීතයේ ගොඩනඟන ලද ශාලාවක් මෙහි තිබී ඇත විහාරයේ ඇතුලත සැතපෙන පිළිමයක් හිඳී පිළිමයක් හා හිටි පිළිම 2ක් විහාරය ආරම්භ කල කාලවකවානුවේ කරවා ඇත එම පිළිම පිපිරී විනාශ වූ හෙයින් වර්ෂ 1937 දී පමණ එම පිළිම කඩා බිඳ දමා මුල් පිළිම පිහිටුවා තිබු ආකාරයටම නැවතත් අලුතින් නිර්මාණය කර ඇත සැතපෙන පිළිමයෙහි සිරස ඉදිරියෙන් නව හිටි පිළිමයක් නිර්මාණය කර ඇත මහනුවර යුගයට අයත් යයි සලකන චිත්‍ර විහාරයේ බිත්තියේ සිතුවම් කර ඇත

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine