#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ටැම්පිට පිලිමගෙවල්

යමි ජනතාවක්(සසර සයුර තරණය කොට )පරතෙරට යත්ද ඹවුහු අල්පයහ.සෙසු සියලු ජනතාවෝ නැවත මෙතෙර බලා පැමිණෙත්..



ටැම්පිට පිලිමගෙය 17,18 සියවස්වල බිහි වු ගෘහ නිර්මාන විශේෂයක් ලෙස පුරාවිද්යාඥයින්ගේ පිලිගැනිමයි මේ වර්ගයට අයත් පුරාවිද්යාත්මක ස්මාරක දෙස බැලිමේදී ඒවා 17 ,18  සියවස් කාල පරිච්ජේදයට  අයත් යැයි සිතීමට පුළුවන මෙම කාල සීමාවට අයත් යැයි   සැලකෙන සන්නස් තුඩපත්වල ටැම්පිට පිලිමගෙවල් ගැන සදහන් වූවත් ඒවායේ ප්‍රභවය පිලිබදව නිශ්චිත සදහනක් නොමැත මෙම   ටැම්පිට පිලිමගෙවල් ගෘහ නිර්මාණ කලාව අතින් දියුනු වුයේ නුවර යුගයේ යයි සැලකේ රත්නපුර දිස්ත්‍රික්කය තුලද ටැම්පිට පිලිමගෙවල් නිර්මාණය වුයේ මහනුවර රාජධානි සමයේ දී ය එයට බොහෝ දුරට හේතු වුයේ එම යුගයේ රජවරුන්ගේ වැඩි අවධානය රත්නපුර දිස්ත්‍රික්කය තුලට යොමු වීමයි මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කය තුලවූ ටැම්පිට පිළිම ගෙවල් හතක් නිර්මාණය කර ඇත එම පිලිමගෙවල්  හත පහත සඳහන් විහාරස්තානවල නිර්මාණය කර ඇත 


  • මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමය 
  • ගොඩකවෙල රජමහ විහාරය 
  • පැල්මඩුල්ල රජමහ විහාරය 
  • වළල්ගොඩ පුරාණ රජමහ විහාරය 
  • කුඹල්ගම ශ්‍රී විසුද්ධාරාමය 
  • පින්නවල ශ්‍රී පුෂ්පාරාමය 
  • ඕමල්පේ පුරාණ රජමහ විහාරය 

මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමය

මෙම ඓතිහාසික ටැම්පිට පිළිමගෙය 2 විමලධර්මසූරිය රජුගෙන් රාජ්‍ය වරප්‍රසාද ලත් මඩුවන්වෙල විජයසුන්දර ඒකනායක අභයකෝන් මුදියන්සේ විසින් කරවන ලද්දක් වන අතර මෙම පිළිමගෙය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජනප්‍රවාද කීපයක් දක්නට ලැබේ දෙවන විමලධර්මසුරිය රජු දවස මඩුවන්වෙල මහ දිසාවගේ පරපුරේ අය විසින් කිතලබොකු ඔයට එපිටින් පිහිටුවා තිබු කිතලබොක්කේ විහාරයට දානය ගෙන යන අවස්ථාවලදී ඔය පිටාර ගැලීම නිසා එදින විහාරයට දානය දීමට නොහැකි වී ඇත නැවත දන්වේල වැරදීම වැළැක්වීමට කිතලබොකු ඔයට මෙගොඩින් මෙම විහාරස්ථානය ඉදිකළ බව එක මතයකි ජනප්‍රවාද ගතව ඇති තවත් මතයක් වන්නේ කිතලබොකු විහාරය ඉතා තදබල ලෙස ජරාවාස වීම නිසා මඩුවන්වෙල වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මහ නිලමේ එහි තිබු පුජාවස්තු හා ලියකියවිලි ආදිය ස්වකීය වලව්ව (මඩුවන්වෙල )අසලවූ මුදලින්දාරාමයේ තැන්පත් කිරීමෙන් පසු ටැම්පිට පිළිමගෙයක් කරවන ලද බවයි තවද මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙය ඇතුළු ගර්භ ගෘහයට ඇතුළු වන දොරටුවේ ඉහළින තඹ පත්‍රයක මෙවැනි කවියක් ලියා ඇත 

දෙදහස් හාරසිය හැත්තෑව   බුදව                 ස 
පිරිමස් වෙසඟ මස සුබ මොහොතැති දව     ස
සදහස්‌ දිසාමැති මඩුවන්වෙල මහ               ස
නිසිලෙස පිලිසකර කරවී බුදු නිව                ස

මෙම කවිය අනුව බු .ව 2470 පමණ මඩුවන්වෙල දිසාවේ විසින් මෙම පිළිමගෙය පිලිසකර කර ඇත ස්වකීය මුත්තණුවන් විසින් කරවන ලද වූ කලක ජරාවාස වී තිබුණු මෙම පුරාණ විහාරය මෙම පරපුරේ අන්තිමයා වූ ලංකාවේ කළුකුමරයා යයි විදේශිකයන් අතර පවා ප්‍රසිද්ධ බෞද්ධ ජන ප්‍රධානියකු වන හා මහා ඉඩම් හිමියෙක් වූ වික්‍රමසිංහ විජේසුන්දර ඒකනායක අභයකෝන් මඩුවන්වෙල රටේ මහත්මයා විසින් හා කලවානේ ඕමත්තේ තිලකරත්න මඩුවන්වෙල කුමාරිහාමි විසිනුත් ජරාවාස හැර ප්‍රතිසංස්කරණ කරවා ඇත (සපැලි 290)මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙය මදක් කුඩා තනිමහළේ පිලිමගෙයකි ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ පසු හේවිසි මණ්ඩපයද ඉන්පසු  ටැම්පිට පිළිමගෙයද දැකිය හැක පිළිමගෙයට ගොඩවීමට පෙර ඇති හේවිසි මණ්ඩපය විවුර්‍ත ගොඩනැගිල්ලකි සෙ .මි 30ක්පමණ උස සිමෙන්තියෙන් කරන ලද පාදමක් මත ඉදිකර ඇත පැත්තක ගල් කණු 5බැගින් ගල් කණු 25 යොදා ගෙන ඇති අතර ගල් කණුවක උස සෙ මි 90 කි පළල විවිධාකාර වේ මෙම සිමෙන්තියෙන් කරන ලද පාදම මුලින් සක්ක ගල් වලින් තනා තිබී ඇති අතර වර්තමානයේ සිමෙන්ති යොදා කරවා ඇත 

පිළිමගෙය දරා සිටීම සදහා මී 6 සෙ මී 9 ක් දිග සෙ මී 30x30 ප්‍රමාණයේ දැව බාල්ක 4 ක් හරස් අත්ට ද සවිකොට ඇති අතර සන්ධිස්ථාන පලුවට පළුව ගිල්වා රාමුවක් නිර්මාණය කර තිබේ මේ අතරට ,දික් අත්ට සෙ මී 12.5 x12.5 ප්‍රමාණයේ කුඩා බාල්කයක්ද යොදා ඇත මේ බාල්ක සඳහා පලු දැව භාවිතා කර තිබේ මෙම දැව රාමුව මත හරස් අතට මී 5 සෙ මී 4 ක් පමණ ඝනකම ඇති ,ලෑලි 23 ක් යොදා තිබේ මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙයි ගෙබිමෙහි අන් පිළිම ගෙවල්වලට වඩා සුවිශේසත්වයක් දක්නට ලැබේ එනම් ,බිම දැව තට්ටුව නොපෙනෙන ලෙස අලංකාර පිගන් ගඩොල් අල්ලා තිබීමයි මේවා විහාරය නඩත්තු කල මඩුවන්වෙල පරපුරේ අන්තිමයා වූ මඩුවන්වෙල මහ දිසාවේ (මඩුවන්වෙල රටේ මහත්මයා )විසින් මෙම පිළිමගෙය සඳහාම ජපානයෙන් ගෙන්වා ගත් ඒවා බව සලකනු ලබයි මෙම පිළිමගෙය සඳහා වැඩිපුර භාවිතා කර ඇත්තේ පලු සපු කොස් හා මී දැවය මඩුවන්වෙල ටැම්පිට පිළිමගෙය මෑත යුගයේදී එනම් 1930 පමණ ප්‍රතිසංස්කරණය කර ඇති අතර එහි සිතුවම් අයත් වන්නේ මෑත යුගයට ඒ නිසා ඒවායේ පෞරාණික භාවයක් දක්නට නොලැබේ මෙම සිතුවම් අතර ජාතක කතා බුද්ධ චරිතය රහතන්වහන්සේලාගේ රූප ඓතිහාසික සිදුවීම් හා වෙනත් සිද්ධි දක්න‍ට හැක 

ගොඩකවෙල රජමහ විහාරය 

මෙහි ඇති ටැම්පිට පිළිමගෙය මහනුවර රජකළ කිර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නියෝගය මත දුම්බර මීගස්තැන්නේ අදිකාරම්තුමා විසින් කරවන ලදැයි සලකනු ලබයි කලක් භික්ෂු වාසයෙන් තොරව පැවති මෙම ස්ථානය වර්තමානයේ ප්‍රදේශයේ තිබෙන විශාලම හා ප්‍රසිද්ධම පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත වී ඇත  ගොඩකවෙල ටැම්පිට පිළිමගෙය පිටතට දෙමහල් පහයක් ලෙස පෙනුනත් එය තනිමහළේ ගොඩනැගිල්ලකි දෙමහල් බව පෙනෙන්නේ බිත්තිය සහ වහලය කොටස් දෙකකට නිර්මාණය කර ඇති නිසාය පිළිමගෙය මැද බුදුරදුන් වැඩ සිටින කුටියේ බිත්තිය උස්කර බැදීම නිසා මෙය බැලු බැල්මට දෙමහල් පිළිමගෙයක් ලෙස පෙනේ එය සම්පුරණයෙන් අඩි 22 ක් දිගින් හා 17'3"ක් පළලින් යුක්තය පොලවේ දැනට පිහිටි මට්ටමේ සිට උසින් සෙ මී 60 ක් පමණ සිටින සෙ ඒකාකාරී නොවන එකිනෙකට මී 1 සෙ මී 8 ක් පමණ පරතරය ඇතිව ගල්කණු 16 ක් පිහිටුවා එම ගල්කණු 16 වටා සෙ මී 30ක් පමණ උසට සක්ක ගල් බැමිමක් බැඳ ඇත එම ගල්කණු 16 මත දික් අතට දැව බාල්ක 4 ක් සහ හරස් අතට දැව බාල්ක 4ක් යොදා තිබෙන අතර ඒවා එකිනෙකට සම්බන්ධ කර ඇත්තේ තන්තු මගිනි සෙ මී 5 ක් පමණ ඝනකම ඇති ලෑලි 22 ක් මෙම දැව තට්ටුව මත යොදා ඇත මෙම බාල්ක සහ ලෑලි සඳහා නා ,කොස් වැනි දැව වර්ග යොදාගෙන තිබේ  පිළිමගෙයි බිත්ති නිර්මාණය කර ඇත්තේ ගල් කණු මත වූ ලෑලි ස්ථරය මත වරිච්චි ක්‍රමයටය කිතුල් හා පුවක් පටි වෙනිවැල් හා වේවැල් මගින් ගැට ගසා වරිච්චි සඳහා දැව සැකිල්ල සකස් කරගෙන ඇති බව බිත්තිය කැඩී ගොස් ඇති තැන්වලින් පැහැදිලිවේ 

මෙම ටැම්පිට පිළිමගෙයි මැද මාලකයේ ඇතුලත බිත්තිය සම්පුර්ණයෙන් තීරු 3 කට බෙදා පහලම තීරුවේ හිටි බුද්ධ රූපද ,මැද තීරුවේ හිඳී බුද්ධ රූප ද ඉහල තීරුවෙත් හිඳී බුද්ධ රූපද ඇද තිබේ මැද මාලකයේ පිටත බිත්තිය තීරුවලට බෙදා සාම,වටු,නළපාන තේලපත්ත වැනි ජාතක කතා අඛණ්ඩ කථන ක්‍රමයට සිතුවම් කර ඇත මෙම සිතුවම් අතර මාර පරාජය ද දක්නට ලැබේ සිතුවම් මහ නුවර ශෛලියට අයත්ය සිතුවම් ඇදීමේ දී කළු හා රතු පසුබිමේ සුදු,කහ,රතු යන වර්ණ භාවිතා කර ඇත පසුතලයේ හිස් තැන් පිරවීම සඳහා නෙළුම් මල ,සපු මල ,වැටකේ මල ,හා වලාකුළු ද සිතුවම් එකිනෙකින් වෙන් කිරීමට ගස් ගංගා ආදියද දක්වා ඇත ගොඩකවෙල ටැම්පිට පිළිමගෙය බුද්ධ ප්‍රතිමාවට අමතරව තවත් සුවිශේෂ ප්‍රතිමාවක් දක්නට ලැබේ එනම් සමන් දේව රුපයයි මෙම දේව රුව පොළොන්නරුවේ රජකළ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදි දේවප්‍රතිරාජ ඇමතිවරයා විසින් කරවන ලද සමන් දේව රුව අනුව සකස් කරන ලද ආදිම  රුපයක් ලෙස සලකයි මෙහි දෙඅත් වල අවි ආයුධ කිසිවක් නැත (දුණු,හී)සෝවාන් ඵලයට පත් වූ සමන් දෙවිඳුන් මෙයින් නිරුපනය කරන බව විශ්වාස කරනු ලබයි 

පැල්මඩුල්ල රජමහ විහාරය 

පැල්මඩුල්ල ග්‍රාමයේ ඉතිහාසය ඉතා පැරණිය මෙම ගම 1 වන රාජසිංහ රජතුමා ප්‍රථමයෙන් සමන් දේවාලයට පිදු ගමකි (සපැලි 137)එනමුත් එම පැරණි සන්නස අද දක්නට නොලැබෙන අතර 1826 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ද මෙම දීමනාව ස්ථිර කර තිබේ කිර්ති ශ්‍රී රාජසිංහ රජ දවස මැද මහනුවර වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ ස්වාමින් වහන්සේ පැල්මඩුල්ලේ මෙම ස්ථානයේ තිබු කුඩා විහාරය සමග නිතර සබදතා පැවැත්විය එහි ප්‍රතිපලයක් ලෙස මෙම ටැම්පිට පිළිමගෙය නිර්මාණය කර තිබේ ලංකාවේ ඉංග්‍රීසි පාලන සමය වන විට සබරගමුවේ ප්‍රධාන බෞද්ධ හා අධ්‍යාපන ආයතන වශයෙන් පැවතියේ පැල්මඩුල්ලේ රජමහ විහාරයයි ටැම්පිට පිළිමගෙයට අමතරව දොළොස්ව්ල අධිකාරම්තුමා විසින් විශාල බුදු මැදුරක් ඉදිකර ඇති අතර ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ විසින් ශ්‍රී සුදර්ශන ධර්මශාලාව ඉදිකොට ඇත පැල්මඩුල්ලේ ටැම්පිට පිළිමගෙය ඉතා කුඩා ගොඩනැගිල්ලකි කාලයක් ජරාවාසවී විනාශ වෙමින් පැවති මෙම කුඩා පිළිමගෙය මෑතකදී ප්‍රතිසංස්කරණය කර ඇති නිසා එහි පෞරාණිකතත්වය පහව ගොස් නවීකරණය වී ඇත සෙ මි 50 පමණ උස විවිධ ගල්කණු එක් පැත්තකට හතර බැගින් 16 ක් ටැම්පිට පිළිමගෙය සඳහා යොදා ගෙන ඇත 

මෙම ගල්කණු 16 වටා සෙ මි 35 ක් පමණ උස සිමෙන්තියෙන් කරනවන ලද පාදමක් ඇති අතර එය මෑතකදී කරවන ලද්දකි එම ගල්කණු 16 මත දික් අතට දැව බාල්ක 4ක් හා හරස් අතට දැව බාල්ක 4ක් යොදා ඇති අතර ඒවා එකිනෙකට සම්බන්ධ කර ඇත්තේ තන්තු මගිනි සෙ මි 2ක් පමණ ඝනකම ඇති ලෑලි 16 කින් මෙම දැව තට්ටුව සමන්විත වේ මේ සඳහා යොදා ගෙන ඇත්තේ සපු සහ නා යන දැව වර්ග වේ පැල්මඩුල්ල රජමහ විහාරය ප්‍රතිසංස්කරණය කර ඇති නිසා එහි දක්නට ඇත්තේ නුවර සම්ප්‍රදායට අයත් සිතුවම් නොවේ බොහෝ දුරට මෑතකදී අඳින ලද සිතුවම් ය ජාතක කතා ආදිය දක්නට නොලැබෙන අතර ඓතිහාසික සිදුවීම් බිත්ති වල සිතුවම් කර ඇත විජය රාජසිංහ රජුගෙන් පැල්මඩුල්ලේ විසු හපුගස්කන්දේ සිල්වත්තැනට පැල්මඩුල්ල ගම පුජා කිරීම වැනි පිළිම ගෙයට අදාළ සිද්ධි සිතුවමට නගා ඇත 

වලල්ගොඩ පුරාණ රජමහ විහාරය 

මෙම ස්ථානය ටැම්පිට විහාරය කරවීමට පෙර සිටම එනම් මාගම රාජධානියේ ආරම්භයේ සිටම බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවති ඇත අවසාන වරට ලංකාවේ භික්ෂු ශාසනය පිහිටුවා වදාල බෝධිසත්ව ගුණෝපේත ශ්‍යාම වංශික උපාලි මහ ස්ථවිර ප්‍රමුඛ මහා සංඝයාවහන්සේලා මෙහි මනා සිමා බන්ධනයක් කළහ මෙම බද්ධ සීමාව තුල අවට සිව් පියස්සකින් සැදී දෙමහල් මැදුරක් කරවා එහි උඩුමාලය වැඳුම් පිදුම් කිරීම සඳහා බුද්ධාලය වශයෙනුත් යට මාලය සංඝයා වහන්සේගේ පොහොය කර්මය කිරීම සඳහා සීමාමාලකය වශයෙනුත් ප්‍රයෝජනයට ගෙන ඇත ඕමල්පේ අලහකෝන් හා වලල්ගොඩ ගුණතිලක ජයවර්ධන විජේකෝන් යන මුදලිවරු දෙදෙනා කිර්ති ශ්‍රී රාජසිංහ රා‍‍ෙජ්‍යාදයෙන් සත්තිස් වැන්නේ දී මෙම මනරම් දෙමහල්පාය හා ආරාමයට අවශ්‍ය අනිකුත් ගොඩනැගිලි ආදියත් කරවා විහාරස්ථානය චිරස්ථායි වනු වස් වී කුරුණි 152 ක වපසරිය ඇති කුඹුරු හා ගොඩ  හේන් හතරක් පුදා එහි පින් මහනුවර මහ වාසලට ද අනුමෝදන් කරවූ බව මෙම විහාරස්ථානයේ ඇති පැරණි ලියවිල්ලකින් පැහැදිලි වේ (සපැලි287)

ලංකාවේ ලන්දේසීන්ගේ පාලන සමයේ දී ලන්දේසින් විසින් මෙම වලල්ගොඩ විහාරය සතුව තිබු වටිනා දේ ගිනිතබා විනාශ කර ඇත මෙම ටැම්පිට පිළිමගෙය මදක් විශාල දෙමහල් ගොඩනැගිල්ලකි පහත මාලය මි 8 සෙ මි7 ක් දිගින් ද මි 8 සෙ මි 4 ක් පළලින් යුක්ත වේ  පහත මාලයේ දැව කණු 16 ක් බිත්තියට මැදි කොට නිර්මාණය කර ඇති අතර එය ඉහල මාලය නිර්මාණය කිරීම සඳහා ප්‍රයෝජනයට ගෙන තිබේ ඉහල මාලය නිර්මාණය කිරීම සඳහා කණු පිහිටුවා ඇත්තේ පහත මාලයේය මෙහිදී ටැම්පිට පිළිමගෙය සඳහා දැව කණු නවයක් යොදා ගෙන ඇති අතර යට‍ දැව රාමුවේ දික් බාල්ක හා හරස් බාල්ක සම්බන්ධ වන ස්ථානයට මෙම දැව කණු යොදා තිබේ මෙම දැව කණුවක් මි 2 ක් පමණ උස වන අතර ඉහල සිට පහළට සුළු ආනතියක් ඇති වන පරිදි සකස් කර කණුවෙහි මැද අටපට්ටම් කර තිබේ දික් දැව කඳන් 5ක් සන්ධිස්ථානය පාලුවට පලුව ගිල්වා පහල දැව රාමුව නිර්මාණය කර ඇත එක දැව කදක් මි 7ක් දිගින් යුත් හා සෙ මි 20x20 ප්‍රමාණයෙන් යුක්තය මි 7ක් දිගින් හා මි 7ක් පළලින් යුත් පිළිමගෙය ඉහල මාලය වට බරාදයකින් හා මැද බුදුරදුන් වැඩ සිටින ගර්භ ගෘහයකින් යුතුව නිර්මාණය කර ඇත මෙම පිලිමගෙයද නිර්මාණය කර ඇත්තේ වරිච්චි ක්‍රමයට බිත්ති බැදය වලල්ගොඩ ටැම්පිට පිළිමගෙයි ඉහල මාලකයේ මැද ගර්භ ගෘහයේ හා වට මාලකයේ නුවර සම්ප්‍රදායට අයත් සිතුවම් දක්න‍ට ලැබෙන අතර බොහොමයක් විනාශයට පත්ව ඇත 

බොහෝ සිතුවම් හඳුනා ගත නොහැක ගර්භ ගෘහයේ පිටත බිත්තියේත් වට මාලකයේ ඇතුලත බිත්තියේත් ජාතක කතා සිතුවම් කර ඇත නලපාන වෙස්සන්තර වැනි බුද්ධ චරිතයේ සිතුවම්ද මැද ගර්භ ගෘහයේ පහල තීරුවක ඊශ්වර විෂ්ණු කතරගම සමන් ගණදෙවි බ්‍රහ්ම සක්‍ර ආදී දෙවිවරුන්ගේ රුප සිතුවම් කර තිබේ තවද මෙම ටැම්පිට පිළිමගෙයි මැද ගන්ධ කුටිය ඇතුලත බිත්තියේ ඉහල තීරුවක අලංකාර ගිරා ජෝඩු කීපයක් නිර්මාණය කර තිබේ මෙය විශේෂ නිර්මාණයකි නුවර යුගයට අයත් සාම්ප්‍රධායික වර්ණ භාවිතා කර මෙම සිතුවම් නිර්මාණය කර ඇති අතර පසුතලය අලංකාර කිරීම සඳහා නෙළුම් මල සපුමල ආදී යොදා ගෙන ඇත 

ඕමල්පේ පුරාණ රජමහ විහාරය 

මෙම ඕමල්පේ ටැම්පිට පිළිමගෙය නිර්මාණ ලක්ෂණ අතින් වලල්ගොඩ ටැම්පිට පිළිමගෙයට සමාන වන අතර මේතාක් නොනැසී නිරුපද්‍රිතව ආරක්ෂා වී ඇති එකම ටැම්පිට පිලිමගෙයද මෙයයි මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ වළල්ගොඩ පිළිමගෙය කරවූ අලහකෝන් මුදලි විසින් ම ඕමල්පේ ටැම්පිට පිළිමගෙය කරවූ බව සඳහන්වේ එනමුත් මේ සම්බන්ධ ව මත කීපයක්ම ප්‍රදේශවාසීන් අතර දක්නට ලැබේ ඇහැලේපොල අදිකාරම්ගේ ලේකම් වරයකු වූ අලහකෝන් මුදියන්සේ 1800 මුල් දශකයේ දී වළල්ගොඩ විහාරස්ථානය කරවා සඟසතු කර පුජා කරන අවස්ථාවේදී ඒ ගමේ සිටි අඩුකුලේ අයකු විසින් එම මුහන්දිරම් තැනගේ මැණිකේ වාඩිවී සිටි පැදුර පෑගු නිසා ඇති වූ හබයක් හේතුවෙන් ස්වාමින් වහන්සේ සමග අමනාපවී වලල්ගොඩට සැ 4ක් පමණ දුරින් ඕමල්පේ විහාරය 1812-1817 කාලයේ දී වළල්ගොඩ ටැම්පිට පිළිමගෙයට සමාන අයුරින් ම නිර්මාණය කර පුජා කර ඇත තවද ඕමල්පේ ටැම්පිට පිළිමගෙයට ඇතුළු වන දොර උළුවස්සේ ඉහලින් බිත්තියේ කවියක් දක්නට ලැබේ 

විසිණ   එක්දහස්    සත්සිය  දෙසලි                 ස 
මසිණ පොසොන් පුරපසළොස් රිවි දව            ස 
නමිණ ගරු තෙන්නකෝන් අගමැති නොල    ස
විසිණ නිම කෙරෙවූ මුණි මැදුරය මෙව           ස

මෙයට අනුව මෙය ඕමල්පේ තෙන්නකෝන් මුදලි විසින් ශකවර්ෂ 1742 ජුනි 15 දින කර වූ බව සඳහන්වේ කෙසේ නමුත් මෙම ඓතිහාසික පුජනිය ස්ථානය දිගු කාලයක් තිස්සේ ජනශුන්‍ය ව පැවති අතර ප්‍රදේශයේ මහ තෙරනමක් වූ කෑල්ලේ ශ්‍රී සරණපාල සුනන්ද මාහිමියන් විසින් 1910 දී ප්‍රතිසංස්කරණය කර ආරක්ෂාවට කටයුතු යෙදු බවත් ඉන්පසු සිය ශිෂ්‍ය සබරගමුව පළාතේ සංඝනායක මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමාධිපති ව වැඩ සිටි කෑල්ලේ ශ්‍රී සාරානන්ද සහ දාපනේ ධම්මානන්ද යන හිමිවරුන්ට මෙම විහාරස්ථානය භාර දුන් බවත් සඳහන්වේ 

මහල දෙකකින් යුත් ඕමල්පේ ටැම්පිට පිළිමගෙයි යටිමහළේ සිමා මාලකය ද උඩු මහලේ පිලිමගෙයද වශයෙන් නිර්මාණය කර ඇති අතර පහත මාලයේ දික්ගෙයක් හා වටමාලකයක් දක්නට ලැබේ උඩු මහලේහි ද වට බරාදයක් නිර්මාණය කර ඇත සම්පුර්ණ පිළිම ගෙය මි 20 ක් දිගින් හා මි 12සෙ මි 40ක් පළලින් යුක්තය ඉහල මාලය නිර්මාණය කිරීම සඳහා කණු පිහිටුවා ඇත්තේ පහත මාලයේය මෙහිදී ගල්කණු නවයක් යොදා ඇති අතර යට‍ දැව රාමුවේ දික් බාල්කය සහ හරස් බාල්ක සම්බන්ධ වන ස්ථානවලට මෙම ගල්ටැම් සහ දැව කණු යොදා තිබේ මේ කණු මි 2 ක් පමණ උසය මෙම පිළිමගෙය සඳහා ද බුරුත ,කොස් හා සපු වැනි දැව භාවිතා කර තිබේ මෙම පිළිමගෙය මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කර ඇත 

ඕමල්පේ ටැම්පිට පිළිමගෙය බුද්ධ ප්‍රතිමාවට අමතරව සැරියුත් මුගලන් අගසව් දෙනමගේ ප්‍රතිමා ද දක්නට ලැබෙන අතර ඉහල මාලයේ මැද ගර්භ ගෘහය ඇතුලත බිත්තියේත සිතුවම් නිර්මාණය කර ඇත මේ සිතුවම් අතර ජාතක කතා බුද්ධ චරිතය රහතන් වහන්සේලාගේ රූප දිවය රූප හා වෙනත් සිද්ධි දක්නට ලැබේ ඉහල මාලයේ මැද ගර්භ ගෘහයේ පිටත බිත්තියේ හා ඉහල වටමාලකයේ ඇතුලත බිත්තියේත් තීරුවල අඛණ්ඩ කතන ක්‍රමයට ජාතක කතා ඇද ඇත මෙම පිළිමගෙයි ඉහල මාලයේ මැද ගර්භ ගෘහයේ ඇතුලත බිත්ති දෙකක දේවරුප ඇද ඇත ඊශ්වර විෂ්ණු කතරගම සමන් ගණදෙවි බ්‍රහ්ම සක්‍ර ආදී දේව රූප ද අලංකාරව විමාන තුල වැඩ සිටින ආකාරයට නිර්මාණය කර තිබේ මෙහි ඇති සුවිශේෂි සිතුවමක් වන්නේ බුද්ධ ප්‍රතිමාවේ ආසනයේ කොනක ඇඳ තිබෙන පුන් කලසක් අතින් ගත ස්ත්‍රී රුපයයි මෙම ස්ත්‍රී රුපය කුමන අරමුණකින් යෙදුවාදැයි පැහැදිලි නැත මෙම පිළිමගෙයි සිතුවම් ද නුවර යුගයට අයත් ය 

ශ්‍රී විසුද්ධාරාම පුරාණ ටැම්පිට පිළිමගෙය 

ශ්‍රී විසුද්ධාරාම පුරාණ විහාරය රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය සමනල වැවට ආසන්නව මෙම පුරාණ ටැම්පිට විහාරගෙය පිහිටුවා ඇත මෙම ටැම්පිට පිළිමගෙය වසර 150 පමණ පැරණි බව පෙනේ එම කල මෙම ස්ථානයේ වැඩ විසු කොස්ගම ස්වාමින් වහන්සේ විසින් මෙම විහාරය ඉදිකරන්නට ඇතැයි ජනප්‍රවාද පවතින අතර විහාරය ගැන සඳහන් පොතපතක් හෝ සන්නසක් වත නැත වර්තමානයේ මෙම ටැම්පිට පිළිමගෙය ගල්කණු වැසෙන තෙක් පස්වලින් වසා ඇත

ශ්‍රී පුෂ්පාරාම ටැම්පිට පිළිමගෙය 

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටශයට අයත් පින්නවල ග්‍රාම සේවා වසමේ එළු ගාල නම්ගමේ මෙම ඓතිහාසික ටැම්පිට පිළිමගෙය පිහිටා ඇත මෙම ටැම්පිට පිළිමගෙය සීතාවක රාජසිංහ රාජ්‍ය කාලයේ හෝ මායාදුන්නේ රාජ්‍ය කාලයේ කරවන්නට ඇතැයි පැවසේ
                       
නිදිවරන්නාට රැය දිග ය.ගමන් විඩා සහිතව ඇවිදින්නා හට යොදුන දිග ය.සද්ධර්මය අවබෝධ නො කරන්නා වූ මෝඩයා හට සසර දිග ය.

3 comments:

{ Hasitha } at: 19 August 2012 at 23:06 said...

ටැම්පිට විහාර ගැන මූලික හැඳින්වීමක් එක් කළා නම් තවත් වටිනවා :)

{ Mpp Gunasinghe } at: 2 March 2013 at 21:29 said...

මහන්සි වී පිළියෙල කළ ඉතා වටිනා ලිපියකි. ස්තුතියි ඔබට

{ Mpp Gunasinghe } at: 2 March 2013 at 21:31 said...

මහන්සි වී පිළියෙල කළ ඉතා වටිනා ලිපියකි. ස්තුතියි ඔබට

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine