#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

දෙගල්දොරුව සන්නස

3 comments
පින්කළ තැනැත්තා මෙලොව සතුටුවෙයි පරලොවද සතුටුවෙයි මා විසින් පින් කරන ලදැයි සතුටුවෙයි සුගතියට ගොස් බෙහෙවින් සතුටුවෙයි.
                  දෙගල්දොරුව (ක්‍රි.ව.1786).

“ස්වස්ති ශ්‍රී වෛවස්වත මනු සංඛ්‍යාත මහාසම්මත පරම්පරානුයාත සුද්ධ සු‍්‍ය්‍ර්‍ය වංශාභිජාත ත්‍රිසිංහළාධීස්වර නවරත්නාධිපති විසුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ ස්වදේශ දෙසානුගත කීර්ති ප්‍රබන්ධ බන්ධුර කීර්තිශ්‍රීරාජසිංහ නරෙන්ද්‍රෝත්තමයානෝ ශ්‍රී ලංකා ද්වීපයෙහි අග්‍ර රාජ්‍යශ්‍රීපද ප්‍රාප්තව සෙණ්ඛඬශෛලාභිධාන ශ්‍රීවර්ධනපුරයේ වැඩ වාශයකරණසේක් දශ රාජ ධර්ම පථානුවර්තීව ජනරංජනය කිරීමෙන් හා සුන්බුන් චෛත්‍ය ප්‍රකෘති කිරීමෙන් හා අභිනව විහාරාදිය කැරවීමෙන්ද මුණින්ද්‍ර ශාසනාභීව්‍රද්ධිවර්ධනය කරණ සමයෙහි මෙම නරෙන්ද්‍රෝත්තමයාණන්වහන්සේගේ ජනකවූ  ශ්‍රද්ධාදිනෛකගුණ ප්‍රතිමඬිත ක්‍ෂත්ත්‍රියෝත්තමයානො දුඹර බද අමුනුගම එක් භූමි භාගයෙක්හි ක්‍රිෂ්ණ ඝන ශෛලයෙක ක්‍ෂුද්‍රවූ ගල් ගුහාවක් තිබෙණ බව අසා භාඬාරයෙන් යවුල් කුළු කුන්තානි ආදී උපකරණ දෙවා ක්‍රිෂ්ණ ඝන ශෛලය බිඳ හරවා මහත් කොට ගෙබිම කොටා සමතල කොට උස තුන් රියන් දිග දොලොස් රියන් පුළුල අට රියන් ගල් ලෙන සාදා අභිමුඛ මඬපයට ගෙබිම හා සඳකඩපහණ සහිත ගල් පඩි එම ගලෙන්ම කොටා සමන්වා එම ගල අතල පිට ගල් ටැම් දොළසක් නඟා මෙපමනකින් අඩාලව තුබූ වැඩේ මෙම කීර්තිශ්‍රීරාජසිංහ ප්‍රථුවීස්වරයාණන් වහන්සේගේ අනුජහාත්‍රැවු ඛිල සරජනාලිපාලිනීසෙවිත පාදාරවින්දද්වන්දෝපසොහිත ආස්ථාන භුපාලෝත්තමයාණන් වහන්සේ විසින් ගල් භික්ති බැඳ දොර කවුළුැ අගුල් යතුරු සහිත කොට ඉක්බිති දිග දොලොස් රියන් සැතපෙන ඉරියව්වට කල ජින බිඹය ද සිරොපාද දෙභාගයෙහි නිසීදන ස්ථිති පිලිම සනමක් බඳවා ලිපාම් චිත්‍රකර්මාදීන් සලක්ෂණ කොට නිමවා වියන් සිතියමෙහිද ඇතුල පිට දෙභික්තියෙහිද සුවිසි විවරණයාදි විසිතුරු සිතියම් කරවා අභිමුඛ මඬපයට ගල් ටැම් මතුයෙහි දැව ගෝනැස්‌ සහිත පට්ටිකා බඳවා උළු සෙවෙනි කරවා සරස දෙභික්තියෙහි ස්වර්ගාපාය දෙක සිතියම් කර නිමවා මීට නුදුරු තැන නව රියන් දැගැබක් හා මහ බෝ පිහිටුවා පොහො ගෙයක් සංඝාරාමයක් ඇතුළුැවැ සියළුැ කර්මාන්ත කරවා සතර දිගින් විහාරය ඇතුළත් කොට අගල් පවුරු ආදියෙන් සුරක්ක්‍ෂිත කොට පනසාඹ්‍ර නාලිකේර රම්භාදී නොයෙක් ව්‍රක්ෂ ජාතීන් රොපනය  කරවා විහාරයට තිර වියන් කුඩ කොඩි සක් සින්නං බෙර දවුල් තම්මැට ආදි නොයෙක් දෙයින්ද රජතමය පාත්‍රා කෙඩි කලංචි දළුමුර තට්ටු ප්‍රදිපාදී සියල්ල සපයා ~ ශක වර්ෂ එක්වාදහස්‌ හසිය අසු තුනට පැමිණි බර නම් වර්ෂයෙහි බක් මශ පුර පශලොස්වක් නම් තිථිය ලත් ගුරු දින රෑ වු තුම් පැය වේලාවට සාඩාඟ විධිවිධානාදිවූ මහත් මඟලෙනත්සවයෙන් නේත්‍ර ප්‍රතිෂ්ඨා කරවා සිත්තරු ගල්වඩු ආදි කම්කරුවන්ට සමක්කට්ටු පඩි වෙඩං ආදි බරපැණට බොහෝ වස්තු පරිත්‍යාග කිරීමෙන් පුණ්‍යානුමොදන්ව  සන්තුෂ්ටව ~ තවද මෙහි නිරන්තරයෙන් බත් මල් පහන් පුද පවත්වන පිණිස හා එහි වත් පිලිවෙත් කොට වශන උපසම්පදා සාමනේර පස් නමකට වටනාපස පිණිස ~ බලවිට බද උඩගම්පහෙන් දුනුවිල යන ගමට හිම් නැගෙනහිරින් අතළුබු ගලෙන් එම දිග කකුල් නු‍ඟෙන් හොරගොල්ලෙන් මෙපිටත් දකුනු දිගින් කොරනටුවේ ගලෙන් එම දිග දෙහිපිටිගොඩ ගලෙන් පරගහ මඩිත්තේ පිහිල්ලෙන් හඟරන්දෙනියේ වෙලෙන් මෙපිටත් බටහිරින් දන්අතුරා ඔයෙන් එම දිග හීපිටියේ ගලෙන් මෙපිටත් උතුරු දිගින් පලාගොල්ලෙ හැම ගඟෙන් මෙපිටත් මීට මැදි වූ ටැම්පානවෙල බිජුහතමුනත් අළුැපතවෙල බිජු තුනුමුනු දෙපෑලත් කොට්ටල්දෙනිය බිජු පස් පෑලත් බොදියාදෙනිය  බිජු දෙපෑලත් යන මෙමුල් බිජු දොලසාමුනු දෙපෑලක වපසරියත් දුඹරින් ඌරාදෙනිය තුම් පෑලත් ගනේකුඹුර දෙපෑලත් දහනැකයා කුඹුර පහිනිපෑලත් ගෙදර වෙලේ අස්වැද්දුම තුම් පැල පල්ලහත් මටට‍‍‍ඹෙ බිජු පෑලත් එසේම අස්වැද්දුම බිජු පල්ලහත් කරවුලියද්දෙන් නිකමඬ බිජු දෙපෑලත් එහි බද පොල් වත්තේ විහාරෙට ළුැනු දෙන පිණිස මරක්කයො පස් දෙනත් හේවාහැටේ කපුලියද්දෙන් කහළකලාව බිජු දැමුනත් සඟුරන්කෙත අඹගැටෙ බිජු යේලමුනත් මාදම්වල මිල්ලමෑය බිජු යේලමුනත් පිහිලිතුඩුව බිජු දෙපෑලක වපසරියත් මාතලේ දිසාවෙන් අතිරහපිටියේ වෙලට කඩයින් නැ‍ෙඟනහිරින් උහුලන්නයේ වැටෙ නිතුල් ගහ තිබෙණ තුඹසින් එම දිග අගලේ කොස් ගහෙන් මකුල් ගහෙන් මෙපිටත් දකුනු දිගින්අගලෙන් මෙපිටත් බටහිරින් ගුරුකැටෙන් එම දිග යක් එරබදු ගහෙන් එම දිග බඬාර කමතෙ කොස් ගහෙන් උඩත් උතුරු දිගින් වැව් වේල්ලෙ කොස් ගහෙන් මෙහත් මෙම කඩයින්වලට මැදිවූ මුල් බිජු  දශාමුනේ වපසරියත් මෙහි බඳ ගෙවතු ගහ කොල ගොඩ වල් පිටි ආදි සියල්ලම චිරාත් කාලයක් මෙහි පුද සිරිත් පවත්වන පිණිස හා මෙහි වත් පිලිවෙත් කර වශන මහ සඟනට වටනාපස පිණිසත් පරිවාර ජනයාට දිවෙල් පිණිස හා මෙහි බද තුවාක් තැණින් කිසි දෙයක් යම් කිසි කෙනෙකුන් විසින් බලාත්කාරයෙන් නො ගන්නා ලෙසට සලස්වා තමන් වහන්සේට දීර්ඝ නිකාය උපාසකජනාලංකාරෙ මිලින්දප්‍රස්නය මහවංශයද නිමවා  ඇස්වීම් ආදි බොහො ධර්මානූශාසනා කලා වූ සුත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක ධර්මයෙහි බහුශ්‍රැත වූ මොරතොට ධම්මක්ඛන්ධ නායක ස්වාමීන්ගේ සිශ්‍යානුසිශ්‍ය පරම්පරාවට............මතු ශාසනාන්තර්ධානය දක්වා ස්වස්ථිරව පවත්නා පිණිස තමන් වහන්සේ අග්‍ර රාජ්‍යශ්‍රීපද ප්‍රාප්ත වූ සවෙනි වශ ~ තඹ පත ලියා දෙන්නේයයි ~ සමස්ත සාමන්ත භූපාල මෞලිලාලිත අංඝි පද්ම යුගලොපසොහිත ශ්‍රී රාජාධිරාජසිංහ දෙවි ස්වාමිදරුවාණන් වහන්සේ සෙන්ගඬගල ශ්‍රීවර්ධන පුරයෙහි මඟල්‍ය මඬපයෙහි ධවලාධපත්‍රයෙන් යුක්ත වූ ස්වර්ණවර ~  සිංහාසනාරූඬව ~ අමාත්‍ය මඬලයන් පිරිවරා ~ ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් වැඩ හිඳ වදාළ මෙහෙවරින් ~ ශක වර්ෂ එක්වා දහස් සත්සිය අටට පැමිණි පරාභව නම් වූ ~ මේ වර්ෂයෙහි වෙශඟපුර සතවක් නම් තිථිය ලත් බ්‍රහස්පතින්දා මෙදවශ ~ මේ තඹ පත ලියවා දෙවු සේදිත් ~ තිණංවා යදිවා කට්ඨං පුප්ඵංවා යදිවා ඵලං යො හරෙ බුද්ධ භොගස්ස මහා පෙතො හවිස්සති ~
කුසල් කිරීමට ප්‍රමාදවන මිනිසා ධර්මය බහුලව කීවත් එය අනුගමනය නොකරයි නම් අනුන්ගේ හරකුන් බලන ගොපල්ලකුමෙන් ප්‍රථිපල ලැබීමට කොටස් කරුවෙක් නොවේ.
Read more »

දෙගල්දොරුවට නම ලැබුණු හැටි

1 comments
පින්කළ තැනැත්තා මෙලොවත් සතුටුවෙයි.පරලොවත් සතුටුවෙයි.තමාගේ පිවිතුරු කම් දැක විශේෂයෙන් සතුටුවෙයි.

දෙගල්දොරුවට නම ලැබුණු හැටි ගැන රසවත් කතාන්තරයක් දුම්බර ගැමියන් අතර පවතී

ඒ කාලේ මෙහෙ (දෙගල්දොරුවේ) තිබුනා ගල් පර්වත දෙකක් එකට හා වන තැනක්‌ වියන්නලාගේ ගෙදර මිනිහෙක් දවසක් දා මේ ගල් ගේ ඇතුළට ගියා ඒකෙ ඇතුලත තිබුනා රන් දෑකැති රාශියක් මිනිහා එක රන් ‍දෑකෑත්තක් අරං ඇවිත් ගොයම් කපලා හවසට ගිහිල්ලා ගල් ගේ ඇතුලෙම තියනවා ගල් ගෙයින් පිටතට ආවම දොර වැහෙනවා ඔහොම කරගෙන ආවා කාලයක් එක දවසක් දා මිනිහා ගිහිල්ලා ගෙනාවා රන් දෑකැති දෙකක් හැබැයි ගොයම් කපලා ආපහු ගිහිල්ලා තිබ්බේ එක දෑකෑතක් විතරයි ගල් ගෙට අරක්ගෙන හිටපු බහිරවයා හැන්දෑවේ බලන කොට එක දැකෑත්තක් අඩුයි ඒ පාර බහිරවයාට හොදටම කේන්ති ගිහින් "දැන්ම ගෙනත් තියාපිය" කියලා ගොවියට තරවටු කළා මේ නිසා හොදටම බය වුන මේ ගොවියා එදා රෑම දෑකෑත්තත් අරගෙන ගියා "ගිහිං තියාපිය දෑකෑත්ත ඇතුලෙන්" කියලා බහිරවයා සැර කළා මිනිහා ගල් ගේ ඇතුලට ගියා විතරයි ගල් දොර වැහුනා මිනිහා ඇතුලේ බහිරවයා කොහේ ගියා ද හොයාගන්න නෑ  ගමේ මිනිස්සු මේ සිද්ධිය රජ්ජුරුවන්ට සැල කළා රජ්ජුරුවෝ කල්පනා කළා මෙතන හොදයි විහාරයක් කරවන්ට කියලා රජ්ජුරුවෝ ගමට ඇවිත් ස්ථානය පරික්ෂා කරලා බැලුවා ස්ථානේ සුදුසුයි කියලා ඒත්තු ගිය නිසා විහාරය ඉදි කරවලා තියනවා අන්න ඒ ගල්දොර වැහිච්ච තැන තමයි දෙගල්දොරුව විහාරය කරවලා තියනවය කියන්නේ     
පව්කාරයා මෙලොවත් තැවෙයි.පරලොවත් තැවෙයි.මා පව් කරන ලදැයි තැවෙයි.දුගතියට ගොස් බෙහෙවින් තැවෙයි.
Read more »

ඉද්දමල්පාන රජමහ විහාරය

0 comments
මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුණු නොකළ සිත රාගයෙන් තෙත්වෙයි.

කෑගල්ලේ ගුරුගොඩ ඔය බඩ පිහිටි ඉද්දමල්පානට එම නම ලැබුනේ එදා ඔය හරහා එගොඩ මෙගොඩ ගිය ගල්තැල්ලේ කොටා ඇති පස්පෙති ඉද්දමල නිසාය මෙම ඉද්දමලට තෙල්වක්කර පත්තු කල පහනින් දැල්වුණ එලිය එදා රාත්‍රියට එගොඩ වීමට සැලසු මං සලකුණකි වතුර ගලාවිත් පහන නිවී ඇතිනම් ඒ මොහොතේ ඔයෙන් එගොඩ වීම අනතුරු දායකය ඉංග්‍රීසි පාලන යුගයේ 1803 පමණ ඔය හරහා කුඹුක් ගස්වල බැඳී එල්ලෙන පාලමක් වූ බව පුරාවිදු අධිකාරී ව සිටි H C P බෙල්ගේ කෑගලු වාර්තාවේ සඳහන් වේ ඉංග්‍රීසි ජාතික කැප්ටන් මැක්පර්සන් 1803 මෙසේ ලියා ඇත 

ද්දමල්පාන ඉතා ලස්සන ස්ථානයකි ගුරුගොඩ ඔය අපේ කූඩාරම් අසලින් ගලා යන්නේය එය වටිනා ජල ප්‍රවාහයකි එසේම අපගේ ඉදිරියෙන් ඇති කඳු හරහා ඇද හැලෙන සුන්දර දිය ඇල්ලක් ද වෙයි මන බඳනා දර්ශනයකින් අවට හොබනේය ඔය හරහා සාදා ඇති ඉතා දර්ශනීය ඉඳිවැල් පාලම විශාල ගස් අතුරේ එල්ලී පවතී අපගේ චිත්‍ර ශිල්පීහු මෙම අලංකාරයෙන් ඉතා ප්‍රමුදිත වෙති මේ අතර මෙය ලෝකයේ ලස්සනම ගංගා ධාරයක් වශයෙන් පෙන්වා දිය හැක 

ගලතලයක් මතවූ දාගැබක් දැක්වෙන චිත්‍රයක ලංකාවේ ඉද්දමල්පානේ (අරන්දර)බෞද්ධ විහාරය යනුවෙන් සඳහන් ව ඇතයි බෙල් මහතා තම වාර්තාවේ වැඩිදුරටත් ඇතුලත් කර ඇත අද මෙම ස්ථානය හඳුන්වන්නේ කිර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරස්ථානය නමිනි ඒ රජුගේ රාජ්‍ය කාලයේ විහාරය ආරම්භ කරන්නට ඇති අතර ඉඩකඩම් පුජා කරන්නට ඇත්තේ රාජාධි රාජසිංහ රජ විසින් බව වඳුරාදෙනිය තඹ සන්නස අනුව පෙනී යයි ඉද්දමල්පාන පැරණි අනුරාධපුර මහනුවර බලන වාකිරිගල අරන්දර රුවන්වැල්ල හරහා කොළඹ මාර්ගයේ මංසන්ධියක් විය මෙහිදී ගම්පොල හෙම්මාතගම අලපලාවල මොරෝන්තොට පාරවල් ද එක්වුනි එහෙයින්ම විමලධර්මසුරිය රජ(කොනප්පු බණ්ඩාර)සමයේදී ඉද්දමල්පානේ සිංහල බලකොටුවක් පිහිටුවා තිබුණි 1687 ඔක්තෝම්බර්වලදී මාතර දිසාවට විමලධර්මසුර්ය රජු එල්ල කල පහර වැළැක්වූ පෘතුගීසින් හත් කෝරලයත් හතර කෝරලයත් තමන් යටතට ගත්හ එහෙත් රජු විසින් මෙහෙයවූ සේනා ඉද්දමල්පානේ කඳවුරු ලා ගත්හ විරුද්ධ පස සමග කල සටනින් ගැස්පර් කොරයාගේ සේනාවට ලැබුනේ අන්ත පරාජයකි ලස්කිරිඤ්ඤයන් රජුගේ පිලට පැන යාමෙන් පසුව ගැස්පර් කොරයා ඇතුළු පෘතුගීසි හමුදාව සිංහල හමුදා අතින් මැරුම් කෑහ හිරිගල කිණිගම හා ඉද්දමල්පාන ප්‍රදේශවල අනුරාධපුර යුගයේදී මැණික් පතල තිබු බව මාපොටේ චන්ද්‍රජෝති හිමිගේ ලංකාවේ මැණික් නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත මේ ප්‍රදේශය නිදන් සම්බන්දයෙන් ද ප්‍රසිද්ධියක් උසුලයි නිදන් සොයාගෙන ආ බමුනකු විසින් තවත් අයකුගෙන් මඟ සලකුණු ඇසුවායයි සඳහන් වෙන්නේ මෙලෙසිනි

එක සරිගල
දෙක කිණිගම
මලෙන් පාන
ගම කොතනද
 
මෙවන් වටින පසුබිමක් යටතේ කිර්ති ශ්‍රී රාජසිංහ යුගයේ ඉද්දමල්පාන තොටුපළ ඇසුරේ ගලක් උඩ ඉදි කර ඇති වෙහෙර සහිත විහාරස්ථානයේ එදා ඉදි කල විහාරය සහිත බුදු පිළිම විශ්ණු රුව චිත්‍ර සැරසිලි ආදියත් මහනුවර සිරස්පත සහිත බුදුපිළිමය සිවුරු රැල්ලෙන් යුතු වූ ප්‍රතිමා හා විහාර වහල දුර්වල තත්වයෙන් පවතී විහාරය දෙපස වරංඩයේ තිබු වටිනා හිටි පිළිම දෙකෙන් එකක් විනාශ වෙමින් පවතී අනෙක ද අඩක බිඳී පවතී මහනුවර සමයේ පෙරූ මැටිවලින් එනම් මීපැණි කනෙයි පැණි කයිප්පු කඳුරු හා තල තෙල් ආදියෙන් සැදු බදාමයෙන් මෙම පිළිම අඹා ඇති බව පෙනේ (මාධ්‍ය කාලින සිංහල කළා 118-119)   

            
මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුණු කළ සිත රාගයෙන් නොතෙමෙයි.
Read more »

සබරගමුවේ පත්තිනි දේවාල

0 comments
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.

                     
ඇල්ලගාව පත්තිනි දේවාලය
 
පෙරදී මහසුමනගේ දේව රාජ්‍යය ලෙසත් පොළොන්නරුව රාජ්‍ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ මෙම දේවාලයේ ඉතිහාසය වසර 414 ක් පමණ ඈත සීතාවක යුගය දක්වා දිවෙයි .රා.ව. 1587 දී දෙවනගල රතනාලංකාර මහතෙර සාමි හා ගම්පොල රාජගුරු ධර්ම කීර්ති අනුතෙර සාමින් ඇතුළු මහා සංඝයා හා රදළවරුන් එක්ව කොනප්පු බණ්ඩාරට රාජ්‍යය ලබාදීමට රහස් කුමන්ත්‍රණයක් කරන වග ආරංචි වී කිපුණු සීතාවක රාජසිංහ රජ සහබාගිවූ සංඝයා වහන්සේ සිර භාරයට ගැනීමටත් සිවුරු හරවන්නටත් විහාර ගම් හේවාගම් කිරිමටත් පටන් ගත්හ එයින් බියට පත් සංඝයා භයින් පලාගියහ මෙම කුමන්ත්‍රණය සඳහා එක්වූ ප්‍රධාන පෙලේ සංඝයා වහන්සේලා 129 ක් දෙනම බැගින් එකට ඈදා සීතාවක ගඟේ කණමැදිරියන්වෙල ස්ථානයේ ගිල්වා මැරවූ බවත් එම භික්‍ෂුන් සතුව තිබු පන්සල් පොළොවට සමතලා කරවා ඒවායේ තිබු දහම් පොත්පත් ගිනිබත් කරවීය 


ලපටි වියේ සිටම පත්තිනි දේවතාවිය කෙරේ ඇල්මක් තිබු  රජු ඉන්පසුව පළමුවරට දෙහිගම්පල් කෝරලයේ මැදගොඩ පත්තිණි දේවාලයක් කරවීය මේ වන විට දිගම්පත කෝරලයේ විශාල ප්‍රදේශයක් අල්ලාගෙන සිටි පෘතුගීසින් හා යුද පිණිස රජතුමා ලැගුම් ගෙන සිටි කිරගම් කන්දේ ද 1589 පත්තිණි දේවාලයක් කරවූ රජු එයට රනින් කල පත්තිනි හළඹක් හා දේවාභරණ පුදා සිය යුධ සේනාංකයෙහි සිටි දේවස්තෝත්‍ර දත් මහනුවර අවධියේ ලොකු රාල නම් අයකුට ඇල්ලේ කපුරාලලාගේ යන පෙළපත් නාමය පට බැඳ ඔහු මෙම දේවාලයෙහි කපු තනතුරට පත් කළේය 

එහි නඩත්තුව සඳහා ගඟෙන් මෙගොඩින් කුරුවිට කෝරලේ යටිපව්ව කොට්ඨාශයට අයත් ගොඩමඩ ගහකොලවලින් යුත් අක්කර 400 ක් ද නින්දගම් කොට දුන්නේය රජුගේ නියමයෙන් මේ සියලුම කටයුතු කර ඇත්තේ රජුගේ කුළුපඟ මුදලිවරයකු වූ එවකට රත්නපුර ප්‍රදේශය පාලනය කල මාතොට මනම්පේරි මුදලි පරපුරේ අයකු වූ ලොකු බණ්ඩාර මනම්පේරි නැමැත්තා විසිනි .කළු ගඟෙන් මෙගොඩ ගොඩේ සිට මෙම දේවාලයට යන බැතිමතුන් එකල ගියේ කළු ගඟේ පැනිගල් ඇල්ල යන ස්ථානයෙන් ඔරුවල නැගී මහත් ආයාසයක් විඳගෙනය එකල මේ ප්‍රදේශයේ අදට වඩා ගංවතුරෙන් හා පිටාර ගැලීමෙන් ගඟ රළු වන නිසා කලක් ගතවූ පසු බැතිමතුන්ගේ පහසුව තකා එතෙක් දිගම්පත කෝරලයේ කිරගම් කන්දේ තිබු දේවාලය වෙනස් කර කුරුවිට කෝරලයට අයත් දැනට පාර අයිනේ තිබෙන දේවාලය ඉහත්තෙන් වර්තමාන දේවාලකන්ද නමින් හැඳින්වෙන කන්දට ගෙනවිත් ඇත කලක් යාමේ දී එය ද වෙනස් කොට වර්තමාන දේවාලය තනා ඇත

              උඳුගොඩ තියඹරාහේන පත්තිනි දේවාලය
 

කෑගල්ල -බුලත්කොහුපිටිය පාරේ මාබෝපිටිය හංදියෙන් හැරී ගන්තුන පාරේ කි මි 4 ක් පමණ ගියතැන තියඹරාහේන පත්තිනි දේවාලය හමුවේ මෙය ගුරුගොඩ ඔය අයිනේ පිහිටියහ දේවාල අංගනය පෙරහැර මඟ පොකුණු දේව මාලිගය හා දිග්ගේ ආදියෙන් ඉහත කී ස්ථානය සමන්විතය මෙතැන බෝ නා සපු බුළු සහ ඉඹුල් වෘක්ෂ ආදියෙන් පීරී ඇත සමන් විෂ්ණු කතරගම විභීෂණ දේවතා බණ්ඩාර සහ පත්තිනි යන ෂඩ් වර්ගීය දේවගණයා අතර එකම දේවතාවිය වන්නේ පත්තිනියයි 

 "අතලා වදාරාපු පයලා වදාලාපු දකුණු පස දේවාභරණ ගිනි හළඹ යහතින් වැඩ පවතින්නාවූ තියඹරාහේන දේව මූලස්ථානයට අයිති ආණ්ඩු ඇති ඔබ වහන්සේගේ නාමයට පුද පඬුරු පුද පුජා පවත්වා " 

ආදී වශයෙන් මෙම පුද බිමෙහි යාතිකාවෙන් එහි ඓතිහාසිකත්වය හා වැදගත්කම කියවේ පත්තිනිය කඩා වෙන් කල දක්ෂිණ හළඹ මේ ස්ථානයේ තැන්පත් කොට ඇතැයි අදහයි ගජබා කාලයේදීම දකුණු හළඹ තැම්පත් කර මෙම ස්ථානය ආරම්භ කර ඇත්තේ දැනට පවතින දේවාලයට මඳක් කිට්ටුවෙන් පිහිටි තෙලිජ්ජගොඩ පොකුනුගලේ ඇසුරෙනි මෙහි ඇති කුඩා පර්වතයේ නයි රුවක් හා කඩුවක රුපයක් කොටා ඇත එසේම දැනට ද පත්තිනියගේ ආරක්‍ෂක නයි පරපුර ඇතැයි සඳහන් තුඹස සහිත කදුරු වෘක්ෂය ඒ අසල දක්නට ඇත පෘතුගීසි කරදර සමයේ දී පත්තිනි හළඹ නවගමුව දේවාලයේ තිබී තියඹරාහේනට වැඩම කල බවට‍ ද මතයක් පවතී .

පත්තිණි දේවිය
බෙල් මහතාගේ ලේඛන අනුව දේව මාලිගාව ටැම්පිට සාදා ඇත්තේ අඩි 11 ක් හා අඟල් 3ක් දිග හා අඩි 10 අඟල් 7 ක් පළලටය දේවාලයේ උළුවස්ස පළාපෙති හා බොරදම්වලින් යුතු වටිනා එකකි මේ දේවාලයෙන් හමු වූ දේවාල උපත ග්‍රන්ථය ලංකාවේ දේවාල පිළිබඳව වැදගත් ඉතිහාසයක් ගෙනෙයි මෙය රාජසිංහ රජු සැදවූ බව එහි කියයී මෙහි විශාල කටු ඉඹුල් රුකක්‌ ඇත එහි පත්තිනි හළඹ අහසින් අවුත් රැඳී සිලි සිලි හඬින් හඬ දෙද්දී කපුවරුන්ගේ කන්නලව්වෙන් දේවාලයට වැඩ තැන්පත් වූ බව කියවේ .දැනුදු විශේෂයෙන් කිලිටු වූ ගැහැණු උදවිය දේවාලයට ආවොත් දේවාල භුමියේ සිටිනා නයි කලබල වනු බව කියවේ මේ ඉඹුල් රුකේ වට ප්‍රමාණය අඩි 40 ක් පමණ වේ එහි උස අඩි 300 ක් පමණ වන අතර අතු පැතිරී ගිය එය මහවෘක්ෂයකි එහි වයස හරි හැටි කිව නොහැකි මුත් අඩු වශයෙන් අවුරුදු 500 ක් තරම්වත් වන්නට ඇති බව පෙනේ මෙහි පැරණි නා රුක සැදී වැඩිමකින් තොරව පවතින බව ජන විශ්වාසයයි

               කබුළුමුල්ල පත්තිනි දේවාලය

කොළඹ යටියන්තොට මාර්ගයේ කරවනැල්ල තුන්මංසල අසල කබුළුමුල්ලේ දේවාලය පිහිටා ඇත කඳුගැටයක පිහිටුවා ඇති දෙවොල වටා ඊටම ඔබින නිසංසල පරිසරයක අක්කර දෙකහමාරක් පමණ සේ විහිද යන දේවාල භුමිය තුරුලතාදියෙන් සැරසුණු සිත්කළු දර්ශනයෙන් යුතුය.සීතාවක රාජසිංහ රජු විසින් තනවන ලදැයි විශ්වාස කරන මෙම දේවාලය කරවීමේදී මඟුල් කැප සිටවූ මුල්ල කප-ලු-මුල්ල වී පසුව කබුළුමුල්ල  වීමෙන් දෙවොල පිහිටි ගමට එනම ලැබුනේ යැයි මුඛ පරම්පරාගත කතාවල කියවේ අතීතයේදී දේවාලකන්ද ප්‍රදේශයේ මංගෙදර මුල්ලේ පිහිටි  දේවාලය රාජසිංහ රජු විසින් කබුළුමුල්ලේ ඉදි කරන ලද බවත් එසේ කරන ලද්දේ දේවාලයට සම්බන්ධවී සිටි වනිගකුල අබේසිංහ මුදියන්සේට රජුගෙන් සිදුවූ අසාධාරණයක් නිවැරදි කරන්නට බවත් දේවාලය හා සම්බන්ධ වූ ප්‍රකටම ජනශ්‍රැතියකී දේවාලය බාරව සිටින අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර රාජසිංහ කපු රාළහාමි කියන ආකාරයට ඒ කතාව මෙසේය 


වනිග කුල අබේසිංහ හෙවත් රණසිංහ මුදියන්සේ රාජසිංහ රජු යටතේ සේවය කල සෙනෙවියෙකි හෙතෙම බලංගොඩට නුදුරු කළුතොට ප්‍රදේශයේ බලකොටුවක් භාරව සිටියේය බලකොටුව කටයුතු තුලින් රණසිංහ මුදියන්සේ ලබන ගෞරවය නොඉවසූ ඔහුගේ පස මිතුරන්ගේ සංවිධානාත්මක කේලාම් බස් නිසා රණසිංහ මුදියන්සේ රාජද්‍රෝහියෙකු බවට‍ පත්ව රාජ උදහසින් සිර භාරයට පත් විය සිරගත කරන ලද රණසිංහ මුදියන්සේගේ සොහොයුරෙක් මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලය භාරව සිටියේය නිර්දෝෂී සිය සොහොයුරාට අත් වූ විපත ඇසු දේවාල භාරකරුවා ඔහු රැකදෙන ලෙස අයදිමින් දෙවියන්ට කන්නලව් කළේය ඔහුගේ කන්නලව්ව සඵලදායි විය රජුට සිහිනෙන් පෙනුණු දෙවියෝ රජු බියපත් කළේය එමතු ද නොව රජු නිදා සිටි ඇඳ කඩා ගෙන බිමට වැටෙන්නට සැලැස්වුහ සිහිනෙන් පැමිණි දේවතාවා කලේ එකම නියෝගයකි ඒ රණසිංහ මුදියන්සේ නිදහස් කලයුතු බවයි .රාජසිංහ රජු උදැසනම ඇමතිවරුන් කැඳවා සිද්ධිය පිළිබඳව සාකච්ඡා කළහ ඉක්බිති ඇමතිවරු සිර මැඳිරි පිරික්සුහ රණසිංහ මුදියන්සේ නිරුප්‍රද්‍රිතව සිටියේය එහෙත් ඔහුගේ දෑතට ලු විලංගු උඳු මුං   සේ කැබලි වී තිබිණි රජු අභියසට  කැඳවන ලද රණසිංහ මුදියන්සේගේන් ඔහු සතු හාස්කම්  යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව දන්නේ දැයි විමසන ලදී තමා සතු හාස්කමක් නොමැති බව කි සෙනෙවියා මංගෙදර මුල්ලේ දේවාලයේ සිටින තම සහෝදරයා ගැන ද කිවේය.එවිට ඔහුගේ සොහොයුරා ගෙන්වා සියලු විස්තර දැනගත් සීතාවක රාජසිංහ රජු අස්ථාන සැකයක් මත සිරකළ රණසිංහ මුදියන්සේ නිදහස් කර මංගෙදර මුල්ලේ තිබුණු දේවාලය කබුළුමුල්ලේ ඉදිකර එහි භාරකාරත්වය රණසිංහ මුදියන්සේට පැවරිය මංගෙදර මුල්ලේ සිටි කපු මහතාට මැදගොඩ පත්තිනි දේවාලය භාර කළේය 

මෙම ජනකතාවට අනුව මැදගොඩ හා කබුළුමුල්ල දේවාලවල කපු මහතුන් පැවත එන්නේ සහෝදරයන් දෙදෙනකුගෙනි අභය දානය ලත් බැවින් කබුළුමුල්ලේ කපු මහතා අභය රණසිංහමුදියන්සේ විය මැදගොඩ කපු මහතා රණසිංහ මුදියන්සේ විය සිහිනෙන් බයවූ තෙද බලැති රජකු බිම දැමු නිසා ඇඳ වියල අභය රණසිංහ මුදියන්සේටම රජුගෙන් තිළිණයක ලෙස ලැබුණි පරම්පරා ගණනක පුරා සුරක්‍ෂිතව පැවති මෙම ඇඳ වියල අද ටිකිරි බණ්ඩාර රණසිංහ මහතා භාරයේ පවතී වර්තමාන කපු මහතා වන අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර දේවාලයේ 51 වන කපු මහතා වේ දේවාලයේ මුරුතැන් තබන්නේ කපු මහතුන්ගේ සංක්‍යාව අනුවය වසර 400 ක පමණ කල සිට කපු මහත්වරුන්ගේ සංක්‍යව 51 ක වුයේ ඇතැම් කාලවල සහෝදරයන් කිහිප දෙනෙකුම කපු මහත්වරුන් සේ කටයුතු කල නිසා බව වර්තමාන කපු මහතාගේ මතයයි කබුළුමුල්ල පත්තිනි දේවාලයකි එහෙත් එහි වැඳුම් පිදුම් ලබන්නේපත්තිනිය පමණක් ම නොවේ සිද්ධ ගනේගොඩ දෙවියෝ ද දෙවොලේ පිදුම් ලබති දේවාලයේ යාතිකාව ඇරඹෙන්නේද ගනේගොඩ දෙවියන්ගෙන් අවසර ගැනීමෙනි පත්තිනි දේවිය ඇමතෙන්නේ ද ඉන් පසුවය එමතු ද නොව දේවාලයේ උත්සව වලදී මුලින්ම පහන් දල්වන්නේ ද ගනේගොඩ දෙවියන් වෙනුවෙනි ගනේගොඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ සීතාවක රාජසිංහ රජු වේ දෙවොල වෙනුවෙන් ගම්බිම් දුන්නේ ද දේවාලය තනා දුන්නේ ද රාජසිංහ රජු බැවින් ඔහුගේ අභාවයෙන් පසුව දේවත්වයට පත් රජුට මුල් තැන ලැබෙනවා විය හැක සීතාවක රාජසිංහ රජු හා මහ සංඝයා අතර අමනාපකම් වී යයි කියනු ලැබෙයි එබැවින් ගනේගොඩ දෙවියන්ගේ අණසක පවත්නා කබුළුමුල්ල ගමේ ගිහි පිරිත් විනා සඟ පිරිත් සජ්ඣායනා කිරීම අකැප යයි ජන විශ්වාසය වී තිබේ

                   දෙවොල් මැඳුර පෙරහැර චාරිත්‍ර වාරිත්‍ර
 

දේවාලයේ පැරණි මැඳුර රාජසිංහ රජු විසින් කරවන ලද කොටසකි දේවාලය මුලින් ගල්ටැම් මත තනා තිබු බව ද පසු කලෙක ප්‍රතිසංස්කරණ වල දී ගල් ටැම් වසා බදාමයෙන් බැඳ ඇති බව ද කපු මහතා පවසයි මෙම ප්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ රජු විසින් කරවන ලද පැරණි මැඳුර හා ගල් උළුවස්ස ආරක්ෂා වන සේය කබුළුමුල්ල ගම එම දේවාලයේ නින්දගමකි මේකියන නින්දගම ප්‍රවේණි සේවා වසම් 10 ට බෙදා ඇත ඒ මෙසේය

1කපු රාලලාගේ පංගුව
2ගම් වසම් පංගුව
3විතාරං පංගුව 
4දැල්ලගේ පංගුව
5මාහල්ලගේ පංගුව
6තලංගමගේ පංගුව
7දංගම්පලගේ පංගුව
8හාල් මාළු පංගුව
9පුරප්පාඩු පංගුව
10රදාගේ පංගුව                                   
කබුලුමුල්ලේ දේවාලයේ ඇසල පෙරහැර ද මැදගොඩ පත්තිනි දේවාලයේ නිකිණි පෙරහැර ද පැවැත්වීම පුරාණ සම්ප්‍රදාය වේ එසේ වූ විට කබුළුමුල්ලේ භාරකරුවන්ට මැදගොඩ පෙරහැරට ද මැදගොඩ භාරකරුවන්ට කබුළුමුල්ලේ පෙරහැරට ද උදව් උපකාර කිරීම පහසු වේ කබුළුමුල්ල දේවාලයේ ඇසල පෙරහැර දින 7ක් පුරා පැවැත්වේ මුල් දිනයේ පැවැත්වෙන්නේ කුඹල් පෙරහැරයි ඉනික්බිති ව රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර අවසාන දිනයේ පැවැත්වෙන වීදි පෙරහැර අංග සම්පුර්න වූ උත්කර්ෂවත් පෙරහැරකි අවසාන දින දිය කැපීමෙන් පෙරහැර අවසාන වේ දෙවොල් බිමට පහලින් ගඟ බඩ තෙළඹු ගසක් පිහිටියේය ඉන් පැලවු කිසිඳු පැලයක් දක්නට නොලැබෙන බව කපු මහතා පවසයි ලක්දිව ගම්මඩු චාරිත්‍ර ආරම්භ වන්නේ දඹදිව විසු සේරිමානන් රජුට වැළඳුනු හිසේ කැක්කුම සුව කරන්නට කරවූ ගී මඩුවෙන් බව "මඩු පුරේ කීමේ" දැක්වේ එහි දැක්වෙන ආකාරයට මඩුව සඳහා කප සිටුවන්නේ රුවන්වැල්ල ඉසානයෙනි

රුවන් එදා වර්ෂාවක් සද් දවසක්  වසිමින්නේ
රුවන් නියම කරන සෙවිලි නංවන පුරයට වන්නේ 
රුවන් සළඹයට ගනිමින් රුවන්වැල්ල නම දුන්නේ
රුවන්වැල්ල ඉසානයට ගනිමින් බිම බලන්නේ
                                                                         (මඩු පුරේ කීම)

ගඟ බඩ තෙළඹු ගස ඇති තැන ගී මඩුව කර වූ බව දේවාල භාරකරුවෝ පවසති එදවස සේරිමානන් රජ කප් සිටවූ ස්ථානය සිහිවීම පිණිස මේ තෙලඹුව රෝපණය කළේලු පසු කලෙක රාජසිංහ රජු දෙවොල ඉදිකරන්නට ද මෙම පුජනීය භුමි භාගයම තෝරා ගත්තේ ලු පත්තිනි මෑණියන්ටත් ගනේගොඩ දෙව් සමිඳුන්ටත් කැප වූ කබුළුමුල්ලේ පුද බිම සම්ප්‍රදායික ඇදහිලි විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව උනන්දුවන්නන්ගේ අවධානයට යොමු විය යුතු නිසංසල පුජනීය භුමි භාගයකි

                           ගල්ලෑල්ල පත්තිනි දේවාලය
හිගුලේ සිට අළුත්නුවර  දේවාලය බලා යන විට ගල්ලෑල්ලේ තුන් බෝධි ස්ථානයේ සිට යාර සියයකට පමණ ඈතින් ගල්ලෑල්ලේ පත්තිනි දේවාලය පිහිටා ඇත මේ දේවාලය ඉදිකර ඇත්තේ උස්බිමක් මුදුනේ පිහිටි විශාල ගල්පුවරුවක් මතය මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර රාජසිංහ කුමරුන් සහ මායාදුන්නේ රජුගේ බෑණා වූ විදිය බණ්ඩාර අතර යුද්ධයක් විය එකොලොස් වියැති ටිකිරි බණ්ඩාර කුමරුන් සෙංකඩගල දෙසින් පැමිණි සේනාව මෙහෙයවුයේ එම ගල්තලාව සිට බව විශ්වාසය වේ එසේම පත්තිනි දේවියගේ ගිනි හළඹ මෙහි තැන්පත් කර ඇතැයිද ජනප්‍රවාදවල එයි

                            බටවල පත්තිනි දේවාලය

කුකුළු කෝරලයේ අයගමට නුදුරු බටවල ගමේ පිහිට තිබෙන කුඩා පත්තිනි දේවාලය ගම්පොල රාජ්‍ය සමයේ දී ඇති වූ එකක් ලෙස සැලකිය හැකියයි රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන්ගේ සපරගමු දර්ශන ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වේ එහෙත් මෙම ලේඛකයා විසින් සොයාගෙන ඇති පැරණි තොරතුරු අනුව මෙම දේවාලය ඉදිව ඇත්තේ සීතාවක රාජසිංහ රජුගේ නියමයෙන් 1590 දී ය ඇල්ලගාව පත්තිනි දේවාලය මෙන් මෙය ද සාදවා ඇත්තේ මනම්පේරි මුදලිතුමාය පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා දිගම්පත(කුකුළු)කෝරලයෙන් රජුට අයවිය යුතු බදු මුදල් එකතු කරන්නාගේ කාර්යාලය තිබී ඇත්තේ අයගමය මේ ගමට එම නම පටබැඳි ඇත්තේ එම නිසාය 


සීතාවක රාජ්‍ය කාලයේදී මේ ප්‍රදේශය අයබදු ගැනීම සඳහා සීතාවකට නුදුරු උඩුවිල නමැති ගමේ මනම්පේරි මුදලි පරපුරට අයත් කෙනෙකු ජිවත්ව සිට ඇත ඔහු මනම්පේරි මුදලිතුමාගේ කිට්ටුවන්ත ඥාතිවරයෙකි ඔහු මනම්පේරි මුදලිගෙන් කල ඉල්ලීමක් අනුව රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් මෙම දේවාලය ඉදි කර ඇත මනම්පේරි මුදලිගේ ඉල්ලීම පරිදි රජු විසින් එකල දේවස්තෝත්‍රාදිය දත් මේ ගමේ අයකු වූ හේතුහාමි නැමැත්තෙකුට බටවල කපුරාලලාගේ යන පෙළපත් නාමය පටබැඳ ඔහුගේ පරම්පරාවට කපු තනතුර පවරා ඇති අතර දේවාලයට අවශ්‍ය පත්තිනි හලඹත් ආභරණ කීපයක් හා මෙහි නඩත්තුව සඳහා කපුගේ මළ පාළුව නමැති හැටපස් අමුනක නින්දගමක් දී ඇත මනම්පේරි මුදලිතුමා විසින් මෙහි බස්නායක නිලමේ කෙනෙකු වශයෙන් පරගල විජේසුන්දර පරපුරේ අයකු පත්කර ඇත අදත් මෙහි එම තනතුරේ අයිතිය ඒ පරපුර සතුව තිබේ පත්තිනි දේවමෑනියන් වෙනුවෙන් කැප කරන ලද දේවාලය ශතවර්ෂක පමණ කාලයක් දියුණුවට පත්ව තිබී කපුරාලලා හා බස්නායක නිලමෙලා අතර ඇතිවූ ආරවුලක් නිසා කලක් ඇවෑමෙන් අරාජිකත්වයට පත්ව ඇත ඒ හේතුවෙන් රාජසිංහ රජු දී තිබු සන්නස් තුඩපත් හා වෙනත් වැදගත් පුස්කොල ලිපි කීපයක් ද විනාශ වී ඇත ඒ නිසා කලකදී නින්දගම අහෝසි වී ඇත

                           මැදගොඩ පත්තිනි දේවාලය

මෙම දෙවොල සීතාවක රාජසිංහ රජුගේ කලට පෙර සිටම පැවතගෙන එන දෙවොලක් වේ කෙසේ වෙතත් මෙය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රාජසිංහ රජුගේ අනුග්‍රහය ලැබී ඇත ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු දිනක් සිය පිරිවර සමග පෙතංගොඩ කරා කැලණිය ගඟ දිගේ ඉහළට දේව අඟුලෙන් යමින් සිටියේය මැදගොඩ පැරණි දෙවොල් බිම අසලදී අඟුල ඉබේම නැවතී ඇත අඟුල පදවමින් සිටි මාල මීගොල්ල නැමැත්තා දියට බැස බැලු මුත් කිසිඳු හේතුවක් නොදිටීය මෙය දේව හාස්කමක් ලෙස සැලකු රජු තව දුරටත් විමසා බැලු විට පත්තිනි දේවාලය දැක ඇත රජු එම ස්ථානයට ගොස් පහනක් දල්වා දෙවොල යලි ගොඩනැගීමට තීරණය කල පසු අඟුල ඉබේම ගඟ ඉහළට ගමන් කර මාදෙයියාගල නම් ගල මත නැවතුණි එයින් සතුටට පත් රජු පසුව මැදගොඩ පත්තිනි දේවාලය සකස් කල බව පැවසේ මෙය යලි ගොඩ නගා ඇත්තේ 1582 දී පමණ ය මෙය මුලදී ගොඩ නගා තිබී ඇත්තේ ටැම්පිට දේවාලයක් ලෙසිනි ගල් ටැම් මත නා වැනි ලී බාල්ක දමා ඒ උඩ ලෑලි අතුරා දේවාලය ගොඩනගා තිබී ඇත ඒවායින් ගල් ටැම් දෙකතුනක් පමණක් ඉතිරිව තිබී වෙනත් ඒවා තනා ඒ මත නව දේවාලයක් ඉදිකර තිබේ නවගමුව පත්තිනි දේවාලයේ සිට රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට කිඹුල් වාහනය පිට වැඩම කරවා කෙළි පුද ගන්නට වරම් දුන් අවස්ථාවක් පිළිබඳව පත්තිනි දේව කන්නලව්වක සඳහන්වේ පත්තිනි දේවාලයේ තිබුණු දේව සළඹ සත්නමක් මේ වෙත වැඩම වූ බවක් ද ඇතැම් ජනශ්‍රැති අනුව පැහැදිලිවේ

                        හොලොම්බුව පත්තිනි දේවාලය

මෙම පත්තිනි දේවාලයේ දැනට පවතින දේවාල ගොඩනැගිල්ල 1885 ඉදි කරන ලද්දකි ඊට පෙර පැවති දේව මන්දිරය ගංවතුර හේතුවෙන් විනාශවූ පසුව මෙය ඉදිකර ඇත එම මුල් දේව මන්දිරය ගජබා රජුගෙන් පසු ඉදිවූ බවට‍ ජනප්‍රවාදයේ සඳහන් වේ සෑම වසරකම මාර්තු මාසයේ දී අළුත් සහල් මංගල්ලයද(නානුමුර)පැවැත්වේ දේවාලයට පිවිසෙන පියගැටපෙළ මුදුනෙහි කළුගලෙන් නිම කරන ලද සතරැස් ගල් පුවරුවක් ඇත එය සඳගල යනුවෙන් හැඳින්වේ 


මෙම දෙවොලේ බල ප්‍රදේශ වශයෙන් ගම් 24 ක් ඇත එම බලප්‍රදේශයට අයත් සෑම කුඹුරකින්ම දෙවියන් වෙනුවෙන් විලාසක්‌ (අක්යාල) වෙන් කරනු ලබයි ඒ වෙනුවෙන් කපු මහත්වරුන් පුවක් මල් කිනිත්තක් හා අතු කැබැල්ලක් ගෙන දෙවියන්ට කන්නලව් කොට කුඹුරේ එල්ලති එවිට මැස්සන් පණුවන් ආදී කෘමි සතුන්ගෙන් කුඹුර ආරක්ෂා වී අස්වනු වැඩි වන බව විශ්වාස කරති මෙම දේවාලයට සළඹ ලැබීම පිළිබඳව ජනප්‍රවාදයක් ඇත දේවාලයේ සිට සැතපුම් 1 1/2 පමණ දුරින් පිහිටි අද කපුගෙ ඕවිට නමින් හඳුන්වන ස්ථානයක් ඇත  සෘධි සලඹක් එහි වරා ගහක රැඳී වරින් වර හඬ නැගෙනු ඇසෙන්නට විය මෙම පුවත දැනගත් අවට ප්‍රදේශ වල සෑම කපුමහතෙකුම කපුගෙ ඕවිටට පැමිණ මල් පැලවල් සාදාගෙන යාඥා කල අතර එම සළඹ හොලොම්බුව දේවාලයේ කපුමහතාගේ මල් පැලට සෘධියෙන් වැඩ ඇත අනතුරුව එය හොලොම්බුව දේවාලයට පෙරහැරින් වැඩම කරවූ බව පැවසේ තවද එම සළඹ රැකීම සඳහා නිරතුරුවම සුදු නයි පැටවකු එම අසල රැඳී සිටි බවත් ගමේ කිලිගෙයක් ඇතිවූ වහාම දේවාලය තුලින් වරින් වර සළඹ බල නැඟෙන හඬ දින 7 ගතවන තුරු ඇහුනු බව ද ප්‍රචලිත කරුණකි එ දක්වා නොකඩවා සෑම වසරකම පවත්වාගෙන ආ ඇසල පෙරහැර 1943 දී නතර වීමත් සමග එම සළඹ දේවාලයෙන් අතුරුදන් වී ඇත එවකට සිටි කපු මහත්වරුන් නියමිත පුද පුජා නොපැවැත්වූ හෙයින් මෙම සළඹ අතුරුදන් වූ බව ගැමියන්ගේ විශ්වාසය වේ 

සාරය සාර වශයෙන්ද, අසාරය අසාර වශයෙන් ද දකින නිවැරදි අදහස් ඇත්තෝ සාරාර්ථය වූ නිර්වාණය අවබෝධ කරති.
Read more »

මුල්ලේරියා හටන

8 comments
පහ කළ කෙලෙස් ඇති, ආත්ම දමනයෙන් හා සත්‍යයෙන් යුතු, ශිල සංවරයෙන් යුතු තැනැත්තා කසාවත් දැරීමට සුදුසුය.



දහසය වන ශතවර්ෂයේ දෙවන භාගය ආරම්භ වුයේ පැහැදිලිවම ප්‍රධාන බලවේග දෙකකට ලක්දිව ආධිපත්‍යය හිමිවිමෙනි ඒ සීතාවක රාජධානියට කේන්ද්‍ර ගත වූ දේශීය බලවේගයද කෝට්ටේ සහ වෙරලබඩ ප්‍රදේශවල ස්තාපිතවූ විදේශීය බලවේගයද වශයෙනි ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා වෙරළාසන්නව ජිවත් වූ මුක්කුවා මස් මරන්නන් අතර 1551 වර්ෂයේදී සිවිල් යුද්ධයක් හටගත්තේය එක් කන්ඩායමක ප්‍රධානීහු තම ළමා නායකයා ද කැටුව දකුණු ඉන්දියාවේ පිහිටි පරවාස් කරා පලා ගියහ එහිදී ක්‍රිස්තියානි ආගමට හැරුණු ඔවුහු දහසක පමණ සෙනගක් රැගෙන ආපසු සටනට පැමිණියහ පෘතුගීසි ආධිපත්‍යය සමග ව්‍යාප්තවූ කතෝලිකාගම ලංකාවේ වෙරළාසන්නව ජීවත්වූ ධීවර ජනතාව අතර සීග්‍රයෙන් මුල් බැස ගත්තේය 1555 වර්ෂයේදී ධර්මපාල රජුගේ  බාප්පා වූ තම්මිට සුරිය බණ්ඩාර හෙවත් සෙම්බහප් පෙරුමාල් ෆ්‍රැන්සිස්කු බැරටෝ නමින් ගෝවේදී ක්‍රිස්තියානි ආගමට හැරුණි කෝට්ටේ දේශපාලන නායකයන් සහ ප්‍රභූවරුන් උපරිම වශයෙන් පෘතුගීසි ආධිපත්‍යට නතුවීම සංකේතවත් කරමින් 1557 වර්ෂයේදී විදිය බණ්ඩාරගේ පුත් ධර්මපාල රජු දොන් ජුවන් යනුවෙන් නම වෙනස් කරගනිමින් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේය මේ සිදුවීම විස්තර කරන රාජාවලිය

විසුරේගේ බෑණා දොන් ජීවන් අරික්කු කියන පිදාල්ගුවත් විල්පොන්සි අපොන්සු පෙරේරා කියන පාදිලියත් ගෝවේන් ඇවිත් කොලොන්තොටට ගොඩ බැස කෝට්ටේ නුවර ඇවිදින් ධර්මපාල රජ දැක කතා කරගෙන ක්‍රිස්තු  සමයම ධර්මපාල රජුට දී දොන් ජිවන් පෙරියපන්දාර කියන නමින් කුලවද්දාගෙන එරජ කුල වදිනා විට කෝට්ටේ නුවර නැතක්  ප්‍රධානිවරුන් කුලවැදුනාහ....

එදා පටන් කෝට්ටේ නුවර නැතක් ගෑනුන් ප්‍රතිකානුන්ඩ සැමනී හීන ජාතිද ,ඇම්බැට්ට ජාතිද ,කරා ජාතිද,හන්නාලි ජාතිද ,හාලි ජාතිද ,දුරා ජාතිද ,ගොයි ගෙයි ජාති ද කෝට්ටේ නුවර ප්‍රධාන අය ප්‍රතිකානුන්ගේ වස්තුවට ලෝභ වෙලා උන්ඩ සැමනිලා කුල වැදී බැඳගෙන උන්නාහ

යයි සවිස්තරාත්මකව තොරතුරු සපයයි කෝට්ටේ නුවර ප්‍රධානීහු ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසු කෝට්ටේ සේනාව සහ ප්‍රතිකාල් සේනාව ඒකාබද්ධ වී සීතාවක ආක්‍රමණය කර ගම් නියම් ගම් කොල්ලකා නගර ගිනි තබා මහත් ව්‍යසනයක් සිදු කළේය මෙවිට‍ මායාදුන්නේ රජු දැරණියගලට පසු බැස්සේය කලක් එහි ගත කර නැවත සීතාවකට පැමිණ මාලිගා, බලකොටු සහ සේනාව ප්‍රතිසංස්කරණය කල මායාදුන්නේ රජුට සහය පිණිස බුද්ධ වංශ නම් භික්ෂුව ජනතාව අවදි කරමින් ධෛර්යවන්තව ක්‍රියා කල බව කවේයිරෝස් සඳහන් කරයි මේ වසරේදීම ජුනි මාසයේදී කෝට්ටේ නුවර වැසියන් මෙහෙයවා පෘතුගීසි දොන් ජීවන් විරෝධී කැරැල්ලක් ඇති කිරීම දක්වා භික්ෂුන්ගේ උද්ඝෝෂණය දුරදිග ගියේය අවාසනාවට මෙන් බෞද්ධ සංඝයා සංවිධානය වී පෘතුගීසි විරෝධී අරගලයට උරදුන්නේ ධර්මපාල රජුද ඇතුලත්ව කෝට්ටේ ප්‍රභූවරු මහා පරිමාණයෙන් ක්‍රිස්තියානි ආගම වැළඳගෙන භික්ෂුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමෙන් පසුවය මේ වනවිට පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ ආධිපත්‍යය කෝට්ටේ රාජධානිය තුල මුල්බැසගෙන තිබුණි  කැරැල්ල ක්‍රැර ලෙස මැඩපැවැත් වූ පෘතුගීසිහු භික්ෂුන් 30 නමක්  එල්ලා මරා දැමුහ මේ අවස්ථාවේදී කෝට්ටේ නුවරින් රහසිගතව ඉවත් කරගන්නා ලද දලඳව සීතාවක රාජධානියේ දෙල්ගමුව විහාරයේ තැන්පත් කරන ලදී

 දොන් ජීවන් පෙරිය බණ්ඩාර පෙරටු කොටගත් ප්‍රතිකාල්ලු සීතාවක ආක්‍රමණය කිරීමට සුදානම් වුහ ඊට පෙර ක්‍රියාත්මකවූ මායාදුන්නේ සහ රාජසිංහ රජුන් සේනාව රැස් කරගෙන පැමිණ කෝට්ටේ නුවර තුන් පැත්තකින් වට කළේය කාලයක් මුළුල්ලේ ස්වදේශික සේනා විසින් වටලාගෙන සිටිම හේතු කරගෙන කෝට්ටේ නුවර භයානක දුර්භික්ෂයක් ඇති විය එහෙත් කපිතාන් අපොන්සු පෙරේයිරා ද ලසාර්දා යටතේ ගෝවෙන් ගෝවෙන් යුධ ආධාර පැමිණීම නිසා සීතාවක හමුදාව කඩුවෙලට පසු බැස්සේය එක් පසෙකින් කෝට්ටේ වට කරගෙන සිටි සේනාංකයක් භාරව කටයුතු කල පනාපිටිය මුදලි යුධ බිමේදී මළේය කෝට්ටේ ජනතාව විසින් අතහැර දමන ලද දොන් ජීවන් පෙරිය බණ්ඩාර කැලණියේ රජ මාළිගයට ගොස් පදිංචි විය කඩුවෙල කඳවුරු බැඳගත් ස්වදේශික දේශප්‍රේමී හමුදාව වරින් වර කොළඹ කොටුවට පහර දුන්හ පෘතුගීසින් ප්‍රභල ප්‍රහාරයක් දියත් කලත් සීතාවක හමුදා එය ව්‍යර්ථ කර විනාශ කළේය ප්‍රතිකාල් සේනාව අඩපනවූ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් රාජසිංහ රජු කොට්ටෙට ප්‍රබල ප්‍රහාරයක් දියත් කර එය මුදවාගැනීමට සුදානම් වුවත කපිතාන් බැල්තසාර්ද ගුයිදෙස්‌ ද  සුසා යටතේ ගෝවෙන් යුධ ආධාර පැමිණීම හේතු කරගෙන ඒ ප්‍රයත්නය අසාර්ථක විය මේ අවස්ථාවේ දී වෙනත් කල හැකි යමක් නොවුයෙන් ද  පෘතුගීසින්ගෙන් මවුබිම ගලවා ගැනීමට මෙය මා හැඟී අවස්ථාවක වුයෙන් ද නැවත වරක් මලබාර් පාලකයාගෙන් උපකාර ඉල්ලා සිටීමට මායාදුන්නේ රජ කටයුතු කළේය මලබාර් පාලකයා එවන ලද හමුදා මන්නාරමේදී පරදවා නැව් ද ගිනිබත් කල පරංගි රාජසිංහ රජුගේ හමුදාව සීතාවකට පලවා හැරියහ 1557 -1562 අතර කාලය තුල මෙලෙස ජය පරාජය තීරණය නොවූ සටන් රාශියක්ම කෝට්ටේ සහ සීතාවක අතර සිදු විය සීතාවක රජු මලබාරයෙන් යුද ආධාර අපේක්ෂා කලද මේ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය පෘතුගීසින් සතුවූ බැවින් නාවික ආධාර ලබාගැනීමට ක්‍රමයක් නොවිය

1562 වර්ෂයේ දී රාජසිංහ රජු හා වික්‍රමසිංහ  මුදලි යටතේ සේනා සන්නද්ධ කල මායාදුන්නේ රජ එකවර  කොළඹ හා කෝට්ටේ වටලන අයුරින් ඉදිරියට ගොස් ප්‍රථම කඳවුර මුල්ලේරියා වෙල අසල ස්ථාපිත කළේය දෙපක්ෂය අතර දින කීපයක් තිස්සේ සටන් ඇවිලී ගියත් කිසිවෙකුටත් ජය අත් නොවිය රාජාවලිය මෙම අවස්ථාව සවිස්තරාත්මකව සඳහන් කරන්නේ මෙසේය

මුල්ලේරියාව යන ගමදී ප්‍රතිකානුන් දැකලා යුද්ධ පුණ්ඩුව වික්‍රමසිංහ මුදලින්ගෙන් දහස් ගණන් සේනාව වැටී වික්‍රමසිංහ මුදලිත් තුවාලව බිඳී හේවාගමට ගියාහ ප්‍රතිකානෝ කොටා ජයගෙන මුල්ලේරියාවේ වාඩ්ලුවාහ.වික්‍රමසිංහ මුදලින් බිඳී ගිය හැටි රාජසිංහ රජු දැකලා වම දකුණ පලිසක්කාරයින් හා දෙබාගේ ඇතුන් හා අතුරුගිරිකෝරලය ,හේවාගම් කෝරලය කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා දොළහ හේවායින් ගෙන්නවා ඉලංගම්වල පලිසක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද සිටිනා ප්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ .පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවත් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතිය විජයසුන්දර බාගේ ඓරාවනයා කියන ඇතා පලිසකුත් දම්වැලකුත් ගතිය. රාජසිංහ රජ අසුපිටට නැඟී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්‍රතිකානුන්ගේ මැදට වැදිලා පලිසක්කාරයොත් ඇත් අස් සෙනඟත් එකට කලබගෑනිව ප්‍රතිකානුන් ගේ තුවක්කුවලට වෙඩිබේත් දමන්ඩ නොදී කොටන කල පලිසක්කරයොත් ප්‍රතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිසක්කාරයින් මාරුවාහ .රාජසිංහ රජ අසුට නැඟී විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙලා මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා ....

පැය 16 ක එකදිගටම පැවති සටනින් පෘතුගීසිහු 1600 දෙනෙක් වෙල මැද මැරී වැටුණු අතර පණ බේරාගෙන ආපසු පැනගත්තේ 125 දෙනෙක් පමණි පෘතුගීසින් පෙරදිගදී ලද විශාලතම පරාජය මෙය විය

මුල්ලෙරියා සටනින් පසු දේශප්‍රේමී සීතාවක සේනාව ප්‍රකෘති තත්වයට පත් කල රාජසිංහ රජු කෝට්ටය වැටලුවේය එය සාර්ථක වැටලිමක්‌ විය කෝට්ටේ රාජධානියේ උප නගරය වූ කැලණිය සීතාවක හමුදා අතට පත්විය කෝට්ටේ රාජධානිය තුල වූ ජනතාව සීතාවක රාජසිංහ රජුගේ පක්ෂය ගත්හ රාජසිංහ රජු පෘතුගීසීන්ට යටත් වන සේ නියෝග කළේය පෘතුගීසි කපිතාන් එයට එකඟ විය .එහෙත් ප්‍රතිකාල් යුද්ධ මන්ත්‍රණ සභාව යටත්වීම ප්‍රතික්ෂේප කලාය.රාජසිංහ රජ අගනුවර අල්ලා ගැනීමට මහත් වෙහෙසක් දැරූ මුත් ගොවෙන් යුද ආධාර පැමිණීම නිසා එය අසාර්ථක විය 1562 -1565 දක්වා වකවානුව තුල සීතාවක හමුදා සහ පෘතුගීසි හමුදා අතර නිරන්තර යුද්ධ පැවතින කෝට්ටය හැර අනෙක් සියලු ප්‍රදේශ රාජසිංහ රජු යටතේ පැවතියේය එහෙත් ගෝවෙන් යුද ආධාර ඒම වැළැක්වීමේ මඟක් රාජසිංහ රජු සතු නොවීම බලවත් අවාසියක් විය මේ වන විට කෝට්ටේ නුවර වැසියෝ සීතාවක බල ප්‍රදේශ කරා ගොස් පදිංචි වී සිටියහ ජනතාව විසින් අතහැර දමන ලද දොන් ජීවන් පෙරියබණ්ඩාර හෙවත් ධර්මපාල 1565 ජුලි මසදී කෝට්ටේ අතහැර පලාගොස් කොළඹ කොටුව තුලට රිංගා ගත්තේය රාජසිංහ රජුගේ යුද්ධ ව්‍යාපාර හේතුකොටගෙන රාජධානිය තවත් විශාල විය ධර්මපාල කොටුව තුල සැඟවීමෙන් පසුව කෝට්ටේ රාජධානියට  අයත් ප්‍රදේශ ද සීතාවක රාජධානියට අයත් වීමෙන් කොළඹ හා යාපනය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සීතාවක ආධිපත්‍යයට නතු විය ශංකිලිගේ අනුප්‍රාප්තිකයන් විසින් පාලනය කල යාපනයද සීතාවක අධිශ්වරත්වය පිළිගත්තේය රාජසිංහ රජු විසින් පළමු වරට පැළඳ නුවරින්ද දෙවනුව සෙංකඩගලින්ද තෙවනුව සත්කෝරලේ මුන්ඩකොන්ඩපොල නුවරින් ද පන්නා දැමු විදිය බණ්ඩාරට යාපනය බලප්‍රදේශයට ඇතුළු වන්නට ජනතාව ඉඩ නොදුන්නේ ඒ නිසා ය
                                            
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.
Read more »

ආඬි ප්‍රතිපත්ති

3 comments
අරමුණු අසුභ ලෙසින් දකින,ඉන්ද්‍රිය සංවරයෙන් යුත්,බොජුනෙහි පමණ දන්නා, සැදැහැවත්,විර්යවන්තයා කෙලෙස් මරු නොමඩ්. වාතයට ගල් පර්වතයක් නොමැඩිය හැකිවාක් මෙනි.


පළමුවන රාජසිංහ රජුගේ කල අපකීර්තිමත් පක්ෂය වශයෙන් ආඬි සම්බන්ධතා (ඉන්දියානු පරපුර සහ රජ අතර පැවති සම්බන්ධතා )පෙන්වා දීමට විචාරකයෝ පෙළඹෙ එහෙත් මායාදුන්නේ රජුගේ කාලයේ සිටම සිංහල දේශප්‍රේමී අරගලවලදී මලබාර්වරුන් දැක්වූ ක්‍රියාකාරී සහයෝගය සුළුපටු නැත 1565 තරමේ සිට විශාල ප්‍රවාහයක් වශයෙන් ලක්දිවට ඇදී ආ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දායකත්වය සිංහල දේශප්‍රේමි හමුදාව ශක්තිමත් කිරීම පිණිස යොදා ගැනුනි මේ අනුව 1578 වර්ෂයේදී පමණ සීතාවක අධිරාජ්‍යයේ පාලනය ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු වෙත පවරනවිට ඉන්දියානු සංක්‍රමණිකයන් සිංහල රාජධානිය තුල ගොඩනගාගෙන තිබුණු සියලු ආකාරයේ හොඳ සහ නරක අංගෝපාංගයන්ද ඔහුට නිතැතින් ම උරුම වන්නට ඇත 

ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ යාග -හෝම විධි හා ඇදහිලි කොතෙක් දුරට හෙළ සමාජය තුල කිඳා බැස්සේද යත් සෝම කර්ම සිදු කල ග්‍රාමය සෝම ග්‍රාමය හෙවත් හෝමාගම ලෙසද සෝමකර්ම සඳහා දර ලබාගත් ප්‍රදේශය සෝමකර්මදර හෙවත් හෝකන්දර වශයෙන්ද බිලිපුජා සඳහා භාවිතා කල ජලාශය බිලි දුන් දොළ හෙවත් පිළියන්දල නමින්ද අද දක්වා ව්‍යවහාර වේ  පිටිපන ප්‍රදෙශය අසල බ්‍රාහ්මණ ගම නමින්ද ගමක් පිහිටා තිබෙන අතර එහි බමුණන් වාසය කල බව පැරැන්නෝ කියති  පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් නිරන්තරයෙන් සිදුකරන ලද කුමන්ත්‍රණ හමුවේ ස්වදේශික හමුදාවේ සමහර නායකයන්ද ඕනෑම මොහොතක සතුරාට එක්විය හැකි තත්වයක් උද්ගතව තිබුණි 

සීතාවක හමුදාවේ උසස් තනතුරු හෙබවූ සහෝදරයන් දෙදෙනකු අතර හටගත් පුද්ගලික අරගලයකදී එක අයෙක පෘතුගීසින් වෙත පලා ගියාක් මෙන්ම සෙනෙවිරත්න මුදලි සහ වික්‍රමසිංහ මුදලි අතර හටගත් අමනාපය සතුරු හමුදාව වික්‍රමසිංහ මුදලිගේ ආරක්ෂක වළල්ල හරහා නිරුප්‍රද්‍රිතව ගමන් කර සෙනෙවිරත්න මුදලිට පහරදීම දක්වා දුර දිග ගියේය නොවැදගත් සරණාගතයින් ලෙස ලංකාවට පැමිණ දේශප්‍රේමී හමුදාව තුල ක්‍රමයෙන් අති විශාල බලයක් ගොඩ නඟා ගත් ඉන්දියානු සරණාගතයා හැටියට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් හඳුන්වා දිය හැක එහෙත් සීතාවක රාජධානිය තුල ඔහුට දේශපාලන බලයක් නොතිබිණි රාජසිංහ රජුගේ අවසාන කාලයේ අරිට්ඨ කී වෙන්ඩු කටයුතු කල ආකාරය අනුව සිංහල අධිරාජ්‍ය තුල දේශපාලන බලය හිමිකර ගැනීමේ කුට චේතනාවෙන් ඔහු සැලසුම් ක්‍රියාත්මක කල බව පෙනේ   

රාජසිංහ රජුගේ ඇවෑමෙන් පසුව අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් විසින් මියගිය රජුගේ ඥාතිවරියට කල විවාහ යෝජනාවක් පිලිබඳ තොරතුරු ලැබේ රාජකීයන් සමග සිදුවන විවාහයකින් පසුව සීතාවක රාජධානිය තුල දේශපාලන බලතල හිමිකරගැනීම ඔහුගේ අරමුණ විය මේ විවාහ යෝජනාවට රාජසිංහ රජුගේ සහෝදරිය වූ මහ බිසෝ බණ්ඩාර බිසව තදින්ම විරුද්ධ වුවාය සොලිකරයේ සිට ආඬි ගුරකු ලෙස ලංකාවට පැමිණි අරිට්ඨ කී වෙන්ඩුගේ නොගැලපෙන විවාහ යෝජනාව සීතාවක වැසියන්ගේ සිනහවට කාරණයක් විය සීතාවක මහඅතපත්තුවේ දොළොස් හමුදාව බාරව සිටි අතපත්තු ආරච්චි අරිට්ඨ කී වෙන්ඩුව උපහාසයට ලක් කර ඔහු වීදිවල ගමන් කරන විට ඔහුට ඇසෙන ලෙස  කවි පද ගොතා ජනයා ලවා සීතාවක වීදිවල ගායනා කර වූ බව රාජාවලිය අනුව පෙනේ ඒ කවි අතරින් අද දක්වාම සිංහල දරුවන් අතර බෙහෙවින් ප්‍රචලිතව පවතින එක උපහාස කවියක් මෙසේ දැක්වේ 

අතුරු -මිතුරු, දඹදිව- තුරු 
රාජ -කපුරු, හෙට්ටියා.... 
අලුත ගේන මනමාලිට හාල්පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා ,පහල ගෙටත් බෙදාලා 
උස කොල්ලෝ පේළියයි-මිටි කොල්ලෝ පේළියයි 
උස දරමිටි පේළියයි -මිටි දරමිටි පේළියයි 
කුකුළා කපල වැට මුල්ලේ -කිකිළි කපල දොර මුල්ලේ 
කළු කපුටා සුදු වන තුරු-මෝල්ගහේ දළුලන තුරු 
බලා ඉඳින් හෙට්ටියෝ....

ඉහත ජන කවියට අනුව දඹ දිවින් පැමිණි රාජ කපුරු පදවිය හිමිකරගත් හෙට්ටියා කළු කපුටා සුදු වනතුරු බලා සිටියත් මෝල් ගහේ දළු ලනතුරු බලාසිටියත් කිසිදා සිදුනොවන විවාහයකට සුදානම් වූ බව පෙනේ  විවාහ සම්බන්ධතා හරහා සීතාවක දේශපාලන ව්‍යුහයට රිංගා ගැනීමට අපොහොසත් වූ තැන  අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ අවධානය යොමු වුයේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර හා පෘතුගීසීන්ගේ උපකාර කෙරෙහිය සීතාවක අරිට්ඨ කී වෙන්ඩුට උදුරාදීමට තරම් යුදබලයක් ඔහුට හිමි නොවිය ඉලංගකෝන් මුදලි යටතේ ප්‍රතිසංවිධානය වූ සීතාවක හමුදාව මෙහෙයවා අරිට්ඨ කී වෙන්ඩුව අල්ලා ගැනීමට නිකපිටියේ බණ්ඩාර රාජසුර්ය රජු සුදානම් වුයේ මේ අතරය එහෙත් ඊට පෙර අරිට්ඨ කී වෙන්ඩු කොළඹ කොටුවට පැනගත්තේය 

සීතාවක රාජධානිය තුල දේශපාලනික බලය හිමි කරගැනීමට නොයෙක් ආකාරයේ කුට උපක්‍රම යොදා තම ව්‍යායාමය ව්‍යර්ථ කරගත් ඉන්දියානු සරණාගතයෝ විශාල පිරිසක්ද අරිට්ඨ කී වෙන්ඩු සමග විරුද්ධ පක්ෂය ගත්හ ඉන් අනතුරුව සීතාවක රාජධානිය පෘතුගීසි යටත් විජිතයක් බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය භාරය සාර්ථකව ඉටු කල අරිට්ඨ කී වෙන්ඩු ඇතුළු කණ්ඩායම සිංහල රාජවංශික නායකත්වය සතුරාට පාවාදීමට කටයුතු කළේය මොවුන් දන්තුරේ සටනේදී කොනප්පු බණ්ඩාරගේ පක්ෂය ගත් බවද ඉන්පසුව කන්ද උඩරට බලපුළුවන්කාර වංශවත් රදළයින් බවට පත් ව ඇත ඔවුන්ගේ ආදිපත්‍ය හේතුකොටගෙන කඳුරට සිංහල ජනතාවගේ ජිවන රටාව මහත් පරිවර්තනතනයට  භාජනය වූ අතර ලක්දිව ප්‍රධාන පුජ්‍ය ස්ථාන පවා ශිව භක්තිකයන්ගේ යටතට ගැනුනි ශිව සමය තදින්ම පැතිරයාමත ඊට උඩරට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් හේතුකොටගෙන රටවැසියෝද ඊට නිතැතින්ම ආකර්ශනීය වුහ දේව ඇදහිලි සහ විශ්වාස ප්‍රචලිත වීම ආරම්භ වුයේ මෙම කාලයේදීය සෙනරත් රජුගේ පාලන සමයේ  රචිත අඹන්වෙල ගම යාපා මුදලිගේ පුත් කිවිඳුගේ ආඬි මාලය නම් පද්‍ය සංග්‍රහයෙන් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ සහචරයන් විසින් ක්‍රියාත්මක කල නිසරු ආඬි ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක්වේ උඩරට රජවාසල පැවති දකුණු ඉන්දියානු දැඩි ආධිපත්‍ය හේතු කොට ගේන පසු කලකදී උඩරට පාලනය දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන්ට හිමිවූ අතර පසුව උඩරට පාරම්පරික රදළවරුන් ලෙස පෙනී සිටි අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ ගෝල බාලයන් ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍ය පාවාදීමේදී  මුලිකත්වය ගත්හ               
වමාරා නොදැමූ කෙලෙස් කසට ඇති, ඉඳුරන් දමනයෙන් හා සත්‍ය වචනයෙන් තොර පුද්ගලයා කසාවත් දැරීමට නුසුදුසුය.
Read more »

කුකුළුවා රජමහ විහාරය

1 comments
කලහකාර මෝඩයෝ අපි මැරෙමු කියා නොදනිති.යමෙක් මේ ටික දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කළහ සංසිඳෙයි.



මුහුදු මට්ටමින් අඩි 1500 පමණ උසින් නිරිඇලි කන්දේ මැද කොටසේ පිහිටි මෙම පුජනීය ස්ථානය කුකුළු කෝරලයේ පැරණිම ගල්ලෙන් විහාරය වේ එහි ඇති ගල් ගුහා දෙකින් ප්‍රමාණයෙන් විශාල ලෙන විහාරය ලෙසත් කුඩා ලෙන දේවාලයක් ලෙසත් වෙන් වේ  කුකුළුවා රජමහා විහාරයේ ආරම්භය පිළිබඳව මත දෙකක් පවතී ඉන් පළමුවැන්න ආක්‍රමණිකයන් හා කල සටනින් පරාජිතවූ වට්ට ගාමිණී අභය රජු තුදුස් මසක් මලය දේශයේ සැඟවී සිටි කාලයේදී මෙම ගල් ගුහාවේ සැඟවී සිට යලි රාජ්‍යයට පත්වූ පසුව මෙම විහාරය ඉදි කල බවයි දෙවැනි මතය ඉදිරිපත් කරන පුජ්‍ය පාද පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ සීතාවක රාජසිංහ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් ලෙස සලකා මෙහි ඉතිහාසය කෝට්ටේ කාලය ඉක්මවා නොයනබව අදහස් කරති විහාර ගල්ගුහාවේ ඇති කටාරම අතීතයට නෑකම් නොකියන තනි රේඛාවක් වීමද එම නිගමනයට හේතු වී ඇත (සපරගමුව දර්ශන 244)

මෙම විහාරස්ථානය කුකුළුවා විහාරය යනුවෙන් සඳහන් වෙන්නේ 1 රාජසිංහ රජුගේ කාලයෙන් පසුව බව පිළිගැනීමට ඓතිහාසික සාධක ඇත මෙම රජු විසින් නිරිඇල්ලේ තිස්මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රධානය කල නිරිඇලි නින්දගමේ මෙම විහාරය කනත්තේ ගල්ලෙන් විහාරය නමින් දැක්වේ එය එම නින්දගමේ දකුණු මායිම වේ කනත්තේ ගල්ලෙන් විහාරය කුකුළුවා විහාරය බවට පත්වුණේ මෙම කෝරලය දිගම්පත කෝරලය නමින් ව්‍යවහාරයේ තිබී කුකුළු කෝරලය බවට පත්වුවයින් පසුවය පරගල විජේසුන්දර නැමැත්තෙකු රජවාසල පැවති කුකුළු පොරයකදී ඉදිරිපත් කල කුකුළා අන් සියලුම කුකුලන් පරදවා ජයගත් හෙයින් ඔහුට රජතුමා ලබාදුන් නින්දගම ලෙස කුකුලුගම (කුකුලේගම) ප්‍රදානය කල බව ජනප්‍රවාදයේ එයි මෙම කුකුල් පොර කරුවා පරගල ගමේ බොහෝ කලක සිට පැවත එන දක්‍ෂ මන්තර කාර පරපුරකට අයත් අයෙක්ලු. මොහු එම කුකුළු පොර තරගයේදී අනෙක් කුකුළන් දහඅට දෙනාම මරාදමා ඔහුගේ කුකුළා ජයග‍්‍රහණය කරවූයේ බලගතු මන්තරයකින් මතුරන ලද කහනූලක් පිටතට නොපෙනන අන්දමට තම කුකුළාගේ අත්තට්ටක පිහාටු අතර ගැටගසා තිබීමෙන් කුකුළා ආවේශව ප‍්‍රතිවාදී කුකුළන්ට පහර දීමෙන්ලු. එය සනාථ කිරීමට හැකි විදියේ දක්ෂ රහස් මන්තරකරුවෝ අදත් මෙම පරපුරේ සිටිති. 

දික් ගම්පත කෝරළයෙන් ගෙනා කුකුළ පොර කොටන්ඩ
කොක් හඬලා පටන් ගත්තු අනෙක් කුකුළො බා ලන්ඩ
දික් විජයක් කරපු නිසා මහවාසල සතුටු වෙන්ඩ
එක් වුණ නම එදා පටන් කුකුළු කෝරළය කියන්ඩ

කුකුළේගම
මැද පත්තුවට අයත් පෞරාණික ග්‍රාමයක් වන මෙය කුකුලේ ගඟ ආශ්‍රිතව ජනාවාස වූ පෙදෙස ලෙස සැලකේ. ශ්‍රී රාජසිංහ රජ (රා:ව 1747-1782) සමයේදී ලන්දේසීන් සමඟ සිදු කළ කටුවන මාතර සටනේදී සේනාව මෙහෙය වූ සේනාධිපතියකු වන කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලිතුමාට දුන් නින්දගමේ කොටසක් ලෙස දැක්වේ. බොහෝ කාලයක් මෙය කෝරළයේ ප්‍රධාන නගරය ලෙස පැවති බවද කියවේ.කුකුළේගමට අයත් ගම් ලෙස ගල්කැටිය, ජාතුවංගොඩ, කඳවැල්දොළ , හපුගොඩ, කොඩිප්පිලිකන්ද, කෝරළේගොඩ, මීපාගම, නාරගල්පිටිය, නාවලකන්ද, නවංගොඩ, පුල්ලෙකන්ද, වන්නිගොඩ හා වැතැල්ගොඩ ද දැක්විය හැකිය.



තවද මෙම විහාරස්ථානය අසල නැටුම්ගල සහ මාලිගාතැන්න යනුවෙන් හැඳින්වෙන ස්ථාන දෙකක් ද දක්නට ලැබේ එහෙත් ඒවායේ නටබුන් කිසිවක් පෙනෙන්නට නැත මේ ස්ථාන සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක ගවේෂනයක්ද සිදුකර නැත එහෙයින් මේ පිළිබඳව ස්ථිරව යමක කිව නොහැකි වුවද යම් ප්‍රාදේශීය රජකු හෝ මෙහි වසන්නට ඇති බව අනුමාන කල හැක කුකුළුවා විහාරයේ ගොදුරුගම ලෙස තිබෙන්නට ඇත්තේ නිරිඇල්ල සහ උඩකන්ද ගම බව පිළිගත හැකි සාධක ඇත නිරිඇල්ලේ සන්නස අනුව එම නින්දගම වැසියන් ආගමික වතාවත් සඳහා මේ ස්ථානය කරා පැමිණිය යුතුය 

කලවාන මාර්ගයේ කෙළවර පිහිටි උඩකන්ද ගම අදට වඩා ජනකිර්ණව විසු බවට සාධක සපරගමු ලේකම් මිටියෙන් සනාථ වේ කුකුළු කෝරලය ජනාවාසවිමේදී නිරිඇලි කන්ද හරහා පැමිණි වේරගම ආරච්චි පරපුරේ අයගේ ප්‍රථම නවාතැන උඩකන්ද ගම්මානය විය ඔවුහු විහාරය පාමුල වූ එම ගම්මානය සංවර්ධනය කරගෙන සියවස් දෙකක් පමණ ජිවත්වුහ එම කාලය තුල ඔවුහු උදකන්ද කංකානම නමැත්තෙකුගේ නායකත්වයෙන් කටයුතු කර ඇති අතර ලෝහ කාර්මිකයන් පවා එහි විසු බව උඩකන්ද ගෙයි අප්පු (සපරගමුව පැරණි ලියවිලි198 )යනුවෙන් දැක්වෙන ලේකම් මිටි පාඨයෙන් සනාථ වේ පසු කලෙක කවර හේතුවක් නිසා හෝ උඩකන්ඳ ගම ජනශුනය පෙදෙසක්ව එහි වැසියන් පිඹුරේ ගමට පදිංචියට ආහ එහෙයින් විහාරය ද වල්බිහිවිය  නැවත වරක් මෙම විහාරය පිළිබඳව සැදැහැවතුන්ගේ අවධානය යොමු වුයේ 1892 දී මෙහි වූ සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කල පසුවය එම සිද්ධියද ජන කවියක මේ අන්දමින් විස්තර කර ඇත 

සිරිලක පරසිඳු නවදුන් 
    කෝරලේ මැදපත්තුවේ නිරිඇලි     කන්දේ 

පෙර සිටි රජවරු තැනූ
        විහාරේ බොල්වී තිබුනයි හිම      මැද්දේ 

පව් කල සොරු රැල කුකුළු 
  විහාරේ පිළිමේ කඩන්නට කල         යුද්දේ 

දෙවුරට ළමැදට සිරසට වෙඩි 
         තුන තැබුවා ලෝකෙට             පරසිද්දේ 

මෙම හානිය සිදු වන විට විහාර ගෙය තුල පිහිටි පිළිමය මැටියෙන් වසා තිබු බවද ගල්ගුහාවේ වහලයේ තිබු පැරණි චිත්‍ර සියල්ල වවුලන් විසින් විනාශ කර තිබු බව ද කියවේ මේ කාලය වන විට කුකුළු කෝරලය භාර රටේ මහත්මයා වූ දෙල්වල ලොකු බණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපතිව වැඩ සිටි පුජ්‍ය හතර කෝරලයේ දැලිවල සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් යලිත් ප්‍රතිසංස්කරණ කර ඇත ඉන් අනතුරුව 1934 වර්ෂයේදී ජේ බි කිරිඇල්ල රටේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය රත්නපුරේ සද්ධාරාම හිමියන්ගේ අනුශාශකත්වයෙන් දෙවන ප්‍රතිසංස්කරණ දී කුඩා ගුහාවේ දේවාලයක් සහ ඝන්ටා කුළුණක් ඉදිකරන ලදී එම දේවාලය යටින් රත්නපුරේ පිහිටි පොත්ගුල් විහාරය දක්වා උමගක් තිබු බවට ජනප්‍රවාදයේ ඇත පිට ප්‍රදේශවල සිට මෙම පුජනීය ස්ථානය වනදනාමාන කිරීම සඳහා මාර්ග කීපයකින් ලඟාවිය හැක රත්නපුරේ සිට කලවාන හරහා පැමිණෙන්නන්ට රජ්ජුරුවත්ත හරහා සමන්පුර තේ ජනපදයට පැමිණ සැතපුම් දෙකක් පමණ වූ මඟකින් මෙම ස්ථානයට යා හැකි වන අතර කිරිඇල්ල අයගම හරහා පැමිණෙන අය සඳහා පිඹුරේ ගමට පැමිණ උඩකන්ද නමැති ස්ථානයෙන් කලවාන හරහා වැටී ඇති මගින් පැමිණිය හැක නිරිඇල්ල වතු පාරේද පැමිණ නිරිඇලි කන්ද මැදින් ඇති පාරෙන් මෙම විහාරයට ලඟාවිය හැක     
            

අරමුණු සුභ ලෙසින් සලකන, ඉන්ද්‍රිය සංවරයක් නැති, අහරෙහි පමණ නොදන්නා,වීර්ය හීන කුසීතයා කෙලෙස් මරුවා ගිල ගනී.වාතය දුබල ගසක් හෙලනාක් මෙනි.
Read more »

රැජිනකගේ රාජ්‍ය සමයේ ලියවුන මහා ගී කාව්‍ය සසදාවත

3 comments
අකුසල් දහම් සිතට මුල්වෙයි. කිලිටි සිතින් යමක් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල අකුසල්ය. එයින් ඔහු පසුපස දුක ලුහුබඳි. ගැල බැඳී ගොණු පසු පස යන රියසක මෙනි.



පොළොන්නරු සාහිත්‍ය යුගයේ දී අපට හමුවන කාව්‍ය කෘතියකි සසදාවත කාව්‍යය ක්‍රි .ව 1153 සිට 1186 තෙක් පොළොන්නරුවේ රාජ්‍ය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයෙන් වසර 11 කට පසු තෙවසරක් පොළොන්නරු රාජ්‍ය විචාරණ ලද පැරකුම් රජතුමාගේ මෙහෙසිය වන ලීලාවතී රැජිනගේ කාලයේ ලියැවුණු සසදාවත එම රැජිණගේ විශේෂ අනුග්‍රහය යටතේ ලියැවුණු කාව්‍ය කෘතියක්ව ඉතිහාසයේ සඳහන්වෙයි ලීලාවතී රැජිණගේ වසර තුනක පළමු රාජ්‍ය කාලයේ දී අගමැති වශයෙන් කටයුතු කල කිත්සෙනෙවියාගේ විශේෂ අනුග්‍රහය ලීලාවතී රැජිණට ලැබුණු අතර ඇය සිංහාසනාරූඪ කිරීම සඳහා ද එම සෙනෙවියාගේ අනුග්‍රහය නොමදව ලැබුණු බව සඳහන්වේ ලීලාවතී රැජිණ පළමු රජකාලය වූ වසර තුනට පසු තවත් දෙවතාවක් පොළොන්නරුව රාජ්‍ය විචාරා ඇති අතර දෙවන වතාවේ වසරක කාලයක්ද තෙවන වතාවේ සත්මසක කාලයක්ද රැජිණ වශයෙන් කටයුතු කර ඇත සසඳාවත ලියැවු බව සඳහන් කාලය වන්නේ මෙතුමියගේ පළමු රාජ්‍ය කාලය තුල බවය  එනම් ක්‍රි ව 1197 -1200 අතරය එය සසඳාවත කාව්‍යයේ සඳහන් වන්නේ මෙසේය 

හිමි කුල බඳදර නිති සිතුමැනෙව් රක්නා රුවන් පා කුල කෙහෙළි -අගමැති කිත් සෙනෙවියුත් 

සස ගුණ අබරණ -රිවි සඳ කුල මුදුන්මල් 
පසක් සිරි කත විලසින් -මුළු ලෝ මන නුවන්ගත් 
කළ ලෝ සසුන් වැඩ -ලීලාවතී හිමි සඳ 
පළ කළ දම් රජ සිරි -මෙවැටුම්හි  පිටු බලව් 

සසඳාවත රචනා කළ කවියා කවුරුදැයි සඳහන් නොවේ එහෙත් එහි 179 ගීයට ලියන ලද සන්නසෙහි සසඳාවත කාව්‍ය තිලක වශයෙන් ද හඳුන්වා තිබේ ඒ අනුව මෙය ලියන්නට ඇත්තේ කාව්‍යතිලක නම් අයකු යයි ඇතැමුන් තර්ක කළ අතර ඇතැමුන් පවසන්නේ කාව්‍ය තිලකයයි නම් සඳහන් කර ඇත්තේ මෙය සෙසු කාව්‍යන්ට වඩා උත්තම ගණයේ කාව්‍යක් නිසා විය හැකි යයි බවය කෙසේ වෙතත් මෙහි කතුවරයා අවිනිශ්චිතය සසඳාවත ගී කාව්‍ය කෘතිය සඳහා වස්තු විෂය වී ඇත්තේ ජාතකට්ඨ කථාවේ  එන 316 වැනි ජාතක කතාව වන සස ජාතකයයි  බුදුගුණය වර්ණනා කිරීමෙහිලා තමන්ගේ සිතේ තිබුණු භක්තිය මැනවින් පළකරමින් ලියා ඇති මෙම කාව්‍යයට ගී 293 ක් ඇතුලත් වෙයි ඒ අනුව එය මුවදෙව්දාවතට වඩා කාව්‍ය ප්‍රමාණයෙන් වැඩි ගී කාව්‍යයකි මෙහි එන වර්ණනා ඉතා ඉහළින නිම කිරීමට කවියා මහා කාව්‍යයක් නිර්මාණය කිරීමට උත්සහා දරා නැත ඒ අනුව සසඳාවත සර්ග වලට බෙදා නැති අතර කවියා යොදාගත් කතා වස්තුව මහා කාව්‍යයක් ලිවිම සඳහා උචිත නොවීම මහා කාව්‍යයක් නොලිවීම සඳහා හේතු වන්නට ඇතැයි ඇතැම්හු කියති එමෙන්ම සසඳාවත ගී කාව්‍ය තුලින් කවියා සස්කෘතික කාව්‍ය ආර හෙලබසට ඇතුළු කිරීමට උත්සහ දරා ඇති අතර මෙහි කාව්‍ය වැඩි ගණනක් වර්ණනා සඳහා යොදාගෙන තිබේ එමෙන්ම එතෙක් සිංහල කවියට නොවූ කවාට එකස්වර සහ කුලක ආදී සංස්කෘත ජන්දස් අනුව කරන ලද බන්ධනයන්ද සසඳාවත සඳහා කවියා උපයෝගී කරගෙන ඇත එමෙන්ම කවියාගේ ස්වාධිනත්වය ප්‍රතිභාව ප්‍රකාශ කෙරෙන කාව්‍යද සසඳාවතෙහි දක්නට ඇත 

දෙපසෙහි සපුතුරු -වසි සිඳු කුකුළුද රඳන් 
දැල්වූ මුනිදු පුදට -පහන් රුවක් වී හිසැ
දිගු කැරැ කර හුන් -නවා ගැන්මට රුකුසිකි 
හිරු බලන අඳුරුවන් -සැහැගිය හෝසි අවරන් 
බිඟු කැලැ පියුමන් දැහැවෙන මලට යාගත් නව යොනන් දෙස දනන්-මන මෙන් හැර පුරුද්දන්    




කුසල් දහම්වලට සිත මුල් වෙයි.පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය එයින් ඔහු පසුපස සැප ලුහුබඳි. අත නොහැර යන සෙවනැල්ල මෙන්.
Read more »

රහසේ ඉදි වූ රජ වාසල දොඩන්තලේ රජමහ විහාරය

1 comments
සංවර වූ ඉඳුරන් ඇති ලොවෙහි සැබෑ තතු දකිනා ගන්නා ආහාරය ගැන අරුතද හඳුනා සිටිනා සැදැහැ සිතින් යුතුව හොඳින් වීරිය වඩමින් නිතරම දහම විනය තුළ සිටිනා – භාවනාව කරන කෙනා යට කරන්න බැහැ කිසිවිට මාරයාට ඔහුගෙ ගමන තදින් සුළඟ හමා ගියද නොසැලේ ගල් කුල කිසි විට.

මොල්ලිගොඩ අදිකාරම්තුමා 



සිංහලයේ අවසාන රජ දවස සිංහලයේ අන්තිම අදිකාරම් වූ මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින් මෙම ස්ථානය කරවා පුජා කොට ඇත එතුමාගේ ප්‍රකට නාමය මොල්ලිගොඩ වුවත් නියම නම මොල්ලිගොඩ රාජකරුණා සෙනවිරත්න හේරත් වාහල මුදියන්සේ මහ නිලමේය මෙම ස්ථානය ටැම්පිට විහාරයකි පැරණි වාස්තු විද්‍යානුකුලව නිර්මාණය වූ විශාල ගොඩනැගිල්ලකි මොල්ලිගොඩ අදිකාරම්තුමා මෙම ස්ථානයේ රජ වාසලක් තනා එහි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රහසිගතව ගෙනවිත් තැන්පත් කර රටේ රජු බවට පත්වීමට උත්සහ කර ඇති බව සඳහන්වේ නැගෙනහිරින් ජල දුර්ගයක්ද බටහිරින් ජල දුර්ගයක්ද උතුරු දකුණු දිසාවන්ට ගිරිදුර්ගයන්ද වශයෙන් අවශ්‍ය පෞරාණික ආරක්ෂක අංගයන්ගෙන්ද  මෙය සම්පුර්ණ වීය ඊට අමතරව මොල්ලිගොඩ අදිකාරම්තුමා විසින්ම ස්ථානය වටා දිය අගලක් නිර්මාණය කොට ඇත

 මෙසේ ආරක්‍ෂිත ක්‍රමෝපායන් උපයෝගී කරගෙන පෞරාණික වාස්තු විද්‍යානුකූලව නිර්මාණය කරන ලද විශාල ටැම්පිට ගොඩනැගිල්ලේ පහත මාලය රාජ සභාව රැස්වීම් සඳහාත් දෙවන මහල එතුමාගේ වාසය සඳහාත් තුන්වන මහල දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට ද ඉදිකර ඇත එහෙත් එතුමාගේ අදහස ඉටුකරගැනීමට නොහැකි වී ඇත ටැම්පිට ගොඩනැගිල්ලේ දෙවන මහල සහ දිය අගලේ වැඩ සෑහෙන දුරකට නිමවත්ම මේ පිළිබඳව රජුට කිසියම් අයකු කේලම් කියා ඇත මින් කුපිත වූ රජු මොල්ලිගොඩ අදිකාරම්තුමා ගෙන්වා මේ ගැන විමසා ඇත ඒ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ විහාරයක් කරවන බවයි රජු පසුදිනම ස්ථානය පරික්ෂා කිරීමට පැමිණෙන බව පවසා තිබේ මින් කලබලයට පත් අදිකාරම්තුමා උඩරට ප්‍රදේශයේ චිත්‍ර ශිල්පින් හා පෙති පිළිම ආදිය රාත්‍රියේම ගෙන්වා පසුදා පහන් වන විට විහාරයක් බවට පරිවර්තනය කර ඇත පසුදින රජු රජු එන විට විහාරයක් කරගෙන යන අයුරු මනාව පෙනුන හෙයින් ආපසු ගොස් ඇත එම උපායශීලි ක්‍රියාව නිසා මොල්ලිගොඩ අදිකාරම්ගේ ජීවිතය බේරී ඇත සිය රහස හෙළිවීමෙන් පසු ගොඩනැගිල්ලේ වැඩ ඉතා සෙමින් සිදු වී ඇත දිය අගල තැනීම එතැනින්ම අවසාන වී ඇත තම සිතැගියාව ඉටු නොවූ නිසාදෝ ටැම්පිට තෙමහලින් නිම කිරීමට සැලසුම් කල ගොඩනැගිල්ල දෙමහලින් අවසාන කර ඇත 

ඉන් වසර කීපයකට එනම් ශකවර්ෂ 1748 පොසොන් පුර පෝයදා මෙය විහාරස්ථානයක් ලෙස පරිවර්තනය කර පුජා කරන ලදී ගොඩනැගිල්ලේ පහත මාලය ධර්ම ශාලාව ලෙසින් එකල සිට ප්‍රයෝජනයට ගැනේ උඩුමහලට පිවිසීමට සහ පහතට බැසීමට වෙන් වෙන් වශයෙන් සැකසු තරප්පු පෙළකි විශාල එළිමහන් ආලින්දයක් වටේට ඇත ඉන් ඉක්බිතිව විහාරයට පිවිසෙන පළමු කුටිය හමුවේ එහි දෙපස විශාල දොරටු රුප 2 චිත්‍රයට නගා ඇත ඊට අමතරව එම කුටියේ බිත්ති මත පංචනාරි ගැටය රාජසිංහ රජුගේ රුව ආදිය පවතී එහි සිවිලිමේ විහාරස්ථානයේ ආකෘතිය චිත්‍රයට නඟා ඇත එම කුටිය පසු කිරීමෙන් විහාර මන්දිරයට ලඟා විය හැක එහි විශාල සමාධි පිළිමයක්ද දෙපස හිටිපිලිම වහන්සේලා දෙනමක්ද වැඩ හිඳිති මෙම පිළිම වහන්සේලා තුන්නමම දැවයෙන් තැනීම විශේෂ ලක්ෂණයකි දැවයෙන් නිමකර මැටි තවරා ඒ මත තීන්ත අලේප කර ඇත බිත්ති මත සුවිසි විවරණ චිත්‍රයට නඟා ඇති අතර දේවරුප හා රාජසිංහ රජුගේ ලෙව්කේ දිසාවගේ මොල්ලිගොඩ අදිකාරම්ගේ ද රූ චිත්‍රයට නඟා ඇත සිවිලිම මකරාක්ෂ චිත්‍රයෙන් නිමවා ඇත විහාර මන්දිරයට නැගෙනහිරින් තුන්මහල් පේසාවක් මධ්‍යයේ පිහිටුවා ඇති ඉපැරණි බෝධීන් වහන්සේය විහාර මන්දිරයට දකුණින් මැද මිදුල සහිත විශාල දැවමය වී අටුවකින් යුතු පැරණි සංඝාවාසය පිහිටා ඇත 
   
කෙලෙස් කහට බැහැර කෙරුව සිල් ගුණදම් වලින් යුතුව ඉඳුරන් දමනයෙන් යුතුව – සමාධිගත සිතින් යුතුව ඇත්ත කතා කරන කෙනා දරා සිටියි නම් කහවත ඉතා සුදුසුමයි ඔහු හට – දරා සිටින්නට කහවත.
Read more »

එක්නැළිගොඩ වලව්ව

0 comments
කරන සියලු පින, පවටම සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත සිතෙන් හැදෙනවා සියල්ල කෙනෙක් නපුරු සිතින් යුතුව වචනයෙන් පව් කරනා විට නපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට පල දෙනවාමයි ඒ පව එනවා දුක ඔහු පසුපස ගැල බැඳි ගවයා පසුපස රෝදය කැරකෙන විලසට.




වාස්තු විද්‍යාත්මක වශයෙන් මෙය අතිශය වැදගත් ස්මාරකයක් සෙ සැලකිය හැක මෙම වලව්වේ නිර්මාණ සැලැස්ම නිරීක්ෂණය කරන විට පැරණි රජගෙදරක අසිරිය සිහිගන්වයි ප්‍රභූ පාලකයෙකුගේ වාසයට සුදුසු අයුරින් නිමාවී ඇති නිසා පැරණි ශ්‍රී විභූතියක ජායාව ගෙන හැර දක්වයි 1 වන පරාක්‍රමබාහු රජු ප්‍රථමයෙන් ඉදිකළ පඬුවස් නුවර රජ ගෙදර ආකෘතියට මෙම වලව්ව සැලැස්මද බොහෝ සෙයින් සමාන බව පුරාවිද්‍යා මතය වේ එකම වෙනස එහි ඉදිරිපස මිදුල වටා ඇති කාමර පේලිය නැති කම පමණි මෙහි බිත්ති කළුගල සක්ක බැම්මෙන් නිමවා ඇත කපරාරුව ඉතා ශක්තිමත්ය බඹරපැණියෙන් ඇණු හුණු බදාම කපරාරුවට ගෙන තිබේ වහලයට ශක්තිමත් දැව යොදා සිංහල උළු සෙවිලි කර ඉදිකර ඇති මෙම වලව්වට දැනට ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් ඇතත් තාමත් හොඳ තත්වයෙන් පවති 

ආලින්දයේ එක කොටසකුත් පිටිපස මුළුතැන්ගෙයි ප්‍රදේශයත් හැර ඉතිරි සියලු කොටස්වල සතරැස් බිම් ගඩොල් අතුරා තිබේ මේ ක්‍රමයේ බිම් ගඩොල් ඕලන්දයේ පැරණි ගෘහ නිර්මාණ කටයුතු සඳහා යොදාගෙන තිබීම අනුව මේ ක්‍රමය ලක්දිවට ඕලන්ද ආභාෂයෙන් ජනිත වුවක් දැයි අනුමාන කරතත් පැරණි විහාර දේවාල හා වළව් වැනි ස්ථානවල මෙම වර්ගයේ බිම් ගඩොල් අල්ලා ඇත මේ ගඩොල් වලං මැට්ටෙන් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවාය මුළුතැන්ගේ කොටස පමණක් ගොම මැටි ගා තිබී ඇත වලව්වට අයත් විවිධ අංග අතර ගෙමිදුල විශේෂ තැනක් ගනී එය දිග අඩි 80හා පළල අඩි 40 ප්‍රමාණයේ වුවකි පෙර කල වළව් ගෙමිදුල්වල ප්‍රදේශයේ දක්ෂ නාට්‍ය ශිල්පින් එක් රැස් කර රංගනයන් පවත්වා ඇති නිසා එබඳු විවිධ කාර්යයන් සඳහා ගැලපෙන අයුරින් මෙම ගෙමිදුල සැකසී තිබේ මෙම වලව්වේ තවත් විශේෂාංගයක් නම් එහි දක්නට ඇතිආලින්දයන්ය වළව්ව විවුර්‍ත ස්වභාවය ඒ මගින් විදහා දක්වයි ගොඩනැගිල්ලේ ඉදිරියෙන් ම ඇත්තේ අඩි 60x7 ප්‍රමාණයේ ආලින්දයකි මෙය රවුම් කුළුණුවලට සම්බන්ධ කළ ගරාදි වැටකින් හා පිවිසුම් දොරටු දෙකකින් යුක්ත වේ බිමට වලං මැටි ගඩොල් අතුරා ඇත මෙය පිටතින් පැමිණෙන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ඉදිකරන්නට ඇතැයි සිතිය හැක අඩි 10 පරතරයට අඟල් 18 ප්‍රමාණ වූ වටකුරු ඕලන්ද ශෛලියට නිර්මාණය වූ කුළුණු 7කි පාදමට අඩි 2 1/2 පමණ වූ ඔප මට්ට්ම් කළ සතරැස් කළු ගලක් යොදා ඇත ඉදිරියේ ඇති ආලින්දයටඅඟල් 8ක් පමණ උසින් හා ඊට පිටුපසින් තවත් ආලින්දයක් නිමවා ඇත එහි පළල 60x15 පමණ වේ උසින් තනා ඇත්තේ ප්‍රභූන්ගේ ප්‍රයෝජනය සඳහා විය යුතුය මෙහි කුළුණු 6ක් පමණ ඇති අතර බිමට සිමෙන්ති දමා ඇත මුළු වලව්වේම බිමට සිමෙන්ති දමා ඇත්තේ මේ කොටසේ පමණි 

මුලින් සවිකර තිබු බිම් ගඩොල් පළුඳු වූ නිසා සිමෙන්ති දමන්නට ඇත ඉදිරිපස දෙකොනේ ඇති කාමරවලින් මෙම ආලින්දයට පිවිසීමට දොරවල් ඇත වළව්ව ඇතුලට පිවිසීම සඳහා ඉදිරිපසින් දොරටු දෙකක් ඇත දොරටුවල හා ජනෙල්වල උඩ කොටස් ඕලන්ද ගෘහ නිර්මාණ හැඩයක් ගනී මේ ආලින්ද දෙකේම සිවිලිම් නැත බැලු බැල්මට කොටස් දෙකක් වශයෙන් පෙනී යන එක්නැලිගොඩ වලව්ව ඉදිරිපස කොටසේ පසුපසද ආලින්දයකි එය මැද මිදුල වටා දිවෙන ආලින්දයකි මෙය අඩි 10කට වැඩි පළලක් ඇති ව වටේට ලි කණු යොදා බිමට සතරැස් බිම් ගඩොල් අල්ලා ඉදි කර තිබේ වලව්වේ වාසීන්ට හා පිටතින් පැමිණෙන්නන්ට පිළිසඳරේ යෙදීමට මේ ස්ථනය උපකාරී වේ බොහෝ විට ඉදිරිපසින් දොර වසා මැද මිදුල් ප්‍රදේශයේ නිතර ගැවසීම සිරිතය ඒ හැර ඉදිරි කොටසේ දෙපසද තවත් ආලින්ද දෙකක් වේ දකුණු පසින් ඇතුළු වීම සඳහා දොරටු දෙකක් ඇත ඉදිරි දොරටුවෙන් ඇතුළු වූ විට කාර්යාල කාමරය හරහා ගොස් ඉදිරිපස මහ ආලින්දයට පිවිසිය හැක දඬු කඳ වැනි උපකරණ සඳහා මේ ආලින්දය ප්‍රයෝජනයට ගෙන ඇතවම ආලින්දයේ පසුපස බුදු ගෙය පිහිටා ඇත අනිත් පස කෙළවර ඇත්තේ රාජකාරී කටයුතු සඳහා වෙන් වූ කාමරයයි වළව් ගොඩනැගිල්ලේ පිටුපස අන්තිම කෙළවර අඩි 6 ක් පමණ පලල්වු වටා ගරාදි යෙදු ආලින්දයක් ඇත එහිද ඉදිරිපස මෙන් ම් ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පිය ක්‍රමයේ කණු යොදා ඇත

පසුපස අන්තිම ආලින්දය 

වළව් ගොඩනැගිල්ලේ පිටිපස අන්තිම කෙළවර අඩි 6ක් පමණ පලල්වු වටේට ගරාදි යෙදු ආලින්දයක් ඇත ඕලන්ද ක්‍රමයේ කුළුණු මෙහිද දක්නට ඇත

ඕලන්ද ක්‍රමයේ කුළුණු 

ඕලන්ද පාලන සමයේ ලක්දිව ඉදි කළ ගොඩනැගිලිවල ආවේණික රටාවක් තිබුණි පාදමට බොරදම් යොදා ක්‍රමයෙන් ඉහළට කුඩා වන මුදුන සහිත තද ලි ස්තර යෙදු වටකුරු කුළුණු ක්‍රමය මෙහිද භාවිතා කර ඇත මුළු වලව්ව වටා ඇති කුළුණු එකම ආකාරයට නිමවා ඇත

නිදන කාමර 

මෙහි නිදන කාමර 8 ක්වේ මැද සාලය දෙපස නිදන කාමර 4කි භෝජනාගාරය දෙපස නිදන කාමර දෙකකි මැද මිදුලට යාබද පිටුපස ආලින්දයේ උතුරුපස කෙළවර තවත් නිදන කාමරයකි එයට ප්‍රතිවිරුද්ධ පැත්තේ වතුර කාමරය ඇත මෙයද දැන් නිදන කාමරයක් බවට පරිවර්තනය කර ඇත

මැද සාලය

අඩි 30x20 ප්‍රමාණයේ දිග පළලින් යුක්ත වේ සිව්පසටම දොරටු දෙක බැගින් ඇත මේ කොටසට පමණක් සොල්දරයක් ඇත එයට නගින පියගැටපෙළ උතුරු පස කොනේ යොදා ඇත

භෝජනාගාරය 

වලව්වේ ප්‍රභූන්ගේ අඩුක්කු සප්පායම් වන්නේ මෙම ශාලාවේදීය වළව්වල ප්‍රභූන්ගේ ආහාරයට අඩුක්කුව යයි ද භුක්ති විදීම සප්පායම යයි ද පැරණි ව්‍යවහාරයක් වේ මෙහි ඉදිරිපස දෙපසට දොරටු දෙක බැගිනුත් දකුණු උතුරු දෙපසට දොරටුව බැගිනුත් සවි කර ඇත 

බුදු කුටිය 

දිගින් වැඩි පළලින් අඩු මේ කුටිය වලව්වේ ආගමික කටයුතු සඳහා වෙන් වී ඇත වෙනත් ස්ථානවල නිවසක ඉදිරිපසින් ඉදිකරන පුජනිය ස්ථානය මෙහි නිවස තුල මැද කොටසක සකස් කලේ පසුකලකදී පහසුව සඳහා විය හැක 

මැද මිදුල 

ආලෝකය ලබා ගැනීම ස්වභාව ධර්මය සමග මුසු වීම ආදී අවශ්‍යතා අනුව පැරණි ගෙවල් වල මැද මිදුල ක්‍රමය සැකසු අයුරින් මෙහි ද කුඩා ශාකවලින් අලංකාරවූ මැද මිදුලකි 

පැණි කෑම කාමරය

මැද මිදුල වටා ඇති කාමර පෙළ ආහාරපාන හා වෙනත් ද්‍රව්‍යය ‍ගබඩා වශයෙන් පරිහරණයට ගෙන ඇත පැණියෙන් සකසන කැවිලි වර්ග තැන්පත් කර තැබීමට ද මේ කාමරය යොදා ගෙන තිබේ ආගන්තුක සංග්‍රහය සඳහා පැරණි ගෙවල් වල පැවති සිරිතකි 

සුප කාමරය 
අඩුක්කුව සඳහා සැකසු ව්‍යංජන වර්ග ආරක්ෂිතව තබා ගැනීමට මේ කාමරය උපයෝගී වේ 

ගබඩා කාමරය 

ආහාර සඳහාත් වෙනත් විවිධ ද්‍රව්‍ය තැන්පත් කර තැබීම සඳහාත් මෙම ගබඩා කාමර පෙළ ඉදිකර ඇත මෙම කාමර යටින් සිටින පරිදි උඩින් වී අටුව තනා ඇත මේ කාමර අතර අටුවට දුම සහ රස්නය ඇති වීම සඳහා ගිනි උදුන් වෙනුවෙන් ස්ථාන ද වෙන් කර ඇත  

වී කොටන ගෙය 

පැරණි ගෙවල් වල වී කෙටිම සඳහා උපයෝගී කර ගන්නා ස්ථානයක් වෙන් කරන අතර මෙහිද එය ඇත හතර පස් දෙනෙකුට වටා සිට වී කෙටීමට පහසු වන සෙ සැකසු බිම් ගල් මොහොර සුවිශේෂ අංගයකි 

ආහාර පිසීම 

ගිනිහල් ගෙය හෙවත් මුළු තැන් ගෙය කෙළවර පිහිටා තිබේ 

පිට වහ්නය

පැරණි වළව් වල පිටස්තර අයටත් වලව්වේ සේවක කොටස්වලටත් ආහාර පිළියෙළ කරන කොටස පිට වහ්නය ලෙස හැඳින්වේ වලව්වේ අඩුක්කුව රසමසවුලෙන් යුක්ත වන අතර පිට වහ්නයේ ආහාර එසේ  නොවන බව පැරැන්නෝ කියති මෙම වලව්වේ පිට වහ්නයෙ ආහාර ගැනීම සඳහා දිනකට 150 කට වැඩි පිරිසක් සහබාගි වී තිබේ 

ප්‍රභූ වැසිකිලිය 

වලව්වට නැගෙනහිරින් මුලිකයාගේ කාමරයේ සිට පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි වැසිකිලිය තනා තිබුනත් අද ඒ වෙනුවට ඒ ස්ථානයේ ඇත්තේ කාමරයකි පැරණි ගෘහ නිර්මාණයට අනුව හැම විටම වැසිකිලි කැසිකිලි ගෙයින් බාහිරව තනන ලද බව සැලකිය යුතුය 

වතුර කාමරය 

අද ගෙවල් වල ඉදි කරන නාන කාමර ක්‍රමය වෙනුවට මේ වලව්වේ ද පරිහරණය සඳහා වතුර කාමරයක් තිබී ඇත එයට වතුර පිටතින් ගෙනවිත් තැන්පත් කර ඇත අද ඒ කාමරය නිදන කාමරයක් බවට පරිවර්තනය කර ඇත 

මහ අටුව 

වලව්වේ මැද සාලය කොටසේ තනා ඇති සොල්දරය මහ අටුව යයි කියයි පෙර මේ වලව්ව ප්‍රදේශයේ රාජකාරි මධ්‍යස්‌ථානයක් ව පැවති සමයේ රාජකාරි සඳහා අවශ්‍ය කරන අවි ආයුධ රහසිගතව ගබඩා කර තැබීමට මෙම මහ අටුව යොදා ගෙන ඇත 

මහ වී අටුව 

වලව්වේ මැද මිදුල වටා ඇති නැගෙනහිර හා බටහිර පසට මේ මහ වී අටුව ඉදි කර තිබේ දැනට සොයා ගෙන ඇති පරිදි ලක්දිව ඇති පරණම විශාල ප්‍රමාණයේ අටුව මෙය යයි සැලකේ 

මුළුතැන්ගෙය 

ආහාර පිසීමේ දී අවශ්‍ය කරන විවිධ කාර්යයන් සඳහා භාවිතා කිරීමට මේ කොටස ප්‍රයෝජනයට ගෙන ඇත 

                            එක්නැලිගොඩ වළව් පෙළපත 

එක්නැලිගොඩ වළව් පෙළපත සපරගමුවේ ඉපැරණි වලව් පෙළපත් වූ මොලමුරේ ,වාරියගම,ඉද්දමල්ගොඩ,මඩුවන්වෙල ,මුත්තෙට්ටුගම,එල්ලාවල,ඇලපාත,දෙල්වල,දෙල්ගොඩ,බදුල්ලේ රඹුක්පොත හා රුවන්වැල්ලේ මීදෙණිය යන පරපුරවල් වලට ඉතා සමීප නෑකම් ඇත්තේය දැරණියගල පරපුර මෙම වලව්වේ භාරකාරත්වය ලබා ගන්නා විට මෙහි හිමිකරුවා වුයේ රඹුක්පොත එක්නැලිගොඩ කුමාරිහාමිය රඹුක්පොත කුමාරිහාමිගේ යුගය දක්වා මෙම පෙළපතේ දීර්ඝ ඉතිහාසයක් ඇත මෙම පෙළපතේ ආදිතමයා ලෙස සැලකෙන්නේ දඹදෙණිය රාජධානිය කර ගෙන විසු 2 පරාක්‍රමබාහු රජුගේ ආර්ය කාමදේව ඇමතිවරයාය 

මෙම ඇමතිතුමාගේ සිට අකුරම් මාටුවාගල කුරුප්පු මුදලි දක්වා වූ කතා පුවත සමන් ශිරෝපාද කෘතියෙහි දැක්වේ මෙම කුරුප්පු මුදලි පරපුරේ ආදිතමයකු ගැන අලගියවන්න මුකවෙටිතුමා රචනා සැවුල් සන්දේශයෙහි නානම්බි කුරුප්පු නමින් සපරගමු මහ සමන් දෙවොලේ බන්තක මුදලි තනතුර දැරූ අයකු ගැන සඳහන් වේ එය කුරුප්පු පරපුරේ අය සමන් දෙවොලේ බස්නායක නිලය ඈත කාලයක සිට දැරු බවට‍ සාක්ෂියකි මේ ප්‍රදේශය කුරුප්පු පරපුරේ ආදී මුලය අකුරම් මාටුවාගලට අයත් ය අකුරණ මාටුවාගල කුරුප්පු නාමය අක්කරක්කුරුප්පු යයි කෙටි නාමයකින් ව්‍යවහාරයට ගොස් තිබේ අකුරම් මාටුවාගල කුරුප්පු මුදලි සමන් දෙවොලේ බස්නායක පදවිය දැරීමට පැමිණ ගමනාගමනයේ පහසුව තකා එක්නැලිගොඩ නිවස ඉදි කරගෙන පදිංචි වී ඇත 

කුරුප්පු පරපුරේ අය එක්නැලිගොඩ ගමේ පදිංචි වීමෙන් පසු පෙළපත් නාමය වශයෙන් එක්නැලිගොඩ යන නම යොදාගත්තත් පැරණි පෙළපත් නාමය වූ අක්කරක් කුරුප්පු යන්න අමතක කර නැත මේ අතර යම් යම් වික්‍රමයන් නිසා මහනුවර රජුන්ගෙන් පටබැඳි නාමයන් ද ලැබී ඇත ඒ අනුව එක්නැලිගොඩ වළව් පරපුරේ පෙළපත් නාමය වී ඇත්තේ අක්කරක් කුරුප්පු මහීපාල වික්‍රමසිංහ බස්නායක මුදියන්සේලාගේ එක්නැළිගොඩ කියාය මේ පරපුරේ අය පරම්පරා උරුමයක් ලෙස සලකා මහා සමන් දෙවොලේ බස්නායක නිලය දීර්ඝ කාලයක් දරා තිබේ 
1800 දී පමණ සමන් දෙවොලේ බස්නායක දුරය දැරූ ලොකු කළු බස්නායක නිලමේ වඩා බලවතෙක් වීය මොහුට පෙර මෙම පරපුරේ දෙදෙනකු බස්නායක ධුරය උසුලා ඇත මේ වළව්ව පිහිටි ස්ථානයේ වරිච්චි බිත්ති සහිත කුඩා ගෙයක පැරණි අය වාසය කර තිබේ අනතුරුව ක්‍රමානුකුලව වළව්ව ගොඩ නගන තුරු වළව්ව ඉදිරිපිට කුරුවිට‍ එරත්න පාරට නැගෙනහිර පසින් වෙනත් වලව්වක් තනා ගෙන වාසය කර ඇත ඒ පරණ වලව්වේ අඩිතාලම අදත් දක්නට ඇත 

එක්නැලිගොඩ කළු බස්නායක නිලමේ පෞරුෂයක් ගොඩ නගාගත් ප්‍රදෙශධිපතියෙකු  ලෙස ක්‍රියා කිරීම නිසා මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෝප වී මොහු අත්ඩංගුවට ගෙන නුවරට ‍ගෙන යාම සඳහා රාජ දුතයන් එවනු ලැබූ අවස්ථාවේ යටත් නොවූ කළු බස්නායක නිලමේ දෝලාවෙන් නැගී ගුරුබැල්කඩ නම් ස්ථානයට පැමිණ වස පානය කර දිවි නසාගෙන තිබේ ඔහුගේ අවමගුල ගුරුබැල්කඩ දී ම කිරීමේ පටන් අද දක්වාම ඒ ස්ථානය එක්නැලිගොඩ වළව් පරපුරේ සොහොන් භුමිය බවට‍ පත් වී ඇත කළු බස්නායක නිලමේගේ අකාල වියෝවෙන් පසු එක්නැලිගොඩ පරපුරේ රදල වරුන් මහනුවර රජුට වෛර බැඳ ඇත ඒ නිසා සපරගමු පාලනය සඳහා ඇහැලේපොල අදිකාරම ඒවා ඇත කළු බස්නායක නිලමේ විවාහ වී සිටියේ මඩුවන්වෙල කුමාරිහාමි සමගය එම කුමාරිහාමිට ලැබුණු එකම දරුවා එක්නැලිගොඩ මොහොට්ටාලය ඔහු පියාගේ සතුරා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා දීමෙන් එකට එක කිරීමට පෙළඹී තිබේ 

කළු බස්නායක නිලමේගේ දේපොළ මහනුවර රජු විසින් රාජ සන්තක කරනු ලැබුවත් පසුව නිදහස් කර තිබේ ඔහුගේ පුත් එක්නැලිගොඩ මොහොට්ටාල ඉංග්‍රීසි වරප්‍රසාද යටතේ පසුව දිසාවේ තනතුරට පත් වී ඇත මොහු 1929 දී සමන් දේවාලයේ බස්නායක පදවියට ද පත්වී තිබේ එක්නැලිගොඩ දිසාවගේ දෙවැනි විවාහය වී ඇත්තේ කැප්පෙටිපොළ දිසාවගේ වැන්දඹු බිරිඳ වූ දෙල්වල කුමාරිහාමි සමඟය දිසාවගේ පුත් විවාහ වී ඇත්තේ ඉද්දමල්ගොඩ බස්නායක නිලමේගේ සහෝදරිය සමඟය අනතුරුව අවාහ විවාහ අනුව මොලමුරේ පරපුරටත් රඹුක්පොත පරපුරට ඇලපාත පරපුරටත් බැඳී ඇත රුවන්වැල්ලේ සිටි එක්නැලිගොඩ දිසාවගේ දියණිය පුස්වැල්ලේ වලව්වේ සිටි මුත්තෙට්ටුගම  රටේ මහත්මය සමඟ විවාහ වූ නිසා එම පරපුරේ සම්බන්ධතාව ද ඇති වීය මොලමුරේ පරපුරේ ප්‍රීති මොලමුරේ කුමාරිහාමි සමඟ කෞතුකාගාරය අධ්‍යක්ෂ ව සිටි පී ඊ පී දැරණියගලතුමා විවාහ වූ නිසා එක්නැලිගොඩ පරපුරට දැරණියගල පරපුරද යා වීය මේ වලව්වේ අයිතිය අවසාන කාලවකවානුව වන විට මොළමුරේ පරපුරට හා රඹුක්පොත පරපුරට හිමි වූ අතර ප්‍රීති මොළමුරේ දැරණියගල කුමාරිහාමි විසින් සෙසු කොටස් ද මිලට ගෙන තනි අයිතිය ලබා ඒ අයිතිය මෙම වලව්වේ පදිංචි සිරාන් දැරණියගල මහතාට හිමි කර දී තිබේ 
  
තමන්ට (ගුණ වශයෙන් ) වඩා උසස් හෝ සමාන හෝ පුද්ගලයෙකු ඉදින් නො ලබන්නෙ නමි තනිව හැසිරීම දැඩිව කළ යුතුය.සහායට බාලයෙකු නො ගත යුතු ය.
Read more »

ලොව සුපතල ඉපැරනී දේව නගරය

2 comments
මේ ලෝකය අන්ධය මෙහි ටික දෙනෙක් පමණක් යමක් හරියාකාර දනිත් දැලෙන් මිදුණු කුරුල්ලෙකු මෙන් ටික දෙනෙකු ස්වර්ගයට යත්..


දක්ෂිණ ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර දෙවිනුවරට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි දේව නගරයක් ඓතිහාසික රාජධානියක් බෞද්ධ සිද්ධස්ථානයක් සහ ශාස්ත්‍ර පිඨයක් හැටියට දෙවිනුවර බොහෝ ඈත අතීතයේ සිට ප්‍රසිද්ධියට පත්ව ඇත ඇතැම් පැරණි ලිපි ලේඛණ අනුව විදේශයන්හි පවා ශ්‍රී ලංකාවේ දෙවිනුවර නගරය සහ එම දෙවොල පිළිබඳව කීර්තිය පැතිර තිබී ඇත .මුල් යුගයන්හි ගිරිහෙල නමින් හැඳින්වුණු මෙම නගරය පසු කලකදී දෙවොල පිහිටුවීමෙන් පසුව දෙවිනුවර බවට පත්වී ඇතැයි ඇතැමෙකුගේ මතය වී ඇත කෙසේ වුවද දෙවියන්ගේ නගරය ලෙස අතීතයේ සිට අද දක්වාම දක්නට ලැබෙන මේ ප්‍රදේශය ඓතිහාසික වටිනාකමින් වැදගත් තැනක් ගනී මේ හා සම්බන්ධ ඉතිහාසය පැරණි ලිපි ලේඛණ දේශාටන වාර්තා ජනප්‍රවාද ආදියෙන් පමණක් නොව පුරාවිද්‍යාත්මක සාධක මගින්ද තහවුරුව තිබේ 

.ක්‍රි .ව 661 -664 අතර රජ කල දාපුළුසෙන් රජතුමන් විසින් උත්පලවර්ණ දේව මන්දිරය මෙහි ඉදිකර ඇතැයි සලකනු ලබයි කිහිරි ලියකට අරක් ගත් උත්පලවර්ණ දිව්‍යරාජයා ශ්‍රී ලංකාවේ දකුණු දිග කිරල වැල්ල වෙරළට ගොඩගසා ඇති අතර මෙම සිදුවීම හික්කඩුවේ සීනිගම දේවාලයේ කපුවාට සිහිනෙන් දැකගැනීමට හැකි වී ඇත එහෙත් කපුවාගේ පැමිණීම ප්‍රමාද වූ නිසා කිහිරි කදට අරක් ගත් උත්පලවර්ණ දෙවියෝ ගිරිහෙලපුර සිංහසන වැල්ල සමීපයට රළ වේගයෙන් පැමිණ ඇති අතර ඒ වනවිට කිරල වැල්ලට පැමිණ සිටි කපුවා කිහිරි ලීය නොදැක එතැනින් වහා කිහිරි කඳ තිබු ස්ථානය සොයා ආවේය ඒ වනවිට මෙය සිහිනයෙන් දැනගත් දාපුළුසෙන් රජු ද මහ පිරිවර කැටුව වෙරළට පැමිණ සිටි අතර මහ පෙරහරකින් කිහිරි කඳ වැඩමවාගෙන යන ලදහ පසුව එම කිහිරි ලීයෙන් උපුල්වන් දේව රුවද එම දේව බිරිය වූ චන්ද්‍රවතී රුවද එම දේව පුත්‍ර වූ ධනුර්ධර රුවද නිමවා පිරිවර දෙව් රුවද විසිතුරු සහිතව කරවා දේවාලයේ තැන්පත් කර ඇත .උපුල්වන් දෙවිඳු කිහිරි කඳකට අරක් ගෙන මුහුදේ පාවී ආ හෙයින් කිහිරැලි නාමය වී යයි මතයක් පවතී කිහිරි ලී යන වචනයෙන් බිඳුණ ද පසු කලෙක සිට කිහිරැලි යන වචනය උපුල්වන් දෙවියන්ට ආවේණිකව භාවිත වෙයි උත්පලවර්ණ ප්‍රථිමාව තැනීමට ඉතා යෝග්‍යය කිහිරි ලීය නිසා මේ දෙවිඳුන්ට එම නම තබන්නට ඇති බවත් මේ ලීයෙන් කල උපුල්වන් ප්‍රථිමා කිහිපයක් ගැන පත පොතෙහි සඳහන් වන බවත් සෙනරත් පරණවිතාන මහතා සඳහන් කරයි .

ප්‍රසිද්ධ දේශගවේෂකයකු වූ ඉබන්බතුතා දෙවිනුවර දෙවොල පිළිබඳව මෙසේ විස්තරයක් කර ඇත.

"ඉන්දියන් සාගරයේ යාත්‍රා කරන සැමට ම ක්ෂිතිජයේ ඉතා ඈත දහවල් කාලයේ  සැඩ හිරු රැසින් ද රාත්‍රියේ සඳ රැසින්ද බබලන තඹ තඩුවලින් වසන ලද මනහර ගොඩනැගිල්ලක් දක්නා ලැබේ මේ වනාහි කෝනාර් රටේ හෙවත් අලගක්කෝනාරගේ රටේ (ලංකාව )එම නගරයට (දෙවිනුවර)අධිපති දෙවියන්ගේ දෙවොලයි එහි මිනිස් රුවක් පමණ වූ ඝන රන් පිළිමයක් තිබේ එහි නෙත්වලට රතු කැට ඔබ්බවා ඇත ඒවා රාත්‍රී ඒකාලෝක විය දේව පුජකයෝ ද බ්‍රාහ්මණයෝ ද දහස් ගණනින් එහි පුජා පවත්වති මහ රජුගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර පෙරදිග රාජ්‍යන්හි මුල් තැනක් ගත්තෙකි මෙහි තේවාකරුවන් ගේ වාසය පිණිස විශේෂ නගරයක් ද රන් රීදී කරුවන් සඳහා වෙන කල ගමක් ද ඇත්තේ ය .මාතර ප්‍රදේශයට අයත් මෙම නගරයෙහි වූ දේව මන්දිරයෙහි සෑම රාත්‍රියන්හි ම නළගණන් පන්සියයක් නළු ගී ගයති

දාපුළුසෙන් රජු ගිරිහෙල පුරට එන්න සිය ඇමැතියන් ලවා දෙවිනුවර ගොඩනංවා මගුල්වැල්ලේ දේවාලයක් තනවා විමල් සිරී දෙවිනුවර යයි නම් කරවා දේවාල පෙරහැර කිරීමට බමුණන්ට නියම කොට ඇත ඔවුහු රෙදි කඩක ඒ දෙව්රුව අන්දවා දේව රාජපෙතිකඩ වහන්සේ යයි එයට නම් කරවා රන් ආයුධ ද එය ඉදිරියට අල්වා රාමචන්ද්‍ර නම් ප්‍රධාන බ්‍රාහ්මණයා ඇතුළු මහා සෙනග පෙරහරින් එම දේව රුව දේවාලය තුල තැබූ බවත් ඉන් පසු මෙම කිහිරි රුව ද එහිම තැන්පත් කල බවත් පුරාවිද්‍යාඥ එච සි පි බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ සඳහන් කොට ඇත .දෙවිනුවර රුහුණේ ඓතිහාසික රාජධානිවලින් දෙවැනි වන්නේ මාගමට පමණි කෝට්ටේ යුගයේ දී රචිත කෝකිල සංදේශය තුලින් දෙවිනුවර තිලක පිරිවෙන එදා දකුණු දිග ප්‍රකට විද්‍යාස්ථානයක් ව පැවති බව සනාථ කරයි දෙවිනුවර තිලක පිරිවෙන්පති හිමියන් කෝට්ටේ යුගයේ අවසාන සංදේශය වන කෝකිල සංදේශය රචනා කල අතර එය යාපා පටුන දිනු සපුමල් කුමරුට සෙත්පතා දෙවිනුවර උපුල්වන් දෙවියන්ට කන්නලව් කල බව දන්වා යවන අදහසින් රචනා කර ඇත මෙහි දෙවිනුවර පුර සිරි නරඹා පිළිමය ,බෝධිය හා සංඝරත්නය වැඳ උපුල්වන් දෙවියන් වැඳ අවසර ගන්නා ලෙසත් දක්වා ඇත .

දෙවිනුවර පුරවරයට අභාග්‍ය සම්පන්න කාලයක් උදාවුයේ 16 වන සියවසේ පෘතුගීසි ආක්‍රමණ වලිනි දෙව් මැදුරේ සහ විහාර මන්දිරයේ කෝටි ගණන් වටිනා වස්තුව කොල්ල කා අවසානයේ මැදුර ගිනිබත් කල බව සඳහන් වේ ඉන්පසු සැහෙන කලක් කාලයේ වැලිතලාවෙන් වැසී කිසිවෙකුගේ එතරම් අවධානයක් නොලැබූ දෙවිනුවර පුරවරය 18 වන සියවසේ බ්‍රිතාන්‍ය පාලන සමයේ යලිත් එලි පෙහෙළි වන්නට විය එකල මාතර දිසාව කරවූ ඉංග්‍රීසි පාලකයා විසින් ලියවිල්ලක මගින් දෙවිනුවර පුදබිම අත්තුඩුවාවේ ශ්‍රී ධර්මරක්ෂිත හිමියන්ට පැවරීය උන්වහන්සේ විසින් දේව මන්දිරය ඇතුළු අනෙකුත් අංගයන් පිළිසකර කරවා යලිත් මහජන අවධානයට යොමු කරවිය ඒ සමගම ඇසල පෙරහැර ද ආරම්භ කරනු ලැබිය         
සියලු දානයන් අතර ධර්ම දානයම උතුම් වේ.
Read more »

බොල්තුඹේ සමන් දේවාලය

1 comments
රාගාදී වූ එකොලොස් ගින්නකින් නිතර ඇවිල ගෙන දිලිසෙද්දී කුමන සිනාවක්ද කුමන සතුටක්ද අවිද්‍යාව නමැති අඳුරින් වෙළුන බව නිවන් එලිය නොසොයන්නේද.


මෙම දේවාලය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොල්තුඹේ නම් ග්‍රාමයේ මෙම දෙවොල පිහිටුවා ඇත මෙම දෙවොල පුරාණයේ සිට ම රාවණ රජු දේවත්වයෙන් ඇදහු ස්ථානයක් බවටද ශාක්ෂි ඇත මෙම දේවාලයේ තිබුනා වූ  රාවණා කොඩිය සහ ඉපැරණි ලෝහමය රථය ශහ සොරගුණේ අලුත් නුවර සහ බොල්තුඹේ කඳසුරිඳුන් සහ සමන් දෙවිඳුන් ඇදහුවද පෙරහරේ ඉදිරියෙන්ම රාවණා කොඩිය ගෙන යාමෙන් පැහැදිලි වන්නේ රාවණා දේවත්වයෙන් පුද සත්කාර ලැබූ බවයි එසේම අදද මෙම දෙවොලේ කපු නිලය විසින් දේවයාඥාවලදී රාවණා සම්බන්ධ කවි ගායනා කරනු ලබයි මෙයින් අපට වඩාත් වැදගත් පැහැදිලි වන්නේ පුරාතනයේ මෙම ස්ථානය රාවණා රජු වෙනුවෙන් ඉදි කරනු ලැබූ පුජනිය ස්ථානයක් බවයි (සබරගමුවේ පැරණි ලියවිලි :කිරිඇල්ලේ ඥානවිමල හිමි)රා:ව:1593-1618 අතර කාලයේදී පළමුවෙනි රාජසිංහ රජු විසින් බොල්තුඹේ සමන් දේවාලය නමින් ආරම්භ කල මෙම දේවාලය සිරිපා මළුවේ සමන් දේවාලය මුල් කරගෙන සතර දිශාවට ඉදිකර ඇති දේවාල වලින් එකක් ලෙස සැලකේ 

මෙම දෙවොල ඉදි කිරීමට මුලික වශයෙන් බලපෑ හේතුව ලෙස සැලකෙන්නේ පෘතුගීසින් විසින් රත්නපුර සමන් දෙවොල විනාශ කල පසු ඇති වන්නාවූ හානිකර තත්වයෙන් පුජනිය වස්තුන් ආරක්ෂාවීමට සුදුසු ස්ථානයක් ලෙස මෙය හඳුනා ගැනීමයි ඒ අනුව පෘතුගීසින් සමන් වෙහෙර හා සමන් දෙවොල විනාශ කිරීමට පෙර එහි තිබු සියලුම වස්තුන් මෙම ස්ථානයට රැගෙනවිත් සුරක්ෂිතව තැන්පත් කර ඇත දුරාතිතයේ මෙම ස්ථානය මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව ලෙස ද හදුන්වා ඇත මෙම දෙවොලේ නිල රාජකාරි 58 පවතින අතර ඒ සඳහා ගම්බිම් පරිත්‍යාග කල ද වර්තමානය වෙන විට බොහෝ ඉඩකඩම් දේවාලයට අහිමි වීමෙන් වැදගත් වූ රාජකාරී කීපයක් නැති වීම නිසා ඒවා කුලීයට කර ගැනීමට සිදුව ඇත එබැවින් අන් දේවාලවල කුලී මෙන් රාජකාරී නැතිවී තිබේ බොල්තුඹේ සමන් දේවාලයට අළුත් සහල් මංගල්‍යය ගමන ආරම්භ කරන්නේ හුණුවල වෙල්යාය මැදින් ගලාබස්නා පේරැස් ඇළ නම් වූ ඇළට නැගෙනහිරින් ඇති දෙයියන්ගේ වේලේ සිටය මෙම වෙල්යාය සබරගමු මහ සමන් දේවාලයට අයත් ප්‍රවේණි ගමකි බොල්තුඹේ සමන් දේවාලයේ සිට පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනාට කෑම බීම ඉදුම් හිටුම් ආදිය සපයා දීම හුනුවෙල ගමේ රාජකාරිකරුවන් ඉටුකළ යුතු අතර වාර්ෂිකව බොල්තුඹේ සමන් දේවාලයට පොල් ගෙඩි 1000 ක් ලබාදියයුතු බවද සඳහන්වේ (සබරගමුවේ පැරණි ලියකියවිලි:කිරිඇල්ලේ ඥානවිමල හිමි)මෙම දෙවොලේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයන් 


  1. අවුරුදු කාර්තිය 
  2. ඇසල කාර්තිය 
  3. ඉල්මහ කාර්තිය 


නම් වේ කෙම්මුර දිනයන්හිදී සහ පෝය දිනවලදී දේවාලයේ මුළුතැන් පුජාව ඒ අතර මුල් තැන ගනී මෙම දේවාලයේ ඇසල පෙරහරේ මහ පෙරහැර විදි සංචාරය කිරීමේදී වැදගත් කරුණු කීපයක් සිදුවේ සමන් දෙවියන්ගේ වාහනය හස්ති රාජයා වුවත් දේවාලයේ පෙරහැරට හස්ති රාජයන් සම්බන්ධ කර ගැනීමට නුපුළුවන් වී ඇත්තේ මෙම දේවාල භුමියට හස්ති රාජයන් ගෙන යා නොහැකි බව ඉතිහාසයේ සිට පවතින මතයක් නිසාවෙනි අන් සෑම දේවාල පෙරහැරකම පන්දම් රැගෙන ගියත් මෙම දේවාලයේ පෙරහරේ පන්දම් ගෙන යාමක් සිදු නොවේ අදත් සිදු වන්නේ පහන් පැල නම් වූ ආලෝකය ලබා දෙන පහන් දල්වන ක්‍රමයකි දැනටමත් මේ සඳහා දේවාලයේ රාජකාරිකරුවන් ඇත මෙම දේවාලයේ ගොඩනැගිලි නිර්මාණය සබරගමු මහ සමන් දේවාලයේ ගොඩනැගිලි  වලට සමානතාවක් ඇත පියගැටපෙලවල් 15පමණ නැග්ග විට දඩුගල නම් වූ ස්ථානයක් පිහිටා ඇත එතැන සිට වේදිකාව දිගේ ගොස් තව පඩි 4 පමණ ගිය විට හේවිසි මන්ඩපයයි එයට යව දිග්ගෙය පිහිටා ඇත දේවාලයට දකුණු පසින් බෝධිය හා විහාරය ද උඩමළුවේ පත්තිනි දේවාලයද දිස්වේ දේවාලය වටා දිවෙන තුන මහල් ප්‍රාසාදයකි මෙම ප්‍රදේශයේ ගෙවල් ඉදි කිරීමේදී වහලවල් උස් නොවන සේ ඉදි කරන අතර මෙම දේවාලයේ ද උස් නොවූ වහලය දක්නට ලැබේ ඇත්දළ කැටයම් වලින් හා ලියකම් වලින් යුත් පැරණි උළුවස්ස ද මෙහි ගෘහ නිර්මාණයේ ඇති වැදගත් අංගයකි 

දේවාලයේ පුරා විද්‍යාත්මක වස්තු 




මෙහි දේවාල රථය ලෝහ වර්ගයකින් තුන් මහල් ගෙයකට සමාන ව නිම කරවා ඇත මෙහි රෝද නැත වටේට හංස පුට්ටු කැටයම් කර තිබේ හොන්ඩරයක් පමණ බර මෙය එළියට ගතහොත් එවෙලේම වර්ෂාව ඇති වන බව ප්‍රදේශයේ ජනතාවගේ මතයයි මෙම රථයේ ඉපැරණි අකුරු පෙලක්ද දක්නට ලැබේ මහ බලසම්පන්න රාවණා කොඩියක් මෙහි තිබුනද වසර 20ක් පමණ කාලයක සිට එම කොඩිය දිරාපත් වී ඇති බව වාර්තා වේ මහ මාලිගාවේ තැන්පත් කර ඇති දේවාභරණ කීපයක් පුජනිය භාණ්ඩ ලෙස තැන්පත් කර ඇත පැරණි උළුවස්ස සඳකඩපහණ කුඩා වෙහෙරක් උළුවහු කණුවල කල ඇත්දත් සහ ලෝහ කැටයම් තුලින් සමහරක්ද මේ දක්වා ඉතිරිව තිබේ 

දේවාලයේ සිදුවූ ආශ්චර්යමත් සිදුවීම් 

කොඩ්රින්ටන් නමැති ඉංග්‍රීසි පාලකය මෙහි පැමිණි අවස්ථාවක දී දේවාලය සතුව තිබු රාවණා කොඩිය එළියට ගන්නා ලෙස නියම කොට ඇත එය එළියට ගතහොත් මහා වර්ෂාවක් ඇද හැලෙන බව රාජකාරිකරුවන් පවසා ඇත එය නොපිළිගත් ඉංග්‍රීසි පාලකයාගේ බල කිරීමට මහානුබාවසම්පන්න රාවණා කොඩිය මාලිගාවෙන් එළියට ගත් විට ධාරානිපාත වර්ෂාවක් ඇති වී මාර්ගය ජලයෙන් යට වී ඇත එහෙයින් ඔහුට ආපසු ඒමට සිදු වුයේ අලියෙකු ගෙන්වා උගේ පිටේ නැග බව සඳහන් වේ මේ බව කොඩ්රින්ටන්ගේ දින පොතේ සටහන් කර තිබීමෙන් සිද්ධියේ සත්‍යතාව සනාථ වනු ඇත 

බස්නායක නිලමේවරු

බොල්තුඹේ සමන් දේවාලයේ භාරකරුවන් වශයෙන් 1842න් පසු සේවය කල බස්නායක නිලමේවරුන්ගේ නාමලේඛනය යම් පමණකට ණිවරදිව ඉදිරිපත් කිරීමට හැකිව ඇත 


  1. වෙලගේ බස්නායක නිලමේ (1842)
  2. දෙල්ගොඩ බස්නායක නිලමේ (1930-1940)
  3. යායින්නේ බස්නායක නිලමේ (1930-1940)
  4. එච්.ආර්.බි දෙල්ගොඩ බස්නායක නිලමේ (1950-1960)
  5. ප්‍රේමා දෙල්ගොඩ බස්නායක නිලමේ (1960-1968)
  6. ඇම් .ඒ.ජයසසිංහ බස්නායක නිලමේ (1968-1998)
  7. ආ.මු.ගුණසේකර බණ්ඩා බස්නායක නිලමේ 1998 සිට 

     
යමෙකු යුධයකදී මිනිසුන් ලක්‍ෂයක් දිනුවත් තමාගේ එකම ආත්මය දිනාගැනීම එයට වඩා උසස්ය යමෙක් තම ආත්මය දිනා ගනීනම් හෙතෙම යුධයෙහි දිනන්න වුන් අතර උත්තම වේ.
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine