#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ලොව සුපතල ඉපැරනී දේව නගරය

මේ ලෝකය අන්ධය මෙහි ටික දෙනෙක් පමණක් යමක් හරියාකාර දනිත් දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් ටික දෙනෙකු ස්වර්ගයට යත්..


දක්ෂිණ ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර දෙවිනුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි දේව නගරයක් ඓතිහාසික රාජධානියක් බෞද්ධ සිද්ධස්ථානයක් සහ ශාස්ත්‍ර පිඨයක් හැටියට දෙවිනුවර බොහෝ ඈත අතීතයේ සිට ප්‍රසිද්ධියට පත්ව ඇත ඇතැම් පැරණි ලිපි ලේඛණ අනුව විදේශයන්හි පවා ශ්‍රී ලංකාවේ දෙවිනුවර නගරය සහ එම දෙවොල පිළිබඳව කීර්තිය පැතිර තිබී ඇත .මුල් යුගයන්හි ගිරිහෙල නමින් හැඳින්වුණු මෙම නගරය පසු කලකදී දෙවොල පිහිටුවීමෙන් පසුව දෙවිනුවර බවට පත්වී ඇතැයි ඇතැමෙකුගේ මතය වී ඇත කෙසේ වුවද දෙවියන්ගේ නගරය ලෙස අතීතයේ සිට අද දක්වාම දක්නට ලැබෙන මේ ප්‍රදේශය ඓතිහාසික වටිනාකමින් වැදගත් තැනක් ගනී මේ හා සම්බන්ධ ඉතිහාසය පැරණි ලිපි ලේඛණ දේශාටන වාර්තා ජනප්‍රවාද ආදියෙන් පමණක් නොව පුරාවිද්‍යාත්මක සාධක මගින්ද තහවුරුව තිබේ 

.ක්‍රි .ව 661 -664 අතර රජ කල දාපුළුසෙන් රජතුමන් විසින් උත්පලවර්ණ දේව මන්දිරය මෙහි ඉදිකර ඇතැයි සලකනු ලබයි කිහිරි ලියකට අරක් ගත් උත්පලවර්ණ දිව්‍යරාජයා ශ්‍රී ලංකාවේ දකුණු දිග කිරල වැල්ල වෙරළට ගොඩගසා ඇති අතර මෙම සිදුවීම හික්කඩුවේ සීනිගම දේවාලයේ කපුවාට සිහිනෙන් දැකගැනීමට හැකි වී ඇත එහෙත් කපුවාගේ පැමිණීම ප්‍රමාද වූ නිසා කිහිරි කදට අරක් ගත් උත්පලවර්ණ දෙවියෝ ගිරිහෙලපුර සිංහසන වැල්ල සමීපයට රළ වේගයෙන් පැමිණ ඇති අතර ඒ වනවිට කිරල වැල්ලට පැමිණ සිටි කපුවා කිහිරි ලීය නොදැක එතැනින් වහා කිහිරි කඳ තිබු ස්ථානය සොයා ආවේය ඒ වනවිට මෙය සිහිනයෙන් දැනගත් දාපුළුසෙන් රජු ද මහ පිරිවර කැටුව වෙරළට පැමිණ සිටි අතර මහ පෙරහරකින් කිහිරි කඳ වැඩමවාගෙන යන ලදහ පසුව එම කිහිරි ලීයෙන් උපුල්වන් දේව රුවද එම දේව බිරිය වූ චන්ද්‍රවතී රුවද එම දේව පුත්‍ර වූ ධනුර්ධර රුවද නිමවා පිරිවර දෙව් රුවද විසිතුරු සහිතව කරවා දේවාලයේ තැන්පත් කර ඇත .උපුල්වන් දෙවිඳු කිහිරි කඳකට අරක් ගෙන මුහුදේ පාවී ආ හෙයින් කිහිරැලි නාමය වී යයි මතයක් පවතී කිහිරි ලී යන වචනයෙන් බිඳුණ ද පසු කලෙක සිට කිහිරැලි යන වචනය උපුල්වන් දෙවියන්ට ආවේණිකව භාවිත වෙයි උත්පලවර්ණ ප්‍රථිමාව තැනීමට ඉතා යෝග්‍යය කිහිරි ලීය නිසා මේ දෙවිඳුන්ට එම නම තබන්නට ඇති බවත් මේ ලීයෙන් කල උපුල්වන් ප්‍රථිමා කිහිපයක් ගැන පත පොතෙහි සඳහන් වන බවත් සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි .

ප්‍රසිද්ධ දේශගවේෂකයකු වූ ඉබන්බතුතා දෙවිනුවර දෙවොල පිළිබඳව මෙසේ විස්තරයක් කර ඇත.

"ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන සැමට ම ක්ෂිතිජයේ ඉතා ඈත දහවල් කාලයේ  සැඩ හිරු රැසින් ද රාත්‍රියේ සඳ රැසින්ද බබලන තඹ තඩුවලින් වසන ලද මනහර ගොඩනැගිල්ලක් දක්නා ලැබේ මේ වනාහි කෝනාර් රටේ හෙවත් අලගක්කෝනාරගේ රටේ (ලංකාව )එම නගරයට (දෙවිනුවර)අධිපති දෙවියන්ගේ දෙවොලයි එහි මිනිස් රුවක් පමණ වූ ඝන රන් පිළිමයක් තිබේ එහි නෙත්වලට රතු කැට ඔබ්බවා ඇත ඒවා රාත්‍රී ඒකාලෝක විය දේව පුජකයෝ ද බ්‍රාහ්මණයෝ ද දහස් ගණනින් එහි පුජා පවත්වති මහ රජුගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර පෙරදිග රාජ්‍යන්හි මුල් තැනක් ගත්තෙකි මෙහි තේවාකරුවන් ගේ වාසය පිණිස විශේෂ නගරයක් ද රන් රීදී කරුවන් සඳහා වෙන කල ගමක් ද ඇත්තේ ය .මාතර ප්‍රදේශයට අයත් මෙම නගරයෙහි වූ දේව මන්දිරයෙහි සෑම රාත්‍රියන්හි ම නළගණන් පන්සියයක් නළු ගී ගයති

දාපුළුසෙන් රජු ගිරිහෙල පුරට එන්න සිය ඇමැතියන් ලවා දෙවිනුවර ගොඩනංවා මගුල්වැල්ලේ දේවාලයක් තනවා විමල් සිරී දෙවිනුවර යයි නම් කරවා දේවාල පෙරහැර කිරීමට බමුණන්ට නියම කොට ඇත ඔවුහු රෙදි කඩක ඒ දෙව්රුව අන්දවා දේව රාජපෙතිකඩ වහන්සේ යයි එයට නම් කරවා රන් ආයුධ ද එය ඉදිරියට අල්වා රාමචන්ද්‍ර නම් ප්‍රධාන බ්‍රාහ්මණයා ඇතුළු මහා සෙනග පෙරහරින් එම දේව රුව දේවාලය තුල තැබූ බවත් ඉන් පසු මෙම කිහිරි රුව ද එහිම තැන්පත් කල බවත් පුරාවිද්‍යාඥ එච සි පි බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ සඳහන් කොට ඇත .දෙවිනුවර රුහුණේ ඓතිහාසික රාජධානිවලින් දෙවැනි වන්නේ මාගමට පමණි කෝට්ටේ යුගයේ දී රචිත කෝකිල සංදේශය තුලින් දෙවිනුවර තිලක පිරිවෙන එදා දකුණු දිග ප්‍රකට විද්‍යාස්ථානයක් ව පැවති බව සනාථ කරයි දෙවිනුවර තිලක පිරිවෙන්පති හිමියන් කෝට්ටේ යුගයේ අවසාන සංදේශය වන කෝකිල සංදේශය රචනා කල අතර එය යාපා පටුන දිනු සපුමල් කුමරුට සෙත්පතා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කන්නලව් කල බව දන්වා යවන අදහසින් රචනා කර ඇත මෙහි දෙවිනුවර පුර සිරි නරඹා පිළිමය ,බෝධිය හා සංඝරත්නය වැඳ උපුල්වන් දෙවියන් වැඳ අවසර ගන්නා ලෙසත් දක්වා ඇත .

දෙවිනුවර පුරවරයට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවුයේ 16 වන සියවසේ පෘතුගීසි ආක්‍රමණ වලිනි දෙව් මැදුරේ සහ විහාර මන්දිරයේ කෝටි ගණන් වටිනා වස්තුව කොල්ල කා අවසානයේ මැදුර ගිනිබත් කල බව සඳහන් වේ ඉන්පසු සැහෙන කලක් කාලයේ වැලිතලාවෙන් වැසී කිසිවෙකුගේ එතරම් අවධානයක් නොලැබූ දෙවිනුවර පුරවරය 18 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේ යලිත් එලි පෙහෙළි වන්නට විය එකල මාතර දිසාව කරවූ ඉංග්‍රීසි පාලකයා විසින් ලියවිල්ලක මගින් දෙවිනුවර පුදබිම අත්තුඩුවාවේ ශ්‍රී ධර්මරක්ෂිත හිමියන්ට පැවරීය උන්වහන්සේ විසින් දේව මන්දිරය ඇතුළු අනෙකුත් අංගයන් පිළිසකර කරවා යලිත් මහජන අවධානයට යොමු කරවිය ඒ සමගම ඇසල පෙරහැර ද ආරම්භ කරනු ලැබිය         
සියලු දානයන් අතර ධර්ම දානයම උතුම් වේ.

2 comments:

{ Hasitha } at: 10 August 2012 at 18:28 said...

දඹදෙණි යුගයදීත් උපුල්වන් දේවාලයට ලොකු පිළිගැනීමක් තිබිලා තියෙනවා.

මුල්වරට චන්ද්‍රබානුගේ ආක්‍රමණය පරාජය කිරීමත් සමඟ සේනාව දෙවිනුවරට ගිහින් පුද පූජා පවත්වපු බව කියවෙනවා.

ඒ වගේමයි දෙවෙනි පැරකුම්බා රජතුමාගේ අවසන් කාලයේදී බසේ විකලු බවක් [ගොතයක්] ඇතිවීමත් සමඟ රජතුමාගේ අසනීප තත්වය සුව කරන දෙන්න කියලා උපුල්වන් දේවාලයට ගිය රජතුමාගේ අගමැති වුණු දේව ප්‍රතිරාජට දේවාරූඪ වුණු කපුවා කියන්නේ "කෙකටිය මලේ වක ඇරුනත් රජතුමාගේ බසේ විකලු නැති නොවේ" කියලා

{ Darshana Prabhath } at: 18 October 2012 at 12:26 said...

දේවාලෙ තිබ්බ කිහිරි රූපෙ අද කෝ?

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine