#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

෴෴කඩවර෴෴



කඩවර දෙවි සහ යක් යන දෙපදයෙන් හඳුන්වයි මේ දේව හෝ යක් විෂය පළාත සහ ශාන්තිකර්මය අනුව හඳුනාගත හැක වන්නියේ කඩවර දෙවි සහ මහනුවර,සතර කෝරලය හා සත් කෝරලය ප්‍රදේශයේ ශාන්ති කර්මය වන කොහොඹා යක් කංකාරියේදී හමුවන කඩවර දෙවියන් ලෙසය වැව් ගම්වාසීන්ගේ දෙවියන් ලෙසද හැඳින්වෙන වන්නි කඩවර දෙවියන්ගේ උපත පිළිබඳ කතාව සිත්ගන්නා සුළුය.පුරාණයේ ලංකාවේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ බලවත් සිටුවරයෙක් සිටියේය ඔහුට සිටි එකම පුත්‍රයා ඉතාමත් මුරණ්ඩු දඩබ්බර ගති පැවතුම් ඇත්තෙකි ඔහුගේ නොපනත්කම් නිසා නිසාම ඔහුව සතර වාසලෙන් පිටුවහල් කරන ලදී පිටුවහල් කරන ලද කුමරු වනයේ වන සිවුපාවුන් සමග ජිවත් වුයේය දිගු කලක් සතුන් සමග සිටීම නිසා ඔහුට කතා කිරීමට ද නොහැකි විය කලක් ගතවීමෙන් පසුව දිනක් සිටුවරයාගේ සේවක පිරිස දර  කැපීම සඳහා ඒ වනයට ගියේය එහිදී සිවුපාවුන් සමග සිටින කුමරා දැක ලුහුබැඳ ගොස් ඔහුව අල්වාගෙන මාළිගයට ගෙන ආහ පසුව ක්‍රම ක්‍රමයෙන් කුමරාගේ කතා කිරීමේ හැකියාව වර්ධනය වූ පසු සිටුවරයා ඔහුගෙන් වනාන්තරයේ ඇති ලොකුම දේ කුමක්දැයි ඇසීය එහිදී කුමරු කීවේ එය ගවුවකින් අටෙන් එකක් පමණවූ "කල වැලක්" බවයි සිටුවරයා කලවැල පිහිටි ස්ථානය පෙන්වන ලෙස කීවෙන් ඔහු එය සිටුවරයාට පෙන්වීය සිටුවරයා එම කල වැල තිබු ස්ථානය වටකර බැඳී විශාල වැව කල -වැව "කලාවැව" යනුවෙන් ප්‍රසිද්ධ විය 

මේ වැවේ ජලයෙන් ගොවිතැන් කටයුතු සාර්ථකව කරගෙන ගියත් කලකදී වැවේ වතුර අඩුවී ගොවිතැන අඩාල විය මේ විනාශය නිසා ශෝකයට පත් සිටුවරයා භික්‍ෂුන් වහන්සේලා වැඩම කරවා පිරිත් සජ්ඣායනය කල හෙයින් වැසි ලැබුණි වැව පිරී ගොවිතැන සශ්‍රික විය පසුව යලිත් උදාවූ දැඩි නියඟයක් නිසා කලා වැව සිඳී ගියේය භික්‍ෂුන් වහන්සේලා හැට නමකට වැව අසබඩට ආරාධනා කල සිටුවරයා නැවතත් පිරිත් සජ්ඣායනය කර වීය එවිට වැසි වැටීම සිදුවිය වැවෙහි වතුර මට්ටම පරීක්‍ෂා කිරීම සඳහා සිටුවරයා විසින් මැටි හැළියක් තැබුවේය පිරිත් සජ්ඣායනය අතරතුර විටින් විට සිටුවරයා විසින් වැවට ගොස් මැටි හැළිය බලා නැවත පැමිණේ මෙම සිදුවීම දුටු එක් භික්‍ෂුවක් හැළිය දුටුහෙයින් ඊට‍ සැරයටියකින් ඇණ එය සිදුරු කළේය වෙඩි හඬක ශබ්දය පැතිරෙන දුර දක්වා හැළිය සිදුරු වූ හඬ ඇසුන බව කියවේ හැළිය බිඳුණු පසුව වැවේ වතුර වැඩිවී වැව්බැම්ම බිඳී ගියේය හැළිය සිදුරු කරන ලද්දේ භික්‍ෂුන් වහන්සේ කෙනෙකු බව දැනගත් සිටුවරයා කෝප වුයේය ඔහු භික්‍ෂුන් හැටනමගේ හිස් සිඳ දමා වැවට දැමු සිටුවරයා වැවේ කැඩුණු ස්ථානයට පැන්න සිටුවරයා භික්‍ෂුන්ගේ ලේ බීගෙන මැරෙන බව ප්‍රකාශ කරේලු කැඩුණු වලෙන් උපන් සිටුවරයා කඩවලයා -කඩවරයා වූ බව පුරාවෘත්ත වල සඳහන්වේ 

කඩවර දෙවි සම්බන්ධයෙන් මෙයට තරමක් සමාන වෙනත් කතාවක්ද ඇත බිරිය නිසා අවමානයට ලක්වන කඩවර වනාන්තරයට ගොස් දොළොස් වසරක් සිටියේය වැද්දෙකුගේ මාර්ගයෙන් එය දැනගත් රජතුමා ඔහු කැඳවා වනයේ නිධානයක් තිබෙනවාදැයි ඇසීය සැතපුම් කීපයක් දුරින් ජලාශයක් ඇති බව දැනගත් රජතුමා ඒ ජලාශය කලාවැව කරවීය.වර්ෂාවක් හේතුවෙන් වැව් කණ්ඩිය බිඳිණි මෙයින් ශෝකයට පත් කඩවර වැවට පැන මියගියේය 

තවත් කතාවකට අනුව නම්  කඩවර යනු රජු විසින් කලාවැවේ ආරක්ෂකයා ලෙස පත්කළ තැනැත්තායි කඩවර අබිමාන ලෙසින්ද හඳුන්වන බව ඇතැමෙකුගේ අදහසයි එහෙත් සිංහල දේව පුරාණයට අනුව වන්නියේ කඩවර දෙවියන් හැටහත් කට්ටුවක් බණ්ඩාර වරුන්ගේ පමණක් නොව අවශේෂ කඩවර සේනාවකගේද නායකයාය කඩවර දෙවි දිග රතු ඇඳුමක් අඳියි ඔහු සුදු සහ නිල් වර්ණයෙන් යුක්තය රක්ත වර්ණ ඔටුන්නක් හිසේ පළඳිනු ලබයි එකිනෙක පැටලී හැඩපලු ගෙතී ඇති කෙස් කලඹකි දකුණත උදැල්ලකි වමතේ යගදාවකි මේවාත් රැගෙන සුදුමොනරකු (මෙය ගුවන් යානයක් විය හැක) පිට යන කඩවර මුහුද වටා සත්වරක් එක රැයකට ගමන් කරයි මේ පිළිබඳව ද ජනප්‍රවාදයක් ඇත 

මුහුද වටා ගිය කඩවර ආපසු එන අතරතුර වැව් තාවල්ලක් පසු කළේය එවිට ඔහු වතුර ඉසින යොතක් දුටුවේය අතට ගත් යොතෙන් වතුර ඉසීමට පටං ගත් අතර එක්වරම යොතේ මිට ඉස්සී ඔහුගේ ගිරියට ගියේලු එදා සිට තාවල්ලේ කිරිබත් මට එපා කියූ කඩවර අද වුවද තාවල්ල හරහා නොයන බව කියවේ කඩවර දෙවියන්ට කරන පුද පුජා අතර බත්මාලාව යහන් දීම නානුමුර මංගල්ලය කිරි ඉතුරුම් මංගල්ලය ආදිය වෙයි බුදුන් වහන්සේගෙන් වරම් ලබාගත් ඔහු තලාගම ත්‍රිකුණාමලය පුත්තලම මන්නාරම හලාවත වේලාසිය මඩම සහ පහළොස් පත්තුවට බලය පතුරවයි                      

2 comments:

{ Supun Godakumbura } at: 5 April 2013 at 23:04 said...

නියමයි.. නොදැන සිටි දෙයක්..

{ Hasitha Gunasinghe } at: 7 April 2013 at 12:53 said...

කඩවර දෙවියොත් දැඩිමුණඩ දෙවියෝ වගේම උඩරට ප්‍රධානීන්ගේ ඇඳුමෙන් නේද ඉන්නේ ??

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine