#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

කුකුළුවා රජමහ විහාරය

1 comments
කලහකාර මෝඩයෝ අපි මැරෙමු කියා නොදනිති.යමෙක් මේ ටික දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කළහ සංසිඳෙයි.



මුහුදු මට්ටමින් අඩි 1500 පමණ උසින් නිරිඇලි කන්දේ මැද කොටසේ පිහිටි මෙම පුජනීය ස්ථානය කුකුළු කෝරලයේ පැරණිම ගල්ලෙන් විහාරය වේ එහි ඇති ගල් ගුහා දෙකින් ප්‍රමාණයෙන් විශාල ලෙන විහාරය ලෙසත් කුඩා ලෙන දේවාලයක් ලෙසත් වෙන් වේ  කුකුළුවා රජමහා විහාරයේ ආරම්භය පිළිබඳව මත දෙකක් පවතී ඉන් පළමුවැන්න ආක්‍රමණිකයන් හා කල සටනින් පරාජිතවූ වට්ට ගාමිණී අභය රජු තුදුස් මසක් මලය දේශයේ සැඟවී සිටි කාලයේදී මෙම ගල් ගුහාවේ සැඟවී සිට යලි රාජ්‍යයට පත්වූ පසුව මෙම විහාරය ඉදි කල බවයි දෙවැනි මතය ඉදිරිපත් කරන පුජ්‍ය පාද පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ සීතාවක රාජසිංහ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් ලෙස සලකා මෙහි ඉතිහාසය කෝට්ටේ කාලය ඉක්මවා නොයනබව අදහස් කරති විහාර ගල්ගුහාවේ ඇති කටාරම අතීතයට නෑකම් නොකියන තනි රේඛාවක් වීමද එම නිගමනයට හේතු වී ඇත (සපරගමුව දර්ශන 244)

මෙම විහාරස්ථානය කුකුළුවා විහාරය යනුවෙන් සඳහන් වෙන්නේ 1 රාජසිංහ රජුගේ කාලයෙන් පසුව බව පිළිගැනීමට ඓතිහාසික සාධක ඇත මෙම රජු විසින් නිරිඇල්ලේ තිස්මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රධානය කල නිරිඇලි නින්දගමේ මෙම විහාරය කනත්තේ ගල්ලෙන් විහාරය නමින් දැක්වේ එය එම නින්දගමේ දකුණු මායිම වේ කනත්තේ ගල්ලෙන් විහාරය කුකුළුවා විහාරය බවට පත්වුණේ මෙම කෝරලය දිගම්පත කෝරලය නමින් ව්‍යවහාරයේ තිබී කුකුළු කෝරලය බවට පත්වුවයින් පසුවය පරගල විජේසුන්දර නැමැත්තෙකු රජවාසල පැවති කුකුළු පොරයකදී ඉදිරිපත් කල කුකුළා අන් සියලුම කුකුලන් පරදවා ජයගත් හෙයින් ඔහුට රජතුමා ලබාදුන් නින්දගම ලෙස කුකුලුගම (කුකුලේගම) ප්‍රදානය කල බව ජනප්‍රවාදයේ එයි මෙම කුකුල් පොර කරුවා පරගල ගමේ බොහෝ කලක සිට පැවත එන දක්‍ෂ මන්තර කාර පරපුරකට අයත් අයෙක්ලු. මොහු එම කුකුළු පොර තරගයේදී අනෙක් කුකුළන් දහඅට දෙනාම මරාදමා ඔහුගේ කුකුළා ජයග‍්‍රහණය කරවූයේ බලගතු මන්තරයකින් මතුරන ලද කහනූලක් පිටතට නොපෙනන අන්දමට තම කුකුළාගේ අත්තට්ටක පිහාටු අතර ගැටගසා තිබීමෙන් කුකුළා ආවේශව ප‍්‍රතිවාදී කුකුළන්ට පහර දීමෙන්ලු. එය සනාථ කිරීමට හැකි විදියේ දක්ෂ රහස් මන්තරකරුවෝ අදත් මෙම පරපුරේ සිටිති. 

දික් ගම්පත කෝරළයෙන් ගෙනා කුකුළ පොර කොටන්ඩ
කොක් හඬලා පටන් ගත්තු අනෙක් කුකුළො බා ලන්ඩ
දික් විජයක් කරපු නිසා මහවාසල සතුටු වෙන්ඩ
එක් වුණ නම එදා පටන් කුකුළු කෝරළය කියන්ඩ

කුකුළේගම
මැද පත්තුවට අයත් පෞරාණික ග්‍රාමයක් වන මෙය කුකුලේ ගඟ ආශ්‍රිතව ජනාවාස වූ පෙදෙස ලෙස සැලකේ. ශ්‍රී රාජසිංහ රජ (රා:ව 1747-1782) සමයේදී ලන්දේසීන් සමඟ සිදු කළ කටුවන මාතර සටනේදී සේනාව මෙහෙය වූ සේනාධිපතියකු වන කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලිතුමාට දුන් නින්දගමේ කොටසක් ලෙස දැක්වේ. බොහෝ කාලයක් මෙය කෝරළයේ ප්‍රධාන නගරය ලෙස පැවති බවද කියවේ.කුකුළේගමට අයත් ගම් ලෙස ගල්කැටිය, ජාතුවංගොඩ, කඳවැල්දොළ , හපුගොඩ, කොඩිප්පිලිකන්ද, කෝරළේගොඩ, මීපාගම, නාරගල්පිටිය, නාවලකන්ද, නවංගොඩ, පුල්ලෙකන්ද, වන්නිගොඩ හා වැතැල්ගොඩ ද දැක්විය හැකිය.



තවද මෙම විහාරස්ථානය අසල නැටුම්ගල සහ මාලිගාතැන්න යනුවෙන් හැඳින්වෙන ස්ථාන දෙකක් ද දක්නට ලැබේ එහෙත් ඒවායේ නටබුන් කිසිවක් පෙනෙන්නට නැත මේ ස්ථාන සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක ගවේෂනයක්ද සිදුකර නැත එහෙයින් මේ පිළිබඳව ස්ථිරව යමක කිව නොහැකි වුවද යම් ප්‍රාදේශීය රජකු හෝ මෙහි වසන්නට ඇති බව අනුමාන කල හැක කුකුළුවා විහාරයේ ගොදුරුගම ලෙස තිබෙන්නට ඇත්තේ නිරිඇල්ල සහ උඩකන්ද ගම බව පිළිගත හැකි සාධක ඇත නිරිඇල්ලේ සන්නස අනුව එම නින්දගම වැසියන් ආගමික වතාවත් සඳහා මේ ස්ථානය කරා පැමිණිය යුතුය 

කලවාන මාර්ගයේ කෙළවර පිහිටි උඩකන්ද ගම අදට වඩා ජනකිර්ණව විසු බවට සාධක සපරගමු ලේකම් මිටියෙන් සනාථ වේ කුකුළු කෝරලය ජනාවාසවිමේදී නිරිඇලි කන්ද හරහා පැමිණි වේරගම ආරච්චි පරපුරේ අයගේ ප්‍රථම නවාතැන උඩකන්ද ගම්මානය විය ඔවුහු විහාරය පාමුල වූ එම ගම්මානය සංවර්ධනය කරගෙන සියවස් දෙකක් පමණ ජිවත්වුහ එම කාලය තුල ඔවුහු උදකන්ද කංකානම නමැත්තෙකුගේ නායකත්වයෙන් කටයුතු කර ඇති අතර ලෝහ කාර්මිකයන් පවා එහි විසු බව උඩකන්ද ගෙයි අප්පු (සපරගමුව පැරණි ලියවිලි198 )යනුවෙන් දැක්වෙන ලේකම් මිටි පාඨයෙන් සනාථ වේ පසු කලෙක කවර හේතුවක් නිසා හෝ උඩකන්ඳ ගම ජනශුනය පෙදෙසක්ව එහි වැසියන් පිඹුරේ ගමට පදිංචියට ආහ එහෙයින් විහාරය ද වල්බිහිවිය  නැවත වරක් මෙම විහාරය පිළිබඳව සැදැහැවතුන්ගේ අවධානය යොමු වුයේ 1892 දී මෙහි වූ සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කල පසුවය එම සිද්ධියද ජන කවියක මේ අන්දමින් විස්තර කර ඇත 

සිරිලක පරසිඳු නවදුන් 
    කෝරලේ මැදපත්තුවේ නිරිඇලි     කන්දේ 

පෙර සිටි රජවරු තැනූ
        විහාරේ බොල්වී තිබුනයි හිම      මැද්දේ 

පව් කල සොරු රැල කුකුළු 
  විහාරේ පිළිමේ කඩන්නට කල         යුද්දේ 

දෙවුරට ළමැදට සිරසට වෙඩි 
         තුන තැබුවා ලෝකෙට             පරසිද්දේ 

මෙම හානිය සිදු වන විට විහාර ගෙය තුල පිහිටි පිළිමය මැටියෙන් වසා තිබු බවද ගල්ගුහාවේ වහලයේ තිබු පැරණි චිත්‍ර සියල්ල වවුලන් විසින් විනාශ කර තිබු බව ද කියවේ මේ කාලය වන විට කුකුළු කෝරලය භාර රටේ මහත්මයා වූ දෙල්වල ලොකු බණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපතිව වැඩ සිටි පුජ්‍ය හතර කෝරලයේ දැලිවල සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් යලිත් ප්‍රතිසංස්කරණ කර ඇත ඉන් අනතුරුව 1934 වර්ෂයේදී ජේ බි කිරිඇල්ල රටේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය රත්නපුරේ සද්ධාරාම හිමියන්ගේ අනුශාශකත්වයෙන් දෙවන ප්‍රතිසංස්කරණ දී කුඩා ගුහාවේ දේවාලයක් සහ ඝන්ටා කුළුණක් ඉදිකරන ලදී එම දේවාලය යටින් රත්නපුරේ පිහිටි පොත්ගුල් විහාරය දක්වා උමගක් තිබු බවට ජනප්‍රවාදයේ ඇත පිට ප්‍රදේශවල සිට මෙම පුජනීය ස්ථානය වනදනාමාන කිරීම සඳහා මාර්ග කීපයකින් ලඟාවිය හැක රත්නපුරේ සිට කලවාන හරහා පැමිණෙන්නන්ට රජ්ජුරුවත්ත හරහා සමන්පුර තේ ජනපදයට පැමිණ සැතපුම් දෙකක් පමණ වූ මඟකින් මෙම ස්ථානයට යා හැකි වන අතර කිරිඇල්ල අයගම හරහා පැමිණෙන අය සඳහා පිඹුරේ ගමට පැමිණ උඩකන්ද නමැති ස්ථානයෙන් කලවාන හරහා වැටී ඇති මගින් පැමිණිය හැක නිරිඇල්ල වතු පාරේද පැමිණ නිරිඇලි කන්ද මැදින් ඇති පාරෙන් මෙම විහාරයට ලඟාවිය හැක     
            

අරමුණු සුභ ලෙසින් සලකන, ඉන්ද්‍රිය සංවරයක් නැති, අහරෙහි පමණ නොදන්නා,වීර්ය හීන කුසීතයා කෙලෙස් මරුවා ගිල ගනී.වාතය දුබල ගසක් හෙලනාක් මෙනි.
Read more »

රැජිනකගේ රාජ්‍ය සමයේ ලියවුන මහා ගී කාව්‍ය සසදාවත

4 comments
අකුසල් දහම් සිතට මුල්වෙයි. කිලිටි සිතින් යමක් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල අකුසල්ය. එයින් ඔහු පසුපස දුක ලුහුබඳි. ගැල බැඳී ගොණු පසු පස යන රියසක මෙනි.



පොළොන්නරු සාහිත්‍ය යුගයේ දී අපට හමුවන කාව්‍ය කෘතියකි සසදාවත කාව්‍යය ක්‍රි .ව 1153 සිට 1186 තෙක් පොළොන්නරුවේ රාජ්‍ය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයෙන් වසර 11 කට පසු තෙවසරක් පොළොන්නරු රාජ්‍ය විචාරණ ලද පැරකුම් රජතුමාගේ මෙහෙසිය වන ලීලාවතී රැජිනගේ කාලයේ ලියැවුණු සසදාවත එම රැජිණගේ විශේෂ අනුග්‍රහය යටතේ ලියැවුණු කාව්‍ය කෘතියක්ව ඉතිහාසයේ සඳහන්වෙයි ලීලාවතී රැජිණගේ වසර තුනක පළමු රාජ්‍ය කාලයේ දී අගමැති වශයෙන් කටයුතු කල කිත්සෙනෙවියාගේ විශේෂ අනුග්‍රහය ලීලාවතී රැජිණට ලැබුණු අතර ඇය සිංහාසනාරූඪ කිරීම සඳහා ද එම සෙනෙවියාගේ අනුග්‍රහය නොමදව ලැබුණු බව සඳහන්වේ ලීලාවතී රැජිණ පළමු රජකාලය වූ වසර තුනට පසු තවත් දෙවතාවක් පොළොන්නරුව රාජ්‍ය විචාරා ඇති අතර දෙවන වතාවේ වසරක කාලයක්ද තෙවන වතාවේ සත්මසක කාලයක්ද රැජිණ වශයෙන් කටයුතු කර ඇත සසඳාවත ලියැවු බව සඳහන් කාලය වන්නේ මෙතුමියගේ පළමු රාජ්‍ය කාලය තුල බවය  එනම් ක්‍රි ව 1197 -1200 අතරය එය සසඳාවත කාව්‍යයේ සඳහන් වන්නේ මෙසේය 

හිමි කුල බඳදර නිති සිතුමැනෙව් රක්නා රුවන් පා කුල කෙහෙළි -අගමැති කිත් සෙනෙවියුත් 

සස ගුණ අබරණ -රිවි සඳ කුල මුදුන්මල් 
පසක් සිරි කත විලසින් -මුළු ලෝ මන නුවන්ගත් 
කළ ලෝ සසුන් වැඩ -ලීලාවතී හිමි සඳ 
පළ කළ දම් රජ සිරි -මෙවැටුම්හි  පිටු බලව් 

සසඳාවත රචනා කළ කවියා කවුරුදැයි සඳහන් නොවේ එහෙත් එහි 179 ගීයට ලියන ලද සන්නසෙහි සසඳාවත කාව්‍ය තිලක වශයෙන් ද හඳුන්වා තිබේ ඒ අනුව මෙය ලියන්නට ඇත්තේ කාව්‍යතිලක නම් අයකු යයි ඇතැමුන් තර්ක කළ අතර ඇතැමුන් පවසන්නේ කාව්‍ය තිලකයයි නම් සඳහන් කර ඇත්තේ මෙය සෙසු කාව්‍යන්ට වඩා උත්තම ගණයේ කාව්‍යක් නිසා විය හැකි යයි බවය කෙසේ වෙතත් මෙහි කතුවරයා අවිනිශ්චිතය සසඳාවත ගී කාව්‍ය කෘතිය සඳහා වස්තු විෂය වී ඇත්තේ ජාතකට්ඨ කථාවේ  එන 316 වැනි ජාතක කතාව වන සස ජාතකයයි  බුදුගුණය වර්ණනා කිරීමෙහිලා තමන්ගේ සිතේ තිබුණු භක්තිය මැනවින් පළකරමින් ලියා ඇති මෙම කාව්‍යයට ගී 293 ක් ඇතුලත් වෙයි ඒ අනුව එය මුවදෙව්දාවතට වඩා කාව්‍ය ප්‍රමාණයෙන් වැඩි ගී කාව්‍යයකි මෙහි එන වර්ණනා ඉතා ඉහළින නිම කිරීමට කවියා මහා කාව්‍යයක් නිර්මාණය කිරීමට උත්සහා දරා නැත ඒ අනුව සසඳාවත සර්ග වලට බෙදා නැති අතර කවියා යොදාගත් කතා වස්තුව මහා කාව්‍යයක් ලිවිම සඳහා උචිත නොවීම මහා කාව්‍යයක් නොලිවීම සඳහා හේතු වන්නට ඇතැයි ඇතැම්හු කියති එමෙන්ම සසඳාවත ගී කාව්‍ය තුලින් කවියා සස්කෘතික කාව්‍ය ආර හෙලබසට ඇතුළු කිරීමට උත්සහ දරා ඇති අතර මෙහි කාව්‍ය වැඩි ගණනක් වර්ණනා සඳහා යොදාගෙන තිබේ එමෙන්ම එතෙක් සිංහල කවියට නොවූ කවාට එකස්වර සහ කුලක ආදී සංස්කෘත ජන්දස් අනුව කරන ලද බන්ධනයන්ද සසඳාවත සඳහා කවියා උපයෝගී කරගෙන ඇත එමෙන්ම කවියාගේ ස්වාධිනත්වය ප්‍රතිභාව ප්‍රකාශ කෙරෙන කාව්‍යද සසඳාවතෙහි දක්නට ඇත 

දෙපසෙහි සපුතුරු -වසි සිඳු කුකුළුද රඳන් 
දැල්වූ මුනිදු පුදට -පහන් රුවක් වී හිසැ
දිගු කැරැ කර හුන් -නවා ගැන්මට රුකුසිකි 
හිරු බලන අඳුරුවන් -සැහැගිය හෝසි අවරන් 
බිඟු කැලැ පියුමන් දැහැවෙන මලට යාගත් නව යොනන් දෙස දනන්-මන මෙන් හැර පුරුද්දන්    




කුසල් දහම්වලට සිත මුල් වෙයි.පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය එයින් ඔහු පසුපස සැප ලුහුබඳි. අත නොහැර යන සෙවනැල්ල මෙන්.
Read more »

රහසේ ඉදි වූ රජ වාසල දොඩන්තලේ රජමහ විහාරය

1 comments
සංවර වූ ඉඳුරන් ඇති ලොවෙහි සැබෑ තතු දකිනා ගන්නා ආහාරය ගැන අරුතද හඳුනා සිටිනා සැදැහැ සිතින් යුතුව හොඳින් වීරිය වඩමින් නිතරම දහම විනය තුළ සිටිනා – භාවනාව කරන කෙනා යට කරන්න බැහැ කිසිවිට මාරයාට ඔහුගෙ ගමන තදින් සුළඟ හමා ගියද නොසැලේ ගල් කුල කිසි විට.

මොල්ලිගොඩ අදිකාරම්තුමා 



සිංහලයේ අවසාන රජ දවස සිංහලයේ අන්තිම අදිකාරම් වූ මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින් මෙම ස්ථානය කරවා පුජා කොට ඇත එතුමාගේ ප්‍රකට නාමය මොල්ලිගොඩ වුවත් නියම නම මොල්ලිගොඩ රාජකරුණා සෙනවිරත්න හේරත් වාහල මුදියන්සේ මහ නිලමේය මෙම ස්ථානය ටැම්පිට විහාරයකි පැරණි වාස්තු විද්‍යානුකුලව නිර්මාණය වූ විශාල ගොඩනැගිල්ලකි මොල්ලිගොඩ අදිකාරම්තුමා මෙම ස්ථානයේ රජ වාසලක් තනා එහි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රහසිගතව ගෙනවිත් තැන්පත් කර රටේ රජු බවට පත්වීමට උත්සහ කර ඇති බව සඳහන්වේ නැගෙනහිරින් ජල දුර්ගයක්ද බටහිරින් ජල දුර්ගයක්ද උතුරු දකුණු දිසාවන්ට ගිරිදුර්ගයන්ද වශයෙන් අවශ්‍ය පෞරාණික ආරක්ෂක අංගයන්ගෙන්ද  මෙය සම්පුර්ණ වීය ඊට අමතරව මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින්ම ස්ථානය වටා දිය අගලක් නිර්මාණය කොට ඇත

 මෙසේ ආරක්‍ෂිත ක්‍රමෝපායන් උපයෝගී කරගෙන පෞරාණික වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කරන ලද විශාල ටැම්පිට ගොඩනැගිල්ලේ පහත මාලය රාජ සභාව රැස්වීම් සඳහාත් දෙවන මහල එතුමාගේ වාසය සඳහාත් තුන්වන මහල දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට ද ඉදිකර ඇත එහෙත් එතුමාගේ අදහස ඉටුකරගැනීමට නොහැකි වී ඇත ටැම්පිට ගොඩනැගිල්ලේ දෙවන මහල සහ දිය අගලේ වැඩ සෑහෙන දුරකට නිමවත්ම මේ පිළිබඳව රජුට කිසියම් අයකු කේලම් කියා ඇත මින් කුපිත වූ රජු මොල්ලිගොඩ අදිකාරම්තුමා ගෙන්වා මේ ගැන විමසා ඇත ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ විහාරයක් කරවන බවයි රජු පසුදිනම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණෙන බව පවසා තිබේ මින් කලබලයට පත් අදිකාරම්තුමා උඩරට ප්‍රදේශයේ චිත්‍ර ශිල්පින් හා පෙති පිළිම ආදිය රාත්‍රියේම ගෙන්වා පසුදා පහන් වන විට විහාරයක් බවට පරිවර්තනය කර ඇත පසුදින රජු රජු එන විට විහාරයක් කරගෙන යන අයුරු මනාව පෙනුන හෙයින් ආපසු ගොස් ඇත එම උපායශීලි ක්‍රියාව නිසා මොල්ලිගොඩ අදිකාරම්ගේ ජීවිතය බේරී ඇත සිය රහස හෙළිවීමෙන් පසු ගොඩනැගිල්ලේ වැඩ ඉතා සෙමින් සිදු වී ඇත දිය අගල තැනීම එතැනින්ම අවසාන වී ඇත තම සිතැගියාව ඉටු නොවූ නිසාදෝ ටැම්පිට තෙමහලින් නිම කිරීමට සැලසුම් කල ගොඩනැගිල්ල දෙමහලින් අවසාන කර ඇත 

ඉන් වසර කීපයකට එනම් ශකවර්ෂ 1748 පොසොන් පුර පෝයදා මෙය විහාරස්ථානයක් ලෙස පරිවර්තනය කර පුජා කරන ලදී ගොඩනැගිල්ලේ පහත මාලය ධර්ම ශාලාව ලෙසින් එකල සිට ප්‍රයෝජනයට ගැනේ උඩුමහලට පිවිසීමට සහ පහතට බැසීමට වෙන් වෙන් වශයෙන් සැකසු තරප්පු පෙළකි විශාල එළිමහන් ආලින්දයක් වටේට ඇත ඉන් ඉක්බිතිව විහාරයට පිවිසෙන පළමු කුටිය හමුවේ එහි දෙපස විශාල දොරටු රුප 2 චිත්‍රයට නගා ඇත ඊට අමතරව එම කුටියේ බිත්ති මත පංචනාරි ගැටය රාජසිංහ රජුගේ රුව ආදිය පවතී එහි සිවිලිමේ විහාරස්ථානයේ ආකෘතිය චිත්‍රයට නඟා ඇත එම කුටිය පසු කිරීමෙන් විහාර මන්දිරයට ලඟා විය හැක එහි විශාල සමාධි පිළිමයක්ද දෙපස හිටිපිලිම වහන්සේලා දෙනමක්ද වැඩ හිඳිති මෙම පිළිම වහන්සේලා තුන්නමම දැවයෙන් තැනීම විශේෂ ලක්ෂණයකි දැවයෙන් නිමකර මැටි තවරා ඒ මත තීන්ත අලේප කර ඇත බිත්ති මත සුවිසි විවරණ චිත්‍රයට නඟා ඇති අතර දේවරුප හා රාජසිංහ රජුගේ ලෙව්කේ දිසාවගේ මොල්ලිගොඩ අදිකාරම්ගේ ද රූ චිත්‍රයට නඟා ඇත සිවිලිම මකරාක්ෂ චිත්‍රයෙන් නිමවා ඇත විහාර මන්දිරයට නැගෙනහිරින් තුන්මහල් පේසාවක් මධ්‍යයේ පිහිටුවා ඇති ඉපැරණි බෝධීන් වහන්සේය විහාර මන්දිරයට දකුණින් මැද මිදුල සහිත විශාල දැවමය වී අටුවකින් යුතු පැරණි සංඝාවාසය පිහිටා ඇත 
   
කෙලෙස් කහට බැහැර කෙරුව සිල් ගුණදම් වලින් යුතුව ඉඳුරන් දමනයෙන් යුතුව – සමාධිගත සිතින් යුතුව ඇත්ත කතා කරන කෙනා දරා සිටියි නම් කහවත ඉතා සුදුසුමයි ඔහු හට – දරා සිටින්නට කහවත.
Read more »

එක්නැළිගොඩ වලව්ව

0 comments
කරන සියලු පින, පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතෙන් හැදෙනවා සියල්ල කෙනෙක් නපුරු සිතින් යුතුව වචනයෙන් පව් කරනා විට නපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට පල දෙනවාමයි ඒ පව එනවා දුක ඔහු පසුපස ගැල බැඳි ගවයා පසුපස රෝදය කැරකෙන විලසට.




වාස්තු විද්‍යාත්මක වශයෙන් මෙය අතිශය වැදගත් ස්මාරකයක් සෙ සැලකිය හැක මෙම වලව්වේ නිර්මාණ සැලැස්ම නිරීක්ෂණය කරන විට පැරණි රජගෙදරක අසිරිය සිහිගන්වයි ප්‍රභූ පාලකයෙකුගේ වාසයට සුදුසු අයුරින් නිමාවී ඇති නිසා පැරණි ශ්‍රී විභූතියක ජායාව ගෙන හැර දක්වයි 1 වන පරාක්‍රමබාහු රජු ප්‍රථමයෙන් ඉදිකළ පඬුවස් නුවර රජ ගෙදර ආකෘතියට මෙම වලව්ව සැලැස්මද බොහෝ සෙයින් සමාන බව පුරාවිද්‍යා මතය වේ එකම වෙනස එහි ඉදිරිපස මිදුල වටා ඇති කාමර පේලිය නැති කම පමණි මෙහි බිත්ති කළුගල සක්ක බැම්මෙන් නිමවා ඇත කපරාරුව ඉතා ශක්තිමත්ය බඹරපැණියෙන් ඇණු හුණු බදාම කපරාරුවට ගෙන තිබේ වහලයට ශක්තිමත් දැව යොදා සිංහල උළු සෙවිලි කර ඉදිකර ඇති මෙම වලව්වට දැනට ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් ඇතත් තාමත් හොඳ තත්වයෙන් පවති 

ආලින්දයේ එක කොටසකුත් පිටිපස මුළුතැන්ගෙයි ප්‍රදේශයත් හැර ඉතිරි සියලු කොටස්වල සතරැස් බිම් ගඩොල් අතුරා තිබේ මේ ක්‍රමයේ බිම් ගඩොල් ඕලන්දයේ පැරණි ගෘහ නිර්මාණ කටයුතු සඳහා යොදාගෙන තිබීම අනුව මේ ක්‍රමය ලක්දිවට ඕලන්ද ආභාෂයෙන් ජනිත වුවක් දැයි අනුමාන කරතත් පැරණි විහාර දේවාල හා වළව් වැනි ස්ථානවල මෙම වර්ගයේ බිම් ගඩොල් අල්ලා ඇත මේ ගඩොල් වලං මැට්ටෙන් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවාය මුළුතැන්ගේ කොටස පමණක් ගොම මැටි ගා තිබී ඇත වලව්වට අයත් විවිධ අංග අතර ගෙමිදුල විශේෂ තැනක් ගනී එය දිග අඩි 80හා පළල අඩි 40 ප්‍රමාණයේ වුවකි පෙර කල වළව් ගෙමිදුල්වල ප්‍රදේශයේ දක්ෂ නාට්‍ය ශිල්පින් එක් රැස් කර රංගනයන් පවත්වා ඇති නිසා එබඳු විවිධ කාර්යයන් සඳහා ගැලපෙන අයුරින් මෙම ගෙමිදුල සැකසී තිබේ මෙම වලව්වේ තවත් විශේෂාංගයක් නම් එහි දක්නට ඇතිආලින්දයන්ය වළව්ව විවුර්‍ත ස්වභාවය ඒ මගින් විදහා දක්වයි ගොඩනැගිල්ලේ ඉදිරියෙන් ම ඇත්තේ අඩි 60x7 ප්‍රමාණයේ ආලින්දයකි මෙය රවුම් කුළුණුවලට සම්බන්ධ කළ ගරාදි වැටකින් හා පිවිසුම් දොරටු දෙකකින් යුක්ත වේ බිමට වලං මැටි ගඩොල් අතුරා ඇත මෙය පිටතින් පැමිණෙන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉදිකරන්නට ඇතැයි සිතිය හැක අඩි 10 පරතරයට අඟල් 18 ප්‍රමාණ වූ වටකුරු ඕලන්ද ශෛලියට නිර්මාණය වූ කුළුණු 7කි පාදමට අඩි 2 1/2 පමණ වූ ඔප මට්ට්ම් කළ සතරැස් කළු ගලක් යොදා ඇත ඉදිරියේ ඇති ආලින්දයටඅඟල් 8ක් පමණ උසින් හා ඊට පිටුපසින් තවත් ආලින්දයක් නිමවා ඇත එහි පළල 60x15 පමණ වේ උසින් තනා ඇත්තේ ප්‍රභූන්ගේ ප්‍රයෝජනය සඳහා විය යුතුය මෙහි කුළුණු 6ක් පමණ ඇති අතර බිමට සිමෙන්ති දමා ඇත මුළු වලව්වේම බිමට සිමෙන්ති දමා ඇත්තේ මේ කොටසේ පමණි 

මුලින් සවිකර තිබු බිම් ගඩොල් පළුඳු වූ නිසා සිමෙන්ති දමන්නට ඇත ඉදිරිපස දෙකොනේ ඇති කාමරවලින් මෙම ආලින්දයට පිවිසීමට දොරවල් ඇත වළව්ව ඇතුලට පිවිසීම සඳහා ඉදිරිපසින් දොරටු දෙකක් ඇත දොරටුවල හා ජනෙල්වල උඩ කොටස් ඕලන්ද ගෘහ නිර්මාණ හැඩයක් ගනී මේ ආලින්ද දෙකේම සිවිලිම් නැත බැලු බැල්මට කොටස් දෙකක් වශයෙන් පෙනී යන එක්නැලිගොඩ වලව්ව ඉදිරිපස කොටසේ පසුපසද ආලින්දයකි එය මැද මිදුල වටා දිවෙන ආලින්දයකි මෙය අඩි 10කට වැඩි පළලක් ඇති ව වටේට ලි කණු යොදා බිමට සතරැස් බිම් ගඩොල් අල්ලා ඉදි කර තිබේ වලව්වේ වාසීන්ට හා පිටතින් පැමිණෙන්නන්ට පිළිසඳරේ යෙදීමට මේ ස්ථනය උපකාරී වේ බොහෝ විට ඉදිරිපසින් දොර වසා මැද මිදුල් ප්‍රදේශයේ නිතර ගැවසීම සිරිතය ඒ හැර ඉදිරි කොටසේ දෙපසද තවත් ආලින්ද දෙකක් වේ දකුණු පසින් ඇතුළු වීම සඳහා දොරටු දෙකක් ඇත ඉදිරි දොරටුවෙන් ඇතුළු වූ විට කාර්යාල කාමරය හරහා ගොස් ඉදිරිපස මහ ආලින්දයට පිවිසිය හැක දඬු කඳ වැනි උපකරණ සඳහා මේ ආලින්දය ප්‍රයෝජනයට ගෙන ඇතවම ආලින්දයේ පසුපස බුදු ගෙය පිහිටා ඇත අනිත් පස කෙළවර ඇත්තේ රාජකාරී කටයුතු සඳහා වෙන් වූ කාමරයයි වළව් ගොඩනැගිල්ලේ පිටුපස අන්තිම කෙළවර අඩි 6 ක් පමණ පලල්වු වටා ගරාදි යෙදු ආලින්දයක් ඇත එහිද ඉදිරිපස මෙන් ම් ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රමයේ කණු යොදා ඇත

පසුපස අන්තිම ආලින්දය 

වළව් ගොඩනැගිල්ලේ පිටිපස අන්තිම කෙළවර අඩි 6ක් පමණ පලල්වු වටේට ගරාදි යෙදු ආලින්දයක් ඇත ඕලන්ද ක්‍රමයේ කුළුණු මෙහිද දක්නට ඇත

ඕලන්ද ක්‍රමයේ කුළුණු 

ඕලන්ද පාලන සමයේ ලක්දිව ඉදි කළ ගොඩනැගිලිවල ආවේණික රටාවක් තිබුණි පාදමට බොරදම් යොදා ක්‍රමයෙන් ඉහළට කුඩා වන මුදුන සහිත තද ලි ස්තර යෙදු වටකුරු කුළුණු ක්‍රමය මෙහිද භාවිතා කර ඇත මුළු වලව්ව වටා ඇති කුළුණු එකම ආකාරයට නිමවා ඇත

නිදන කාමර 

මෙහි නිදන කාමර 8 ක්වේ මැද සාලය දෙපස නිදන කාමර 4කි භෝජනාගාරය දෙපස නිදන කාමර දෙකකි මැද මිදුලට යාබද පිටුපස ආලින්දයේ උතුරුපස කෙළවර තවත් නිදන කාමරයකි එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ වතුර කාමරය ඇත මෙයද දැන් නිදන කාමරයක් බවට පරිවර්තනය කර ඇත

මැද සාලය

අඩි 30x20 ප්‍රමාණයේ දිග පළලින් යුක්ත වේ සිව්පසටම දොරටු දෙක බැගින් ඇත මේ කොටසට පමණක් සොල්දරයක් ඇත එයට නගින පියගැටපෙළ උතුරු පස කොනේ යොදා ඇත

භෝජනාගාරය 

වලව්වේ ප්‍රභූන්ගේ අඩුක්කු සප්පායම් වන්නේ මෙම ශාලාවේදීය වළව්වල ප්‍රභූන්ගේ ආහාරයට අඩුක්කුව යයි ද භුක්ති විදීම සප්පායම යයි ද පැරණි ව්‍යවහාරයක් වේ මෙහි ඉදිරිපස දෙපසට දොරටු දෙක බැගිනුත් දකුණු උතුරු දෙපසට දොරටුව බැගිනුත් සවි කර ඇත 

බුදු කුටිය 

දිගින් වැඩි පළලින් අඩු මේ කුටිය වලව්වේ ආගමික කටයුතු සඳහා වෙන් වී ඇත වෙනත් ස්ථානවල නිවසක ඉදිරිපසින් ඉදිකරන පුජනිය ස්ථානය මෙහි නිවස තුල මැද කොටසක සකස් කලේ පසුකලකදී පහසුව සඳහා විය හැක 

මැද මිදුල 

ආලෝකය ලබා ගැනීම ස්වභාව ධර්මය සමග මුසු වීම ආදී අවශ්‍යතා අනුව පැරණි ගෙවල් වල මැද මිදුල ක්‍රමය සැකසු අයුරින් මෙහි ද කුඩා ශාකවලින් අලංකාරවූ මැද මිදුලකි 

පැණි කෑම කාමරය

මැද මිදුල වටා ඇති කාමර පෙළ ආහාරපාන හා වෙනත් ද්‍රව්‍යය ‍ගබඩා වශයෙන් පරිහරණයට ගෙන ඇත පැණියෙන් සකසන කැවිලි වර්ග තැන්පත් කර තැබීමට ද මේ කාමරය යොදා ගෙන තිබේ ආගන්තුක සංග්‍රහය සඳහා පැරණි ගෙවල් වල පැවති සිරිතකි 

සුප කාමරය 
අඩුක්කුව සඳහා සැකසු ව්‍යංජන වර්ග ආරක්ෂිතව තබා ගැනීමට මේ කාමරය උපයෝගී වේ 

ගබඩා කාමරය 

ආහාර සඳහාත් වෙනත් විවිධ ද්‍රව්‍ය තැන්පත් කර තැබීම සඳහාත් මෙම ගබඩා කාමර පෙළ ඉදිකර ඇත මෙම කාමර යටින් සිටින පරිදි උඩින් වී අටුව තනා ඇත මේ කාමර අතර අටුවට දුම සහ රස්නය ඇති වීම සඳහා ගිනි උදුන් වෙනුවෙන් ස්ථාන ද වෙන් කර ඇත  

වී කොටන ගෙය 

පැරණි ගෙවල් වල වී කෙටිම සඳහා උපයෝගී කර ගන්නා ස්ථානයක් වෙන් කරන අතර මෙහිද එය ඇත හතර පස් දෙනෙකුට වටා සිට වී කෙටීමට පහසු වන සෙ සැකසු බිම් ගල් මොහොර සුවිශේෂ අංගයකි 

ආහාර පිසීම 

ගිනිහල් ගෙය හෙවත් මුළු තැන් ගෙය කෙළවර පිහිටා තිබේ 

පිට වහ්නය

පැරණි වළව් වල පිටස්තර අයටත් වලව්වේ සේවක කොටස්වලටත් ආහාර පිළියෙළ කරන කොටස පිට වහ්නය ලෙස හැඳින්වේ වලව්වේ අඩුක්කුව රසමසවුලෙන් යුක්ත වන අතර පිට වහ්නයේ ආහාර එසේ  නොවන බව පැරැන්නෝ කියති මෙම වලව්වේ පිට වහ්නයෙ ආහාර ගැනීම සඳහා දිනකට 150 කට වැඩි පිරිසක් සහබාගි වී තිබේ 

ප්‍රභූ වැසිකිලිය 

වලව්වට නැගෙනහිරින් මුලිකයාගේ කාමරයේ සිට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි වැසිකිලිය තනා තිබුනත් අද ඒ වෙනුවට ඒ ස්ථානයේ ඇත්තේ කාමරයකි පැරණි ගෘහ නිර්මාණයට අනුව හැම විටම වැසිකිලි කැසිකිලි ගෙයින් බාහිරව තනන ලද බව සැලකිය යුතුය 

වතුර කාමරය 

අද ගෙවල් වල ඉදි කරන නාන කාමර ක්‍රමය වෙනුවට මේ වලව්වේ ද පරිහරණය සඳහා වතුර කාමරයක් තිබී ඇත එයට වතුර පිටතින් ගෙනවිත් තැන්පත් කර ඇත අද ඒ කාමරය නිදන කාමරයක් බවට පරිවර්තනය කර ඇත 

මහ අටුව 

වලව්වේ මැද සාලය කොටසේ තනා ඇති සොල්දරය මහ අටුව යයි කියයි පෙර මේ වලව්ව ප්‍රදේශයේ රාජකාරි මධ්‍යස්‌ථානයක් ව පැවති සමයේ රාජකාරි සඳහා අවශ්‍ය කරන අවි ආයුධ රහසිගතව ගබඩා කර තැබීමට මෙම මහ අටුව යොදා ගෙන ඇත 

මහ වී අටුව 

වලව්වේ මැද මිදුල වටා ඇති නැගෙනහිර හා බටහිර පසට මේ මහ වී අටුව ඉදි කර තිබේ දැනට සොයා ගෙන ඇති පරිදි ලක්දිව ඇති පරණම විශාල ප්‍රමාණයේ අටුව මෙය යයි සැලකේ 

මුළුතැන්ගෙය 

ආහාර පිසීමේ දී අවශ්‍ය කරන විවිධ කාර්යයන් සඳහා භාවිතා කිරීමට මේ කොටස ප්‍රයෝජනයට ගෙන ඇත 

                            එක්නැලිගොඩ වළව් පෙළපත 

එක්නැලිගොඩ වළව් පෙළපත සපරගමුවේ ඉපැරණි වලව් පෙළපත් වූ මොලමුරේ ,වාරියගම,ඉද්දමල්ගොඩ,මඩුවන්වෙල ,මුත්තෙට්ටුගම,එල්ලාවල,ඇලපාත,දෙල්වල,දෙල්ගොඩ,බදුල්ලේ රඹුක්පොත හා රුවන්වැල්ලේ මීදෙණිය යන පරපුරවල් වලට ඉතා සමීප නෑකම් ඇත්තේය දැරණියගල පරපුර මෙම වලව්වේ භාරකාරත්වය ලබා ගන්නා විට මෙහි හිමිකරුවා වුයේ රඹුක්පොත එක්නැලිගොඩ කුමාරිහාමිය රඹුක්පොත කුමාරිහාමිගේ යුගය දක්වා මෙම පෙළපතේ දීර්ඝ ඉතිහාසයක් ඇත මෙම පෙළපතේ ආදිතමයා ලෙස සැලකෙන්නේ දඹදෙණිය රාජධානිය කර ගෙන විසු 2 පරාක්‍රමබාහු රජුගේ ආර්ය කාමදේව ඇමතිවරයාය 

මෙම ඇමතිතුමාගේ සිට අකුරම් මාටුවාගල කුරුප්පු මුදලි දක්වා වූ කතා පුවත සමන් ශිරෝපාද කෘතියෙහි දැක්වේ මෙම කුරුප්පු මුදලි පරපුරේ ආදිතමයකු ගැන අලගියවන්න මුකවෙටිතුමා රචනා සැවුල් සන්දේශයෙහි නානම්බි කුරුප්පු නමින් සපරගමු මහ සමන් දෙවොලේ බන්තක මුදලි තනතුර දැරූ අයකු ගැන සඳහන් වේ එය කුරුප්පු පරපුරේ අය සමන් දෙවොලේ බස්නායක නිලය ඈත කාලයක සිට දැරු බවට‍ සාක්ෂියකි මේ ප්‍රදේශය කුරුප්පු පරපුරේ ආදී මුලය අකුරම් මාටුවාගලට අයත් ය අකුරණ මාටුවාගල කුරුප්පු නාමය අක්කරක්කුරුප්පු යයි කෙටි නාමයකින් ව්‍යවහාරයට ගොස් තිබේ අකුරම් මාටුවාගල කුරුප්පු මුදලි සමන් දෙවොලේ බස්නායක පදවිය දැරීමට පැමිණ ගමනාගමනයේ පහසුව තකා එක්නැලිගොඩ නිවස ඉදි කරගෙන පදිංචි වී ඇත 

කුරුප්පු පරපුරේ අය එක්නැලිගොඩ ගමේ පදිංචි වීමෙන් පසු පෙළපත් නාමය වශයෙන් එක්නැලිගොඩ යන නම යොදාගත්තත් පැරණි පෙළපත් නාමය වූ අක්කරක් කුරුප්පු යන්න අමතක කර නැත මේ අතර යම් යම් වික්‍රමයන් නිසා මහනුවර රජුන්ගෙන් පටබැඳි නාමයන් ද ලැබී ඇත ඒ අනුව එක්නැලිගොඩ වළව් පරපුරේ පෙළපත් නාමය වී ඇත්තේ අක්කරක් කුරුප්පු මහීපාල වික්‍රමසිංහ බස්නායක මුදියන්සේලාගේ එක්නැළිගොඩ කියාය මේ පරපුරේ අය පරම්පරා උරුමයක් ලෙස සලකා මහා සමන් දෙවොලේ බස්නායක නිලය දීර්ඝ කාලයක් දරා තිබේ 
1800 දී පමණ සමන් දෙවොලේ බස්නායක දුරය දැරූ ලොකු කළු බස්නායක නිලමේ වඩා බලවතෙක් වීය මොහුට පෙර මෙම පරපුරේ දෙදෙනකු බස්නායක ධුරය උසුලා ඇත මේ වළව්ව පිහිටි ස්ථානයේ වරිච්චි බිත්ති සහිත කුඩා ගෙයක පැරණි අය වාසය කර තිබේ අනතුරුව ක්‍රමානුකුලව වළව්ව ගොඩ නගන තුරු වළව්ව ඉදිරිපිට කුරුවිට‍ එරත්න පාරට නැගෙනහිර පසින් වෙනත් වලව්වක් තනා ගෙන වාසය කර ඇත ඒ පරණ වලව්වේ අඩිතාලම අදත් දක්නට ඇත 

එක්නැලිගොඩ කළු බස්නායක නිලමේ පෞරුෂයක් ගොඩ නගාගත් ප්‍රදෙශධිපතියෙකු  ලෙස ක්‍රියා කිරීම නිසා මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෝප වී මොහු අත්ඩංගුවට ගෙන නුවරට ‍ගෙන යාම සඳහා රාජ දුතයන් එවනු ලැබූ අවස්ථාවේ යටත් නොවූ කළු බස්නායක නිලමේ දෝලාවෙන් නැගී ගුරුබැල්කඩ නම් ස්ථානයට පැමිණ වස පානය කර දිවි නසාගෙන තිබේ ඔහුගේ අවමගුල ගුරුබැල්කඩ දී ම කිරීමේ පටන් අද දක්වාම ඒ ස්ථානය එක්නැලිගොඩ වළව් පරපුරේ සොහොන් භුමිය බවට‍ පත් වී ඇත කළු බස්නායක නිලමේගේ අකාල වියෝවෙන් පසු එක්නැලිගොඩ පරපුරේ රදල වරුන් මහනුවර රජුට වෛර බැඳ ඇත ඒ නිසා සපරගමු පාලනය සඳහා ඇහැලේපොල අදිකාරම ඒවා ඇත කළු බස්නායක නිලමේ විවාහ වී සිටියේ මඩුවන්වෙල කුමාරිහාමි සමගය එම කුමාරිහාමිට ලැබුණු එකම දරුවා එක්නැලිගොඩ මොහොට්ටාලය ඔහු පියාගේ සතුරා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා දීමෙන් එකට එක කිරීමට පෙළඹී තිබේ 

කළු බස්නායක නිලමේගේ දේපොළ මහනුවර රජු විසින් රාජ සන්තක කරනු ලැබුවත් පසුව නිදහස් කර තිබේ ඔහුගේ පුත් එක්නැලිගොඩ මොහොට්ටාල ඉංග්‍රීසි වරප්‍රසාද යටතේ පසුව දිසාවේ තනතුරට පත් වී ඇත මොහු 1929 දී සමන් දේවාලයේ බස්නායක පදවියට ද පත්වී තිබේ එක්නැලිගොඩ දිසාවගේ දෙවැනි විවාහය වී ඇත්තේ කැප්පෙටිපොළ දිසාවගේ වැන්දඹු බිරිඳ වූ දෙල්වල කුමාරිහාමි සමඟය දිසාවගේ පුත් විවාහ වී ඇත්තේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේගේ සහෝදරිය සමඟය අනතුරුව අවාහ විවාහ අනුව මොලමුරේ පරපුරටත් රඹුක්පොත පරපුරට ඇලපාත පරපුරටත් බැඳී ඇත රුවන්වැල්ලේ සිටි එක්නැලිගොඩ දිසාවගේ දියණිය පුස්වැල්ලේ වලව්වේ සිටි මුත්තෙට්ටුගම  රටේ මහත්මය සමඟ විවාහ වූ නිසා එම පරපුරේ සම්බන්ධතාව ද ඇති වීය මොලමුරේ පරපුරේ ප්‍රීති මොලමුරේ කුමාරිහාමි සමඟ කෞතුකාගාරය අධ්‍යක්ෂ ව සිටි පී ඊ පී දැරණියගලතුමා විවාහ වූ නිසා එක්නැලිගොඩ පරපුරට දැරණියගල පරපුරද යා වීය මේ වලව්වේ අයිතිය අවසාන කාලවකවානුව වන විට මොළමුරේ පරපුරට හා රඹුක්පොත පරපුරට හිමි වූ අතර ප්‍රීති මොළමුරේ දැරණියගල කුමාරිහාමි විසින් සෙසු කොටස් ද මිලට ගෙන තනි අයිතිය ලබා ඒ අයිතිය මෙම වලව්වේ පදිංචි සිරාන් දැරණියගල මහතාට හිමි කර දී තිබේ 
  
තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින් නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.සහායට බාලයෙකු නො ගත යුතු ය.
Read more »

ලොව සුපතල ඉපැරනී දේව නගරය

2 comments
මේ ලෝකය අන්ධය මෙහි ටික දෙනෙක් පමණක් යමක් හරියාකාර දනිත් දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් ටික දෙනෙකු ස්වර්ගයට යත්..


දක්ෂිණ ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර දෙවිනුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි දේව නගරයක් ඓතිහාසික රාජධානියක් බෞද්ධ සිද්ධස්ථානයක් සහ ශාස්ත්‍ර පිඨයක් හැටියට දෙවිනුවර බොහෝ ඈත අතීතයේ සිට ප්‍රසිද්ධියට පත්ව ඇත ඇතැම් පැරණි ලිපි ලේඛණ අනුව විදේශයන්හි පවා ශ්‍රී ලංකාවේ දෙවිනුවර නගරය සහ එම දෙවොල පිළිබඳව කීර්තිය පැතිර තිබී ඇත .මුල් යුගයන්හි ගිරිහෙල නමින් හැඳින්වුණු මෙම නගරය පසු කලකදී දෙවොල පිහිටුවීමෙන් පසුව දෙවිනුවර බවට පත්වී ඇතැයි ඇතැමෙකුගේ මතය වී ඇත කෙසේ වුවද දෙවියන්ගේ නගරය ලෙස අතීතයේ සිට අද දක්වාම දක්නට ලැබෙන මේ ප්‍රදේශය ඓතිහාසික වටිනාකමින් වැදගත් තැනක් ගනී මේ හා සම්බන්ධ ඉතිහාසය පැරණි ලිපි ලේඛණ දේශාටන වාර්තා ජනප්‍රවාද ආදියෙන් පමණක් නොව පුරාවිද්‍යාත්මක සාධක මගින්ද තහවුරුව තිබේ 

.ක්‍රි .ව 661 -664 අතර රජ කල දාපුළුසෙන් රජතුමන් විසින් උත්පලවර්ණ දේව මන්දිරය මෙහි ඉදිකර ඇතැයි සලකනු ලබයි කිහිරි ලියකට අරක් ගත් උත්පලවර්ණ දිව්‍යරාජයා ශ්‍රී ලංකාවේ දකුණු දිග කිරල වැල්ල වෙරළට ගොඩගසා ඇති අතර මෙම සිදුවීම හික්කඩුවේ සීනිගම දේවාලයේ කපුවාට සිහිනෙන් දැකගැනීමට හැකි වී ඇත එහෙත් කපුවාගේ පැමිණීම ප්‍රමාද වූ නිසා කිහිරි කදට අරක් ගත් උත්පලවර්ණ දෙවියෝ ගිරිහෙලපුර සිංහසන වැල්ල සමීපයට රළ වේගයෙන් පැමිණ ඇති අතර ඒ වනවිට කිරල වැල්ලට පැමිණ සිටි කපුවා කිහිරි ලීය නොදැක එතැනින් වහා කිහිරි කඳ තිබු ස්ථානය සොයා ආවේය ඒ වනවිට මෙය සිහිනයෙන් දැනගත් දාපුළුසෙන් රජු ද මහ පිරිවර කැටුව වෙරළට පැමිණ සිටි අතර මහ පෙරහරකින් කිහිරි කඳ වැඩමවාගෙන යන ලදහ පසුව එම කිහිරි ලීයෙන් උපුල්වන් දේව රුවද එම දේව බිරිය වූ චන්ද්‍රවතී රුවද එම දේව පුත්‍ර වූ ධනුර්ධර රුවද නිමවා පිරිවර දෙව් රුවද විසිතුරු සහිතව කරවා දේවාලයේ තැන්පත් කර ඇත .උපුල්වන් දෙවිඳු කිහිරි කඳකට අරක් ගෙන මුහුදේ පාවී ආ හෙයින් කිහිරැලි නාමය වී යයි මතයක් පවතී කිහිරි ලී යන වචනයෙන් බිඳුණ ද පසු කලෙක සිට කිහිරැලි යන වචනය උපුල්වන් දෙවියන්ට ආවේණිකව භාවිත වෙයි උත්පලවර්ණ ප්‍රථිමාව තැනීමට ඉතා යෝග්‍යය කිහිරි ලීය නිසා මේ දෙවිඳුන්ට එම නම තබන්නට ඇති බවත් මේ ලීයෙන් කල උපුල්වන් ප්‍රථිමා කිහිපයක් ගැන පත පොතෙහි සඳහන් වන බවත් සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි .

ප්‍රසිද්ධ දේශගවේෂකයකු වූ ඉබන්බතුතා දෙවිනුවර දෙවොල පිළිබඳව මෙසේ විස්තරයක් කර ඇත.

"ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන සැමට ම ක්ෂිතිජයේ ඉතා ඈත දහවල් කාලයේ  සැඩ හිරු රැසින් ද රාත්‍රියේ සඳ රැසින්ද බබලන තඹ තඩුවලින් වසන ලද මනහර ගොඩනැගිල්ලක් දක්නා ලැබේ මේ වනාහි කෝනාර් රටේ හෙවත් අලගක්කෝනාරගේ රටේ (ලංකාව )එම නගරයට (දෙවිනුවර)අධිපති දෙවියන්ගේ දෙවොලයි එහි මිනිස් රුවක් පමණ වූ ඝන රන් පිළිමයක් තිබේ එහි නෙත්වලට රතු කැට ඔබ්බවා ඇත ඒවා රාත්‍රී ඒකාලෝක විය දේව පුජකයෝ ද බ්‍රාහ්මණයෝ ද දහස් ගණනින් එහි පුජා පවත්වති මහ රජුගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර පෙරදිග රාජ්‍යන්හි මුල් තැනක් ගත්තෙකි මෙහි තේවාකරුවන් ගේ වාසය පිණිස විශේෂ නගරයක් ද රන් රීදී කරුවන් සඳහා වෙන කල ගමක් ද ඇත්තේ ය .මාතර ප්‍රදේශයට අයත් මෙම නගරයෙහි වූ දේව මන්දිරයෙහි සෑම රාත්‍රියන්හි ම නළගණන් පන්සියයක් නළු ගී ගයති" 

දාපුළුසෙන් රජු ගිරිහෙල පුරට එන්න සිය ඇමැතියන් ලවා දෙවිනුවර ගොඩනංවා මගුල්වැල්ලේ දේවාලයක් තනවා විමල් සිරී දෙවිනුවර යයි නම් කරවා දේවාල පෙරහැර කිරීමට බමුණන්ට නියම කොට ඇත ඔවුහු රෙදි කඩක ඒ දෙව්රුව අන්දවා දේව රාජපෙතිකඩ වහන්සේ යයි එයට නම් කරවා රන් ආයුධ ද එය ඉදිරියට අල්වා රාමචන්ද්‍ර නම් ප්‍රධාන බ්‍රාහ්මණයා ඇතුළු මහා සෙනග පෙරහරින් එම දේව රුව දේවාලය තුල තැබූ බවත් ඉන් පසු මෙම කිහිරි රුව ද එහිම තැන්පත් කල බවත් පුරාවිද්‍යාඥ එච සි පි බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ සඳහන් කොට ඇත .දෙවිනුවර රුහුණේ ඓතිහාසික රාජධානිවලින් දෙවැනි වන්නේ මාගමට පමණි කෝට්ටේ යුගයේ දී රචිත කෝකිල සංදේශය තුලින් දෙවිනුවර තිලක පිරිවෙන එදා දකුණු දිග ප්‍රකට විද්‍යාස්ථානයක් ව පැවති බව සනාථ කරයි දෙවිනුවර තිලක පිරිවෙන්පති හිමියන් කෝට්ටේ යුගයේ අවසාන සංදේශය වන කෝකිල සංදේශය රචනා කල අතර එය යාපා පටුන දිනු සපුමල් කුමරුට සෙත්පතා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කන්නලව් කල බව දන්වා යවන අදහසින් රචනා කර ඇත මෙහි දෙවිනුවර පුර සිරි නරඹා පිළිමය ,බෝධිය හා සංඝරත්නය වැඳ උපුල්වන් දෙවියන් වැඳ අවසර ගන්නා ලෙසත් දක්වා ඇත .

දෙවිනුවර පුරවරයට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවුයේ 16 වන සියවසේ පෘතුගීසි ආක්‍රමණ වලිනි දෙව් මැදුරේ සහ විහාර මන්දිරයේ කෝටි ගණන් වටිනා වස්තුව කොල්ල කා අවසානයේ මැදුර ගිනිබත් කල බව සඳහන් වේ ඉන්පසු සැහෙන කලක් කාලයේ වැලිතලාවෙන් වැසී කිසිවෙකුගේ එතරම් අවධානයක් නොලැබූ දෙවිනුවර පුරවරය 18 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේ යලිත් එලි පෙහෙළි වන්නට විය එකල මාතර දිසාව කරවූ ඉංග්‍රීසි පාලකයා විසින් ලියවිල්ලක මගින් දෙවිනුවර පුදබිම අත්තුඩුවාවේ ශ්‍රී ධර්මරක්ෂිත හිමියන්ට පැවරීය උන්වහන්සේ විසින් දේව මන්දිරය ඇතුළු අනෙකුත් අංගයන් පිළිසකර කරවා යලිත් මහජන අවධානයට යොමු කරවිය ඒ සමගම ඇසල පෙරහැර ද ආරම්භ කරනු ලැබිය         
සියලු දානයන් අතර ධර්ම දානයම උතුම් වේ.
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine