#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

බොල්තුඹේ සමන් දේවාලය

1 comments
රාගාදී වූ එකොලොස් ගින්නකින් නිතර ඇවිල ගෙන දිලිසෙද්දී කුමන සිනාවක්ද කුමන සතුටක්ද අවිද්‍යාව නමැති අඳුරින් වෙළුන බව නිවන් එලිය නොසොයන්නේද.


මෙම දේවාලය රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොල්තුඹේ නම් ග්‍රාමයේ මෙම දෙවොල පිහිටුවා ඇත මෙම දෙවොල පුරාණයේ සිට ම රාවණ රජු දේවත්වයෙන් ඇදහු ස්ථානයක් බවටද ශාක්ෂි ඇත මෙම දේවාලයේ තිබුනා වූ  රාවණා කොඩිය සහ ඉපැරණි ලෝහමය රථය ශහ සොරගුණේ අලුත් නුවර සහ බොල්තුඹේ කඳසුරිඳුන් සහ සමන් දෙවිඳුන් ඇදහුවද පෙරහරේ ඉදිරියෙන්ම රාවණා කොඩිය ගෙන යාමෙන් පැහැදිලි වන්නේ රාවණා දේවත්වයෙන් පුද සත්කාර ලැබූ බවයි එසේම අදද මෙම දෙවොලේ කපු නිලය විසින් දේවයාඥාවලදී රාවණා සම්බන්ධ කවි ගායනා කරනු ලබයි මෙයින් අපට වඩාත් වැදගත් පැහැදිලි වන්නේ පුරාතනයේ මෙම ස්ථානය රාවණා රජු වෙනුවෙන් ඉදි කරනු ලැබූ පුජනිය ස්ථානයක් බවයි (සබරගමුවේ පැරණි ලියවිලි :කිරිඇල්ලේ ඥානවිමල හිමි)රා:ව:1593-1618 අතර කාලයේදී පළමුවෙනි රාජසිංහ රජු විසින් බොල්තුඹේ සමන් දේවාලය නමින් ආරම්භ කල මෙම දේවාලය සිරිපා මළුවේ සමන් දේවාලය මුල් කරගෙන සතර දිශාවට ඉදිකර ඇති දේවාල වලින් එකක් ලෙස සැලකේ 

මෙම දෙවොල ඉදි කිරීමට මුලික වශයෙන් බලපෑ හේතුව ලෙස සැලකෙන්නේ පෘතුගීසින් විසින් රත්නපුර සමන් දෙවොල විනාශ කල පසු ඇති වන්නාවූ හානිකර තත්වයෙන් පුජනිය වස්තුන් ආරක්ෂාවීමට සුදුසු ස්ථානයක් ලෙස මෙය හඳුනා ගැනීමයි ඒ අනුව පෘතුගීසින් සමන් වෙහෙර හා සමන් දෙවොල විනාශ කිරීමට පෙර එහි තිබු සියලුම වස්තුන් මෙම ස්ථානයට රැගෙනවිත් සුරක්ෂිතව තැන්පත් කර ඇත දුරාතිතයේ මෙම ස්ථානය මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව ලෙස ද හදුන්වා ඇත මෙම දෙවොලේ නිල රාජකාරි 58 පවතින අතර ඒ සඳහා ගම්බිම් පරිත්‍යාග කල ද වර්තමානය වෙන විට බොහෝ ඉඩකඩම් දේවාලයට අහිමි වීමෙන් වැදගත් වූ රාජකාරී කීපයක් නැති වීම නිසා ඒවා කුලීයට කර ගැනීමට සිදුව ඇත එබැවින් අන් දේවාලවල කුලී මෙන් රාජකාරී නැතිවී තිබේ බොල්තුඹේ සමන් දේවාලයට අළුත් සහල් මංගල්‍යය ගමන ආරම්භ කරන්නේ හුණුවල වෙල්යාය මැදින් ගලාබස්නා පේරැස් ඇළ නම් වූ ඇළට නැගෙනහිරින් ඇති දෙයියන්ගේ වේලේ සිටය මෙම වෙල්යාය සබරගමු මහ සමන් දේවාලයට අයත් ප්‍රවේණි ගමකි බොල්තුඹේ සමන් දේවාලයේ සිට පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනාට කෑම බීම ඉදුම් හිටුම් ආදිය සපයා දීම හුනුවෙල ගමේ රාජකාරිකරුවන් ඉටුකළ යුතු අතර වාර්ෂිකව බොල්තුඹේ සමන් දේවාලයට පොල් ගෙඩි 1000 ක් ලබාදියයුතු බවද සඳහන්වේ (සබරගමුවේ පැරණි ලියකියවිලි:කිරිඇල්ලේ ඥානවිමල හිමි)මෙම දෙවොලේ පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයන් 


  1. අවුරුදු කාර්තිය 
  2. ඇසල කාර්තිය 
  3. ඉල්මහ කාර්තිය 


නම් වේ කෙම්මුර දිනයන්හිදී සහ පෝය දිනවලදී දේවාලයේ මුළුතැන් පුජාව ඒ අතර මුල් තැන ගනී මෙම දේවාලයේ ඇසල පෙරහරේ මහ පෙරහැර විදි සංචාරය කිරීමේදී වැදගත් කරුණු කීපයක් සිදුවේ සමන් දෙවියන්ගේ වාහනය හස්ති රාජයා වුවත් දේවාලයේ පෙරහැරට හස්ති රාජයන් සම්බන්ධ කර ගැනීමට නුපුළුවන් වී ඇත්තේ මෙම දේවාල භුමියට හස්ති රාජයන් ගෙන යා නොහැකි බව ඉතිහාසයේ සිට පවතින මතයක් නිසාවෙනි අන් සෑම දේවාල පෙරහැරකම පන්දම් රැගෙන ගියත් මෙම දේවාලයේ පෙරහරේ පන්දම් ගෙන යාමක් සිදු නොවේ අදත් සිදු වන්නේ පහන් පැල නම් වූ ආලෝකය ලබා දෙන පහන් දල්වන ක්‍රමයකි දැනටමත් මේ සඳහා දේවාලයේ රාජකාරිකරුවන් ඇත මෙම දේවාලයේ ගොඩනැගිලි නිර්මාණය සබරගමු මහ සමන් දේවාලයේ ගොඩනැගිලි  වලට සමානතාවක් ඇත පියගැටපෙලවල් 15පමණ නැග්ග විට දඩුගල නම් වූ ස්ථානයක් පිහිටා ඇත එතැන සිට වේදිකාව දිගේ ගොස් තව පඩි 4 පමණ ගිය විට හේවිසි මන්ඩපයයි එයට යව දිග්ගෙය පිහිටා ඇත දේවාලයට දකුණු පසින් බෝධිය හා විහාරය ද උඩමළුවේ පත්තිනි දේවාලයද දිස්වේ දේවාලය වටා දිවෙන තුන මහල් ප්‍රාසාදයකි මෙම ප්‍රදේශයේ ගෙවල් ඉදි කිරීමේදී වහලවල් උස් නොවන සේ ඉදි කරන අතර මෙම දේවාලයේ ද උස් නොවූ වහලය දක්නට ලැබේ ඇත්දළ කැටයම් වලින් හා ලියකම් වලින් යුත් පැරණි උළුවස්ස ද මෙහි ගෘහ නිර්මාණයේ ඇති වැදගත් අංගයකි 

දේවාලයේ පුරා විද්‍යාත්මක වස්තු 




මෙහි දේවාල රථය ලෝහ වර්ගයකින් තුන් මහල් ගෙයකට සමාන ව නිම කරවා ඇත මෙහි රෝද නැත වටේට හංස පුට්ටු කැටයම් කර තිබේ හොන්ඩරයක් පමණ බර මෙය එළියට ගතහොත් එවෙලේම වර්ෂාව ඇති වන බව ප්‍රදේශයේ ජනතාවගේ මතයයි මෙම රථයේ ඉපැරණි අකුරු පෙලක්ද දක්නට ලැබේ මහ බලසම්පන්න රාවණා කොඩියක් මෙහි තිබුනද වසර 20ක් පමණ කාලයක සිට එම කොඩිය දිරාපත් වී ඇති බව වාර්තා වේ මහ මාලිගාවේ තැන්පත් කර ඇති දේවාභරණ කීපයක් පුජනිය භාණ්ඩ ලෙස තැන්පත් කර ඇත පැරණි උළුවස්ස සඳකඩපහණ කුඩා වෙහෙරක් උළුවහු කණුවල කල ඇත්දත් සහ ලෝහ කැටයම් තුලින් සමහරක්ද මේ දක්වා ඉතිරිව තිබේ 

දේවාලයේ සිදුවූ ආශ්චර්යමත් සිදුවීම් 

කොඩ්රින්ටන් නමැති ඉංග්‍රීසි පාලකය මෙහි පැමිණි අවස්ථාවක දී දේවාලය සතුව තිබු රාවණා කොඩිය එළියට ගන්නා ලෙස නියම කොට ඇත එය එළියට ගතහොත් මහා වර්ෂාවක් ඇද හැලෙන බව රාජකාරිකරුවන් පවසා ඇත එය නොපිළිගත් ඉංග්‍රීසි පාලකයාගේ බල කිරීමට මහානුබාවසම්පන්න රාවණා කොඩිය මාලිගාවෙන් එළියට ගත් විට ධාරානිපාත වර්ෂාවක් ඇති වී මාර්ගය ජලයෙන් යට වී ඇත එහෙයින් ඔහුට ආපසු ඒමට සිදු වුයේ අලියෙකු ගෙන්වා උගේ පිටේ නැග බව සඳහන් වේ මේ බව කොඩ්රින්ටන්ගේ දින පොතේ සටහන් කර තිබීමෙන් සිද්ධියේ සත්‍යතාව සනාථ වනු ඇත 

බස්නායක නිලමේවරු

බොල්තුඹේ සමන් දේවාලයේ භාරකරුවන් වශයෙන් 1842න් පසු සේවය කල බස්නායක නිලමේවරුන්ගේ නාමලේඛනය යම් පමණකට ණිවරදිව ඉදිරිපත් කිරීමට හැකිව ඇත 


  1. වෙලගේ බස්නායක නිලමේ (1842)
  2. දෙල්ගොඩ බස්නායක නිලමේ (1930-1940)
  3. යායින්නේ බස්නායක නිලමේ (1930-1940)
  4. එච්.ආර්.බි දෙල්ගොඩ බස්නායක නිලමේ (1950-1960)
  5. ප්‍රේමා දෙල්ගොඩ බස්නායක නිලමේ (1960-1968)
  6. ඇම් .ඒ.ජයසසිංහ බස්නායක නිලමේ (1968-1998)
  7. ආ.මු.ගුණසේකර බණ්ඩා බස්නායක නිලමේ 1998 සිට 

     
යමෙකු යුධයකදී මිනිසුන් ලක්‍ෂයක් දිනුවත් තමාගේ එකම ආත්මය දිනාගැනීම එයට වඩා උසස්ය යමෙක් තම ආත්මය දිනා ගනීනම් හෙතෙම යුධයෙහි දිනන්න වුන් අතර උත්තම වේ.
Read more »

දැරණියගල සමන් දේවාලය

0 comments
යමක්කොට පසු තැවෙන්නට නොවේද,යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුක්තව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය.


ප්‍රධාන පෙලේ සමන් දේවාල අතරට ගැනෙන දැරණියගල සමන් දේවාලයේ ඉතිහාසය ද කිර්තිය ද ඈතට දිවයන්නකි සීතාවක රජ ව සිටි මායාදුන්නේ තම ආරක්ෂක අතුරු මාලිගාවක් දැරණියගල ඉදිකොට තිබුණි වත්හිමි කුමරුද එහි කලක රැකවරණය ලැබිය දැරණියගලට කඳු+මැද +ගම  යන නාමය මුලදී ලැබී ඇත්තේ කඳුකරය අශ්‍රිතව එහි මධ්‍යයේ මේ අතුරු රාජ්‍ය නගරය තිබු හෙයිනි කඳුමැදගම දැරණියගල නමින් හඳුන්වන්නට වුයේ සීතාවක ගඟෙන් ජල පහරින් ගසාගෙන ආ  ලී කොට පටු ජල මාර්ගයේ තිබු ගල අසල දී හිරවී ජල ගැල්මක් බවට පත්වූ විට එම කොටන් කපා හැර මේ කුඩා නගරය බේරාගත් හෙයිනි දර+නිය+ගල පිහිටියේ තුන්කෝරළයේ අටළුගම් කෝරලය මධ්‍යයේය උඳුගොඩ තියඹරාහේන දේවාලයෙන් හමු වූ දේවාල පුවත පුස්කොල ග්‍රන්ථයේ සඳහන් හැටියට 1 වන රාජසිංහ රජ සමන් දෙවිඳුගේ සාමශරය පිහිටි තැන දැරණියගල දේවාලය කල බව සඳහන්ව ඇත 

1884 දී ලීවර්ස් නම් සුදු නිලධාරියා දැරණියගල පරික්ෂා වේලේ බොහෝ ගෞරවය ලබන පැරණි සමන් දෙවිඳුන්ගේ දේවාලයද පරික්ෂා කල බව සඳහන් වේ මෙම සමන් දේවාලය ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රවූ තැනකි දේවාලය බොහෝ දුර්වල තත්වයේ පැවතිනි බෙල් වාර්තාවලට අනුව දේවාලයේ ඉදිරි පියස්ස අඩි 10කි දිග්ගෙය අඩි 21කි දේවාල මාලිගාව අඩි 16 අඟල් 6කි පාත වීදිය හෙවත් පෙරහැර මගේ දිග අඩි 770 කි මෙම මාර්ගය අඩි 25ක් පමණ පලලය දැරණියගලින් එහාට ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයයි මෙහි ගඟෙන් එගොඩව කිතුල්ගල හරහා එරත්න පාරට ගොස් එතනින් සිරිපා වැඳීමට යාම දීර්ඝ කාලයක සිට කෑගලු දිස්ත්‍රික්කයේ ජනයා පුරුදුව සිටියහ සිරිපා අඩවියට ඇතුළු වුයේ සමන් දේවාලයේ දෙවියන්ට පඬුරු බැඳගෙනයි මහාමාර්ග ඇතිවීමෙන් පසු මෙම පැරණි සිරිත අභාවයට ගිය බව පෙනේ 

"පළමු කි වත්හිමි නුවරට දෙවරාජසිංහ වැඩමවා ,ගඟේ ජලය හරස් වූ ගොරක කඳ කප්පවා,ජලය බස්සවා ඒ නුවර සමන් දේවාලය කරවා ,නුග දරා සිටි සාමශරේ වැඩමොවා දේවාලේ පිහිටුවා වදාල පසු,නුග රුකෙහි සාමශැරේ ධරා සිටි අක්ෂියෙක් ධරනණියගල නම් තබා දැරණියගල දේවාලය කරවා ඊටනිසි ගම්වර ආදී සියලු පුද පුජා පවත්වා වදාල සේක.ශක වර්ෂයෙන් එක්දහස් තුන්සිය හැත්තෑ දෙකට පැමිණි වර්ෂයෙහි ඇසල මස අවපෑලවිය ලත් ගුරු දින අපරභාග වූ නැකතින් ශාමශැරේ දේවාලෙට වැඩමවිය

මෙහි සඳහන් වන පරිදි  මුලින්ම මෙම ස්ථානයේ සමන් දේවාලය ආරම්භ කර ඇත්තේ 1වන විජයබාහු රජ විසිනි සමන් දෙවියන් වෙනුවෙන් සමනොළ ,රත්නපුර ,බොල්තුඹේ ,මහියංගනය අලුත් නුවර සහ දැරණියගල දේවාල ඇත එයින් රත්නපුර දේවාලය මුල් තැන ගනී දැරණියගල සමන් දේවාලය අද ඉතා සිත්ගන්නා අයුරින් දියුණු කොට ඇත වම්පස කඳුගැටයේ පැරණි සමන් දේවාලය එදා හම්බානවෙල යන නමින් නම් කෙරුනේ සීතාවක රාජසිංහ රජු ගඟ දිගේ ඇතුලතින් අවුත් ගොඩබැසීම නිසාය  පසු කලෙක අසල කඳු ගැටය මත ප්‍රධාන සමන් දේවාලය ඉදිකර ඇත එහි දිග අඩි 65කි පළල අඩි 24කි මේ ස්ථාන දෙකේම කතරගම ,විභීෂණ ,විෂ්ණු දේවතා බණ්ඩාර ආදී දෙවිවරුන්ගේ අතුරු දේවාල රැසක් තනා ඇත පෙරහැර මග ඇත්තේ නව දේවාලය වටාය මෙහිද වාර්ෂිකව ඇසල මහ පෙරහැර පවත්වනු ලබයි  

දහම් රසය බොන තැනැත්තා පහන් සිතින් සුවසේ වෙසේ පණ්ඩිතයා ආර්යන් විසින් ප්‍රකාශ කරන ලද ධර්මයේ සැමදා ඇලේ .
Read more »

විමලධර්මසූරිය රජු ඝාතනය කිරීමට ආ මරාගෙන මැරෙන කණ්ඩායම

0 comments
මරුවාගෙන් පහර ලද්දහුගේ රැකවරණය පිණිස එන දරුවෝත් නැත .මවුපියෝත් නැත.නෑයොත් නැත. නෑදෑ ආදී කිසිවකුට ඔහුව බේරා ගත නොහැක



වීරසුන්දර බණ්ඩාරයන්ගේ පුත් කොනප්පු බණ්ඩාර හෙවත් "අවුස්ත්‍රීයාවේ දොන් ජෝන්" 1592 වර්ෂයේදී විමලධර්මසුරිය නමින් මහනුවර රජවිය .කාලයක් එතුමා පෘතුගීසින් සමග ගෝවේ පවා වාසය කල නිසා එතුමා පෘතුගීසි භාෂාව,සිරිත් විරිත්  පමණක් නොව යුධ උපක්ක්‍රම ද දැන සිටියේය .පෘතුගීසි කපිතාන් ජෙනරාල් ලෝපෙස් ද සුසා ඇතුළු සමස්ථ පෘතුගීසි සේනාවම සහමුලින්ම ඝාතනය කරමින් එතුමාට "දන්තුරේ " සටන ජයගත හැකි වුයේ ද ඒ නිසාමය සටනින් දෝන කතිරිනා බිසවද හිමිකරගත් විමලධර්මසුරිය රජු කලක් සඟවා තිබු දළඳා වහන්සේද සෙන්කඩගලට වැඩමවා ඒ සඳහා නව දළඳා මැදුරක්ද තැනවිය සටනට අතිදක්ෂ වූ මෙතුමා අතින් සීතාවක රාජසිංහ රජුද පැරදී පලාගියේය එතුමා සටන් සදහා කායබලය ආයුද පමණක් නොව උපායන් ද යොදාගත්තේය .ප්‍රථම වතාවට සෙන්කඩගල රාජධානියේ සුරක්‍ෂිත භාවය සඳහා ගරිල්ලා සටන් ක්‍රම හඳුන්වා දෙනු ලැබුවේ ද මෙතුමා විසින් බව සලකනු ලබයි බුරුමයෙන් සංඝයා වහන්සේලා වැඩමවා පිරිහී ගිය බුදු සසුන නගා සිටුවූ එතුමා රට පුරා කෙත්වතු කම්හල් හා මැණික් ආකර  පිහිටුවා  වී ,ආයුධ ,ධනය රැස් කළේය මල්වානෙන් කම්මල්කරුවන් ගෙන්වා දේශීය තුවක්කු නිෂ්පාදනය කරවීය . 

1 විමලධර්මසූරිය රජුගේ පාලන සමයේ මෙරට විසු කෘරතරම  පෘතුගීසි සෙනෙවියා ලෙස සලකන දොන් ජෙරනිමෝද අසවේදු 1602 දී පෘතුගීසි හා අතිවිශාල ලස්කිරිඤ්ඤ  හමුදාවක් රැගෙන උඩරට ආක්‍රමණය කළේය මේවනවිට බලන බලකොටුව විමලධර්මසූරිය රජු යටතේ පැවතී අතර කඩුගන්නාව දුර්ගය පසු කල අසවෙදුගේ හමුදාව බලන බලකොටුව පෙනෙන නොපෙනෙන තරම් දුරකින් කඳවුරු ලෑවේය දෙපිරිසම ආසන්නයේ ආසන්නයේ සිටියත් කිසිවකු පළමුව පහරදීම සඳහා ඉක්මන් නොවුහ අසවෙදුගේ ලස්කිරිඤ්ඤ සේනාවේ ප්‍රධානියා වුයේ සිමන් පිංඤෝ නමින් හැඳින්වුණු පෘතුගීසි සෙනෙවියකි ඔහු විවාහ වී සිටියේ සීතාවක රජ පවුලට ඥාතිත්වයක් දැරූ රජ කුමරියකි එමෙන්ම දරුණු යුධ සෙනෙවියකු වූ මොහු අතින් පසුකලෙක වීර කාංගරආරච්චි වැනි සිංහල රණ විරුවන් රැසක් මරුමුවට පත්වී ඇත මොහු එසේ විරුවකු යටත් කරන ආකාරය දැක්වෙන සටහනක් සමන් දේවාලයේ අදටත් දැක ගත හැකිය කලින් සටනකදී එක් ඇසක් අන්ධවී සිටි මොහු විරූපී වූ ඇත්තෙක් බව පත පොතේ සඳහන් වේ පසු කලෙක නිර්භීත සිංහල සොහොයුරන් දෙදෙනකු විසින් සිමන් ඝාතනය කල බවද ඒ නිසා සෙනරත් රජතුමා ඔවුන්ට‍ සිමන් මැරූ පතිරණ නම් නම්බු නාමයක් දුන් බවට‍ ජනප්‍රවාදගතව ඇත අදටත් රත්නපුර හා වැලිගම හල්ලල ප්‍රදේශවල සිමන් මැරූ පතිරණ වාසගම ඇති අය ජිවත් වෙති 

1 විමලධර්මසුරිය රජතුමා බලන සටන ජයගැනීම සඳහා උපායක් කල්පනා කළේය රජතුමා ලස්කිරිඤ්ඤ හමුදාවේ නායක සිමන් පිංඥෝ වෙත රහස් පණිවිඩකරුවකු යවා මෙම බලන සටනේදී තමන්ට උදවු කළහොත් තමන් සිමන්ට සීතාවක රජකම පිරිනමන බව පොරොන්දුවිය එයට සිමන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබිණි මෙසේ පණිවිඩ කීපයක් හුවමාරුවූ පසු සිය නියෝජිතයන් 5දෙනෙක රජු සමග රහස් සාකච්චාවකට එවිමට සිමන් එකගවිය විමලධර්මසුරිය රජු දොන් ජෝන් නමින් පෘතුගීසින් හා විසු සමයේ හඳුනාගත් හිතවත් පෘතුගීසි ජාතිකයකු වූ මැනුවෙල් ඩයස් නැමැත්තෙක් රජුගේ මහ අධිකාරම් ධුරයක් දරමින් රජ සභාවේ සේවය කළේය රජු කෙසේ වෙතත් මැනුවෙල් ඩයස්ට සිමන් පිංඥෝ පිළිබඳ සැකයක් ඇතිවී තිබුනේය කෙසේ වෙතත් හිටිගමන් කඳවුරු මාරු කල මැනුවෙල් ඩයස් පෘතුගීසින් හා එක්වීය මෙතෙක් එක්වීමට සිතාගන සිටියත් ඊට අවස්තාවක් නොලද බවද පැවසූ මැනුවෙල් ඩයස් දොන් ජෝන් (විමලධර්මසූරිය රජු) අකෘතඥයෙකු බවත් ඔහුට උදවු කල පෘතුගීසීන්ට ඔහු ද්‍රෝහිවූ  බවත් පැවසිය ඒ අතර පෘතුගීසි කපිතන් ජෙනරල්ට මැනුවෙල් විසින් රහසක් ද හෙළි කළේය එනම් ලස්කිරිඤ්ඤ හමුදාවේ නායක සිමන් පිංඥෝ රජතුමා සමග රහස් පණිවිඩ හුවමාරුකරන බවයි එයට අසවේදු විසින් එම සියල්ල තමාගේ අනුදැනුම ඇතිව සිදුවූ බවද ළඟදීම මරාගෙන මැරෙන භටයන් 5 දෙනෙකු රජු හමුවට යවන බවද ඔහු ඝාතනය කල පසු මුළු දිවයිනම පෘතුගීසින් සතු වන බවද පැවසිය විමලධර්මසූරිය රජු සමග සාකච්චා කරන අතරතුර කලවා අතර සඟවා තබාගත් කිනිසි ඇද රජු ඝාතනය කරන ආකාරය ද ඔහු හෙළි කළේය කතාකරගත් පරිදි නියමිත දින සිමන් පිංඥෝගේ විශේෂ යුධ පුහුණුව ලත් භටයන් 5 දෙනා රහස් මගින් බලන කොටුවට ගියේය එදින රාත්‍රිය ගෙවී ගියද අසවේදු හට කිසිඳු තොරතුරක් නොලැබුන හෙයින් ඔහුගේ ඔත්තුකරුවන් යැවිය මෙහිදී ඔත්තුකරුවන්ට දැකගැනීමට හැකිවී ඇත්තේ පෙරදින සාකච්චාව සඳහා ගිය භටයන් 5 දෙන මරා දමා ඔවුන්ගේ සිරුරු බලන කොටුවේ තාප්පයෙන් පහලට පෙනෙන ලෙස එල්ලා දමා තිබෙන ආකාරයයි

 මේ වනවිට පෘතුගීසින්ට එක්වී සිටි මැනුවෙල් ඩයස් ද පෘතුගීසි කඳවුරේ දක්නට නොවිය ඒ සමගම සිංහල ලස්කිරිඤ්ඤ හමුදාවේ ප්‍රධාන සෙනෙවියකු වූ කාංගරආරච්චි සිය සේනාංකයත් සමග අසවේදු බලාසිටියදීම කඳවුරෙන් පිටත්ව විමලධර්මසූරිය රජු සමග එක් විය මෙයට පෙර කපිතාන් ජෙනරාල් ලොපෙස්ද සුසා හට අත්වු ඉරණම අසා තිබු කපිතාන් ජෙනරාල් අසවේදු සිය සේනාවට කඳවුරු අතහැර කොළඹට පසු බැසීමට අණ දුන්නේය මේ සමගම විමලධර්මසුරිය රජුගේ සේනාව ප්‍රහාර එල්ල කරන්නට විය ඊතල හා වෙඩි වර්ෂා මැද ආපසු කොළඹට පැමිණියේ අසවේදුත් ඇතුළු 150 ක පමණ පිරිසක් බව සඳහන් වේ එම පිරිසට ද එසේ පැනගත හැකි වුයේ මාතර පෘතුගීසි පාලන ප්‍රදේශයේ දිසාපතිධුරය දරු සමරකෝන් රාල නැමැත්තා ආහාර සහ මග පෙන්වන්නන් ඇතුළුව පෘතුගීසීන්ට ආධාර සදහා පැමිණි නිසාවෙනි විමලධර්මසුරිය රජු මැරීම සඳහා වූ කුමන්ත්‍රණය ව්‍යර්ථ වුයේ රජුගේ අධිකාරම වූ මැනුවෙල් ඩයස් නිසාවෙනි ඔහු විසින් අසවෙදුගෙන් එම රහස දැනගත් වහාම රජුවෙත රහස් පණිවිඩයක් මගින් දන්වා යැවිය සිමන් පිංඥෝගේ භටයන් 5 දෙනා බලන කොටුවට යන විට විමලධර්මසූරිය රජු සිටියේ බලන කොටුව තුල නොවන බවත් ඊට සැතපුම් ගණනාවක් ඇත වූ සෙන්කඩගල පුරයේ බවත් සඳහන් වේ 
                
නිතර අනුන්ගේ දොස් සොයන්නා වූ ,අනුන් හෙළා තලා කතා කරන්නා වූ පුද්ගලයාගේ කාමාදී පාප ධර්ම වැඩේත් .ඔහු රහත් පලයෙන් ඈත්ය
Read more »

සබරගමු මහ සමන් දේවාලය

5 comments
ඇත්ත කිව යුතුය.අනුන්ට නොකිපිය යුතුය.අනිකකු යමක් ඉල්ලු කල ටිකක් වුවත් දිය යුතුය.මේ තුන් කරුණෙන් කෙනෙකුට දෙවියන් වෙත යා හැකිය


සබරගමු මහ සමන් දේවාලය යනු සබරගමු පළාතේ පිහිටා තිබෙන අති පූජනීය ස්තානයකි. පොළොන්නරු යුගයේ ශ්‍රී පාදස්ථානය ගැන රජවරුන් තුල ඇති වූ උනන්දුව ද සමන් දෙවිඳුන් ගැන අවධානය යොමු වීමට හේතු වුවා විය හැක ශ්‍රී පාදස්ථානයේ පළමුව සමන් දේවාලය ඉදිකරවුයේ 2 පැරකුම්බා රජු විසින් බව වංශ කතා වල දැක්වේ සිරිපා වැදීමට ගිය පැරකුම් නිරිඳු හට එහි සමන් දේව රුවක් නොතිබුණු නිසා පසුව ප්‍රතිරාජදේව නම් ස්වකිය අමාත්‍යවරයා ලවා සමන් දෙව් රුවක් සැකසීමට විධාන කිරීමෙන් අනතුරුව එම ඇමතිවරයා ගම්පොල ප්‍රදේශයේ ශිල්පියකු ලවා සමන් දෙව් රුවක් තනවා සමන් ගිරට ගෙන ගොස් ශ්‍රීපාද චෛත්‍යය භුමියෙහි පිහිටවා ඇතමුල්ම සමන් දෙවොල සිරිපා බිමේදී තැනුන බවට සාක්ශි ඇති අතර එම දෙවොලට සතර දෙසින් තවත් දේවාල සතරක් සාදා ඇත ඒවා නම්

  1. බටහිරින් රත්නපුර මහ සමන් දේවාලය
  2. උතුරින් දැරණියගල මහ සමන් දේවාලය
  3. දකුණින් බොල්තුබේ මහ සමන් දේවාලය
  4. නැගෙනහිරින් මහියංගන මහ සමන් දේවාලය

කන්ද උඩින් බැස්ස කලට පෙනේය උළු මාලිගාව 
බිම්බරකින් සෙනග ඇවිත් රුවට සැදෙව්  මාලිගාව 
රැ දාවල් අඳුර නැතිව රන් කොත් බබලන සොබාව 
ලංකාවට තිලකය ව ද සබරගමුවේ  මාලිගාව


යන කවියෙන් එදා ගැමි කවියා අගය කර ඇති රත්නපුර මහ සමන් දේවාලය ප්‍රමුඛ දෙවොලක් ලෙස සැලකේ.ඉහත විස්තරයේ සඳහන් ආකාරයට ප්‍රතිරාජදේව ඇමතිවරයා විසින් ශ්‍රීපාදයේ  තැන්පත් කල සමන් දේව රුවට පසුව කුමක් වී දැයි තොරතුරක් නැත එහෙත් සමන් සිරිත නම් වූ කාව්‍ය සංග්‍රහයේ දඹදෙණි පැරකුම්බා රාජ සමයේ සපරගමු වෙහෙර වැසි ශීලවංශ නම් හිමිනමක් සිරිපා වැඳුමට සමන් ගිරට ගොස් එහි රාත්‍රිය ගත කරද්දී සමන් දෙවිඳු බමුණු වේශයෙන් ඒ හිමි වෙත පැමිණ සමන් දෙවි රුවක් සමීප ගල්ගුහාවක ඇති බවත් එය රැගෙන ගොස් අරමේ තබා ගන්නා ලෙසත් දැන්වූ පසු ඒ හිමි පසුදින පහන්වූ විගස ඒ ලෙන නැරඹු විට පෙරකී සමන් දෙවි රුව දුටු බවත් සඳහන් වේ එම සීලවංශ තෙරිඳුන් විසින් මහා පෙරහරකින් එම සමන් දේව රුව සිරිපා මළුවේ සිට  

  1. කිනිදම
  2. දික්ලෙන
  3. සීතගඟුල
  4. මාරගල්පොත්ත
  5. දියබෙද්ම 
  6. නීලියහෙළ
  7. දොඩම්බැවිල
  8. පලාබද්දල
  9. බටපොල
  10. ගිලීමලය
  11. මල්වල
  12. රත්මලඇල්
  13. ගොඩිගමුව
  14. රත්නපුරය
  15. ගල්කඩුව
  16. සපරගොමුව
  17. සපරගොමු වෙහෙර 
යන පිළිවෙලින් සමන් දෙව් රුව රැගත් පෙරහැර සපරගමු වෙහෙර දක්වා පැමිණි ආකාරය පෙරකී සමන් සිරිතේ දැක්වේ. සපරගොමු ගමේ විහාරස්ථානය පිහිටා තිබිණු නිසා සපරගොමු වෙහෙර කියා ප්‍රකටව ඇත මහා පැරකුම්බා රජුගේ කතිකාවත් සංඝ සම්මේලනයටත් සපරගොමු වෙහෙර වැසි භික්ෂුන් වහන්සේ සම්බන්ධ වී ඇත සපරගොමු වෙහෙරට සමන් දෙවිරුව වැඩම කරවීමෙන් පසු එය සමන් වෙහෙර වූ බව පෙනේ  දඹදෙණී යුගයේ දෙවන පැරකුම්බා රජ දවස ආර්යකාම දේව නම් නම් ඇමතිවරයා මැණික් ගැරීමට සබරගමුවට ගිය බවත් තමන්ට වටිනා මැණිකක් ලබා දුන්නොත් තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බව සමන් සිරිතේ සදහන්ය 




සුරිදුනි සිරි බර
අප මිණි කම් කරන වර
ලදුවොත් මිනි පවර 
ගෙයක් කරවමි තුන් මහල් කර 



මෙම සමන් දෙවොල වඩාත් සංවර්ධනය වී ඇත්තේ කෝට්ටේ කාලයේ විසු vi වැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදීය එම රජු විසින් පිහිටුවා ඇති ශිලා ලේඛනයේ සඳහන් ව ඇත මෙම ආකාරයට ඉදිවූ සමන් දෙවොල කෝට්ටේ රාජ්‍ය සමයේදී මහත් දියුණුවක් ලැබූ බව සඳහන්වේ මෙම දේවාලය සඳහා ගම්වර ලෙස 

  1. සපරගොමුව 
  2. වෙරළුපේ
  3. රත්නපුරේ
  4. තලාවිටිය
  5. මිල්ලවිටිය
  6. අමුවල
  7. බොළුතුඹය
  8. කොලොම්බුගම
  9. පැබොටුව
  10. හංගමුව
  11. ලෙල්ලෝපිටිය
  12. බෝපැත්
  13. මානියම්ගම
  14. උග්ගල්බඩ
  15. දැරණියගල
  16. කෙහෙල්බටුවාව
  17. හේනේගම
  18. නාකන්දල
  19. කොලවෙනිගම
  20. කලමැටියාව
  21. කොටහැර
  22. දිඹුල්වල
  23. දෙහිපාවල
  24. මොරහැල
  25. එරත්න
  26. හල්පේ 


යන ගම 26 දේවාලයට හා විහාරයට පිදු බව සඳහන්වේ දේවාලයේ බණ පිරිත් සඳහා පැමිණෙන භික්ෂුන් වහන්සේ තුන් නම සඳහා සිවුපසය සැපයීමට මෙනේරිපිටිය ,උඩුවාතන,හා ගැටන්ගම,යන තුන් ගම් තුනුරුවන් සඳහා පුදා එම ආගමික නායකත්වය සඳහා පැපිලියාන විහාරයේ ගලතුරුමුල මේධංකර තෙරපාණන්ගේ ශිෂ්‍ය මංගල තෙරණුවන්ට පිරිවෙන් නායකත්වය පැවරු බව සඳහන් වේ මේවන විට සමන් වෙහෙර පිරිවෙනක්ද වී තිබු බව මේ ශිලා ලේඛනයෙන් පැහැදිලිවේ එය සත්‍ය බව අලගියවන්න මුකවෙටිතුමාගේ සැවුල් සංදේශයේ කවි වලින් මනාව ප්‍රකට වේ 


සීතාවක සමයේ විසු අලගියවන්න කිවිඳුන් සිය සැවුල් සංදේශය යවා ඇත්තේ පළමුවන රාජසිංහ රජුට ජයපතාය එකල රාජසිංහ රජු හා පෘතුගීසින් අතර දැඩි ලෙස සටන් පැවතී ඇති අතර මේ නිසා සටනින් ජයපතා රජු සමන් දෙවියන්ට භාරයක් වී තිබේ එය සපල වූ නිසා රජු තුල සමන් දෙවිඳු කෙරෙහි ඇතිවූ භක්තිය නිසාවෙන් සමන් දෙවොල සංවර්ධනය සඳහා මහත් අනුග්‍රහයක් දක්වා ඇත එවකට දෙල්ගමුව විහාරයේ සඟවා තිබු දළදා වහන්සේ සමන් දෙවොලට වැඩමවා පෙරහැර පැවැත්වීමට ක්‍රියාකර ඇත නින්දගම් 28 ක් පිදවිලි ගම් 360 ක් ගම්වර ලෙස පුදා ඇත මේ සියලු ගම්වල ඉඩම් භූක්ති විඳින අයට සමන් දෙවොලේ කිනම් හෝ රාජකාරියක් නියමිතව ඇත 1 වන රාජසිංහ රජුගේ හදිසි අභාවය සමන් දෙවොලේ පරිහානියට හේතු විය පෘතුගීසින් සපරගොමුව යටත් කර සමන් වෙහෙරත් දෙවොලත් සම්පුර්ණයෙන් වනසා දමා ඒ භුමියේ සැන්සැල්වදෝර් නම් පල්ලියත් පාලන ගොඩනැගිල්ලත් හමුදා ඒකකයත් පිහිටුවීම නිසා මේ පරිහානිය සිදු විය සමන් දෙවෝලේ පැවති දේවාභරණ ආදිය එවකට සිටි කපුරාලලා විසින් රහසිගත ස්ථානවලට ගෙනගොස් තැන්පත් කල බව සිරිත් පොතේ සඳහන්වේ පෘතුගීසින් සපරගොමුව පාලනය කරන කාල පරිච්චේදයේ ඉඩම්ගොඩ මලසුන් ගෙයක දේවාභරණ තැන්පත් කර පුදපුජා කළබවද සිරිත් පොතේ සදහන්වේ පෘතුගීසින් විසින් සමන් විහාරයේ හා දෙවොලේ කොටස් සමීපයේ ඇති කළු ගඟට වීසි කර ඇති බව පෙනේ ගඟදිය බැසගිය නියං කාලවල ‍ගඟපතුලේ ඇති එම නටබුන් පෙනෙන බව දුටු අය පවසති ගඟට බසින පඩිපෙළවල් සඳහා කඩා බිඳ දැමු ගල් පුවරු සවිකර ඇති බව අද වුවද පෙනෙන්නට ඇත පෘතුගීසි අභිලේඛනයක් සහිත නාම පුවරුව පෘතුගීසින් සිහිගන්වන සංකේතයකි පෘතුගීසි විලොපනයෙන් පසුව සපරගොමුව යලිත් 2 රාජසිංහ රජු විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව සමන් දෙවොල යලිත් ගොඩ නැගිය 
                                                           
අද පවත්නා සමන් දේවාල සංකීර්ණය 2 රාජසිංහ රජුගේ නිර්මාණයකි මෙහිදී සමන් දෙවොල පිළිබඳව සැබෑ තතු සොයාගැනීම දුෂ්කර කරුණක් වන්නේ 1 වන හා 2වන රාජසිංහ රජවරුන් කල සේවාවන් පැටලී ඇති බැවිනි 2 රාජසිංහ රජු කල අභිනව ඉදිකිරීම් වල දී ඒ වනවිට පෘතුගීසින් විසින් කඩා බිඳ දමන ලද වෙහෙර විහාර ඒ ආකාරයෙන්ම ගොඩනගන්නේ නැතිව පෘතුගීසි පල්ලිය තිබු තැන සමන් දේවාල ගොඩනැගිල්ල ඉදි කරවා එයට ප්‍රධාන තැන හිමිකර උතුරු පසින් කුඩා බුදුමැදුරක් තනා ඇත පෘතුගීසි විලොපනයේ ප්‍රධාන ප්‍රතිපලය ලෙස සැලකිය හැක්කේ එතෙක් ප්‍රමුකස්ථානය ගෙන තිබුණු බෞද්ධ විහාරස්ථානය ද්වීතිය ස්ථානයට පත් වීමයි සමන් වෙහෙර සමන් දෙවොල බවට‍ පරිවර්තනය විය  

සමන් දේවාල සංකීර්ණයේ ගෘහ නිර්මාණය

අභිනවයෙන් ගෘහ නිර්මාණයක් කිරීමේදී ඒ සඳහා යොදාගන්න ගෙබිම දිර්ඝකාලින අවශ්‍යතාවන් දෙස බලා ඉදිරියේදී අතුරු ඉදිකිරීම් නොකිරීමටත් මුලික අවශ්‍යතාවයන් ඉටු වන පරිදි කලාත්මකවත් වාස්තු විද්‍යාවට ගැලපෙන ආකාරයෙනුත් සැලසුම් කලයුතුය සමන් දෙවොල පිහිටි ගෙබිම ශතවර්ෂ ගණනාවක් සපරගොමු වෙහෙර පිහිටි ස්ථානයයි එහි පෙර පවතී ගොඩනැගිල්ල සියල්ල පෘතුගීසින් විසින් වනසා ඔවුන්ගේ ගොඩනැගිලි ඉදිකර තිබු බැවින් ඒවා ඉවත්කර අභිනවයෙන් සමන් දෙවොල ඉදිකිරීමේදී 2 රාජසිංහ රජුට පුදබිමකට අවශ්‍ය චිත්තාකර්ශනිය සැලැස්මක ක්‍රියාත්මක කිරීමට‍ අවස්ථා  ලැබී ඇත 

  • මාලිගාව -:මහල් 3කින් යුක්තය ප්‍රධාන ගොඩනැගිල්ලයි බිම්මහල සඳුන් කූනම නම් වේ මෙහි දෙවොල් පුද සිරිත් සඳහා වූ භාණ්ඩ තැන්පත් කර ඇත දෙවැනි මහල අගනා වස්තු තැන්පත් කරන ගබඩාවයි තෙවැනි මහලේ සමන් හා විෂ්ණු දේවරුප තැන්පත් කිරීමට වෙන කර ඇත තෙවැනි මහලේ දල්වන පහන ,සිංහාසන මණ්ඩපයේ දල්වන පහනේ එලිය සමග එක්වේ
  • දික්ගෙය-:මාලිගාවට යාබදව අඩි 60ක් පමණ දික්වූ ශාලා ගොඩනැගිලි මෙනමින් හැඳින්වේ මැද අඩි 14ක් පමණ පළලින් කණු දේපේලියකි ඒ වටා අඩි 4 1/2 ක පටු තීරයක් ඇත දෙපස බිත්ති වල ඇඳ තිබුණු චිත්‍ර පසුකල සුනුපිරියම් කිරීමෙන් වැසි ගොස් ඇත දෙවොලට නිතර බැතිපුද සදහා පැමිණෙන බැතිමතුන් පුජා වෙලාව තෙක් රැදී සිටින්නේ මෙහිය 
  • 1 වන මකර තොරණ -: සඳුන් කූනමට පිවිසෙන දොරටුව ඉදිරියෙන් දික්ගෙය කෙළවර මෙම මකර තොරණ ඇත 2 මකර තොරණ ඇත්තේ දික්ගෙයට පිවිසෙන දොරටුව ඉදිරිපසය මෙම තොරණ දෙකේම කලාත්මක බව සුණුපිරියමින් වැසි තිබේ 
  • ශාන්ති මණ්ඩපය -:සමන් දෙවොලේ පිවිසුම් පියගැට පෙළ අවසානයේ පිහිටා ඇත්තේ ශාන්ති මණ්ඩපයයි මෙම ශාන්ති මණ්ඩපයේ ඉදිරිපස උළුවස්ස දෙපස ඇතුළු පැත්තේ උතුරු පසට සිව වටුක රූපයත් දකුණු පසට මාලි රූපයත් ඇඳ තිබුනත් ඒවා මැකී යමින් පවතී 
  • ඉදිරිපස උළුවස්ස -:කලාත්මක කැටයම් සහිත ගල් උළුවස්සකි දෙපස කණු දෙකට නොගැලපෙන හරස් මුදුන් පුවරුවකින් යුක්තය පෞරාණිකමය අගයෙන් යුක්ත වේ මෙය පැරණි සමන් විහාරයේ නටබුන් කොටසක් වශයෙන් සැලකේ මෙය පෘතුගීසින් විසින් මළුවේ වලලා තිබී හමුව අභිනව ඉදිකිරීමේදී සවිකළ බව සිරිත් පොතේ ඇත
  • දළඳා ගෙය -:සමන් දෙවොලට උතුරින් පිහිටා ඇත චතුරස්‍රාකාර ව වටා ආලින්දයක් හා මැද ප්‍රතිමාලයක් සහිතව ඉදිකර තිබේ ඇතුලත නුවර යුගයේ ප්‍රතිමාවක් හා එම යුගයටම අයත් අසු මහා ශ්‍රාවක රූපවලින් බිත්තිය පින්තාරු කර ඇත ඉදිරිපස දොරේ කලාත්මක නාරිලතා සිත්තමක් ඇඳ ඇත
  • පත්තිනි දේවාලය -:දෙවොලට දකුණු පසින් පත්තිනි දේවාලය ඇත එය ද දළඳා ගෙයට සමාන ව වටා ආලින්දයක් සහිතව ඉදිකරවන ලද්දකි ඇතුලත පත්තිනි දේවාභරණ තැන්පත් කර ඇත
  • ලිඳ-:සමන් දෙවොලට සමීපව උතුරු දෙසින් අති පුරාණයේ සිට පැවත ගෙන ආවකියි සැලකිය හැකි ගැඹුරු ලිඳක් ඇත මේ ලිඳ වටා පෘතුගීසි ගෘහ නිර්මාණ කලාව අනුව තනා ඇති ගෘහයක් ඇත 
  • තේවා නිවාස-:දෙවොලට හා ළිඳට උතුරු පසින් තේවා නිවාස පේලිය පිහිටා තිබේ මේ කාමර සංකීර්ණයට කපු හා බත්වඩන නිල්දරුවන්ගේ කාමරත් මුරුතැන් පිසින ගෙයත් ගබඩා කාමරයත් අයත්වේ මුරුතැන් කඳ රැගෙන දේවාලය වෙත පැමිණෙන්නේ මෙම සංකීර්ණයේ පිහිටි මුරුතැන් ගෙයි සිටය
  • ආනාමේස්ත්‍රය-:පුරාණ විහාර දේවාලය වටා ප්‍රාකාරයක වුවමනාවත් පහන් ගෙයක ප්‍රයෝජනයත් තකා ඉදි කල කලාත්මක ආවරණයක් ආනමෙස්ත්‍රයෙන් බලාපොරොත්තු වුවා විය හැක මෙහි වැසි දිනක පහන් දැල්වීමට අවශ්‍ය තුන්හුලස් කපොළු ඇත අවට බැලීමට පහසු වන පරිදි අඩි 3 1/2 කට පමණ ඉහළින් බීරළුද යොදා තිබේ පුරාණයේ සෙවිලි කර ඇත්තේ සිංහල උළුය සමහර විට පෙති උළු සෙවිලි කළා ද විය හැක වෙනත් සියලු ගොඩනැගිලි වල පෙති උළු සවිකර තිබේ 
  • ඉදිරිපස ආලින්දය -:ඉදිරිපස උළුවස්සට ඉහලින් හා දෙපසින් උත්සව අවස්ථාවලදී සම්භාවනීය අමුත්තන්ට මහා මළුව දෙස නෙත් යොමු කිරීම සඳහා යයි සිතිය හැකි පටු ආලින්දයක් ඇත
  • පත්තිරිප්පුව -:ඉදිරිපස පියගැට පෙළට දකුණු පසින් පත්තිරිප්පුව තනා ඇත දළඳා කරඩුව ඇතා පිට තැන්පත් කරන්නේ මේ පත්තිරිප්පුව මත දිය 
  • දෙපස වේදිකා -:මහ මළුවට මුහුණලා පියගැට පෙළ දෙපස අමුත්තන්ට පෙරහැර නැරඹීම සඳහා ඉදි කරවා ඇති වේදිකා දෙකක් ඇත උතුරුපස වේදිකාවට පහතින් පියගැට පෙළට ආසන්නව පෘතුගීසි හේවායා සහිත සුප්‍රකට ලාංචනය පිහිටුවා ඇත
  • රථ ගෙය -:උතුරු පස වේදිකාව හා මහ මළුව අවසානයේ පෙරහරේ දෙවියන් වැඩම වීම සඳහා තනා ඇති රථය තැන්පත් කිරීමට තනා ඇති රථ ගෙය ඇත
  • මඩම් දෙක-:මහ මළුවට මුහුණ ලා උතුරු දකුණු දෙපස අඩි 20x20 ප්‍රමාණයේ වේදිකා දෙකක් ඇත උත්සව අවස්ථාවලදී මඩම් නමින් දැක්වෙන මෙම වේදිකාවල දී නැටුම් සංදර්ශන පැවැත්වේ 
  • වාහල් කඩ-:මහ මළුවට පිවිසෙන ස්ථානයේ නැත්නම් සංහිදේ වීදිය හෙවත් හුණුවල වීදිය අවසන් වන ප්‍රධාන දොරටුව පළමු වාහල් කඩයි අඩි 20 ක් පමණ උසින් හා පළලින් යුත් මෙම වාහල් කඩ උළු සෙවිලි කල එකකි මහ මළුවේ සිට පෙරහැර වීදි බසින කළුගඟ පසට යොමුවී ඇත්තේ ඇසල පෙරහැර සඳහා වූ වාහල්කඩයි මෙයද ප්‍රධාන වාහල්කඩට සමාන වුවකි 
  • සඳගල -:පියගැට පෙළ පාමුල සඳගල පිහිටා ඇත සම්පුර්ණ හඳක ස්වරූපය පෙන්වා දෙන මෙම සඳගල සාම්ප්‍රදායික සඳකඩ පහනට වෙනස් වුවකි මරණ වැනි කිළිවයට හසුවුවන් සඳගලෙන් ඔබ්බට පියනැගිමේ සිරිතක් නැත සමන් දෙවොලේ සඳගල අරුත්සුන් නිකම්ම ගලක් නොව ශුද්ධ භුමියට ඇතුළු වන තැන පිහිටුවා ඇති මුරගලක් වැනි මායිම සංකේතයයි
  • දෙබෙද්මේ ගල් කණු -:සඳගල හා පියගැට පෙළත් ඉදිරි වාහල්කඩත් අතර ඇති මැද බිම කොටස හැර දෙපස මඩම් දක්වා විහිදී ඇති මහ මළුව බෙද්ම දෙකකට බෙදී ඇත දකුණුපස එගොඩ බෙද්මටත් උතුරු පස මෙගොඩ බෙද්මටත් වෙන වී ඇත ඇසල උත්සව කාලවකවානුවේ අලි ඇතුන් සහිත රාජකාරිකාරයන්ට රැඳී සිටීමට මෙම බෙද්ම වෙන් කර තිබේ ගල් කණුවලින් මායිම වෙන් කර ඇත
  • මහ මළුව -:නැටුම් රඟ දැක්වෙන්නේත් ඇසල පෙරහැරේ අලි ඇතුන් හා නැටුම් කණ්ඩායම පෙරහැර පිටත් වෙනතුරු රැඳී සිටින්නේත් මහ මළුවේය කොතරම් විශාල පිරිසක් පැමිණියත් මහ මළුව නොපිරෙන බව සමහරු විශ්වාස කරති 
  • බස්නායක නිල නිවාසය -:පිට කට්ටලේ රාජකාරිකරන්නන් සඳහා නිල කුටි ඇත්තේ ප්‍රධාන වාහල්කඩින් පිටත දේවාල උද්‍යානයේ තුලය බස්නායක නිල නිවාසය උතුරු පසින් පිහිටා ඇත අතර දකුණු පසින් ආරක්ෂක නිලධාරීන්ට හා පිට කට්ටලේ වෙනත් රාජකාරීන් සඳහා නිවාස වෙන් කර තිබේ 
  • නැරඹීම් ශාලාව -:බස්නායක නිල නිවාසයට ඉදිරිපසින් හුණුවල විදියට යාබදව මහ පෙරහැර ගෙවැදීමට එන ප්‍රභූන් සඳහා නිරීක්ෂණ කුටියක්‌ වශයෙන් මෙම කුඩා ශාලාව තනා ඇත
  • බස්නායක නිලමේගේ විවේක ස්ථානය -: සිංහාසන මණ්ඩපයට ඉදිරියෙන් හුනුවල විදියට යාබදව උතුරු පසින් මෙම විවේක ස්ථානය ඉදිකර ඇත විදි බැස්ස දේවාභරණ සිංහාසන මණ්ඩපයේ  තැන්පත් කරන කාල පරාසය තුල බස්නායක නිලමේ විවේක ගැනීම සඳහා සකස් කල ස්ථානයේ නතර වී සිටිය යුතු වේ 
  • රික්තා ගෙය නම් වූ සිංහාසන මණ්ඩපය -:දේවාලයෙන් එලියට වැඩමවූ දේවාභරණ පෙරහැර ගෙවැදීමට නියමිත නැකත් වෙලාව සමීප වන තුරු බාහිර ස්ථානනයක තැන්පත් කල යුතු බැවින් ඒ සඳහා සිංහාසන මණ්ඩපය ප්‍රෝයෝජනයට ගැනේ 
  • සතර වීදි-:කුඹල් වීදිය උඩු වීදිය කුරුවිට‍ ගම්පහේ වීදිය සංහිදේ හෙවත් හුණුවල වීදිය යයි වීදි 4කි විදියෙන් වීදියට පෙරහැරේ දවුල් නාද රටාව ද වෙනස් කරනු ලැබේ පෙරහැර කුඹල් විදියෙන් අරඹා සංහිදේ විදියෙන් අවසන් කෙරේ 
  • පිට වීදිය -:පෙර දැක්වූ වීදි 4ට අමතරව මේවාට පිටු පසින් පිට වීදිය නම් වූ වීදියක් තිබිය යුතු වුවත් අද එම පිට වීදිය භාවිතා නොකෙරේ මෙහි ගමන් කර ඇත්තේ මහ පෙරහරට ආරක්ෂාව සපයන නිලධාරීන් පිරිසකි 


නිලධාරීන් 

සමන් දෙවොලේ නිලධාරීන් දෙවර්ගයක් ඇත එක් වර්ගයක් හඳුන්වන්නේ කට්ටල යන නමිනි ඇතුල් කට්ටලේ යයි හඳුන්වන්නේ දේවාලේ ඇතුලත සම්බන්ඳව දෙවියන්ට තේවාවන් කරන්නන්ය පිට කට්ටලේ ලෙස සැලකෙන්නේ දේවාලය පවත්වාගෙන යාමට බැදී සිටින පිරිසය දෙවියන්ට පුද පුජා පවත්වන පිරිස වේ රට පාලනය කරන රජු වෙනුවෙන් දේවාලයේ පරිපාලන කටයුතු සඳහා පත් කල තැනැත්තා රාජ විධානයේ බසේ නායකයා බස්නායක නමින් හැඳින්වේ සමන් දෙවොල මුලින්ම ඉදිකරව එහි පරිපාලනයට ආර්යකාමදේව දේව ඇමතිවරයා පත් කරන ලද්දේ 2 පරාක්‍රමබාහු රජුය පසුව ආර්යකාමදේව දේව පරපුරේ අය දිගටම උරුමයක් ලෙස සමන් දෙවොලේ පරිපාලන කටයුතුකර ඇත කෝට්ටේ රජ කල 6 පරාක්‍රමබාහු රජු විසින් පිහිටුවන ලද සමන් දේවල තල් සන්නසේ රථ නායක බස්නායක රත්නායක මුදන්නායක යන ප්‍රධාන තනතුරු පිහිටවන ලද බවත් නීලප්පෙරුමාලුන්ට බස්නායකකමත් මයිලප්පෙරුමාලුන්ට මුකවේට්ටි කමත් පැවරු බව සඳහන් වේ නීලප්පෙරුමාල් හා මයිලප්පෙරුමාල් දෙදෙනාම ආර්යකාමදේව පරපුරට අයත් බව සමන් සිරෝපාදය කියයි .සැවුල් සංදේශයේ එන පරිදි සීතාවක රාජ්‍ය කාලය වන විට දේවාලයේ බස්නායක තනතුර දර ඇත්තේ පෙර කි ආර්යකාමදේව පරපුරේ නානම්බි කුරුප්පු නමැත්තෙකි අනතුරුව මෙම කුරුප්පු පරපුර එක්නැලිගොඩ මහ බස්නායක නිලමේ දක්වා පැතිරී තිබේ ඉන්පසුව කුරුප්පු පරපුරෙන් පැමිණි බස්නායක පදවිය එම එක්නැලිගොඩ අක්කරක් කුරුප්පු පරපුර හා නෑකම් ඇති කරගත් සපරගොමුවේ වෙනත් රදල පරම්පරාවට ද ලැබී ඇත 

බස්නායක නිලමේවරුන්

  1. එක්නැලිගොඩ මහා බස්නායක නිලමේ 
  2. එක්නැලිගොඩ බස්නායක නිලමේ 
  3. දොළොස්වල බස්නායක නිලමේ                     
  4. පස්සරමුල්ල බස්නායක නිලමේ
  5. දොළොස්වල බස්නායක නිලමේ 
  6. ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ 
  7. එබෙතොට බස්නායක නිලමේ 
  8. එක්නැලිගොඩ බස්නායක නිලමේ 1800 (මොහු රාජ උදහසට ලක් වී දිවිනසාගෙන ඇත) 
  9. ඇලපාත බස්නායක නිලමේ 
  10. මාකඳුරේ බස්නායක නිලමේ 
  11. වාරිගම බස්නායක නිලමේ 
  12. දොළොස්වල බස්නායක නිලමේ 
  13. මහවලතැන්න බස්නායක නිලමේ 
  14. එක්නැලිගොඩ බස්නායක නිලමේ 1818-1823
  15. එක්නැලිගොඩ බස්නායක නිලමේ 1823-1824
  16. දෙල්ගොඩ බස්නායක නිලමේ 1824-1829
  17. එක්නැලිගොඩ බස්නායක නිලමේ 1829-1839
  18. ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ 1839-1846
  19. ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ1846-1888
  20. එක්නැලිගොඩ බස්නායක නිලමේ 1888-1913
  21. ඇලපාත බස්නායක නිලමේ  1913-1923(රටේ මහත්මයා )
  22. ගුණසේකර බස්නායක නිලමේ 1923-1944
  23. එල්ලාවල බස්නායක නිලමේ 1944-1947
  24. හැරල්ඩ් වේරගම බස්නායක නිලමේ 1958-1968
  25. උපාලි කටුගහ ඇලපාත බස්නායක නිලමේ 1971-1981
  26. ඇන්ටන්තෙන්නකෝන් බස්නායක නිලමේ 1981-1999
  27. නිලංග ප්‍රදීප් දෑල බණ්ඩාර බස්නායක නිලමේ 1999සිට මේ දක්වා

සීතාවක 1 වන රාජසිංහ රජුගේ කාලයේ පටන් සමන් දෙවොලේ පරිපාලන කටයුතු බස්නායක නිලය යටතේ පැවැත්වේ මහනුවර යුගයේ පරිපාලන කටයුතු සඳහා රටනායකපදවිය පත් කෙරී ඇති අතර රටනායක යටතේ බස්නායක කටයුතු කර ඇත බස්නායක පදවිය ලගට වැදගත්වන්නේ දේවාලය සතු සියලු වටිනාකම් ආරක්ෂා කරන රත්නායක නිලයයි මුදන්නායක පදවියට පැවරී ඇත්තේ දේවාලේ අරමුදලේ භාරකාරත්වයි වන්නකු යනු ලේකම් පදවියයි මෙම පදවිය සඳහා මුකවේට්ටි නමින්ද හදුන්වා ඇත වර්තමානයේ බස්නායක පදවිය ළඟට පිට කට්ටලයේ වගකිවයුතු ප්‍රධාන නිලය වන්නේ ලේකම් පදවිය වේ ඇතුල් කට්ටලය කපු ,බත්තන,පැන් වඩන ,පලිහන ,කුඩ,චාමර ,උඩුවියන් හා ලංස යන නිලවලට බෙදී ඇත ප්‍රධාන නිලය කපු නිලය වේ සියලු පුද පුජා දෙවියන්ට කැපකරන්නේ කපු පදවියයි ඉහත සඳහන් ඇතුළු කට්ටලය  සියලුම නිල සදහා බෙද්ම දෙකට නිල දෙක බැගින් යෙදී ඇත ශ්‍රී නාරායන විජය නාරායන කපු පරම්පරා දෙකෙන් ක්‍රියාත්මක වන්නේ විජය නාරායන කපු පරපුර පමණි 

තේවාවන් (සේවාවන්)

ඇතුළු කට්ටලය නිලධාරින්ට දේවාලයේ අභ්‍යන්තරයේ ඇති තේවාවන් පැවැත්වීම පැවරී ඇත දේවාලයේ නිත්‍ය සේවාව කරන ඇතුළු කට්ටලේ රාජකාරින්කරන්නන්ට දිනපතා කල යුතු තේවාවන් ඇත 

1 හිල්ම තේවාව 
2 දහවල් මහා තේවාව 
3 හැන්දෑ මහ තේවාව 

මේවා දිනපතා කල යුතු වේ මෙයට අමතරව අලි අඳුර තේවාව හා බොලපැන් තේවාව යයි අතිරේක තේවා දෙකක්ද දිනපතා කල යුතුව ඇත දළු මුර තේවාව නමින් නිය අල ,එනසාල් ,බුලත් පුවක් හා හුණු යන ද්‍රවය ඇතුලත් විශේෂ තේවාවක් ද ඇත මෙයට අමතරව නානු මුර මංගල්‍යය නම තේවාවක් ඇත එය දෙවියන් ස්නානය කරවීම සඳහා සිදු කරනු ලබන්නකි අලුත් සහල් මංගල්ල දෙකක් ද බෙද්ම දෙකෙන් පැවැත්වේ මෙයට අමතරව මසක් පාසා පෑලවියෙන් පෑලවියට පැවැත්විය යුතු වස් ශාන්තිය නම් වූ චාරිත්‍රයක් පෙර පැවතුනත් අභාවයට ගොස්ය වාර්ෂික වශයෙන් පැවැත්විය යුතු කාර්ති උත්සව 4ක් ඇත ඒවා 

1 දුරුතු මහ කාර්තිය
2 අලුත් අවුරුදු කාර්තිය 
3 ඇසල මහ කාර්තිය 
4 ඉල්මහ කාර්තිය 

ලෙස දැක් වේ දුරුතු මහ කාර්තියට අලුත් සහල් මංගල්‍යයත් කරල් පෙරහැරත් සම්බන්ධය මේ කාර්තිය මුල් කරගෙන කුඹල් පෙරහැරට සමාන සමාන පෙරහැර 5ක් පැවැත්වේ අලුත් අවුරුදු කාර්තිය සඳහා අප්‍රේල් මස 12 නිමා වන පරිදි  කුඹල් පෙරහැරට සමාන පෙරහැර 5 පැවැත්වේ ඇසල මහා කාර්තිය වශයෙන් සලකන්නේ දේවාලයේ ප්‍රධානම මංගල්‍ය ය වූ ඇසල මහ පෙරහැර පැවැත්වීමයි ඉල්මහ කාර්තියේ දී ද පෙර පරිදි කුඹල් පෙරහැරට සමාන පෙරහැර 5 පැවැත්වේ 

ඇසල මහ පෙරහැර 

සමන් දෙවොලේ පැවැත්වෙන ප්‍රධාන උත්සවය ඇසල මහ පෙරහරයි මෙය දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහැරට පමණි පළමු රාජසිංහ රජු සමන් දෙවොලේ 11 වතාවක් දළඳා පෙරහැර පවත්වා ඇත සමන් දෙවොලේ පැවැත්වූ දළඳා පෙරහැර සඳහාම ප්‍රබන්ධ කර ඇති දළඳා පුජා කවි එහි පවතී අසිරිය මැනවින් කියාපායි සමන් දෙවොලේ පෙරහැර කප් සිටුවීමෙන් සිටුවීමෙන් ආරම්භ කරන අතර දියකැපිමෙන් එය අවසානවේ කප් සිටුවන අවස්ථාවේ වන විට ඇසල පෙරහැර හා සම්බන්ද සියලු විධි විධාන සංවිධානය කර තිබිය යුතුය මෙහි මූලිකයා බස්නායක නිලමේය නකත්කරුවන් ලවා සියලුම නැකත් වේලාවන් සකසා ගෙන මොහොට්ටාල වරුන් පේලි විදානේ හා තන්ඩල් රාල යන අය කැදවා පෙරහැර ගැන ගෙන ඇති මුලික තීරණ දැන්විය යුතුය අනතුරුව මොහොට්ටාලවරුන් විසින් දෙබෙද්මේ රජකාරිකරුවන් කැඳවා ඉදිරි කටයුතු සංවිධානය කරනු ලැබේ 
                             
                                         කප් සිටුවනදාට පෙරදා සර්ව රාත්‍රික පිරිත් දේශනා කරනු ලබයි පසුදින මහා සංඝගත දක්ෂිනාවක් පිරිනමා සමන් දෙවිදුන්ට පින් අනුමෝදන් කර ඊළඟ දිනයේ අලුයම කප් සිටුවීම අරඹයි කප සිටුවනදා ශුබ මොහොතින් කප් පෙරහැර දේවාලයට පිවිස කප් සිටුවන ලිං ගෙය ඇතුලත කප සිටුවීමට පෙර කුඹලා පුන් කලස් දෙකක් ගෙනවිත් දේවාලය ඉදිරිපස දොරටුවේ දෙපස තබා කපු මහතාට නොපෙනෙන්නට යයි කප් සිටු වූ දා සිට දින 5 ක් කුඹල් පෙරහැර පැවැත්වේ දේවාභරණ 1පමණක් මෙම පෙරහරේ වැඩම කරනු ලබයි පෙරහැර අවසන් වූ පසු ඊළඟ දින 5 දෙවේලේ (උදේ සවස ) පෙරහැර හෙවත් වීදි පෙරහැර පවත්වයි   මෙම පෙරහරේ ආබරණ 2 පමණක් අලියා පිට වැඩම කරවයි සිංහාසන මණ්ඩපයට ද මෙම පෙරහැර පිවිසෙයි අනතුරුව ඇරඹෙන්නේ මහ පෙරහරයි මෙයද දින 5 පැවැත්වේ මෙහි ඇති විශේෂය වන්නේ දළඳා කරඩුව වෙනුවට ධාතු කරඩුව වඩමවන දළඳා පෙරහැර පෙරටු කරගෙන දේවල පෙරහැර 4 ක් ගමන කරයි මෙම පෙරහරේ ආභරණ 3ක් වැඩම කරවයි ප්‍රථමයෙන් දළඳා පෙරහැර ගමන් කල පසු අනුපිළිවෙලින් පත්තිනි ,බිසෝ දෙවි ,කුමාර දෙවි ,හා සමන් දෙවි පෙරහැර 4 ගමන් කරයි දළඳා පෙරහැර සඳහා දිවයිනේ හැමතැනින්ම නැටුම් කණ්ඩායම සහබාගි කරගන්න අතර සෙසු දේව පෙරහැර සඳහා සම්බන්ධ කරගන්නේ සපරගොමු නැටුම් කණ්ඩායම පමණි 

මුලික චාරිත්‍ර 

මහා පෙරහැර ඇරඹීමේ මුලික චාරිත්‍ර වනුයේ ශුභ මොහොත ළඟාවන විට බස්නායක නිලමේ නිල ඇඳුම් ඇඳ දළඳා ගෙය අසලට පැමිණීම අනතුරුව පිරිත් නිලේ භාර හිමියන් වැඩම කරවා නියමිත වෙලාවට දළඳා කරඩුව කපු මහතාගේ හිස මත තැබීම අනතුරුව පුද සිරිත් මැදින් පෙරහරින් කපු මහතා පත්තිරිප්පුව කරා පැමිණ ඒ වන විට පෙරහැරට සුදානම් කර තිබු ඇතා  මත රන්සිව් ගෙයි දළඳා කරඩුව තැන්පත් කරයි මේ සමග ම වෙඩිල්ලක් පත්තු කරනු ලබයි පිරිත් නිලය භාර හිමි පිරිස පන්සිල්හි පිහිටුවනු ලබයි ඉන් පසු පෙරහැර අරඹන වෙඩිල්ල පත්තු කරයි ඒ සමගම පෙරහැරේ මුලින්ම  යන මහ බඹා සිය රංගනය අරඹා වයන පද වලට අනුව පෙරහැරේ ගමන් අරඹයි දළඳා පෙරහැර ඇරඹු පසු බස්නායක නිලමේ දේවාලය වෙත නිල රාජකාරිකරුවන් සමග පැමිණේ ඉන් අනතුරුව සිරිත්  විරිත් පවත්වමින් දේව පෙරහැර අරඹයි  

1  ආලත්ති ගායනය
2  දුම්තේවේ 
3  සක් පිඹීම 
4  කොම්බුව 
4  දවුල 
5  තම්මැට්ටම
6  හොරණෑ
7  කොඩි 
8  පන්දම් 
9  කුඩය 
10 පේලිය 
11 කවිය 
12 පියවිල්ල 
13 හඳුන් කිරිපැන්
14 දෝලිය වැඩමවීම 
15 කුමාර දෙවි වැඩමවීම 
16 පලිහ දැරීම 
17 චාමර සැලිම 
18 මුරායුධ දැරීම 
19 අව් අතු දැරීම 
20 ආලත්ති බෑම 
21 මානික්කෙලා 
22 මුලාදෑනි

යන කාර්යයන් අයත් වේ මෙසේ චාරිත්‍ර මැද පිටත් වන පෙරහැර කුඹල් විදිය උඩු විදිය කුරුවිට‍ ගම්පහේ විදිය පසු කරමින් රික්තා ගෙය හෙවත් සිංහාසන මණ්ඩපය දක්වා පැමිණේ පසුව පෙරහැර නවත්වා දේවාභරණ රික්තා ගෙයි තැන්පත් කරයි බස්නායක නිලමේ විවේක ගන්නා ස්ථානයට යන අතර පෙරහැරේ නැටුම් කණ්ඩායම රංගනයේ යෙදෙයි මෙම විරාම කාලය අවසන්වූ පසු  වෙඩිල්ල පත්තු කල විට පෙරහැර ගමන ඇරඹේ මෙවිට‍ හුණුවල විදිය සංහිදේ විදියේ ගමන් ඇරඹේ මෙයට සංහිදේ විදිය ලෙස හඳුන්වනේ පෙරහැර ගමන අවසාන වන්නේ මෙම විදියේ ගමන් කල පසු නිසා විය හැක පෙරහැර අවසන්වූ පසු පසුදින අළුයම දිය කැපීමේ පෙරහැර ඇරඹේ කොටාඹේ නම් ස්ථානයෙන් කළු ගඟට පිවිසෙන මෙම පෙරහැර ඔරු අඟුල් මගින් ගඟ ඉස්මත්තේ ඇති රතඹල ඇල්ල දක්වා ගමන් කර දිය කැපීමේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කර වර්ෂය පුරාම සඳුන් "පහර දිමට" (සඳුන් තිලක ලෑමට)අවශ්‍ය පැන් කලය රැගෙන ආපසු ගමන අරඹයි මේ අවස්ථාව සඳහාද බස්නායක නිලමේ ඇතුළු අභ්‍යන්තර බාහිර නිල රාජකාරිකරුවන්  සහබාගි විය යුතුය 

                                        දිය කැපීමේ පෙරහැර අවසාන කළදා කෙරෙන විශේෂ ශාන්ති කර්මය "ගරා යකුමයි" මෙය දෙවියන් වැඩම වූ ඇතාට සෙත් පිණිස කරන්නක් බව පවසති සමන් දේවාලේ මහා පෙරහැර සම්බන්ධ දික්ගෙය නැටුම අද වන විට අභාවයට ගොස් ඇත පෙරහැරේ දින 5 ක් නැටු සුවිශේෂ කාන්තා රංගනයකි "කුට්ටම්" (කණ්ඩායම) 4 ක් ඒවා භාර මානික්ක මහගේ නම්වූ නායිකාව යටතේ රඟ දක්වා දිය කැපු පෙරහැර දා පෙරකී කණ්ඩායම් 4ත් මානික්ක මහගේලා 4 දෙනාත් එක්ව නටා අවසාන කරන බව වාර්තා වල දැක්වේ මෙම නැටුම් සඳහා කවි නිල 4ක් තිබී ඇත එක එක කණ්ඩායමට අයත් කවි නියමිත රාජකාරී කවියන් ගයන විට දවුල් පදය අනුව සින්දු මාත්‍රය  නම් වූ සපරගමු නැටුම් තාලයට අනුව මෙම දික්ගෙයි නැටුම නටා ඇති බව දැක්වේ මෙම පෙරහැරේ මුල්ම අංකය වන මහ බඹා කෝලම පිළිබඳව ද විචාරක මත රාශියක් පවතී ඉන් බොහොමයක සඳහන් වී ඇත්තේ පෙරහැර ආදී කතෘ 1 වැනි රාජසිංහ රජු වෙනුවට එම රජුගේම සම්මතය පරිදි මෙම සංකේතය ඉදිරිපත් කරනු ලද බවයිරජු හට පෙරහර සඳහා සහබාගි නොවීමට සිදුවුණ අවස්ථාවන් සඳහා රජුගේ රුව සාදවා පෙරහැරේ ගෙනගිය බව සඳහන්වේ  

ජනකවියකු ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය 



තම භාරය ඉටුකරනට ඉදි කල  දෙවොලට නරනින්දා 
සැම වාරයකම උලෙලට ආවා සුමන සුරිඳු වෙත හිත බන්දා 
සමහර දිනවල පෙරහැර සඳහා එන්නට නොලැබුන හන්දා 
එම අඩුවට එව් රුපෙට ඉන්පසු මහ බඹයා යන නම බැන්දා        


 තවත් මතයක් වන්නේ මෙය රාවණ රජුගේ සොහොයුරු කුම්භකර්ණගේ රුපය බවයි කුම්භකර්ණ යනු ගොවිතැනින් රට‍ සශ්‍රික කල නායකයකු බවත් රාම සමග සටනේදී රාවණ විසින් සාමකාමී ගොවි රජකු ලෙස කටයුතු කල කුම්භකර්ණ හා ඔහුගේ හමුදාව කැඳවූ බවත් ඔහු යුද්ධය සඳහා යන විට සහෝදර විභීෂණ රාවණට එරෙහිව රාම පිලට එක්වී ඇති බවත් අසා ඔහුගේ සාමකාමී මුහුණ වියරු වැටී ගිය බවත් කියවේ එම අවස්ථාව මෙම මහබඹා රුපයෙන් ඉදිරිපත් කරන බව විශ්වාස කරයි කුම්භකරණ සඳහා මහබා නමින් තවත් නමක් පටබැඳි තිබු බව සදහන්ය                    
යකඩයෙන් නැගුණ මළකඩ එම යකඩයම කා දමයි.නුවණින් තොරව වසන තැනැත්තාගේ අකුසල් ඔහු දුගතියට යවයි
Read more »

පුරාණ නිලතල හා තනතුරු

6 comments
වෛර සහිතව ජිවත් වන මිනිසුන් අතුරෙහි වෛර රහිතව ඒකාන්තයෙන්ම සුවසේ ජිවත්වන්න. වෛරී මිනිසුන් මැද අවෛරීව ජිවත්වන්න


මෙයට සියවස්‌ ගණනකට පෙර අප රටේ යක්ෂ ,නාග ,දේව ගෝත්‍ර වලට අයත් පිරිසගෙන් ජනාවාසවී පැවතුනා මේ පිරිස් අතරට ඉන්දියාවෙන් සංක්‍රමණය වූ ආර්යන් ගම් තනාගෙන ජිවත් වුණා මෙසේ ජිවත්වුවන් අතර නොයෙකුත් නිලතල තනතුරු ඇතිඋනා මෙසේ ක්‍රමයෙන් වර්ධනය වූ තනතුරු මාලාව පොලොන්නරු අවධිය වන විට ඉතාමත් පුළුල් විය  පොළොන්නරුවේ රජකම් කල නිශ්ශංක මල්ල රජු දවසේ තනතුරු රාශියක් හෙබවුවන් රාජ සභාවේ අසුන්ගත් බව සඳහන් ඇත .මෙසේ ක්‍රමයෙන් ව්‍යාප්ත වූ වර්ධනය වූ තනතුරු මාලාව යුරෝපීයයන්ගේ ආගමනය වන විට පැහැදිලිව පරිපාලන හා ආගමික කටයුතුවලට සම්බන්ධව පැවතුනා ඔවුහුද මේ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන ගිය අතර ඒ අතරට අලුත් තනතුරු කිහිපයක්ද එක් කිරීමට‍ කටයුතු කරන ලදී මෙසේ දීර්ඝ කාලයක් තිස්සේ පරිණාමයට පත්වූ තනතුරු අද නාමමාත්‍රයකට සීමාවී පවතිනවා මෙයින් සමහරක් ගෞරවය දැක්වීම සදහා රජවරුන් හා ආණ්ඩුකාරවරුන් විසින් පිරිනමන ලද ඒවායි අදත් දළදා මාලිගාව හා දළදා පෙරහැර සම්බන්ධ කටයුතු වලදී පාරම්පරිකව පැවත එන නිලතල හා තනතුරු සම්බන්ධ සුවිශේෂ පුද්ගලයන් එම කටයුතු වල යෙදෙන හැටි දකින්නට ලැබෙනවා මේ අතර පැරණි සිංහල රජවරුන් සදහා නොයෙකුත් සේවාවන් ඉටුකිරීමෙහි යෙදුනු තැනැත්තන් එම තනතුරුවලින් දිගින් දිගටම හැඳින් වුවා අද ඒවා පෙළපත් නාමයන් බවට‍ පත්ව ඇත මේ අතර පැවිදි සමාජයේද නොයෙකුත් තනතුරු ඇති උනා ක්‍රියාත්මක උනා මහාසාමි සංඝරාජ එවැනි තනතුරුයි 

ඈපා සහ මාපා 

රාජ්‍ය පාලනය ගැන සඳහන් කිරීමේදී ඈපා සහ මාපා යන තනතුරු යුගලය ඉතා වැදගත් වේ අනුරාධපුර යුගයේදී රජකම් කල රජුගේ රාජ්‍ය උරුමකරුවන් වුයේ මාපාය මොහුගේ පාලන ප්‍රදේශය වුයේ මායා රටය ඊලග උරුමකරුවා වුයේ ඈපා ය ඔහුගේ පාලන ප්‍රදේශය වුයේ රෝහණ රාජ්‍යය (රුහුණු රට )රෝහණ රාජ්‍යයේ පාලකයාවූ ඈපා පාලනයේ මනා පරිචයක් ලැබූ පසු මාපා තනතුරට පත්කර මායා රටේ පාලන පාලක තනතුරට පත් කෙරුණු බව අනුරාධපුර යුගයේ ‍‍එතිහාසික මුලාශ්‍ර වල සදහන් වේ මෙම තනතුරු යුගලය සමහර තැනෙක ආදිපාද (ඈපා )මහදිපාද (මාපා) යන නම් වලින් ද දක්න‍ට ලැබේ සිලාකාල රජු විසින් සිය වැඩිමල් පුත් මොග්ගල්ලාන කුමරු ආදිපාද තනතුරෙහිද දෙවැනි පුත් කුමරු මලය රාජ තනතුරෙහිද පිහිටෙව් බව චුල වංශයේ සඳහන් වේ පරාක්‍රමබාහු රජ මහපා (මහාදිපාද)සහ යුවරජ යන තනතුරු වලින් සිය සොහොයුරු පිදු බව පුජාවලියේ සඳහන්ව ඇත "රජතුමා සිය හස් මුදුව පාවිච්චි කළා සේම රාජකීය ලිපි පරිත්‍යාග ආදිය සහතික කිරීමට මහපාවරුන්ටද මුද්‍රාවක් පාවිච්චි කිරීමේ බලය තිබුන බව නිගමනය කල හැක .රාජ්‍ය පාලන කාර්යයේහිදී වැදගත් තැනක මොවුන්ට හිමි වූ බව මෙය ශාක්ෂි දරයි මේ තනතුරු ප්‍රධානය කිරීමේදී තමා කැමති තනතුරක් පුත්කුමරකු හට ප්‍රධානය කිරීම රජුගේ අයිතිවාසිකම අනුව සිදු කිරීම වී ඇත සාමාන්‍යයෙන් ඔටුන්න හිමි වැඩිමල් කුමරු හට යුවරාජ හෝ මහදිපාද තනතුර ප්‍රධානය කළබවත් අනික පුත් කුමරුන් හට උපරාජ නැතහොත් ආදිපාද තනතුර හිමිවී ඇත  

ඇමති සහ මහඇමති 

මේ රටේ ආර්යයන් ගම් ඉදිකොටගෙන වියලි කලාපයේ ජිවත් වූ බව මහාවංශය චුල වංශය හා සෙල්ලිපි වලද සදහන්ව ඇත මෙසේ ජිවත්වුවන්ගෙන් අයෙක්‌ රජපදවියට පත්වූ බවත් හෙතෙම තවත් කිහිප දෙනෙකුගේ සහයෙන් එකී ප්‍රදේශ පාලනය කල බවත් සදහන්ව ඇත මෙසේ රජුට සහය වූ පිරිස ඇමතිවරුන් ලෙසින් හදුන්වා ඇත තමා ඥානවන්ත,වීර්ය සහගත පක්ෂපාත ඇමති මණ්ඩලයක් පත්කරගත් වග ලීලාවතී රැජින සිය සෙල්ලිපියකින් හෙළිකර ඇත සයවැනි පරාක්‍රමබාහු රජු අමාත්‍යයන් පිරිවරා සිංහාසනාරූඨව ඉඳ ව්‍යවස්ථා වදාරා ලු බව ඔරුවල සන්නසේ දැක්වේ පාලනයේ ප්‍රධානියා රජුය ඊලඟට මුදල් යුද්ධ කටයුතුඕආදී ඒ ඒ දෙපාර්තමේන්තු භාරව සිටි ඇමතිවරු වුහ ඇමති මණ්ඩලයේ ප්‍රධානියා මහඇමති වේ වංශකතාවල 'අමච්ච' නමිනුත් ශිලා ලිපිවල 'අමෙති ' 'අමත'වැනි විවිධ සිංහල ප්‍රාකෘත රුපවලිනුත් හඳුන්වා ඇත්තේ ඇමතිවරුන්ය එමෙන්ම දුටුගැමුණු ගැමුණු රජුගේ බොහෝ යුද්ධ නායකයන් හඳුන්වා ඇත්තේ අමච්ච නමිනි 

මුදලි හා මුදලිඳු 

මෙය මුදියන්සේ වශයෙන්ද භාව්ත යේ පවතී තවද මුදියන්සේ යන්නද වර්තමානයේ පෙළපත් නාමයක් ලෙස භාවිතා කරති මුදලි යන නාමය පුරාණයේ හැඳින්වුයේ කෝරල හා පත්තු ආදියේ ප්‍රධාන මුලාදෑනියාය මොවුන් අතරින් ප්‍රධානියා මුදලිඳු නැතහොත් මහමුදියන්සේ යන නාමයෙන් හැඳින්වුණි පැරණි ක්‍රමය තුල අවශ්‍ය හමුදා සංවිධානය කෙරුනේ මුදලි නම් බලදරයා විසිනි ග්‍රාමීය මට්ටමින් හමුදා සංවිධානය කලේ ආරච්චිවරුය ඔවුහු ග්‍රාමීය බල එකක ගෙන යුද්ධයට ගිය අතර ගම් මට්ටමින් සංවිධනය කල ඒකක කිපයකට මුහන්දිරම් නායකත්වය දුන්හ මේ සියලු කණ්ඩායම් වලට නායකත්වය දුන්නේ මුදලිය 

අධිකාරී   

රජුට පමණක් දෙවැනි වූ ඈපා මාපා යන තනතුරුවලට වඩා බලවත්වූ තනතුරකි සමහර යුගවලදී යුද්ධ හමුදාවේ නායකයකු වශයෙන්ද තවත් අවස්ථාවල පාලන අංශවල ප්‍රධානියකු ලෙසද ඇතැම්විට මේ දෙයාකාරයෙන්ම සේවය කර ඇත මෙම තනතුර කුමන කලක ආරම්භ වුවාදැයි ස්ථිරවම කිව නොහැකිය සිගිරි පදයක් ලියු නක්කාමාඩම්බියා නමැති දාස අධිකරියකු ගැන සිගිරි පද්‍යයක සඳහන් වේ (සිංහල විශ්ව කෝෂය )පොළොන්නරු යුගයේ සිට අධිකාරී තනතුරු කීපයක්ම පවතී බවට‍ සාක්ෂ්‍යය ඇත කෝට්ටේ යුගයෙන් පසු අධිකාරී තනතුර අදිකාරම් අධිකාරම් හෙවත් අදිකාරම් වශයෙන් වෙනස්වී ඇතමහනුවර යුගයේදී පාලන බලතල අතින් අධිකාරම් දෙවැනි වුයේ රජුට පමණි    18වන සියවස වන විට මහනුවර රාජධානිය දිසාවන් නැතහොත් දිස්ත්‍රික්ක 10 කින් සැදුම් ලද බවත් මෙහි පාලනය ගෙන යාමේදී අධිකාරීන් දෙදෙනකු සහයවූ බවත් ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි මෙම තනතුර හෙබවුවන් කිහිප දෙනෙකු මෙසේය 

1පිළිමතලව්වේ මහාධිකාරම 
2කැප්පෙටිපොල මහාධිකාරම 
3දස්කොන් මහාධිකාරම් 
4ඇරැව්වාවල මහධිකාරම් 

නිලමේවරු 

නිලමේ යනු උසස් ගරුකටයුතු තනතුරක් ලෙස අවිවාදයෙන්ම පිළිගැනේ දළදා පෙරහැර හා සම්බන්ධ වන නිලධාරින් රාශියක්ම නිලමේ යන නාමයෙන් හැඳින්වුණු බව පැහැදිලිව ඇත 

ගජනායක නිලමේ 
කොඩිතුවක්කු නිලමේ 
දියවඩන නිලමේ 
සළුවඩන නිලමේ 

විදානේවරු 

මෑත කාලයේ ගම්මුලාදෑනියා වෙනුවට විදානේ යන පදය භාවිතා කලත් විදානේ යන්න කලකට පෙර වැදගත් තනතුරක් විය දිසාවක් භාර පාලකයා දිසාව හෙවත් දිසාපති යන නමින් හැඳින්වූ අතර කෝරලයක් භාර වුයේ කෝරලේ විදානේටය මේ හැර බද්දක නායකයාද විදානේ නමින් හැඳින්වුණි 
මහා බද්දේ විදානේ (කුරුඳු තැලීම පිලිබඳ බද්ද )
කුරුවේ විදානේ (ඇතුන් ඇල්ලීම පිළිබඳව  බද්ද)     
මරාල විදානේ (මරාල බද්ද )

කෝරාළ 

රට පාලනයේදී පළාතක් බෙදුණු උප කොටසක් වුයේ කෝරලයයි කෝරලයක් භාරව සිටි තැනැත්තා කෝරල නමින් හැඳින්වුණි මොහුගේ දෙවනියා අතුකෝරල නම විය අතුකෝරාල යන නම වර්තමානයේදී පෙළපත් නාමයක් වශයෙන් භාවිතා කරයි 

රටේ මහත්මයා

රටේ මහත්මයා හෙවත් රටේ මහත්තයා පැරණි සිංහල රජ දවස සුවිශේස තනතුරක් හොබවන්නෙක් විය පහතරට‍ ප්‍රදේශවල මුදලි තනතුරට සමාන තනතුරක් වශයෙන් සැලකෙන මෙම තනතුර උඩරට ප්‍රදේශවල පාලන කටයුතු වලදී නිතරම පාහේ සඳහන් විය ජනපදයක් හෝ කෝරලයක හෝ පාලනය කල උඩරට නිලධාරියා මේ නමින් හැඳින්වූ බව සුමංගල ශබ්ධ කෝෂයේහිද සඳහන් වේ ඉංග්‍රීසින් ගේ පාලන සමයේ කොලොන්න කෝරලය පාලනය කල මඩුවන්වෙල රටේ මහත්මයා ගැන අදත් නිතරම වාගේ අසන්නට ලැබේ ආර් එල් ස්පිට්ල් විසින් රචනා කරන ලද ‍Far off Things නම් ග්‍රන්ථයේ මඩුවන්වෙල රටේ මහතා ගැන මෙසේ සඳහන් වේ මඩුවන්වෙල තද උණෙන් පෙළුණේය ඉදිමුණු දෙපා මත වේදනාකාරී වණ හටගෙන තිබිණි එඩිතර නිර්භය නායකයකුව සිටියදි ඔහු තුල වූ ආකර්සණිය ජිවය ඔහු කෙරෙන් සහමුලින්ම පාහේ බැහැරව තිබිණි දළදඬු බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවා සාම්ප්‍රධායික ප්‍රාදේශීය ස්ව්‍යිරි පාලනයක් පවත්වාගෙන යාමට සමත්වූ මෙවන් නායකයකු මේසා බෙලහීනත්වයට පත්ව සිටිනු දැකීම සැබවින්ම ශෝකජනකය   රටේ මහත්වරුන්ටද විශේෂ වූ කොඩියක් විය මහනුවර දළදා පෙරහැර පැවැත්වෙන අවස්ථාවලදී දිසාවෙවරුන්ට පසුපසින් රටේ මහත්වරුන්ද තමන්ගේ කොඩිය සහිතව ගමන් කල බව ආනන්ද කේ කුමාරස්වාමි මහතා මධ්‍යකාලින සිංහල කළා යන කෘතියේ සඳහන් කොට ඇත

ගම්ලද්දා 

ගම් පාලනය කල තැනැත්තන් ගමික ,ග්‍රාමති ,ගාමණී යන නම් වලින් හැඳින්වුනා මිහින්තලයේ එක් සෙල්ලිපියක අන්තර්ගතය මෙසේය    


  • ගමික ජිත උපශික බඩය ලෙහෙ ශගශ=  (ගම් නායකයකුගේ දුවක වන උපාසිකා බඩය විසින් මෙම ලෙන මහා සංඝයාට පුජා කරන ලදී)

මහ අලුගමුව සෙල්ලිපියක කොටසක් මෙසේයි 

  •  ගමිනි තිශ මහරජන පුත කරක තිශහ ලෙනේ සුදශන =(සුදර්ශන නමැති මේ ලෙන තිස්ස මහරජතුමාගේ පුතුවන දරක තිස විසින්) පුජා කරන ලදී 
 මෙසේ කුඩා ගමක් පාලනය කල තැනැත්තා ක්‍රමයෙන් බලවත් වී කුඩා ගම් කීපයක නායකයා බවට පත්වුණා එයිනුදු සෑහිමකට පත්නොවූ ඔවුන් පසුකලෙක නරපතියන් බවට‍ පත්වුණා බොහො නරපතියන්ගේ නාමයන් අවසානයට ගාමිණි යන්න එක්වී ඇත්තේ මෙහි ප්‍රතිපලයක් වශයෙනුයි ගාමිණී ගම්දෙටුවා (ශ්‍රී සුමංගල ශබ්ද කෝෂය) පසුකාලීනව මේ තනතුර නොයෙකුත් නම්වලින් හැඳින්වෙන්නට පටන්ගත්තා එයින් කීපයක් මෙසේයි වර්තමානයේ මේ ගම්ලද්දා තනතුර  විදානේ, ආරච්චි රාලහාමි ,ගම්මුලාදෑනි ,ග්‍රාමසේවක යන නම් වලින් හැඳින්වීමට පටන්ගෙන තිබෙනවා අතීතයේ හා වර්තමානයේ මේ තනතුරට හිමි කාර්යයන් අතර විශාල වෙනස් කම පවතිනවා පුරාණයේ සුළු සුළු ආරවුල් විසඳීම වැනි කටයුතුත් ගම ප්‍රධානීන්ට පැවරී තිබුනා එමෙන්ම තමන්ම රාජ්‍ය නිලධාරියකුගෙන් අසාධාරණයක් සිදුවූ අවස්ථාවේදී ඒ ගැන පළමුවෙන්ම පැමිණිලි කල යුත්තේ ගම් ප්‍රධානියාටය ඔහුගේ තීරණයෙන් සෑහීමකට පත්නොවුනුත් අනතුරුව පළාතේ ප්‍රධානියවූ අධිකාරිට ඒ ගැන පැමිණිලි කල යුතුය මෙසේ සඳහන් වෙන්නේ ආනන්ද කේ කුමාරස්වාමි මහතාගේ මධ්‍යකාලීන සිංහල කළා යන කෘතියේය 

අලියා   වැටුණු    වැව  ආරච්චි          රාලට
මුවමස් ගෝනමස් හිඟ නොමැත      කෑමට  (විමලරත්න කුමාරගම)

රාල 
රාල යන පදය බොහෝ පද අගට ඈදුණු පදයක් ලෙස හැඳින්වීමට හැකිය මෙයින් ගෞරවයක් හැගවුනි රාල යන පදය ඇඳුනු පද රාශියක් අපේ ව්‍යවහාරයේ පවතී ඒ සෑම පදයකින්ම යම්කිසි කාර්ය භාරයක් සතුව පවතී යම්කිසි පුද්ගලයකු හැඳින්වේ ගමරාල කපුරාල රටේ රාල 

පල්ලා හෙවත් පාල 

අපේ පැරණි පොත්පත් වල දක්නට ලැබෙන එක් පදයක් ලෙස පල්ලා හෙවත් පාල සඳහන් කල හැක මෙහි අර්ථය රැකබලාගන්නා යන්නයි උයන්පල්ලා ගොපල්ලා දොරටුපාල මේ එම අර්ථයෙන් යෙදුනු තනතුරු කීපයකි 

පුරෝහිත 

පැරණි රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමෙහි යෙදුනු සුවිශේෂ පුද්ගලයකු මේ නමින් හැඳින්වුනා මේ තනතුර පිළිබඳව මධ්‍ය කාලින ලංකා සමාජය නම් පොතෙහි මෙසේ සඳහන් වේ රාජ සභාවෙහි ස්ථානයක් හිමිව බලවත්ව සිටි තවත් නිලධාරියකු නම් පුරෝහිතයයාය සෑම කටයුත්තකදිම රජුගේ අනුශාෂකයා වූයේ ඔහුය එහෙයින්ම ඔහු රජුගේ ඉතාම හිතෙශිවන්ත විශ්වාසදායක මිත්‍රයාද විය සිංහල රාජධානියේ අවසාන යුගය දක්වාම මේ පුරෝහිත තනතුර පවතී බැව් පෙනේරජවරුන්ට පුරෝහිතකම් කල ඇතැමෙකු රජු දුර්වල අයකුවූ අවස්ථාවලදී රාජ්‍ය බලය පවා පැහැරගත් බව පොත පතෙහි සඳහන් ව ඇත 

සේනාපති 

සේනාපති තනතුර රාජ්‍ය පාලනයේදී ඉතා වැදගත් වුවක් විය බ්‍රාහ්මි ශිලාලිපිවල මෙම තනතුර 'සෙනපිති ' යනුවෙන් දක්වා ඇත සේනාපති යනු එක පුද්ගලයකු විසින් දරන ලද තනතුරක් නොවූ අතර එක රජකුට සේනාපතින් කීප දෙනකු හෝ රාශියක් සිට ඇත  අන්ගාරක්ෂක සේනාවේ ප්‍රධාන නිලධරයා බඹ සෙනෙවි යන නිලනාමය එක තැනක සඳහන්ව ඇත සක්ක සේනාපති යන්න වංශ කතාවේ එන තවත් සෙනෙවි තනතුරකි අන්ධ සේනාපති යන්නද මෙවැනි තනතුරකි  යුද්ධ හමුදාවේ නායකයා සේනාපති හෙවත් සේනානායක යන නමින් හඳුන්වනු ලැබූ බව පෙනේ මේ අතරින් ප්‍රධානියා සෙනෙවිරත් විය හැක සේනානායක යන්න අද මේ රටේ පෙළපත් නාමයක් බවට‍ පත්ව ඇත වර්තමානයේ මෙන් නොව අතීතයේ එම තනතුර සඳහා තෝරාගනු ලැබුවේ රජුගේ විශ්වාසවන්ත ඥාතියෙකි එසේ නැතහොත් රජු සිංහාසනයෙන් නෙරපා දැමීමට තරම් බලසම්පන්නව මොහු කටයුතු කල අවස්ථා ඇත එසේම සේනාපති තමන්ට අවශ්‍ය තැනැත්තාට රාජ්‍ය උරුමය ලබාදීමට කටයුතු කල අවස්ථාද ඇත දුටුගැමුණු රජුගේ සේනාවේ සේනාපතිවරුන් අතරින් ප්‍රධානියා මිත්ත හෙවත් නන්දිමිත්‍ර බව ශිලලිපිවලට අනුව පෙනේ ධාතුසේන රජුගෙන් පසුව රාජ්‍ය උරුමය කාශ්‍යප කුමරුන්ට ලබාගැනීමට ඔහු පොළඹවන ලද්දේ රජුගේ සේනාපති විසිනි  එමෙන්ම විජයබාහු රජතුමා මරුමුවට පත්කරවූ මිත්ත නම් සෙන්පති ගැන චුලවංශයේ සඳහන්ව ඇත සේනානායක යන තනතුරු දැරූ එක් ප්‍රකට තැනැත්තකු වන්නේ සපුමල් කුමාරයාය මොහු මෙම තනතුරු දරන ලද්දේ 6 පරාක්‍රමබාහු රජුගේ සමයේය ඒ බව සැළලිහිණි සංදේශයේ එන මෙම පද්‍යයෙන් පැහැදිලිවේ 

නිල තුරගුට නැගෙමින රිවි දෙවි සිරින 
දුල කර සේසත් මිණි බරණ කිරණින 
බල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන 
බල සේනානායක සපු කුමරු එන 

සෙට්ඨි හෙවත් සිටු 

ජාතක කතා කියවන කවරකුහට වුවද හොඳ හැටි පුරුදු වදනක් ලෙස සෙට්ඨි හෙවත් සිටු යන්න සඳහන් කල හැක එමෙන්ම බුදු සිරිත හා ඈදුණු යම් යම් සිදුවීම් වලටද මේ වදනින් හැඳින්වෙන තැනැත්තන් සම්බන්ධවී ඇති සැටි පැහැදිලිව පෙනී යයි පැරණි සමාජයේ ධනය රැස්කරගත් අයට සිටු තනතුරු රජු විසින් ප්‍රධානය කරනු ලැබුවා එමෙන්ම  සිටු තනතුරු ලද තැනැත්තන් රාජ්‍ය සේවාවන් හිදී නිරතව ඇත "රජු විසින් දිනපතා අණ දෙන ලද නිලධාරීන්ගේ නාම ලේඛනයේ සිටුනා දඇතුලත් බව කඳවුරු සිරිතෙහි එන දහම් ගෙයිනා ,මහ වෙලෙද්නා,සිටුනා යන පාඨයෙන් පෙනේ මින් පෙනෙන්නේ ඔහු පිටද කිසියම් රාජ කාර්යයක් පැවරී තිබුණු බවයි සිටුනා නමැති නිලධාරියා මහ වෙලෙද්නා නැමැත්තා ගෙන් වෙනස් කෙනෙකු වූ බව මෙයින් අපට වටහා ගත හැක"(මධ්‍ය කාලින ලංකා සමාජය )පුරෝහිතයන් මෙන්ම සිටුවරුන්ද සමහර විටෙක රාජ්‍ය බලය තමන් සතු කරගැනීමට කටයුතු කල අවස්ථා ඇත පළමුවන විජයබාහු රජුගේ කාලයේදී ප්‍රධාන ජත්‍රගාහක අධිකරණ නායක සහ සිටුනායක යන නිලධාරින් තිදෙනා විසින් ඇති කරන කැරැල්ලක් ගැන චුල වංශයේ සඳහන් වේ 

මොහොට්ටාල 

මේ තනතුර සමහර කාලවකවානුවල දී මුකවෙටි යන නමින්ද හැඳින්වුණු බව මෙය ලේකම් නැතහොත්  රාජ්‍ය ලිපි ලේඛන සකසන්නා වශයෙන් හඳුන්වන්නට පිළිවනි ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ මේ තනතුර විස්තර කරන්නේ මේ ආකාරයෙනුයි "රාජ මුඛයෙන් ප්‍රකාශ වන අණපනත් ආදිය ලියන්නා"මොහොට්ටාලලා සතුව අධිකරණ බලතල පවතී බවටද සඳහන් වී තිබෙනවා ඒ අතර අධිකරණ ක්ෂේස්ත්‍රයේ අළුත් සංස්ථා බිහිවීම නිසා ආදී තන්ත්‍රය තුල සැලකිය යුතු අධිකරණ බලයක් ඉසිළු බස්නායක හා මොහොට්ටාලලාගේ සේවාව තවදුරටත් අවශ්‍ය නොවේ (ලංකා සිවිල් සේවාවේ ඉතිහාසය) -මහාචාර්ය M.U ද සිල්වා      

 කනකපුල්ලේ 

මොහොට්ටාල තනතුර සමග නිතරම වාගේ ඇඳි කියවෙන තවත් තනතුරක් වශයෙන් කනකපුල්ලේ හැඳින්විය හැක මේ තනතුර දැරූ තැනැත්තා රජයේ ගනන්හිලව් ලියා තැබූ නිලධරයා ලෙස හැඳින්වෙනවා සමහර තැනක මෙය කනක්පුල්ලේ වශයෙන්ද සඳහන් වෙනවා කෝරලේ විදානේට සහය පිණිස අතුකෝරාල මොහොට්ටාල සහ කනකපුල්ලේ ආදී වශයෙන් හැඳින්වුණු නිලධාරීන් රැසක්විය ආණ්ඩුවට ගෙවිය යුතු මුදල් හදල් එකතුකර එය ගෙවීමත් බද්ද භාර විදානේගේ ප්‍රධාන වගකීම විය මේ කාර්යයන් ඉටුකිරීමට මොහොට්ටාලලා ද කනකපුල්ලෙලා ද තවත් සුළු මුලාදෑනින් විදානේට සහය විය       

අතපත්තු 

පැරණි තනතුරු අතර ජනප්‍රියවුවක් බව සදහන් කල යුතුය සමහර අවස්ථාවලදී මෙම තනතුර අතපත්තු මුදලි නමින්ද හැදින්වෙනවා මේ පිලිබදව දීර්ඝ විස්තරයක් ශ්‍රී සුමංගල ශබ්දකෝෂයේ සඳහන් වෙනවා රජුගේ හෝ දිසපතියකුගේ ආරක්ෂක භට හමුදාව ,රජ අතපත්තුවට කාලය මනින පෑ තැටිය ද භාරය එහෙයින් වේලාව දැක්වීමද ඔවුන්ට‍ අයත්ය දිසාපති අතපත්තුවට පණිවිඩ පනත් ගෙනයැම ,මහකොඩ්ය,ලේකම්මිටිය,මුර ආවුද යන මේද භාරවිය සිරකරුවන් ආරක්ෂාකිරීම හා දිසාපතිතුමා සමග රට මැද යාමත් ඔවුන්ටම භාරවිය මේ අනුව අතපත්තු නිලය දැරුවන් සතුව විශාල කාර්ය බාරයක් පැවති බව පෙනෙනවා මෙම විවිධ කාර්යයන් අනුව අතපත්තු තනතුර විවිධ නම් වලින් හැඳින්වූ බව පෙනෙන්නට තිබෙනවා මෙම තනතුර සදහා විදෙශියන්ගේ පාලන සමයන් තුලදී තෝරාගන්නා ලද්දේ ඉංග්‍රීසි දැනුම ඇත්තන් බව සඳහන් වෙනවා මෙයට හේතුව විදේශීය නිලධාරීන් සහ ස්වදේශීය මුලාදෑනින් සම්බන්ධීකරණය කරන ලද්දේ අතපත්තු මුදලි විසිනි අතපත්තු සේවයට මුදලින් පඩි ගෙවීමක් නොවුවද ඔවුන්ගේ ජීවිකාව සඳහා ඔවුන්ට‍ඕආණ්ඩුවෙන් ගම්බිම් ලැබිණ මේ ගම්බිම් හැඳින්වුයේ අතපත්තු ගම් හෙවත් අතපත්තු පංගුව යන නමිනි (සිංහල විශ්ව කෝෂය ) අතපත්තු තනතුර හා සේවය කවර කලෙක මෙරට ආරම්භවිදැයි නිශ්චය වශයෙන් කිව නොහැක ලංකාවේ ඇතැම් පළාත්වල අතපත්තු පෙළපත් නාමයක් වශයෙන් භාවිත වේ 

ආරච්චි

වර්තමානයේ ආරච්චි යන පදය කවර අර්ථයකින් යෙදුවත් මුල් කාලයේ එය භාවිතා කර ඇත්තේ සිංහල හමුදාවේ සේනාංකයක් භාරව සිටි තැනැත්තාය 

යුරොපියන්ගේ පාලන සමයේ ඇතිවූ නිලතල තනතුරු 

1505පෘතුගීසින්ගේ ලංකා ගමනයෙන් ආරම්භවූනු යුරෝපීය පාලන සමයේ 1948 දක්වා අඛණ්ඩව පැවතුනා පෘතුගීසීන්ගේ හා ලන්දේසි න්ගේ පාලනය මේ රටේ මුහුදුබඩ ප්‍රදේශයට සිමාවුවත් ඉංග්‍රීසින්ගේ පාලනය මුළු රටේහිම ව්‍යාප්ත වුනා මොවුන්ගේ පාලන සමයන්හිදී එතෙක් පැවතගෙන ආ නිලතල හා තනතුරුවලින් සමහරක් එසේම තිබියදී ඔවුහුද අලුතින් යම්  යම් තනතුරු නිලතල ඇති කිරීමට‍ කටයුතු කළා 

1 විදොර්ද  පැසෙන්ඩා -ආදායම් කටයුතු භාරව ක්‍රියාකරන්නා මෙය පෘතුගීසීන් සමයේදී ඇතිව තිබේ
2ඔව්දෝර් -අධිකරණ නිලධාරියා -පෘතුගීසි සමය
3කොලෙක්ටර්වරයා-ආදායම් පාලක -ඉංග්‍රීසි සමය
4වාණිජ නිලධාරී-වෙළෙද කටයුතු භාර -ඉංග්‍රීසි 
5ගණකාධිකාරී -ඉංග්‍රීසි 
6ඇඩ්වකේට් පිස්කල් -අධිකරණ කටයුතු භාර -ඉංග්‍රීසි 
7සිවිල් සේවක -පාලන කටයුතු භාර -ඉංග්‍රීසි 
8තෝල්ක මුදලි -භාෂා පරිවර්තක කටයුතු භාර -ඕලන්ද 
9අවුමිල්දාර්-බදු එකතුකිරිම ඉංග්‍රීසි 
10 D.R.O -ආදායම් පාලක -ඉංග්‍රීසි 
11ගබඩාපති-ආදායම් පාලක සහයක -පෘතුගීසි 

සෙල්ලිපිවල හා පොතපතෙහි සඳහන් නිලතල 

නිකාය සංග්‍රහය සිංහල පාඨකයන් අතර ප්‍රකට ග්‍රන්ථයක් බව කිවයුතුය මෙහිද පැරණි නිලතල ගැන යම් කරුණු සඳහන්ව ඇත මහලේනා ,මහරැටිනා,අනුනා,සභාපතිනා,සිරිත් ලේනා,දුලේනා,වියත්නා ,මහවෙදනා ,මහනැකතිනා,එයින් කිහිපයකි 

මහලේනා
රාජ්‍ය කටයුතු පිලිබඳ ලේකම් හා කාර්යයේ ප්‍රධානියා වශයෙන් සැලකේ 
මහරැටිනා
රට නමින් හැඳින්වුණු කුඩා පාලන ප්‍රදේශය භාර නිලධාරීන්ගේ ප්‍රධානියා ලෙස සැලකේ අනුරාධපුර යුගයේ ශිලා ලේඛනවල රටිය රටික රටලද්දන් ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙම තනතුර හෙබවුවන්ය

අනුනා
මෙම තනතුර සෙනාපතිවරුන්ගේ දෙවැන්නා ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහස වේ එහෙත් මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතාගේ අදහවන්නේ මහරැටිනගේ කාර්යන්ට සහබාගිවූ තවත් ප්‍රධාන පෙලේ ඇමතිවරයකු යන්නයි

සභාපතිනා
විනිශ්චයකාරවරුන්ගේ ප්‍රධානියා වශයෙන් සැලකේ

සිරිත් ලේනා

නීතිය පිළිබඳව අමාත්‍යංශය භාරව සිටි නිලධාරියාය නීතිය යන අර්ථය සඳහා ශිලා ලේඛනවල සිරිත් යන්නත් වංශකතාවල චාරිත්ත යන්නත් නිතරම සඳහන්වී ඇත මහාචාර්ය මංගල ඉලංගසිංහ මහතා ප්‍රකාශ කරයි

වියත්නා 

උගතුන්ගේ ගණ හෙවත් ශ්‍රේණිවල නායකයා බව මහාචාර්ය පරණවිතාන මහතාගේ අදහසයි

මහවෙදනා

වෛද්‍යවරුන්ගේ ප්‍රධානියා රාජකීය වෛද්‍යවරයා 

මහනැකතිනා

ජෝතිශ්‍යය ශාස්ත්‍රඥයන්ගේත් දෛවඥයන්ගේත් ප්‍රධානියා ලෙස සැලකේ පුරාණයේ රජකු විසින් කරන ලද සෑම කටයුත්තකදීම ඒසඳහා සුභ නැකතක් පිළියෙළ කරදීම මෙම තනතුර දරන්නාගේ කාර්යභාරය විය රාජකීය උත්සවයන් සඳහා පමණක් නොව යුද්ධ ප්‍රකාශ කිරීම වැනි අවස්ථාවලදීත් සුභ නැකත් සකස් කරදීම  මොහුට භාරව තිබී ඇත උමංදාව වැනි සාහිත්‍ය ග්‍රන්තවලත් මෙම කරුණු සඳහන්ව ඇත

අනුරාධපුර යුගයේ සෙල්ලිපිවල දක්නට ලැබෙන තනතුරු කිහිපයකි 

1ආරක්සමන=ලේඛන කටයුතු වලදී මහලේනා හා සමානව යොදාගන තිබේ 

2දෙමල අධිකාර = මෙය දෙමෙල් අධිකාරී ලෙසද හැඳින්වේ රජුගේ අගම්පඬි හෙවත් අන්ගාරක්ෂක සේනාව සැදුම ලද්දේ ද්‍රවිඩ ජාතිකයන් ගෙනි මෙලෙස වැදගත් රාජ්‍ය සේවාවන් ඉටුකළ ද්‍රවිඩ ජාතිකයන්ගේ කටයුතු පාලනය කල හා ඔවුන්ගේ නඩත්තු කිරීම් භාරව සිටි නිලධරයා  

3දන්ඩනායක =ප්‍රදේශ පාලනය භාරවූ පරිපාලන නිලධාරින් වශයෙන් කටයුතු කල බව ප්‍රසිද්ද බදුලු ටැම් ලිපියේ සඳහන් ව ඇත 
මෙම තනතුරු දරනා ලද්දේ රජුගේ ලගම නෑයන් විසිනි  මෙම තනතුර දැරූ අය පසුව රජකම පවා කර ඇත 

4ජත්තග්ගාහක=රජුගේ අභිෂේකය සඳහා ජත්‍රය ගෙන සිටින්නා  මහානාම රජ දවස ඔහු මියයාමෙන් පසු ජන්තු නම් ජත්තග්ගාහක තෙම අවුරුද්දක් රජකම් කල බව කියවේ 

5අසිග්ගාහක=   ,,  ,         කඩුව ගෙන සිටින්නා    පළමුවන මුගලන් රජුගේ අසිග්ගාහක තනතුර ඉසිලු සිලාකාල කුමරු පසු අවස්ථාවක රජවී 13 අවුරුද්දක් රට පාලනය කල බව සඳහන් වේ 

පොළොන්නරු යුගයේ ලියකියවිලි වල දැක්වෙන නිලතල 

1සන්ඛනායක 
2කේසධාතුනායක        
3භාණ්ඩාගාරාධිකාරි
4කම්මනාත
5කඤ්චුකිනායක
6අරක්මේනා
7සාමන්ත නායක

මහාසාමි
පැවිදි සමාජයේ ප්‍රධානතම නිලය මහාසාමි නමින් හැඳින්වුණු අතර පසුව මෙය සංඝරාජ බවට පරිවර්තනය විය 

කඩඝෝෂ්ටියේ ඇත්තවුන්  

වෙළෙඳ මණ්ඩලවල නියෝජිතයන් මොවුන්ටද පොලොන්නරුයුගයේදී විශේෂ තැනක හිමිව තිබී ඇත ඒ බව පැහැදිලිවන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජසභාවේ ඔවුන් වෙනුවෙන්ද ආසන වෙන්කර තිබු බව සැලකේ 

පොත්වරුන් 

පොත්වරුන් යනු පොත් භාරව සිටින්නා යන තේරුම දෙන පදයකි රජයේ යම් යම් ප්‍රකාශයන් ලේඛන ගතකරන ලියාපදිංචි කරන නිලධරයන් ලෙස සැලකේ චුලවංශයේ පොත්වරුන් යන්න හා සමතේරුම් දෙන වචනයක් වශයෙන් පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකි යන පදය යොදා ඇත භාණ්ඩාගාර පොත්ථකින් ආදී පොත්ථකින් චුල පොත්ථකින් යනාදී වශයෙන් වර්ග කිහිපයක පොත්ථකිවරුන් චුලවංශයේ සඳහන් වන බව මහාචාර්ය මැන්දිස් රෝහණදීර මහතා පවසයි 

       
ආශාව නිසා ශෝකය හට ගනී.ආශාවෙන් වෙන් වුවන්ට ශෝකයක් නැත.බියකුත් නැත
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine