තල මලක් පිපෙන්නේ ඉතාමත් කලාතුරකිනි. තල මලක් පිපීමෙන් එම ගසේ අවසානය උදා කරවයි.පුරාණ ගම්වල සිටි අය සිතුවේ තල මල් හතක් පිපුණු කලට අහල ගම් හතක්ම පාළුවන බවටයි. ඒ නිසා ඔවුහු තල මල දෙස බැලුවේ ගෞරව සම්ප්‍රයුක්ත බියකිනි. ඒ නිසාම තල මල පිළිබඳව පබැඳු කවි අපමණය. තල මල් කවි නොයෙක් ආකාරයට ගායනා කල හැක.මිනිස් ජිවිතයේ ඇති අනියත බව මේ කවි වලින් සිහිපත් කරවීම වැදගත් ලක්ෂණයකි
01. උතුම් මෙ අපෙ මුනි බෝ මුල වැඩලා
සිහිකර ගත් පෙරුමන් බලයෙන්
දිනන්නෙ ගොරතර මර සෙන් බිඳ හැර
තුන් ලෝ එළි කර දුන් මෙ බුදුන්
සතුන් සසර දුක් මුදන දහම් පල
දෙසමින් ඇති කළේ සඟ තෙරුවන්
මෙතුන් සරණ මගෙ සිරස දරාගෙන
මඳක් මෙ තල මල වරුණ කියන්
02. ලස්සන මයුරාපෙණ පිට වැඩ හිඳ
කඳ කුමරිඳු වරදක් නොපෙනේ
දොස්හැර මිහිකත සිවුරඟ මඬල ද
එ සමන් බොක් සැල දෙවි සඳිනේ
දොස් දුරලා මගෙ දිවි රැක දෙනු සොඳ
විස්තර කන්දස් සාමියනේ
විස්තර තල මල වරුණ කියම් මම
අනුරාපුර සිද්ධස්ථානේ
03.දෙරණ පලා පැළපත නැගලා මුල
සොමි කරලා ගල උඩ නැගලා
වරුණ මුලා යති දුන් ලොබලා ගොඩ
මුහු කරලා අතු පතර වෙලා
සරණ බලා ගොබ කප්පවලා පොත්
පත් සදලා ධර්මය ලියලා
පුදන කලා මුනි සඳට ලොලා ගියෙ
රුව බබළන මල පුබුදු වෙලා
04.ආවා තලගස නාග ලොවේ සිට
මතු පන්දාහක නවතින්නේ
ආවා බමරිඳු මෙහි රොන් ගන්නට
පුදින තුරුවට ගැවසෙන්නේ
ජාවා එන කඳුලෙන් නාවා ඇස
හංස පෙළක් මෙන් ලෙළ දෙන්නේ
හේවා පලහේ වත්තේ තලමල
මගට පෙනේ දාගැබ ලෙසිනේ
05.නිල්මිණි දෝ නිලුපුල් පෙති දෝ බැඳි
දද පෙළදෝ ලෙස මිණි ඔබිනා
මල් පෙති දෝ මිණි රැස් කඳ දෝ මිණි
මුතු විල දෝ සිව් අත බෙදුනා
ලොල් කත දෝ එන ළඳ බිලිඳෝ මල
දැකපු ලදෝ කවි කර යනෙනා
කල්පය දෝ කලියුගයට දෝ පුර
තලමල දෝ මේ රුව දිලෙනා
06.සරා සඳුන් සොඳ කපුරු මෙ පිනිදිය
සුවඳින් ගුවනේ ලෙළ දෙන්නේ
විරාජිත වූ සවඩි දඟේ මෙන්
මල්පෙති සිව් අත බේද උනේ
වරා රූප මහ බඹා කරපු
නොවේ ද විසිතුරු සක් රජුනේ
නුරා ඔබත් මේ රූමත් තල මල
මිණි බැඳි රන් මල ලෙස වන්නේ
07.සොඳින් බලා දන එරන් තුලා නද
රුවන් සතක් සේ මහ බඹු එවනා
ගුවන් තලා මැද විමන් බලා යන
විස්කම් දෙව් කළ රුවක් මෙනා
අඳුන් වලා ගැබ මැදින් පලා ගෙන
ගමන් කරන පුන් සඳක් මෙනා
මුදුන් වෙලා ගැබ කුසුම් සලා වට
සඳුන් රුකක් සේ මල මුදුනා
08.ශ්‍රී භගවත් අප ගෝතම බෝසත්
බුදු වෙන්නට සදනා වේලේ
බෝ බලවත් වසවත් මර දෙවිඳුන්
යුද කළ ශ්‍රී ජය බෝදි මුලේ
ඒ බලවත් මරු පරදා බුදු වී
තිලොවග මුනිඳුගේ දහම් බලේ
රුව ගුණ යුත් කවි පද බැඳ කීවට
වස් නැත තල මල රුව බැබලේ
09.අහල ගම්වල වැවේ තලගස්
නෑ අපේ ගම වැඩෙන්නේ
පතළ කවි ඇත එහෙව් ගම්වල
අපට නැත්තේ කිසි දිනේ
ගම්මු රැස් වී කතා බස් කර
මෙලෙස තීරණ යොදන්නේ
වවමු තලගස් නෑර හැමතැන
එකා මෙන් අප ගම් තුලානේ
10. කතිකා කරලා තල ඇට සොයලා
හැමදෙන තම තමන්ගේ වත්තේ
සිටෙව්ව තල ඇට ගොබ මතුකර පැළ
වුනෙ නෑ කිසිවකු ගේ වත්තේ
දෙවියන් දුන්නේ පැළවුණු පැළයක්
අදිකාරම් මැතිඳුගේ වත්තේ
කීවට වස් නැත සතර වරම් දෙවි
පැළයට රැකවල් දී ඇත්තේ
11.මෝරා තලගස නුබ ගැබ විලසට
සතර අතට අතු විහිදෙන්නේ
පතුරා සිවු දෙස යනෙන දනෝ ඉඳ
මඳ සිසිලක් ඉන් විඳගන්නේ
දාර ගැබක් මෝරා එන විලසට
මල් කැකුළක් ඉන් මතුවෙන්නේ
සතර වරම් දෙවි බාරට අරගෙන
වාගෙයි ඒ මලවට එන්නේ
12.යන්නට හොඳයි ශ්‍රී මහ බෝ අනුර පුරේ
ගොන් බැඳි රියවලින් යා හැක අනුර පුරේ
හොඳට හොඳයිතල මල ඇත බරට බරේ
අලි ඇතු පිටින් වඩවමු එ මල පෙර හැරේ
13.සල් උයනක් සැදිලා වැට ආනන්දේ
පොල් උයනක් සැදිලා ඇත කිරින්දේ
මල් තොරණක් ගෙතුවා වැනි කුමන්දේ
තල මල් හතක් එක පෙළට ම කිරින්දේ