#htmlcaption1 Go UP! Pure Javascript. No jQuery. No flash. #htmlcaption2 Stay Connected

ආඬි ප්‍රතිපත්ති

අරමුණු අසුභ ලෙසින් දකින,ඉන්ද්‍රිය සංවරයෙන් යුත්,බොජුනෙහි පමණ දන්නා, සැදැහැවත්,විර්යවන්තයා කෙලෙස් මරු නොමඩ්. වාතයට ගල් පර්වතයක් නොමැඩිය හැකිවාක් මෙනි.


පළමුවන රාජසිංහ රජුගේ කල අපකීර්තිමත් පක්ෂය වශයෙන් ආඬි සම්බන්ධතා (ඉන්දියානු පරපුර සහ රජ අතර පැවති සම්බන්ධතා )පෙන්වා දීමට විචාරකයෝ පෙළඹෙ එහෙත් මායාදුන්නේ රජුගේ කාලයේ සිටම සිංහල දේශප්‍රේමී අරගලවලදී මලබාර්වරුන් දැක්වූ ක්‍රියාකාරී සහයෝගය සුළුපටු නැත 1565 තරමේ සිට විශාල ප්‍රවාහයක් වශයෙන් ලක්දිවට ඇදී ආ ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ දායකත්වය සිංහල දේශප්‍රේමි හමුදාව ශක්තිමත් කිරීම පිණිස යොදා ගැනුනි මේ අනුව 1578 වර්ෂයේදී පමණ සීතාවක අධිරාජ්‍යයේ පාලනය ටිකිරි බණ්ඩාර රාජසිංහ රජු වෙත පවරනවිට ඉන්දියානු සංක්‍රමණිකයන් සිංහල රාජධානිය තුල ගොඩනගාගෙන තිබුණු සියලු ආකාරයේ හොඳ සහ නරක අංගෝපාංගයන්ද ඔහුට නිතැතින් ම උරුම වන්නට ඇත 

ඉන්දියානු සංක්‍රමණිකයන්ගේ යාග -හෝම විධි හා ඇදහිලි කොතෙක් දුරට හෙළ සමාජය තුල කිඳා බැස්සේද යත් සෝම කර්ම සිදු කල ග්‍රාමය සෝම ග්‍රාමය හෙවත් හෝමාගම ලෙසද සෝමකර්ම සඳහා දර ලබාගත් ප්‍රදේශය සෝමකර්මදර හෙවත් හෝකන්දර වශයෙන්ද බිලිපුජා සඳහා භාවිතා කල ජලාශය බිලි දුන් දොළ හෙවත් පිළියන්දල නමින්ද අද දක්වා ව්‍යවහාර වේ  පිටිපන ප්‍රදෙශය අසල බ්‍රාහ්මණ ගම නමින්ද ගමක් පිහිටා තිබෙන අතර එහි බමුණන් වාසය කල බව පැරැන්නෝ කියති  පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් නිරන්තරයෙන් සිදුකරන ලද කුමන්ත්‍රණ හමුවේ ස්වදේශික හමුදාවේ සමහර නායකයන්ද ඕනෑම මොහොතක සතුරාට එක්විය හැකි තත්වයක් උද්ගතව තිබුණි 

සීතාවක හමුදාවේ උසස් තනතුරු හෙබවූ සහෝදරයන් දෙදෙනකු අතර හටගත් පුද්ගලික අරගලයකදී එක අයෙක පෘතුගීසින් වෙත පලා ගියාක් මෙන්ම සෙනෙවිරත්න මුදලි සහ වික්‍රමසිංහ මුදලි අතර හටගත් අමනාපය සතුරු හමුදාව වික්‍රමසිංහ මුදලිගේ ආරක්ෂක වළල්ල හරහා නිරුප්‍රද්‍රිතව ගමන් කර සෙනෙවිරත්න මුදලිට පහරදීම දක්වා දුර දිග ගියේය නොවැදගත් සරණාගතයින් ලෙස ලංකාවට පැමිණ දේශප්‍රේමී හමුදාව තුල ක්‍රමයෙන් අති විශාල බලයක් ගොඩ නඟා ගත් ඉන්දියානු සරණාගතයා හැටියට අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් හඳුන්වා දිය හැක එහෙත් සීතාවක රාජධානිය තුල ඔහුට දේශපාලන බලයක් නොතිබිණි රාජසිංහ රජුගේ අවසාන කාලයේ අරිට්ඨ කී වෙන්ඩු කටයුතු කල ආකාරය අනුව සිංහල අධිරාජ්‍ය තුල දේශපාලන බලය හිමිකර ගැනීමේ කුට චේතනාවෙන් ඔහු සැලසුම් ක්‍රියාත්මක කල බව පෙනේ   

රාජසිංහ රජුගේ ඇවෑමෙන් පසුව අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් විසින් මියගිය රජුගේ ඥාතිවරියට කල විවාහ යෝජනාවක් පිලිබඳ තොරතුරු ලැබේ රාජකීයන් සමග සිදුවන විවාහයකින් පසුව සීතාවක රාජධානිය තුල දේශපාලන බලතල හිමිකරගැනීම ඔහුගේ අරමුණ විය මේ විවාහ යෝජනාවට රාජසිංහ රජුගේ සහෝදරිය වූ මහ බිසෝ බණ්ඩාර බිසව තදින්ම විරුද්ධ වුවාය සොලිකරයේ සිට ආඬි ගුරකු ලෙස ලංකාවට පැමිණි අරිට්ඨ කී වෙන්ඩුගේ නොගැලපෙන විවාහ යෝජනාව සීතාවක වැසියන්ගේ සිනහවට කාරණයක් විය සීතාවක මහඅතපත්තුවේ දොළොස් හමුදාව බාරව සිටි අතපත්තු ආරච්චි අරිට්ඨ කී වෙන්ඩුව උපහාසයට ලක් කර ඔහු වීදිවල ගමන් කරන විට ඔහුට ඇසෙන ලෙස  කවි පද ගොතා ජනයා ලවා සීතාවක වීදිවල ගායනා කර වූ බව රාජාවලිය අනුව පෙනේ ඒ කවි අතරින් අද දක්වාම සිංහල දරුවන් අතර බෙහෙවින් ප්‍රචලිතව පවතින එක උපහාස කවියක් මෙසේ දැක්වේ 

අතුරු -මිතුරු, දඹදිව- තුරු 
රාජ -කපුරු, හෙට්ටියා.... 
අලුත ගේන මනමාලිට හාල්පතක් ගරාලා
ඉහළ ගෙටත් බෙදාලා ,පහල ගෙටත් බෙදාලා 
උස කොල්ලෝ පේළියයි-මිටි කොල්ලෝ පේළියයි 
උස දරමිටි පේළියයි -මිටි දරමිටි පේළියයි 
කුකුළා කපල වැට මුල්ලේ -කිකිළි කපල දොර මුල්ලේ 
කළු කපුටා සුදු වන තුරු-මෝල්ගහේ දළුලන තුරු 
බලා ඉඳින් හෙට්ටියෝ....

ඉහත ජන කවියට අනුව දඹ දිවින් පැමිණි රාජ කපුරු පදවිය හිමිකරගත් හෙට්ටියා කළු කපුටා සුදු වනතුරු බලා සිටියත් මෝල් ගහේ දළු ලනතුරු බලාසිටියත් කිසිදා සිදුනොවන විවාහයකට සුදානම් වූ බව පෙනේ  විවාහ සම්බන්ධතා හරහා සීතාවක දේශපාලන ව්‍යුහයට රිංගා ගැනීමට අපොහොසත් වූ තැන  අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ අවධානය යොමු වුයේ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර හා පෘතුගීසීන්ගේ උපකාර කෙරෙහිය සීතාවක අරිට්ඨ කී වෙන්ඩුට උදුරාදීමට තරම් යුදබලයක් ඔහුට හිමි නොවිය ඉලංගකෝන් මුදලි යටතේ ප්‍රතිසංවිධානය වූ සීතාවක හමුදාව මෙහෙයවා අරිට්ඨ කී වෙන්ඩුව අල්ලා ගැනීමට නිකපිටියේ බණ්ඩාර රාජසුර්ය රජු සුදානම් වුයේ මේ අතරය එහෙත් ඊට පෙර අරිට්ඨ කී වෙන්ඩු කොළඹ කොටුවට පැනගත්තේය 

සීතාවක රාජධානිය තුල දේශපාලනික බලය හිමි කරගැනීමට නොයෙක් ආකාරයේ කුට උපක්‍රම යොදා තම ව්‍යායාමය ව්‍යර්ථ කරගත් ඉන්දියානු සරණාගතයෝ විශාල පිරිසක්ද අරිට්ඨ කී වෙන්ඩු සමග විරුද්ධ පක්ෂය ගත්හ ඉන් අනතුරුව සීතාවක රාජධානිය පෘතුගීසි යටත් විජිතයක් බවට පත් කිරීමේ ප්‍රධාන කාර්යය භාරය සාර්ථකව ඉටු කල අරිට්ඨ කී වෙන්ඩු ඇතුළු කණ්ඩායම සිංහල රාජවංශික නායකත්වය සතුරාට පාවාදීමට කටයුතු කළේය මොවුන් දන්තුරේ සටනේදී කොනප්පු බණ්ඩාරගේ පක්ෂය ගත් බවද ඉන්පසුව කන්ද උඩරට බලපුළුවන්කාර වංශවත් රදළයින් බවට පත් ව ඇත ඔවුන්ගේ ආදිපත්‍ය හේතුකොටගෙන කඳුරට සිංහල ජනතාවගේ ජිවන රටාව මහත් පරිවර්තනතනයට  භාජනය වූ අතර ලක්දිව ප්‍රධාන පුජ්‍ය ස්ථාන පවා ශිව භක්තිකයන්ගේ යටතට ගැනුනි ශිව සමය තදින්ම පැතිරයාමත ඊට උඩරට රාජ්‍ය අනුග්‍රහය ලැබීමත් හේතුකොටගෙන රටවැසියෝද ඊට නිතැතින්ම ආකර්ශනීය වුහ දේව ඇදහිලි සහ විශ්වාස ප්‍රචලිත වීම ආරම්භ වුයේ මෙම කාලයේදීය සෙනරත් රජුගේ පාලන සමයේ  රචිත අඹන්වෙල ගම යාපා මුදලිගේ පුත් කිවිඳුගේ ආඬි මාලය නම් පද්‍ය සංග්‍රහයෙන් අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ සහචරයන් විසින් ක්‍රියාත්මක කල නිසරු ආඬි ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක්වේ උඩරට රජවාසල පැවති දකුණු ඉන්දියානු දැඩි ආධිපත්‍ය හේතු කොට ගේන පසු කලකදී උඩරට පාලනය දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන්ට හිමිවූ අතර පසුව උඩරට පාරම්පරික රදළවරුන් ලෙස පෙනී සිටි අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල්ගේ ගෝල බාලයන් ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍ය පාවාදීමේදී  මුලිකත්වය ගත්හ               
වමාරා නොදැමූ කෙලෙස් කසට ඇති, ඉඳුරන් දමනයෙන් හා සත්‍ය වචනයෙන් තොර පුද්ගලයා කසාවත් දැරීමට නුසුදුසුය.

3 comments:

{ Hasitha } at: 26 November 2012 at 09:20 said...

මහනුවර යුගය වෙද්දිත් ආඬින්ගේ බලය සාමාන්‍ය අන්දමින් පැතිර තිබුණා කියලා නොක්ස්ගේ පොතෙන් පැහැදිලි වෙනවා. ආඬි ගුරුන් හිඟමනේ එද්දී ගෙයක් වහලා තිබුණත් ඒ ගෙට අනවසරයෙන් ඇතුල් වෙලා සෑහෙන තරමේ භාණ්ඩයක් අරගෙන යන්න ආඬින්ට බලය තිබුණාලු

{ රතු රජරට } at: 29 November 2012 at 21:37 said...

කොහොමද මට මේක මඟ මගැරුණේ ? ජයවෙවා දිගටම ලියන්න.

{ Mpp Gunasinghe } at: 3 December 2012 at 16:32 said...

ඉතාම වටිනා තොරතුරු සමුදායකි. ඔබේ විග්‍රහයන්ද ඉතා කදිමය. තවතවත් ලියන්න ඔබට මේ අදහසත් දිරියක්ම වේවා.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...
 

Copyright © 2010 • ජනකතා හා ඉතිහාසය • Design by Dzignine