#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ජනකවි,ජනකතා

1 comments

මහනුවර යුගයේ සමහර රජවරු සල්ලාල ජීවිත ගත කළහ.රූමත් කතුන් දුටු පමණින් අන්තඃපුරයට කැඳවා ගැනීම එකල ඔවුන්ගේ සිරිත විය.වලව්වල රූමත් කතුන් ඇතිබව දැනගත්විට රජ අණපරිදි ඇතැම්විට අන්තඃපුරයට ඇතුළු කරගන්නා ලදී.මෙසේ ඇතුළු කරගන්නා කාන්තාවන් යකඩ දෝලි නමින් හඳුන්වන ලදී.මහනුවර රජුන්ට යකඩ දෝලි ගණනාවක්ම විය. මහා නිලමේවරුන්ගේ මහනුවර නගර ආසන්නයේම  වූහයි කියති.රජු යන එන ගමන් වලදී වලව් දෙසද නොබලාම නොගිය බැව් කියන ප්‍රවාද නැත්තේ නොවේ.දිනක් පෑ තැටි පසුකර යමින් සිටි මහරජතුමාට ඒ අසල වලව්වක සිටි 'යහපති' නම් රූමත් දැරියක් දකින්නට ලැබුණි.ඈ කෙරෙහි පිළිබඳව සිතක් ඇතිකරගන ඇය ගැන තොරතුරු සපයන ලෙසට රජු මහ නිලමේට අණ කරන ලදි.තම වලව්වේ වැඩකාරකමට සිටි එතෙක් වැඩිවිය නොපැමිණ සිටි කෙල්ල වෙත රජුගේ සිත ඇදී ගියබව දැනගත් නිලමේ මෙසේ රජතුමාට ලියා සැල කළේලු.

පුරා තන තිසරු දෙහි ලෙලි විතර        ඇති
නුරා කරන වයසත් පැමිණුනේ          නැති
පුරා වයස දහතුනකට විතර                ඇතී
කොරහ වහල්කඩ බැඳී කොඩිය          යහපති

ලැජ්ජාවට පත්වූ රජතුමා ඊට පසුව දැරිය ගැන ඇසුවේ නැතිලු.

උපදේශ කවි

කරදර සිතට වැදුනම පැමිණෙන            වෙහෙස 
ජරමර දෙකම පැමිණෙයි පුරුවේ           දෝස
වැරසැර රැගෙන දඩසැරියක්                   සිතුවිලස
වැරදුන තැනට කවුරුත් නැත තමන්       මිස   

දුක දන්නෝ ලොව කාටත්                    පිහිටවෙතී
බණ දන්නෝ ලොව සතහට බණ          කියතී
අණ දෙන්නෝ රජසේවේ වැඩ               කරතී
විලි දන්නෝ නොසිරිත් කම් නොම        කෙරෙතී

නැත මිතුරෙක් දැනගත් සිල්ප                 මිස වෙන
නැත හතුරෙක් මත්පැන්  හා                     සදිසිවන
නැත අදරෙක් දරුවට දෙගුරු මිස              වෙන
නැත බලයක් තිසරණබල සදිසි                 වෙන

දහම් ගැටයක්

කලකට කට මවු දෙතනේ     කිරිබීම
කලකට කට රස පලවැල       වැළඳීම
කලකට කට කෙතකට බැඳී   වැටසේම
කලකට කට පටමල්පේකට    සේමා

අදහස:-
මේ දහම් ගැටයෙන් ජිවිතයේ නිස්සාර බව මැනවින් පිළිඹිබු කරයි.කලකදී කට මවු දෙතනේ කිරි බොයි.ඒ බිලිඳු සමයෙන් පසු පළවැල රස අනුභව කරන කට වයසට යත්ම වේලකට බැඳී වැටක් සේ වෙයි.දිවියේ ජරාපත්වන ස්වභාවය කියන්නට ගත් මගනම් ඉතා අගනේය 

තේරවිලි

පිටතින් සම ඔපයි පහටිය කුඩා            ඇස
ඇතුලින් මස් රැඳුන කොහු ඇටය පිට    ඇත
නිතියෙන් අඹුලමුත් විළිකුන් කල           රසැත
රසයෙන් රසැති ගෙඩිය තෝරා දෙනුම  වෙත

නිරතුරු වෙහෙස දෙන හතුරෙකු මෙන්  මෙමට
පළතුරු ගැන අසයි එකිනෙක ගෙන       කපට
මෙවියුරු හැඩය ඇති පලනම් සිතෙන      විට
ගනිසුරු ලොබය කළ අඹ ගෙඩිය දෙනු    සෙට

නිබඳ මෙරුක කිරි වැගිරෙන පසඟ   තුල
නොමඳ කිරි මිරෝ වනසන බුදින    කල
සුවඳ සබන් සැදුමට කිරි ගනි           මෙකල
සබඳ මිතුර තෝරා දෙනු මට            මෙපල

පෙම් වඩවන දෙයකි සුමිතුරු            හැමවිට
දුම්බොන අයට ගුණදෙන කෑමකි      ලයට
පෙම් විලසින් විහඟුන් කණ                ඉදුනුවිට
මින් දැනගන්න ගස්ලබු බව මිතුර      සෙට 
Read more »

අඬහැරය

1 comments
පුරාණ අඬහැරයද ජන කවියකි මිනිසාත් මී ගවයාත් අතර බැඳී පවතින සහජීවනය ඒ තුල ගැබ්වි ඇත

තිසරණ සරණයි බුදුන් දැකපන්
මගේ සුරතල් මීවෝ උඹ උවෝ ..උවෝ ...උවෝ ...
සතර වරන් දෙවියන් හට බාරයි
මගේ මී වස්සා උඹ උවෝ.. උවෝ ...උවෝ ...
තිස්තුන් කෝටියක් දෙවිපිහිටයි
මගේ වහු දරුවෝ උවෝ.. උවෝ ...උවෝ ...
කතරගම දෙවි රැකපන් මගේ මී වස්සා උඹ
උවෝ.. උවෝ ...උවෝ ... උවෝයි..

දෙවි පිහිටෙන් ඇදපන්කෝ මගේ වහු දරුවෝ
උඹ උවෝ .. උවෝ.. උවෝයි ... 
බුදුන් දැක නිවන් දැකපන් මගෙ එළවස්සා 
උඹ. උවෝ.. උවෝ ...උවෝ .... හෝ
මුල්ලෙන් පලයන් මගෙ කිරි මීවෝ
උඹ. උවෝ.. උවෝ ...උවෝයි
ඉරු දෙවියන් ඉර මුදුනේ කව නැත
පලයන් මගෙ මී වස්සා උඹ
උවෝ.. උවෝ ...උවෝයි

පින් අත්වෙයි උඹලට අප්පේ
දුවෝ...හෝ ...උවෝ ...උවෝ ...උවෝ...
උඹට පව් නැත මගෙ මටිය වස්සා උඹ
උවෝ.. උවෝ ...උවෝ ... හෝ ...
ගොඩට යන්ට. දැන් දැන් දැන් ළඟමයි
උඹ . උවෝ.. උවෝ ...උවෝ ... 
දෙවිපිහිටයි මගෙ වහුපැටියෝ උඹලට
උවෝ.. උවෝ ...උවෝ ...

තිසරණ සරණයි උඹලට මගෙ වහු දරුවෝ
උවෝ.. උවෝ ...උවෝ ...හෝ
මගෙ බත් පත සලසා දෙන
කිරිදුවෝ ....හෝ ....හෝ ....හෝ
මේ වෙල්යායට උඹේ පිහිටමයි
වහු දරුවෝ ...උවෝ.. උවෝ ...උවෝයි
දැන් වැඩ ඉවරයි ගෙදර යන්ට යන්
එලවස්සා උඹ උවෝ.. උවෝ ...උවෝ ... උවෝ....
හෝ .... හෝ .... හෝ ..... 
Read more »

පන් යක්කම

2 comments

පැරණි කෘෂිකාර්මික සමාජයේ පන් කපා පැදුරු විවීමකාන්තාවන්ට උරුම වූ ඉතා වැදගත් කාර්යයක් ලෙස සැලකුණි නැන්දම්මා තම පුත්‍රයාට කරකාර බැඳ අලුතින් කැඳවාගෙන ආ තම ලේලියට කෑම පිසීම මෙන්ම පැදුරු විවීමට දක්‍ෂ තැනැත්තියක් දැයි සොයා බැලුවේ මේ නිසාය.වෙලට ගොස් පන් කැපීම,පන් විවීම ඇතුළු ඊට අයත්සියලු කාර්යයන් ගැන පන්නම් කතුර ,පැදුරු මාලය වැනි පොත්පත් ලියැවුණේ පන් කර්මාන්තයට එදා ලැබුණු වැදගත්කම නිසාය. 

මේ නිසාම පන් යක්කම නමින් යාතුකර්මයක් (පුජා ක්‍රමයක්) පැවැත්වූ බව ද පෙනේ. පන් යක්කම හා බැඳුන (පට්ටිය ගිරි),(ඔකඳ ගිරි),(කොටපල බිසව්),(වෙළඹ ගිරි),(දොළොස් ගිරි) වැනි මනුෂ්‍යත්වය ඉක්මවූ දෙවියන් හෝ යක්‍ෂ පිරිසක් ගැන පන් යක්කමට අදාළ බොහෝ කවිවල සඳහන් වේ.පහත රට ශාන්ති කර්ම අතර ඇති රට යකුම හෙවත් රිද්දි යාගයේදී ද පන් යක්කම ආශ්‍රිත කවි ගායනා කරනු ලබන අතර මෙම කවිවල ඊට වඩා සුවිශේෂත්වයක් දක්නට ඇත.කෙසේ වෙතත් පන් යක්කම හා පන් කර්මාන්තය ආශ්‍රිතව ඇති පුරාණ ජන කතා ,ජනකවි හා වෙනත් ජනශ්‍රැති එකතු කළහොත් ඒ තුලින් පන් යක්කම පිළිබඳව වැදගත් තොරතුරු රාශියක් දැනගත හැකිවනු ඇත

1. පට්ටි ගිරි කොයි වාගෙද         ඉන්නේ
   මුට්ටි පුරා කිරි දෝගෙන           ඉන්නේ
   කච්චි පුරා සුදු සේල               අඳින්නේ
   පට්ටි ගිරි පන් විලට               වඩින්නේ

2. සත්තු ඇවිත් විල වටකර         හිටියට
    නැට්ටු අපිත් යන් කඩිනම්        ගමනට
    මොට්ටු දමයි පන්නම් අපෙ     නුවරට
     කිට්ටු කළා විල පේනා            එතෙරට

3. පාන්දරම ගොස් පන් විල          දැකලා
    යාන්වෙලා තිබු පන්                 උදුරාලා
    මාන් බලන සේ අතපත             ගාලා
    හීන් හීන් පන් තිබුණිය               ලීලා

4. වයිර බැඳපු ලියො පන්              උදුරන්නේ
    සයුර බලා ගැඹුරට                   නොබසින්නේ
    ඔමරි ලියන් පෑ කොළ               පාගන්නේ
    ඔමරි නුරාවෙන් පන්                 උදුරන්නේ

5. තුඩ ගසමින් කූඩැල්ලන්             දෙපයට
    උඩ පනිමින් ලඳ කාපි කියා         සිට
     අඬ ගසමින් ලඳ දුවයි කියා         ගෙට
      ගොඩ පනිමින් පන් උදුරා         හනිකට

6. ජෝඩු වෙලා පන් උදුරා               ගන්නේ
   ජෝඩුව එනකොට විල යට             යන්නේ
    නානු වෙලා විල කිම්ද                  බලන්නේ
    පාරුවකින් වද සොයලා                ගන්නේ

7.ගොඩ නැගුනා පන් විලෙන්            බොලන්නේ
   මඩ තැවරුණ අත පය                   සෝදන්නේ
   අඬහැර පන් කවි සින්දු                  කියන්නේ
   කඩවර කළ හැම දෝස                  මුදන්නේ

8.සෙවනැල්ලට පන් ගොස්               දමමින්නේ
   කොළ කඩමින් පන් මිටි                බඳිමින්නේ
   දිය පිළි ගලවා සේල                      අඳින්නේ
    පන් ටික අරගෙන එන්න               වරෙන්නේ

9. රොදින් රොදට ගොස් වැල්             අදිමින්නේ
   අගෙයි කියා පන් කොළ                 කඩමින්නේ
   රඟේ නොදැන පන් මිටි                 බඳිමින්නේ
   ගානක් දී පන් මිටි                         අරගන්නේ

10. එපන් ගෙනා විට මොකද               කරන්නේ
      අව්වේ දමමින් වේලා                    ගන්නේ
      තැනින් තැනට පන් පට්ටි               දමන්නේ
       පට්ටි දමා පන් වේලා                   ගන්නේ

11. පැහිච්ච පන් ගෙන වෙන  ම          දමන්නේ
      හොඳ හොඳ දළු පන් කට්ට            දමන්නේ
      කට්ට බැඳපු පන් වෙන ම              දමන්නේ
      මේ දේ සමඟින් පතැඟි                 පොවන්නේ

12 . රටට ගමට ලඳ හොඳ                   පාරට්ටුව
       කවට සිනාවට ලඳ හොඳ               මුට්ටුව
       කවට සිනා නොකියන් ඉඳ              කිට්ටුව
        මුලට වියාපත් හංස                      පුට්ටුව

13. දිලිසෙන මාලේ වියපන්                 පැදුරට
      හාවුන් ගිරවුන් වියපන්                  පැදුරට
      අලි කොටි වලසුන් වියපන්             පැදුරට
       මේ ලෙස වියපන් සමයම             පැදුරට

14. ඉසට සියුම් ලා කෝට්ටේ                වියඥ්ඥයි
      පයට පියුම් ලා කෝට්ටේ               වියඥ්ඥයි
       නාග රටාවෙන් පැදුරක්                 වියඥ්ඥයි
       ඉරිදා සමයමට පැදුරක්                  වියඥ්ඥයි

15. සතුටින පන් වියා වේලා සොඳ         ලෙසින
      මන පිනවන අයුරු වියු පැදුරු          අරගෙන
      ගෙන දෙන සුවය නිදි දෙව්දුව         වැළඳගෙන
      සැතපුන මැනවී සිහිකර තිසරණ       සරණ
Read more »

රන්වල දෙවියෝ

0 comments

කෑගල්ල නගරයට යාබදව රන්වල යන නමින් ගමක් ඇත.දෙවන රාජසිංහ රජුගේ  කාලයේ රජුට අයත් වී අටුවක් නැත්තම් පත්තායමක් ඒ ගමේ තිබිණි.එකල රන්වල ගමේ අලවතුරේ රාළ, ගණේගොඩ රාළ යන නමින් හැඳින්වූ දැඩි මිතුදමින් වෙළී සිටි තරුණයෝ දෙදෙනෙක් වූ හ.ගමේ කෙබදු කටයුත්තක් වේ නම් එය මේ දෙදෙනා ගේ එකතුවෙන්ම සිදුවිණි.අසල්වැසියෝ එය හොදින් දැන සිටියෝය.දිනක් රන්වල ගමේ තිබුණු රජු ගේ පත්තායම බිඳ එහි වූ වී සොරා ගෙන ගොස් තිබේ.එවැන්නක් ගම තුල කිරීමට සමත් කිසිවෙකු නොවුහ.

අසල ගම්වලින් මේ ගමට වැද එවැන්නක් කිරීමට සමත් කිසිවෙක් නොවුහ.එවැනි දේ ඒ කාලයේ ගම්වැසියන්ට නොදැනී පිටගම් වාසියෙකුට සිදු කිරීමට කොහෙත්ම ඉඩක් නොතිබිණි.ගමේ සිදුවෙන වැරදිවලට මුළු ගමම වගකීමට ගැමි සමාජයම බැඳී සිටීම ද එකල සිරිත විය.මේ නිසා පත්තායම බින්ද හොරු කවුරුද යන්න ගැමියන්ට රහසක් නොවිය.මේ කාරණය පත්තායමේ ලේකම් මගින් සෙන්කඩගල මහවාසලට දැනගන්න ලැබිණි.මේ නොහොබිනා අකටයුත්ත සිදු කර ඇත්තේ අලවතුරේ රාළත්,ගණේගොඩ රාළත් බව රාසිං දෙවියන්ගේ කනටද ගියේය.දැඩි කෝපයෙන් වේලි ගිය රාසිං දෙවියෝ පහත් ක්‍රියාවක් සිදුකළ ඒ දෙදෙනා අල්ලා මහා වාසලට ඉදිරිපත් කරන ලෙස කටුපුල්ලේ ඇත්තන් හට අණ කළෝය.

ආඥා වේවැල සුදු පිරුවටකින් ඔතා ගත් කටුපුල්ලේ නායකයා (රාළ)තව දහදෙනෙකු ගෙන් සමන්විත අලවතුරේ රාළටත්, ගණේගොඩ රාළටත් දැනගන්නට ලැබුණේ ඒ වැන්නක් සිදුවිය හැකිබව සිතමින් ඔවුන් විමසිල්ලෙන් සිටි නිසාය.කටුපුල්ලේ ඇත්තන් ගන්නොරුව පසුකොට දන්තොට වතුර මැදින් බලන කඩවතට ළඟාවන්නට පෙර රන්වල රාළ ලා කිසිවකුටත් නොදැනෙන අයුරින් රන්වලින් පිටමංව යටියන්තොට මැදින් අවිස්සාවේල්ලට ළඟා වීමට වැඩි කාලයක් ගත කලේ නැත.කෙමෙන් කැළණි ගඟබඩට ගිය ඔවුහු කැළණි ගඟේ ද තවත් පහළට ගොස් තවදුරටත් කන්ද උඩරට රාජධානියෙන් ඈත් වීමට සිතා ගං ඉවුරේ වූ උණ ගස් කීපයක් කපා අසල ලැහැබෙන් වේවැල් ඇද ඒවා එකට ගැට ගසා පහුරක් තනා ඒ මගින් ගඟේ පහලට ඉතා ලෙහෙසියෙන් ම පා වී ගියෝය.

මෙසේ ගඟ පහළට සෑහෙන දුරක් ගිය  අලවතුරේ රාළ"දැන් මට නම් ගියා ඇති" කියා  ගං ඉවුරේ පහුරෙන් ඉවත්වී ඒ අසල වූ ගමේ පදිංචි විය.ගණේගොඩ රාළ ඒ පහුරෙන්ම තවත් පහළට ගොස් ගඟබඩ වූ දන්ගල්ල නම් ගමේ පොරොත්තු වුයේය.මේ රාළ වැඩිකල් නොගොස් ඒ ගමෙන්ම තරුණියක පාවා ගති .අලවතුරේ රාළ පදිංචි වූ ගම කිසිම දියුණුවක් තිබු තැනක් නොවේ.එහෙත් ඒ පෙදෙසේ වූ කැලෑ එළි පෙහෙළි කොට නව ගමක් උදා කිරීමට ඔහුට එතරම් කාලයක් ගියේ නැත.මෙසේ තමා අලුතින් ඉදි කළ ගම්මානයට තමාගේ ජන්මභූමියේ නම වන "රන්වල"යන නම තබන ලද්දේ උපන් ගම කෙදිනකවත් අමතක කළ යුතු නැත යන්න සිතා විය යුතුය.

ගමේ නව දියුණුවක් උදා කළ මේ රාළට ගම්වැසි කාගේත් ගරු බුහුමන් නොමදව ලැබිණි.ඇතැමකු ඔහු දෙවියෙකු වශයෙන් සලකා ඇත්තේ ඔහු තුල පැවතී පරහට දයාව දැක්වීම,කරුණාව,ඉවසීම,සමානාත්මතාවය වැනි මිනිස් සාරධර්ම තම හදවත නිදන්කර ගෙන සිටින මහත්මයෙකු නිසාය.අලවතුරේ රාළ කම් වූ පරිදි මිය ගියේය.ඔහු මිය ගියත් ගමට අරක්ගෙන සිටින බවට   ගැමියෝ දැඩි සේ විශ්වාස කළෝය.එබැවින් ඔහු වෙනුවෙන් දේවාලයක් ඉදිකොට එය රන්වල දෙවිට කැප කිරීමටද ඔවුහු කටයුතු කළෝය.කැළණි ගඟට අරක්ගත් රංවල දෙවියාම බව ඔවුන්ගේ විශ්වාසය විය.

කල්ගිය පසු ඒ දෙවියාට පඬුරු වෙන් කිරීම,පහන් දැල්වීම,බලිතොවිල් පැවැත්වීම ආදියද ගැමියෝ පෙළඹුනෝය.මේ දෙවි ගේ විවිධ හාස්කම් පිළිබඳව ද නොයෙක් ජනකථා ඒ පෙදෙසින් අසන්නට ලැබේ.තෝල්කයෙකු ගොළුවිම,කිඹුල් කොටාගේ බරා නැමැත්තාට කැළණි ගඟේ ගුහාවක දී රන්වල දෙවියන් හමුවීම ,ගලේ වූ යකඩය වැනි කතා ඒ අතර වේ.මේ කතාව තවත් අයුරකින්ද සඳහන් වී ඇත.
මහනුවර විසු දෙවන රාජසිංහ රජුගේ කාලයේ (1635-87)ඒ  රජුගේ පත්තායමක් (වී අටුවක් )කෑගල්ල අසල වූ රන්වල තිබිණි.

මේ පත්තයම අසවන්රාළ,රන්කිරි රාළ යන තරුණයන් දෙදෙනා විසින් හොදින් ආරක්ෂා කරන ලදී.එහෙත් මේ  ගැන ඊර්ෂ්‍යා කළ පිරිස අර දෙදෙනාට හොරෙන් පත්තයමට ගිනි තබා ඒ බව මහවාසලට දන්වා තිබේ.උරණවූ මහා රජතුමා ඔවුනට දඬුවම් පමුණුවන්නට යනබව කෝහල්සිරි රාළ නැමැත්තා මගින් දැනගත් උක්ත තරුණයෝ දෙදෙනා ගමින් පැන අරන්දරට අවුත්,ගුරුගොඩ ඖඅ දිගේ ගඟ පහළට ගොයෝය. ඔවුන් විසින්ම සාදා ගනු ලැබූ පාරු 2ක් මගින් යන ඒ දෙදෙනා ගෙන් අස්වාන් රාළට ගඟබඩ ගී කියන කතකගේ ගී රාවය ඇසිණි.අස්වාන් රාළට එයට වශි වී ඔහුද එයට ප්‍රතිගීයක් ගැයිය.එය ගී සංවාදයක් බවට  පත් වී එහි අවසන වුයේ අස්වන්රාළ ගේ ගමන එතනින් කෙලවර වීමයි.මෙය දැනගත් රන්කිරිරාළ තමා යන ගමන නතර  නොකර සියනෑ කෝරළය පෙදෙසට ගොස් එහි ගිරිදර නතර විය.

අඹන්වල රාළ ගී ගැයූ යුවතිය සමග ඇගේ නිවසට ගියෝය.එහෙත් නුපුරුදු සිට පළාතක තරුණයකු සමඟ පැමිණි තම දුව පිළිගැනීමට ඇගේ දෙමාපියෝ කිසිසේත් කැමැත්තක් නොදක්වුහ.අසරණ මේ යුවල ඒ ආසන්නයේම වූ දංගොල්ල යන ගමේ පදිංචි වුහ."ලැගුම්බිම" යන ගල්ලෙනේ වාසය කල ඔවුහු හේනක් කොටා හේන් ගොවිතැන් කළෝය.අද හේනේගම යනුවෙන් හඳුන්වන්නේ ඒ ගොවිපලයි.ඔවුන් ගේ මඩ ගොවිතැන් භුමිය අසවන් වෙල යනුවෙන් හැඳින්වේ.ටික කලකදී යුග දිවිය ඇත හල අස්වන්රාළ කැළණි ගඟබඩ අසපුවක් ඉදිකොට එහි විසිය.හුදකලාව විසු හේ තම අසපුව වටා රාත්‍රියේ පහන් දැල්වීම සිරිතක් කරගනී.

ගඟේ පාරු පදින අයට එය පහසුවක් විය.අස්වන්රාළ මිය ගිය පසුවද එම පහන් දැල්වීම පාරුකරුවන් ද අසල්වැසියන්ද නොකඩවා සිදුකර ගොස් තිබේ.අවුරුදු ගණනක්ම එය එසේම විය.ඒ අතර ඒ අසල වූ තොටුපොළ භාර ගත් අයද එම කාර්යය ඉටු කර තිබේ.තොටුපොළ භාරකරු වෙත පැමිණි පොඩියා නමැති ද්‍රවිඩ ජාතිකයා ද එය එසේම සිදු කර ඇත.1900-02 කාලයේදී අවිස්සාවේල්ල දුම්රිය මාවත ඉදිවීම නිසා පහන් දල්වන ස්ථානය මදක් වෙනස් කොට තාර පාර අසල ට ගෙන ගොස් තිබේ.
ඉහත සඳහන් ආකාරයට බිහි වූ රන්වල දෙවියා ගෙන් ගොවිතැනේ ආරක්ෂාවත්,මහ ජනතාවගේ  ආරක්ෂාවත් සිදුවන බව ඒ අවට ගැමියන්ගේ දැඩි විශ්වාසය විය.

මේ නිසා සිතාවකින් පහල පෙදෙසේ රන්වල දෙවියන් පිදීම බහුලව සිදු කෙරේ.කොළඹ -අවිස්ස්සවේල්ල මහ මාවතේ හිඟුරල අඹ ගසක් ඇත.එහි රන්වල දෙවියන්ට පුද පුජා පැවැත්වේ.ඇස්වත්ත,මල්වාන වැනි පෙදෙස්වල ද කැළණි ගඟ දෙපසද මෙම දෙවියා වෙනුවෙන් පුහුල් පහන් දැල්වීම සිදු කෙරේ."හිඟුරල පහන"නමින් හැඳින්වෙන ස්ථානය පඩුරු ලන තැනකි.මෙයින් රන්වල දෙවිහාමුදුරුවන්ගේ බැල්ම නොඅඩුව ලැබෙන බව මහ ජනතාවගේ විශ්වාසයයි.රන්වල දෙවියන් පිලිබඳව කවි සහ යාදිනි කිහිපයක් පහත දක්වා ඇත

1. කපක් පළමු කකුසඳ මුනිඳුන්     පෙර
   උපත මෙසේ පවසන් දැන් කවි     කර
   විපත පැමිණි දා දෙවිඳු මතක්      කර
   උපත කියන් තෙද රන්වල      පිරිවර

2. අගේ වඩන රන්වල         දෙවියන්නේ
  නුගේ විමානේ වාසේ          කරන්නේ
  ගඟේ දෑලේ දෙවි වාසේ      කරන්නේ
  අගේ අසන් රන්වල            දෙවියන්නේ

3. පිං ඇති රන්වල දෙවිඳු       වඩින්නේ
  පිං ඇති සව්සත දුකින්        මුදන්නේ
 මං දුන් යහනේ කෙළි පුද    ගන්නේ
 රන්වල දෙවි මල් යහන්      වඩින්නේ

4. පහළ යන්නේ නැකතින් පහුරු    පැදගෙන
  රන්වල දෙවිඳු හට පුද පඬුරු         බැඳගෙන
 කැළණි ගඟේ දිය අඩු වැඩි             බලාගෙන
 අපිත් යමුකෝ රන්වල දෙවිඳු         වැඳගෙන

5. සමනල අඩවියේ වැහි කළු           පෙනෙන්නෙ
  නොගලා තිබුණු ගඟ බොරදිය      නඟින්නේ
 පෑදී තිබුණු ගල් මුල් යට                   කරන්නේ
 නයිවල වෙලේ රං ආඳා                    ලගින්නේ

6. විස්තර හොඳ දේව අඟුල මැදට දෙවි      වෙලා
  තොස්කර ඇලි වල නාදේ ඇසෙයි දිය     කෙලා
 සුන්කර කෙළෙසුන් දුරු කළ සිතක් මුල්   කළා
 පිං කළ රන්වල දෙවි එහි යහන්                  බලා


7. ගතට සුදු සළු පළඳමින් මුණ්ඩාසනය
                                                       සිරසේ දරා

 සුරත සැරයටි දරන සුරිඳු දෑලේ 
                                        දෙනමක් පිරිවරා

 නෙතට දිව ඔබෙ පෙනෙන විලසට මෙලෙස 
                                                         පවසමි නම්කරා

 තෙදැති රන්වල දෙවිඳු මෙ ආතුර රකිනු මැන
                                                            දොස දුරුකරා 

Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine