#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ඉංග්‍රීසි අධිකරණය හමුවේ ඇහැළේපොළට නඩු



බොදු හැදියාවක් දායාද කොටගත් සිංහලයා සත්ව ඝාතනය සහමුලින්ම පිටු දැක්කේය.ගෙරිමස් කෑම පිළිකුල් කළේය. එහෙත් බටහිර ජාතිකයින්ගේ ආගමනයෙන් පසුව ඔවුන් ඇසුරු කල ඉහල සමාජයේ ඇතැම්මු ගව මස් කෑමට ඇබ්බැහි වන්නට වුහ. කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත්වූ පසු එහි මහ බලවතා වූ ඇහැලේපොල මහ නිලමේටද මේ චෝදනාව එල්ල වුහ. එමගින් පැන නැගුනු ආරාවුල මගුල් මඩුවේදී රැස්වූ අධිකරණ මණ්ඩලය මගින් සමථයකට පත් කිරීමේදී එදා සමාජයේ සැඟවී පැවති සිරිත් විරිත් රාශියක් හෙළිදරව් විය.

ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් එක්දහස් අටසිය පහලවේ ජනවාරි එකොළොස් වැනිදා ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය  ආක්‍රමණය කිරීම අරඹා, පෙබරවාරි 13 වැනිදා මහනුවර අල්ලා ගන්නා ලදී. පෙබරවාරි 18 වැනිදා ‍ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ද අත්අඩංගුවට ගන්නා ලදී. පසුව එක්දහස් අටසිය පහලවේ මාර්තු දෙවැනි දා මහනුවර මඟුල් මඩුවේ දී අත්සන් කළ උඩරට ගිවිසුමෙන් ත්‍රී සිංහලයේ ආධිපත්‍ය තමන් අතට පවරාගත් ඉංග්‍රීසිහු ඇහැලේපොළ මහ නිලමේ තුමාට කෘතවේදී වීමක් වශයෙන් විශේෂ ගෞරවාදර දක්වන්නට වූහ. 

එහෙත් වැඩිමනත් බලතල එතුමා අතට පත් නො කරන්නට ඔවුහු වග බලා ගත්හ. ‍බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ කිසිම නිලයක් දැරීම එතුමා ප්‍රතික්ෂේප කළෙන් රජයේ නිලතල එතුමාගේ විරුද්ධවාදී රදළවරුන්ට බෙහෙවින් හිමිවිය. එතෙකුදු වුවත් "බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මිත්‍රයා" යන සුහද නාමයෙන් පෙනී සිටීම හොඳටම සෑහේ යැයි එතුමා කී පිළිවදන් ඉංග්‍රීසින් මවිත කරවන සුලූ විය. එනිසා ඉංග්‍රීසින් ඇහැලේපොළ මහ නිලමේ තුමාට වෙනත් සිංහල අධිපතියකුට වඩා විශේෂ සැලකිලි දක්වන්නට වූ අතර එතුමා ගැන විශේෂයෙන් විමසිලිමත් වීම ද කළේය. සිංහල ජනයා එතුමාට "දෙවැනි රජ්ජුරුවෝ" හෙවත් යුවරජ්ජුරුවන් වහන්සේ යන මැයෙන් දැක්වූ ගෞරවයත්, එතුමා ඇතැම් අවස්ථාවල දී දැක්වූ රාජ ලිලාවනුත්, එතුමාගේ ප්‍රතිවාදීන් විසින් ඉංග්‍රීසීන්ට දුන් නොයෙකුත් තොරතුරු නිසාත් එතුමා තව තවත් ඉංග්‍රීසින්ගේ සැකයට හා විමසිල්ලට භාජනය විය. එහෙත් එතුමා කෙරේ සිංහල ජනයා දැක්වූ ගෞරවය හා භක්තිය නිසා ද තුමාගෙන් ඉංග්‍රීසීන්ට ලබාගත යුතු ගුරුහරුකම් නිසාද ඔවුහු එතුමාට අනදරයක් කිරීමට තරම් උත්සුක නොවූහ. 

එසේ කොට ඔවුහු තම බලය කන්ද උඩරට තහවුරු කර කර ගැනීම පිණිස ක්‍රියාමාර්ගයක් යෙදවීමේහි නිරත වූහ.  ඉංග්‍රීසීහු කන්ද උඩරට පාලනය කිරීම සඳහා පත්කරන ලද මණ්ඩලයේ ප්‍රධාන(රෙසිඩන්ට්) ධූරයට පත්වූයේ සිංහල භාෂාව පිළිබදව හසළ දැනුමැත්තෙකු වූ ජෝන් ඩොයිලි මහතාය. රෙසිඩන්ට් තුමාගේ විධායක මණ්ඩලයට අධිකරණ කොමසාරිස්තුමා ද ආදායම් බදු කොමසාරිස් තුමා හා හමුදා සේනාධි සේනාධිපති යනාදීහු ඇතුළත් වූහ. කන්ද උඩරට නීතිය ක්‍රියාවේ යෙදවීම සඳහා පිහිටුවන ලද මණ්ඩලයට ඉහත කී විධායක මණ්ඩලයේ සාමාජිකයින්ද ඇතුළුව අධිකාරම්වරු සහ රදළවරු කිහිප දෙනෙක්ද වූහ. 

මෙම අධිකරණ මණ්ඩලයේ තීන්දු වෙනස් කළ හැකි වූයේ ආණ්ඩුකාරතුමාට පමණකි 1817 අප්‍රේල් 4 වැනි සිකුරාදා උදෑසන අධිකරණ මණ්ඩලයේ කොමසාරිස් පදවිය දැරූ ජේ ඩබ්ලිව් ගේ මහතා හමුවීමට පැමිණියේ සිංහලයෙකි හෙතෙම ගොඩගමුවේ වෙදරාළ නැමැත්තෙකි. ඔහු පැමිණියේ ඇහැලේපොළ මහ නිලමේ තුමාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටය. මීට තෙදිනකට පමණ පෙර ගොඩගමුවේ වෙදරාලට ඇහැලේපොළ මහ නිලමේ තුමාගෙන් තම වලව්වට පැමිණෙන ලෙස පණිවිඩයක් ලැබිණි. ඒ පණිවිඩය පරිදි ඇහැලේපොළ වලව්ව කරා ගමන් ගත් වෙදරාළ සහ ඔහුගේ බිරිය ගෙමිදුලට පියනගත්ම උලුවස්සට හේත්තු වී සිටි මහ නිලමෙතුමා දකින්නට ලැබුණේය. 



එසේ සිටි මහ නිලමෙතුමා කිසිදු වග විභාගයක් නොකරම තමා කරා පැමිණි ගොඩගමුව වෙද රාළ සහ ඔහුගේ බිරිඳව ගෙමිදුලෙහි සිටුවා තිබූ කණු දෙකක අල්ලා බැඳ තබන ලෙස අණ කරන්නට යෙදුණි. ඒ අණ පරිදි වෙදරාලත් ඔහුගේ බිරියත් කණු දෙකෙහි බඳිනු ලැබූහ අනතුරුව ගොඩගමුවේ වෙදරාලට කස පහර දෙන ලෙස මහ නිලමෙතුමා අණක් නිකුත් කළේය. එපරදි වෙදරාලට සියඹලා ඉපළකින් පහර දෙන්නට යෙදුණි. ඊට පසු ඔහු අල්ලාගෙන ගොස් ඔහුට හිඳ ගෙන හෝ  සිටගෙන සිටීමට නොහැකි වන සේ දෙපා සකස් කොට දඬු කඳෙහි ලා දෙදිනක්ම සිරකොට තැබීය ඔහුට කස පහර දෙන වේලාවේදී දඬුවම් කළ අයවලුන් විසින් කියන්නට යෙදුණේ. 

ඇහැලේපොළ මහ නිලමේ තුමාට "යුව රජ්ජුරුවන් වහන්සේ" යැයි නොකී නිසා ඔහුට කස පහර දෙන ලද බවයි. වැඩිදුරටත් මෙසේ පැමිණිල්ල කරමින් කතා කළ ගොඩගමුවේ වෙද රාල ඔහුට දඬුවම් කිරීමෙන් පසුව මහ නිලමේතුමා "පල, දැන් තෝ මහඅදිකාරමට හෝ සුදු මහත්වරුන්ට ගිහින් කියාපිය. මා මේ රටේ සිටින තාක් කිසිඑකෙකුටවත් බය වෙන්නෙ නැහැ" යැයි  වැඩිදුරටත් පැවසූ බව කීය කස පහර ලැබීමෙන් ඉරි තැලී ලේ කැටි වී තිබූ ඔහුගේ පිට පෙදෙසද පෙන්වූයේය. වෙදරාලට ඉතා දරුණු ලෙස පහරදී ඇති බව අධිකරණ කොමසාරිස්වරයාට දකින්නට ලැබුණි. 

තමා සිංහලෙ හිටපු මහ රජ්ජුරුවන් වහන්සේගේ වෙදරාල බව කී හෙතෙම මහාදිකාරමට වත් රජ්ජුරුවන්ගේ සේවකයෙකුට දඩුවම් කළ නොහැකි බවත් රජතුමා සිටින කාලයේ මෙවැන්නක් සිදුවූයේ නම් එසේ දඬුවම් කළ තැනැත්තාගේ හිස ගසා දැමීමට රජතුමා නියම කරනවා නොවනුමානයි යැයිද පැවසුවේය. 

ගොඩගමුවේ වෙදරාල සතු ඉඩම් සතර කෝරලේ පිහිටා තිබුණේය. දැනට මහ රජ්ජුරුවන් වහන්සේ නොමැති බැවින් හේ කිනම් අධිපතියෙකුගේ හෝ යටත් සේවකයෙකු විය යුතුය. මෙසේ පැන නැගී තත්වය අනුව මහ අදිකාරම්තුමා සතර කෝරළයේ දිසාව පදවියද දරනු ලබන බැවින් තමා එතුමාගේ යටත් වැසියෙකි එනිසා තමාට දඬුවම් කිරීමට ඇහැලේපොළ මහ නිලමේ තුමාට කිසිම බලයක් නොමැති බව ගොඩගමුවේ තරයේ කියා සිටියේය. 

තමා ඇහැලේපොළ මහ නිලමේ තුමාට විරුද්ධව කිසිවක් කර නොමැත එනිසා ඔහුට තළා ඇත්තේ දඬුවම් කළ අයවලුන් විසින් කියන ලද හේතුව නිසාම විය යුතුය තමා යම් වරදක් කළේ නම් ඇහැලේපොළ මහ නිලමේ තුමාගෙන් දඬුවම්ලැබීමට සුදුසු නමුත් අඩු වශයෙන් දඬුවම් කිරීමට පෙර කුමන හේතුවක් නිසා දඬුවම් කරනු ලබන්නේදැයි කිව යුතුව තිබුණි. එමනිසා කිසිම හේතුවක් නොදන්වා මහ නිලමෙතුමා තමන්ට දඬුවම් පැමිණවීම ඉතාමත් අසාධාරණ අයුක්ති සහගත ක්‍රියාවකි මෙවැනි දේවල් වලට ඉඩ දුන්හොත් ඉංගිරිසින් විසින් රට පාලනය කරනවා කියා සිතීමටවත් නොහැකි වන අතර කිසිවෙකුටත් නිදහසක් නොලැබී යනවා නොඅනුමානයි යයිද ගොඩගමුවේ වෙදරාල අධිකරණ කොමසාරිස් වරයාගේ අවදානය යොමු කරවමින් කීහ. 

දැන් තමා ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ සිර අඩස්සියෙන් මිදී පලා ආ බැවින් යළි අල්ලා ගැනීමට ඉඩ ඇති නිසා රක්ෂණාවරණය සලසන මෙන් ඔහු ඉල්ලා සිටියේ බැගෑපත් විලාසයකිනි. අධිකරණ කොමසාරිස් ගේ මහතාද ගොඩගමුවේ වෙදරාලට තම නිවසේ රැකවරණය ලබා දුන්නේය විධායක මණ්ඩල රැස්වීමේදී ගේ මහතා ගොඩගමුවේගේ පැමිණිල්ල ඩොයිලි මහතාට දන්වන්නට යෙදුණි. 

එවිට ඩොයිලි මහතා කියා සිටියේ ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ පණිවිුඩයේ හැටියට එක්තරා මිනිහෙක් මහ නිලමේ තුමාට ඉතා නොසෑහෙන අන්දමින් බැණ වැදී ඇති බවත්, රදළවරුන්ගේ සහ ඇතැම් වැසියන්ගේ අපවාද තමාට ඉවසාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති නිසා මේ මිනිහාට දඬුවම් නොදී සිටිමට නොහැකි වූ බවත්, මේ ආදී හේතූන් නිසා මහ නිලමේ තුමා තමාගේ ගමට සැපත් වන බවත්ය. මෙසේ කී ඩොයිලි මහතා ගොඩගමුවේ වෙද රාල මහ නිලමේ තුමාගේ වලව්වේ සේවිකාවක් සමග නොමනා සම්බන්දයක් ඇතිකරගෙන සිටින බවට තමාට පුද්ගලිකව ආරංචියි ලැබී ඇති බවද සඳහන් කළේය. 

සෙනසුරාදා දිනයක්වූ පසුදා සවස ගේ මහතා  මඩිගේ මුහන්දිරම් කම දැරූ මොහිදින් බාවා කැඳවා මහා නිලමේ තුමා හමුවට ගොස් මේ සිද්ධිය ගැන විභාග කර එන ලෙස අණ කළේය. පසුවදා උදෑසන ගේ මහතා සොයා ආ මොහිදින් බාවා ඩොයිලි මහතා කී තොරතුරුම හෙළිදරව් කරන්නට විය. 

එහෙත් තව තවත් ප්‍රශ්න කිරීමෙන් පසු මහ නිලමෙතුමා කොළඹ ගොස් සුද්දන් සමග එකතු වී ගෙරි මස් කා ඇවිත් සියලු බලය සුන්ව ගෙදරට පමණක් ලොක්කෙක්  වී සිටින බව ගොඩගමුවේ වෙදරාළ මහ නිලමේ තුමාගේ සේවකයින්ටද ඇසෙන ලෙස කියා ඇති බව මොහිදීන් බාවාගෙන් හෙළිදරව් වුනි. 

පහුවදා ගේ මහතා වෙද රාළ අමතා මේ කරුණු සම්බන්ධව ප්‍රශ්න කරන්නට විය. එහෙත් ඒ සියල්ල අමූලික මුසාවක් යැයි කී වෙද රාල සතර දේවාලයේ දිවුරා සිටීමටද කැමැත්ත පළ කර සිටියේය. එදිනම දහවල් කාලයේ මහ අදිකාරම් ධූරය දැරූ මොල්ලිගොඩ මහ නිළමේ තුමා සහ වෙල්ලස්සේ දිසා පදවි දැරූ  මිල්ලව දිසා මහත් තැනද මඟුල් මඩුවේ සිට අධිකරණ කොමසාරිස් ගේ මහතා වෙත පණිවුඩ කාරයකු එවමින් වෙදරාල මහ අදිකාරම් තුමාගේ දිසාවේ වැසියකු බැවින් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග කිරීමට පැමිණෙන ලෙස දන්වා සිටියහ තත් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට කරුණු ඉදිරිපත් කර ඇති බවත්, මහ අදිකාරම්තුමා පුද්ගලිකව හමුවී මේ ගැන සාකච්ඡා කරන බවත් ගේ මහතා දන්වා යැවූ නමුත් එදින ඉරිදා දිනයක් වූයේන් අධිකරණ කොමසාරිස්වරයා රාජකාරියේ නිරත නොවූයේය. පසුදින එනම් 1818 අප්‍රේල් හත්වැනි සඳුදා මඟුල් මඩුවේ දී අධිකරණ මණ්ඩලය රැස් වූවාය. 

අධිකරණ මණ්ඩලය


  1. මොල්ලිගොඩ මහ අදිකාරම් තුමා 
  2. කපුවත්ත දෙවැනි අධිකාරම් තුමා
  3. දුල්ලෑව දිසා මහත්තැන 
  4. මිල්ලව දිසා මහත්තැන 
  5. මහ ගබඩා නිලමේ 
  6. මුල්ලේගම බස්නායක නිලමේ 
  7. අතපත්තු සහ කූණම් මඩුවේ ලේකම්වරු ද 
අධිකරණ මණ්ඩලයේ වූහ රැස්ව සිටි සිංහල අධිපතින් ඇමතු අධිකරණ කොමසාරිස්වරයා 

"සිංහල රජ කාලේ අදිකාරම වරයෙකුට හෝ වෙනත් අධිපතියකුට රාජ සේවකයෙකුට දඬුවම් කිරීමේ බලයක් තිබුණා ද?"  යයි විමසුවේය 

"මහ වාසලට දර සහ වතුර අදින්නන් වැනි සුළු සේවකයන්ට හැර වෙනත් කිසිම රාජ සේවකයෙකුට දඬුවම් කිරීමේ බලය රජ්ජුරුවන් වහන්සේට හැර වෙනත් කිසිම අධිපතියකු නොතිබුණි. වෙනකක් තබා රාජ සේවකයකුගේ හිස් වැස්ම ඉවත් කරන ලෙස අණ දීම හෝ කළ හැකි වූයේද රජතුමාට පමණි. වෙනත් අධිපතියකු විසින් එය කළ නොහැකි විය." 

සිංහල අධිපතීන්ගෙන් අධිකරණ කොමසාරිස්වරයා ලැබූ පිළිතුර එය විය. අධිකරණ කොමසාරිස්වරයා 

"ඇහැළේපොළ මහ නිලමේතුමා විසින් දඬුවම් කරනු ලැබුවේ යැයි කියන වෙදරාලත් රාජ සේවකයෙක්ව සිටියාද?" යැයි ඇසුවේය. 

"ඔහු රජතුමාගේ වෛද්‍යවරයා ලෙස සේවය කළ හෙයින් ඔහුට වෙනත් අධිපතියකු විසින් කිසිසේත් බලපෑමක් කළ නොහැකිය" 

අධිකරණ මණ්ඩලයේ සිංහල අධිපතිහු තරයේ කියා සිටියහ. මේ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයාට කරුණු ඉදිරිපත් කළ ගේ මහතා මුලික විභාගයෙදීම වෙදරාලගේ පැමිණිල්ලේ සත්‍යතාවයක් ඇති බව හැඟුනේ යැයි පැහැදිලි කළේය. ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ මේ ක්‍රියාව අත්තනෝමතික හා අයුක්ති සහගත වූවක් යැයි කියමින් මහ අදිකාරම්තුමා තරයේ විරෝධය දැක්වූ බවත්. 

මේ සිද්ධිය යටපත් නොකොට ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත් පවත්වා විනිශ්චයක් දිය යුතු යයි කී වෙල්ලස්සේ දිසා මහත්තැන නීතිය අහසේ බබළන සූර්යා මෙන් සර්ව සාධාරණ විය යුතු යැයි ද කියමින් උපමාවක් හැර පෑ බව ද ගේ මහතා ආණ්ඩුකාරවරයාට දන්වමින් කීය. ඇහැළේපොළ මහ නිලමේතුමා සිංහල අධිපතියන් අතුරෙන් ඉහළම පන්තියේ කෙනකු වන බැවින් එතුමාගේ ක්‍රියාව අනිකුත් අධිපතියන් ඉදිරියේ විචාරයට ලක් කිරීම නුසුදුසු යැයි සිතූ බැවින් තමා මේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීම අත්හැර දැමීමට උත්සාහ ගත් නමුත් අනෙකුත් අධිපතියන් මේ ගැන විභාග කොට විනිශ්චයක් දිය යුතු යැයි තරයේ කියා සිටින බව වැඩිදුරටත් අධිකරණ කොමසාරිස්වරයා ආණ්ඩුකාරයාට දන්වා යැවීය. 

මේ හබය සම්බන්ධයෙන් මෙසේ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත්පත් කළ අධිකරණ කොමසාරිස් ගේ මහතා ආණ්ඩුකාරවරයාගේ සැලකිල්ල යොමු විය යුතු  කරුණු කිහිපයක් ගැනද සඳහන් කරයි ඇහැළේපොළ මහ නිලමේතුමාට වෙදරාලට දඬුවම් කල හැකි බලයක් තිබුනත් මේ සම්බන්ධයෙන් සිරිත් ප්‍රකාරව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් නොකළේ ඇයි ? මේ රටේ නීතිය හැටියට මහ නිලමෙතුමා විසින් බලපෑමක් කිරීමට නොහැකි අයෙක් වූ වෙදරාලට දඬුවම් නොදී තත් සිද්ධිය තමා වෙත කියා සිටියේ නම් ඒ සම්බන්ධයෙන් අනෙකුත් අධිපතියන් ඉදිරියේ විභාග කොට දඬුවම් පැමිණවීමේ හැකියාවක් තිබුනේ යැයි කියන ගේ මහතා ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ මේ ක්‍රියාව ළඟදී වූ සිද්ධියක් නිසා ද ඉහළින්ම කැපී පෙනෙන්නේ යැයි කියා සිටියේය. දෙවෙනි අදිකාරම් තුමාගේ දිසාවේ වැසියකුගෙන් නිග්‍රහයක් ලද මහ අදිකාරම්තුමා ඒ පිළිබඳව තමා වෙත පැමිණිලි කළේන් ඒ සම්බන්ධයෙන් සිරිත් පරිදි අධිකරණ මණ්ඩලය හමුවේ මඟුල් මඩුවේ දී විභාගයක් පවත්වා චෝදනා ලැබූ මිනිසාට කෙටි කාලීන සිරදඬුවමක් නියම කරන්නට තිබුනා යැයි ගේ මහතා ඉදිරිපත් කළ නිදසුන විය.  

ඇහැළේපොළ මහ නිලමේතුමා දැන් සිටින තත්වය ඉවසාගත නොහැකිවූ ඊර්ෂ්‍යා සහගත සිතින් වෙසෙන අනෙකුත් අධිපතියන් මහ නිලමේට මෙවැනි පිටස්තර බලපෑමක් කළ හැකි දැයි දැනගැනීමට ඉතා උනන්දුවෙන් පසුවන බවද ගේ මහතා කියා සිටියේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් ඩොයිලි සහ සෝයර්ස් යන මහතුන් ගෙන් විමසා දැනගත් පරිදි බැඳ තබා පහරදීම වෙදරාලට කල බලවත් නිග්‍රහයක් බව ගේ මහතාට දැන ගන්නට ලැබුණේය එය එසේ වනුයේ බැඳ තබා කස පහර දෙනු ලබන්නේ කුලහීනයන්ට පමණක්ම වන බැවිනි.  

වෙදරාල වෙල්ලාලයෙක් වූයේය. ආණ්ඩුකාරවරයාට සියලු තතු ඉදිරිපත් කරමින්  ලියා යැවූ ගේ මහතා එවෙලේම ඩොයිලි මහතාගේ උපදෙස් පරිදි වෙදරාල මහ නිලමේ තුමාට බැන වැදෙනු අසා සිටි පුද්ගලයින් තමා හමුවට එවන ලෙස ඇහැලේපොළ මහ නිලමේ තුමාගෙන් ඉල්ලා යවන ලදී. ඇහැලේපොළ මහ නිලමේ තුමාද මෙවිටම පණිවිඩයක් එවමින්  වෙද රාල තමාගෙන් පේරාදෙණියෙන් ගම්වරයක් ඉල්ලූ බවත්, ඒ ඉල්ලූ ඉඩම් සම්බන්ධයෙන් දෙහිගම උඩගබඩා නිලමේගෙන් විචාරා දැන ගන්නට යෙදුණු හැටියට ඒ ඉඩම රජවත්තට අයිති නිසා වෙදරාලට එය පැවරිය නොහැකි බවත් කියන්නට යෙදුනි. මෙවිට වෙදරාල උඩගබඩා නිලමේට නොසරුප් බසින් කතා කතා කළෙන් ඔහුට දඬුවම් දීමට එදාම තමාට සිතුනු බවත් මහ නිලමේ තුමා සඳහන් කළේය. 

ඉංග්‍රීසීන්ට කන්ද උඩ රට පාවාදුන්නේ යැයි කියමින් තමාට අපවාද දොස් නගන අනෙකුත් අධිපතියන්ගේ ක්‍රියාවන් නැවැත්වීමට කටයුතු නොකළහොත් තමාගේ වාසස්ථානය සඳහා වෙනත් පෙදෙසක් සොයා දිය යුතු යැයි ද මහා නිලමෙතුමා අධිකරණ කොමසාරිස්වරයා වෙත දන්වා සිටියේය. එවිට ගේ මහතා මහ නිලමෙතුමා වැනි මේ රටේ ප්‍රධාන පන්තියේ මහා අධිපතියෙකුට වෙනත් කිසිම කෙනෙකුගෙන් නිග්‍රහයක් සිදු නොවන්නට ඉංග්‍රීසි ආණ්ඩුව වග බලා ගන්නා බව ඒත්තු ගැන්වූයේය. නමුත් මේ අවස්ථාවේදී මහ නිලමෙතුමාට බලපෑම් කිරීමට නොහැකී පිටස්තර කෙනෙකුට සිරිත් විරෝධීව කරන ලද දඬුවම් දීමක් නිසා පැනනැඟී ඇති තත්වයක් දැන් ඉස්මතු වී ඇත යම් හෙයකින් දඬුවම් නොකර ඒ බව සිරිත් ප්‍රකාරව පැමිණිලි කළේ නම් වෙදරාල මහ නිලමේතුමාගෙන් ලැබූ දඩුවමටත් වඩා බරපතල දඬුවමක් ලබනවා නියත බව ද ගේ මහතා මහ නිලමේතුමා වෙත පණිවිඩයක් යවමින් දන්වා සිටියේය. ගොඩගමුවේ වෙද රාල විසින් ඇහැලේපොළ මහ නිලමේ තුමාට විරුද්ධව කළ පැමිණිල්ලේ නඩුව විභාගය 1817 අප්‍රේල් 14 වැනිදා මහනුවර මඟුල් මඩුවේ දී ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි වලව්වේ සේවිකාවන් සතර දෙනකුගෙන් සහ සේවකකුගෙන්ද කෝන්තර ඇසීමෙන් ඇරඹුණි.

අධිකරණ මණ්ඩලය: 


  1. අධිකරණ කොමසාරිස් ජේම්ස් ඩබ්ලිව් ගේ මහතා
  2. මහ අදිකාරම් මොල්ලිගොඩ මහ නිළමේ තුමා 
  3. දෙවෙනි අදිකාරම් කපුවත්ත දිසා මහත්තැන 
  4. දුල්ලෑව දිසා මහත්තැන 
  5. මිල්ලව දිසා මහත්තැන 
  6. මහ ගබඩා නිලමේ 
  7. මුල්ලේගම බස්නායක නිලමේ 
  8. ඇතුළු අතපත්තු සහ කුණම් මඩුවේ ලේකම්වරු 



පැමිණිලිකරු :ගොඩගමුවේ වෙදරාල 

වගඋත්තරකරු: ඇහැළේපොළ මහ නිලමේතුමා 

සාක්ෂිකරුවෝ: යහපති,ඉරුගල්ලි,රන්කිලී, ගිරඟි සහ බයිරාළ විදානේ 

පළමුවැනි සාක්කි කාරිය වන   යහපති අධිකරණ මණ්ඩලය ඉදිරියට කැඳවයි 



අධිකරණ මණ්ඩලය:නුඹේ නම කුමක්ද?

යහපතී: මගේ නම යහපතී මා ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ වල්ව්වේ සේවිකාවක් වශයෙන් දිගු කලක සිට සේවයේ යෙදී සිටිනවා 

අධිකරණ මණ්ඩලය: සිංහලයේ  හිටපු මහ රජ්ජුරුවන් වහන්සේගේ වෙදරාල වූ මොරපොළ ගොඩගමුවේ වෙදරාල හඳුනනවාද?

යහපතී: එහේමයි, මම ඔහු අඳුනනවා නමුත් වෙද රාල රජ්ජුරුවන් වහන්සේට වෙදකම් කළේ නැහැ. 

අධිකරණ මණ්ඩලය: එහෙනම් උඹේ කීම අනුව වෙදරාල වෙදකම් කලේ මහ අදිකාරම් තුමාට හා දෙවැනි අධිකාරම් තුමා ඇතුළු අනෙකුත් අධිපතියන්ට යයි පිළිගත යුතුද? 

යහපතී: වෙදරාළ රජ්ජුරුවන් වහන්සේට වෙදකම් කල බවක් මා දන්නේ නෑ. නමුත් ඔහු අනිත් අයට නම් වෙදකම් කරන බව මා කුඩා කල සිට දැන සිටියා 

අධිකරණ මණ්ඩලය: වෙදරාළ ඇහැලේපොළ වලව්වට එනවා යනවා දැක තියෙනවද? 

යහපතී: එහේමයි, මම දැක තියෙනවා පසුගියදා මා අසනීපයෙන් සිටියදී ඔහු මට වෙදකම් කොට සනීප කලා. 

අධිකරණ මණ්ඩලය: උඹ වෙදරාළ සමග කතා කල අවස්ථාව එහෙම තිබුනද? 

යහපතී: එහේමයි, කොපමණවත් තිබුණා 

අධිකරණ මණ්ඩලය: උඹ වෙදරාලගේ පවුල (භාර්යාව) හඳුනනවාද?  

යහපතී: එහේමයි, ඈ සිටින්නේ වලව්වට යාබදවමයි. ඒ නිසා ඈ නිතරම එන යනවා. 

අධිකරණ මණ්ඩලය: මීට දින දහයකට කලින් ඇගේ දෑත් බැඳ දමා සිටිනු දැක්කාද? 

යහපතී: නැත ස්වාමීනී 

අධිකරණ මණ්ඩලය: ඈ සිංහලේ හිටපු මහ රජ්ජුරුවන් වහන්සේගේ දාසියක්ව සිටියාද? 

යහපතී: එහේමයි, ස්වාමීනි 

අධිකරණ මණ්ඩලය: උඹ කවරදා හෝ මාලිගාවේ සිටියාද? 

යහපතී: නැත, ස්වාමීනී 

අධිකරණ මණ්ඩලය: මීට දින දහයකට පෙර වෙදරාලට දඬුවම් කරනවා දැක්කාද? 

යහපතී: නැහැ මා සිටියේ ඇතුළු ගේ  

අධිකරණ මණ්ඩලය: මීට දින දහයකට කලින් වෙදරාලට දඬුවම් කරපු බව දැන සිටියා නේද? 

යහපතී: නැත, ස්වාමීනී 

අධිකරණ මණ්ඩලය: ඒ ගැන දිව්රන්නට පුලුවන්ද? 

යහපතී: එහේමයි, මට දිවුරා සිටින්නට පුළුවනි

අධිකරණ මණ්ඩලය: ඔහු කළ යම් වැරැද්දක් නිසා දඬුවම්ලැබීමට සුදුසුව සිටියා නේද? 

යහපතී: එහේමයි,ගත්තාට අවසර ලැබෙන්නට මා එය කියන්නම් 

අධිකරණ මණ්ඩලය: එසේ නම් කියනු මැනවි.

යහපතී: උඹලගේ හාම්පුතා කොළඹ ගොස් සුද්දන් සමග එකතුවී ගෙරිමස් කා ඇවිත් ඉන්නවා. දැන් එයාට කිසිම බලයක් නැහැ. එයාගේ ලොකු කම ගෙදරට විතරයි කියා වෙද රාළ කීවා. 

අධිකරණ මණ්ඩලය: වෙද රාල මෙසේ කීවේ කුමන කරුණක් නිසාද? 

යහපතී: වෙද රාල මහ නිලමේතුමාගෙන් ගම්වරයක් ඉල්ලුවා. මහ නිලමේ තුමාට ඔහුගේ ඉල්ලීම් ඉටු කරන්නට බැරි වුණා. ඒ නිසා තමයි එහෙම කීවේ 

අධිකරණ මණ්ඩලය: එය කීවේ කා සමගද ?

යහපතී: වෙදරාල එය කීවේ ඔහුගේ පවුලටයි. එහෙම කියලා ඔහු තවත් මහ හඬින් කීවා ඇහු කෙනෙක් මහ නිලමේ තුමාට කියාපල්ල කියා.

අධිකරණ මණ්ඩලය: වෙන කවුරු ද ඒ අසල සිටියේ? 

යහපතී: ගිරඟි,බයිරාළ,රන්කිලී,ඉරුගල්ලී හා මමත් හිටියා 

අධිකරණ මණ්ඩලය: වලව්වේ සේවිකාවන්ගේ  කුටියට ඔහු ආවේ කෙසේද? 

යහපතී: වෙදරාල ඔහු ආවේ නැහැ අපි ගෙමිදුලේ අව්ව තපිමින් සිටින විටයි වෙද රාල එහෙම කීවේ. 

අධිකරණ මණ්ඩලය: ඒ කියන විට උඹ හිටියේ කොහේද? 

යහපතී: ගෙමිදුලේ ස්වාමීනි 

අධිකරණ මණ්ඩලය: කොයි වේලාවෙද කීවේ ?

යහපතී: වෙද රාල හැම  වෙලාවකදීම එසේ කියනවා. එහෙම අසා සිට මීට දින දහයකට පමණ කලින් මම ඒ ගැන මහ නිලමෙ තුමාට දැන්නුවා. 

අධිකරණ මණ්ඩලය: ඒ ඔහුට කස පහර දුන් දිනයේ දීම ද? 

යහපතී: මා දන්නේ නැහැ. වෙදරාල අන්තිමට එය කීවේ එක් උදෑසනකයි. 

ඉරුගල්ලීගේ සාක්‍ෂිය: මැයද මහ නිලමෙතුමාගේ වලව්වේ දීර්ඝ කාලයක සිට සේවයේ යෙදී සිටින සේවිකාවකි. 

අධිකරණ මණ්ඩලය: මොරපොල ගොඩගමුවේ වෙද රාල අඳුනනවාද? 

ඉරු ගල්ලි: එහෙමයි, ස්වාමීනි. 

අධිකරණ මණ්ඩලය: ඔහු රජතුමාට වෙදකම් කළා නොවේද? 

ඉරුගල්ලී: නැහැ, ස්වාමීනි. ඔහු රජ්ජුරුවන් වහන්සේට වෙදකම් කළේ නැහැ. 

අධිකරණ මණ්ඩලය: එහෙනම් රජතුමාට වෙදකම් කළේ කවුද ?

ඉරුගල්ලී: මම වලව්වේ සිටින බැවින් ඒ ගැන කියන්නට දන්නේ නැහැ. 

අධිකරණ මණ්ඩලය: වෙදරාල ගැන දන්නේ නැත්නම් ඔහු රාජ වෛද්‍යවරයා නොවන බව දන්නේ කොහොමද? 

ඉරුගල්ලී: කවුරු කවුරු රජ්ජුරුවන් වහන්සේට වෙදකම් කළා දැයි මා දන්නේ නැහැ. ස්වාමීනි. 

අධිකරණ මණ්ඩලය: ගොඩගමුවේ වෙදරාළගේ භාර්‍යාව උඹ අඳුනනවාද? 

ඉරුගල්ලී: ඇහැළේපොළ මහ නිලමේතුමා මහනුවර සිට මෙහි පදිංචි ව ආ දින පටන් මම ඇය අඳුනනවා. 

අධිකරණ මණ්ඩලය: ඇය රජ්ජුරුවන් වහන්සේගේ දාසියක් ව සිටි බව දන්නවාද? 

ඉරුගල්ලී: නැත, ස්වාමීනි. 

අධිකරණ මණ්ඩලය: මීට දසදිනකට පෙර වෙදරාලට දඩුවම් කළ බව දන්නවාද? 

ඉරුගල්ලී: එහෙමයි, අපි අව්ව තපිමින් සිටිනවිට කියනවා ඇහුණා ඇහැළේපොළ රාළ කොළඹ ගොස් සුද්දන් සමග එකතු වී ගෙරි මස් කා ඇවිත් කිසියම්ම බලයක් නොමැතිව ගෙදරට පමණක් ලොක්කා වී සිටිනවා කියා. 

අධිකරණ මණ්ඩලය: ඒ ඔහුට කස පහර දුන් දිනයේදීමද? 

ඉරුගල්ලී: නැහැ, වෙදරාලට කස පහර දුන්නේ ඊට පහුවදායි. 

අධිකරණ මණ්ඩලය: එක ගෙයක කියන දේ අනික් ගෙදර ඇත්තන්ට ඇසෙන තරම් යාබදවද වෙදරාලගේ නිවසත් වලව්වත් පිහිටා තිබෙන්නේ?

ඉරුගල්ලී:අපි ඉන්නේ වෙදරාලගේ ගෙදර ඉදිරිපිට කුටියකයි. 

අධිකරණ මණ්ඩලය: එහෙනම් වෙදරාළ එසේ කීවේ වලව්වේ දී නොවෙයි? 

ඉරුගල්ලී: එහෙමයි. 

අධිකරණ මණ්ඩලය: ඒ වෙලාවේ වෙන කවුරුද හිටියේ? 

ඉරුගල්ලී: අපි පස් දෙනා විතරයි. 

අධිකරණ මණ්ඩලය: වෙද රාළ එය කිවේ නුඹ සමග ද ?

ඉරුගල්ලී: මා සමග නෙවි. නමුත් වෙදරාල කියන්නේ කුමක්දැයි මා ඇසූ විට ගිහින් කියාපල්ලා උඹලගේ මහ රාළට යයි ඔහු කීවා.ඒ එක්‌ උදැසනකයි. 

අධිකරණ මණ්ඩලය: එසේ කියන විට උඹ හිටියේ වලව්වේ  මිදුලේ ද? 

ඉරුගල්ලී: එහෙමයි, ඔහු කීවා ගිහින් කියාපිය තොපගේ මහ රාළට එයාට දැන් ඇති බලයක් නැහැ. එයාගෙ ලොකු කම් ගෙදරට විතරයි කියල. 

කුඩා කල සිට ඇහැලේපොල මහ වලව්වේ හැදුණු වැඩුණු රන්කිලී ඊළඟට සාක්කි දුන්නාය. රන්කිලී ගොඩගමුවේ වෙදරාල හඳුනන්නීය. වෙදරාල  පදිංචි වී සිටිනුයේ  ඇයගේ කුටියට යාබදවයි. මෙයට දස දිනකට පෙර වෙදරාලට දඬුවම් දුන්නෙ ඇහැලේපොළ මහ නිලමේ තුමාට බැනවැදුණු බැවිනි. අනතුරුව සාක්කි දුන් ගිරඟි ද ඇහැලේපොල මහ වලව්වේ සේවිකාවකි. ඇයද වෙදරාල හඳුනයි. වෙදරාලට දඬුවම් කළ බව ඇය නොදනී. එහෙත් ඔහුට දඬුවම් කළයුතු බවයි ඇයගේ අදහස. 

ඇහැලේපොලේපොළ මහ නිලමේ තුමාට වෙදරාල බැන වැදෙනවා ඇයගේ සවන් ගත්වී ඇත. මහ වලව්වේ බයිරාළ විදානේ ඊළඟට සාක්කි දුන්නේය. ඔහු මහ වලව්වේ බයිරාළ පදවිය දැනට අවුරුදු දෙකක පමණ සිට දරන්නේය. ඔහු ගොඩගමුවේ වෙදරාල හඳුනයි. මහ නිලමේ තුමාගේ අන පරිදි කස පහර දුන් බවත් ඔහු දනී. ඔහු වලව්වේ නියම විදානේ නොවෙයි. තවකෙක් ද ඒ තනතුර උසුලයි. බයිරාළ ස්වකීය නිවසේ සිට උදෑසනම වලව්වට එන විට අනිකුත් සේවිකාවන් මහ වලව්වේ මිදුලේ අව්ව තපිමින්  සිටියහ. ඔහුත් එතැනට ගියේය. 

ඒ අවස්ථාවේදී "ඇහැලේපොළ කොලඹ ගොස් සුද්දන් සමග ගෙරි මස් කා ඇවිත් සිටිනවා, එයාට දැන් ඇති බලයක් නැහැ" යි වෙදරාල කියනු බයිරාලටද ඇසුණේය. එසේ කියන්නේ ඇයි දැයි විමසූ විට "තොපගේ අප්පොච්චිට ගිහින් කියා බලාපිය" යි වෙදරාල කියා ඇත. 

අධිකරණ මණ්ඩලය ඉදිරියේ මෙසේ සාක්ෂි දුන් ඇහැලේපොල මහ වලව්වේ සේවිකාවන් සතරදෙනා සහ සේවකයාද ඔවුන්ගේ සාක්ෂි වල සත්‍යථාවය තවදුරටත් තහවුරු කරගනු පිණිස එදා සිරිත් ප්‍රකාරව සතර දේවාලයේ දිවුරා සිටීමට නියම කරනු ලැබ එහි ගොස් එසේ කළහ. ඇහැලේපොළ මහ නිලමේ තුමාගේ හා ගොඩගමුවේ වෙදරාල පිළිබඳව මේ හබය අනිකුත් රදළවරුන්ගේ බලපෑම් නිසා ඉංග්‍රීසින්ට අත්හැර දැමිය නොහැකි වූ අතර මහ නිලමේ තුමාට විරුද්ධව ද කිසිවක් කිරීමට ද ඔවුහු අසතුටු වුහ. මෙසේ උද්ගතවී ඇති තත්ත්වය අනුව ලැබී ඇති සියලු තොරතුරු ඉතා සැලකිල්ලෙන් පරික්ෂා කොට බැලූ ලංකාණ්ඩුකාර සර් රොබට් බ්‍රවුන්රිග් විසින් පහත සඳහන් පරිදි සටහනක් අධිකරණ කොමසාරිස් ජේම්ස් ඩබ්ලිව් ගේ මහතා වෙත එවන්නට යෙදුණේය යෙදුණේය. 

"ඇහැලේපොළ මහ නිලමෙතුමාගේ ක්‍රියාව අසාධාරණ වූවක් යයි දැනට එළඹී ඇති තත්ත්වය අනුව සාක්ෂාත් කළ හැකි වුවද එනිසා මහ නිලමෙතුමාගේ ආත්ම ගෞරවයට හානි වන යමක් කිරීම සුදුසු යයි මම කල්පනා නො කරමි. එහෙයින් ඇහැලේපොල මහ නිලමෙතුමා පුද්ගලිකව හමුවී තමන්ගේ කෝපය මැඩගන්නා හැටියට අවවාද කොට, මෙවැනි දේ මතු සිදු නොවන බවට වගබලා ගත යුතු බව කීම යෙහෙකි. තවද, දඬුවම් ලැබූ තැනැත්තාගේ සන්තෝෂයට හේතුවන පරිදි ඇහැළේපොළ මහ නිලමෙතුමා විසින් යමක් කළ යුතුව ඇත"  R.B. (රොබට් බ්‍රවුන්රිග්)


8 comments:

Anonymous at: 1 December 2017 at 10:58 said...

Thanks for this grand post, I am glad I noticed this web site on yahoo.

Anonymous at: 6 December 2017 at 06:32 said...

I am glad to be a visitor of this great website!

Appreciate it for this good information!

Anonymous at: 6 December 2017 at 08:54 said...

Yes bookmaking this wasn’t a bad idea. Fantastic post!

Anonymous at: 6 December 2017 at 12:28 said...

Hello! Amazing post! Please keep sharing simply because I will be staying tuned for lots more!

Anonymous at: 6 December 2017 at 13:22 said...

Thanks so much for sharing this brilliant info! I am excited to see more
blog posts!

{ surangamlr } at: 7 December 2017 at 19:02 said...

මේක අහම්බෙන් දැක්කෙ කට්ටකාඩුවෙං ලින්ක් එක හොයාගත්තෙ. නියම ලිපියක්.

Anonymous at: 17 December 2017 at 19:49 said...

Well written article! Great job, keep up.

Anonymous at: 17 December 2017 at 22:33 said...

I really enjoy your work. Fantastic post.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine