කෑගල්ල නගරයට යාබදව රන්වල යන නමින් ගමක් ඇත.දෙවන රාජසිංහ රජුගේ කාලයේ රජුට අයත් වී අටුවක් නැත්තම් පත්තායමක් ඒ ගමේ තිබිණි.එකල රන්වල ගමේ අලවතුරේ රාළ, ගණේගොඩ රාළ යන නමින් හැඳින්වූ දැඩි මිතුදමින් වෙළී සිටි තරුණයෝ දෙදෙනෙක් වූ හ.ගමේ කෙබදු කටයුත්තක් වේ නම් එය මේ දෙදෙනා ගේ එකතුවෙන්ම සිදුවිණි.අසල්වැසියෝ එය හොදින් දැන සිටියෝය.දිනක් රන්වල ගමේ තිබුණු රජු ගේ පත්තායම බිඳ එහි වූ වී සොරා ගෙන ගොස් තිබේ.එවැන්නක් ගම තුල කිරීමට සමත් කිසිවෙකු නොවුහ.
අසල ගම්වලින් මේ ගමට වැද එවැන්නක් කිරීමට සමත් කිසිවෙක් නොවුහ.එවැනි දේ ඒ කාලයේ ගම්වැසියන්ට නොදැනී පිටගම් වාසියෙකුට සිදු කිරීමට කොහෙත්ම ඉඩක් නොතිබිණි.ගමේ සිදුවෙන වැරදිවලට මුළු ගමම වගකීමට ගැමි සමාජයම බැඳී සිටීම ද එකල සිරිත විය.මේ නිසා පත්තායම බින්ද හොරු කවුරුද යන්න ගැමියන්ට රහසක් නොවිය.මේ කාරණය පත්තායමේ ලේකම් මගින් සෙන්කඩගල මහවාසලට දැනගන්න ලැබිණි.මේ නොහොබිනා අකටයුත්ත සිදු කර ඇත්තේ අලවතුරේ රාළත්,ගණේගොඩ රාළත් බව රාසිං දෙවියන්ගේ කනටද ගියේය.දැඩි කෝපයෙන් වේලි ගිය රාසිං දෙවියෝ පහත් ක්‍රියාවක් සිදුකළ ඒ දෙදෙනා අල්ලා මහා වාසලට ඉදිරිපත් කරන ලෙස කටුපුල්ලේ ඇත්තන් හට අණ කළෝය.
ආඥා වේවැල සුදු පිරුවටකින් ඔතා ගත් කටුපුල්ලේ නායකයා (රාළ)තව දහදෙනෙකු ගෙන් සමන්විත අලවතුරේ රාළටත්, ගණේගොඩ රාළටත් දැනගන්නට ලැබුණේ ඒ වැන්නක් සිදුවිය හැකිබව සිතමින් ඔවුන් විමසිල්ලෙන් සිටි නිසාය.කටුපුල්ලේ ඇත්තන් ගන්නොරුව පසුකොට දන්තොට වතුර මැදින් බලන කඩවතට ළඟාවන්නට පෙර රන්වල රාළ ලා කිසිවකුටත් නොදැනෙන අයුරින් රන්වලින් පිටමංව යටියන්තොට මැදින් අවිස්සාවේල්ලට ළඟා වීමට වැඩි කාලයක් ගත කලේ නැත.කෙමෙන් කැළණි ගඟබඩට ගිය ඔවුහු කැළණි ගඟේ ද තවත් පහළට ගොස් තවදුරටත් කන්ද උඩරට රාජධානියෙන් ඈත් වීමට සිතා ගං ඉවුරේ වූ උණ ගස් කීපයක් කපා අසල ලැහැබෙන් වේවැල් ඇද ඒවා එකට ගැට ගසා පහුරක් තනා ඒ මගින් ගඟේ පහලට ඉතා ලෙහෙසියෙන් ම පා වී ගියෝය.
මෙසේ ගඟ පහළට සෑහෙන දුරක් ගිය අලවතුරේ රාළ"දැන් මට නම් ගියා ඇති" කියා ගං ඉවුරේ පහුරෙන් ඉවත්වී ඒ අසල වූ ගමේ පදිංචි විය.ගණේගොඩ රාළ ඒ පහුරෙන්ම තවත් පහළට ගොස් ගඟබඩ වූ දන්ගල්ල නම් ගමේ පොරොත්තු වුයේය.මේ රාළ වැඩිකල් නොගොස් ඒ ගමෙන්ම තරුණියක පාවා ගති .අලවතුරේ රාළ පදිංචි වූ ගම කිසිම දියුණුවක් තිබු තැනක් නොවේ.එහෙත් ඒ පෙදෙසේ වූ කැලෑ එළි පෙහෙළි කොට නව ගමක් උදා කිරීමට ඔහුට එතරම් කාලයක් ගියේ නැත.මෙසේ තමා අලුතින් ඉදි කළ ගම්මානයට තමාගේ ජන්මභූමියේ නම වන "රන්වල"යන නම තබන ලද්දේ උපන් ගම කෙදිනකවත් අමතක කළ යුතු නැත යන්න සිතා විය යුතුය.
ගමේ නව දියුණුවක් උදා කළ මේ රාළට ගම්වැසි කාගේත් ගරු බුහුමන් නොමදව ලැබිණි.ඇතැමකු ඔහු දෙවියෙකු වශයෙන් සලකා ඇත්තේ ඔහු තුල පැවතී පරහට දයාව දැක්වීම,කරුණාව,ඉවසීම,සමානාත්මතාවය වැනි මිනිස් සාරධර්ම තම හදවත නිදන්කර ගෙන සිටින මහත්මයෙකු නිසාය.අලවතුරේ රාළ කම් වූ පරිදි මිය ගියේය.ඔහු මිය ගියත් ගමට අරක්ගෙන සිටින බවට ගැමියෝ දැඩි සේ විශ්වාස කළෝය.එබැවින් ඔහු වෙනුවෙන් දේවාලයක් ඉදිකොට එය රන්වල දෙවිට කැප කිරීමටද ඔවුහු කටයුතු කළෝය.කැළණි ගඟට අරක්ගත් රංවල දෙවියාම බව ඔවුන්ගේ විශ්වාසය විය.
කල්ගිය පසු ඒ දෙවියාට පඬුරු වෙන් කිරීම,පහන් දැල්වීම,බලිතොවිල් පැවැත්වීම ආදියද ගැමියෝ පෙළඹුනෝය.මේ දෙවි ගේ විවිධ හාස්කම් පිළිබඳව ද නොයෙක් ජනකථා ඒ පෙදෙසින් අසන්නට ලැබේ.තෝල්කයෙකු ගොළුවිම,කිඹුල් කොටාගේ බරා නැමැත්තාට කැළණි ගඟේ ගුහාවක දී රන්වල දෙවියන් හමුවීම ,ගලේ වූ යකඩය වැනි කතා ඒ අතර වේ.මේ කතාව තවත් අයුරකින්ද සඳහන් වී ඇත.
මහනුවර විසු දෙවන රාජසිංහ රජුගේ කාලයේ (1635-87)ඒ රජුගේ පත්තායමක් (වී අටුවක් )කෑගල්ල අසල වූ රන්වල තිබිණි.
මේ පත්තයම අසවන්රාළ,රන්කිරි රාළ යන තරුණයන් දෙදෙනා විසින් හොදින් ආරක්ෂා කරන ලදී.එහෙත් මේ ගැන ඊර්ෂ්‍යා කළ පිරිස අර දෙදෙනාට හොරෙන් පත්තයමට ගිනි තබා ඒ බව මහවාසලට දන්වා තිබේ.උරණවූ මහා රජතුමා ඔවුනට දඬුවම් පමුණුවන්නට යනබව කෝහල්සිරි රාළ නැමැත්තා මගින් දැනගත් උක්ත තරුණයෝ දෙදෙනා ගමින් පැන අරන්දරට අවුත්,ගුරුගොඩ ඖඅ දිගේ ගඟ පහළට ගොයෝය. ඔවුන් විසින්ම සාදා ගනු ලැබූ පාරු 2ක් මගින් යන ඒ දෙදෙනා ගෙන් අස්වාන් රාළට ගඟබඩ ගී කියන කතකගේ ගී රාවය ඇසිණි.අස්වාන් රාළට එයට වශි වී ඔහුද එයට ප්‍රතිගීයක් ගැයිය.එය ගී සංවාදයක් බවට පත් වී එහි අවසන වුයේ අස්වන්රාළ ගේ ගමන එතනින් කෙලවර වීමයි.මෙය දැනගත් රන්කිරිරාළ තමා යන ගමන නතර නොකර සියනෑ කෝරළය පෙදෙසට ගොස් එහි ගිරිදර නතර විය.
අඹන්වල රාළ ගී ගැයූ යුවතිය සමග ඇගේ නිවසට ගියෝය.එහෙත් නුපුරුදු සිට පළාතක තරුණයකු සමඟ පැමිණි තම දුව පිළිගැනීමට ඇගේ දෙමාපියෝ කිසිසේත් කැමැත්තක් නොදක්වුහ.අසරණ මේ යුවල ඒ ආසන්නයේම වූ දංගොල්ල යන ගමේ පදිංචි වුහ."ලැගුම්බිම" යන ගල්ලෙනේ වාසය කල ඔවුහු හේනක් කොටා හේන් ගොවිතැන් කළෝය.අද හේනේගම යනුවෙන් හඳුන්වන්නේ ඒ ගොවිපලයි.ඔවුන් ගේ මඩ ගොවිතැන් භුමිය අසවන් වෙල යනුවෙන් හැඳින්වේ.ටික කලකදී යුග දිවිය ඇත හල අස්වන්රාළ කැළණි ගඟබඩ අසපුවක් ඉදිකොට එහි විසිය.හුදකලාව විසු හේ තම අසපුව වටා රාත්‍රියේ පහන් දැල්වීම සිරිතක් කරගනී.
ගඟේ පාරු පදින අයට එය පහසුවක් විය.අස්වන්රාළ මිය ගිය පසුවද එම පහන් දැල්වීම පාරුකරුවන් ද අසල්වැසියන්ද නොකඩවා සිදුකර ගොස් තිබේ.අවුරුදු ගණනක්ම එය එසේම විය.ඒ අතර ඒ අසල වූ තොටුපොළ භාර ගත් අයද එම කාර්යය ඉටු කර තිබේ.තොටුපොළ භාරකරු වෙත පැමිණි පොඩියා නමැති ද්‍රවිඩ ජාතිකයා ද එය එසේම සිදු කර ඇත.1900-02 කාලයේදී අවිස්සාවේල්ල දුම්රිය මාවත ඉදිවීම නිසා පහන් දල්වන ස්ථානය මදක් වෙනස් කොට තාර පාර අසල ට ගෙන ගොස් තිබේ.
ඉහත සඳහන් ආකාරයට බිහි වූ රන්වල දෙවියා ගෙන් ගොවිතැනේ ආරක්ෂාවත්,මහ ජනතාවගේ ආරක්ෂාවත් සිදුවන බව ඒ අවට ගැමියන්ගේ දැඩි විශ්වාසය විය.
මේ නිසා සිතාවකින් පහල පෙදෙසේ රන්වල දෙවියන් පිදීම බහුලව සිදු කෙරේ.කොළඹ -අවිස්ස්සවේල්ල මහ මාවතේ හිඟුරල අඹ ගසක් ඇත.එහි රන්වල දෙවියන්ට පුද පුජා පැවැත්වේ.ඇස්වත්ත,මල්වාන වැනි පෙදෙස්වල ද කැළණි ගඟ දෙපසද මෙම දෙවියා වෙනුවෙන් පුහුල් පහන් දැල්වීම සිදු කෙරේ."හිඟුරල පහන"නමින් හැඳින්වෙන ස්ථානය පඩුරු ලන තැනකි.මෙයින් රන්වල දෙවිහාමුදුරුවන්ගේ බැල්ම නොඅඩුව ලැබෙන බව මහ ජනතාවගේ විශ්වාසයයි.රන්වල දෙවියන් පිලිබඳව කවි සහ යාදිනි කිහිපයක් පහත දක්වා ඇත
1. කපක් පළමු කකුසඳ මුනිඳුන් පෙර
උපත මෙසේ පවසන් දැන් කවි කර
විපත පැමිණි දා දෙවිඳු මතක් කර
උපත කියන් තෙද රන්වල පිරිවර
2. අගේ වඩන රන්වල දෙවියන්නේ
නුගේ විමානේ වාසේ කරන්නේ
ගඟේ දෑලේ දෙවි වාසේ කරන්නේ
අගේ අසන් රන්වල දෙවියන්නේ
3. පිං ඇති රන්වල දෙවිඳු වඩින්නේ
පිං ඇති සව්සත දුකින් මුදන්නේ
මං දුන් යහනේ කෙළි පුද ගන්නේ
රන්වල දෙවි මල් යහන් වඩින්නේ
4. පහළ යන්නේ නැකතින් පහුරු පැදගෙන
රන්වල දෙවිඳු හට පුද පඬුරු බැඳගෙන
කැළණි ගඟේ දිය අඩු වැඩි බලාගෙන
අපිත් යමුකෝ රන්වල දෙවිඳු වැඳගෙන
5. සමනල අඩවියේ වැහි කළු පෙනෙන්නෙ
නොගලා තිබුණු ගඟ බොරදිය නඟින්නේ
පෑදී තිබුණු ගල් මුල් යට කරන්නේ
නයිවල වෙලේ රං ආඳා ලගින්නේ
6. විස්තර හොඳ දේව අඟුල මැදට දෙවි වෙලා
තොස්කර ඇලි වල නාදේ ඇසෙයි දිය කෙලා
සුන්කර කෙළෙසුන් දුරු කළ සිතක් මුල් කළා
පිං කළ රන්වල දෙවි එහි යහන් බලා
7. ගතට සුදු සළු පළඳමින් මුණ්ඩාසනය
සිරසේ දරා
සුරත සැරයටි දරන සුරිඳු දෑලේ
දෙනමක් පිරිවරා
නෙතට දිව ඔබෙ පෙනෙන විලසට මෙලෙස
පවසමි නම්කරා
තෙදැති රන්වල දෙවිඳු මෙ ආතුර රකිනු මැන
දොස දුරුකරා