#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

සබරගමුවේ පත්තිනි දේවාල

2 comments
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.

                     
ඇල්ලගාව පත්තිනි දේවාලය
 
පෙරදී මහසුමනගේ දේව රාජ්‍යය ලෙසත් පොළොන්නරුව රාජ්‍ය සමයෙන් පසුව සපරගමුව නමිනුත් හැඳින්වෙන බස්නාහිර පළාතේ දේශ සීමාවන් වෙන් වන තැන රත්නපුර-පානදුර පාරේ වර්තමාන දුම්බර පාලමට ඉතාම නුදුරුව මහපාර අයිනේ පිහිටා තිබෙන මෙම දේවාලය ඇල්ලගාව පත්තිනි දේවාලය නමින් හැඳින්වේ මෙම දේවාලයේ ඉතිහාසය වසර 414 ක් පමණ ඈත සීතාවක යුගය දක්වා දිවෙයි .රා.ව. 1587 දී දෙවනගල රතනාලංකාර මහතෙර සාමි හා ගම්පොල රාජගුරු ධර්ම කීර්ති අනුතෙර සාමින් ඇතුළු මහා සංඝයා හා රදළවරුන් එක්ව කොනප්පු බණ්ඩාරට රාජ්‍යය ලබාදීමට රහස් කුමන්ත්‍රණයක් කරන වග ආරංචි වී කිපුණු සීතාවක රාජසිංහ රජ සහබාගිවූ සංඝයා වහන්සේ සිර භාරයට ගැනීමටත් සිවුරු හරවන්නටත් විහාර ගම් හේවාගම් කිරිමටත් පටන් ගත්හ එයින් බියට පත් සංඝයා භයින් පලාගියහ මෙම කුමන්ත්‍රණය සඳහා එක්වූ ප්‍රධාන පෙලේ සංඝයා වහන්සේලා 129 ක් දෙනම බැගින් එකට ඈදා සීතාවක ගඟේ කණමැදිරියන්වෙල ස්ථානයේ ගිල්වා මැරවූ බවත් එම භික්‍ෂුන් සතුව තිබු පන්සල් පොළොවට සමතලා කරවා ඒවායේ තිබු දහම් පොත්පත් ගිනිබත් කරවීය 


ලපටි වියේ සිටම පත්තිනි දේවතාවිය කෙරේ ඇල්මක් තිබු  රජු ඉන්පසුව පළමුවරට දෙහිගම්පල් කෝරලයේ මැදගොඩ පත්තිණි දේවාලයක් කරවීය මේ වන විට දිගම්පත කෝරලයේ විශාල ප්‍රදේශයක් අල්ලාගෙන සිටි පෘතුගීසින් හා යුද පිණිස රජතුමා ලැගුම් ගෙන සිටි කිරගම් කන්දේ ද 1589 පත්තිණි දේවාලයක් කරවූ රජු එයට රනින් කල පත්තිනි හළඹක් හා දේවාභරණ පුදා සිය යුධ සේනාංකයෙහි සිටි දේවස්තෝත්‍ර දත් මහනුවර අවධියේ ලොකු රාල නම් අයකුට ඇල්ලේ කපුරාලලාගේ යන පෙළපත් නාමය පට බැඳ ඔහු මෙම දේවාලයෙහි කපු තනතුරට පත් කළේය 

එහි නඩත්තුව සඳහා ගඟෙන් මෙගොඩින් කුරුවිට කෝරලේ යටිපව්ව කොට්ඨාශයට අයත් ගොඩමඩ ගහකොලවලින් යුත් අක්කර 400 ක් ද නින්දගම් කොට දුන්නේය රජුගේ නියමයෙන් මේ සියලුම කටයුතු කර ඇත්තේ රජුගේ කුළුපඟ මුදලිවරයකු වූ එවකට රත්නපුර ප්‍රදේශය පාලනය කල මාතොට මනම්පේරි මුදලි පරපුරේ අයකු වූ ලොකු බණ්ඩාර මනම්පේරි නැමැත්තා විසිනි .කළු ගඟෙන් මෙගොඩ ගොඩේ සිට මෙම දේවාලයට යන බැතිමතුන් එකල ගියේ කළු ගඟේ පැනිගල් ඇල්ල යන ස්ථානයෙන් ඔරුවල නැගී මහත් ආයාසයක් විඳගෙනය එකල මේ ප්‍රදේශයේ අදට වඩා ගංවතුරෙන් හා පිටාර ගැලීමෙන් ගඟ රළු වන නිසා කලක් ගතවූ පසු බැතිමතුන්ගේ පහසුව තකා එතෙක් දිගම්පත කෝරලයේ කිරගම් කන්දේ තිබු දේවාලය වෙනස් කර කුරුවිට කෝරලයට අයත් දැනට පාර අයිනේ තිබෙන දේවාලය ඉහත්තෙන් වර්තමාන දේවාලකන්ද නමින් හැඳින්වෙන කන්දට ගෙනවිත් ඇත කලක් යාමේ දී එය ද වෙනස් කොට වර්තමාන දේවාලය තනා ඇත

              උඳුගොඩ තියඹරාහේන පත්තිනි දේවාලය
 

කෑගල්ල -බුලත්කොහුපිටිය පාරේ මාබෝපිටිය හංදියෙන් හැරී ගන්තුන පාරේ කි මි 4 ක් පමණ ගියතැන තියඹරාහේන පත්තිනි දේවාලය හමුවේ මෙය ගුරුගොඩ ඔය අයිනේ පිහිටියහ දේවාල අංගනය පෙරහැර මඟ පොකුණු දේව මාලිගය හා දිග්ගේ ආදියෙන් ඉහත කී ස්ථානය සමන්විතය මෙතැන බෝ නා සපු බුළු සහ ඉඹුල් වෘක්ෂ ආදියෙන් පීරී ඇත සමන් විෂ්ණු කතරගම විභීෂණ දේවතා බණ්ඩාර සහ පත්තිනි යන ෂඩ් වර්ගීය දේවගණයා අතර එකම දේවතාවිය වන්නේ පත්තිනියයි 

 "අතලා වදාරාපු පයලා වදාලාපු දකුණු පස දේවාභරණ ගිනි හළඹ යහතින් වැඩ පවතින්නාවූ තියඹරාහේන දේව මූලස්ථානයට අයිති ආණ්ඩු ඇති ඔබ වහන්සේගේ නාමයට පුද පඬුරු පුද පුජා පවත්වා " 

ආදී වශයෙන් මෙම පුද බිමෙහි යාතිකාවෙන් එහි ඓතිහාසිකත්වය හා වැදගත්කම කියවේ පත්තිනිය කඩා වෙන් කල දක්ෂිණ හළඹ මේ ස්ථානයේ තැන්පත් කොට ඇතැයි අදහයි ගජබා කාලයේදීම දකුණු හළඹ තැම්පත් කර මෙම ස්ථානය ආරම්භ කර ඇත්තේ දැනට පවතින දේවාලයට මඳක් කිට්ටුවෙන් පිහිටි තෙලිජ්ජගොඩ පොකුනුගලේ ඇසුරෙනි මෙහි ඇති කුඩා පර්වතයේ නයි රුවක් හා කඩුවක රුපයක් කොටා ඇත එසේම දැනට ද පත්තිනියගේ ආරක්‍ෂක නයි පරපුර ඇතැයි සඳහන් තුඹස සහිත කදුරු වෘක්ෂය ඒ අසල දක්නට ඇත පෘතුගීසි කරදර සමයේ දී පත්තිනි හළඹ නවගමුව දේවාලයේ තිබී තියඹරාහේනට වැඩම කල බවට‍ ද මතයක් පවතී .

පත්තිණි දේවිය
බෙල් මහතාගේ ලේඛන අනුව දේව මාලිගාව ටැම්පිට සාදා ඇත්තේ අඩි 11 ක් හා අඟල් 3ක් දිග හා අඩි 10 අඟල් 7 ක් පළලටය දේවාලයේ උළුවස්ස පළාපෙති හා බොරදම්වලින් යුතු වටිනා එකකි මේ දේවාලයෙන් හමු වූ දේවාල උපත ග්‍රන්ථය ලංකාවේ දේවාල පිළිබඳව වැදගත් ඉතිහාසයක් ගෙනෙයි මෙය රාජසිංහ රජු සැදවූ බව එහි කියයී මෙහි විශාල කටු ඉඹුල් රුකක්‌ ඇත එහි පත්තිනි හළඹ අහසින් අවුත් රැඳී සිලි සිලි හඬින් හඬ දෙද්දී කපුවරුන්ගේ කන්නලව්වෙන් දේවාලයට වැඩ තැන්පත් වූ බව කියවේ .දැනුදු විශේෂයෙන් කිලිටු වූ ගැහැණු උදවිය දේවාලයට ආවොත් දේවාල භුමියේ සිටිනා නයි කලබල වනු බව කියවේ මේ ඉඹුල් රුකේ වට ප්‍රමාණය අඩි 40 ක් පමණ වේ එහි උස අඩි 300 ක් පමණ වන අතර අතු පැතිරී ගිය එය මහවෘක්ෂයකි එහි වයස හරි හැටි කිව නොහැකි මුත් අඩු වශයෙන් අවුරුදු 500 ක් තරම්වත් වන්නට ඇති බව පෙනේ මෙහි පැරණි නා රුක සැදී වැඩිමකින් තොරව පවතින බව ජන විශ්වාසයයි

               කබුළුමුල්ල පත්තිනි දේවාලය

කොළඹ යටියන්තොට මාර්ගයේ කරවනැල්ල තුන්මංසල අසල කබුළුමුල්ලේ දේවාලය පිහිටා ඇත කඳුගැටයක පිහිටුවා ඇති දෙවොල වටා ඊටම ඔබින නිසංසල පරිසරයක අක්කර දෙකහමාරක් පමණ සේ විහිද යන දේවාල භුමිය තුරුලතාදියෙන් සැරසුණු සිත්කළු දර්ශනයෙන් යුතුය.සීතාවක රාජසිංහ රජු විසින් තනවන ලදැයි විශ්වාස කරන මෙම දේවාලය කරවීමේදී මඟුල් කැප සිටවූ මුල්ල කප-ලු-මුල්ල වී පසුව කබුළුමුල්ල  වීමෙන් දෙවොල පිහිටි ගමට එනම ලැබුනේ යැයි මුඛ පරම්පරාගත කතාවල කියවේ අතීතයේදී දේවාලකන්ද ප්‍රදේශයේ මංගෙදර මුල්ලේ පිහිටි  දේවාලය රාජසිංහ රජු විසින් කබුළුමුල්ලේ ඉදි කරන ලද බවත් එසේ කරන ලද්දේ දේවාලයට සම්බන්ධවී සිටි වනිගකුල අබේසිංහ මුදියන්සේට රජුගෙන් සිදුවූ අසාධාරණයක් නිවැරදි කරන්නට බවත් දේවාලය හා සම්බන්ධ වූ ප්‍රකටම ජනශ්‍රැතියකී දේවාලය බාරව සිටින අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර රාජසිංහ කපු රාළහාමි කියන ආකාරයට ඒ කතාව මෙසේය 


වනිග කුල අබේසිංහ හෙවත් රණසිංහ මුදියන්සේ රාජසිංහ රජු යටතේ සේවය කල සෙනෙවියෙකි හෙතෙම බලංගොඩට නුදුරු කළුතොට ප්‍රදේශයේ බලකොටුවක් භාරව සිටියේය බලකොටුව කටයුතු තුලින් රණසිංහ මුදියන්සේ ලබන ගෞරවය නොඉවසූ ඔහුගේ පස මිතුරන්ගේ සංවිධානාත්මක කේලාම් බස් නිසා රණසිංහ මුදියන්සේ රාජද්‍රෝහියෙකු බවට‍ පත්ව රාජ උදහසින් සිර භාරයට පත් විය සිරගත කරන ලද රණසිංහ මුදියන්සේගේ සොහොයුරෙක් මංගෙදරමුල්ලේ පත්තිනි දේවාලය භාරව සිටියේය නිර්දෝෂී සිය සොහොයුරාට අත් වූ විපත ඇසු දේවාල භාරකරුවා ඔහු රැකදෙන ලෙස අයදිමින් දෙවියන්ට කන්නලව් කළේය ඔහුගේ කන්නලව්ව සඵලදායි විය රජුට සිහිනෙන් පෙනුණු දෙවියෝ රජු බියපත් කළේය එමතු ද නොව රජු නිදා සිටි ඇඳ කඩා ගෙන බිමට වැටෙන්නට සැලැස්වුහ සිහිනෙන් පැමිණි දේවතාවා කලේ එකම නියෝගයකි ඒ රණසිංහ මුදියන්සේ නිදහස් කලයුතු බවයි .රාජසිංහ රජු උදැසනම ඇමතිවරුන් කැඳවා සිද්ධිය පිළිබඳව සාකච්ඡා කළහ ඉක්බිති ඇමතිවරු සිර මැඳිරි පිරික්සුහ රණසිංහ මුදියන්සේ නිරුප්‍රද්‍රිතව සිටියේය එහෙත් ඔහුගේ දෑතට ලු විලංගු උඳු මුං   සේ කැබලි වී තිබිණි රජු අභියසට  කැඳවන ලද රණසිංහ මුදියන්සේගේන් ඔහු සතු හාස්කම්  යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳව දන්නේ දැයි විමසන ලදී තමා සතු හාස්කමක් නොමැති බව කි සෙනෙවියා මංගෙදර මුල්ලේ දේවාලයේ සිටින තම සහෝදරයා ගැන ද කිවේය.එවිට ඔහුගේ සොහොයුරා ගෙන්වා සියලු විස්තර දැනගත් සීතාවක රාජසිංහ රජු අස්ථාන සැකයක් මත සිරකළ රණසිංහ මුදියන්සේ නිදහස් කර මංගෙදර මුල්ලේ තිබුණු දේවාලය කබුළුමුල්ලේ ඉදිකර එහි භාරකාරත්වය රණසිංහ මුදියන්සේට පැවරිය මංගෙදර මුල්ලේ සිටි කපු මහතාට මැදගොඩ පත්තිනි දේවාලය භාර කළේය 

මෙම ජනකතාවට අනුව මැදගොඩ හා කබුළුමුල්ල දේවාලවල කපු මහතුන් පැවත එන්නේ සහෝදරයන් දෙදෙනකුගෙනි අභය දානය ලත් බැවින් කබුළුමුල්ලේ කපු මහතා අභය රණසිංහමුදියන්සේ විය මැදගොඩ කපු මහතා රණසිංහ මුදියන්සේ විය සිහිනෙන් බයවූ තෙද බලැති රජකු බිම දැමු නිසා ඇඳ වියල අභය රණසිංහ මුදියන්සේටම රජුගෙන් තිළිණයක ලෙස ලැබුණි පරම්පරා ගණනක පුරා සුරක්‍ෂිතව පැවති මෙම ඇඳ වියල අද ටිකිරි බණ්ඩාර රණසිංහ මහතා භාරයේ පවතී වර්තමාන කපු මහතා වන අභය රණසිංහ මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩාර දේවාලයේ 51 වන කපු මහතා වේ දේවාලයේ මුරුතැන් තබන්නේ කපු මහතුන්ගේ සංක්‍යාව අනුවය වසර 400 ක පමණ කල සිට කපු මහත්වරුන්ගේ සංක්‍යව 51 ක වුයේ ඇතැම් කාලවල සහෝදරයන් කිහිප දෙනෙකුම කපු මහත්වරුන් සේ කටයුතු කල නිසා බව වර්තමාන කපු මහතාගේ මතයයි කබුළුමුල්ල පත්තිනි දේවාලයකි එහෙත් එහි වැඳුම් පිදුම් ලබන්නේපත්තිනිය පමණක් ම නොවේ සිද්ධ ගනේගොඩ දෙවියෝ ද දෙවොලේ පිදුම් ලබති දේවාලයේ යාතිකාව ඇරඹෙන්නේද ගනේගොඩ දෙවියන්ගෙන් අවසර ගැනීමෙනි පත්තිනි දේවිය ඇමතෙන්නේ ද ඉන් පසුවය එමතු ද නොව දේවාලයේ උත්සව වලදී මුලින්ම පහන් දල්වන්නේ ද ගනේගොඩ දෙවියන් වෙනුවෙනි ගනේගොඩ නමින් දේවත්වයට පත්ව ඇත්තේ සීතාවක රාජසිංහ රජු වේ දෙවොල වෙනුවෙන් ගම්බිම් දුන්නේ ද දේවාලය තනා දුන්නේ ද රාජසිංහ රජු බැවින් ඔහුගේ අභාවයෙන් පසුව දේවත්වයට පත් රජුට මුල් තැන ලැබෙනවා විය හැක සීතාවක රාජසිංහ රජු හා මහ සංඝයා අතර අමනාපකම් වී යයි කියනු ලැබෙයි එබැවින් ගනේගොඩ දෙවියන්ගේ අණසක පවත්නා කබුළුමුල්ල ගමේ ගිහි පිරිත් විනා සඟ පිරිත් සජ්ඣායනා කිරීම අකැප යයි ජන විශ්වාසය වී තිබේ

                   දෙවොල් මැඳුර පෙරහැර චාරිත්‍ර වාරිත්‍ර
 

දේවාලයේ පැරණි මැඳුර රාජසිංහ රජු විසින් කරවන ලද කොටසකි දේවාලය මුලින් ගල්ටැම් මත තනා තිබු බව ද පසු කලෙක ප්‍රතිසංස්කරණ වල දී ගල් ටැම් වසා බදාමයෙන් බැඳ ඇති බව ද කපු මහතා පවසයි මෙම ප්‍රතිසංස්කරණය සිදු කර ඇත්තේ රජු විසින් කරවන ලද පැරණි මැඳුර හා ගල් උළුවස්ස ආරක්ෂා වන සේය කබුළුමුල්ල ගම එම දේවාලයේ නින්දගමකි මේකියන නින්දගම ප්‍රවේණි සේවා වසම් 10 ට බෙදා ඇත ඒ මෙසේය

1කපු රාලලාගේ පංගුව
2ගම් වසම් පංගුව
3විතාරං පංගුව 
4දැල්ලගේ පංගුව
5මාහල්ලගේ පංගුව
6තලංගමගේ පංගුව
7දංගම්පලගේ පංගුව
8හාල් මාළු පංගුව
9පුරප්පාඩු පංගුව
10රදාගේ පංගුව                                   
කබුලුමුල්ලේ දේවාලයේ ඇසල පෙරහැර ද මැදගොඩ පත්තිනි දේවාලයේ නිකිණි පෙරහැර ද පැවැත්වීම පුරාණ සම්ප්‍රදාය වේ එසේ වූ විට කබුළුමුල්ලේ භාරකරුවන්ට මැදගොඩ පෙරහැරට ද මැදගොඩ භාරකරුවන්ට කබුළුමුල්ලේ පෙරහැරට ද උදව් උපකාර කිරීම පහසු වේ කබුළුමුල්ල දේවාලයේ ඇසල පෙරහැර දින 7ක් පුරා පැවැත්වේ මුල් දිනයේ පැවැත්වෙන්නේ කුඹල් පෙරහැරයි ඉනික්බිති ව රන්දෝලි පෙරහැර පැවැත්වෙන අතර අවසාන දිනයේ පැවැත්වෙන වීදි පෙරහැර අංග සම්පුර්න වූ උත්කර්ෂවත් පෙරහැරකි අවසාන දින දිය කැපීමෙන් පෙරහැර අවසාන වේ දෙවොල් බිමට පහලින් ගඟ බඩ තෙළඹු ගසක් පිහිටියේය ඉන් පැලවු කිසිඳු පැලයක් දක්නට නොලැබෙන බව කපු මහතා පවසයි ලක්දිව ගම්මඩු චාරිත්‍ර ආරම්භ වන්නේ දඹදිව විසු සේරිමානන් රජුට වැළඳුනු හිසේ කැක්කුම සුව කරන්නට කරවූ ගී මඩුවෙන් බව "මඩු පුරේ කීමේ" දැක්වේ එහි දැක්වෙන ආකාරයට මඩුව සඳහා කප සිටුවන්නේ රුවන්වැල්ල ඉසානයෙනි

රුවන් එදා වර්ෂාවක් සද් දවසක්  වසිමින්නේ
රුවන් නියම කරන සෙවිලි නංවන පුරයට වන්නේ 
රුවන් සළඹයට ගනිමින් රුවන්වැල්ල නම දුන්නේ
රුවන්වැල්ල ඉසානයට ගනිමින් බිම බලන්නේ
                                                                         (මඩු පුරේ කීම)

ගඟ බඩ තෙළඹු ගස ඇති තැන ගී මඩුව කර වූ බව දේවාල භාරකරුවෝ පවසති එදවස සේරිමානන් රජ කප් සිටවූ ස්ථානය සිහිවීම පිණිස මේ තෙලඹුව රෝපණය කළේලු පසු කලෙක රාජසිංහ රජු දෙවොල ඉදිකරන්නට ද මෙම පුජනීය භුමි භාගයම තෝරා ගත්තේ ලු පත්තිනි මෑණියන්ටත් ගනේගොඩ දෙව් සමිඳුන්ටත් කැප වූ කබුළුමුල්ලේ පුද බිම සම්ප්‍රදායික ඇදහිලි විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව උනන්දුවන්නන්ගේ අවධානයට යොමු විය යුතු නිසංසල පුජනීය භුමි භාගයකි

                           ගල්ලෑල්ල පත්තිනි දේවාලය
හිගුලේ සිට අළුත්නුවර  දේවාලය බලා යන විට ගල්ලෑල්ලේ තුන් බෝධි ස්ථානයේ සිට යාර සියයකට පමණ ඈතින් ගල්ලෑල්ලේ පත්තිනි දේවාලය පිහිටා ඇත මේ දේවාලය ඉදිකර ඇත්තේ උස්බිමක් මුදුනේ පිහිටි විශාල ගල්පුවරුවක් මතය මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි බණ්ඩාර රාජසිංහ කුමරුන් සහ මායාදුන්නේ රජුගේ බෑණා වූ විදිය බණ්ඩාර අතර යුද්ධයක් විය එකොලොස් වියැති ටිකිරි බණ්ඩාර කුමරුන් සෙංකඩගල දෙසින් පැමිණි සේනාව මෙහෙයවුයේ එම ගල්තලාව සිට බව විශ්වාසය වේ එසේම පත්තිනි දේවියගේ ගිනි හළඹ මෙහි තැන්පත් කර ඇතැයිද ජනප්‍රවාදවල එයි

                            බටවල පත්තිනි දේවාලය

කුකුළු කෝරලයේ අයගමට නුදුරු බටවල ගමේ පිහිට තිබෙන කුඩා පත්තිනි දේවාලය ගම්පොල රාජ්‍ය සමයේ දී ඇති වූ එකක් ලෙස සැලකිය හැකියයි රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල නාහිමියන්ගේ සපරගමු දර්ශන ඓතිහාසික ග්‍රන්ථයේ සඳහන් වේ එහෙත් මෙම ලේඛකයා විසින් සොයාගෙන ඇති පැරණි තොරතුරු අනුව මෙම දේවාලය ඉදිව ඇත්තේ සීතාවක රාජසිංහ රජුගේ නියමයෙන් 1590 දී ය ඇල්ලගාව පත්තිනි දේවාලය මෙන් මෙය ද සාදවා ඇත්තේ මනම්පේරි මුදලිතුමාය පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා දිගම්පත(කුකුළු)කෝරලයෙන් රජුට අයවිය යුතු බදු මුදල් එකතු කරන්නාගේ කාර්යාලය තිබී ඇත්තේ අයගමය මේ ගමට එම නම පටබැඳි ඇත්තේ එම නිසාය 


සීතාවක රාජ්‍ය කාලයේදී මේ ප්‍රදේශය අයබදු ගැනීම සඳහා සීතාවකට නුදුරු උඩුවිල නමැති ගමේ මනම්පේරි මුදලි පරපුරට අයත් කෙනෙකු ජිවත්ව සිට ඇත ඔහු මනම්පේරි මුදලිතුමාගේ කිට්ටුවන්ත ඥාතිවරයෙකි ඔහු මනම්පේරි මුදලිගෙන් කල ඉල්ලීමක් අනුව රාජසිංහ රජුගේ අනුග්‍රහයෙන් මෙම දේවාලය ඉදි කර ඇත මනම්පේරි මුදලිගේ ඉල්ලීම පරිදි රජු විසින් එකල දේවස්තෝත්‍රාදිය දත් මේ ගමේ අයකු වූ හේතුහාමි නැමැත්තෙකුට බටවල කපුරාලලාගේ යන පෙළපත් නාමය පටබැඳ ඔහුගේ පරම්පරාවට කපු තනතුර පවරා ඇති අතර දේවාලයට අවශ්‍ය පත්තිනි හලඹත් ආභරණ කීපයක් හා මෙහි නඩත්තුව සඳහා කපුගේ මළ පාළුව නමැති හැටපස් අමුනක නින්දගමක් දී ඇත මනම්පේරි මුදලිතුමා විසින් මෙහි බස්නායක නිලමේ කෙනෙකු වශයෙන් පරගල විජේසුන්දර පරපුරේ අයකු පත්කර ඇත අදත් මෙහි එම තනතුරේ අයිතිය ඒ පරපුර සතුව තිබේ පත්තිනි දේවමෑනියන් වෙනුවෙන් කැප කරන ලද දේවාලය ශතවර්ෂක පමණ කාලයක් දියුණුවට පත්ව තිබී කපුරාලලා හා බස්නායක නිලමෙලා අතර ඇතිවූ ආරවුලක් නිසා කලක් ඇවෑමෙන් අරාජිකත්වයට පත්ව ඇත ඒ හේතුවෙන් රාජසිංහ රජු දී තිබු සන්නස් තුඩපත් හා වෙනත් වැදගත් පුස්කොල ලිපි කීපයක් ද විනාශ වී ඇත ඒ නිසා කලකදී නින්දගම අහෝසි වී ඇත

                           මැදගොඩ පත්තිනි දේවාලය

මෙම දෙවොල සීතාවක රාජසිංහ රජුගේ කලට පෙර සිටම පැවතගෙන එන දෙවොලක් වේ කෙසේ වෙතත් මෙය නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රාජසිංහ රජුගේ අනුග්‍රහය ලැබී ඇත ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු දිනක් සිය පිරිවර සමග පෙතංගොඩ කරා කැලණිය ගඟ දිගේ ඉහළට දේව අඟුලෙන් යමින් සිටියේය මැදගොඩ පැරණි දෙවොල් බිම අසලදී අඟුල ඉබේම නැවතී ඇත අඟුල පදවමින් සිටි මාල මීගොල්ල නැමැත්තා දියට බැස බැලු මුත් කිසිඳු හේතුවක් නොදිටීය මෙය දේව හාස්කමක් ලෙස සැලකු රජු තව දුරටත් විමසා බැලු විට පත්තිනි දේවාලය දැක ඇත රජු එම ස්ථානයට ගොස් පහනක් දල්වා දෙවොල යලි ගොඩනැගීමට තීරණය කල පසු අඟුල ඉබේම ගඟ ඉහළට ගමන් කර මාදෙයියාගල නම් ගල මත නැවතුණි එයින් සතුටට පත් රජු පසුව මැදගොඩ පත්තිනි දේවාලය සකස් කල බව පැවසේ මෙය යලි ගොඩ නගා ඇත්තේ 1582 දී පමණ ය මෙය මුලදී ගොඩ නගා තිබී ඇත්තේ ටැම්පිට දේවාලයක් ලෙසිනි ගල් ටැම් මත නා වැනි ලී බාල්ක දමා ඒ උඩ ලෑලි අතුරා දේවාලය ගොඩනගා තිබී ඇත ඒවායින් ගල් ටැම් දෙකතුනක් පමණක් ඉතිරිව තිබී වෙනත් ඒවා තනා ඒ මත නව දේවාලයක් ඉදිකර තිබේ නවගමුව පත්තිනි දේවාලයේ සිට රුවන් සළඹ සත් නමක් මැදගොඩ ඇල්ලට කිඹුල් වාහනය පිට වැඩම කරවා කෙළි පුද ගන්නට වරම් දුන් අවස්ථාවක් පිළිබඳව පත්තිනි දේව කන්නලව්වක සඳහන්වේ පත්තිනි දේවාලයේ තිබුණු දේව සළඹ සත්නමක් මේ වෙත වැඩම වූ බවක් ද ඇතැම් ජනශ්‍රැති අනුව පැහැදිලිවේ

                        හොලොම්බුව පත්තිනි දේවාලය

මෙම පත්තිනි දේවාලයේ දැනට පවතින දේවාල ගොඩනැගිල්ල 1885 ඉදි කරන ලද්දකි ඊට පෙර පැවති දේව මන්දිරය ගංවතුර හේතුවෙන් විනාශවූ පසුව මෙය ඉදිකර ඇත එම මුල් දේව මන්දිරය ගජබා රජුගෙන් පසු ඉදිවූ බවට‍ ජනප්‍රවාදයේ සඳහන් වේ සෑම වසරකම මාර්තු මාසයේ දී අළුත් සහල් මංගල්ලයද(නානුමුර)පැවැත්වේ දේවාලයට පිවිසෙන පියගැටපෙළ මුදුනෙහි කළුගලෙන් නිම කරන ලද සතරැස් ගල් පුවරුවක් ඇත එය සඳගල යනුවෙන් හැඳින්වේ 


මෙම දෙවොලේ බල ප්‍රදේශ වශයෙන් ගම් 24 ක් ඇත එම බලප්‍රදේශයට අයත් සෑම කුඹුරකින්ම දෙවියන් වෙනුවෙන් විලාසක්‌ (අක්යාල) වෙන් කරනු ලබයි ඒ වෙනුවෙන් කපු මහත්වරුන් පුවක් මල් කිනිත්තක් හා අතු කැබැල්ලක් ගෙන දෙවියන්ට කන්නලව් කොට කුඹුරේ එල්ලති එවිට මැස්සන් පණුවන් ආදී කෘමි සතුන්ගෙන් කුඹුර ආරක්ෂා වී අස්වනු වැඩි වන බව විශ්වාස කරති මෙම දේවාලයට සළඹ ලැබීම පිළිබඳව ජනප්‍රවාදයක් ඇත දේවාලයේ සිට සැතපුම් 1 1/2 පමණ දුරින් පිහිටි අද කපුගෙ ඕවිට නමින් හඳුන්වන ස්ථානයක් ඇත  සෘධි සලඹක් එහි වරා ගහක රැඳී වරින් වර හඬ නැගෙනු ඇසෙන්නට විය මෙම පුවත දැනගත් අවට ප්‍රදේශ වල සෑම කපුමහතෙකුම කපුගෙ ඕවිටට පැමිණ මල් පැලවල් සාදාගෙන යාඥා කල අතර එම සළඹ හොලොම්බුව දේවාලයේ කපුමහතාගේ මල් පැලට සෘධියෙන් වැඩ ඇත අනතුරුව එය හොලොම්බුව දේවාලයට පෙරහැරින් වැඩම කරවූ බව පැවසේ තවද එම සළඹ රැකීම සඳහා නිරතුරුවම සුදු නයි පැටවකු එම අසල රැඳී සිටි බවත් ගමේ කිලිගෙයක් ඇතිවූ වහාම දේවාලය තුලින් වරින් වර සළඹ බල නැඟෙන හඬ දින 7 ගතවන තුරු ඇහුනු බව ද ප්‍රචලිත කරුණකි එ දක්වා නොකඩවා සෑම වසරකම පවත්වාගෙන ආ ඇසල පෙරහැර 1943 දී නතර වීමත් සමග එම සළඹ දේවාලයෙන් අතුරුදන් වී ඇත එවකට සිටි කපු මහත්වරුන් නියමිත පුද පුජා නොපැවැත්වූ හෙයින් මෙම සළඹ අතුරුදන් වූ බව ගැමියන්ගේ විශ්වාසය වේ 

සාරය සාර වශයෙන්ද, අසාරය අසාර වශයෙන් ද දකින නිවැරදි අදහස් ඇත්තෝ සාරාර්ථය වූ නිර්වාණය අවබෝධ කරති.
Read more »

මුල්ලේරියා හටන

9 comments
පහ කළ කෙලෙස් ඇති, ආත්ම දමනයෙන් හා සත්‍යයෙන් යුතු, ශිල සංවරයෙන් යුතු තැනැත්තා කසාවත් දැරීමට සුදුසුය.



දහසය වන ශතවර්ෂයේ දෙවන භාගය ආරම්භ වුයේ පැහැදිලිවම ප්‍රධාන බලවේග දෙකකට ලක්දිව ආධිපත්‍යය හිමිවිමෙනි ඒ සීතාවක රාජධානියට කේන්ද්‍ර ගත වූ දේශීය බලවේගයද කෝට්ටේ සහ වෙරලබඩ ප්‍රදේශවල ස්තාපිතවූ විදේශීය බලවේගයද වශයෙනි ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා වෙරළාසන්නව ජිවත් වූ මුක්කුවා මස් මරන්නන් අතර 1551 වර්ෂයේදී සිවිල් යුද්ධයක් හටගත්තේය එක් කන්ඩායමක ප්‍රධානීහු තම ළමා නායකයා ද කැටුව දකුණු ඉන්දියාවේ පිහිටි පරවාස් කරා පලා ගියහ එහිදී ක්‍රිස්තියානි ආගමට හැරුණු ඔවුහු දහසක පමණ සෙනගක් රැගෙන ආපසු සටනට පැමිණියහ පෘතුගීසි ආධිපත්‍යය සමග ව්‍යාප්තවූ කතෝලිකාගම ලංකාවේ වෙරළාසන්නව ජීවත්වූ ධීවර ජනතාව අතර සීග්‍රයෙන් මුල් බැස ගත්තේය 1555 වර්ෂයේදී ධර්මපාල රජුගේ  බාප්පා වූ තම්මිට සුරිය බණ්ඩාර හෙවත් සෙම්බහප් පෙරුමාල් ෆ්‍රැන්සිස්කු බැරටෝ නමින් ගෝවේදී ක්‍රිස්තියානි ආගමට හැරුණි කෝට්ටේ දේශපාලන නායකයන් සහ ප්‍රභූවරුන් උපරිම වශයෙන් පෘතුගීසි ආධිපත්‍යට නතුවීම සංකේතවත් කරමින් 1557 වර්ෂයේදී විදිය බණ්ඩාරගේ පුත් ධර්මපාල රජු දොන් ජුවන් යනුවෙන් නම වෙනස් කරගනිමින් ක්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේය මේ සිදුවීම විස්තර කරන රාජාවලිය

විසුරේගේ බෑණා දොන් ජීවන් අරික්කු කියන පිදාල්ගුවත් විල්පොන්සි අපොන්සු පෙරේරා කියන පාදිලියත් ගෝවේන් ඇවිත් කොලොන්තොටට ගොඩ බැස කෝට්ටේ නුවර ඇවිදින් ධර්මපාල රජ දැක කතා කරගෙන ක්‍රිස්තු  සමයම ධර්මපාල රජුට දී දොන් ජිවන් පෙරියපන්දාර කියන නමින් කුලවද්දාගෙන එරජ කුල වදිනා විට කෝට්ටේ නුවර නැතක්  ප්‍රධානිවරුන් කුලවැදුනාහ....

එදා පටන් කෝට්ටේ නුවර නැතක් ගෑනුන් ප්‍රතිකානුන්ඩ සැමනී හීන ජාතිද ,ඇම්බැට්ට ජාතිද ,කරා ජාතිද,හන්නාලි ජාතිද ,හාලි ජාතිද ,දුරා ජාතිද ,ගොයි ගෙයි ජාති ද කෝට්ටේ නුවර ප්‍රධාන අය ප්‍රතිකානුන්ගේ වස්තුවට ලෝභ වෙලා උන්ඩ සැමනිලා කුල වැදී බැඳගෙන උන්නාහ

යයි සවිස්තරාත්මකව තොරතුරු සපයයි කෝට්ටේ නුවර ප්‍රධානීහු ක්‍රිස්තියානි ආගම වැළඳ ගැනීමෙන් පසු කෝට්ටේ සේනාව සහ ප්‍රතිකාල් සේනාව ඒකාබද්ධ වී සීතාවක ආක්‍රමණය කර ගම් නියම් ගම් කොල්ලකා නගර ගිනි තබා මහත් ව්‍යසනයක් සිදු කළේය මෙවිට‍ මායාදුන්නේ රජු දැරණියගලට පසු බැස්සේය කලක් එහි ගත කර නැවත සීතාවකට පැමිණ මාලිගා, බලකොටු සහ සේනාව ප්‍රතිසංස්කරණය කල මායාදුන්නේ රජුට සහය පිණිස බුද්ධ වංශ නම් භික්ෂුව ජනතාව අවදි කරමින් ධෛර්යවන්තව ක්‍රියා කල බව කවේයිරෝස් සඳහන් කරයි මේ වසරේදීම ජුනි මාසයේදී කෝට්ටේ නුවර වැසියන් මෙහෙයවා පෘතුගීසි දොන් ජීවන් විරෝධී කැරැල්ලක් ඇති කිරීම දක්වා භික්ෂුන්ගේ උද්ඝෝෂණය දුරදිග ගියේය අවාසනාවට මෙන් බෞද්ධ සංඝයා සංවිධානය වී පෘතුගීසි විරෝධී අරගලයට උරදුන්නේ ධර්මපාල රජුද ඇතුලත්ව කෝට්ටේ ප්‍රභූවරු මහා පරිමාණයෙන් ක්‍රිස්තියානි ආගම වැළඳගෙන භික්ෂුන්ගේ වරප්‍රසාද අහිමි කිරීමෙන් පසුවය මේ වනවිට පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ ආධිපත්‍යය කෝට්ටේ රාජධානිය තුල මුල්බැසගෙන තිබුණි  කැරැල්ල ක්‍රැර ලෙස මැඩපැවැත් වූ පෘතුගීසිහු භික්ෂුන් 30 නමක්  එල්ලා මරා දැමුහ මේ අවස්ථාවේදී කෝට්ටේ නුවරින් රහසිගතව ඉවත් කරගන්නා ලද දලඳව සීතාවක රාජධානියේ දෙල්ගමුව විහාරයේ තැන්පත් කරන ලදී

 දොන් ජීවන් පෙරිය බණ්ඩාර පෙරටු කොටගත් ප්‍රතිකාල්ලු සීතාවක ආක්‍රමණය කිරීමට සුදානම් වුහ ඊට පෙර ක්‍රියාත්මකවූ මායාදුන්නේ සහ රාජසිංහ රජුන් සේනාව රැස් කරගෙන පැමිණ කෝට්ටේ නුවර තුන් පැත්තකින් වට කළේය කාලයක් මුළුල්ලේ ස්වදේශික සේනා විසින් වටලාගෙන සිටිම හේතු කරගෙන කෝට්ටේ නුවර භයානක දුර්භික්ෂයක් ඇති විය එහෙත් කපිතාන් අපොන්සු පෙරේයිරා ද ලසාර්දා යටතේ ගෝවෙන් ගෝවෙන් යුධ ආධාර පැමිණීම නිසා සීතාවක හමුදාව කඩුවෙලට පසු බැස්සේය එක් පසෙකින් කෝට්ටේ වට කරගෙන සිටි සේනාංකයක් භාරව කටයුතු කල පනාපිටිය මුදලි යුධ බිමේදී මළේය කෝට්ටේ ජනතාව විසින් අතහැර දමන ලද දොන් ජීවන් පෙරිය බණ්ඩාර කැලණියේ රජ මාළිගයට ගොස් පදිංචි විය කඩුවෙල කඳවුරු බැඳගත් ස්වදේශික දේශප්‍රේමී හමුදාව වරින් වර කොළඹ කොටුවට පහර දුන්හ පෘතුගීසින් ප්‍රභල ප්‍රහාරයක් දියත් කලත් සීතාවක හමුදා එය ව්‍යර්ථ කර විනාශ කළේය ප්‍රතිකාල් සේනාව අඩපනවූ මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගත් රාජසිංහ රජු කොට්ටෙට ප්‍රබල ප්‍රහාරයක් දියත් කර එය මුදවාගැනීමට සුදානම් වුවත කපිතාන් බැල්තසාර්ද ගුයිදෙස්‌ ද  සුසා යටතේ ගෝවෙන් යුධ ආධාර පැමිණීම හේතු කරගෙන ඒ ප්‍රයත්නය අසාර්ථක විය මේ අවස්ථාවේ දී වෙනත් කල හැකි යමක් නොවුයෙන් ද  පෘතුගීසින්ගෙන් මවුබිම ගලවා ගැනීමට මෙය මා හැඟී අවස්ථාවක වුයෙන් ද නැවත වරක් මලබාර් පාලකයාගෙන් උපකාර ඉල්ලා සිටීමට මායාදුන්නේ රජ කටයුතු කළේය මලබාර් පාලකයා එවන ලද හමුදා මන්නාරමේදී පරදවා නැව් ද ගිනිබත් කල පරංගි රාජසිංහ රජුගේ හමුදාව සීතාවකට පලවා හැරියහ 1557 -1562 අතර කාලය තුල මෙලෙස ජය පරාජය තීරණය නොවූ සටන් රාශියක්ම කෝට්ටේ සහ සීතාවක අතර සිදු විය සීතාවක රජු මලබාරයෙන් යුද ආධාර අපේක්ෂා කලද මේ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යය පෘතුගීසින් සතුවූ බැවින් නාවික ආධාර ලබාගැනීමට ක්‍රමයක් නොවිය

1562 වර්ෂයේ දී රාජසිංහ රජු හා වික්‍රමසිංහ  මුදලි යටතේ සේනා සන්නද්ධ කල මායාදුන්නේ රජ එකවර  කොළඹ හා කෝට්ටේ වටලන අයුරින් ඉදිරියට ගොස් ප්‍රථම කඳවුර මුල්ලේරියා වෙල අසල ස්ථාපිත කළේය දෙපක්ෂය අතර දින කීපයක් තිස්සේ සටන් ඇවිලී ගියත් කිසිවෙකුටත් ජය අත් නොවිය රාජාවලිය මෙම අවස්ථාව සවිස්තරාත්මකව සඳහන් කරන්නේ මෙසේය

මුල්ලේරියාව යන ගමදී ප්‍රතිකානුන් දැකලා යුද්ධ පුණ්ඩුව වික්‍රමසිංහ මුදලින්ගෙන් දහස් ගණන් සේනාව වැටී වික්‍රමසිංහ මුදලිත් තුවාලව බිඳී හේවාගමට ගියාහ ප්‍රතිකානෝ කොටා ජයගෙන මුල්ලේරියාවේ වාඩ්ලුවාහ.වික්‍රමසිංහ මුදලින් බිඳී ගිය හැටි රාජසිංහ රජු දැකලා වම දකුණ පලිසක්කාරයින් හා දෙබාගේ ඇතුන් හා අතුරුගිරිකෝරලය ,හේවාගම් කෝරලය කොරතොට ආරච්චිවරුන් ළඟට කැඳවා හෝකන්දර රදා දොළහ හේවායින් ගෙන්නවා ඉලංගම්වල පලිසක්කාරයන් දහසකුත් දී පස්ස පොරොත්තුවට පැන කොටන්ඩ ඇරලා රාජසිංහ රජ පෙරමුණ ඉස්සර පාරෙන් ගොසින් මුල්ලේරියා වෙල මැද සිටිනා ප්‍රතිකාල් සේනාවට යුද්ධයට පැන්නාහ .පස්ස පොරොත්තුවෙන් ගිය හමුදාවත් ඇවිත් පැනලා යුද්ධ කරන විට ජයසුන්දර බාගෙන් වීර හස්ති කියන ඇතා කොඩියක් ගතිය විජයසුන්දර බාගේ ඓරාවනයා කියන ඇතා පලිසකුත් දම්වැලකුත් ගතිය. රාජසිංහ රජ අසුපිටට නැඟී මහා සේනාව පස්සට වෙන්ඩ නෑර ප්‍රතිකානුන්ගේ මැදට වැදිලා පලිසක්කාරයොත් ඇත් අස් සෙනඟත් එකට කලබගෑනිව ප්‍රතිකානුන් ගේ තුවක්කුවලට වෙඩිබේත් දමන්ඩ නොදී කොටන කල පලිසක්කරයොත් ප්‍රතිකානොත් ඇතුන්ගේ වල්ගාවල එල්ලී කෙටුවාහ. තුවක්කුවලින් ගසා ප්‍රතිකානෝ පලිසක්කාරයින් මාරුවාහ .රාජසිංහ රජ අසුට නැඟී විහිදුවා සේනාව වටකර දුවමින් රණ යුද ගිනි කෙළි කෙළ කොටන විට දුරුතු මස මිහිදුම් මෙන් වෙඩි දුම් පටලාගෙන සිටින සඳ මුල්ලේරියාවේ වෙලා මැද ලේ වතුරු කොට ප්‍රතිකාල් සේනාවට අඩියක්වත් පස්සට යන්ඩ නෑර කොටා ....

පැය 16 ක එකදිගටම පැවති සටනින් පෘතුගීසිහු 1600 දෙනෙක් වෙල මැද මැරී වැටුණු අතර පණ බේරාගෙන ආපසු පැනගත්තේ 125 දෙනෙක් පමණි පෘතුගීසින් පෙරදිගදී ලද විශාලතම පරාජය මෙය විය

මුල්ලෙරියා සටනින් පසු දේශප්‍රේමී සීතාවක සේනාව ප්‍රකෘති තත්වයට පත් කල රාජසිංහ රජු කෝට්ටය වැටලුවේය එය සාර්ථක වැටලිමක්‌ විය කෝට්ටේ රාජධානියේ උප නගරය වූ කැලණිය සීතාවක හමුදා අතට පත්විය කෝට්ටේ රාජධානිය තුල වූ ජනතාව සීතාවක රාජසිංහ රජුගේ පක්ෂය ගත්හ රාජසිංහ රජු පෘතුගීසීන්ට යටත් වන සේ නියෝග කළේය පෘතුගීසි කපිතාන් එයට එකඟ විය .එහෙත් ප්‍රතිකාල් යුද්ධ මන්ත්‍රණ සභාව යටත්වීම ප්‍රතික්ෂේප කලාය.රාජසිංහ රජ අගනුවර අල්ලා ගැනීමට මහත් වෙහෙසක් දැරූ මුත් ගොවෙන් යුද ආධාර පැමිණීම නිසා එය අසාර්ථක විය 1562 -1565 දක්වා වකවානුව තුල සීතාවක හමුදා සහ පෘතුගීසි හමුදා අතර නිරන්තර යුද්ධ පැවතින කෝට්ටය හැර අනෙක් සියලු ප්‍රදේශ රාජසිංහ රජු යටතේ පැවතියේය එහෙත් ගෝවෙන් යුද ආධාර ඒම වැළැක්වීමේ මඟක් රාජසිංහ රජු සතු නොවීම බලවත් අවාසියක් විය මේ වන විට කෝට්ටේ නුවර වැසියෝ සීතාවක බල ප්‍රදේශ කරා ගොස් පදිංචි වී සිටියහ ජනතාව විසින් අතහැර දමන ලද දොන් ජීවන් පෙරියබණ්ඩාර හෙවත් ධර්මපාල 1565 ජුලි මසදී කෝට්ටේ අතහැර පලාගොස් කොළඹ කොටුව තුලට රිංගා ගත්තේය රාජසිංහ රජුගේ යුද්ධ ව්‍යාපාර හේතුකොටගෙන රාජධානිය තවත් විශාල විය ධර්මපාල කොටුව තුල සැඟවීමෙන් පසුව කෝට්ටේ රාජධානියට  අයත් ප්‍රදේශ ද සීතාවක රාජධානියට අයත් වීමෙන් කොළඹ හා යාපනය හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සීතාවක ආධිපත්‍යයට නතු විය ශංකිලිගේ අනුප්‍රාප්තිකයන් විසින් පාලනය කල යාපනයද සීතාවක අධිශ්වරත්වය පිළිගත්තේය රාජසිංහ රජු විසින් පළමු වරට පැළඳ නුවරින්ද දෙවනුව සෙංකඩගලින්ද තෙවනුව සත්කෝරලේ මුන්ඩකොන්ඩපොල නුවරින් ද පන්නා දැමු විදිය බණ්ඩාරට යාපනය බලප්‍රදේශයට ඇතුළු වන්නට ජනතාව ඉඩ නොදුන්නේ ඒ නිසා ය
                                            
නිසරු දෙය සරු වශයෙන් දකින, සරු දෙය නිසරු වශයෙන් දකින, වැරදි හැඟීම් ඇත්තෝ සාරාර්ථය වූ නිවන අවබෝධ නොකරති.
Read more »

ආඬි ප්‍රතිපත්ති

3 comments
අරමුණු අසුභ ලෙසින් දකින,ඉන්ද්‍රිය සංවරයෙන් යුත්,බොජුනෙහි පමණ දන්නා, සැදැහැවත්,විර්යවන්තයා කෙලෙස් මරු නොමඩ්. වාතයට ගල් පර්වතයක් නොමැඩිය හැකිවාක් මෙනි.


පළමුවන රාජසිංහ රජුගේ කල අපකීර්තිමත් පක්ෂය වශයෙන් ආඬි සම්බන්ධතා (ඉන්දියානු පරපුර සහ රජ අතර පැවති සම්බන්ධතා )පෙන්වා දීමට විචාරකයෝ පෙළඹෙ එහෙත් මායාදුන්නේ රජුගේ කාලයේ සිටම සිංහල දේශප්‍රේමී අරගලවලදී මලබාර්වරුන් දැක්වූ ක්‍රියාකාරී සහයෝගය සුළුපටු නැත 1565 තරමේ සිට විශාල ප්‍රවාහයක් වශයෙන් ලක්දිවට ඇදී ආ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දායකත්වය සිංහල දේශප්‍රේමි හමුදාව ශක්තිමත් කිරීම පිණිස යොදා ගැනුනි මේ අනුව 1578 වර්ෂයේදී පමණ සීතාවක අධිරාජ්‍යයේ පාලනය ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු වෙත පවරනවිට ඉන්දියානු සංක්‍රමණිකයන් සිංහල රාජධානිය තුල ගොඩනගාගෙන තිබුණු සියලු ආකාරයේ හොඳ සහ නරක අංගෝපාංගයන්ද ඔහුට නිතැතින් ම උරුම වන්නට ඇත 

ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ යාග -හෝම විධි හා ඇදහිලි කොතෙක් දුරට හෙළ සමාජය තුල කිඳා බැස්සේද යත් සෝම කර්ම සිදු කල ග්‍රාමය සෝම ග්‍රාමය හෙවත් හෝමාගම ලෙසද සෝමකර්ම සඳහා දර ලබාගත් ප්‍රදේශය සෝමකර්මදර හෙවත් හෝකන්දර වශයෙන්ද බිලිපුජා සඳහා භාවිතා කල ජලාශය බිලි දුන් දොළ හෙවත් පිළියන්දල නමින්ද අද දක්වා ව්‍යවහාර වේ  පිටිපන ප්‍රදෙශය අසල බ්‍රාහ්මණ ගම නමින්ද ගමක් පිහිටා තිබෙන අතර එහි බමුණන් වාසය කල බව පැරැන්නෝ කියති  පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් නිරන්තරයෙන් සිදුකරන ලද කුමන්ත්‍රණ හමුවේ ස්වදේශික හමුදාවේ සමහර නායකයන්ද ඕනෑම මොහොතක සතුරාට එක්විය හැකි තත්වයක් උද්ගතව තිබුණි 

සීතාවක හමුදාවේ උසස් තනතුරු හෙබවූ සහෝදරයන් දෙදෙනකු අතර හටගත් පුද්ගලික අරගලයකදී එක අයෙක පෘතුගීසින් වෙත පලා ගියාක් මෙන්ම සෙනෙවිරත්න මුදලි සහ වික්‍රමසිංහ මුදලි අතර හටගත් අමනාපය සතුරු හමුදාව වික්‍රමසිංහ මුදලිගේ ආරක්ෂක වළල්ල හරහා නිරුප්‍රද්‍රිතව ගමන් කර සෙනෙවිරත්න මුදලිට පහරදීම දක්වා දුර දිග ගියේය නොවැදගත් සරණාගතයින් ලෙස ලංකාවට පැමිණ දේශප්‍රේමී හමුදාව තුල ක්‍රමයෙන් අති විශාල බලයක් ගොඩ නඟා ගත් ඉන්දියානු සරණාගතයා හැටියට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් හඳුන්වා දිය හැක එහෙත් සීතාවක රාජධානිය තුල ඔහුට දේශපාලන බලයක් නොතිබිණි රාජසිංහ රජුගේ අවසාන කාලයේ අරිට්ඨ කී වෙන්ඩු කටයුතු කල ආකාරය අනුව සිංහල අධිරාජ්‍ය තුල දේශපාලන බලය හිමිකර ගැනීමේ කුට චේතනාවෙන් ඔහු සැලසුම් ක්‍රියාත්මක කල බව පෙනේ   

රාජසිංහ රජුගේ ඇවෑමෙන් පසුව අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් විසින් මියගිය රජුගේ ඥාතිවරියට කල විවාහ යෝජනාවක් පිලිබඳ තොරතුරු ලැබේ රාජකීයන් සමග සිදුවන විවාහයකින් පසුව සීතාවක රාජධානිය තුල දේශපාලන බලතල හිමිකරගැනීම ඔහුගේ අරමුණ විය මේ විවාහ යෝජනාවට රාජසිංහ රජුගේ සහෝදරිය වූ මහ බිසෝ බණ්ඩාර බිසව තදින්ම විරුද්ධ වුවාය සොලිකරයේ සිට ආඬි ගුරකු ලෙස ලංකාවට පැමිණි අරිට්ඨ කී වෙන්ඩුගේ නොගැලපෙන විවාහ යෝජනාව සීතාවක වැසියන්ගේ සිනහවට කාරණයක් විය සීතාවක මහඅතපත්තුවේ දොළොස් හමුදාව බාරව සිටි අතපත්තු ආරච්චි අරිට්ඨ කී වෙන්ඩුව උපහාසයට ලක් කර ඔහු වීදිවල ගමන් කරන විට ඔහුට ඇසෙන ලෙස  කවි පද ගොතා ජනයා ලවා සීතාවක වීදිවල ගායනා කර වූ බව රාජාවලිය අනුව පෙනේ ඒ කවි අතරින් අද දක්වාම සිංහල දරුවන් අතර බෙහෙවින් ප්‍රචලිතව පවතින එක උපහාස කවියක් මෙසේ දැක්වේ 

අතුරු -මිතුරු, දඹදිව- තුරු 
රාජ -කපුරු, හෙට්ටියා.... 
අලුත ගේන මනමාලිට හාල්පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා ,පහල ගෙටත් බෙදාලා 
උස කොල්ලෝ පේළියයි-මිටි කොල්ලෝ පේළියයි 
උස දරමිටි පේළියයි -මිටි දරමිටි පේළියයි 
කුකුළා කපල වැට මුල්ලේ -කිකිළි කපල දොර මුල්ලේ 
කළු කපුටා සුදු වන තුරු-මෝල්ගහේ දළුලන තුරු 
බලා ඉඳින් හෙට්ටියෝ....

ඉහත ජන කවියට අනුව දඹ දිවින් පැමිණි රාජ කපුරු පදවිය හිමිකරගත් හෙට්ටියා කළු කපුටා සුදු වනතුරු බලා සිටියත් මෝල් ගහේ දළු ලනතුරු බලාසිටියත් කිසිදා සිදුනොවන විවාහයකට සුදානම් වූ බව පෙනේ  විවාහ සම්බන්ධතා හරහා සීතාවක දේශපාලන ව්‍යුහයට රිංගා ගැනීමට අපොහොසත් වූ තැන  අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ අවධානය යොමු වුයේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර හා පෘතුගීසීන්ගේ උපකාර කෙරෙහිය සීතාවක අරිට්ඨ කී වෙන්ඩුට උදුරාදීමට තරම් යුදබලයක් ඔහුට හිමි නොවිය ඉලංගකෝන් මුදලි යටතේ ප්‍රතිසංවිධානය වූ සීතාවක හමුදාව මෙහෙයවා අරිට්ඨ කී වෙන්ඩුව අල්ලා ගැනීමට නිකපිටියේ බණ්ඩාර රාජසුර්ය රජු සුදානම් වුයේ මේ අතරය එහෙත් ඊට පෙර අරිට්ඨ කී වෙන්ඩු කොළඹ කොටුවට පැනගත්තේය 

සීතාවක රාජධානිය තුල දේශපාලනික බලය හිමි කරගැනීමට නොයෙක් ආකාරයේ කුට උපක්‍රම යොදා තම ව්‍යායාමය ව්‍යර්ථ කරගත් ඉන්දියානු සරණාගතයෝ විශාල පිරිසක්ද අරිට්ඨ කී වෙන්ඩු සමග විරුද්ධ පක්ෂය ගත්හ ඉන් අනතුරුව සීතාවක රාජධානිය පෘතුගීසි යටත් විජිතයක් බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය භාරය සාර්ථකව ඉටු කල අරිට්ඨ කී වෙන්ඩු ඇතුළු කණ්ඩායම සිංහල රාජවංශික නායකත්වය සතුරාට පාවාදීමට කටයුතු කළේය මොවුන් දන්තුරේ සටනේදී කොනප්පු බණ්ඩාරගේ පක්ෂය ගත් බවද ඉන්පසුව කන්ද උඩරට බලපුළුවන්කාර වංශවත් රදළයින් බවට පත් ව ඇත ඔවුන්ගේ ආදිපත්‍ය හේතුකොටගෙන කඳුරට සිංහල ජනතාවගේ ජිවන රටාව මහත් පරිවර්තනතනයට  භාජනය වූ අතර ලක්දිව ප්‍රධාන පුජ්‍ය ස්ථාන පවා ශිව භක්තිකයන්ගේ යටතට ගැනුනි ශිව සමය තදින්ම පැතිරයාමත ඊට උඩරට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් හේතුකොටගෙන රටවැසියෝද ඊට නිතැතින්ම ආකර්ශනීය වුහ දේව ඇදහිලි සහ විශ්වාස ප්‍රචලිත වීම ආරම්භ වුයේ මෙම කාලයේදීය සෙනරත් රජුගේ පාලන සමයේ  රචිත අඹන්වෙල ගම යාපා මුදලිගේ පුත් කිවිඳුගේ ආඬි මාලය නම් පද්‍ය සංග්‍රහයෙන් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ සහචරයන් විසින් ක්‍රියාත්මක කල නිසරු ආඬි ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක්වේ උඩරට රජවාසල පැවති දකුණු ඉන්දියානු දැඩි ආධිපත්‍ය හේතු කොට ගේන පසු කලකදී උඩරට පාලනය දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන්ට හිමිවූ අතර පසුව උඩරට පාරම්පරික රදළවරුන් ලෙස පෙනී සිටි අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ ගෝල බාලයන් ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍ය පාවාදීමේදී  මුලිකත්වය ගත්හ               
වමාරා නොදැමූ කෙලෙස් කසට ඇති, ඉඳුරන් දමනයෙන් හා සත්‍ය වචනයෙන් තොර පුද්ගලයා කසාවත් දැරීමට නුසුදුසුය.
Read more »

කුකුළුවා රජමහ විහාරය

1 comments
කලහකාර මෝඩයෝ අපි මැරෙමු කියා නොදනිති.යමෙක් මේ ටික දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කළහ සංසිඳෙයි.



මුහුදු මට්ටමින් අඩි 1500 පමණ උසින් නිරිඇලි කන්දේ මැද කොටසේ පිහිටි මෙම පුජනීය ස්ථානය කුකුළු කෝරලයේ පැරණිම ගල්ලෙන් විහාරය වේ එහි ඇති ගල් ගුහා දෙකින් ප්‍රමාණයෙන් විශාල ලෙන විහාරය ලෙසත් කුඩා ලෙන දේවාලයක් ලෙසත් වෙන් වේ  කුකුළුවා රජමහා විහාරයේ ආරම්භය පිළිබඳව මත දෙකක් පවතී ඉන් පළමුවැන්න ආක්‍රමණිකයන් හා කල සටනින් පරාජිතවූ වට්ට ගාමිණී අභය රජු තුදුස් මසක් මලය දේශයේ සැඟවී සිටි කාලයේදී මෙම ගල් ගුහාවේ සැඟවී සිට යලි රාජ්‍යයට පත්වූ පසුව මෙම විහාරය ඉදි කල බවයි දෙවැනි මතය ඉදිරිපත් කරන පුජ්‍ය පාද පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ සීතාවක රාජසිංහ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් ලෙස සලකා මෙහි ඉතිහාසය කෝට්ටේ කාලය ඉක්මවා නොයනබව අදහස් කරති විහාර ගල්ගුහාවේ ඇති කටාරම අතීතයට නෑකම් නොකියන තනි රේඛාවක් වීමද එම නිගමනයට හේතු වී ඇත (සපරගමුව දර්ශන 244)

මෙම විහාරස්ථානය කුකුළුවා විහාරය යනුවෙන් සඳහන් වෙන්නේ 1 රාජසිංහ රජුගේ කාලයෙන් පසුව බව පිළිගැනීමට ඓතිහාසික සාධක ඇත මෙම රජු විසින් නිරිඇල්ලේ තිස්මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රධානය කල නිරිඇලි නින්දගමේ මෙම විහාරය කනත්තේ ගල්ලෙන් විහාරය නමින් දැක්වේ එය එම නින්දගමේ දකුණු මායිම වේ කනත්තේ ගල්ලෙන් විහාරය කුකුළුවා විහාරය බවට පත්වුණේ මෙම කෝරලය දිගම්පත කෝරලය නමින් ව්‍යවහාරයේ තිබී කුකුළු කෝරලය බවට පත්වුවයින් පසුවය පරගල විජේසුන්දර නැමැත්තෙකු රජවාසල පැවති කුකුළු පොරයකදී ඉදිරිපත් කල කුකුළා අන් සියලුම කුකුලන් පරදවා ජයගත් හෙයින් ඔහුට රජතුමා ලබාදුන් නින්දගම ලෙස කුකුලුගම (කුකුලේගම) ප්‍රදානය කල බව ජනප්‍රවාදයේ එයි මෙම කුකුල් පොර කරුවා පරගල ගමේ බොහෝ කලක සිට පැවත එන දක්‍ෂ මන්තර කාර පරපුරකට අයත් අයෙක්ලු. මොහු එම කුකුළු පොර තරගයේදී අනෙක් කුකුළන් දහඅට දෙනාම මරාදමා ඔහුගේ කුකුළා ජයග‍්‍රහණය කරවූයේ බලගතු මන්තරයකින් මතුරන ලද කහනූලක් පිටතට නොපෙනන අන්දමට තම කුකුළාගේ අත්තට්ටක පිහාටු අතර ගැටගසා තිබීමෙන් කුකුළා ආවේශව ප‍්‍රතිවාදී කුකුළන්ට පහර දීමෙන්ලු. එය සනාථ කිරීමට හැකි විදියේ දක්ෂ රහස් මන්තරකරුවෝ අදත් මෙම පරපුරේ සිටිති. 

දික් ගම්පත කෝරළයෙන් ගෙනා කුකුළ පොර කොටන්ඩ
කොක් හඬලා පටන් ගත්තු අනෙක් කුකුළො බා ලන්ඩ
දික් විජයක් කරපු නිසා මහවාසල සතුටු වෙන්ඩ
එක් වුණ නම එදා පටන් කුකුළු කෝරළය කියන්ඩ

කුකුළේගම
මැද පත්තුවට අයත් පෞරාණික ග්‍රාමයක් වන මෙය කුකුලේ ගඟ ආශ්‍රිතව ජනාවාස වූ පෙදෙස ලෙස සැලකේ. ශ්‍රී රාජසිංහ රජ (රා:ව 1747-1782) සමයේදී ලන්දේසීන් සමඟ සිදු කළ කටුවන මාතර සටනේදී සේනාව මෙහෙය වූ සේනාධිපතියකු වන කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලිතුමාට දුන් නින්දගමේ කොටසක් ලෙස දැක්වේ. බොහෝ කාලයක් මෙය කෝරළයේ ප්‍රධාන නගරය ලෙස පැවති බවද කියවේ.කුකුළේගමට අයත් ගම් ලෙස ගල්කැටිය, ජාතුවංගොඩ, කඳවැල්දොළ , හපුගොඩ, කොඩිප්පිලිකන්ද, කෝරළේගොඩ, මීපාගම, නාරගල්පිටිය, නාවලකන්ද, නවංගොඩ, පුල්ලෙකන්ද, වන්නිගොඩ හා වැතැල්ගොඩ ද දැක්විය හැකිය.



තවද මෙම විහාරස්ථානය අසල නැටුම්ගල සහ මාලිගාතැන්න යනුවෙන් හැඳින්වෙන ස්ථාන දෙකක් ද දක්නට ලැබේ එහෙත් ඒවායේ නටබුන් කිසිවක් පෙනෙන්නට නැත මේ ස්ථාන සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක ගවේෂනයක්ද සිදුකර නැත එහෙයින් මේ පිළිබඳව ස්ථිරව යමක කිව නොහැකි වුවද යම් ප්‍රාදේශීය රජකු හෝ මෙහි වසන්නට ඇති බව අනුමාන කල හැක කුකුළුවා විහාරයේ ගොදුරුගම ලෙස තිබෙන්නට ඇත්තේ නිරිඇල්ල සහ උඩකන්ද ගම බව පිළිගත හැකි සාධක ඇත නිරිඇල්ලේ සන්නස අනුව එම නින්දගම වැසියන් ආගමික වතාවත් සඳහා මේ ස්ථානය කරා පැමිණිය යුතුය 

කලවාන මාර්ගයේ කෙළවර පිහිටි උඩකන්ද ගම අදට වඩා ජනකිර්ණව විසු බවට සාධක සපරගමු ලේකම් මිටියෙන් සනාථ වේ කුකුළු කෝරලය ජනාවාසවිමේදී නිරිඇලි කන්ද හරහා පැමිණි වේරගම ආරච්චි පරපුරේ අයගේ ප්‍රථම නවාතැන උඩකන්ද ගම්මානය විය ඔවුහු විහාරය පාමුල වූ එම ගම්මානය සංවර්ධනය කරගෙන සියවස් දෙකක් පමණ ජිවත්වුහ එම කාලය තුල ඔවුහු උදකන්ද කංකානම නමැත්තෙකුගේ නායකත්වයෙන් කටයුතු කර ඇති අතර ලෝහ කාර්මිකයන් පවා එහි විසු බව උඩකන්ද ගෙයි අප්පු (සපරගමුව පැරණි ලියවිලි198 )යනුවෙන් දැක්වෙන ලේකම් මිටි පාඨයෙන් සනාථ වේ පසු කලෙක කවර හේතුවක් නිසා හෝ උඩකන්ඳ ගම ජනශුනය පෙදෙසක්ව එහි වැසියන් පිඹුරේ ගමට පදිංචියට ආහ එහෙයින් විහාරය ද වල්බිහිවිය  නැවත වරක් මෙම විහාරය පිළිබඳව සැදැහැවතුන්ගේ අවධානය යොමු වුයේ 1892 දී මෙහි වූ සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කල පසුවය එම සිද්ධියද ජන කවියක මේ අන්දමින් විස්තර කර ඇත 

සිරිලක පරසිඳු නවදුන් 
    කෝරලේ මැදපත්තුවේ නිරිඇලි     කන්දේ 

පෙර සිටි රජවරු තැනූ
        විහාරේ බොල්වී තිබුනයි හිම      මැද්දේ 

පව් කල සොරු රැල කුකුළු 
  විහාරේ පිළිමේ කඩන්නට කල         යුද්දේ 

දෙවුරට ළමැදට සිරසට වෙඩි 
         තුන තැබුවා ලෝකෙට             පරසිද්දේ 

මෙම හානිය සිදු වන විට විහාර ගෙය තුල පිහිටි පිළිමය මැටියෙන් වසා තිබු බවද ගල්ගුහාවේ වහලයේ තිබු පැරණි චිත්‍ර සියල්ල වවුලන් විසින් විනාශ කර තිබු බව ද කියවේ මේ කාලය වන විට කුකුළු කෝරලය භාර රටේ මහත්මයා වූ දෙල්වල ලොකු බණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපතිව වැඩ සිටි පුජ්‍ය හතර කෝරලයේ දැලිවල සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් යලිත් ප්‍රතිසංස්කරණ කර ඇත ඉන් අනතුරුව 1934 වර්ෂයේදී ජේ බි කිරිඇල්ල රටේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය රත්නපුරේ සද්ධාරාම හිමියන්ගේ අනුශාශකත්වයෙන් දෙවන ප්‍රතිසංස්කරණ දී කුඩා ගුහාවේ දේවාලයක් සහ ඝන්ටා කුළුණක් ඉදිකරන ලදී එම දේවාලය යටින් රත්නපුරේ පිහිටි පොත්ගුල් විහාරය දක්වා උමගක් තිබු බවට ජනප්‍රවාදයේ ඇත පිට ප්‍රදේශවල සිට මෙම පුජනීය ස්ථානය වනදනාමාන කිරීම සඳහා මාර්ග කීපයකින් ලඟාවිය හැක රත්නපුරේ සිට කලවාන හරහා පැමිණෙන්නන්ට රජ්ජුරුවත්ත හරහා සමන්පුර තේ ජනපදයට පැමිණ සැතපුම් දෙකක් පමණ වූ මඟකින් මෙම ස්ථානයට යා හැකි වන අතර කිරිඇල්ල අයගම හරහා පැමිණෙන අය සඳහා පිඹුරේ ගමට පැමිණ උඩකන්ද නමැති ස්ථානයෙන් කලවාන හරහා වැටී ඇති මගින් පැමිණිය හැක නිරිඇල්ල වතු පාරේද පැමිණ නිරිඇලි කන්ද මැදින් ඇති පාරෙන් මෙම විහාරයට ලඟාවිය හැක     
            

අරමුණු සුභ ලෙසින් සලකන, ඉන්ද්‍රිය සංවරයක් නැති, අහරෙහි පමණ නොදන්නා,වීර්ය හීන කුසීතයා කෙලෙස් මරුවා ගිල ගනී.වාතය දුබල ගසක් හෙලනාක් මෙනි.
Read more »

රැජිනකගේ රාජ්‍ය සමයේ ලියවුන මහා ගී කාව්‍ය සසදාවත

4 comments
අකුසල් දහම් සිතට මුල්වෙයි. කිලිටි සිතින් යමක් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල අකුසල්ය. එයින් ඔහු පසුපස දුක ලුහුබඳි. ගැල බැඳී ගොණු පසු පස යන රියසක මෙනි.



පොළොන්නරු සාහිත්‍ය යුගයේ දී අපට හමුවන කාව්‍ය කෘතියකි සසදාවත කාව්‍යය ක්‍රි .ව 1153 සිට 1186 තෙක් පොළොන්නරුවේ රාජ්‍ය කල මහා පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයෙන් වසර 11 කට පසු තෙවසරක් පොළොන්නරු රාජ්‍ය විචාරණ ලද පැරකුම් රජතුමාගේ මෙහෙසිය වන ලීලාවතී රැජිනගේ කාලයේ ලියැවුණු සසදාවත එම රැජිණගේ විශේෂ අනුග්‍රහය යටතේ ලියැවුණු කාව්‍ය කෘතියක්ව ඉතිහාසයේ සඳහන්වෙයි ලීලාවතී රැජිණගේ වසර තුනක පළමු රාජ්‍ය කාලයේ දී අගමැති වශයෙන් කටයුතු කල කිත්සෙනෙවියාගේ විශේෂ අනුග්‍රහය ලීලාවතී රැජිණට ලැබුණු අතර ඇය සිංහාසනාරූඪ කිරීම සඳහා ද එම සෙනෙවියාගේ අනුග්‍රහය නොමදව ලැබුණු බව සඳහන්වේ ලීලාවතී රැජිණ පළමු රජකාලය වූ වසර තුනට පසු තවත් දෙවතාවක් පොළොන්නරුව රාජ්‍ය විචාරා ඇති අතර දෙවන වතාවේ වසරක කාලයක්ද තෙවන වතාවේ සත්මසක කාලයක්ද රැජිණ වශයෙන් කටයුතු කර ඇත සසඳාවත ලියැවු බව සඳහන් කාලය වන්නේ මෙතුමියගේ පළමු රාජ්‍ය කාලය තුල බවය  එනම් ක්‍රි ව 1197 -1200 අතරය එය සසඳාවත කාව්‍යයේ සඳහන් වන්නේ මෙසේය 

හිමි කුල බඳදර නිති සිතුමැනෙව් රක්නා රුවන් පා කුල කෙහෙළි -අගමැති කිත් සෙනෙවියුත් 

සස ගුණ අබරණ -රිවි සඳ කුල මුදුන්මල් 
පසක් සිරි කත විලසින් -මුළු ලෝ මන නුවන්ගත් 
කළ ලෝ සසුන් වැඩ -ලීලාවතී හිමි සඳ 
පළ කළ දම් රජ සිරි -මෙවැටුම්හි  පිටු බලව් 

සසඳාවත රචනා කළ කවියා කවුරුදැයි සඳහන් නොවේ එහෙත් එහි 179 ගීයට ලියන ලද සන්නසෙහි සසඳාවත කාව්‍ය තිලක වශයෙන් ද හඳුන්වා තිබේ ඒ අනුව මෙය ලියන්නට ඇත්තේ කාව්‍යතිලක නම් අයකු යයි ඇතැමුන් තර්ක කළ අතර ඇතැමුන් පවසන්නේ කාව්‍ය තිලකයයි නම් සඳහන් කර ඇත්තේ මෙය සෙසු කාව්‍යන්ට වඩා උත්තම ගණයේ කාව්‍යක් නිසා විය හැකි යයි බවය කෙසේ වෙතත් මෙහි කතුවරයා අවිනිශ්චිතය සසඳාවත ගී කාව්‍ය කෘතිය සඳහා වස්තු විෂය වී ඇත්තේ ජාතකට්ඨ කථාවේ  එන 316 වැනි ජාතක කතාව වන සස ජාතකයයි  බුදුගුණය වර්ණනා කිරීමෙහිලා තමන්ගේ සිතේ තිබුණු භක්තිය මැනවින් පළකරමින් ලියා ඇති මෙම කාව්‍යයට ගී 293 ක් ඇතුලත් වෙයි ඒ අනුව එය මුවදෙව්දාවතට වඩා කාව්‍ය ප්‍රමාණයෙන් වැඩි ගී කාව්‍යයකි මෙහි එන වර්ණනා ඉතා ඉහළින නිම කිරීමට කවියා මහා කාව්‍යයක් නිර්මාණය කිරීමට උත්සහා දරා නැත ඒ අනුව සසඳාවත සර්ග වලට බෙදා නැති අතර කවියා යොදාගත් කතා වස්තුව මහා කාව්‍යයක් ලිවිම සඳහා උචිත නොවීම මහා කාව්‍යයක් නොලිවීම සඳහා හේතු වන්නට ඇතැයි ඇතැම්හු කියති එමෙන්ම සසඳාවත ගී කාව්‍ය තුලින් කවියා සස්කෘතික කාව්‍ය ආර හෙලබසට ඇතුළු කිරීමට උත්සහ දරා ඇති අතර මෙහි කාව්‍ය වැඩි ගණනක් වර්ණනා සඳහා යොදාගෙන තිබේ එමෙන්ම එතෙක් සිංහල කවියට නොවූ කවාට එකස්වර සහ කුලක ආදී සංස්කෘත ජන්දස් අනුව කරන ලද බන්ධනයන්ද සසඳාවත සඳහා කවියා උපයෝගී කරගෙන ඇත එමෙන්ම කවියාගේ ස්වාධිනත්වය ප්‍රතිභාව ප්‍රකාශ කෙරෙන කාව්‍යද සසඳාවතෙහි දක්නට ඇත 

දෙපසෙහි සපුතුරු -වසි සිඳු කුකුළුද රඳන් 
දැල්වූ මුනිදු පුදට -පහන් රුවක් වී හිසැ
දිගු කැරැ කර හුන් -නවා ගැන්මට රුකුසිකි 
හිරු බලන අඳුරුවන් -සැහැගිය හෝසි අවරන් 
බිඟු කැලැ පියුමන් දැහැවෙන මලට යාගත් නව යොනන් දෙස දනන්-මන මෙන් හැර පුරුද්දන්    




කුසල් දහම්වලට සිත මුල් වෙයි.පහන් සිතින් කීවත් කළත් සිතුවත් ඒ සියල්ල කුසල්ය එයින් ඔහු පසුපස සැප ලුහුබඳි. අත නොහැර යන සෙවනැල්ල මෙන්.
Read more »
Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine