#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ

1 comments

රාජාධි රාජසිංහ රජුගේ රාජගුරු පදවිය දැරූ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවන් ගැන ලොකු පැහැදීමක් මේ රජුට තිබුණා ඒ වුනත් වතාවක් හාමුදුරුවන් ගැන පැතුරුණු කට කතාවක් නිසා රජතුමා කලබල උනා මේ කතාවෙන් කියැවුනේ මොරතොට හාමුදුරුවන් වැඩ සිටි මැද පන්සලට නිතර දෙවේලේ ගැහැණුන් යන එන බවයි මේ කතාවේ ඇත්ත නැත්ත පරීක්‍ෂා කරලා බලන්ට රජතුමා කල්පනා කළා දවසක්දා රජු ගැහැණු ඇඳුමෙන් සැරසිලා හැන්දෑ වේගෙන එන වෙලාවට මැද පන්සල පැත්තට ගමන් කළා මොරතොට හාමුදුරුවන් වැඩ සිටි කුටියේ බරාදය දිගේ ආපු රජතුමා එහි තිබුණු පුංචි කවුළුවෙන් කුටිය පරීක්‍ෂා කළා ගුරු හාමුදුරුවෝ පුස්කොළ පොතක් බලබලා කුටියේ වැඩ ඉන්නවා රජතුමා තමාගේ අත කවුළුවෙන් ඇතුලට දැම්මා බැලු බැල්මට ඒක ගැහැණු කෙනෙකුගේ අතක් වගේ වළලු කීපයකුත් තිබුණු හින්දා එහෙත් මේ අත කාගේද කියලා හාමුදුරුවෝ එක පාරටම අඳුනා ගත්තා උන් වහන්සේ කවියකින් මේ විදිහට අහනවා 


සකල මුව තඹර සියොගත සියුමැලි   යේ 
අසලක නම් දැක දැක ඉන්ටත් පිරි    යේ
ඇසල මස දිටිමි යනවා දෙව් කෙලි    යේ 
සකල සිරි ලකට අග රජ නුඹද ලි        යේ 

මේ කවිය ඇහුණාම රජතුමාගෙන් ලොකු ලැජ්ජාවක් වගේම වේදනාවක් ඇතිවුණා තමා මෙහෙම සමච්චල් කලේ තමාගේ ගුරු හාමුදුරුවන්ට නේද කියලා කනගාටුවකුත් උපන්නා රජු කවියෙන්ම මේ විදිහට ප්‍රකාශ කරනවා 


අමර ගුරු හරණ සත දත් පිනා       වන් 
විතර නොවන ගුණ කඳ සපිරිනා   වන් 
පවර පසිඳු සඳ මොරතොට මනා   වන්
සසර වසන තුරු මට වාසනා         වන්

තද තෙද ගැඹුරු නම් සත දැන ගෙන යෙහෙ   න 
ඔද සිඳ   පසිඳු   නෙත   හරි   මුවරද ලෙසි       න
හද නද කරන මොරතොට යතිඳුගේ සව         න
වැඳ   වැඳ   හිඳිමි   සිරිපා  යුවළ දින    දි         න

මොරතොට  දහම්   කඳ  නායක යතිඳු හ        ට
නරදෙට   මෙමා  බුහුමන්  කරපු  හැටිය         ට 
වරිගෙට ගෝල නමකට ඔබගෙ යමෙකු         ට 
වරදට  යමක්  නොකරමි   මින්   ඉදිරිය         ට

රජතුමා ධම්මක්ඛන්ධ හාමුදුරුවන් කෙරේ කොතරම් පැහැදුනාද කියතොත් උන් වහන්සේටත් උන්වහන්සේගෙන් පැවතෙන ශිෂ්‍ය පරම්පරාවටත් නොයෙකුත් වරප්‍රසාද දුන් බව මුඛ පරම්පරාගතව කියවෙනවා මේ පරම්පරාවේ කෙනෙකු වරදක් කලත් ඒකට දඬුවම් කරන්න එපා කියලා රජතුමා නියෝග කළාලු   

Read more »

දෙගල්දොරුව සන්නස

3 comments
පින්කළ තැනැත්තා මෙලොව සතුටුවෙයි පරලොවද සතුටුවෙයි මා විසින් පින් කරන ලදැයි සතුටුවෙයි සුගතියට ගොස් බෙහෙවින් සතුටුවෙයි.
                  දෙගල්දොරුව (ක්‍රි.ව.1786).

“ස්වස්ති ශ්‍රී වෛවස්වත මනු සංඛ්‍යාත මහාසම්මත පරම්පරානුයාත සුද්ධ සු‍්‍ය්‍ර්‍ය වංශාභිජාත ත්‍රිසිංහළාධීස්වර නවරත්නාධිපති විසුද්ධ බුද්ධීන් ප්‍රසිද්ධ ස්වදේශ දෙසානුගත කීර්ති ප්‍රබන්ධ බන්ධුර කීර්තිශ්‍රීරාජසිංහ නරෙන්ද්‍රෝත්තමයානෝ ශ්‍රී ලංකා ද්වීපයෙහි අග්‍ර රාජ්‍යශ්‍රීපද ප්‍රාප්තව සෙණ්ඛඬශෛලාභිධාන ශ්‍රීවර්ධනපුරයේ වැඩ වාශයකරණසේක් දශ රාජ ධර්ම පථානුවර්තීව ජනරංජනය කිරීමෙන් හා සුන්බුන් චෛත්‍ය ප්‍රකෘති කිරීමෙන් හා අභිනව විහාරාදිය කැරවීමෙන්ද මුණින්ද්‍ර ශාසනාභීව්‍රද්ධිවර්ධනය කරණ සමයෙහි මෙම නරෙන්ද්‍රෝත්තමයාණන්වහන්සේගේ ජනකවූ  ශ්‍රද්ධාදිනෛකගුණ ප්‍රතිමඬිත ක්‍ෂත්ත්‍රියෝත්තමයානො දුඹර බද අමුනුගම එක් භූමි භාගයෙක්හි ක්‍රිෂ්ණ ඝන ශෛලයෙක ක්‍ෂුද්‍රවූ ගල් ගුහාවක් තිබෙණ බව අසා භාඬාරයෙන් යවුල් කුළු කුන්තානි ආදී උපකරණ දෙවා ක්‍රිෂ්ණ ඝන ශෛලය බිඳ හරවා මහත් කොට ගෙබිම කොටා සමතල කොට උස තුන් රියන් දිග දොලොස් රියන් පුළුල අට රියන් ගල් ලෙන සාදා අභිමුඛ මඬපයට ගෙබිම හා සඳකඩපහණ සහිත ගල් පඩි එම ගලෙන්ම කොටා සමන්වා එම ගල අතල පිට ගල් ටැම් දොළසක් නඟා මෙපමනකින් අඩාලව තුබූ වැඩේ මෙම කීර්තිශ්‍රීරාජසිංහ ප්‍රථුවීස්වරයාණන් වහන්සේගේ අනුජහාත්‍රැවු ඛිල සරජනාලිපාලිනීසෙවිත පාදාරවින්දද්වන්දෝපසොහිත ආස්ථාන භුපාලෝත්තමයාණන් වහන්සේ විසින් ගල් භික්ති බැඳ දොර කවුළුැ අගුල් යතුරු සහිත කොට ඉක්බිති දිග දොලොස් රියන් සැතපෙන ඉරියව්වට කල ජින බිඹය ද සිරොපාද දෙභාගයෙහි නිසීදන ස්ථිති පිලිම සනමක් බඳවා ලිපාම් චිත්‍රකර්මාදීන් සලක්ෂණ කොට නිමවා වියන් සිතියමෙහිද ඇතුල පිට දෙභික්තියෙහිද සුවිසි විවරණයාදි විසිතුරු සිතියම් කරවා අභිමුඛ මඬපයට ගල් ටැම් මතුයෙහි දැව ගෝනැස්‌ සහිත පට්ටිකා බඳවා උළු සෙවෙනි කරවා සරස දෙභික්තියෙහි ස්වර්ගාපාය දෙක සිතියම් කර නිමවා මීට නුදුරු තැන නව රියන් දැගැබක් හා මහ බෝ පිහිටුවා පොහො ගෙයක් සංඝාරාමයක් ඇතුළුැවැ සියළුැ කර්මාන්ත කරවා සතර දිගින් විහාරය ඇතුළත් කොට අගල් පවුරු ආදියෙන් සුරක්ක්‍ෂිත කොට පනසාඹ්‍ර නාලිකේර රම්භාදී නොයෙක් ව්‍රක්ෂ ජාතීන් රොපනය  කරවා විහාරයට තිර වියන් කුඩ කොඩි සක් සින්නං බෙර දවුල් තම්මැට ආදි නොයෙක් දෙයින්ද රජතමය පාත්‍රා කෙඩි කලංචි දළුමුර තට්ටු ප්‍රදිපාදී සියල්ල සපයා ~ ශක වර්ෂ එක්වාදහස්‌ හසිය අසු තුනට පැමිණි බර නම් වර්ෂයෙහි බක් මශ පුර පශලොස්වක් නම් තිථිය ලත් ගුරු දින රෑ වු තුම් පැය වේලාවට සාඩාඟ විධිවිධානාදිවූ මහත් මඟලෙනත්සවයෙන් නේත්‍ර ප්‍රතිෂ්ඨා කරවා සිත්තරු ගල්වඩු ආදි කම්කරුවන්ට සමක්කට්ටු පඩි වෙඩං ආදි බරපැණට බොහෝ වස්තු පරිත්‍යාග කිරීමෙන් පුණ්‍යානුමොදන්ව  සන්තුෂ්ටව ~ තවද මෙහි නිරන්තරයෙන් බත් මල් පහන් පුද පවත්වන පිණිස හා එහි වත් පිලිවෙත් කොට වශන උපසම්පදා සාමනේර පස් නමකට වටනාපස පිණිස ~ බලවිට බද උඩගම්පහෙන් දුනුවිල යන ගමට හිම් නැගෙනහිරින් අතළුබු ගලෙන් එම දිග කකුල් නු‍ඟෙන් හොරගොල්ලෙන් මෙපිටත් දකුනු දිගින් කොරනටුවේ ගලෙන් එම දිග දෙහිපිටිගොඩ ගලෙන් පරගහ මඩිත්තේ පිහිල්ලෙන් හඟරන්දෙනියේ වෙලෙන් මෙපිටත් බටහිරින් දන්අතුරා ඔයෙන් එම දිග හීපිටියේ ගලෙන් මෙපිටත් උතුරු දිගින් පලාගොල්ලෙ හැම ගඟෙන් මෙපිටත් මීට මැදි වූ ටැම්පානවෙල බිජුහතමුනත් අළුැපතවෙල බිජු තුනුමුනු දෙපෑලත් කොට්ටල්දෙනිය බිජු පස් පෑලත් බොදියාදෙනිය  බිජු දෙපෑලත් යන මෙමුල් බිජු දොලසාමුනු දෙපෑලක වපසරියත් දුඹරින් ඌරාදෙනිය තුම් පෑලත් ගනේකුඹුර දෙපෑලත් දහනැකයා කුඹුර පහිනිපෑලත් ගෙදර වෙලේ අස්වැද්දුම තුම් පැල පල්ලහත් මටට‍‍‍ඹෙ බිජු පෑලත් එසේම අස්වැද්දුම බිජු පල්ලහත් කරවුලියද්දෙන් නිකමඬ බිජු දෙපෑලත් එහි බද පොල් වත්තේ විහාරෙට ළුැනු දෙන පිණිස මරක්කයො පස් දෙනත් හේවාහැටේ කපුලියද්දෙන් කහළකලාව බිජු දැමුනත් සඟුරන්කෙත අඹගැටෙ බිජු යේලමුනත් මාදම්වල මිල්ලමෑය බිජු යේලමුනත් පිහිලිතුඩුව බිජු දෙපෑලක වපසරියත් මාතලේ දිසාවෙන් අතිරහපිටියේ වෙලට කඩයින් නැ‍ෙඟනහිරින් උහුලන්නයේ වැටෙ නිතුල් ගහ තිබෙණ තුඹසින් එම දිග අගලේ කොස් ගහෙන් මකුල් ගහෙන් මෙපිටත් දකුනු දිගින්අගලෙන් මෙපිටත් බටහිරින් ගුරුකැටෙන් එම දිග යක් එරබදු ගහෙන් එම දිග බඬාර කමතෙ කොස් ගහෙන් උඩත් උතුරු දිගින් වැව් වේල්ලෙ කොස් ගහෙන් මෙහත් මෙම කඩයින්වලට මැදිවූ මුල් බිජු  දශාමුනේ වපසරියත් මෙහි බඳ ගෙවතු ගහ කොල ගොඩ වල් පිටි ආදි සියල්ලම චිරාත් කාලයක් මෙහි පුද සිරිත් පවත්වන පිණිස හා මෙහි වත් පිලිවෙත් කර වශන මහ සඟනට වටනාපස පිණිසත් පරිවාර ජනයාට දිවෙල් පිණිස හා මෙහි බද තුවාක් තැණින් කිසි දෙයක් යම් කිසි කෙනෙකුන් විසින් බලාත්කාරයෙන් නො ගන්නා ලෙසට සලස්වා තමන් වහන්සේට දීර්ඝ නිකාය උපාසකජනාලංකාරෙ මිලින්දප්‍රස්නය මහවංශයද නිමවා  ඇස්වීම් ආදි බොහො ධර්මානූශාසනා කලා වූ සුත්‍රාභිධර්ම විනය සංඛ්‍යාත ත්‍රිපිටක ධර්මයෙහි බහුශ්‍රැත වූ මොරතොට ධම්මක්ඛන්ධ නායක ස්වාමීන්ගේ සිශ්‍යානුසිශ්‍ය පරම්පරාවට............මතු ශාසනාන්තර්ධානය දක්වා ස්වස්ථිරව පවත්නා පිණිස තමන් වහන්සේ අග්‍ර රාජ්‍යශ්‍රීපද ප්‍රාප්ත වූ සවෙනි වශ ~ තඹ පත ලියා දෙන්නේයයි ~ සමස්ත සාමන්ත භූපාල මෞලිලාලිත අංඝි පද්ම යුගලොපසොහිත ශ්‍රී රාජාධිරාජසිංහ දෙවි ස්වාමිදරුවාණන් වහන්සේ සෙන්ගඬගල ශ්‍රීවර්ධන පුරයෙහි මඟල්‍ය මඬපයෙහි ධවලාධපත්‍රයෙන් යුක්ත වූ ස්වර්ණවර ~  සිංහාසනාරූඬව ~ අමාත්‍ය මඬලයන් පිරිවරා ~ ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් වැඩ හිඳ වදාළ මෙහෙවරින් ~ ශක වර්ෂ එක්වා දහස් සත්සිය අටට පැමිණි පරාභව නම් වූ ~ මේ වර්ෂයෙහි වෙශඟපුර සතවක් නම් තිථිය ලත් බ්‍රහස්පතින්දා මෙදවශ ~ මේ තඹ පත ලියවා දෙවු සේදිත් ~ තිණංවා යදිවා කට්ඨං පුප්ඵංවා යදිවා ඵලං යො හරෙ බුද්ධ භොගස්ස මහා පෙතො හවිස්සති ~
කුසල් කිරීමට ප්‍රමාදවන මිනිසා ධර්මය බහුලව කීවත් එය අනුගමනය නොකරයි නම් අනුන්ගේ හරකුන් බලන ගොපල්ලකුමෙන් ප්‍රථිපල ලැබීමට කොටස් කරුවෙක් නොවේ.
Read more »

දෙගල්දොරුවට නම ලැබුණු හැටි

1 comments
පින්කළ තැනැත්තා මෙලොවත් සතුටුවෙයි.පරලොවත් සතුටුවෙයි.තමාගේ පිවිතුරු කම් දැක විශේෂයෙන් සතුටුවෙයි.

දෙගල්දොරුවට නම ලැබුණු හැටි ගැන රසවත් කතාන්තරයක් දුම්බර ගැමියන් අතර පවතී

ඒ කාලේ මෙහෙ (දෙගල්දොරුවේ) තිබුනා ගල් පර්වත දෙකක් එකට හා වන තැනක්‌ වියන්නලාගේ ගෙදර මිනිහෙක් දවසක් දා මේ ගල් ගේ ඇතුළට ගියා ඒකෙ ඇතුලත තිබුනා රන් දෑකැති රාශියක් මිනිහා එක රන් ‍දෑකෑත්තක් අරං ඇවිත් ගොයම් කපලා හවසට ගිහිල්ලා ගල් ගේ ඇතුලෙම තියනවා ගල් ගෙයින් පිටතට ආවම දොර වැහෙනවා ඔහොම කරගෙන ආවා කාලයක් එක දවසක් දා මිනිහා ගිහිල්ලා ගෙනාවා රන් දෑකැති දෙකක් හැබැයි ගොයම් කපලා ආපහු ගිහිල්ලා තිබ්බේ එක දෑකෑතක් විතරයි ගල් ගෙට අරක්ගෙන හිටපු බහිරවයා හැන්දෑවේ බලන කොට එක දැකෑත්තක් අඩුයි ඒ පාර බහිරවයාට හොදටම කේන්ති ගිහින් "දැන්ම ගෙනත් තියාපිය" කියලා ගොවියට තරවටු කළා මේ නිසා හොදටම බය වුන මේ ගොවියා එදා රෑම දෑකෑත්තත් අරගෙන ගියා "ගිහිං තියාපිය දෑකෑත්ත ඇතුලෙන්" කියලා බහිරවයා සැර කළා මිනිහා ගල් ගේ ඇතුලට ගියා විතරයි ගල් දොර වැහුනා මිනිහා ඇතුලේ බහිරවයා කොහේ ගියා ද හොයාගන්න නෑ  ගමේ මිනිස්සු මේ සිද්ධිය රජ්ජුරුවන්ට සැල කළා රජ්ජුරුවෝ කල්පනා කළා මෙතන හොදයි විහාරයක් කරවන්ට කියලා රජ්ජුරුවෝ ගමට ඇවිත් ස්ථානය පරික්ෂා කරලා බැලුවා ස්ථානේ සුදුසුයි කියලා ඒත්තු ගිය නිසා විහාරය ඉදි කරවලා තියනවා අන්න ඒ ගල්දොර වැහිච්ච තැන තමයි දෙගල්දොරුව විහාරය කරවලා තියනවය කියන්නේ     
පව්කාරයා මෙලොවත් තැවෙයි.පරලොවත් තැවෙයි.මා පව් කරන ලදැයි තැවෙයි.දුගතියට ගොස් බෙහෙවින් තැවෙයි.
Read more »

ඉද්දමල්පාන රජමහ විහාරය

0 comments
මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුණු නොකළ සිත රාගයෙන් තෙත්වෙයි.

කෑගල්ලේ ගුරුගොඩ ඔය බඩ පිහිටි ඉද්දමල්පානට එම නම ලැබුනේ එදා ඔය හරහා එගොඩ මෙගොඩ ගිය ගල්තැල්ලේ කොටා ඇති පස්පෙති ඉද්දමල නිසාය මෙම ඉද්දමලට තෙල්වක්කර පත්තු කල පහනින් දැල්වුණ එලිය එදා රාත්‍රියට එගොඩ වීමට සැලසු මං සලකුණකි වතුර ගලාවිත් පහන නිවී ඇතිනම් ඒ මොහොතේ ඔයෙන් එගොඩ වීම අනතුරු දායකය ඉංග්‍රීසි පාලන යුගයේ 1803 පමණ ඔය හරහා කුඹුක් ගස්වල බැඳී එල්ලෙන පාලමක් වූ බව පුරාවිදු අධිකාරී ව සිටි H C P බෙල්ගේ කෑගලු වාර්තාවේ සඳහන් වේ ඉංග්‍රීසි ජාතික කැප්ටන් මැක්පර්සන් 1803 මෙසේ ලියා ඇත 

ඉද්දමල්පාන ඉතා ලස්සන ස්ථානයකි ගුරුගොඩ ඔය අපේ කූඩාරම් අසලින් ගලා යන්නේය එය වටිනා ජල ප්‍රවාහයකි එසේම අපගේ ඉදිරියෙන් ඇති කඳු හරහා ඇද හැලෙන සුන්දර දිය ඇල්ලක් ද වෙයි මන බඳනා දර්ශනයකින් අවට හොබනේය ඔය හරහා සාදා ඇති ඉතා දර්ශනීය ඉඳිවැල් පාලම විශාල ගස් අතුරේ එල්ලී පවතී අපගේ චිත්‍ර ශිල්පීහු මෙම අලංකාරයෙන් ඉතා ප්‍රමුදිත වෙති මේ අතර මෙය ලෝකයේ ලස්සනම ගංගා ධාරයක් වශයෙන් පෙන්වා දිය හැක 

ගලතලයක් මතවූ දාගැබක් දැක්වෙන චිත්‍රයක ලංකාවේ ඉද්දමල්පානේ (අරන්දර)බෞද්ධ විහාරය යනුවෙන් සඳහන් ව ඇතයි බෙල් මහතා තම වාර්තාවේ වැඩිදුරටත් ඇතුලත් කර ඇත අද මෙම ස්ථානය හඳුන්වන්නේ කිර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරස්ථානය නමිනි ඒ රජුගේ රාජ්‍ය කාලයේ විහාරය ආරම්භ කරන්නට ඇති අතර ඉඩකඩම් පුජා කරන්නට ඇත්තේ රාජාධි රාජසිංහ රජ විසින් බව වඳුරාදෙනිය තඹ සන්නස අනුව පෙනී යයි ඉද්දමල්පාන පැරණි අනුරාධපුර මහනුවර බලන වාකිරිගල අරන්දර රුවන්වැල්ල හරහා කොළඹ මාර්ගයේ මංසන්ධියක් විය මෙහිදී ගම්පොල හෙම්මාතගම අලපලාවල මොරෝන්තොට පාරවල් ද එක්වුනි එහෙයින්ම විමලධර්මසුරිය රජ(කොනප්පු බණ්ඩාර)සමයේදී ඉද්දමල්පානේ සිංහල බලකොටුවක් පිහිටුවා තිබුණි 1687 ඔක්තෝම්බර්වලදී මාතර දිසාවට විමලධර්මසුර්ය රජු එල්ල කල පහර වැළැක්වූ පෘතුගීසින් හත් කෝරලයත් හතර කෝරලයත් තමන් යටතට ගත්හ එහෙත් රජු විසින් මෙහෙයවූ සේනා ඉද්දමල්පානේ කඳවුරු ලා ගත්හ විරුද්ධ පස සමග කල සටනින් ගැස්පර් කොරයාගේ සේනාවට ලැබුනේ අන්ත පරාජයකි ලස්කිරිඤ්ඤයන් රජුගේ පිලට පැන යාමෙන් පසුව ගැස්පර් කොරයා ඇතුළු පෘතුගීසි හමුදාව සිංහල හමුදා අතින් මැරුම් කෑහ හිරිගල කිණිගම හා ඉද්දමල්පාන ප්‍රදේශවල අනුරාධපුර යුගයේදී මැණික් පතල තිබු බව මාපොටේ චන්ද්‍රජෝති හිමිගේ ලංකාවේ මැණික් නම් ග්‍රන්ථයේ සඳහන් කර ඇත මේ ප්‍රදේශය නිදන් සම්බන්දයෙන් ද ප්‍රසිද්ධියක් උසුලයි නිදන් සොයාගෙන ආ බමුනකු විසින් තවත් අයකුගෙන් මඟ සලකුණු ඇසුවායයි සඳහන් වෙන්නේ මෙලෙසිනි

එක සරිගල
දෙක කිණිගම
මලෙන් පාන
ගම කොතනද
 
මෙවන් වටින පසුබිමක් යටතේ කිර්ති ශ්‍රී රාජසිංහ යුගයේ ඉද්දමල්පාන තොටුපළ ඇසුරේ ගලක් උඩ ඉදි කර ඇති වෙහෙර සහිත විහාරස්ථානයේ එදා ඉදි කල විහාරය සහිත බුදු පිළිම විශ්ණු රුව චිත්‍ර සැරසිලි ආදියත් මහනුවර සිරස්පත සහිත බුදුපිළිමය සිවුරු රැල්ලෙන් යුතු වූ ප්‍රතිමා හා විහාර වහල දුර්වල තත්වයෙන් පවතී විහාරය දෙපස වරංඩයේ තිබු වටිනා හිටි පිළිම දෙකෙන් එකක් විනාශ වෙමින් පවතී අනෙක ද අඩක බිඳී පවතී මහනුවර සමයේ පෙරූ මැටිවලින් එනම් මීපැණි කනෙයි පැණි කයිප්පු කඳුරු හා තල තෙල් ආදියෙන් සැදු බදාමයෙන් මෙම පිළිම අඹා ඇති බව පෙනේ (මාධ්‍ය කාලින සිංහල කළා 118-119)   

            
මනාව සෙවිලි නොකළ ගෙය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් භාවනාවෙන් දියුණු කළ සිත රාගයෙන් නොතෙමෙයි.
Read more »

සබරගමුවේ පත්තිනි දේවාල

2 comments
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.

                     
ඇල්ලගාව පත්තිනි දේවාලය
 
පෙරදී මහසුමනගේ දේව රාජ්‍යය ලෙසත් පොළොන්නරුව රාජ්‍ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ මෙම දේවාලයේ ඉතිහාසය වසර 414 ක් පමණ ඈත සීතාවක යුගය දක්වා දිවෙයි .රා.ව. 1587 දී දෙවනගල රතනාලංකාර මහතෙර සාමි හා ගම්පොල රාජගුරු ධර්ම කීර්ති අනුතෙර සාමින් ඇතුළු මහා සංඝයා හා රදළවරුන් එක්ව කොනප්පු බණ්ඩාරට රාජ්‍යය ලබාදීමට රහස් කුමන්ත්‍රණයක් කරන වග ආරංචි වී කිපුණු සීතාවක රාජසිංහ රජ සහබාගිවූ සංඝයා වහන්සේ සිර භාරයට ගැනීමටත් සිවුරු හරවන්නටත් විහාර ගම් හේවාගම් කිරිමටත් පටන් ගත්හ එයින් බියට පත් සංඝයා භයින් පලාගියහ මෙම කුමන්ත්‍රණය සඳහා එක්වූ ප්‍රධාන පෙලේ සංඝයා වහන්සේලා 129 ක් දෙනම බැගින් එකට ඈදා සීතාවක ගඟේ කණමැදිරියන්වෙල ස්ථානයේ ගිල්වා මැරවූ බවත් එම භික්‍ෂුන් සතුව තිබු පන්සල් පොළොවට සමතලා කරවා ඒවායේ තිබු දහම් පොත්පත් ගිනිබත් කරවීය 


ලපටි වියේ සිටම පත්තිනි දේවතාවිය කෙරේ ඇල්මක් තිබු  රජු ඉන්පසුව පළමුවරට දෙහිගම්පල් කෝරලයේ මැදගොඩ පත්තිණි දේවාලයක් කරවීය මේ වන විට දිගම්පත කෝරලයේ විශාල ප්‍රදේශයක් අල්ලාගෙන සිටි පෘතුගීසින් හා යුද පිණිස රජතුමා ලැගුම් ගෙන සිටි කිරගම් කන්දේ ද 1589 පත්තිණි දේවාලයක් කරවූ රජු එයට රනින් කල පත්තිනි හළඹක් හා දේවාභරණ පුදා සිය යුධ සේනාංකයෙහි සිටි දේවස්තෝත්‍ර දත් මහනුවර අවධියේ ලොකු රාල නම් අයකුට ඇල්ලේ කපුරාලලාගේ යන පෙළපත් නාමය පට බැඳ ඔහු මෙම දේවාලයෙහි කපු තනතුරට පත් කළේය 

එහි නඩත්තුව සඳහා ගඟෙන් මෙගොඩින් කුරුවිට කෝරලේ යටිපව්ව කොට්ඨාශයට අයත් ගොඩමඩ ගහකොලවලින් යුත් අක්කර 400 ක් ද නින්දගම් කොට දුන්නේය රජුගේ නියමයෙන් මේ සියලුම කටයුතු කර ඇත්තේ රජුගේ කුළුපඟ මුදලිවරයකු වූ එවකට රත්නපුර ප්‍රදේශය පාලනය කල මාතොට මනම්පේරි මුදලි පරපුරේ අයකු වූ ලොකු බණ්ඩාර මනම්පේරි නැමැත්තා විසිනි .කළු ගඟෙන් මෙගොඩ ගොඩේ සිට මෙම දේවාලයට යන බැතිමතුන් එකල ගියේ කළු ගඟේ පැනිගල් ඇල්ල යන ස්ථානයෙන් ඔරුවල නැගී මහත් ආයාසයක් විඳගෙනය එකල මේ ප්‍රදේශයේ අදට වඩා ගංවතුරෙන් හා පිටාර ගැලීමෙන් ගඟ රළු වන නිසා කලක් ගතවූ පසු බැතිමතුන්ගේ පහසුව තකා එතෙක් දිගම්පත කෝරලයේ කිරගම් කන්දේ තිබු දේවාලය වෙනස් කර කුරුවිට කෝරලයට අයත් දැනට පාර අයිනේ තිබෙන දේවාලය ඉහත්තෙන් වර්තමාන දේවාලකන්ද නමින් හැඳින්වෙන කන්දට ගෙනවිත් ඇත කලක් යාමේ දී එය ද වෙනස් කොට වර්තමාන දේවාලය තනා ඇත

              උඳුගොඩ තියඹරාහේන පත්තිනි දේවාලය
 

කෑගල්ල -බුලත්කොහුපිටිය පාරේ මාබෝපිටිය හංදියෙන් හැරී ගන්තුන පාරේ කි මි 4 ක් පමණ ගියතැන තියඹරාහේන පත්තිනි දේවාලය හමුවේ මෙය ගුරුගොඩ ඔය අයිනේ පිහිටියහ දේවාල අංගනය පෙරහැර මඟ පොකුණු දේව මාලිගය හා දිග්ගේ ආදියෙන් ඉහත කී ස්ථානය සමන්විතය මෙතැන බෝ නා සපු බුළු සහ ඉඹුල් වෘක්ෂ ආදියෙන් පීරී ඇත සමන් විෂ්ණු කතරගම විභීෂණ දේවතා බණ්ඩාර සහ පත්තිනි යන ෂඩ් වර්ගීය දේවගණයා අතර එකම දේවතාවිය වන්නේ පත්තිනියයි 

 "අතලා වදාරාපු පයලා වදාලාපු දකුණු පස දේවාභරණ ගිනි හළඹ යහතින් වැඩ පවතින්නාවූ තියඹරාහේන දේව මූලස්ථානයට අයිති ආණ්ඩු ඇති ඔබ වහන්සේගේ නාමයට පුද පඬුරු පුද පුජා පවත්වා " 

ආදී වශයෙන් මෙම පුද බිමෙහි යාතිකාවෙන් එහි ඓතිහාසිකත්වය හා වැදගත්කම කියවේ පත්තිනිය කඩා වෙන් කල දක්ෂිණ හළඹ මේ ස්ථානයේ තැන්පත් කොට ඇතැයි අදහයි ගජබා කාලයේදීම දකුණු හළඹ තැම්පත් කර මෙම ස්ථානය ආරම්භ කර ඇත්තේ දැනට පවතින දේවාලයට මඳක් කිට්ටුවෙන් පිහිටි තෙලිජ්ජගොඩ පොකුනුගලේ ඇසුරෙනි මෙහි ඇති කුඩා පර්වතයේ නයි රුවක් හා කඩුවක රුපයක් කොටා ඇත එසේම දැනට ද පත්තිනියගේ ආරක්‍ෂක නයි පරපුර ඇතැයි සඳහන් තුඹස සහිත කදුරු වෘක්ෂය ඒ අසල දක්නට ඇත පෘතුගීසි කරදර සමයේ දී පත්තිනි හළඹ නවගමුව දේවාලයේ තිබී තියඹරාහේනට වැඩම කල බවට‍ ද මතයක් පවතී .

පත්තිණි දේවිය
බෙල් මහතාගේ ලේඛන අනුව දේව මාලිගාව ටැම්පිට සාදා ඇත්තේ අඩි 11 ක් හා අඟල් 3ක් දිග හා අඩි 10 අඟල් 7 ක් පළලටය දේවාලයේ උළුවස්ස පළාපෙති හා බොරදම්වලින් යුතු වටිනා එකකි මේ දේවාලයෙන් හමු වූ දේවාල උපත ග්‍රන්ථය ලංකාවේ දේවාල පිළිබඳව වැදගත් ඉතිහාසයක් ගෙනෙයි මෙය රාජසිංහ රජු සැදවූ බව එහි කියයී මෙහි විශාල කටු ඉඹුල් රුකක්‌ ඇත එහි පත්තිනි හළඹ අහසින් අවුත් රැඳී සිලි සිලි හඬින් හඬ දෙද්දී කපුවරුන්ගේ කන්නලව්වෙන් දේවාලයට වැඩ තැන්පත් වූ බව කියවේ .දැනුදු විශේෂයෙන් කිලිටු වූ ගැහැණු උදවිය දේවාලයට ආවොත් දේවාල භුමියේ සිටිනා නයි කලබල වනු බව කියවේ මේ ඉඹුල් රුකේ වට ප්‍රමාණය අඩි 40 ක් පමණ වේ එහි උස අඩි 300 ක් පමණ වන අතර අතු පැතිරී ගිය එය මහවෘක්ෂයකි එහි වයස හරි හැටි කිව නොහැකි මුත් අඩු වශයෙන් අවුරුදු 500 ක් තරම්වත් වන්නට ඇති බව පෙනේ මෙහි පැරණි නා රුක සැදී වැඩිමකින් තොරව පවතින බව ජන විශ්වාසයයි

               කබුළුමුල්ල පත්තිනි දේවාලය

කොළඹ යටියන්තොට මාර්ගයේ කරවනැල්ල තුන්මංසල අසල කබුළුමුල්ලේ දේවාලය පිහිටා ඇත කඳුගැටයක පිහිටුවා ඇති දෙවොල වටා ඊටම ඔබින නිසංසල පරිසරයක අක්කර දෙකහමාරක් පමණ සේ විහිද යන දේවාල භුමිය තුරුලතාදියෙන් සැරසුණු සිත්කළු දර්ශනයෙන් යුතුය.සීතාවක රාජසිංහ රජු විසින් තනවන ලදැයි විශ්වාස කරන මෙම දේවාලය කරවීමේදී මඟුල් කැප සිටවූ මුල්ල කප-ලු-මුල්ල වී පසුව කබුළුමුල්ල  වීමෙන් දෙවොල පිහිටි ගමට එනම ලැබුනේ යැයි මුඛ පරම්පරාගත කතාවල කියවේ අතීතයේදී දේවාලකන්ද ප්‍රදේශයේ මංගෙදර මුල්ලේ පිහිටි  දේවාලය රාජසිංහ රජු විසින් කබුළුමුල්ලේ ඉදි කරන ලද බවත් එසේ කරන ලද්දේ දේවාලයට සම්බන්ධවී සිටි වනිගකුල අබේසිංහ මුදියන්සේට රජුගෙන් සිදුවූ අසාධාරණයක් නිවැරදි කරන්නට බවත් දේවාලය හා සම්බන්ධ වූ ප්‍රකටම ජනශ්‍රැතියකී දේවාලය බාරව සිටින අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර රාජසිංහ කපු රාළහාමි කියන ආකාරයට ඒ කතාව මෙසේය 


වනිග කුල අබේසිංහ හෙවත් රණසිංහ මුදියන්සේ රාජසිංහ රජු යටතේ සේවය කල සෙනෙවියෙකි හෙතෙම බලංගොඩට නුදුරු කළුතොට ප්‍රදේශයේ බලකොටුවක් භාරව සිටියේය බලකොටුව කටයුතු තුලින් රණසිංහ මුදියන්සේ ලබන ගෞරවය නොඉවසූ ඔහුගේ පස මිතුරන්ගේ සංවිධානාත්මක කේලාම් බස් නිසා රණසිංහ මුදියන්සේ රාජද්‍රෝහියෙකු බවට‍ පත්ව රාජ උදහසින් සිර භාරයට පත් විය සිරගත කරන ලද රණසිංහ මුදියන්සේගේ සොහොයුරෙක් මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලය භාරව සිටියේය නිර්දෝෂී සිය සොහොයුරාට අත් වූ විපත ඇසු දේවාල භාරකරුවා ඔහු රැකදෙන ලෙස අයදිමින් දෙවියන්ට කන්නලව් කළේය ඔහුගේ කන්නලව්ව සඵලදායි විය රජුට සිහිනෙන් පෙනුණු දෙවියෝ රජු බියපත් කළේය එමතු ද නොව රජු නිදා සිටි ඇඳ කඩා ගෙන බිමට වැටෙන්නට සැලැස්වුහ සිහිනෙන් පැමිණි දේවතාවා කලේ එකම නියෝගයකි ඒ රණසිංහ මුදියන්සේ නිදහස් කලයුතු බවයි .රාජසිංහ රජු උදැසනම ඇමතිවරුන් කැඳවා සිද්ධිය පිළිබඳව සාකච්ඡා කළහ ඉක්බිති ඇමතිවරු සිර මැඳිරි පිරික්සුහ රණසිංහ මුදියන්සේ නිරුප්‍රද්‍රිතව සිටියේය එහෙත් ඔහුගේ දෑතට ලු විලංගු උඳු මුං   සේ කැබලි වී තිබිණි රජු අභියසට  කැඳවන ලද රණසිංහ මුදියන්සේගේන් ඔහු සතු හාස්කම්  යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව දන්නේ දැයි විමසන ලදී තමා සතු හාස්කමක් නොමැති බව කි සෙනෙවියා මංගෙදර මුල්ලේ දේවාලයේ සිටින තම සහෝදරයා ගැන ද කිවේය.එවිට ඔහුගේ සොහොයුරා ගෙන්වා සියලු විස්තර දැනගත් සීතාවක රාජසිංහ රජු අස්ථාන සැකයක් මත සිරකළ රණසිංහ මුදියන්සේ නිදහස් කර මංගෙදර මුල්ලේ තිබුණු දේවාලය කබුළුමුල්ලේ ඉදිකර එහි භාරකාරත්වය රණසිංහ මුදියන්සේට පැවරිය මංගෙදර මුල්ලේ සිටි කපු මහතාට මැදගොඩ පත්තිනි දේවාලය භාර කළේය 

මෙම ජනකතාවට අනුව මැදගොඩ හා කබුළුමුල්ල දේවාලවල කපු මහතුන් පැවත එන්නේ සහෝදරයන් දෙදෙනකුගෙනි අභය දානය ලත් බැවින් කබුළුමුල්ලේ කපු මහතා අභය රණසිංහමුදියන්සේ විය මැදගොඩ කපු මහතා රණසිංහ මුදියන්සේ විය සිහිනෙන් බයවූ තෙද බලැති රජකු බිම දැමු නිසා ඇඳ වියල අභය රණසිංහ මුදියන්සේටම රජුගෙන් තිළිණයක ලෙස ලැබුණි පරම්පරා ගණනක පුරා සුරක්‍ෂිතව පැවති මෙම ඇඳ වියල අද ටිකිරි බණ්ඩාර රණසිංහ මහතා භාරයේ පවතී වර්තමාන කපු මහතා වන අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර දේවාලයේ 51 වන කපු මහතා වේ දේවාලයේ මුරුතැන් තබන්නේ කපු මහතුන්ගේ සංක්‍යාව අනුවය වසර 400 ක පමණ කල සිට කපු මහත්වරුන්ගේ සංක්‍යව 51 ක වුයේ ඇතැම් කාලවල සහෝදරයන් කිහිප දෙනෙකුම කපු මහත්වරුන් සේ කටයුතු කල නිසා බව වර්තමාන කපු මහතාගේ මතයයි කබුළුමුල්ල පත්තිනි දේවාලයකි එහෙත් එහි වැඳුම් පිදුම් ලබන්නේපත්තිනිය පමණක් ම නොවේ සිද්ධ ගනේගොඩ දෙවියෝ ද දෙවොලේ පිදුම් ලබති දේවාලයේ යාතිකාව ඇරඹෙන්නේද ගනේගොඩ දෙවියන්ගෙන් අවසර ගැනීමෙනි පත්තිනි දේවිය ඇමතෙන්නේ ද ඉන් පසුවය එමතු ද නොව දේවාලයේ උත්සව වලදී මුලින්ම පහන් දල්වන්නේ ද ගනේගොඩ දෙවියන් වෙනුවෙනි ගනේගොඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ සීතාවක රාජසිංහ රජු වේ දෙවොල වෙනුවෙන් ගම්බිම් දුන්නේ ද දේවාලය තනා දුන්නේ ද රාජසිංහ රජු බැවින් ඔහුගේ අභාවයෙන් පසුව දේවත්වයට පත් රජුට මුල් තැන ලැබෙනවා විය හැක සීතාවක රාජසිංහ රජු හා මහ සංඝයා අතර අමනාපකම් වී යයි කියනු ලැබෙයි එබැවින් ගනේගොඩ දෙවියන්ගේ අණසක පවත්නා කබුළුමුල්ල ගමේ ගිහි පිරිත් විනා සඟ පිරිත් සජ්ඣායනා කිරීම අකැප යයි ජන විශ්වාසය වී තිබේ

                   දෙවොල් මැඳුර පෙරහැර චාරිත්‍ර වාරිත්‍ර
 

දේවාලයේ පැරණි මැඳුර රාජසිංහ රජු විසින් කරවන ලද කොටසකි දේවාලය මුලින් ගල්ටැම් මත තනා තිබු බව ද පසු කලෙක ප්‍රතිසංස්කරණ වල දී ගල් ටැම් වසා බදාමයෙන් බැඳ ඇති බව ද කපු මහතා පවසයි මෙම ප්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ රජු විසින් කරවන ලද පැරණි මැඳුර හා ගල් උළුවස්ස ආරක්ෂා වන සේය කබුළුමුල්ල ගම එම දේවාලයේ නින්දගමකි මේකියන නින්දගම ප්‍රවේණි සේවා වසම් 10 ට බෙදා ඇත ඒ මෙසේය

1කපු රාලලාගේ පංගුව
2ගම් වසම් පංගුව
3විතාරං පංගුව 
4දැල්ලගේ පංගුව
5මාහල්ලගේ පංගුව
6තලංගමගේ පංගුව
7දංගම්පලගේ පංගුව
8හාල් මාළු පංගුව
9පුරප්පාඩු පංගුව
10රදාගේ පංගුව                                   
කබුලුමුල්ලේ දේවාලයේ ඇසල පෙරහැර ද මැදගොඩ පත්තිනි දේවාලයේ නිකිණි පෙරහැර ද පැවැත්වීම පුරාණ සම්ප්‍රදාය වේ එසේ වූ විට කබුළුමුල්ලේ භාරකරුවන්ට මැදගොඩ පෙරහැරට ද මැදගොඩ භාරකරුවන්ට කබුළුමුල්ලේ පෙරහැරට ද උදව් උපකාර කිරීම පහසු වේ කබුළුමුල්ල දේවාලයේ ඇසල පෙරහැර දින 7ක් පුරා පැවැත්වේ මුල් දිනයේ පැවැත්වෙන්නේ කුඹල් පෙරහැරයි ඉනික්බිති ව රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර අවසාන දිනයේ පැවැත්වෙන වීදි පෙරහැර අංග සම්පුර්න වූ උත්කර්ෂවත් පෙරහැරකි අවසාන දින දිය කැපීමෙන් පෙරහැර අවසාන වේ දෙවොල් බිමට පහලින් ගඟ බඩ තෙළඹු ගසක් පිහිටියේය ඉන් පැලවු කිසිඳු පැලයක් දක්නට නොලැබෙන බව කපු මහතා පවසයි ලක්දිව ගම්මඩු චාරිත්‍ර ආරම්භ වන්නේ දඹදිව විසු සේරිමානන් රජුට වැළඳුනු හිසේ කැක්කුම සුව කරන්නට කරවූ ගී මඩුවෙන් බව "මඩු පුරේ කීමේ" දැක්වේ එහි දැක්වෙන ආකාරයට මඩුව සඳහා කප සිටුවන්නේ රුවන්වැල්ල ඉසානයෙනි

රුවන් එදා වර්ෂාවක් සද් දවසක්  වසිමින්නේ
රුවන් නියම කරන සෙවිලි නංවන පුරයට වන්නේ 
රුවන් සළඹයට ගනිමින් රුවන්වැල්ල නම දුන්නේ
රුවන්වැල්ල ඉසානයට ගනිමින් බිම බලන්නේ
                                                                         (මඩු පුරේ කීම)

ගඟ බඩ තෙළඹු ගස ඇති තැන ගී මඩුව කර වූ බව දේවාල භාරකරුවෝ පවසති එදවස සේරිමානන් රජ කප් සිටවූ ස්ථානය සිහිවීම පිණිස මේ තෙලඹුව රෝපණය කළේලු පසු කලෙක රාජසිංහ රජු දෙවොල ඉදිකරන්නට ද මෙම පුජනීය භුමි භාගයම තෝරා ගත්තේ ලු පත්තිනි මෑණියන්ටත් ගනේගොඩ දෙව් සමිඳුන්ටත් කැප වූ කබුළුමුල්ලේ පුද බිම සම්ප්‍රදායික ඇදහිලි විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව උනන්දුවන්නන්ගේ අවධානයට යොමු විය යුතු නිසංසල පුජනීය භුමි භාගයකි

                           ගල්ලෑල්ල පත්තිනි දේවාලය
හිගුලේ සිට අළුත්නුවර  දේවාලය බලා යන විට ගල්ලෑල්ලේ තුන් බෝධි ස්ථානයේ සිට යාර සියයකට පමණ ඈතින් ගල්ලෑල්ලේ පත්තිනි දේවාලය පිහිටා ඇත මේ දේවාලය ඉදිකර ඇත්තේ උස්බිමක් මුදුනේ පිහිටි විශාල ගල්පුවරුවක් මතය මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර රාජසිංහ කුමරුන් සහ මායාදුන්නේ රජුගේ බෑණා වූ විදිය බණ්ඩාර අතර යුද්ධයක් විය එකොලොස් වියැති ටිකිරි බණ්ඩාර කුමරුන් සෙංකඩගල දෙසින් පැමිණි සේනාව මෙහෙයවුයේ එම ගල්තලාව සිට බව විශ්වාසය වේ එසේම පත්තිනි දේවියගේ ගිනි හළඹ මෙහි තැන්පත් කර ඇතැයිද ජනප්‍රවාදවල එයි

                            බටවල පත්තිනි දේවාලය

කුකුළු කෝරලයේ අයගමට නුදුරු බටවල ගමේ පිහිට තිබෙන කුඩා පත්තිනි දේවාලය ගම්පොල රාජ්‍ය සමයේ දී ඇති වූ එකක් ලෙස සැලකිය හැකියයි රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන්ගේ සපරගමු දර්ශන ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වේ එහෙත් මෙම ලේඛකයා විසින් සොයාගෙන ඇති පැරණි තොරතුරු අනුව මෙම දේවාලය ඉදිව ඇත්තේ සීතාවක රාජසිංහ රජුගේ නියමයෙන් 1590 දී ය ඇල්ලගාව පත්තිනි දේවාලය මෙන් මෙය ද සාදවා ඇත්තේ මනම්පේරි මුදලිතුමාය පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා දිගම්පත(කුකුළු)කෝරලයෙන් රජුට අයවිය යුතු බදු මුදල් එකතු කරන්නාගේ කාර්යාලය තිබී ඇත්තේ අයගමය මේ ගමට එම නම පටබැඳි ඇත්තේ එම නිසාය 


සීතාවක රාජ්‍ය කාලයේදී මේ ප්‍රදේශය අයබදු ගැනීම සඳහා සීතාවකට නුදුරු උඩුවිල නමැති ගමේ මනම්පේරි මුදලි පරපුරට අයත් කෙනෙකු ජිවත්ව සිට ඇත ඔහු මනම්පේරි මුදලිතුමාගේ කිට්ටුවන්ත ඥාතිවරයෙකි ඔහු මනම්පේරි මුදලිගෙන් කල ඉල්ලීමක් අනුව රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් මෙම දේවාලය ඉදි කර ඇත මනම්පේරි මුදලිගේ ඉල්ලීම පරිදි රජු විසින් එකල දේවස්තෝත්‍රාදිය දත් මේ ගමේ අයකු වූ හේතුහාමි නැමැත්තෙකුට බටවල කපුරාලලාගේ යන පෙළපත් නාමය පටබැඳ ඔහුගේ පරම්පරාවට කපු තනතුර පවරා ඇති අතර දේවාලයට අවශ්‍ය පත්තිනි හලඹත් ආභරණ කීපයක් හා මෙහි නඩත්තුව සඳහා කපුගේ මළ පාළුව නමැති හැටපස් අමුනක නින්දගමක් දී ඇත මනම්පේරි මුදලිතුමා විසින් මෙහි බස්නායක නිලමේ කෙනෙකු වශයෙන් පරගල විජේසුන්දර පරපුරේ අයකු පත්කර ඇත අදත් මෙහි එම තනතුරේ අයිතිය ඒ පරපුර සතුව තිබේ පත්තිනි දේවමෑනියන් වෙනුවෙන් කැප කරන ලද දේවාලය ශතවර්ෂක පමණ කාලයක් දියුණුවට පත්ව තිබී කපුරාලලා හා බස්නායක නිලමෙලා අතර ඇතිවූ ආරවුලක් නිසා කලක් ඇවෑමෙන් අරාජිකත්වයට පත්ව ඇත ඒ හේතුවෙන් රාජසිංහ රජු දී තිබු සන්නස් තුඩපත් හා වෙනත් වැදගත් පුස්කොල ලිපි කීපයක් ද විනාශ වී ඇත ඒ නිසා කලකදී නින්දගම අහෝසි වී ඇත

                           මැදගොඩ පත්තිනි දේවාලය

මෙම දෙවොල සීතාවක රාජසිංහ රජුගේ කලට පෙර සිටම පැවතගෙන එන දෙවොලක් වේ කෙසේ වෙතත් මෙය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රාජසිංහ රජුගේ අනුග්‍රහය ලැබී ඇත ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු දිනක් සිය පිරිවර සමග පෙතංගොඩ කරා කැලණිය ගඟ දිගේ ඉහළට දේව අඟුලෙන් යමින් සිටියේය මැදගොඩ පැරණි දෙවොල් බිම අසලදී අඟුල ඉබේම නැවතී ඇත අඟුල පදවමින් සිටි මාල මීගොල්ල නැමැත්තා දියට බැස බැලු මුත් කිසිඳු හේතුවක් නොදිටීය මෙය දේව හාස්කමක් ලෙස සැලකු රජු තව දුරටත් විමසා බැලු විට පත්තිනි දේවාලය දැක ඇත රජු එම ස්ථානයට ගොස් පහනක් දල්වා දෙවොල යලි ගොඩනැගීමට තීරණය කල පසු අඟුල ඉබේම ගඟ ඉහළට ගමන් කර මාදෙයියාගල නම් ගල මත නැවතුණි එයින් සතුටට පත් රජු පසුව මැදගොඩ පත්තිනි දේවාලය සකස් කල බව පැවසේ මෙය යලි ගොඩ නගා ඇත්තේ 1582 දී පමණ ය මෙය මුලදී ගොඩ නගා තිබී ඇත්තේ ටැම්පිට දේවාලයක් ලෙසිනි ගල් ටැම් මත නා වැනි ලී බාල්ක දමා ඒ උඩ ලෑලි අතුරා දේවාලය ගොඩනගා තිබී ඇත ඒවායින් ගල් ටැම් දෙකතුනක් පමණක් ඉතිරිව තිබී වෙනත් ඒවා තනා ඒ මත නව දේවාලයක් ඉදිකර තිබේ නවගමුව පත්තිනි දේවාලයේ සිට රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට කිඹුල් වාහනය පිට වැඩම කරවා කෙළි පුද ගන්නට වරම් දුන් අවස්ථාවක් පිළිබඳව පත්තිනි දේව කන්නලව්වක සඳහන්වේ පත්තිනි දේවාලයේ තිබුණු දේව සළඹ සත්නමක් මේ වෙත වැඩම වූ බවක් ද ඇතැම් ජනශ්‍රැති අනුව පැහැදිලිවේ

                        හොලොම්බුව පත්තිනි දේවාලය

මෙම පත්තිනි දේවාලයේ දැනට පවතින දේවාල ගොඩනැගිල්ල 1885 ඉදි කරන ලද්දකි ඊට පෙර පැවති දේව මන්දිරය ගංවතුර හේතුවෙන් විනාශවූ පසුව මෙය ඉදිකර ඇත එම මුල් දේව මන්දිරය ගජබා රජුගෙන් පසු ඉදිවූ බවට‍ ජනප්‍රවාදයේ සඳහන් වේ සෑම වසරකම මාර්තු මාසයේ දී අළුත් සහල් මංගල්ලයද(නානුමුර)පැවැත්වේ දේවාලයට පිවිසෙන පියගැටපෙළ මුදුනෙහි කළුගලෙන් නිම කරන ලද සතරැස් ගල් පුවරුවක් ඇත එය සඳගල යනුවෙන් හැඳින්වේ 


මෙම දෙවොලේ බල ප්‍රදේශ වශයෙන් ගම් 24 ක් ඇත එම බලප්‍රදේශයට අයත් සෑම කුඹුරකින්ම දෙවියන් වෙනුවෙන් විලාසක්‌ (අක්යාල) වෙන් කරනු ලබයි ඒ වෙනුවෙන් කපු මහත්වරුන් පුවක් මල් කිනිත්තක් හා අතු කැබැල්ලක් ගෙන දෙවියන්ට කන්නලව් කොට කුඹුරේ එල්ලති එවිට මැස්සන් පණුවන් ආදී කෘමි සතුන්ගෙන් කුඹුර ආරක්ෂා වී අස්වනු වැඩි වන බව විශ්වාස කරති මෙම දේවාලයට සළඹ ලැබීම පිළිබඳව ජනප්‍රවාදයක් ඇත දේවාලයේ සිට සැතපුම් 1 1/2 පමණ දුරින් පිහිටි අද කපුගෙ ඕවිට නමින් හඳුන්වන ස්ථානයක් ඇත  සෘධි සලඹක් එහි වරා ගහක රැඳී වරින් වර හඬ නැගෙනු ඇසෙන්නට විය මෙම පුවත දැනගත් අවට ප්‍රදේශ වල සෑම කපුමහතෙකුම කපුගෙ ඕවිටට පැමිණ මල් පැලවල් සාදාගෙන යාඥා කල අතර එම සළඹ හොලොම්බුව දේවාලයේ කපුමහතාගේ මල් පැලට සෘධියෙන් වැඩ ඇත අනතුරුව එය හොලොම්බුව දේවාලයට පෙරහැරින් වැඩම කරවූ බව පැවසේ තවද එම සළඹ රැකීම සඳහා නිරතුරුවම සුදු නයි පැටවකු එම අසල රැඳී සිටි බවත් ගමේ කිලිගෙයක් ඇතිවූ වහාම දේවාලය තුලින් වරින් වර සළඹ බල නැඟෙන හඬ දින 7 ගතවන තුරු ඇහුනු බව ද ප්‍රචලිත කරුණකි එ දක්වා නොකඩවා සෑම වසරකම පවත්වාගෙන ආ ඇසල පෙරහැර 1943 දී නතර වීමත් සමග එම සළඹ දේවාලයෙන් අතුරුදන් වී ඇත එවකට සිටි කපු මහත්වරුන් නියමිත පුද පුජා නොපැවැත්වූ හෙයින් මෙම සළඹ අතුරුදන් වූ බව ගැමියන්ගේ විශ්වාසය වේ 

සාරය සාර වශයෙන්ද, අසාරය අසාර වශයෙන් ද දකින නිවැරදි අදහස් ඇත්තෝ සාරාර්ථය වූ නිර්වාණය අවබෝධ කරති.
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine