#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

කුකුළුවා රජමහ විහාරය

කලහකාර මෝඩයෝ අපි මැරෙමු කියා නොදනිති.යමෙක් මේ ටික දනිත් නම් ඒ හේතුවෙන් ඔවුන්ගේ කළහ සංසිඳෙයි.



මුහුදු මට්ටමින් අඩි 1500 පමණ උසින් නිරිඇලි කන්දේ මැද කොටසේ පිහිටි මෙම පුජනීය ස්ථානය කුකුළු කෝරලයේ පැරණිම ගල්ලෙන් විහාරය වේ එහි ඇති ගල් ගුහා දෙකින් ප්‍රමාණයෙන් විශාල ලෙන විහාරය ලෙසත් කුඩා ලෙන දේවාලයක් ලෙසත් වෙන් වේ  කුකුළුවා රජමහා විහාරයේ ආරම්භය පිළිබඳව මත දෙකක් පවතී ඉන් පළමුවැන්න ආක්‍රමණිකයන් හා කල සටනින් පරාජිතවූ වට්ට ගාමිණී අභය රජු තුදුස් මසක් මලය දේශයේ සැඟවී සිටි කාලයේදී මෙම ගල් ගුහාවේ සැඟවී සිට යලි රාජ්‍යයට පත්වූ පසුව මෙම විහාරය ඉදි කල බවයි දෙවැනි මතය ඉදිරිපත් කරන පුජ්‍ය පාද පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියෝ සීතාවක රාජසිංහ සමයේ ගණින්නාන්සේලා සැඟවී සිටි ස්ථානයක් ලෙස සලකා මෙහි ඉතිහාසය කෝට්ටේ කාලය ඉක්මවා නොයනබව අදහස් කරති විහාර ගල්ගුහාවේ ඇති කටාරම අතීතයට නෑකම් නොකියන තනි රේඛාවක් වීමද එම නිගමනයට හේතු වී ඇත (සපරගමුව දර්ශන 244)

මෙම විහාරස්ථානය කුකුළුවා විහාරය යනුවෙන් සඳහන් වෙන්නේ 1 රාජසිංහ රජුගේ කාලයෙන් පසුව බව පිළිගැනීමට ඓතිහාසික සාධක ඇත මෙම රජු විසින් නිරිඇල්ලේ තිස්මදය නාරායන බ්‍රහ්මචාරී මුදියන්සේට ප්‍රධානය කල නිරිඇලි නින්දගමේ මෙම විහාරය කනත්තේ ගල්ලෙන් විහාරය නමින් දැක්වේ එය එම නින්දගමේ දකුණු මායිම වේ කනත්තේ ගල්ලෙන් විහාරය කුකුළුවා විහාරය බවට පත්වුණේ මෙම කෝරලය දිගම්පත කෝරලය නමින් ව්‍යවහාරයේ තිබී කුකුළු කෝරලය බවට පත්වුවයින් පසුවය පරගල විජේසුන්දර නැමැත්තෙකු රජවාසල පැවති කුකුළු පොරයකදී ඉදිරිපත් කල කුකුළා අන් සියලුම කුකුලන් පරදවා ජයගත් හෙයින් ඔහුට රජතුමා ලබාදුන් නින්දගම ලෙස කුකුලුගම (කුකුලේගම) ප්‍රදානය කල බව ජනප්‍රවාදයේ එයි මෙම කුකුල් පොර කරුවා පරගල ගමේ බොහෝ කලක සිට පැවත එන දක්‍ෂ මන්තර කාර පරපුරකට අයත් අයෙක්ලු. මොහු එම කුකුළු පොර තරගයේදී අනෙක් කුකුළන් දහඅට දෙනාම මරාදමා ඔහුගේ කුකුළා ජයග‍්‍රහණය කරවූයේ බලගතු මන්තරයකින් මතුරන ලද කහනූලක් පිටතට නොපෙනන අන්දමට තම කුකුළාගේ අත්තට්ටක පිහාටු අතර ගැටගසා තිබීමෙන් කුකුළා ආවේශව ප‍්‍රතිවාදී කුකුළන්ට පහර දීමෙන්ලු. එය සනාථ කිරීමට හැකි විදියේ දක්ෂ රහස් මන්තරකරුවෝ අදත් මෙම පරපුරේ සිටිති. 

දික් ගම්පත කෝරළයෙන් ගෙනා කුකුළ පොර කොටන්ඩ
කොක් හඬලා පටන් ගත්තු අනෙක් කුකුළො බා ලන්ඩ
දික් විජයක් කරපු නිසා මහවාසල සතුටු වෙන්ඩ
එක් වුණ නම එදා පටන් කුකුළු කෝරළය කියන්ඩ

කුකුළේගම
මැද පත්තුවට අයත් පෞරාණික ග්‍රාමයක් වන මෙය කුකුලේ ගඟ ආශ්‍රිතව ජනාවාස වූ පෙදෙස ලෙස සැලකේ. ශ්‍රී රාජසිංහ රජ (රා:ව 1747-1782) සමයේදී ලන්දේසීන් සමඟ සිදු කළ කටුවන මාතර සටනේදී සේනාව මෙහෙය වූ සේනාධිපතියකු වන කලවානේ ධර්මාලංකාර අතපත්තු මුදලිතුමාට දුන් නින්දගමේ කොටසක් ලෙස දැක්වේ. බොහෝ කාලයක් මෙය කෝරළයේ ප්‍රධාන නගරය ලෙස පැවති බවද කියවේ.කුකුළේගමට අයත් ගම් ලෙස ගල්කැටිය, ජාතුවංගොඩ, කඳවැල්දොළ , හපුගොඩ, කොඩිප්පිලිකන්ද, කෝරළේගොඩ, මීපාගම, නාරගල්පිටිය, නාවලකන්ද, නවංගොඩ, පුල්ලෙකන්ද, වන්නිගොඩ හා වැතැල්ගොඩ ද දැක්විය හැකිය.



තවද මෙම විහාරස්ථානය අසල නැටුම්ගල සහ මාලිගාතැන්න යනුවෙන් හැඳින්වෙන ස්ථාන දෙකක් ද දක්නට ලැබේ එහෙත් ඒවායේ නටබුන් කිසිවක් පෙනෙන්නට නැත මේ ස්ථාන සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මක ගවේෂනයක්ද සිදුකර නැත එහෙයින් මේ පිළිබඳව ස්ථිරව යමක කිව නොහැකි වුවද යම් ප්‍රාදේශීය රජකු හෝ මෙහි වසන්නට ඇති බව අනුමාන කල හැක කුකුළුවා විහාරයේ ගොදුරුගම ලෙස තිබෙන්නට ඇත්තේ නිරිඇල්ල සහ උඩකන්ද ගම බව පිළිගත හැකි සාධක ඇත නිරිඇල්ලේ සන්නස අනුව එම නින්දගම වැසියන් ආගමික වතාවත් සඳහා මේ ස්ථානය කරා පැමිණිය යුතුය 

කලවාන මාර්ගයේ කෙළවර පිහිටි උඩකන්ද ගම අදට වඩා ජනකිර්ණව විසු බවට සාධක සපරගමු ලේකම් මිටියෙන් සනාථ වේ කුකුළු කෝරලය ජනාවාසවිමේදී නිරිඇලි කන්ද හරහා පැමිණි වේරගම ආරච්චි පරපුරේ අයගේ ප්‍රථම නවාතැන උඩකන්ද ගම්මානය විය ඔවුහු විහාරය පාමුල වූ එම ගම්මානය සංවර්ධනය කරගෙන සියවස් දෙකක් පමණ ජිවත්වුහ එම කාලය තුල ඔවුහු උදකන්ද කංකානම නමැත්තෙකුගේ නායකත්වයෙන් කටයුතු කර ඇති අතර ලෝහ කාර්මිකයන් පවා එහි විසු බව උඩකන්ද ගෙයි අප්පු (සපරගමුව පැරණි ලියවිලි198 )යනුවෙන් දැක්වෙන ලේකම් මිටි පාඨයෙන් සනාථ වේ පසු කලෙක කවර හේතුවක් නිසා හෝ උඩකන්ඳ ගම ජනශුනය පෙදෙසක්ව එහි වැසියන් පිඹුරේ ගමට පදිංචියට ආහ එහෙයින් විහාරය ද වල්බිහිවිය  නැවත වරක් මෙම විහාරය පිළිබඳව සැදැහැවතුන්ගේ අවධානය යොමු වුයේ 1892 දී මෙහි වූ සැතපෙන පිළිමය සොරුන් විසින් විනාශ කල පසුවය එම සිද්ධියද ජන කවියක මේ අන්දමින් විස්තර කර ඇත 

සිරිලක පරසිඳු නවදුන් 
    කෝරලේ මැදපත්තුවේ නිරිඇලි     කන්දේ 

පෙර සිටි රජවරු තැනූ
        විහාරේ බොල්වී තිබුනයි හිම      මැද්දේ 

පව් කල සොරු රැල කුකුළු 
  විහාරේ පිළිමේ කඩන්නට කල         යුද්දේ 

දෙවුරට ළමැදට සිරසට වෙඩි 
         තුන තැබුවා ලෝකෙට             පරසිද්දේ 

මෙම හානිය සිදු වන විට විහාර ගෙය තුල පිහිටි පිළිමය මැටියෙන් වසා තිබු බවද ගල්ගුහාවේ වහලයේ තිබු පැරණි චිත්‍ර සියල්ල වවුලන් විසින් විනාශ කර තිබු බව ද කියවේ මේ කාලය වන විට කුකුළු කෝරලය භාර රටේ මහත්මයා වූ දෙල්වල ලොකු බණ්ඩාර මහතා එවකට කලවාන තිලකරත්නාරාම විහාරාධිපතිව වැඩ සිටි පුජ්‍ය හතර කෝරලයේ දැලිවල සද්ධාතිස්ස ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සැදැහැවතුන්ගේ ආධාරයෙන් යලිත් ප්‍රතිසංස්කරණ කර ඇත ඉන් අනතුරුව 1934 වර්ෂයේදී ජේ බි කිරිඇල්ල රටේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පුජ්‍ය රත්නපුරේ සද්ධාරාම හිමියන්ගේ අනුශාශකත්වයෙන් දෙවන ප්‍රතිසංස්කරණ දී කුඩා ගුහාවේ දේවාලයක් සහ ඝන්ටා කුළුණක් ඉදිකරන ලදී එම දේවාලය යටින් රත්නපුරේ පිහිටි පොත්ගුල් විහාරය දක්වා උමගක් තිබු බවට ජනප්‍රවාදයේ ඇත පිට ප්‍රදේශවල සිට මෙම පුජනීය ස්ථානය වනදනාමාන කිරීම සඳහා මාර්ග කීපයකින් ලඟාවිය හැක රත්නපුරේ සිට කලවාන හරහා පැමිණෙන්නන්ට රජ්ජුරුවත්ත හරහා සමන්පුර තේ ජනපදයට පැමිණ සැතපුම් දෙකක් පමණ වූ මඟකින් මෙම ස්ථානයට යා හැකි වන අතර කිරිඇල්ල අයගම හරහා පැමිණෙන අය සඳහා පිඹුරේ ගමට පැමිණ උඩකන්ද නමැති ස්ථානයෙන් කලවාන හරහා වැටී ඇති මගින් පැමිණිය හැක නිරිඇල්ල වතු පාරේද පැමිණ නිරිඇලි කන්ද මැදින් ඇති පාරෙන් මෙම විහාරයට ලඟාවිය හැක     
            

අරමුණු සුභ ලෙසින් සලකන, ඉන්ද්‍රිය සංවරයක් නැති, අහරෙහි පමණ නොදන්නා,වීර්ය හීන කුසීතයා කෙලෙස් මරුවා ගිල ගනී.වාතය දුබල ගසක් හෙලනාක් මෙනි.

1 comments:

{ Hasitha } at: 16 November 2012 at 20:15 said...

ෆොටෝ ටිකකුත් දැම්මා නම් මරේ මරු :)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine