#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ජනකවිය


ජන සාහිත්‍යකරුවා තම විරෝධය දුක්පීඩා සහ විවේචනය හාස්‍ය උපහාසය නිපදවාගනිමින් සමාජය වෙත එල්ල කිරීමේදී භාවිතා කල එක් ක්‍රමයක් වුයේ ජනකවිය වේ පහත දැක්වෙන්නේ එවැනි ආකාරයේ ජනකවිය 

රොටී හබයක්

සෑමවෙලාවකටම රොටී කෑම නොකැමති වූ පුරුෂයෙක් තම බිරියට මෙසේ බැනවැදුනි

පුරුෂයා 

රොටී රොටී සැම වේලෙම රොටී         යේ
තුටී සේම ලිප වට කර සෑදී                 යේ
වැටී සේම අප්පිරියා ගතී                    යේ
රොටී නිසා තී දවසක නසී                  යේ 

භාර්යාව

සිතේ තමුසෙගේ කවදත් බතේ           යා
බතේ කන්ට හාලක් ගෙයි නැතේ        යා
නැතේ හාල් ගැනුමට මිළ අතේ         යා
අතේ තබමි එනිසා රොටි පතේ          යා

විවාහය හාස්‍යයට ලක්කර කියවුන කවියකි මේ 

අඟුලේ රඟ දැනෙන්නේ පැද්ද කල්හි ගඟේ      යා
නඟුලේ රඟ දැනෙන්නේ බැස්ස කල්හී මඩේ      යා
උගුලේ රඟ දැනෙන්නේ ඊට පත්වූ සැනේ          යා
මගුලේ රස දැනෙන්නේ දු පුතුන් ලත් තැනේ     යා

එක්තරා හිමිනමකට "කුකුලල" නැමැති අල වර්ගය වැළඳීමේ දැඩි ආශාවක් උපන්නේය කුකුලල බහුල් වශයෙන් වැවෙන ප්‍රදේශයක වෙසෙන සිය මිත්‍ර හිමි නමකට මේ බැව් පහත පරිදි කවියකින් දැන්වුහ

පතුල මුලා බිජු ලාලයි ලොකු වෙන්       නේ
නැත සැවුලා කවදාවත් අඬලන්            නේ 
හොට වකලා කටු ආ දයි ගස් යන්         නේ
එ බිජු කන්න මම ආසාවෙන් ඉන්         නේ

මිත්‍ර හිමිනම කවිය මැනවින් තේරුම්ගෙන පහත සඳහන් පිළිතුරු කවිය යැවීය

ලකුණු මම කියමි යන්තම් දැන ගන්     න 
දකුලු තව මාස ගණනක් පසු වෙන්       න 
මිල දීලවත් නැත මෙහි අරගන්            න 
මුල සිව්කුරු හැර ලඟ සිව්කුර ගන්       න

විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා කොළඹට ගොඩබට වේලෙහි නොකල්හි වැස්සක් වැස්සේය එවක "කවට කතිකයා" නමින් ප්‍රසිද්ධව සිටි පෑලිස් අප්පුහාමි විසින් මෙම සිද්ධිය ස්වකීය කවට පත්‍රයේ මෙසේ සඳහන් කරන ලදී

පින්වත් මනමාල අප්පු කොළඹට ගොඩ බැස්          සා
සම්පත් වැඩිවන ලකුණෙකි එවෙලෙම වැසි වැස්     සා 
ඉන් දුක් දෙන දුවිලි පටලෙත් පහලට බැස්               සා 
වැන්දත් අනෙ වරදක් නැත ඔහුට දෑත උස්               සා

මේජර් ඩේව් සමග කන්ද උඩරට ගිය ජා සෙබළුන්ට අන්තොච්චිකාමු නම් විකට පහත කවිය කියා පරිහාස කල බව හෙළදිව පුවතෙහි සඳහන්වේ

අක්කරේට අසුකර මෙරටට ආ             වා
ගොන්කුරේට ගෙන දියවර බොන ජා    වා 
සන් කරේට නොවටින ගෙරි මස් කෑ     වා
සිංහලේට ආවට තෙපි කැති ගෑ            වා

කුංකුනාවේ හාමුදුරුවෝ පන්සල් වත්තේ කුරුම්බා මීයකු විසින් කා දැමීම නිසා උරණව වස්කවියක් කීවේලු

කකා කුරුම්බා ලෙලි බිම දමන එ         කා
මොකාදෝ එකා මට නොදැනෙනා එ    කා
විකා ඇට නහර මස් ලේ උරා ක          කා
යකා මහසොන් උගෙ දිවි හරින් ම       කා 

සුද්දන්ගේ වත්තේ වැඩටගිය ගැමි කාන්තාවක් සුදු දරුවකු ප්‍රසුත කළාය එයින් කම්පාවට පත් ගැමියකු මේ කවිය කිවේය

දේස දහඅටම එක දේසෙට වෙච්     චි 
බාස දහඅටම එක බාසෙට වෙච්       චි
වනන් දහඅටම එක වනමට වෙච්    චි
සිංහලේට සුදු දරුවන් බෝ වෙච්     චි

ඉංග්‍රීසින් විසින් මෙහි ව්‍යාප්ත කරන ලද පරගැති අධ්‍යාපන ක්‍රමය විසින් රට ගම නොදත්"ජාත්‍යන්තර ප්‍රජාව" ගැන උගැන්මෙන් අපගේ චින්තනය විනාශ කරනු ලැබූ හැටි තලාවේ කේ ඇම් ගුරුතුමා විසින් 1957 දී කවි කොළයකින් විස්තර කරනුයේ මෙසේය

රට ඉඳි දෙන්නෝ -ඇපල් වවන්නෝ -ජෑම් එවැන්නෝ 
                                                                        ඇති රටවල්
වුල් හදන්නෝ -නුල් එවන්නෝ -සුට්‌ මහන්නෝ 
                                                                         ඇති රටවල්
බෑට් ගහන්නෝ -පයිට් කරන්නෝ -සර්කස් දන්නෝ
                                                                            ඇති රටවල්
බෝ දෙන දන්නෝ -එමුත් නොදන්නෝ වැව් බැඳී රජුනගේ
                                                                             වගතුගවල්

සුවස් දන්නෝ-පැනමා දන්නෝ-යෝධ ඇලක් ගැන
                                                                   නොම දන්නෝ
සහරා දන්නෝ-ගෝබී ‍දන්නෝ-රජරට බින්තැනි
                                                                  නොම දන්නෝ 
ඒරල් දන්නෝ-මිචිගන් දන්නෝ-පදවිය-කතදර 
                                                                   නොම දන්නෝ 
මැවිලන් දන්නෝ-මාක්ස් ද දන්නෝ-ගැමුණු ද-පැරකුම්
                                                                   නොම දන්නෝ

තල්දෙන අධිකාරම් දුටු නළඟන

ඌවේ තල්දෙන අධිකාරම් තුමා රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද කවියෙකි හිටිවන කවියට මහත් දස්කම් පෑ මෙතුමා රාජ සභාවෙහි රජතුමා සමග නාට්‍යාංගනාවන්ගේ නැටුම් බලමින් සිටින විට කියූ හිටිවන කවියකි මෙය නාට්‍යංගනාවන් කෙටි කල සළු හැඳ කඹයක් මත නැඟි නැටුම් දැක්වූ අවස්ථාවකි

නුඹේ පත සදිසි වත සඳ ලෙස             උදුලා
රඹේ කඳ අයුරු දිසි කලවා                 යුවලා
කඹේ නටන අඟනුන්ගේ යොහොඹු      කුලා
නැඹේ මුල පෙනෙන්නා උඩ පනින      කලා

1 comments:

{ Hasitha } at: 11 March 2014 at 20:56 said...

නියමම කවි ටික :D

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine